ඒ යුද්ධය උග්‍ර ලෙස ඇවිලෙමින් තිබූ කාලයයි. ජනතා විමුක්ති පෙරමුන යුද්ධය තුල ස්ථානගත වී සිටියේ යුද්ධයට අනුග්‍රහය දක්වන පක්ෂයක් ලෙසය. දේශහිතෛශී ජාතික ව්‍යාපාරය සහ මානෙල් මල් ව්‍යාපාරය ගොඩ නගා දකුනේ සමාජය තුල එල්ටීටීඊ විරෝධී යුද්ධය සුජාතකරනය සදහා ජවිපෙ සක්‍රීය ලෙස දායක වෙමින් සිටියේය. එම කාලයේදීම ජවිපෙට අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමය ජාතික ගැටලුව පිලිබද ලෙනින්ගේ කෘතියක් ප්‍රකාශයට පත් කලේය. එම කෘතියට පිලිතුරු ලෙස එවකට එක්ස් කන්ඩායම‍වෙනුවෙන් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ‘ජවිපෙ, ජාතික ගැටලුව සහ මාක්ස්වාදය’ යන හිසින් දීප්තිමත් පොත් පිංචක් රචනා කලේය. ඔහු එහිදී ප්‍රශ්න කලේ සමාජවාදී ශිෂ්‍ය සංගමය සිය ප්‍රකාශන තුල යොදා ගන්නා ‘මාක්ස්වාදී භාෂාවත්’ එම සංවිධානයේ මවු පක්ෂය වන ජවිපෙ ප්‍රසිද්ධ දේශපාලන තලයේදී යොදා ගන්නා ජාතිවාදී භාවිතාවත් අතර පරස්පරයයි.
වසර 2014 එලැඹී ඇත. එලැඹෙන ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව පෙරලා දැමීම සදහා ‘පොදු අපේක්ෂකයෙක්’ ලෙස මාදුලුවාවේ සෝභිත හිමි ඉදිරිපත් කල යුතු බවට සංවාදයක් මේ වනවිට ගොඩනැගී තිබේ. මෙම සංවාදයේ මුඛ්‍ය ප්‍රකාශකයෙක් වන්නේ ආචාර්ය දේවසිරිය. දකුනේ දේශපාලනය තුල හෙජමොනික ප්‍රවර්ගයන් වන සිංහල ජාතිකවාදයේත් නව ලිබරල්වාදයේත් පරාමිතීන්ගෙන් මිදුනු විකල්ප දේශපාලනයක් සදහා සෝභිත හිමිගේ අපේක්ෂකත්වයෙන් අවකාශ විවර වෙනු ඇති බවට නිර්මාල් සිය මුහුනු පොත් සටහනකදී සදහන් කොට තිබුනි. මීට සමාන ආකාරයකින් ප්‍රකට වාමාංශික බුද්ධිමතෙක් වන ආචාර්ය කුමාර් ඩේවිඩ් කාලාන්තරයක් තිස්සේ සෝභිත හිමිගේ අපේක්ෂකත්වයට පක්ෂව කරුනු දක්වමින් සිටී.

දකුන තුල එල්ටීටීඊ වි‍රෝධී ආස්ථානයක් ගෙන සිංහල ජාතිකවාදය සමග සන්ධානගත වීමෙන් ජවිපෙ එවකට අපේක්ෂා කලේ කුමක්ද? ජවිපෙ පැත්තෙන් ගත් විට එය බලය සදහා ෂෝට් කට් එකක් විය. රනිල් වික්‍රමසිංහ හා චන්ද්‍රිකා කුමාරතුංග යන ප්‍රධාන පක්ෂ වල නායකයින් දෙපලම එල්ටීටීඊය සමග සාකච්ඡා පැවැත්වීම සිය ප්‍රවේශය කරගෙන තිබූ තතු යටතේ සිංහල ජාතිකවාදය 2002-1004 යුගයේ හිස නැති කවන්ධයක් බවට පත්වී තිබුනි. ජවිපෙ ආමන්ත්‍රනය කලේ එම රික්තකයටයි. ජවිපෙ අභ්‍යන්තර කතිකාව අනුව යුද්ධයට පක්ෂය සහය දුන්නේ සමාජවාදයට ඇති බාධාවක් වන එල්ටීටීඊය ඉවත් කර දැමීමටය. ජවිපෙ සාමාජිකත්වයට ඒ අනුව සභාග දේශපාලනයත් සිංහල වර්ගවාදය සමග සන්ධානගත විමත් ‘උතුම් අරමුනක්’ වෙනුවෙන් ගනු ලැබූ උපක්‍රමික ක්‍රියාමාර්ගයක් විය.

රාජපක්ෂ රෙජිමයේ අත්තනෝමතික ක්‍රියාකාරීත්වය ඉදිරියේ අද වන විට බොහෝ වාමාංශිකයන් කරමින් සිටින්නේද එක්තරා ආකාරයකින් දේශපාලන ෂෝට් කට් සෙවීමකි. රාජපක්ෂ ආන්ඩුව අධිකාරිවාදී තන්ත්‍රයක් බවට පත්වී තිබෙන අතර ජනයාගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන්ට එල්ල වන ප්‍රහාර දිනෙන් දින උත්සන්න වෙමින් ඇත. මෙම නපුරේ ‘හේතුව’ ලෙස දැන් ජනප්‍රිය ලෙස උපුටා දැක්වෙන්නේ විධායක ජනාධිපතිධූරයයි. මාදුලුවාවේ සෝභිත හිමිගේ සාධාරන සමාජයක් සදහා වූ ව්‍යාපාරයේ කේන්ද්‍රීය තේමාව වන්නේත් විධායක ජනාධිපතිධූරය ‍අහෝසි කිරීමය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ගැන අවංක හැගීමකින් යුක්ත මධ්‍යම පංතික වෘත්තිකයන් හා බුද්ධිමතුන් කවයක් මෙම ව්‍යාපාරයට සහයෝගය දෙමින් සිටී.

මෙම ලිබරල් බුද්ධිමතුන්ගේ ප්‍රශ්නය නම් සමාජයේ පවතින මහා ගරාවැටීම ගැන ප්‍රශ්නය සමාජ ක්‍රමය පිලිබද ප්‍රශ්නයක් ලෙස නොව හුදෙක් ආන්ඩු ක්‍රමය පිලිබද ප්‍රශ්නයක් ලෙස ගැනිමය. අධිකාරිවාදී පාලන රටාව වූ කලී ’77 න් පසු මෙරට තුල බලාත්මක වන නව ලිබරල් ධනවාදී සංවර්ධන මොඩලය සමග වෙන් කල නොහැකි ලෙස ගැටගැසී තිබෙන්නකි. සමාජය තීව්‍ර ලෙස වෙලදපොලකරනය කරමින්, සමාජ අසමානතාවය තීව්‍ර කරමින් ක්‍රියාත්මක වන මෙම සංවර්ධන මොඩලය තුල අසහනයට පත් වන ජන කොටස් වලට එරෙහිව මර්දනය යොදාගැනීමට සිදුවීම අනිවාර්යයකි. උදාහරනයක් ලෙස ප්‍රාග්ධනයට ඉඩදීම සදහා වනාතමුල්ලේ පැල්පත් නිවාස ශුද්ධ කල යුතුය. එහිදී එම ජනයා පලවා හැරීම සදහා බලහත්කාරය යොදාගැනීමට සිදුවේ. විධායක ජනාධිපති වෙනුවට කැබිනෙට්ටුව විධායක බලතල හෙබවූවා කියා එම බලහත්කාරයේ වෙනසක් සිදුවන්නේ නැත. සමාගම් වල ආයෝජන වලට ඉඩ දෙනු වස් මධ්‍යම ඉන්දියාවේ ආදිවාසී ගෝත්‍රික ජනයා බලහත්කාරයෙන් පලවා හරිමින් සිටින්නේ පාර්ලිමේන්තු ආන්ඩු ක්‍රමයක් අනුගමනය කරන ඉන්දීය රාජ්‍යයයි.

එම නිසා ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන තන්ත්‍රය පෙරලා දැමිය හැකි ස්ථිර මාර්ගය වන්නේ නව ලිබරල් ධනවාදී සංවර්ධන මොඩලය පිලිබද ප්‍රශ්නය සමග එකට ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නය ගැනීමය. එසේ නොකලහොත් සිදු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නය දඩමීමා කරගෙන එක් පඹයෙක් වෙනුවට වෙනත් පඹයෙක් බලය ඩැහැ ගැනීමය. සෝභිත හිමි යම් හෙයකින් ‘පොදු අපේක්ෂකයා’ වේ නම් එහි වාසිය සෘජුව හිමි වන්නේ එවැනි පොදු ව්‍යාපාරයක ප්‍රධාන සංරචකය ලෙස ක්‍රියා කරන ප්‍රධාන විපක්ෂ බලවේගය වන එක්සත් ජාතික පක්ෂයටය.

වාමාංශය ඉදිරියේ තිබෙන අභියෝගය වූ කලී නව ලිබරල් ධනවාදයටත් ඒ සමග ගැටගැසී තිබෙන අධිකාරිවාදී රාජ්‍යයටත් එරෙහිව පීඩිත ජනයා සංවිධානය කිරීමය. ද්විපක්ෂ ක්‍රමයකට හුරු වී සිටින සමාජයක් තුල එවැනි විකල්ප දේශපාලන දහරාවක් ගොඩනැගීම පහසු කටයුත්තක් නොවේ. එවැනි මහන්සියක් නොදරා සමාජයේ යම් ස්ථාපිත බල ව්‍යුහයක් සමග සම්මුතියකට යාම පහසුය. එහෙත් 2004-2009 ජවිපෙ අත්දැකීම මනාව පෙන්නුම් කරන්නේ එවැනි සම්මුති තුලින් අවසානයේ අපේක්ෂිත අරමුනට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රතිඵලයක් උද්ගත වන ආකාරයයි. විමුක්ති දේශපාලනයට ෂෝට් කට් නැත. මේ වූ කලී සියලු වාමාංශිකයෝ තරයේ සිහි තබාගත යුතු දේශපාලන පාඩමකි.
රාමචන්ද්‍රගේ අඩවිය-

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. If change of regime will not really change anything then what’s wrong with change of regime. It will not do any harm.
    If you want to keep rajapakse regime forever just say that straight.

Comments are closed.