ගුණදාස අමරසේකර ගේ ‘කියනු මැන දිවි අරුත’ කෙටිකතා පොත අරබයා මීට පෙර මෙම තීරුවට මා ලියා තිබූ බව ඇත්තය. එහෙත් එම කෘතිය පිළිබඳ නැවත ලිවීමට මා පොලඹවන්නේ පසුගිය සතියේ දිනෙක එක්තරා පුවත්පතක (සිළුමිණ නොවේ) මගේ ලිපිය ප්‍රස්තුත කර ගනිමින් ලියා තිබූ ලිපියකි. මා දන්නා තරමින් එය ලියා තිබූ ලේඛකයා එම පුවත්පතේම සේවය කරන්නෙකි.

එම ලිවීමට අනුව අමරසේකරගේ සවිඥානය (ඔහුට අනුව විඥානය) සහ අවිඥානය දෙකක් නොව එකක්මය. මෙම ලේඛක පඬිවරයා තම අපූර්ව සොයාගැනීම කරන්නේ තමා සේවය කරනා පුවත්පත මඟින් මේ තීරු‍ෙව් ලා මා ලියන ලිපිය විවේචනය කරමිනි. ඔහුගේ ලිවීම එම පුවත්පතේ පාලක කාරකාදීන්ට ප්‍රශ්නයක් වී ඇත්දැයි මම නොදනිමි. මක්නිසාද යත් මෙම ඊනියා මාධ්‍යවේදියා තමා ‍ෙස්වය කරනා පත්තරයෙන් සිළුමිණ පුවත්පතට සහ එහි පළවන තීරු ලිපියකට නොමිලයේම ප්‍රචාරය සපයා දී ඇති බැවිනි. ඒ ගැන නම් සුන්දර වුවත් ඔහුට ස්තුති කරනවා ඇත.

දැන් අප පඬිවරයා‍ගේ අවිඥානය පිළිබඳ ගැටලුව විසඳා ගැනීමට කල් එළඹ ඇත. එහි ඇති වැදගත්කම නම් අමරසේකර ගේ කෙටිකතා පොත දෙවන වර කියවීමකට අවස්ථාව ලැබීමය. ෆ්‍රොයිඩ් මිනිස් මනස කොටස් තුනකට කඩා විස්තර කළේය. එනම් සවිඥානය (Conscious) පූර්ව සවිඥානය (Pre-Conscious) සහ අවිඥානය (Unconscious) යනුවෙනි. ෆ්‍රොයිඩ් අහම (ego) සහ සුපිරි අහම (Super ego) යනුවෙන් නම් කර ඇති කාරකයන් අවිඥානයට අඩංගු නොවේ. ෆ්‍රොයිඩ්ට අනුව අවිඥානය යනු කිසියම් දී ඇති මොහාතක සවිඥානක ක්ෂේත්‍රයෙන් බාහිරව පවතින්නක් නොව අවරෝධනය (repression) මඟින් සවිඥානයෙන් වෙන්කොට ඇති තත්ත්වයකි. එබැවින් විකෘත කිරීමකින් (distortion) තොරව එම අවිඥානය සවිඥානය තුළට ප්‍රවේශ විය නොහැක.

අමරසේකර ගේ කියනු මැන දිවි අරුත කෙටිකතා පොතේ එන ‘රෝහලේ ගින්න’ කෙටිකතාව ඔහුගේ අවිඥානයේ හරස්කඩක් සපයන බව මම කීවෙමි. එම ලිපියේ වපසරිය සලකා නොලියූ හරිය ලිවීමට අවස්ථාවක් දැන් මට ලැබී ඇත. ඇත්ත. අමරසේකර සවිඥානක තලයේ දී උග්‍ර ජාතිවාදියෙකි. දෙමලුන්ට ඉඩම් බලතල දීමත් පොලිස් බලතල දීමත් ඔහු තරයේ ප්‍රතික්ෂේප කරයි. ඔහු මෙලෙස විරුද්ධ වන ඉඩම් බලතල සහ පොලිස් බලතල යනු කුමක්ද? මේ පිළිබඳ වැඩිමනත් හැදෑරීමකට ත්‍රිමාණ වෙබ් අඩවියේ පළව ඇති දෘෂ්ටිවාදය දෙසට වූ නව ප්‍රවේශය නමින් දීප්ති කුමාර ගුණරත්නගේ ලිපිය කියවන්න. දීප්ති එහි එක් තැනෙක මෙසේ ලියයි.

“සමකාලීන ගෝලීයකරණ ධනවාදය ඇතුළත ඉඩම් සහ පොලිස් බලතල ගැන මිනිසුන් තම සමාජ අත්දැකීමෙන්ම දන්නා දෙයක් ඇත. අනුභූතිකව සැලකුවහොත් ඉඩම් සහ ‍පොලිස් බලතල මිනිසුන්ගේ නිදහස පුළුල් කරනවා නොව සීමා කරනවාය. සැබෑ සමාජ යථාර්ථය මඟින් අත්විඳින මෙම අත්දැකීම (දැනුම) ක්‍රියාකාරී වන මොහො‍ෙත්දී උඩු යටිකුරු වෙයි. සිංහල මිනිසුන්ගෙන් බහුතරයක් දෙමළ ජනතාව ඉඩම් සහ පොලිස් බලතල ලබා දෙනවාට විරුද්ධය. එබැවින් එය තවම විසැඳී නැති දේශපාලන ප්‍රශ්නයකි. සිංහල විඥානයට අනුව බලතල බෙදාගැනීම යනු තමන් අත්විඳින ‘විනෝදයක්’ තමන්ට අහිමිවීමකි. සැබෑ සමාජ ව්‍යවහාරය ඇතුළත සැබැවින්ම අහිමි යයි හොඳින්ම දන්නා දෙයක් ක්‍රියාකාරී ලෝකය තුළදී එසේ නොවේ යයි මිනිසුන් සිතන්නේ මන්ද?”

ත්‍රිමාණ වෙබ් අඩවිය

අමරසේකර ගේ ගැටලුව දීප්තිගේ මෙම විශ්ලේෂණය තුළ පැහැදිලි කෙරේ. අමරසේකර යටපත් කරගන්නේ පොලිස් බලතල දීමෙන් දෙමළා අප නොවිඳින විනෝදයක් අත්පත් කර නොගන්නේය යන දැනුමයි. ඔහුගේ අවිඥානය යනු මෙම වංචනික බවය. දැන දැනත් නොදන්නා සේ සිටීම ජිජැක් නම් කළේ Cynicism යනුවෙනි. දීප්ති එය නරුමවාදය ලෙස සිංහලට හඳුන්වා දෙයි. එතැනදී අමරසේකරගේ කෙටිකතාවෙන් එළිදරව් කෙරෙන්නේ සවිඥානිකව ජාතිවාදියකු වන අමරසේකර අවිඥානිකව ෆෙඩරල් ක්‍රමයකට පක්ෂපාත වන බව නොවේ. ඔහුගේ කෙටිකතාව කියවීමම තුළ අප එළිදරව් කරන්නේ නරුමවාදියකු ලෙස අවරෝධනය කළ දැනුමයි. නැතහොත් අවබෝධයයි.

අවිඥානය පිළිබඳ ෆ්‍රොයිඩියානු ප්‍රවාදය නැවත කියවන ලැකාන් අවිඥානය ගොඩනැඟී ඇත්තේ භාෂාවක් මෙන් යයි (Unconscious is structured like language) පවසයි. ඒ අනුව කෙනෙකු පවසන දේ ලියන දේ විහිලු, කටවැරැදීම් ආදී සියල්ල සවිඥානක තලයක ඔහුගේ අවිඥානය ගවේෂණය කිරීමට අපට උපකාරී වේ. දීප්ති පවසන පරිදි දෙමළාගේ ආශාව සිංහල අපට සැකය. එලෙස සැක කිරීමට හේතුවක් නැති බව නලින් කෙසේ වෙතත් අමරසේකර හොඳින්ම දනී. ඔහු නරුම ලෙස දිගින් දිගටම අවරෝධනය කළේ එම සත්‍යයයි. ඔහුගේ කෙටිකතාව තුළ අන්‍යාකාරයකින් මතුවන්නේ අවිඥානගත එම දැනුමයි.

මගේ ලිපිය අමරසේකර එරී සිටින ජාතිවාදී මඩගොහොරුවෙන් ‍ෙගාඩගෙන ඔහු ශුද්ධ පවිත්‍ර කිරීමට දරන ලද බොළඳ වෑයමක් ලෙස කෙනෙකුට දකින්නට පිළිවන. අප ලේඛකයා එවැනි චෝදනාවක් කළේ නම් ඔහු පඬිවරයකු ලෙස සැලකීමට තිබිණි. ඔහුගේ ලිපියේ පෙළ කෙනෙකුට එවැනි විග්‍රහයක් දීමට තරම් වුවත් එම කියවීම මඟින් එළිදරව් කරන අමරසේකරගේ අවිඥානය ඔහුගේ ශුද්ධ වූ ආත්මය නොවේ. හැබැයි අර ලේඛකයා අමරසේකරට කරන මහත් වූ අසාධාරණය නම් ඔහුව තව තවත් ජාතිවාදී මඩ ගොහොරුවේ එබීමයි.

අමරසේකර රෝහලේ ගින්න නම් වූ කෙටිකතාව ලියන්නේ යයි අප කියන මුත් ඇත්තටමට නම් සිදුවන්නේ එහි අනෙක් පැත්තය. එනම් එම කෙටිකතාව විසින් අමරසේකරව නැවත ලිවීමයි. මගේ ලිපිය මා අවසන් කර ති‍බුණේ දෙමළ කැරැල්ල මැඬ පැවැත්වීමෙන් දෙමලුන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලැබී තිබේදැයි වෛද්‍ය අතුකෝරල නඟන ප්‍රශ්නය අමරසේකර ගේ ප්‍රශ්න කිරීමක් වන බවත් ඔහුට තමාගේ අවිඥානයෙන් ගැලවී ගත නොහැකි බවත්ය. ඇත්තටම එම ප්‍රශ්නය ඔහු නඟන්නේ නම් ඔහුගේ අවිඥානය තුළ ඇත්තේ දෙමළාට පොලිස් බලතල හෝ ඉඩම් බලතල දීමෙන් ඔවුන්ට ලැබෙන දෙයක් නැති බවට වූ දැනුමය. වෛද්‍ය අතුකෝරාලගේ ප්‍රශ්න කිරීම තුළ එළියට පනින්නේ දෙමළාගේ ආශාව පිළිබඳ අමරසේකරගේ ෆැන්ටසියයි.

සමන් වික්‍රමාරච්චි
silumina

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. අමරසේකර නැවත කියෝව්වොත් අපට අපවම එපා වෙයි. යලි නුපන්නෙමි.

  2. අමරසේකර ගේ මෙම කතාව තමන් වැපිරූ මතවාදය නිසා “ඉන් නිර්මාණය වූ විනාශය අමරසේකර ක්‍රමයෙන් වටහා ගනිමින් සිටින“ බව පෙන්නුම් කරන්නේ ද? යි වික්‍රමාරච්චි අසන ප්‍රශ්නය ට මෙම කතාවෙන් පදනමක් සැපයෙන්නේ නැත. මෙම කෙටි කතාව පළවීමෙන් පසුත් ඉතාම මෑතකදී අමරසේකරයන් පළ කළ දේශපාලන අදහස් වලින් පෙනෙන්නේ ඔහු ජනවාර්ගික ගැටලුළු පිළිබඳ තමන් දරන ආස්ථානයන් කිසිවක් වෙනස් කොට ඇති බව නොවේ.

    මෙම කෙටි කතාවලින් ඔහු පෙන්වන එක දෙයක් වේ නම් එය තමන් ගේ සාහිත්‍යකරණය තමාගේ දේශපාලනය මෙන් කලු සුදු නොව බවයි. මෙම කතාවල එන ඔහුගේ චරිත එතරම් සවිස්තරව නොවූවත් සංකීර්ණ චරිත ලෙස ඉදිරිපත් කෙරෙයි. මේ බව ඔහුගේ මීට පෙර පළවූ සාහිත්‍ය කෘතීන් ගෙනුත් පළවන ලක්ෂණය කි.
    ජාතිවාදයෙන් උමතු වී සිටින විජේසිංහ ගේම චරිතය වුවත් එයින්ම පැහැදිළි කළ හැක්කක් නොවේ. නියත පිළිතුරු නැති ප්‍රශ්න ගණනාවකින් මෙම කතාව අවසන් කෙරෙන්නේ එහෙයිනි.

    ඉතින්, මේ කතාවෙන් අමරසේකරයන් මතුකරන “දැවෙන ප්‍රශ්නයට“ ඔහු එම පොතේම එන වෙනත් කතාවකින් පිළිතුරු දේ යැයි වික්‍රමාරච්චි යෝජනා කිරීම සාධාරණය කළ හැක්කේ වික්‍රමාරච්චි දිනිගෙවන අවිඥානය පිළීබඳ මනෝ ලෝකය තුළ පමණි.

    from samajavichra facebook page

Comments are closed.