අරගල කළ යුත්තේ සමාන අවස්ථා ලබා ගැනීම සඳහාය

0
349
Cambridge

 

2016 ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කරන ගෘහස්ථ ආදායම් සහ වියදම් වාර්තාවත් දරිද්‍රතා වාර්තාවත් ඉදිරිපත් කර ඇත. ඒ අනුව ලංකාවේ අන්ත දිළිඳු 4% දක්වා අඩු වී ඇත. 1990 දී 26% ක් පැවති ජන දරිද්‍රතාවය 2017 වන විට 22%කින් අඩු වී ඇත. අවුරුදු 22ක් සෑම අවුරුද්දකට 0.8% බැගින් අඩු වී 4% මට්ටමට පැමිණ ඇත. ඉදිරි අවුරුදු 05 තුළ ලංකාව සම්පූර්ණයෙන්ම අන්ත දිළින්දන් නොමැති රටක් බවට පත්වනු ඇත. අන්ත දිළිඳුභාවයට සාපේක්ෂව ලංකාව තුළ වර්ධනය වී ඇත්තේ ආදායම් විෂමතාවයි. ලංකාවේ අවම ආදායම් ලබන 20% ලබන්නේ ද.දේ. නිෂ්පාදනයෙන් 4.8% කි. අවම ආදායම් ලබන 40% ලබන්නේ ද.දේ.නි. 14.4% අවම ආදායම් ලබන 60% ලබන්නේ ද.දේ.නි. 28.5% කි. අවම ආදායම ලබන 20%ක ගෘහයක මාසික ආදායම වන්නේ රුපියල් 14843 කි. දෙවන මට්ටමේ ආදායම ලබන 20%ක ගෘහයක මාසික ආදායම රුපියල් 30008 කි. තෙවන මට්ටමේ ආදායම ලබන 20%ක ගෘහයක මාසික ආදායම රුපියල් 43713 කි. මේ අනුව බලන විට පෙනී යන්නේ ලංකාවේ ජනගහනයෙන් 60%ක් ජීවත් වන්නේ පාරිභෝගික මිල දර්ශකයන්ට පහළින් බවයි. ලංකාවේ පවතින පාරිභෝගික දර්ශක පරාසය වන 54000 – 62000 පහළ මට්ටමේ මේ 60% ක ප‍්‍රමාණය ඇත. මෙයින් අදහස් වන්නේ ඉහත සඳහන් කළ 60% ට තම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ප‍්‍රමාණවත් ආදායමක් ලැබෙන්නේ නැති බවය. දිස්ත‍්‍රික් පදනමෙන් ආදායම බෙදී යෑම සැලකූ විට අවම ආදායමක් බෙදී ගොස් ඇත්තේ උතුරු නැගෙනහිර පිහිටි දිස්ත‍්‍රික්වලටය. අවම ආදායම් ලබන පිරිස් සිටින දිස්ත‍්‍රික් වන්නේ මුලතිව් සහ කිලිනොච්චියයි. ප‍්‍රජාවක් ලෙස සැලකූ විට දුප්පත්ම ප‍්‍රජාව වන්නේ වතුකරය නියෝජනය කරන පිරිසයි.

සමස්ත ප‍්‍රජාවෙන් 60% කට ආසන්න පිරිසක් ද.දේ.නි. 28.5%ක් භුක්ති විඳින විට 20%කට ආසන්න පිරිසක් ද.දේ.නි. 50% ආසන්න ප‍්‍රමාණයක් භුක්ති විඳියි. මේ අසමාන ආදායම් බෙදී යෑම සහ සම්පත් බෙදීයෑම ද දේශපාලනයේ කේන්ද්‍රීය ගැටලූවක් බවට පත්විය යුතුව ඇතත් දේශපාලනයේ කේන්ද්‍රීය ගැටලූව බවට ජනමාධ්‍යය සහ දේශපාලන පක්ෂ ප‍්‍රමුඛ කරගෙන ඇත්තේ මොනවාද? සමස්ත ජනගහනයෙන් 60% ක ජීවන අරගලය වෙනුවට වමද තෝරාගෙන ඇත්තේ රටේ කේන්ද්‍රීය අරගලය ලෙස සයිටම් අර්බුදයයි. රටේ නිදහස් අධ්‍යාපන වරප‍්‍රසාදය බොහෝ දුරට භුක්ති විඳින්නේ අවම ආදායම් ලබන 60% ට වඩා වැඩි ආදායම් ලබන 40% තුළ සිටින දෙමාපියන්ගේ දරුවන්ය. ලංකාවේ අන්ත දිළිඳු ජන කොටස් වන වතු කම්කරුවන්ගේ දරුවන් කී දෙනෙක් රජයේ වෛද්‍ය විද්‍යාලවල ඉගෙන ගන්නවාද? විගාමික ශ‍්‍රමිකයන් මැදපෙරදිග පමණක් 800000 කට ආසන්න පිරිසක් සිටී. මේ අය මැදපෙරදිග සේවය කරන්නේ ඉතා අවම වැටුපකටය. මේ අයගේ දරුවන් කී දෙනෙක් රජයේ වෛද්‍ය විද්‍යාලවල සිටිනවාද? කිලිනොච්චි, මුලතිව්, මොනරාගල, අම්පාර, මන්නාරම දිස්ත‍්‍රික්කවල කී දෙනෙක් රජයේ වෛද්‍ය විද්‍යාලවල සිටිනවාද? (කැමති නම් සංඛ්‍යා ලේඛන සමඟ සංවාදයක් ආරම්භ කිරීමට කැමැත්තෙමි)  නමුත් කනගාටුවට කරුණ වන්නේ මේ අවම ආදායම් ලබන 60% පිරිස තම ආදායමෙන් 20% ට වඩා වැඩි මුදලක් රජයට බදු ලෙස ගෙවන නිසා මේ ආයතන නඩත්තු කිරීම වක‍්‍රව අඩු ආදායම්ලාභීන් දායකත්වය දක්වා ඇත. නිදහස් අධ්‍යාපනය කියා ජනමාධ්‍ය විසින් විසින්ද පුන පුනා කියන අධ්‍යාපනය නිදහස් නැත. ඒ සඳහා පිරිවැය සපයා ඇත්තේ නිදහස් අධ්‍යාපනයෙන් ප‍්‍රතිලාභ නොලබන පිරිසකි. (ලංකාවේ උපයන ආදායමට සාපේක්ෂව වැඩිම බදු මුදලක් ගෙවන්නේ අඩු ආදායම්ලාභීන්ය. මීට පෙර ලිපියක මෙය සාකච්ඡුා කර ඇත.)

උතුරු නැගෙනහිර ආදායම් අවම වීමට බලපා ඇති ප‍්‍රධාන සාධකය වී ඇත්තේ ප‍්‍රදේශවාසීන්ගේ ඉඩම් අත්පත් කරගෙන සිටීමය. රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කර ඇත. ගිවිසුම්ගත ඉලක්ක සපුරා ගැනීමට පළමුව කළ යුත්තේ උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් ආපසු ලබා දීමය. 2010 සිට 2017 දක්වා වසර 07ක කාලය තුළ මෙය විසඳාගත යුතුව තිබුණි. අනෙක් සාධකය වනුයේ දැනටමත් වසර 07 කට ආසන්න කාලයක් සිරගෙවල්වල සිටින චෝදනා නොමැති හෝ චෝදනා ඇති පිරිස පොදු සමාවකින් නිදහස් කර ආර්ථික ක‍්‍රියාවලියට එක්කර ගැනීමය. මේ පිරිස සිරගත කිරීමෙන් හා ඉඩම් නිදහස් නොකිරීමෙන් ඒ ප‍්‍රදේශය වෙළාගෙන ඇති දුප්පත්කමට විසඳුම් සෙවිය නොහැක.

ලංකාව වෙළාගෙන ඇති ආදායම් විෂමතාවය අඩු කිරීමට ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය විධිමත් කළ යුතුව ඇත. දැනට ක‍්‍රියාත්මක අධ්‍යාපන ප‍්‍රතිපත්තියේ ප‍්‍රතිලාභ ලබන්නේ ප‍්‍රධාන වශයෙන්ම ඉහළ ආදායම ලබන 40%කගේ දරුවන්ය. අධ්‍යාපනය සමාන වීමට නම් පළමු වසරට ඇතුළු වන සියලූ දරුවන්ට කුසලතා වර්ධනය කර ගැනීමට ලැබෙන අවස්ථා සමාන විය යුතුය. කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වන දරුවකු සහ මුලතිව් හෝ මොනරාගල පාසලට ඇතුළත් වන දරුවකු සමාන වන්නේ නැත. දරුවන්ගේ දෙමාපියන්ගේ ආදායම් හා අධ්‍යාපන තත්ත්වය මතද දරුවන්ගේ කුසලතා වර්ධනයට ඇති අවස්ථා එකින් එකට වෙනස් වේ. රටේ ආදායම් විෂමතාව අවම කිරීමට නම් සෑම දරුවකු කෙරෙහිම රජයේ අවධානය යොමු විය යුතුය.

ආදායම් විෂමතාව ඇති වීමට බලපාන හේතුවක් වී ඇත්තේ දැනට ක‍්‍රියාත්මක බදු ප‍්‍රතිපත්තියය. දැනට පවත්නා බදු ක‍්‍රමයෙන් 80%ක් ලැබෙන්නේ වක‍්‍ර බදු මඟිනි. ඍජු බදු ලෙස ලැබෙන්නේ 20%කි. මේ ප‍්‍රවණතාව වෙනස් කළ යුතුව ඇත. රජය යෝජනා කර ඇති බදු ක‍්‍රමය මෙයට හොඳ ප‍්‍රවේශයකි. මේ ක‍්‍රමය වඩාත් ප‍්‍රගතිශීලී කර ගැනීමට වාමාංශිකයන් උත්සාහ කළ යුතුය. 20% ද.දේ.නි. 50% අත්පත් කරගන්නේ නම් ඒ සියලූ දෙනා පෙරළා බදු ගෙවිය යුතුය. මේ පිරිසට වැඩි ආදායම් ලබා ගැනීමට හැකි වී ඇත්තේ බහුතරයක් අඩු ආදායම් ලබන නිසාය. මේ අඩු වැටුප් ලබන අයගේ වැටුප් වැඩි කිරීම් රජයට කළ නොහැකි වුවත් වැඩි වැටුප් සහ වැඩි ලාබ ලබන ආයතන සහ පුද්ගලයන්ගෙන් අයකර අඩු ආදායම් ලාභීන්ගේ සුබසාධනය සැලසිය හැකිය. ලෝකයේ දියුණු රටවල ක‍්‍රියාත්මක වන්නේ මේ ක‍්‍රමයයි. මෑතකාලීනව ලංකාවේ ප‍්‍රධාන සමාගම් අත්පත් කරගත් ප‍්‍රාග්ධන වත්කම් සලකා බලන විට සාපේක්ෂව එය ඉතා ඉහළය. මේ අධික ලාබ ලබා ගැනීමට ඔවුන්ට හැකි වූයේ සේවකයන්ට අවම වැටුපක් ගෙවීම සහ රජය ඔවුන්ගෙන් අවම බදු මුදලක් ගැනීම නිසාය. සාමාන්‍යයෙන් සමාගමකින් 20% ක් ප‍්‍රාග්ධන බද්දක් වෙනත් රටක අයකරනු ලැබුවත් ලංකාවේ සමහර අවස්ථාවල එය 0% මට්ටමේ ද ඇත.

සහනාධාර බෙදී යෑම සහ සහනාධාරවල ස්වභාවය විධිමත් විය යුතුව ඇත. සමහර සහනාධාර අවශ්‍ය වන්නේ නැත. සාමාන්‍ය පාසල්වල අද පරිගණක සාක්ෂරතාවය ඇත්තේ 25% කට මට්ටමේය. මේ සඳහා සහනාධාර සැපයිය යුතුය. ඒ වෙනුවට අධ්‍යාපන ඇමැතිවරයා යෝජනා කර ඇත්තේ උසස් පෙළ සිසුන්ට ටැබ්ලට් බෙදිල්ලකි. මේ ටැබ්ලට් ලබාගන්නා බොහෝ දරුවන්ට දැනටමත් ගෙවල්වල පරිගණක ඇත. ප‍්‍රධාන පාසල්වල ඉගෙන ගන්නා දරුවන්ගේ දෙමව්පියන්ට පරිගණකයක් ලබා දීමේ ආර්ථික හැකියාව ද ඇත. Sri Lanka State Of Economy (2017 IPS) වාර්තාවට අනුව සමස්ත පාසල් ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 10%කට ආසන්න පිරිසක් සිටින්නේ මූලික අධ්‍යාපන අවශ්‍යතා සපුරාගත නොහැකි තත්ත්වයේය. එසේ නම් ප‍්‍රමුඛතාව විය යුත්තේ අවම පහසුකම් නැති 10% ක් වන ශිෂ්‍ය ප‍්‍රජාවය.

ලංකාව දිස්ත‍්‍රික් වශයෙන් ගත් කල ඇත්තේ විශාල අසමානතාවකි. ද.දේ.නි. 50%කට ආසන්න ප‍්‍රමාණයක් කේන්ද්‍රගත වී ඇත්තේ කොළඹ දිස්ත‍්‍රික්කයේය. සියලූ සංවර්ධන කටයුතු/ සියලූ පහසුකම් හා සේවා කොළඹට කේන්ද්‍රගත වීම නිසා අධික ජන ඝනත්වය/ කැලිකසළ/ වාහන තදබදය අනිසි ප‍්‍රතිඵල ලෙස ලැබී ඇත. සංවර්ධනය සහ ප‍්‍රාග්ධනය අනෙකුත් ප‍්‍රදේශ කරා ව්‍යාප්ත විය යුතුව ඇත. 1990 දී ඇති කළ ඇඟලුම් ව්‍යාපෘතිය මෙයට හොඳ ප‍්‍රවේශයකි. ඒ ක‍්‍රමය දිගටම පවත්වාගෙන ගියේ නම් බොහෝ දුරට ආදායම් විෂමතාව අවම කිරීමේ හැකියාවක් තිබුණි.

ආදායම් විෂමතාව සඳහා බලපාන තවත් සාධකයක් වනුයේ වෙළෙඳපොළ අසමානතාවයයි. රැකියා ලබා ගැනීමේ දී ඇත්තේ විශාල අසමානත්වයකි. දේශපාලන සබඳතා මත පදනම්ව රැුකියා ලබා දීම බොහෝ දුරට සිදු වෙයි. රජයේ බලපත‍්‍ර ලබා දීම කොන්ත‍්‍රාත් ලබා දීම බොහෝ දුරට පවතින්නේ දේශපාලන අනුග‍්‍රහය මතය. 1977 සිට උතුරු නැගෙනහිර ප‍්‍රදේශ සඳහා බලපෑ ඇත්තේ වෙළෙඳපොළ අසමානතාවයයි. විශේෂයෙන් දෙමළ දේශපාලනඥයන් පාලනයට සම්බන්ධ නොවීම නිසා දෙමළ තරුණ තරුණියන්ට රජය පවත්වන තරග විභාග හැර රැුකියා ලබාගැනීමට වෙනත් මඟක් නැත. ද්‍රවිඩ ව්‍යාපාරිකයන්ට, සිංහල ව්‍යාපාරිකයන්ට ලැබෙන අවස්ථා දේශපාලන අනුග‍්‍රහය නිසා නොලැබී ගියේය.

දුර්වල ආයතනික පද්ධතියද ආදායම් විෂමතාව වැඩි වීමට හේතු වී ඇත. රජය විසින් සපයන සේවා ලබා ගැනීමට පැමිණෙන විට ආයතනවල ව්‍යාකූලත්වය නිසා සේවා ලබන්නාද ව්‍යාකූලත්වයට පත් වේ. මෙයට උදාහරණයක් අවශ්‍ය නම් බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අවට ක‍්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළ හැකිය. මේ සේවා ලබා ගැනීමට කොළඹ පැමිණිය යුතු නැත. ප‍්‍රාදේශීයව ලබා දීමේ පහසුකම් ලේසියෙන්ම ඇති කළ හැකිය. නීතිය ඉදිරියේ සැම දෙනාම සමාන යැයි ව්‍යවස්ථාවෙන් ප‍්‍රකාශ වුව ද එය එසේ වන්නේ ඊට අදාළ ආයතනික පද්ධතියක් ගොඩනැඟී තිබුණොත් පමණකි. විශාල මුදල් වංචාවලට ඇප ලබා ගැනීමට මුදල් බලය ඇති අයට හැකි වුවත් අඩු ආදායම් ලාභියකු රු 500 ක වංචාවකට හිරේ යන අවස්ථා ඇත.

උදාහරණයක් ලෙස රජයේ නිවාස ලබා දීමේ දී නිවාස ලබන්නා හෝ නොලබන්නා අතර වෙනස පැහැදිලි විය යුතුය. 1977 – 2014 දක්වාම රජයේ නිවාස ලබා දීමේ දී පාරදෘශ්‍යභාවයක් පෙන්වා නැත. සමහර අයට නිවාස 03 කට වඩා ලබා දී ඇත. පසුගිය දශක 05 තුළ බොහෝ සංවර්ධන කටයුතු සිදු වී ඇත්තේ බස්නාහිර පළාත තුළය. විද්‍යා විෂයෙන් උසස් පෙළට ඇති පාසල් 50% ක් ඇත්තේ බස්නාහිර පළාත තුළය. වෛද්‍ය ඉංජිනේරු පීඨවල 50% ක් ඇත්තේ බස්නාහිර පළාතේ සිසුන්ය.

ලංකාවේ ආදායම් විෂමතාවට දූෂණය ද අඩු වැඩි වශයෙන් බලපා ඇත. ලංකාවේ මෙතෙක් සිදු වූ වැඩිම වංචාව වූ වැට් බදු වංචාවේ සිට බැඳුම්කර වංචාව ද ඊට අමතරව ටෙන්ඩර් සහ කොන්ත‍්‍රාත් ලබාදීම් හරහා වන විශාල වංචා ද නිසා රජයට විශාල මුදලක් අහිමි වී ඇත. සාමාන්‍ය ගණනය අනුව එය ද.දේ.නි. 3% කට වඩා වැඩිය. ද.දේ.නි. 3%ක් යනු අධ්‍යාපනය සඳහා වෙන්කරන මුදලට වඩා වැඩි මුදලකි. දැනට පවතින ආයතනික රටාව දූෂණ වැළැක්වීමට ප‍්‍රමාණවත් නැත. දූෂණය නිසා අහිමි වන මුදල ආදායම් විෂමතාව අවම කිරීමට යොදාගත හැකිය. ආදායම් විෂමතාව සම්පූර්ණයෙන්ම රජයකට අවම කිරීම කළ නොහැකි වුවත් සෑම දරුවකුටම කුසලතා වර්ධනය කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසිය හැකිය. එසේ නම් අද දවසේ වමේ දේශපාලනය විය යුත්තේ සමානත්වය නොව සමාන අවස්ථා ලබා ගැනීමේ අරගලයයි.

විපුල කරුණාතිලක

ඔබේ අදහස කියන්න...