පසුගිය ලිපියේ න්‍යායාත්මකව සාකච්ජා කළ ‘Bio-Power’ සංකල්පයේ සමකාලීන භාවිතා පිළිබඳ සාකච්ජා කිරීම මෙම ලිපියේ අරමුණ වේ. මූලික හඳුන්වාදීමේ දී ‘Bio-Power’ යන ඉංග‍්‍රීසි යෙදුම අප විසින් ‘ජීව-බලය’ ලෙස සිංහලයට පරිවර්තනය කරනු ලැබුව ද මෙම සංකල්පයේ දාර්ශනික අර්ථය සම්පේ‍්‍රක්ෂණය සඳහා ‘ජීව-බලය’ යන යෙදුම නොගැළපෙන බව පෙනී යයි. මේ නිසා එය ‘දෛව – බලය’ ලෙස නැවත පරිවර්තනය කිරීමට සිදුවේ. දෛවය විසින් අපගේ ජීවිතය තීරණය කරනු ලබන බව අපට අවබෝධ වන්නේ පසු ආවර්තිතවය. ඒ අනුව අපට අනාගතයේ දී සිදු වන්නේ කුමක්ද යන්න දැනටමත් තීරණය වී ඇති අතර අනාගතයේ දී එම සිදුවීම් සිදුවූ පසු ඒවා දෛවයට අනුව කලින් සිටම තීන්දු වූ ඒවා බව අප විසින් අවබෝධ කරගනු ලබන්නේ ආපසු හැරී බැලීමේ දී ය. දෛවයේ මෙම නීතිය අපට වෙනස් කළ නොහැක. මන්දයත් දෛවය ක‍්‍රියාත්මක වන්නේ කිසියම් කේන්ද්‍රයක් හෝ පුද්ගලයෙකුගේ බලපෑම වටා නොවන බැවිනි. දෛව-බලය ද මීට සමාන වේ. දෛව-බලය ක‍්‍රියාත්මක වන කේන්ද්‍රයක් හෝ පුද්ගලයෙකු නොපවතී. නමුත් දෛව-බලයේ ඵලය අපි අත්දකින්නෙමු.

න්‍යාය සහ එහි භාවිතාව දේශපාලනයේ දී තීරණාත්මක සාධක වේ. ලංකාවේ වාමාංශිකයන් බොහෝ විට ආකර්ෂණය වන්නේ භාවිතාව වෙතය. මේ නිසා ඔවුන් න්‍යාය බැහැර කරයි. සමකාලීන වාමාංශිකයන්ගේ න්‍යාය සහ භාවිතාව පිළිබඳ මෙම ආකල්පය අපිට නම් හාස්‍යජනකය. දේශපාලනයේ දී න්‍යාය වැදගත් වන්නේ ඇයි? දේශපාලනයේ දී න්‍යායාත්මක අධ්‍යයනය ප‍්‍රමුඛ කාරණය වන්නේ එමඟින් අපට පවතින සමාජය අර්ථකථනය කිරීමට හැකි වීමයි. ඒ අනුව සමකාලීන සැබෑ දේශපාලන භාවිතාවක් යනු පවතින සමාජය සාර්වත‍්‍රික න්‍යායන්ට අනුව අර්ථකථනය කිරීමේ අසීරු කටයුත්තයි. රැුඩිකල් වාමාංශික පක්ෂයක නායකයෙකු පසුගිය දා පැවති රැස්වීමක දී ප‍්‍රකාශ කළේ ලංකාවේ ආර්ථිකය අධිරාජ්‍යයවාදයට අනුව ගොඩනැගී ඇති බවත් රට අධිරාජ්‍යවාදයට බිල්ලට දෙන පාලකයන් රටේ ප‍්‍රශ්නවලට වගකිවයුතු බවත් ය. අධිරාජ්‍යවාදය වැනි ෆැන්ටසියක් ගොඩනගාගෙන පාලකයන්ට දෝෂාරෝපණය කිරීම විසිඑක්වන සියවසේ වාම දේශපාලනයක් නොවේ. එය එකිනෙකා නොරුස්සන අසල්වැසියන් දෙදෙනෙකු අතර සිදුවන රණ්ඩුවකට සම වේ.  කෙසේ වෙතත් මෙම පක්ෂ වටා පුද්ගලයන් පිරිසක් ගුලියක් මෙන් එකතු වී සිටීම හරහා දෛව-බලයේ ප‍්‍රතිඵල අපට දැකගත හැකිය. මෙම පිරිස් එකතු වී සිටින්නේ කුමක් සඳහාද? එය ඔවුන්වත් දන්නේ නැත. ඔවුන්ට කළ හැකි එකම දෙය වන්නේ තැන් තැන්වල තමාගේ ශරීරයත් සමඟ පෙනී සිටීම පමණි. මෙම ශරීරවල ක‍්‍රියාකාරීත්ව වාමාංශික දේශපාලනය ලෙස ජනතාව වරදවා වටහා ගනී. නායකයන් ඇතුළු පක්ෂයේ ශරීර පාලනය වන කේන්ද්‍රයක් හෝ ක‍්‍රියාත්මක වන උපායමාර්ගික සැලැස්මක් නැත. සියලු දේ සිදුවන්නේ දෛව – බලයට අනුවය.

රාවය කතෘ වික්ටර් අයිවන්ගේ ‘පුනරුද ව්‍යාපාරය’ දෛව-බලයේ ක‍්‍රියාකාරිත්වය පෙන්නුම් කරන තවත් එක් උදාහරණයකි. පුනරුද ව්‍යාපාරය වටා එකතු වී සිටින්නේ: මහාචාර්යවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතීඥයන්, ගුරුවරුන්, ටියුෂන් ගුරුවරුන් ආදී වෘත්තිකයන්ය. මෙම වෘත්තිකයන් සමාජ ආයතන තුළ රාජ්‍යයට සේවය කිරීම සඳහා නිර්මාණය කළ පිරිසකි. ෆුකෝට අනුව ඔවුන් දෙයිව-බලයේ නිර්මාණ වේ. මෙම පිරිස සමකාලීන සමාජ ක‍්‍රමයේ පවතින ගැටලු හඳුනාගනු ලබන්නේ පරිපාලන ගැටලූ හෝ කළමනාකරණ ගැටලු වශයෙනි. දේශපාලකයන්ට වඩා වෘත්තිකයන්ගේ දෛව-බලය අද අධිනිශ්චය වී තිබේ. සමාජ මතවාදය ගොඩනැගෙන්නේ වෘත්තිකයන්ගේ අදහස්වලිනි. එමඟින්  සමකාලීන වාම දේශපාලනයේ පසුබෑම ද මනාව පෙන්නුම් කරයි. වික්ටර් අයිවන් වෘත්තිකයන්ගේ දෛව-බලයට අනුව ශික්ෂණය වී ඇති ආකාරය තේරුම් ගැනීම සඳහා අපි ඔහුගේම හඬට සවන් දෙමු.

”වන සතුන්ගෙන් කෘෂිකර්මයට හා ග‍්‍රාමීය ජන ජීවිතයට සිදුවී තිබෙන හානිය අළලා මා ලියන ලිපි කියවන දන්ත වෛද්‍යවරයෙක් දුරකථනයෙන් මා අමතා කතා කොට ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි අපූරු ප‍්‍රතිපත්තියක් මට යෝජනා කළේය. මෙම දන්ත වෛද්‍යවරයා හොඳ කියවන්නෙකු ලෙස සැලකිය හැකිය. ඔහු කියවන දේවල් අතර තිබෙන හොඳම දේවල් මගේ කියවීම සඳහා ද ඔහු මට ඊමේල් කොට එවන්නේය. මෙය ඔහු කිසියම් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යමින් තිබුණු ප‍්‍රතිපත්තියක් ලෙස ද සැලකිය හැකිය”- පුනරුදයේ සංවාද – රාවය

වික්ටර් අයිවන් පුනරුද ව්‍යාපාරය තුළ මාක්ස් සහ ෆ්‍රොයිඞ් ගැන සංවාද නොකිරීමට වගබලා ගැනීම එක් පැත්තකින් ආරක්ෂක උපාය මාර්ගයකි. මාක්ස් සහ ෆ්‍රොයිඞ් ගැන කිසිදු අධ්‍යයනයක් කර නැති අයිවන් නරුමවාදී වෘත්තිකයන් සඳහා ධනවාදයට ගැළපෙන ආකෘතියකින් ව්‍යාපාරයක් ගොඩනගා ඇත. සමකාලීන සමාජය තුළ බලය ක‍්‍රියාත්මක වන්නේ මෙවැනි කුඩා කල්ලි මඟිනි. මෙම බලයට මිනිසුන් කීකරු වන අතර එමඟින් සමාජය තුළ විවිධ ප්‍රතිඵල ඇති කරයි.

සමකාලීන වාමාංශික දේශපාලනය මුහුණ දෙන ප‍්‍රධාන  ගැටලුව වන්නේ රාජ්‍ය බලය විසින් සිදුකරනු ලබන මර්දනය නොවේ. අපි මුල් ලිපිවල දී සඳහන් කළ පරිදි රාජ්‍ය බලයේ නිශේධනාත්මක මෙන්ම ධනාත්මක ලක්ෂණ ද ඇත. මේ නිසා රාජ්‍යයේ ශික්ෂණ ක‍්‍රියාවලිය හොඳ -නරක භේදයට අනුව විවේචනය කළ නොහැක. නමුත් සමකාලීන තත්ත්වය තුළ දෙයිව-බලය රාජ්‍ය බැඳීමෙන් වෙන්වී පුද්ගල කල්ලි වෙත පැතිරී ගොස් ඇත. මෙම කල්ලි මඟින් ඇති කරන ප‍්‍රතිඵල රාජ්‍ය බලයට වඩා සුක්ෂ්ම වේ. එය අද දවසේ අපගේ ජීවිතවල අනාගත ඉරණම තීන්දු කරයි. රාජ්‍ය විශ්වවිද්‍යාලය නම් ආයතනය තුළ වෘත්තිකයන් බිහි කිරීමේ ශික්ෂණ ව්‍යාපෘතියක් පවත්වාගෙන යාම සාර්වත‍්‍රික ක‍්‍රියාවලියකි. නමුත් එම ආයතන තුළ ම විවිධ දේශපාලන කල්ලි බිහිවීම මඟින් සමාජයට ඇති වන බලපෑම අප මේ දක්වා නොසලකා හැර තිබිණ. රාජ්‍යය තමන්ට අවශ්‍ය පුද්ගලයා නිර්මාණය කරන ව්‍යාපෘතියක් තුළින්ම තමාට විරුද්ධ පුද්ගලයා ද නිර්මාණය කරයි. අවසානයේ එම පුද්ගලයා රාජ්‍යයේ පැවැත්ම අභියෝගයකට ලක් කරයි. මේ සියලූ‍ සිදුවීම් සඳහා කේන්ද්‍රයක් හෝ පාලනය කරන පුද්ගලයෙකු නොපවතී. ෆුකෝ  දෛව-බලය නම් සංකල්පය මඟින් මෙම බල ක‍්‍රීඩාව න්‍යාය ගත කිරීමට උත්සාහ කරන අතර දෛව-බලයේ උපායමාර්ගික බව පෙන්වා දෙයි.

අප තවමත් සිතාගෙන සිටින්නේ යූ.එන්.පී එකේ බලය ඇත්තේ රනිල්ට, නිදහස් පක්ෂයේ බලය ඇත්තේ මෛත‍්‍රීට, ජ.වී.පෙ. බලය ඇත්තේ අනුරට, පෙ.ස.පෙ. බලය ඇත්තේ කුමාර්ට යනුවෙන් නම් අප සිටින්නේ මුළාවකය. ඉහත කිසිම නායකයෙකු එකී පක්ෂවල කේන්ද්‍රයන් නොවේ. ඔවුන් විසින් ක‍්‍රියාත්මක කරනු ලබන දේශපාලන උපායමාර්ග නොපවතී. සමකාලීන දේශපාලන ප‍්‍රවාහයේ ගතිකත්වය තීරණය වන්නේ කේන්ද්‍රයක් නැති, පුද්ගලයකු නැති දෛව-බලය මඟිනි.    

ඔබේ අදහස කියන්න...