නිම්මි නාලිකා මැණිකේ විසින් ලියූ රචනයක් ලංකාවේ සිවිල් සමාජය විසින් උඩ දමමින් තිබේ. එම රචනයේ හෛඩගර් සහ මරණය සම්බන්ධයෙන් මෙවැනි අදහසක් දැක්වෙයි:

//එහෙත් මාර්ටින් හයිඩෙගර් (Being and Time, 1962) හා ජෝන් පෝල් සාත් (Being and Nothingness, 1957) මරණය මා සහ අනෙකා අතර පවත්නා සම්බන්ධයේ අවසානය ලෙස අර්ථ දක්වති. ඒ අනුව මරණය දුක් වීමට, පසුතැවීමට, හෝ බිය වීමට හෝ කරුණක් නො වේ. හයිඩෙගර්ට අනුව මරණය ඔස්සේ පැමිණෙන අවසානය මාගේ අවසානය නො වේ. එය මා අනෙකා සමග පවත්වන සම්බන්ධයේ අවසානය යි. ජීවත් ව සිටින තාක් කල් ‘මම’ මා බවට පත් වීමට කොතරම් ආශා කළ ද උත්සාහ දැරුව ද ඒ ආශාව හා උත්සාහය මුදුන් පත් කරගැනීමට අවකාශයක් නොලැබෙන්නේ මා සමඟ බැඳී සිටින අන් අය නිසා ය. ජීවත් ව සිටින තාක් කල් මට ඔවුන්ගෙන් වෙන් ව සිටීමට නොහැකි ය. තමාට තමා හමුවන්නේ අන් අය තමාගෙන් වෙන් වූ විට ය. ඒ ඉවත් වීම සිදු විය හැකි වන්නේ මරණයේ දී පමණි. එබැවින් මරණය යනු තමාට තමා හමු වන, තමා විය හැකි අවස්ථාව යි; මොහොත යි. මේ දර්ශනවල පවතින ගැටලුව වන්නේ ‘මම’ සහ අනෙකා අතර පවතින සබඳතාව කුමන හෝ ආකාරයකින් බිඳ හෙළීමට උත්සාහ දැරිය යුතු බව හැඟවීම හා එය තමා සතු හැකියාවක් බව දන්වා ඒ සඳහා උනන්දු කැරවීම ය. අනෙකා තම සතුරා හෝ බාධකය ලෙස සලකමින් අනෙකා තම අවකාශයට පැමිණීම වැළැක්වීමට මෙන් ම තම අවකාශයෙන් සහමුලින් ම ඉවත් කර දැමීමට හයිඩෙගර් හා සාත් උත්සාහ දරති; ඒ වෙන් වීම සිදු වන මොහොත පැමිණෙන තෙක් පුලපුලා බලා සිටිති. මෙය ආත්මාර්ථකාමී නැඹුරුතාවකි; අනෙකා සම්බන්ධයෙන් පවත්නා හිංසනාත්මක, ප්රචණ්ඩකාරී පිළිවෙතකි. //

 

මෙය කියවූ අපට අවංකවම ඇති වූයේ කණගාටුවකි. අප වසර දෙකක් පමණ කාලයක් හෛඩගර් ගේ “Being and Time” කෘතිය සම්පූර්ණයෙන් කියවා අවසන් කළේ මෙයට මාසයකට පමණ පෙරයි. එම පොතේ නම් හෛඩගර් මෙවැනි කතාවක් කියන්නේ නොමැති බව අපට සහතික විය හැකිය! මරණය යනු නිම්මි නාලිකා යෝජනා කරන පරිදි මම සහ අනෙකා අතර පවත්නා සම්බන්ධයේ අවසානය නොවේ. හෛඩගර් එය නම් කරන්නේ මගේ පැවැත්මේ වියනොහැකිභාවයේ වියහැකිභාවය ලෙසයි. මරණය යනු මිනිසා ගේ (තාක්ෂණික වචනය ‘ඩාසයින්’ වුවත් තේරුම් ගැනීමේ පහසුව සඳහා ‘මිනිසා’ යන්න යොදමු) විවිධ අනාගත හැකියාවන් අතර තිබෙන්නා වූ තවත් එක හැකියාවකි. හෛඩර්ගට අනුව මිනිසා ගේ පැවැත්ම යනු අනාගත හැකියාවන් වෙත වූ පැවැත්මකි. එනම් විභවාත්මක පැවැත්මකි. එම අර්ථයෙන් ගත්විට මිනිසා ගේ මරණය යන්න ද අපට තේරුම් ගත හැක්කේ ශරීරයේ ජෛවීය ක්රියාකාරිත්වය නතර වෙන ‘එක මොහොතක්’ ලෙස නොව අපගේ පැවැත්ම සෑම මොහොතකම දිශානත වූ හැකියාවක් ලෙසයි. හෛඩගර් මෙහිදී සත්ව සහ ශාක පැවැත්මවල් වල අවසානය (perishing) මෙන්ම මිනිසා ගේ ජෛවීය අවසානය (demise) යන්න ද ‘මරණය’ (death’) යන්නෙන් වෙන් කරයි. මරණය යනු මිනිසා ගේ විභවාත්මක පැවැත්මේ තවත් එක් වියහැකිභාවයකි. නමුත් අනෙකුත් හැකියාවන් මෙන් නොව එය අපට කිසිදා පසුකර යා නොහැකි හැකියාවක් වන නිසා එය අපගේ පැවැත්ම නිර්වචනය කිරීමේදී වඩා ප්රාථමික වන්නක් වෙයි. එනිසා මිනිසා යනු සිය අවසානය-වෙත-වූ-පැවැත්මක් (Being-towards-the-end) ලෙස අපට නම් කළ හැකි වේ. මේ අනුව මිනිසා ගේ අවසානය පිළිබඳව අර්ථකථනයක් ලබා ගැනීම සඳහා අප ප්රවේශ විය යුතු ආකාරය කුමක්ද කියා අපට පැහැදිළි වේ. හෛඩගර් උත්සාහ කරන්නේ මේ අවසානය-වෙත-වූ-පැවැත්මක් වන මිනිසා වැනි පැවැත්මක් හරහා පැවැත්ම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන ප්රශ්නයට පිළිතුරක් ගොඩ නැගීමටයි. මෙහිදී මූලික වෙන්නේ ඔහුගේ රැකබලාගැනීම (Care) නම් අති මූලික සංකල්පයයි.

”නිම්මි නාලිකා” මහත්මිය ගෙන් සහ ඇයගේ අදහස් උත්කර්ෂයට නංවන අයගෙන් අප ඉල්ලා සිටින්නේ මේ ප්රශ්න වලට පිළිතුරු දෙන ලෙසයි:
1. මරණය ඔස්සේ පැමිණෙන අවසානය මාගේ අවසානය නොවේ කියා හෛඩගර් “Being and Time” කෘතියේ සඳහන් කරන්නේ කොතනද?
2. මේ මගින් යෝජනා කරන්නේ මරණයේ දී අන් අය සමග සම්බන්ධය ඉතිරි වී තමාට තමා හමුවනවා යන්න ද? එහිදී සිදුවන්නේ ‘මම’ ගන්දබ්භයෙක් වී මේ ලෝකයෙන් වෙන් වී යාමද? එය නිම්මි නාලිකා මහත්මිය දැන ගත්තේ කෙසේද? (නැවතත් මේවා හෛඩගර් කියන්නේ කොතනද?)
3. හෛඩගර් කිව්වා කියා තමන්ගේ සිතට නැගෙන සිතුවිලි කියන එක අපේ රටේ රැඩිකල් මිනිසුන් බොහෝ දෙනෙක් අගය කරන්නේ ඇයි?

4. හෛඩගර් ගැන ගල් පැලෙන බොරු කියන අය උඩ දාන මිනිසුන්ම ජවිපෙ දේශපාලන මණ්ඩලය පමණක් ඔලිම්පියන් දෙවිවරුන් ගෙන් සමන්විත වනතුරු අපි නම් ඡන්දය දෙන්නේ නැහැ කියල කියන්නේ ඇයි?

Ranga Manupriya.

උත්තරය ඉදිරියට.

 

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here