යම්කිසි රටක ආර්ථිකය සාර්ව අර්ථයෙන් දියුණු කිරීමට අවශ්‍ය නම් ඒ රටේ බදු අය කර ගැනීමේ මිනුම් දඬු සහ ආකල්ප කෙරෙහි අපගේ දැඩි අවධානය යොමු කළ යුතුය. ලංකාවට බදු අය කර ගැනීම පිළිබඳ ජාතික රාමුවක් සකස් කර දීම ආරම්භ කර ඇත්තේ ද අපගේ යටත් විජිත ස්වාමියා වන බි‍්‍රතාන්‍ය ජාතිකයාය. ඔවුන් අපට සකස් කර දී ඇති රාමුව වන්නේ ආනයන – අපනයන ආර්ථිකයට අවශ්‍ය බදු අය කර ගැනීමේ ප‍්‍රතිපත්තියකි. සරලව කිවහොත් ඔවුන් අපට හඳුන්වා දී ඇත්තේ වෙළෙන්දන්ගෙන් බදු අය කර ගන්නා (වාණිජ ප‍්‍රාග්ධනය] ක‍්‍රමවේදයකි. නමුත් කිසිදු භාණ්ඩයක් නිෂ්පාදනය නොකරන, කිසිදු භාණ්ඩයක් ආනයනය හෝ අපනයනය නොකරන, මුදල්වලින් මුදල් මවන (කැසිනෝ ප‍්‍රාග්ධනය – ඔට්ටු අල්ලා ලාභ ලබන ප‍්‍රාග්ධනය] ප‍්‍රාග්ධනයක් හිමි ව්‍යාපාරිකයන් පිරිසක් ලංකාවේ මේ වන විට බිහි වී සිටිති. උදාහරණයක් ලෙස ඔබ කොළඹ නගරයේ හදවත ආශ‍්‍රිතව ගොඩනැෙඟමින් යන අති සුඛෝපභෝගී තට්ටු නිවාස සංකීර්ණ දෙසට ආර්ථික දෘෂ්ටි කෝණයකින් ඇස යොමු කරන්නේ නම් ඔබට ඇඳගත හැකි චිත‍්‍රය කුමක්ද?
මේ මහා තට්ටු නිවාසවලට ප‍්‍රාග්ධනය එන්නේ කොහෙන්ද? බොහෝ විට මේ සඳහා අවශ්‍ය මූල්‍ය ප‍්‍රාග්ධනය එන්නේ පාකිස්තානය, සෞදිය,  රුසියාව වැනි රටවල ධනපතියන්ගේ කළු සල්ලිය. බොහෝවිට ඒවා බදු ගෙවීම පැහැර හරිමින් උපයා ගත් ප‍්‍රාග්ධනයකි. සමහර විට එම ප‍්‍රාග්ධනය එන්නේ විවිධ අපරාධවලට සම්බන්ධ වීමෙනි. මෙම බහුජාතික කළු සල්ලි දේශීය ව්‍යාපාරිකයකුගේ සහයෝගය හරහා සුදු හෝ සම්මත ආර්ථික රටාවට ඇතුළු වෙයි. සරලව කිවහොත් බහුජාතික කළු සල්ලි දේපළ වෙළෙඳාම් ක්ෂේත‍්‍රය  හරහා සුදු සල්ලි බවට පත් වෙයි. රාජපක්ෂ රෙජීමයට සම්බන්ධ බොහෝ දෙනා ද මේ යුගයේ දී වෙනත් පුද්ගලයන් [සමහර විට ආණ්ඩුවේ ඇමැතිවරුන්] හරහා තමන්ගේ රහසිගත ආර්ථිකය දේපළ වෙළෙඳාම් හරහා සුදු පාට කර ගනිමින් සිටිති. 
‘ප‍්‍රාග්ධනය’ උපයන නූතන මාදිලීන් (මේ උපයන ක‍්‍රමය මේ වන විට ජාතික ආර්ථිකයන් ඉක්මවා යන නිසා – උදා -EBAY සහ  Amazon ආර්ථිකය] අතිසංකීර්ණ වී ඇති තතු යටතේ අප රටට තවදුරටත් ආනයන අපනයන ආර්ථිකයට අදාළ බදු ප‍්‍රතිපත්තිය ගැළපෙන්නේ නැත. එය යල් පැන ගොස් බොහෝ කාලයක් ගත වී ඇත. එබැවින් අපට සාර්ව බදු ප‍්‍රතිපත්තියක් සකස් කරගත යුතුය. මෙම බදු ප‍්‍රතිපත්තිය සකස් කර ගැනීමකින් තොරව අපට යථාර්ථවාදී ෆිස්කල් ප‍්‍රතිපත්තියක් [රජයේ ආදායම සහ වියදම තුලනය කරන ආර්ථික විද්‍යාව] සකස් කරගත නොහැකිය. 
ලංකාවේ බදු ප‍්‍රතිපත්තියේ ඇති මූලික දෝෂයක් හඳුනා ගැනීමට උදාහරණ කිහිපයක් වෙතට අපගේ අවධානය යොමු කරමු. ලංකාවේ ජනගහනයෙන් බදු ගෙවන්නේ 3%ක් වැනි අඩු ප‍්‍රතිශතයකි. මෙය කුමන අර්ථයකින් ගත්තත් සතුටුදායක නැති තත්ත්වයකි. ඊළඟට ලංකාවේ ජනතාවට බදු ගෙවීම ගැන ඇත්තේ නිශේධනාත්මක ආකල්පයකි. එය සන්නස්ගලගෙන් පටන් ගත් විට WILLS ඇඳුම් මුදලාලි හරහා ධම්මික පෙරේරා දක්වාම එක හා සමානය. බදු නොගෙවන විට තමන්ට ලැබෙන ‘සමාජ ධනය’ ඌන සංවර්ධනය වන බව දේශීය ධනපතියන්ටත් දුප්පතුන්ටත් අදහසක් නැත. ඊළඟ සංකීර්ණ තත්ත්වය වන්නේ බදු ගෙවීම පැහැර හරින අයගෙන් කප්පම් ලබා ගෙන එම බදු ගෙවීම පැහැර හැරීමට අදාළ දඩය අසාමාන්‍ය ලෙස අඩු කරන නිලධාරී මාෆියාවක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සිට භාණ්ඩාගාරය දක්වා සිටීමයි. ලංකාවේ ‘ඔබ’ බදු ගෙවීම පැහැර හරින්නේ නම් ඔබට ඒ සඳහා සහනයක් තුන් වැනි පාර්ශ්වයක් [අතරමැදියෙක් – සමහර විට ඇමැතිවරයෙක් හරහා පවා] හරහා ලබාගත හැකිය. මේ හේතුව නිසා ලංකාවේ රාජ්‍යයට විශාල බදු මුදලක් වාර්ෂිකව අහිමි වෙයි. ලංකාවේ ප‍්‍රධානම මට්ටමේ සියලූ ව්‍යාපාරිකයන් අප දන්නා පරිදි මෙම ජාවාරමට සම්බන්ධ අතර ඔවුන් කරන්නේ ඡුන්දයක් පවතින විට දේශපාලන නායකයන්ට කප්පම් ගෙවීමයි. ඔවුන්ගේ ආදායමට අනුව එය සොච්චමකි. 
රටක ආර්ථිකය දියුණු නම් හෝ එම රටේ ආර්ථිකය දියුණු තැනකට වර්ධනය කිරීමට අවශ්‍ය නම් ප‍්‍රතිශතයක් ලෙස දේශීය දළ ජාතික නිෂ්පාදනයෙන් ලැබිය යුතු බදු ප‍්‍රතිශතය 25-30%ක ප‍්‍රමාණයේ පැවැතිය යුතුය. 2015 මහ බැංකු වාර්තාව අනුව ලංකාවේ මෙම අගය පවතින්නේ 13% ක ප‍්‍රතිශතයේය.  මේ හේතුව නිසා ආණ්ඩුවට රාජ්‍ය වියදම් පාලනය කළ නොහැකිය. එපමණක් නොව කිසිදු සාර්ව ආර්ථික ප‍්‍රතිපත්තියක් මෙම හිඟය නිසා ප‍්‍රවර්ධනය කළ නොහැකිය. රටක බදු අය කර ගැනීමේ කාර්යක්ෂමතාව දුර්වල වන විට බිහි වන තවත් සමාජ රෝග ලක්ෂණයක් වන්නේ ජාවාරම්කාරයන්ගේ ආර්ථිකයක් බිහි වීමයි. 
මීළඟට ලංකාවේ බදු ක‍්‍රමයේ දැඩි විෂමතාවක් පවතියි. 1978 යුගයේ සමාගම් බද්ධ 60% දක්වා ඉහළ අගයක පැවති අතර එය මේ වන විට සම්මත අගය 28% දක්වා පහත හෙළා ඇත. ගැටලූව වන්නේ ලංකාවේ ප‍්‍රධාන ව්‍යාපාරිකයන් මෙම අගය ද නොගෙවා නිලධාරීන්ට මිලියන 500ක තරම් කප්පම් ගෙවා බදු මුදල් වංචා කිරීමයි. මෙම වංචාවන් පිළිබඳ හරවත් සංවාදයක් රටේ ඇති වී නැත. ඊළඟට 40% දක්වා බදු ප‍්‍රතිශතයක් මත්පැන් සහ දුම්කොළවල ආදායමින් අය කරයි. මෙය කැසිනෝ ක‍්‍රීඩාවටත් අදාළ කර ඇත. මෙම තත්ත්වය ඉතා නරක ප‍්‍රවණතාවකි. 
ආර්ථික මිනුම් දඬු නිර්මාණය කළ යුත්තේ සදාචාර දෘෂ්ටිකෝණයකින් හෝ භික්ෂූන්ගේ අගතිගාමී දෘෂ්ටිකෝණවලින් නොවේ. මේ මොහොතේ වැඩියෙන්ම බදු අය කළ හැක්කේ ඔට්ටු අල්ලන ප‍්‍රාග්ධනයෙන් සහ විනෝදය සපයන කර්මාන්තවලිනි. (මත්පැන් සහ සිගරැුට්] මෙමඟින් බදු ආදායම සම්පීඩනයට පත් වෙයි. මීළඟට පුද්ගලයන්ගෙන් බදු අය කර ගැනීමේ දී ද විෂමතා දක්නට ලැබේ. බොහෝ විට ලංකාවේ තනි පුද්ගලයන් උපයන ආදායමට අය කරන බදු මුදල සාපේක්ෂව අඩුය. නමුත් ඉන් සමාජයට සුගතියක් නොවන්නේ පුද්ගලයන් අත ඉතිරි වන මුදල විවිධ ක‍්‍රමවලින් අපනයනය වන නිසාය. 
ඉහත පසුබිම් කථනය ඔබට හොඳින් වැටහෙන්නේ නම් රටේ දැනට පවතින බදු ප‍්‍රතිපත්තිය නිසා රටේ දැනට ඉන්නා දුප්පතුන් තවත් දුප්පත් කරන අතර රටේ දැනට ඉන්නා පොහොසතුන් තව තවත් පොහොසතුන් කරන බව පැහැදිලිය. මෙමඟින් සමාජයේ ආදායම් විෂමතාව පුළුල් වන අතර සමාජ අසාධාරණය පුළුල් අවකාශයක පැතිරෙයි. මෙම අසාධාරණය වාමාංශිකයන් සිතන පරිදි හුදු ප‍්‍රාග්ධනයේ මෙහෙයුමක් නොවේ. එය බදු අය කිරීම පිළිබඳ දෘෂ්ටිවාදයේ යල් පැන ගිය ස්වභාවයක ඵලයකි. අවශ්‍ය නම් මෙය අපට මහජනයාගේ බදු ආකල්පය, හෝ බදු පිළිබඳ අවිඥානික ආශාව ලෙසින් ද නම් කළ හැකිය. මෙම තත්ත්වය සූරා කෑම පිළිබඳ ගැටලූවකට වඩා යටත්විජිත හිමියා ඉතිරි කර ගිය ශේෂයක් අපගේ ස්වභාවය ලෙස වැරැුදියට වටහා ගැනීමකි. ලංකාවේ ප‍්‍රධාන ආර්ථික අර්ථකථනවේදියා වන සමන් කැලේගම මහතාට මෙම තත්ත්වය කවදා වැටහේවිද? ලංකාවේ උන් මූල දෝෂය ඇත්තේ ධනවාදී ක‍්‍රමය තුළ නොව ලාංකේය ප‍්‍රාග්ධනයේ [ආත්මය] ඌන සංවර්ධනය  තුළය. දිලිත් ජයවීර එහි කැඩපතයි. 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. වික්ටර් රත්නායක සිද්දිය පිළිබඳව දීප්තිගේ විශ්ලේෂණය ඉක්මනින් අවශ්‍යයි.

Comments are closed.