පර-ප්රභූ ආරක්ෂක රථ වලට පාර ඉඩ දෙන්න එපා !!
එදා, සුද්දා අශ්වකරත්තයෙන් පාරේ යන කල ස්වදේශීකයන් අමුඩ ලේන්සුව කරෙන් ගෙන දෙකට නැමී පාරෙන් ඉවත් වී ඊට ඉඩ දිය යුතු විය. එසේ නොවුනහොත් අශ්වයාට තලන කසයෙන් සුද්දා ස්වදේශිකයන්ටද තැලීය.
සුද්දා වෙනුවට අද පාරේ ,පරන් භූන්, කියා ජාතියක් යති. ඔවුන්ගේ ගමනද එදා සුද්දා ගිය ගමනට වඩා වෙනසක් නැති බව මම අනුභූතිකව දැනගතිමි. අනුභූතික ලෙස දැන ගැනීම යනු පංචේන්ද්‍ර යන්ගෙන් යමක් දැන ගැනීමයි. මෙම දැනගැනීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ,අනුභූතික දැනගැනීමක්, වුයේ ඇස, කණ, නාසය, දිව, සම යන
පංචේන්ද්‍රයන්ම එකවර පුපුරා යන තරමේ මුෂ්ඨි ප්‍රහාරයක්ද මුහුණපුරා ලබමින් උක්ත අත්දැකීම ලැබීමයි.
ඒ පසුගිය අගහරුවාදාය. මා කොහුවල සිට 120 මාර්ගයේ ටවුන්හෝල් දක්වා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියෙමි. වේලාව දහවල් 12.30පමණ ඇත. වැල්ලවත්ත හැවුලොක් ටවුමේ හින්දු කෝවිල පසුවනවාත් සමගම පිටු පසින් මහ හඩක් නගමින් පැමිණෙන පර-ප්රභූ ආරක්ෂක රථ පෙලක් දුටුවෙමි. අප රටේ බොහෝ දෙනෙකුට මෙන්ම මටද එවෙලේ එම දසුන ජුගුප්සාජනක සේම ලේ කෝප කරවන එකක්ද විය. නමුත් නීතිය කෙසේ වෙතත් මේ රටෙහි අප පුරුදු වී ඇති සාමාන්‍ය ආකාරය අනුව මා ඊළගට කල යුත්තක් විය. එය නම්, මා පදවන යතුරුපැදිය ඔවුන් පැමිණෙන මාර්ගයට ඉඩදී පසෙකට ගැනීමයි. එකවරම නොකලද මම ද, එවේලේ එය කලෙමි. මගේ යතුරුපැදිය වම්පසට ගෙන උක්ත රථ පෙලට යාමට ඉඩදුනෙමි. සයිරන් හඩවමින් පැමිණි පොලිස් යතුරුපැදිය, අංක තහඩු නොමැති කලූ පැහැති BMW රථය හා ආරක්ෂක බලූ කුක්කන් රැගත් සුදුපැහැති KH 1019 දරන ඩිෆෙන්ඩර් රථය ක්ෂණයකින් මා පසුකර යන ලදි.
නමුත් එකවරම අප සියලූ දෙනාගේ ගමනට බාධා කරමින් විශාල මාර්ග තදබදයක් ඉදිරියෙන් ඇති විය. එම නිසා උක්ත රථ පෙලද මාගේ යතුරුපැදියද තවදුරටත් ඉදිරියට යාමට නොහැකි වුයෙන් පාරේ නැවතුනි. මට එතරම්ම නිච්චියක් නොවුවත් කලූපාට තඩි BMW රථය මාගේ දකුණු පසින් වාහනය තදබදය හේතුවෙන් නතර වී ඇති බව ඇස් කොනින් දුටුවෙමි. නමුත් එකවරම මට එදෙස බැලීමට සිදුවුයේ ඊට පසු පසින් පැමිණි සුදුපාට ඩිෆෙන්ඩර් රථයෙන් විශාල බිරුම් හඩවල් කීපයක් ඇසීමෙනි.
“ඕයි, බයිසිකල් කාරයා, ඔතනින් අයින් වෙනවා” බිරුම් හඩින් කිය විණි.
මට කාරණය වැටහුණි. ලෙවූ මස්කටු දිරවීම අරඹා තිබුණි.
මා නොඇසුනා සේ සිටියෙමි.
“උඹේ කන් ඇහෙන්නේ නැද්ද? , ඕක හරව ගනින් කන පලාගන්නේ නැතිව, කියපු එක ඉක්මනට කරපං.” මෙවර බිරුම් හඩවල් කීපයකි.
මම හැරී බැලූවෙමි.
“ඇයි මොකද ප්‍රශ්ණේ? “
බුරන්නන්ගෙන් මමද විමසීමි.
“අඩෝ මු කතාවටත් එනවා මැරුම් නොකා ඕක අයින්කරන් පලයන් වේසිගේ පු ….,”
මගේද රතු ඉර දැන් පැන ඇත.
“ඇයි මම අයින් කරගන්නේ ? යන්න පුලූවන් ප්‍රමානණට ඉඩ දුන්නා, තවත් කොහෙටවත් මම යන්නේ නෑ. මම පාරේ යන්න ඕන විදිය කියන්න ඕගොල්ලන්ට තියෙන අයිතිය මොකද්ද ?”
මාද බුරන්නන්ට නොදෙවෙනි හඩින් කියවාගෙන ගියෙමි.
ඉන් අනතුරුව එම අයිතිය මට කියා දීමට එක් බුරන්නෙකු ඉදිරිපත් විය.
සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයෙන් හැඩිදැඩි ආරක්ෂ්ක නිලධාරියෙකු ඔහුගේ T56වර්ගයේ ආයුදයද රැගෙන බිමට පැන්නේ ක්ෂිණයකිනි.
ඔහු එක් වරම මාවෙත පැමිණ තුවක්කු බඳෙන් යතුරු පැදිය මත තිබු මාගේ කකුලට පහරක් ගසන ලද අතරම තම දකුණතින් මාගේ මුහුණට වැර යොදා මුශ්ඨි ප්‍රහාර කීපයක් එල්ල කරන ලදී. මොහොතකට පසු පොලිස් සයිරන් හඩ ඈතට ඇදී යන හඩ සිහිනයෙන් මෙන් ඇසුණු අතර බොඳ වුණු දෑසින්ද, පුපුරු ගසන කනින්ද, ලේ රස සහිත දිවෙන්ද, තැලී ගිය නහයෙන්ද යුතුව සිටි මා දෙස අසරණව බලා සිටින අවට ජනයා දෙස හිස ඔසවා බැලීමි..
එදින මට එල්ලවු ප්‍රහාරය පිළිබඳ මගේ අත්දැකීම එසේ විය. නමුත් මෙරටෙහි තවත් බොහෝ දෙනෙකුට, මෙවැනි තවත් බොහෝ අත්දැකීම් ඇති බව නිසැකය.
උක්ත සඳහන් පර-ප්රභූ ආරක්ෂක නිලධාරියාගේ ප්‍රහාරය පිටුපස විශාල කථාන්තරයක් ඇත. ඔවුන් මුලින්ම මග යනෙන අනිකුත් ජනතාව තඹ දොයිතුවකට මායිම් නොකරමින්, සියලූ රථවාහන ඉවත්කරමින් සියලූ මාර්ග නීති සම්ප්‍රදායන් උල්ලංඝනය කරමින් පාරේ ගමන් කරන ආකාරය පිළිබඳ සිතා බලන්න. එමෙන්ම පාරේ මිනිසුන් බලූ කපුටන් තරම්වත් මායිම් නොකරමින් ඔවුන්ට නියෝග දෙන ආකාරය අඩුමතරමේ යමෙකු එම රථයක ගැටුනද, තුවාලකරුවා දෙස බැලීමටද කල්ගත නොකර ගමන් කරන විලාශය හා උක්ත සඳහන් කළ අයුරින් කලාතුරකින් හෝ මේ තත්ත්වය අභියෝගයකට ලක් කරන්නකු වේ නම්, කිසිදු බියකින් සැකයකින් තොරව මහ දවල් ගිනි අවිද රැගෙන පැමිණ අභියෝග කරන්නාගේ මුහුණකට සමතලා කරන ආකාරයෙන් ප්‍රකාශ වන්නේ කුමක්ද ?
අන් කිසිවක් නොව බලයයි. එසේ මෙසේ බලයක් නොව රාජ්‍ය බලයයි. මා මුහුණදුන් අත්දැකීමේදි උක්ත පර-ප්‍රභූ ආරක්ෂිකයා රථයෙන් බැස ආ සාඩම්බර විලාශය, ඔහු තම රාජකාරි ගිනි අවිය කිසිදු චකිතයකින් තොරව මට එල්ල කල ආකාරය තුලින් ප්‍රකාශ වන්නේ ඒ බලයයි. ඒ බලය කෙසේද යත්, ,මේ යතුරුපැදිය මත සිටින්නා කවරකු වුවත්, ඒකා මා රකිනා ප්‍රභූවරයාගේ ගමනට අභියෝගකල නිසා මම උගේ මුහුණ කට සමතලා කරමි, මට ඊට අයිතියක් ඇත, එමගින් මගේ එක රෝම කූපයකට හෝ කිසිදු හානියක් නොවේ, යන හැගීම කිසිදු දෙගිඩියාවකින් තොරව ඔහු තුල නොවේ නම් උක්ත කථා බහ ඇතිවු වහාම එවැනි පහරදීමකට ඔහු ඉදිරිපත් නොවේ.
ඒ නිසා ප්‍රභූ රථ නමින් අද මේ මහමග එහේ මෙහේ යන්නේ ඒ බලයයි. දෙනෝදාහක් බලා සිටියදී මට ප්‍රසිද්ධියේ පහරදුන් ආකාරය තුලින් ප්‍රකාශයට පත් වන්නේ ඒ මහා බලයයි. ඒ බලය කවරෙකු විසින් දෙන ලද්දක්ද ? කිසිදු දෙගිඩියාවකින් තොරව පැවසිය හැක්කේ එය අප විසින්ම දෙන ලද්දක්ම වන බවයි. මන්ද මේ ආකාරයේ සෘජු ලෙස ජනතාව පෙළ ක්‍රියා යාමාර්ග වලට සේම පොදුවේ මර්ධනකාරි පාලනයට අපගේ අනුමැතිය දී ඇත. එනම් අපද පොදුවේ මෙවන් තත්ත්ව යන් භාරගනී, අනුමත කරයි.
උක්ත ප්‍රභූ ගමනම, මීට උදාහරනයක් ලෙස දිය හැක. එම ප්‍රභූ ගමන හා ඔවුන්ගේ ප්‍රභූ ආරක්ෂකකයන් අපට කොතරම් කරදරකාරී වුවද අවිඥානිකව අප තුල ඊට කැමැත්තක් ඇත. මදකට සිතා බලන්න ඔබගේ ගමේ සාමාන්‍ය දේශපාලනඥයන් මෙවන් ආරක්ෂකකයින් හෝ වාහන පිරිවරා ගමන් නොකරයි. (ඔහු හොඳ මිනිහෙකැයි ඉන් අදහස් නොවේ. ඔහුටත් ඒවා තිබුණානම් ඔහුද ඒවා කරය) නමුත් පයින් යන ඔහුට වඩා ආරක්ෂයින් පිරිවරා වාහන ගනනාවකින් යන මේ පර-ප්‍රභූවරයා පිළිබඳව අප තුලම ප්‍රභාවක් තිබේ. අප ඒ දෙස බලන්නේ විශ්මිතව මිස විරෝධයකින් නොවේ. අපිට ඒක මාර එකක් වේ. එවැන්නක් දුටු විට අප පවසන්නේ,
,කොහොමද ගිය වාහන පේලිය?, ,කොහොමද සිකියුරිටි එක?, ,කොහොමද පාරේ අනිත්පැත්තෙන් දාලගිය හැටි?, ගියේ අසවලා බව දනී නම්, ,එයාට ඇර වෙන කාටද එහෙම යන්න පුලූවන් ? ,
අප බොහෝදෙනෙක් මේවා දෙස බලන්නේ මෙසේය. ඒ මෙම මර්ධනකාරි පාලනයට අප තුල ඇති එකගත්වයයි. එම නිසා අප වටහාගත යුතු වන්නේ පාලකයන් මේ තත්ත්ව යන් පවත්වාගෙන යන්නේද මේ පාලනය මෙලෙසම ගෙන යන්නේද අපගේ එකගත්වටයද සහිතව වන බවයි.
එසේම ඒ එකගත්වය නිර්මානය වීම කරන්න වෙන කිසිවක් නැති වීම නිසාද සිදුවේ. අපි ඕකට මොකද කරන්නේ ? කලූ ගලේ ඔලූව ගහගන්න අපට පුලූවන්ද ?, යනුවෙන් අපටම සිතේ. කෙසේ වෙතත් මේ පර-ප්රභූ ආරක්ෂක මරුවන් වේගයෙන් අප වටා සැරිසරමින් තිබේ. ඔවුන් අපේ පාසල් යන දරුවන්ගේ හිස් පොඩි කරමින් සිටි. අපහට ගෙම්බර්, දමමින් අපේ දෛනික දින චර්යාව අවුල් කරමින් සිටි. අප මීට කුමක් කරමුද ?
පළමුකොටම මෙම තත්ත්වටය පාලකයන්ගේ බලය තුලින් පැනනගින්නක් බවද, එය අපගේද කැමැත්ත ඇතිව පවත්වාගෙන යන බවද තේරුම් ගත යුතුය. එමෙන්ම පොදු ජනතාවක් ලෙස පොදුවේ මීට එරෙහි විය යුතුය. එම නිසා පර-ප්‍රභු ආරක්ෂලක රථ වලට පාරේ පසෙකට වී ඉඩදීම සුද්දා අශ්වකරත්තයෙන් යන විට දෙකට නැමී පාරෙන් ඉවත් වීමට නොදෙවෙනි ක්‍රියාවක් බව තේරුම්ගත යුතුය. පර-ප්‍රභූ ආරක්ෂමක රථ වලට මාර්ගයේ තවදුරටත් ඉඩ නොදෙමින් මේ තත්ත්‍වයට එරෙහිව සටන් වැදීමට ඔබට ඇරයුම් කර සිටිමි.
–උදුල් ප්‍රේමරත්න-