[dropcap color=”red”]ප[/dropcap]සුගිය දිනෙක නිර්නාමිකව අන්තර්ජාලයේ පළවූ ලිපියකින් වැදගත් ප්‍රස්තූතයක් මතු කොට තිබුණි.ප්‍රස්තුතයට නිමිත්ත වී තිබුනේ අසෝක හදගම විසින් නිර්මාණය කිරීමට නියමිත ච්ත්‍රපටියකට ස්වර්ණා සහ ධර්මසිරි රංගනයෙන් දායක වීමක් ගැන ප්‍රවෘත්තියකි. වසර 35කට පසු සිදු වන්නට නියමිත අලුත් සිදුවීමකට අදලාව නිර්ණාමිකයා අපූරු ප්‍රබන්ධයක් ගොඩනගා තිබුණි.

ඔහු/ඇය තම ආඛ්‍යානය ගොඩ නගා කිබුනේ පහත පරිදිය.

01 හංස විලක් තුළින් ධර්මසිරිට සහ ස්වර්ණාට ප්‍රේක්ෂකයා කැළඹවීමට හැකි වූයේ වෙන කිසිම දෙයක් නිසා නොව ඒ වන විට ඔවුන් සිටි ආත්මීය සම්බන්ධය නිසාය. ආදරය,ජීවිතය,ලිංගිකත්වය සියල්ල බෙදා ගනිමින් සිටින දෙදෙනෙකුට අමුතුවෙන් රගපෑමට දෙයක් නැත. මන්ද ඔවුන් දෙදෙනා ගේ හැගීම් වැටහෙමින් තිබෙන නිසාවෙනි.එදා ඒ රොමැන්තික ශාරීරික සම්බන්ධතාවය සිංහල සිනමාව කැළඹීය.

නමුත් දැන්…

02 අපට දැන් සිටින්නේ එදා මහා සම්ප්‍රදායට පිටුපා තමන් ගේ නිදහස් ජීවිතය වෙනුවෙන් සිටගත් ස්වර්ණා හෝ ඒ ජවසම්පන්න ධර්මසිරි හෝ නොවේ. එපමණක් නොව ස්වර්ණා දැන් කතා කරන්නේ තමන් ගේ ජීවිතය වෙනුවට සායි බබා  බුද්ධ ධර්මය වැනි අනුන් දෙන ජීවිතයයි. සරලව කිවහොත් දැන් සිටින්නේ ජවය සිදගත් ධර්මසිරි සහ උපාසක ස්වර්ණාය.

පළමුවෙන් සමාවන්න!

මම හේගල් දර්ශණය කියවා ඇත්තෙමි. එම දර්ශණයට අනුව නම් න්‍යාය විග්‍ර කළ යුත්තේ ජීවිතය නොව චින්තනයයි. වෙනත් රටවල මිනිසුන්ට ප්‍රඥාව පහල වන්නේ ජීවිතයෙහි සන්ධ්‍යවෙහිය. නමුත් ලංකාවේ සිදු වන්නේ එහි කණපිට පැත්තය. ලංකාවේ වඩා අර්ථවත්,සුන්දර,හෘදයාංගම යැයි කියවෙන්නේ තරුණ කාලයයි. වඩා නීරස,කාළකන්නි,හුදකලා යැයි කියවෙන්නේ මහළු කාලයයි.

මම මගේ අත්දැකීම් දැන් සාරාංශ ගත කරමි.

නිර්ණාමිකයා කුමක් කීවද ස්වර්ණා සහ ධර්මසිරි අතර තරුණ කාලයේ පැවතියේ ආධ්‍යාත්මික,රොමැන්තික,සම්බන්ධයක් නොවේ. එය ඊෂ්‍යාව සහ භීෂණය මත පදනම් වූවකි. ඒ ගැන විස්තර නොකියමි.

නමුත් පරිණත ජීවිතයක් කරා එන විට ස්වර්ණා සහ ධර්මසිරි එකානෙකාව හොදින් වටහා ගන්නේය. ශරීරය මත නොව විඥාණය මත ඔවුන් ගේ ඇසුර පදනම් විය. එක් අයෙකුගේ සමීපතමයෙකු කෙරෙහි අනෙකාට ඊෂ්‍යාවක් නැත. දුකකදී , කරදරයකදී,විදුලි සැර වේගයෙන් එකිනෙකාට සමීප වෙයි. නින්දාවේදී සහ සම්පතමයන් ධර්මසිරි අතහැර යන විට ඔහුගේ තනියට ඉතිරි වූයේ ස්වර්ණාය.

එබැවින් ඔවුන් ගේ මිනිස් සම්බන්ධයට විශ්වාසය සහ ප්‍රඥාව නම් බස්සා තටු සැලීම ආරම්භ කර ඇත්තේ දැන්ය. තරුණ වියේ කල මෝඩකම් වලට ඔවුන් සිනහ වන්නේ දැන්ය. ප්‍රඥාව මිනිස් ජීවිතයට ළගා වන්නේ සන්ධ්‍යාවෙහියැයි හේගල් කියන්නේ මේ නිසාය.

ස්වර්ණා සහ ධර්මසිරි අසෝක ගේ අලුත් ච්ත්‍රපටියේ රගපානු ඇත්ද? නැද්ද?යන්න මම නොදනිමි. නමුත් ඔවුන් එසේ කළ හොත් එය On Golden Pond වැනි සුන්දර කෘතියක් වනු ඇත.

ඔවුන් ගේ අලුත් කෘතිය සිනමාව ගොඩදානු ඇත්ද? මම නොදනිමි. එකක් මම දනිමි. අද අපේ රටට වැසිය යුතු පළමු වැස්ස වූ විප්ලවවාදී මනුෂ්‍යත්වය එමගින් වැටෙනවා නම් සිනමාවට කුමක් වුවත් මොකෝ?

-දීප්ති කුමාර ගුණරත්න-

 

…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

නිර්ණාමිකයාගේ ලිපිය පහතින්  කියවන්න

ස්වර්ණාට සහ ධර්මසිරිට ලාංකීය සිනමාව දැන් ගොඩදැමිය හැකිද ?

ස්වර්ණා මල්ලවාරච්චි කාලයකට පෙර ලාංකීව සිනමාවේ සිටි ජාත්‍යයන්තර තලයට ගෙන යා හැකි රංග වින්‍යාශයක් නැතහොත් සිනමැටික් ඩයිමෙන්ෂන් තිබූ නිළියකි.

අනෙක් පැත්තෙන් ධර්මසිර් බණ්ඩාරනායක සිනමාව තුළ සිය ජීවිතය අතුරා ප්‍රේක්ෂකයා අමන්දානන්දයට පත්කල සිනමාකරුවෙකු සේම අන්තර්ජාතික සම්මාන ලබා ගැනීමේ ගේමට සිනමාපට නිර්මාණය කරනා ජාත්‍යයන්තරයැයි කියනා සිනමාකරුවන්ට වඩා ජාත්‍යයන්තරයට යා හැකි සිමාකරුවෙකි.( පසුගිය කාලය පුරාම ධර්මසිරි තමන්ගේ විෂය වෙනුවට තෝරාගෙන තිබුෙණ් දේශපාලන පෙත්සම් වෙනුවෙන් අත්සන් තැබීයයි – අවධාරනය මගෙනි )

ස්වර්ණා – ධර්මසිරි යුගය කලක් ලංකීය සිනමාව කැලඹූ යුගයක් බවට කිසිදු සැකයක් තැත. නමුත් අලුතෙන් මේ යුගල පද ගැන යමක් කීමට බලකර සිටියේ අද උදෑසන අන්තර්ජාලයේ දුටු පුවතක් හේතුවෙනි.

පුවත් මෙසේය ;

” 70 දශකයේ ඉතා ජනප්‍රිය සිනමා නිර්මාණයක් වූ ‘හංස විලක්’ චිත්‍රපටයේ එක්ව රගපෑ ස්වර්ණා මල්ලවආරච්චි හා ධර්මසිරි බණ්ඩාරනායක නැවත 35 වසරකට පසු රඟපෑමෙන් එක්වීමට තීරණය කර තිබේ.

ඒ අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කරන නවතම චිත්‍රපටියේය.

අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කල සිය පළමු සිනමා නිර්මාණය වන ‘චන්ද කින්නරී’ හි ප්‍රධාන චරිතය රඟපෑවේද ස්වර්ණා මල්ලවආරච්චි ය.

වසර 35 කට පසු ස්වර්ණා හා ධර්මසිරි මෙසේ එක්වී රගපෑම සිංහල සිනමාවේ සුවිශේෂී අවස්ථාවකි. ”

මෙය දුටු විගස අපට නැගුණු ප්‍රශ්ණය මෙසේ සරලව සටහන් කළ හැකිය.

හදගමට ස්වර්ණා-ධර්මසිරි ලවා සිංහල සිනමාව දැන් ගොඩදැමිය හැකිද යන්නයි.

60-70 දශකකයේ අගභාගයෙන් පසු ලංකීය සිනමාව ගමනකර තිබුණේ දියුණු පරිණාමක් දක්වා නොව තිබූ පරිහාණියක් දක්වා වෙයි. එතැනින් පසු ඇරඹෙන සිනමා යුගය විපරිතයන් පිරිසක් බිහිකරා මිස නලු-නිළියන් හෝ නිර්මාණ බිහිකලේ නැත. ඒ අතරින් පතර තමන්ගේ උණට සිනමා නිර්මාණ කළ කීපදෙනෙක් පමණක් ලංකීය සිනමා යම්තරමක් හෝ දුරට රැකගෙන පැමිණියේය.අපේ කාලයේ හදගම අයිති වන්නේ ඒ කුලකයට වෙයි.

මේ සටහන ලංකීය සිනමාවේ අාගමනය සම්බන්ධව විමසීමක් කිරීමට නොව හදගම සමග නැවත කරලියට පැමිණ ඇති ධර්මසිරි-ස්වර්ණා යුගයට සිංහල සිනමාව වැටී ඇති තැනින් ගොඩ දැමිය හැකිදැයි විමසා බැලීමකය.

“බවදුක” චිත්‍රපටයට සම්මාන අරගෙන ස්වර්ණා කළ ප්‍රකාශය ලංකීය නිළියක් කල අතිශය අවංකම ප්‍රකාශය සහ නිර්භීතම අදහස් දැක්වීමක් විය. එදා ස්වර්ණා කීවේ “ධර්මසිරිගෙන් මට සම්මාන තුනක් ලිබිලා තියෙනවා, ඒ “හංසවිලක්”, “බවදුක” සහ “මගේ දුව”.
මගේ දුව යනු තවත් සිනමා පටක් නොවන අතර එය ධර්මිසිරි සහ ස්වර්ණා යුගයේ ආදරයේ සංඛේතය විය. එනම් ධර්සිරි විසින් ස්වර්ණාට ලබාදුන් ජීවන ත්‍යාගයයි.

හංසවිලක් තුළින් ධර්මසිරිට සහ ස්වර්ණාට ප්‍රේක්ෂකයා කැලඹීට හැකිවූයේ වෙන කිසිම දෙයක් නිසා නොව ඒ වනවිෙ ඔවුන් සිට අත්මීය බද්ධයක සිටි නිසාවෙනි.

ආදරය, ජීවිතය , ලිංගිකත්වය සියල්ල බෙදාගිනිමින් සිටින දෙදෙනෙකුට අමුතුවෙන් රගපෑමට දෙයක් නැත. මන්ද ඔවුන් දෙදෙනා ගේ හැගීම් දෙදෙනට වැටහෙමින් තිබෙන නිසාවෙනි.

එදා ඒ රෙමැන්තික-ශාරීරික සම්බන්ධතාව සිංහල සිනමාව කැලඹීය. එය හරියට සුනිල-නන්දා යුගය වැනිම විය. අප නන්දා මාලනීගේ ගීයේ මෙතෙක් දුර පැමිණියේ කෙසේදැයි විග්‍රහකරන විට ඈගේ සංගීත කුසලතා පමණක් පත පිහිටා විග්‍රකරනු ලැබූවද එම අර්ධ සත්‍යයකි. උදාහරණයන් ලෙස සුනිල් ආරියරත්න ලියන පදරචනයට අදාළ ආත්මීය ස්වරය නන්දා දනී. එය සංගීත ඥානයෙන් ලැබූවක් නොව දෙදෙනා අතර තිබූ රොමැන්තික-ශාරීරින සම්බන්ධතාවයේ ප්‍රතිභාවයන්ගෙන් වෙයි. (දැන් නන්දාෙගන් ඇසූවහොත් මේවා ගැන වැල් බයිලා කියනු නොඅනුමානය)

ධර්මසිරි-ස්වර්ණා යුගයටද මෙයම අදාළය. පුදුමය වන්නේ සිනමා පටය තුළ ස්වර්ණාව හොදම නිළිය දක්වා මෙහෙය වීමට ධර්මසිරිට නොහැකි වුවහොත්ය. මන්ද මේ සම්බන්ධතා ජනප්‍රියවාදී ෆොටෝ ජෙනික් සම්බන්ධතාවයන්ගේ එපිටට ගිය ජීවන සම්බන්ධතා නිසාවෙනි.

නමුත් දැන් හදගමගෙන් මේ ප්‍රශ්ණය ඇසීමට අපට සිදුව තිබේ. ” ස්වර්ණා-ධර්මසිරි ලවා ලාංකීය සිනමාව දැන් ගොඩදැමිය හැකිද ? ”

හේතුව අපට දැන් සිටින්නේ එදා මහා සම්ප්‍රධායට පිටුපා තමන්ගේ නිදහස් ජීවිතය වෙනුවෙන් සිටගත් ස්වර්ණා හෝ ඒ ජව සම්පන්න ධර්මසිරි නොවේ. ඒ වෙනුවට පැරණි නොස්ටැලියානු මතක පමණක් ඇති යුගලකි.

මෑතකදී ස්වර්ණා කළ ප්‍රකාශක් එදා ස්වර්ණා සහ අද ස්වර්ණා අතර වෙනස පැහැදිලිව ලකුණු කරයි.

” මම කරපු යම් ප‍්‍රකාශ ගැනත් සමහරු කතා කළා. මට මතකයි මම “බවදුක” චිත‍්‍රපටයට සම්මාන අරගෙන ප‍්‍රකාශ කළා “ධර්මසිරිගෙන් මට සම්මාන තුනක් ලිබිලා තියෙනවා, ඒ “හංසවිලක්”, “බවදුක” සහ “මගේ දුව” කියලා. ඒ ගැන බොහෝ අය කතාකළා .සමහරු මගෙන් අහුවා. මම ඒක පෙර සූදානමකින් ප‍්‍රකාශ කළ දෙයක් නෙමේ. ඒ මෙහොතෙ ක්‍ෂණීකව ආ හැගීමක් ප‍්‍රකාශ කළා විණා මට සම්මානයක් තිබුණාදැයි පවා මා දැන සිටියේ නැහැ.”

මේවා පමණක් නොව දැන් ස්වර්ණා කථාකරන්නේ තමන්ගේ ජීවිතය වෙනුවට සායි බබා, බුද්ධ ධර්මය වැනි අනුන් දෙන ජීවිතය ගැනය. එදා ධර්මසිරි සමග සිටියේ ජීවිතය බෙදා ගත් ගැහැණියකි. අද අපට හමුවන්නේ තවමත් සමාජ වෙනසක් බලාපොරොත්තුවෙන් ජවය පිරිහුණු ධර්මසිරි සහ ජීවිතය පොරබදන පැගිරි ස්වර්ණා වෙනුවට සායිබාබා ආදිය ගැන කියනා උපාසක ස්වාරණා කෙනෙකි.

ඉතින් අපට අසන්නට ඇත්තේ ” හදයෝ, ස්වර්ණා-ධර්මසිරි ලවා සිංහල සිනමාව දැන් ගොඩදැමිය හැකිද ?

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. රටට අවශය වීප්‍ලවවාදී මනූෂයවාදි සුනාමීයකි.පටර්‍න්‍ ගතයුතු වන් වැස්‍සකිනි.ජය වෙවා දීප්‍ති.

Comments are closed.