රාජ්‍ය බලය ලබා ගැනීම සහ එය පවත්වාගෙන යාමට සකස් කරන උපාය මාර්ගික සැලසුම්වල දී එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව විඥානය ගැන අධ්‍යයනය කිරීම වැදගත්ය. ‘කොළ පාට සමාජය’ නමින් පොතක් ලියූ  සී.ඒ. චන්ද්‍රපේ‍්‍රමට අනුව එජාපයේ මතවාදී ජයග‍්‍රහණය වන්නේ ‘කිසිදු මතවාදයක්’ නැති වීමයි. ඒ ඒ මොහොතට එන කුමන හෝ සමාජ ගැටලූවක් අරබයා මතු වන ජන බලවේග හැසිරවීමෙන් එජාපය ජයග‍්‍රහණය ලබා ගනියි. නමුත් මෙම තත්ත්වය 2005 වසරේ බලයට පත් වූ රාජපක්ෂ රෙජීමය විසින් එජාපයට නැති කරන ලදී. සමකාලීන යථාර්ථයට අනුව ‘මතයක්’ නැතිව දිනන්නට නොහැකිය. මෙවර පැවති රාජ්‍ය බලය ලබා ගැනීමේ තරගයේ දී එජාපයට සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල මතයට පසමිතුරා වූයේ මහින්ද රාජපක්ෂය. රාජ්‍ය බලය හවුලේ බෙදා ගැනීම පිළිබඳ පූර්ව අත්දැකීම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබූ බව සැබෑ වුවත් එවැනි අත්දැකීමක් එජාපයට තිබුණේ නැත. මෙවර එම නුහුරු අත්දැකීමට එජාපය මුහුණ දෙමින් සිටියි. 
90 දශකයේ ලෝක ධනවාදී ආර්ථිකයේ වෙනස් වීමට මුහුණ දීම සඳහා ටෝනි බ්ලෙයාර් විසින් තෙවන මාවතක් සකස් කරන ලදී. ඒ වනාහී ලේබර් පක්ෂය විසින් අනුගමනය කරන ලද ප‍්‍රතිපත්ති තැචර්වාදයට අනුව යළි සකස් කිරීමෙනි.  නමුත් එජාපය තුළට කඩා වැදුණේ බ්ලෙයාර්ගේ අදහස් නොව තැචර්ගේ අදහස්ය. තැචර්ට අනුව ධනවාදී වටිනාකම්වලට කිසිදු විකල්පයක් නැත. එබැවින් කළ යුත්තේ ධනවාදය සොබාවික සමාජ ක‍්‍රමයක් ලෙස පිළිගෙන ඉන් ඇති වන සමාජ අර්බුද කළමනාකරණය කිරීම පමණි. රනිල් වික‍්‍රමසිංහ එජාපයේ නායකත්වයට පත්වන විට ඔහුගේ ආකල්ප සකස් වූයේ ද තැචර්වාදයට අනුකූලවය. රනිල් මොන තරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ලිච්ඡුවී සම්ප‍්‍රදාය ගැන කතා කළත් ඔහු හදවතින් තැචර්වාදියෙකි. තැචර් යනු බි‍්‍රතාන්‍ය සමාජයේ ‘ධනවාදය’ පිළිබඳ ආකල්ප වෙනස් කළ තැනැත්තියයි. ඇයට අනුව ‘සමාජය’ යනුවෙන් දෙයක් නොපවතින අතර පවතින්නේ ‘පවුල’ පමණි. තැචර් වෘත්තීය සමිතිවලින් ප‍්‍රාග්ධනයට එල්ල වන පීඩනය මඟ හැරීමට රාජ්‍ය බලය උපක‍්‍රමිකව යොදා ගත් තැනැත්තියකි. 
රනිල් වික‍්‍රමසිංහ නමැති චරිතයට බහුජනයා මෙහෙයවීමට අවශ්‍ය නැත. ඔහු මෙහෙයවන්නේ විවිධ පුද්ගලයන්වය. මේ වන විට පුද්ගලයන්ව මෙහෙයවීමට ඔහු පාවිච්චි කරන සූත‍්‍ර සියල්ල ඔහුගේ සතුරන් අතට පත් වී ඇත. ඔහුගේ ශරීරයේ මේ යුගයේ සිදු වෙමින් යන විපර්යාස සියුම්ව අධ්‍යයනය කරන පක්ෂය තුළ සිටින පසමිතුරන් මේ වන විට කාණ්ඩ කිහිපයකට බෙදී වෙන් වී ඇත. එක පසෙකින් තම පියාගේ මුහුණ මෙන්ම ඔහුගේ ප‍්‍රතිපත්ති ද තමන්ට උරුම වී ඇතැයි සජිත් පේ‍්‍රමදාස සිතයි. ඔහු නොදන්නේ හියුගෝ චාවේස්ට පසුව දුප්පතුන් කේන්ද්‍ර කරගත් ජනපි‍්‍රයවාදී දේශපාලනයකට තවදුරටත් ඉඩක් නැති බවයි. එය එසේ වන්නේ ලූම්පන් සමාජ ස්තරවල සිට ග‍්‍රාමීය දුගීන් දක්වා පුළුල් ස්තරයක් මේ වන විට  නිදහස් වෙළෙඳපොළ විසින් අවකලනය කරනු ලැබ ඇති නිසාය. අනෙක් පසින් ටයි කෝට් ඇඳගෙන රාත‍්‍රියට පවා නින්ද නොයන රවී කරුණානායක තමා මීළඟ නායකයා විය යුතු බව අදහයි. එජාපයට කොහොමත් ලංකාවේ මධ්‍යම පන්තිය කැමති නැත. මෙයට බලපාන්නේ මධ්‍යම පන්තියේ උභයජීවී ස්වභාවයයි. ලංකාවේ හොඳ/නරක පිළිබඳ සදාචාරයක් ඇත්තේ මධ්‍යම පන්තියටයි. මේ නිසා එජාපය සමඟ ආර්ථිකව එකඟ වුවත් සදාචාරාත්මක වශයෙන් ඔවුන් සමඟ මධ්‍යම පන්තිය එකඟ නැත. රවී කරුණානායකගේ දුර්වල නිලය වන්නේ ඔහුට මතවාදී කාරණා ගැන ඇති අසංවේදීතාවයි. පක්ෂයේ මූලික ව්‍යුහය වන පවුල් බලය පැත්තෙන් ගතහොත් කොළඹ සිට පක්ෂය මෙහෙයවන ජාතිය, කුලය ඉක්මවා ගිය පවුල් බලය රුවන් විජේවර්ධනට කැමැත්ත පළ කරයි. නමුත් ජේ.ආර්. අදහස් කළ පරිදිම නායකයන් වීමට කැමැති කෙනෙකු ‘විවාහය’ පිළිබඳව දැරිය යුත්තේ සම්ප‍්‍රදායික අදහස්ය. රුවන් මේ අංශයේ දී හිස්ටීරියාව සහ විවාහය ගැන දරන්නේ පූර්ව – මනෝවිශ්ලේෂණ අදහසකි. එනිසා නායකත්වයට තරග කිරීමට ඔහුට ඇත්තේ කුඩා අවකාශයකි. නිශ්ශංක නානායක්කාර ඇතුළුව නව විකල්ප කණ්ඩායමක් එජාපය තුළ සිටිනමුත් ඔවුන්ට ශික්ෂණය වීමට තව කාලයක් අවශ්‍යය. කෙසේ වෙතත් මෙම කණ්ඩායම අනාගත නායකත්ව වෙනසක දී ලීවරයක් මෙන් කි‍්‍රයා කරනු ඇත. 
Thatcher
රාජ්‍ය බලය ලබා ගැනීම පිළිබඳ උපාය මාර්ගික වැඩසටහනක දී එජාප මතවාදය මෙතරම් වැදගත් වන්නේ මන්ද? ජාතිකත්වයට ඇති ආකර්ෂණය ක‍්‍රම ක‍්‍රමයෙන් තුනී වී ගොස් නිදහස් වෙළෙඳපොළට ජනයා වඩ වඩාත් විවෘත වන විට ‘මතවාදය’ නම් කරුණ නැවත විභාග කළ යුතුය. තරුණ කාලයේ විප්ලවවාදීන්, රැුඩිකල් චරිත ශිෂ්‍ය නායකයන්, වෘත්තීය සමිති නායකයන්, එන්.ජී. ඕ. නායකයන් වී සිටි අය වඩ වඩා මනසින් පරිණත වන විට යූඑන්පීකාරයන් බවට ඉබේටම පත් වෙති. අනෙක් අතට සමාජ පන්තිය වශයෙන් ගත්තත් ඉහළ ධනපති පන්තිය සහ පහළ දුගීන් නිත්‍ය ලෙසම තවම යූඑන්පීකාරයන්ය. ජාතිය, සදාචාරය, ඉතිහාසය, කලාව ආදී මනස්ගාතවලින් හිස අවුල් කර ගන්නා මැද පන්තිය පමණක් මාරුවෙන් මාරුවට රතු, නිල්, කොළ බවට පත් වෙයි. මේ හේතුව නිසා ශ‍්‍රී ලංකාවේ දේශපාලනයේ මතවාදී කොඳු ඇටය ඇත්තේ එජාපයටයි. 
එජාපයට ඇති ඊළඟ වාසිය වන්නේ පක්ෂයක් ලෙස එය කිසිදු ජාතිවාදයකට යටත් නොවීමයි. සජිත් පේ‍්‍රමදාසට එජාප නායකයා වීමට ඇති විශාලම බාධකය වන්නේ ඔහුගේ ජාතිවාදී හැසිරීමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හානි කිරීම සහ රාජ්‍ය බලය හිංසනය වෙනුවෙන් යොදා ගත් අවස්ථා සම්බන්ධයෙන් එජාපය කප් ගසා තිබේ. එනිසා ඉදිරියේ දී [බොහෝ විට 2020ට පෙර] එජාප නායකයා වීමට පෙරුම් පුරන පුද්ගලයාට ඒ සඳහා තියුණු යුද්ධයකට මුහුණ දීමට සිදු වනවා නියතය. රනිල් වික‍්‍රමසිංහ පක්ෂය පාලනය කරන්නේ තව සමාගමක CEO කෙනෙක් ලෙස නිසා ඔහුගේ අනුප‍්‍රාප්තිකයකුට මීළඟ නායකයා වීමේ විභවයක් නැත. එබැවින් ඊළඟ එජාප  නායකයා බවට පත් වන්නේ කවුද යන්න නිශ්චිත නැත. බොහෝ විට එය තීන්දු වනු ඇත්තේ එජාපයෙන් පිටත  සිට දේශපාලන තීන්දු ගන්නා අයගේ උපාය මාර්ගික සැලසුම් මඟිනි. එබැවින් ඉතිහාසය මෙන්ම ඊළඟ එජාප නායකයා ද කවුද යන්න විවෘතය. 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මීළඟ එජාප නායකයා වන්නේ වාමාංශික දේශපාලනයේ යෙදුනු දැන් ලිබරල්වාදී වී සිටින අයගෙන් කෙනෙක්.

Comments are closed.