අන්නා කරේනිනා චිත්‍රපටියේ කීරා නයිට්ලි

දැනට වසර හතරකට පමණ පෙර මගේ බ්ලොගයේ මා මිතුරු සරෝජ් පතිරණ ලියු “ද්‍රෝහියාගේ දියණිය”  ග්‍රන්ථය ට හඳුන්වාදීමක් ලියුවෙමි. මේ හඳුන්වා දීමම මදක් වෙනස් කරමින්, පසු ගිය වසරේ   මගේ හා ඔහුගේ පොත ලන්ඩනයට හඳුන්වාදීමේදී රුසියානු සාහිත්‍යය  පූර්ව  විප්ලවීය හා පශ්චාත් විප්ලවීය යනුවෙන් කොටස් දෙකකට බෙදිය හැකි බවත් විප්ලවයෙන්  පසු රුසියානු සාහිත්‍යය  බොහෝ විට සෝවියට් සාහිත්‍යය සමග බද්ධවූ බවත් පැවසුවෙමි.

එසේම සෝවියට් සාහිත්‍යය සමාජවාදී යථාර්ථවාදය අනුයමින් කරන ලද නිර්මාණ හා එසේ අනුගමනය නොකරන නිර්මාණ ලෙස බෙදිය හැකි බවත් පසු කාලීනව සෝවියට් විරෝධී සාහිත්‍යයක් ගොඩ නැගුනු බවත් පැවසුවෙමි.

පූර්ව විප්ලවීය රුසියානු සාහිත්‍යය සහ කලාව ගැන කතා කරනවිට පොතක් ලියන්නට හැකි තරම් කරුණු සොයා ගත හැක. රුසියානු සම්භාවනීය සාහිත්‍යය ඒකාලෝක කල මහා ගත්  කතුවරුන් බොහොමයක් වූහ . මේ  කෘතීන් බොහොමයක් විශ්ව සාහිත්‍යයේ ඉහළම ස්ථානයේ වැජඹේ. එංගලන්තයේ කේම්බ්‍රිජ් , ඔක්ස්ෆර්ඩ් යන විශ්ව විද්‍යාල පමණක් නොව බර්ලින් විශ්ව විද්‍යාලය, ලෝක ප්‍රසිද්ධ  ලිප්සිග් ආදී ජර්මන් විශ්ව විද්‍යාල වලද ප්‍රංශයේ සොරෝබෝන් සරසවියෙහි ද රුසියානු හා උක්රයින සාහිත්‍යය  උගන්වන ස්ලැවික් පාඨමාලා තිබේ.

පූර්ව  විප්ලවීය රුසියානු සාහිත්‍යයේ  බැබලෙන ප්‍රබලම ගත්  කතුවරයා  ලෙස සැලකෙන ලියෝ ටෝල්ස්ටෝයි “රුසියානු විප්ලවයේ හදවත” ලෙස හැඳින්වූයේ ඔක්තෝබර් විප්ලවයේ නිර්මාතෘ වූ ලෙනින් ය. ටෝල්ස්ටෝයි  රුසියානු සාර්වාදී සමාජය මැනැවින් විග්‍රහ කරමින් ලිවිම ලෙනින් ගේ මේ කියමනට පාදක විය.  එසේ නැතිව සිටුවරයෙකු වූ ටෝල්ස්ටෝයි වාමාංශික අරගල ගැන ලිව්වේ නැත. ලෙනින් ගේ විචක්ෂණ ශීලි මොළයට තමන්ගේ පැත්තේ යයි නොසිතිය හැකි ලියවිල්ලක්, පොතක් පමණක් නොව නාට්‍යයක් පවා තම පැත්තට  හරවාගෙන විචාරයන් ලිවිය හැකි අමුතුම දක්ෂතාවයක් තිබුණි.

රුසියානු සාහිත්‍යය ගැන කතා කරනවිට චිත්‍රපට වලට පවා නැගුණු ටෝල්ස්ටෝයි ගේ අන්නා කරෙනිනා  හා යුද්ධය හා සාමය පොත් හැඳින්විය හැකිය. මේ මෑතකදී  බීබීසී ආයතනය “යුද්ධය හා සාමය” නැවත රුපවාහිනී චිත්‍රපටයක් ලෙස කොටස් වශයෙන් පෙන්වන ලද අතර එය ඉතා ජනප්‍රිය විය. මේවායේ පිළිඹිබු වන්නේ එවකට රුසියන් සමාජයේ අතිශයින්  පොහොසත් සාර් රජ පවුල ,  නොයෙකුත් ඉඩම් හා මාළිගා හිමි රදළයන් සහ  හමුදා සෙන්පතියන් ගේ ජිවිතයන්‍ ය.  එසේම  ඔවුන් බාහිර සමාජයෙන් වෙන්ව ගෙවූ එම සුඛෝපභෝගී ආකාරයේ ජිවිත හා ඔවුන් විසින් නොසලකා හරින ලද බාහිර සමාජයේ පරතරයද මේ පොත් වල මැනවින් පිළිඹිබු විය..

ෆියෝදෝර් දොස්තයෙව්ස්කි ගේ “අපරාධය සහ දඬුවම”, “කරමාසොව් සහෝදරයෝ” මෙන්ම නිකොලායි ගොගොල් (උක්රයින ජාතික) ගේ “මළ මිනිස්සු” ද එලෙසින්ම විශිෂ්ට කෘතීන් ලෙස සැළකේ. ශ්‍රී ලංකාවට ද පැමිණි ඇන්ටෝව් චෙකොව්  ප්‍රසිද්ධ නාට්‍ය රචකයෙක් විය. ඔහුගේ “සොයුරියන් තිදෙනා”, “චෙරි ගහ යට සහ “බල්ලා  කැටුව යන කාන්තාව” ප්‍රසිද්ධ නාට්‍යයන්ය. මහා කවියෙකු මෙන්ම ඔපෙරා තනන්නෙකු ලෙස චිර ප්‍රසිද්ධ ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ගේ “කපිතන්ගේ දියණිය ” නව කතාව මෙන්ම ඔපෙරාව ද චිත්‍රපටයකට නැගුනු  “යෙව්ගෙනි අනිගින් ” ද ලෝකයම දනී.

නිර්භයව අඩු වයසේ තරුණියක හා මැදිවියේ මිනිසෙකු අතර පෙම් සබඳකමේ කතාව  “ලොලිතා” ලීයූවේ රුසියානු ජාතික   නබෝකොව්ය. එසේම ඉවාන් තුර්ගේනිව් (පියවරු සහ පුත්තු) , මිහයිල් ලෙර්මන්තොව් (අපේ කාලයේ වීරයෙක්) ද ඉතා ප්‍රසිද්ධ ගත් කතු වරුන්ය.

මේ රුසියානු සාහිත්‍යය ගැන ඉතා කෙටියෙන්ය.

සෝවියට් සාහිත්‍යයට යාමට පෙර ලංකාවේ වමේ මුලාශ්‍රය සොයමු.

ආචාර්ය එන් එම් පෙරේරා

ශ්‍රී ලංකාවේ ප්‍රථම වමේ පක්ෂය ගොඩ නැගු අයගෙන් කෙනෙක් වන  නානායක්කාර පතිරගේ මාටින් පෙරේරා උගත්තේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේය.  කොළඹ විශ්ව විද්‍යාලයෙන් මුලික උපාධිය ලබා ප්‍රසිද්ධ ආර්ථික අධ්‍යනය සඳහා වන ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් (London  School of Economics ) ආචාර්ය උපාධිය ලබා ගත්තේ ජර්මන් වයිමාර් රජයේ ව්‍යවස්ථාව හදාරා ඒ ගැන ලිවීමෙනි. ඔහු DSc හෙවත් (Doctor of Science) විද්‍යාචාර්ය උපාධිය ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් (ULC ) ලබා ගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා  විය.

බොරළුගොඩ සිංහයා හෙවත් පිලිප් ගුණවර්ධන


ඔහුත් සමග ලංකා සමසමාජ පක්ෂය පිහිටුවීමට පුරෝගාමී වූ අනෙක් තැනැත්තා ලංකාවට  ට්‍රොට්ස්කිවාදය හඳුන්වා දුන් බොරලුගොඩ සිංහයා යයි විරුදාවලි ලත් පිලිප් ගුණවර්ධනය. මේ අතරට එක්වූ තුන් වැන්නා පානදුර  ශාන්ත ජෝන් විදුහලේ හා කොළඹ  රාජකීය විද්‍යාලයේ උගත් කොල්වින් ආර් ද සිල්වා මහතාය. ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් මුලික උපාධිය ලබා කිංග්ස් කොලේජ් වෙතින් ආචාර්ය උපාධිය ලත් ඔහුගේ තීසිසය වූයේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයයි.

ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා


එන් එම් (ඇන් ඇම් ලෙසින් ජනතාව හැඳින්වූ)  සහ කොල්වින් දෙදෙනාම “ඉන්දියා, සිලෝන් සහ බුරුම බොල්ෂෙවික්  ලෙනින්වාදී පක්ෂයේ ” සාමාජිකයන් වූ (ඉන්දියාවේදී) අතර ලංකාවට  පැමිණි කොල්වින් බොල්ෂෙවික් සමසමාජ පක්ෂය පිහිටුවන ලදී.  එංගලන්තයේ ඉගෙන ගත්   ඇන් ඇම් සහ කොල්වින් බ්‍රිතාන්‍ය  අධිරාජ්‍යයේ පාලනයට විරුද්ධව සුරියමල් ව්‍යාපාරය (පොපි මලට එරෙහිව) ක්‍රියාත්මක කරන ලදී. ශ්‍රී ලංකාවේ ජනතාව  එම ව්‍යාපාරය ට  ඉමහත් සහයක් දුනි.

එන් එම් සහ ජේ ආර්


ප්‍රථම වමේ පක්ෂය වූ ලංකා සමසමාජ පක්ෂය පිහිටවන්නට ක්‍රියා කල ඉතිරි දෙදෙනා නම් ලෙස්ලිගුණවර්ධන (ශාන්ත තෝමස් විද්‍යාලය හා  London  School of Economics ) හා රොබට් ගුණවර්ධනය. 


මේ අතර සිදුවූ වැදගත්ම සිද්ධියක් වූයේ  ලෙනින් සමග විප්ලවයේදී උරෙනුර ගැටී ක්‍රියාකළ ප්‍රථම රතු හමුදාවේ අණ දෙන්නද වූ ලියොන්  ට්‍රොට්ස්කි නමැති රුසියානු විප්ලවවාදියා  වසර 1940 දී සෝවියට් පාලක ස්ටාලින් ගේ අණින්  මරා දමනු ලැබිය.  ඇන් ඇම් සහ මෙය නොදැන සිටින්නට විධිහක් නැත.


බ්‍රිතාන්‍යයේ ඉගෙනුම ලද ඔවුන්ට බ්‍රිතාන්‍ය  සමාජවාදීන් ගේ ක්‍රියා කලාපය හොඳින් හදාරන්නට ඉඩ ලැබුණි. ඔවුන් සෝවියට් දේශයේ ස්ටලින්වාදයට  නොව බ්‍රිතානයේ වඩා ජනප්‍රියව තිබු ට්‍රොට්ස්කිවාදයට වඩා හිතවත් වුනි.


මේ කිසිවෙක් රුසියන් සාහිත්‍යය කෙසේ වෙතත් සෝවියට් සාහිත්‍යය  තදින් පරිශීලනය  කලා යයි කියන්නට සාධක නොමැත. 


මෙනිසා පැරණි වමේ නායකයන් ට සෝවියට් සාහිත්‍යය පරිවර්තන වලින් බලපෑමක් සිදු නොවුණු බවට ඉතා සාධාරණ ලෙස තර්ක කළ හැකිය.

මේ අතීත කතාවේ තවත්   වැදගත් තැන්  දෙකක් තිබේ. එනම් 1935 ලංකා සමසමාජය පිහිටවූ පසු ඔවුන් ලෙනින් පිහිටවූ තෙවැනි ජාත්‍යන්තරය සමග එක්ව කටයුතු කළහ. ට්‍රොට්ස්කි සෝවියට් දේශයෙන් පිටුවහල් කළපසු පිහිටවූ හතරවැනි  ජාත්‍යන්තරයට එක්  වීම තීරණය කිරීමට කළ  චන්ද විමසීමේදී වෛද්‍ය එස් ඒ වික්‍රමසිංහ සහ එම් ජි මෙන්ඩිස් එයට විරුද්ධව චන්දය පාවිච්චි  කළහ.

සෝවියට් දේශයට පක්ෂවූ (ස්ටාලින්වාදයට පක්ෂ  )  එක්සත් සමාජවාදී පක්ෂය බිහි වූයේ මින් පසුවය. එය පසුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සේ නම් කෙරුණි.

වෛද්‍ය එස් ඒ වික්‍රමසිංහ

ගාල්ලේ මහින්දයේ ආදී සිසුවකු වූ සුගීෂ්වර වික්‍රමසිංහ කොළඹ  ආනන්දයේ ත් ඉන්පසු  ලංකා මෙඩිකල් කොලේජ් හිත් උගෙනුම ලැබුවේය. එංගලන්තයේ ආචාර්ය උපාධිය සඳහා  උගනිද්දී කොල්වින්, ඇන් ඇම් සහ ලෙස්ලි ගුණවර්ධන සමග එක්ව ලන්ඩනයේ අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාර වලට එක්  විය.

දෙවන ලෝක යුද්ධය පටන් ගත් පසු සමසමාජය බ්‍රිතාන්‍ය විරෝධී ප්‍රතිපත්තියක් ගනිද්දී එස් ඒ වික්‍රමසිංහ ඇතුළු පිරිස ගත්තේ සෝවියට් දේශයේ පැත්තයි. සෝවියට් වරු බ්‍රිතාන්‍යය හා ඇමරිකාව සමග යුද්ධයේ දී එක්වීම නිසා බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව කරන ක්‍රියා වලට එම අවුරුදු පහ තුල එක්සත් සමාජවාදීන් ගේ  සහයක් තිබුනේ නැත. 

මේ කාලය වනවිට කිසිම සෝවියට් සාහිත්‍යය ක් ලංකාවේ තිබුණා යයි  කිව නොහැකිය. ශ්‍රී ලංකාවේ වමේ ව්‍යාපාරයේ අඩිතාලම දැමුවේ ලන්ඩනයේ සිට අධ්‍යයනය හමාර කර ගිය ලන්ඩනයේ රැඩිකල් වාම ව්‍යාපාරය සමග සිටි තරුණ පිරිසක් විසිනි.


මතු සම්බන්ධයි.

Ajith Dharmakeerthi

ඔබේ අදහස කියන්න...