බූපති නලින් වික‍්‍රමගේ
An interior with no Exterior could itself hardly constitute an interior.: G.F. Hegel.
ලංකාවේ ආකිටෙක්චර් කතිකාව සම්බන්ධව මා කළ විවේචනය කෙතරම් වලංගු භාවයක් උසුලන්නේද යන්නට හොඳම සාක්කිය එම විෂයේ නියුතු වෘත්තිකයකුගෙන් මා ලද පළමු පිළිතුරයි. ජනවාරි 4දා රාවයෙන් මා ඉදිරිපත් කළ අදහස්වල කේන්ද්‍රීය හරය හෝ පාර්ශ්වීය සාධකවත් වටහා නොගෙන වාක්‍ය යෙන් වාක්‍යයට පිළිතුරු බැඳීමේ උත්සාහයක නිරත වන අනුර දයාරත්නගේ අදහස් දැක්වීමම එය පිළිබිඹු කරනවා. ඊනියා වෘත්තික යන්ට තමන්ම අන්තර්ගත කතිකාව ගැන තියෙන දැනුමේ දිග, පළල. අනුර ඉඳලා හිටලා ආකිටෙක්චර් ගැන ලියන කෙනෙක්. ඉතින් ඒකෙන්මත් තහවුරු වෙනවා පුද්ගලයෙක් සිවිල් සමාජයේ සැරිසැරූ පමණින් සිවිල් කතිකා හෝ බල රටා පිළිබඳ සවිඥානිකත්වයක් ලැබීමේ අනිවාර්යතාවක් නොමැති බව. ඇස් දෙක ඇරගෙන නිදා ගන්න පුඵවන් මිනිස්සු ඉන්න බව.
ඉතින් මූලිකවම මට ලැබුණේ පිළිතුරු ලිපියක් කියලා මම කොහෙත්ම හිතන්නේ නෑ. යමක් මොන තරම් වැරදි කියවීමකට ලක් කළ හැකිද හා දේශපාලනිකව සලකතොත් වාස්තවික ප‍්‍රතිවිරෝධතා මඟහැර යෑමේ උත්සාහයක් විතරයි මා ලද ඊනියා පිළිතුරේ සටහන්ව තිබුණේ. එහෙත් අනුරගේ ක‍්‍රීඩාව ගොඩක්ම සරල නෑ. අවිද්‍යාවටත් සමාජයේ හැමදාම කාර්යභාරයක් තිබ්බා. ආකිටෙක්චර් යන විෂය සමාජ අවකාශයක් වෙනුවට වෘත්තීයමය වරප‍්‍රසාදිත, ඇකඩමික් ගූඪ කරණයෙන් විසං යෝජනයක්(Deconstruction) විතරයි මම කරන්නේ. නැතුව කිසිසේත්ම අනුරට පිළිතුරක් නොවෙයි. ප‍්‍රතිපිළිතුරු දෙන්න ඔහු පිළිතුරක්වත් ප‍්‍රශ්නයක්වත් නගලා නෑ. මගෙන් වෘත්තීය සුදුසුකම් හෝ ඇකඩමික් සීමාකම් හෝ ඉල්ලා සිටින්නන්ටත් මට අප්පච්චී ආකාරයේ උපදෙස් සපයන්නන්ටත් කීමට ඇත්තේ අනෝමා පීරිස්ගේ යෙදුමක ප‍්‍රතිලෝමයයි. මහත්වරුනි, ඔබලාගේ කලිසමට යටින් ඇති සරම පරිස්සම් කරගන්න.
ඉබ්බකුගේ ලෝකයකට පිළිතුරු ගොනුකළ නොහැක
ඊනියා ස්වාභාවිකත්වය තුළ සංවිධිත අවකාශයක් ස්වයංජාතව ලබා සිටිනා සත්ත්වයා ඉබ්බා. ඉබ්බා විසින් පූර්වයෙන්ම සිය ආරක්ෂාවත්, සීමාවත් අවකාශයත් ලෙස සලකුණු කරලා හමාරයි. ඉබි කටුවත් ඉබ්බා නම් පැවැත්මත් අතර මේ නිසා කිසිදා ප‍්‍රතිවිරෝධයක් ඇතිවන්නේ නෑ. මේ අනුව ඇතුළත හා පිටත ගැන ඉබ්බකුගේ පැවැත්ම ද්විගුණ වෙනවා. ඉබ්බෙක් තුළට අපිට සද්භාවාත්මකව (Ontologically) දෙවරක් ඇතුළු විය හැකියි. පළමුව කට්ටේ සීමාව, දෙවනුව ඉබිහමේ සීමාව. මේ විසින් පරතර දෙකක් බිහි කරනවා. ඉබ්බාත් කට්ටත්, ඉබිහමත් එහි ඇතුළතත් ලෙස.
සාමාන්‍යයෙන් සත්ත්ව යෙකුට සම යනු මධ්‍යයක්. එනම් බාහිර ලෝකයත්, අභ්‍යන්තරයත් වෙන් කරවන පරතරයක්. ඉබ්බකුගේ මේ ද්විගුණබවේ තියෙන උභතෝකෝටිකය තමා කට්ට බින්ද විට ස්වායත්ත ඉබ්බකු නැතිවීම. ඉබ්බකුගේ ඊනියා අභ්‍යන්තර පැවැත්මට වඩා ඉබි කටුව ජීවමාන වන්නේ ඒකයි. ලංකාවේ ආකිටෙක්චර් ගැන කථා කරන විටමත් ඉහත ආකාරයේ ද්විගුණ වීමක් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ කියන්නේ සාරය, ආකෘතිය විසින් ගිලගැනීම හා එමඟින් ද්විගුණ කතිකා බිහිවීම. එවිට ඒ අය සමාජවාදීද / ධනවාදීද?, ජාතිකවාදීන්ද / ජාත්‍යන්තර වාදීන්ද?, නැත්නම් කලා කාරයෝද / වෙළෙන්දෝද ලෙස වෙන්කර ස්ථානගත කරන්න බෑ. මේ තත්ත්වය ඒ අය සතුටින් හා ආඩම්බරයෙන් බාරගන්නා අනන්‍යතාවක් වෙලා. ගැටලූව වන්නේ ඒ අය අපෙන් ප‍්‍රශ්න අහන්නෙත් ඉබ්බකුගේ තර්කනයේ සිට වීමයි. ඉබ්බාගේ සාරය ආකෘතිය විසින් සීමාකර හමාරයි. සාරය විසින් ගොඩනංවන ලද ආකෘතිය ඊටම පාරවළල්ලක් වී තිබෙනවා. මම බාවා ප‍්‍රමූඛ මෙවන් සාරාත්මක කතිකා ගැන ගැටලූව ස්ථානගත කළේ යටත්විජිත අනේක ත්වයක් ලෙසයි. මේ අයට පුද්ගල නාම වලිප්පුවක් තියෙනවා. මගේ කරුණූ දැක්වීමට අදාළ කේන්ද්‍රීය චරිත දැක්වූ විට ලාංකික ඉතිහාසයේම ආකිටෙක්ට් ලාගේ නම් ලැයිස්තුවක් මගෙන් බලාපොරොත්තු වන මේ අය කොතරම් ප‍්‍රාථමිකද? අනෙක් පසින් මෙය ධුරාවලිවාදයක්. අනුර සිය ඊනියා පිළිතුර ගොනු කරන්නේ දැනටමත් පවතින ධුරාවලියට අනුගත වෙමින්. ඒකයි කට්ටිය සන්සෝනි අතින් කතිකාවත් හැසිරවෙන බව පිළිගන්න අකමැති. මේ අයමයි කියන්නේ ආකිිටෙක්චර් තියෙන්නේ පැලැන්තියක් අතේ කියලා. ඒ කියන අයම මිථ්‍යාවක ඉන්නවා කතිකා හසුරුවන්න ආකිටෙක්ට් කෙනෙක්ම වෙන්න ඕනෑ, ගොඩනැගිලි හදලාම තියෙන්න ඕනෑ කියලා. මේක තමා සමකාලීන ආකිටෙක්චර්වල අධිපති දෘෂ්ටිවාදය. ආකිටෙක්ට් ලාගේ සමාජය ලෙස වෙනම ඇතුළතක් හදාගෙන අන් අය ඉන් බාහිරයන් ලෙස සලකනවා. මේ අතර දයලෙක්තිකය මකනවා. ඒක හරියට රෙනේ මාගරට් නම් වූ බෙල්ජියම් ජාතික චිත‍්‍ර ශිල්පියාගේ In praise of dialectics (1936) කෘතිකයේ දෘශ්‍ය අර්ථය වගේ. චිත‍්‍රයේ නිරූපණය වූණේ ඇතුළතක් තුළ ඇති ඇතුළතක්. පිටතක් නිමවීමට නොහැකි බවේ උභතෝකෝටිකය. සමකාලීන ලාංකීය ආකිටෙක්චර් චින්තන තටාකයේ සයිකෝටික, තමන් සමඟම ස්වයං කථනයක යෙදෙන තර්කනයෙන් මීට වඩා ප‍්‍රමිතියක් බලාපොරොත්තු විය නොහැකියි. වෙනත් කිසිම විෂය ක්ෂේත‍්‍රයක මේක වෙන්නේ නෑ. සුචරිත ගම්ලත් සිනමාව ලියන කොට කවුරුත් අහන්නේ නැහැ ‘ගම්ලත් චිත‍්‍රපටි අධ්‍යක්ෂණය කරලා තියෙනවාද? අවුරුදු අටක් සිනමාව ඉගෙනගෙන තියෙනවාද?’ කියලා. දැන් මේක කියූ ගමන් එන ප‍්‍රතිචාරය තමා ‘ආකිටෙක්චර් කියන්නේ කාර්යසාධන විෂයක්, ඒක වෘත්තියක්’ කියලා. හැරෙන පැත්තට හෝයියා. තමන්ට ඕනෑ විට කලාවක්. තමුන් අමාරුවේ වැටෙන විට වෘත්තියක්. මේක තමා ඉබ්බාගේ ලෝක දෙක. පිංපොංගේ තර්කය. කෝ අනිත් බිත්තරය ඇහුවාම ‘ඒක තමා මේක’ කීම. ආමේන්
ජාතික අනන්‍යතාව හා වෙළෙඳපළ (කලිසමට යටින් සරම)
මා හිතන්නේ ලංකාවේ සමපේක්ෂිත (Speculative) ජාතිකත්වය කූටප‍්‍රාප්තියකට පත්වෙච්ච රාජපක්ෂ රෙජීමයේ නගර සැලසුම් ශිල්පීන් කළ යටත්විජිත ගොඩනැගිලි පුනර්ජීවනය (ආර්කේඞ්, රේස්පිටියේ ගොඩනැගිලි, ලන්දේසි රෝහල ආදිය) හා ඒවා තුළට නව වෙළෙඳපොළ ගෙනඒම තමා ලංකාවේ වාස්තවික ජාතික අනන්‍යතාවේ රූපිකය. මේ තමා පොදුජන විඥානය. ඒ කියන්නේ අපි අවිඥානිකව තාමත් යටත්විජිත හිමියාගේ සංස්කෘතියට බැඳී ඉන්නවා. ඒකයි මුලින් බලකොටුවක් වෙච්ච උතුරේ හැමිල්ටන් එක පසුව හිරගෙදරක් වෙලා දැන් හෝටලයක් වෙන්නේ. හැමිල්ටන් හෝටලයේ විජේවීර හිරකරපු කාමරය තමා වඩාත්ම අධිනිශ්චිත අවකාශය වෙලා තියෙන්නේ. ඔව්, මේක පසුනූතන තත්ත්වයක් තමා. මගේ කේන්ද්‍රීය අදහස වුණේ මීට ප‍්‍රතිපක්ෂව බිහිකරන ඊනියා ජාතිකවාදී බාවා මූලික කතිකාවත් යටත්විජිත ආකෘතියට අනේකත්වයක් වෙච්ච පිළිතුරක් බව. මම ලිව්වේ නූතන ලාංකික ආකිටෙක් චර් ඉතිහාසය බලකොටු වලින් ඇරඹෙනවා කියලා මිසක් ලාංකික ආකිටෙක්චර් ඉතිහාසය බලකොටුවලින් ඇරඹෙනවා කියලා නෙමෙයි. නූතනත්වය හා පූර්ව ධනේශ්වර අවකාශ සැලැස්මවල් පවා තාමත් කරපින්නාගෙන ආඩම්බර වෙන, ආනන්ද කුුමාරස්වාමි වෙත යළි යායුතු බවක් කතා වෙන ආකිටෙක්චර් ඇකඩමියාවක් එක්ක බරපතළ සංවාද අපට නැහැ. ‘ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් වූ බාවා’ වැනි හීනමානය ප‍්‍රකට වන වාක්‍ය අප අතින් ලියැවෙන්නේද නැහැ. ලංකාවේ ආකිටෙක්චර් ගැන මෑතකාලීන තීරණාත්මක කියැවීම් කළේ ආකිටෙක්ට්ලා නොවෙයි. ඒ නිසා අනුරටත් ඉදිරියේ කරළියට බහින්න ඉන්න ඊනියා වෘත්තිකයන්ටත් කියන්න තියෙන්නේ සිවිල් මෝස්තර ගෙදර තියලා කතා කරන්න එන්න. එදාට අපිට කතා කරගන්න දේවල් තියේවි.
අකිටෙක්චර් පිළිබඳ ඉතිහාසවේදී, සෞන්දර්ය වේදී හෝ ඊනියා ඇකඩමික් වර්ණනා වෙනුවට අවකාශ සංවිධානයේ සමාජ දේශපාලනික කියැවීම්වලට අපගේ විවේචන විවෘත කරගත යුතුයි. ආකිටෙක්චර් සම්බන්ධ සංකල්පීය අරගල ඉදිරියේදී අපි මහපාරට ගෙන එන්නෙමු. උදාහරණයකට ලංකාවේ කලාකරුවන් බොහෝ විට බලකොටු වැනි අවට සමාජයෙන් වෙන්වූ නිවාසවලට වහ වැටීමේ අවිඥානික යාන්ත‍්‍රණය අපි සමාවිරහිතව විශ්ලේෂණය කළ යුතුයි. ඊනියා වෘත්තීයවේදීන් ‘ඒකපුද්ගල අවකාශයක්, ඒක සේවා දායකයාගේ කැමැත්ත’ කියලා ඇඟ බේරගන්නා දෘෂ්ටිවාදී කුහර සිදුරු කළ යුතුයි. ආකිටෙක්ට්ලා අඳින හැම ඉරකටම තේරුමක් තිබෙන බවට පම්පෝරි ගහන මහත්වරුන්ගේ ඒ ඉරි පිටුපස ඇති ආචීර්ණ කල්පික, ක‍්‍රම පක්ෂපාතී බල ධුරාවලියේ දෘෂ්ටිවාදය අපි අභියෝගයට ලක් කරනවා. ආකිටෙක්චර් කතිකාවේ පදනම දේශපාලනිකව විසංයෝජනය කරනවා. ආකිටෙක්්චර් කතිකාව සිවිල් බූදලයක් ලෙස ආරක්ෂා කරගෙන ඉන්න මහත්වරුන්ට නැවතත් මතක් කරනවා, කලිසමට යටින් ඇති සරම ගැන. පරිස්සමින්.
– See more at: http://ravaya.lk/?p=6019#sthash.21FX7Htb.dpuf