කාව්‍යය යනු, රසවත් වාක්‍යය යි. අනෙක් පසින්, අලංකාරවලින් යුතු රීතියකට අනුව ගැට ගසන බැවින් එය රසවත් ය. කවි ලිවීම ලංකාවේ දී ව්‍යාකූල වැඩකි. පිටරට කවියන් තම ජීවිතය තුළ අවලස්සන වැඩ කරන්නේ නම් කවි ලියන්නේ නැත. සමාජයටත්, තමන් අවට පුද්ගලයන්ටත් කැත වැඩ විශාල වශයෙන් කරන ආත්මාර්ථකාමීන් විශාල පිරිසක් ලංකාවේ කවි ලියති. කවියන් අතර පවා ඒ ගැන දෙබසක් නැත. එසේ වී ඇත්තේ මන්ද?

                     ‘කවිය’ තුළ ප්‍රකාශ වන පන්ති භේදය ගැන ගුණදාස අමරසේකර මෙසේ පවසයි.

                         “සියබස්ලකරෙහි රීතියට අනුව කාව්‍ය නායකයා උදාර චරිතයක් ඇත්තෙකු විය යුතුය. මෙය ඇරිස්ටෝටල්ගේ කාව්‍ය රීති අතර ද දක්නට ලැබෙන්නකි. ඇරිස්ටෝටල්ගේ මතය අනුව කාව්‍ය නායකයා උදාර චරිතයක් ඇත්තෙකු විය යුතුය. ඔහු තමා තුළ ඇති කිසියම් වරදක් නිසා නොව ලෝකයේ දක්නට ලැබෙන වරදකට අසු වීම නිසා ව්‍යසනයට පත් වන අයුරු දැක්වීම යුක්ති සහගත යැයි ඇරිස්ටෝටල් ඔහුගේ කාව්‍ය රීතිවල ප්‍රකාශ කරයි. මෙම පොදු රීතිය (පෙර-අපරදිග) ඇති වූයේ කෙසේද? කාව්‍යය රචනයන් සිදු වන්නේ සමාජ ක්‍රමයක් තුළ ය. කවිය ලියන තැනැත්තා ඉහළ පන්තියට හෝ පහළ පන්තියට අයිති ය. අතීතයේ නම් පොදු ජනයා කාව්‍යයට ඇතුළත් වීම කාව්‍යයට නිග්‍රහ කිරීමකැයි විශ්වාස කරන ලදී. මේ මතය වර්තමානයේ දී පිළිපැදිය යුතු නැත. දැන් පවත්නා සමාජ ක්‍රමය අනුව පොදු ජනයාත්, උසස් යැයි සම්මත අයත් යන දෙවර්ගයම එක සමාන මානුෂික අයිතිකම් ඇති අය ය. එබැවින්, වර්තමාන කාව්‍යයක නායකයා වශයෙන් දිළින්දෙකු, කුලීකරුවෙකු, ලිංගික ශ්‍රමිකයෙකු යොදා ගැනීම යුක්ති සහගතය”.

 

                          ලංකාවේ කවි ලියන බහුතරයක් තක්කඩින් ය. තමන්ගේ කවිය බොහෝවිට වෙනත් කවියන්ගේ නිර්මාණ වලින් උපුටාගත් අලංකාරික වලින් සරසනවා හැර අන්‍ යමක් ඔවුන් කරන්නේ නැත. ඔවුහු අනුකාරකයන් පමණි. සන්නස්ගලගේ පහත කවිය සලකමු.

                    “ මුව උඩින් පාත් වී හිඳිමි

                      සිනා මල් මිටක් වී පිපේවී

                      අනේ මම රාත්‍රිය වුණා නම්

                      ලඟ ලඟම මා එතැයි සිතාලා

                      බිඳක් වත් දෑස හැර බැලී නම්

                      ඇබින්දක් ඔය මුහුණ සිඹින්නට

                      අනේ මට ඔබව හිමි වුණා නම්

 

                      ගිලන් වී ඔබ හිඳින වෙලාවේ

                      ආදරයෙන් ලං වෙලා හිඳීවී

                      උරහිසේ හිස හොවා හඬන විට

                      හාදු වැස්සක්, වෙලා වැටේවී

                    

                      සද………..”

 

                       ඇත්ත ජීවිතයේ දී ‘තම සමීප මිතුරිය, පෙම්වතිය, ගුරුවරිය, ගමන් සහායිකාව’ සමාජ පිළිගැනීම, බොරු ව්‍යාජ විසූක දස්සන වෙනුවෙන් පාවා දුන් සන්නස්ගල ඉහත ලියන අනේ-පනේ යනු, හුදු අලංකාරික පමණයි. ඔහුගේ ඇත්ත ජීවිතයේ ‘ආදරය’ කියන්නේ බොරුවක්. ‘පට්ට’ කියන වචනය වේසකමේ යොදමින් හැඟීම් එක්ක සෙල්ලම් කරන එක කවිකමක් නම් ඒ කවි අපට නම් එපා. තමන්ගේ ආදරවන්තියව පාවා දී ලියන කවි වඳයි.

                      මිතුරිය! මේ බලන්න නිරාෂ ගුණසේකරගේ අලුත් කාව්‍ය සංග්‍රහය වන “ නුරා පිරුණු සිලුවටයක” තුළ තිබෙන විවාහක පෙම්වතෙකු තම වියැකෙමින් යන තාරුණ්‍යය සහිත බිරිඳ ගැන ලියන කවිය.

                     “ පසුගිය සතියේ

                       කරපු කියපු දේ ගැන

                       කාපු බීපු

                       ආපු ගියපු තැන් ගැන

                       කිසිම කතාවක් ඕන නෑ කියලයි

                       ඈ කීවේ………

 

                      එහෙම කරන්න ඕන පෙම්වතුන්!

                      අපි නොවේ !!

                      එච්චරයි ඈ ආයෙමත් කිව්වේ…..

 

                      ඒ වුණත්

                      නෑ තව කාත් එක්ක හරි

                      බුදියගන්න බවක්

                      ඉන් නොකියැවෙන බවත්

                      නො කියාම කිව්වේ

                      ඈ නොවෙයි ඇගේ ඇස්……”

 

                           නිරාෂාගේ මේ ‘ඈට 39- දූට 19’ කාව්‍යයේ දී යථාර්ථය තුළ අසම්පූර්ණ ප්‍රේම වර්ගයක් ෆැන්ටසිකරණය කරයි. සිංහල මහ අනෙකා අපට කියන්නේ, ප්‍රේමය ලස්සන වන්නේ තරුණ අය අතර පමණයි යන්න ය. නිරාෂ මේ සමාජ බිය ගැන්වීමට බය නොවී මෙසේ කියයි. “ අපි දැන් මැදිවියේ. මගේ පෙම්වතිය මැදිවියේ ගැහැණියක්. මම තවම ඇගෙන් උන්මාදනීය රසයක් ලබනවා ”.

                       “ තමන්ගේ වැඩේ

                         සැණින් අහවර කොට

                         අනෙක් ඇලයට හැරී බුදියන

                         පිරිමිකමක් වෙනුවට

                         කැත්තට පොල්ල වගේ මතුවන

                     Gayathri

 

    අසීමාන්තික

                         අතෘප්තිකර

                         නොපැරදෙන ගැහැණුකමක් එය…!”

 

 

                     පශ්චාත්-නූතන මාධ්‍ය මඟින් වසඟ කරන සමාජයක දී කවියෙක් මැදි වියේ ස්ත්‍රියක් ගැන, ඇගේ ලිංගිකත්වයේ සහ ඇගේ ශරීරය ආධ්‍යාත්මයක් කොට සැලකීම ලංකාවේ කවි ඉතිහාසයට අසමසම අත්දැකීමකි.

 

                            මේ ලක්ශාන්ත අතුකෝරල කවියාගේ ස්ත්‍රිය පිළිබඳ කවි අත්දැකීමයි.  

                     “  ඇය එකල

                        මලක් බව

                        සමනල්ලු

                        මට කියති “

 

                          කවියා ඉහත තහවුරු කරන්නේ, සමාජ සම්මතය යි. එනම්, තරුණ ස්ත්‍රී ශරීරය වඩා තෘප්තිදායකයි, වයසට ගිය ස්ත්‍රී ශරීරයට වඩා. කවියා සමනල්ලු හරහා අත්විඳින්නේ, වරදකාරී දෘෂ්ටියකි. සිංහල කවිවල නැති අනුභූතිය වන්නේ, දරුවන් සිටින අම්මලාටත් ප්‍රේම කළ හැකිය යන තේමාවයි. නිරාශ ‘සිංහල භාෂාව’ සම්බන්ධ ප්‍රේමයට අලුත් ඛණ්ඩනයක් යෝජනා කරයි. වයසට ගිය අයටත් ප්‍රේම අඩවිය හිමි ය. සංකල්ප නැති නිසා බියෙන් තැතිගෙන අඳුරු මුල්ලකට පැණ ගිය දහසක් මැදිවියේ ස්ත්‍රීන්ට ඔහුගේ කාව්‍යය අත්දැකීම ‘අලුත් මිනිස්කමකි’.

                           Eyes Wide Shut චිත්‍රපටය ආරම්භ වන්නේ ද වයස 39 ක පමණ බිරිඳකගේ ප්‍රශ්නයකිනි. ඇය මෙසේ අසයි. “ මම ලස්සනද? ” සැමියා ඇය දෙසවත් නොබලා, “ ඔබ ලස්සනයි ” කියා කිය යි. ඇය ප්‍රකෝප වෙයි. “ ඔයා, මං දිහා බලන්නෙවත් නැතිවයි ලස්සනයි කිව්වේ ”.

 

                          නිරාෂ ඉහත ආකාරයේ නරුම බුද්ධියෙන් ආඪ්‍ය වූ පිරිමි තක්කඩින්ව හෙළිදරව් කරයි. නිරාශගේ කාව්‍ය නායකයා තම මැදිවියේ පෙම්වතිය දෙස සෘජුව බලයි. එපමණක් නොව, එය කවි අත්දැකීමක් බවට ද පරිවර්තනය කරයි.

                    “ යටිබඩට දෙක වැදෙන කොට 

                      විලාප දීගෙන කඩා වැටෙන

                      හිරිමල් ළපටි කෙල්ලන්

                      වගේ නොවේ ඇය

                      හරි හමන් පිරිමියෙකුටත්

                      මෙල්ල කරන්න

                      අසීරු දෙයක් තමයි එය……”

       

                           මෙය මැද පාන්තික ස්ත්‍රීවාදයේ සහසම්බන්ධ ප්‍රතිපක්ෂ (තරුණ/ මැදිවිය) එහා මෙහා කිරීමක් නොව මැදිවියේ ස්ත්‍රී ශරීරය මැදිවියේ පිරිමියෙක් විසින් ෆැන්ටසිකරණය කිරීමකි. ඒ නිසා, මෙම ලිංග දේශපාලනය අනෙකාගේ විනෝදය පැහැර ගන්නා ඇන්ටිලාගේ sex හෝ මල්ලිලාගේ ගැටවර මදනමෝදක sex ද නොවේ. නිරාෂගේ කවි වෙළෙඳපොළ බලවේග මඟින් ශානරගතව අධිනිශ්චයට ලක් කරන ලද තාරුණ්‍යයේ නොඉඳුල් ශරීරයන් විසංයෝජනය කිරීමකි. මැදිවියේ ස්ත්‍රී ශරීරය සහ තමන්ගේ මැදිවියේ බිරිඳ ගැන කවි අදහසක් නැති මත්ද්‍රව්‍යවලට හුරු පුරුදු වූ පිරිමි මනස්වලට නිරාශගේ මේ කවිය විරෝධාකල්පයකි. අනෙක් අතට, මෙය වෙළඳ දැන්වීමක් ද නොවේ. මේ යුගයේ දී, මැදිවියේ පෙම්වතියට හෝ බිරිඳට ආදරය කිරීම සමාජ ගෞරවයට හේතුවක් ද නොවේ.

                        මහින්ද ප්‍රසාද් මස්ඉඹුල තම ‘මවට’ (නැවතත් මැදිවියේ කය ගැන ලිවීම) ‘හිරුත් හිම පියල්ලක’ කාව්‍ය සංග්‍රහය තුළ මෙසේ ප්‍රශස්ති ගයයි.

             “ කුලියට කුඹුරුවල බතල වැඩ කර

              ලෙදර් සෙරෙප්පු දෙකක් ගෙනත් දී ඉස්සර

              පුංචි කකුල්වල ආඩම්බරය තැවරූ,

              හැට්ටයකට සාක්කුවක් අමුණා

              කමිසයක් සාදා දී

              ඇඳගෙන යන විට සිනා සී බලා හිද

              පසුව හොරෙන් ඇස් පිසදාගත්,

              නියං ආධාර කාලේ

              දික්යාය කඳු මුදුනේ ගිනි අව්වේ

              පාරේ වැඩට ගිහින්

              කුරුඳු ගස් මුලක මා හිඳුවා

              ඉහළින් කොළ අතු දවටා තබා

              එක හුස්මට වැඩ කළ ඈ…….”

 

                          කවියා ඉහත දී භාෂාව පාවිච්චි කර ලියන්නේ, සිංහල භාෂාව හොඳින් දන්නා අත්දැකීමකි. මවගේ ශරීරය ගැන පිරිමින්ට ඕනෑතරම් ලිවිය හැකි ය. එය අපූර්ව නැත. නමුත් ලියන්නට අමාරු වන්නේ, මැදිවියේ හෝ මහලු පෙම්වතියගේ ශරීරය ගැන ය. මලාමේ නම් ප්‍රංශ කවියා මෙසේ කියන්නේ අහම්බෙන් නොවේ.

           “ කවි ලියන්න එපා අදහස් තහවුරු කරන්න.

             කවි ලිවිය යුත්තේ වචන එක්ක…….”

 

                           දුප්පත්කම, නිර්ධන පන්තිය ගැන, අත්වල කරගැට ගැන කතා කරා කියලා අමරණීය කිවිඳියක් වෙන්න බැහැ. මොකද ඒ සඳහා පොර බදන්න වෙන්නේ භාෂාවේ කරගැට එක්ක මිසක් අත්වල කරගැට එක්ක නොවේ. මොකද හොඳ කවියෙක් හැදෙන්නේ වචන එක්ක මිසක් අදහස් හෝ අර්ථවේදයන් සමඟ නොවේ. අර්ථ හදන්න ඕනේ කියවන්නිය මිසක් කවියා නොවේ. හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කැන වැට පනිනවා වගේ ලංකාවේ කවියෝ තමන්ගේ අර්ථය කියවන්නියට දෙන්න උත්සාහ කරනවා. කවිය  හැඟවුම්කාරකයක් විතරයි. කවි තුළ හැඟවුම් තිබුණොත් ඒවා දියාරු වෙනවා. නිරාශ ‘ මැදිවියේ පෙම්වතිය ’ සතු රාගයේ සහ ප්‍රේමයේ ශක්තිය පෙන්නන කොට ඒක ලංකාවට අර්ථ දෙන දෙයක් නොවේ. ලංකාවේ වැඩිහිටි පිරිමින් හොයන්නේ, තරුණ ස්ත්‍රීන් ය. කවියන් ලියන්නෙත් තරුණ ස්ත්‍රීන් ගැන ය. නිරාශගේ කවිය තව දිගටම යනවා. ඔබ එය කියවන්න!

 මීළගට සාකච්ඡා කරන්නේ, ‘ නුරා පිරුණු සිලුවටයක ’ 12 වැනි කවිය යි.

Deepthi kumara Gunarathne

මීළඟට ඊළඟ කොටස – 

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here