ලංකාවේ අනෙකුත් වාමාංශික සහ ලිබරල් සංවිධාන වලින් අප වෙනස් වන්නේ, යම් කිසි සමාජයක සැබෑ ක්‍රියාවලියක් සිදු වී ගෙන යන විට වඩා වැදගත් වන්නේ න්‍යාය යන කරුණ බව අවධාරණය කරන තැනින් ය. දැනට වසර 40 ක පමණ කාලය තුළ ලංකාවේ කැරලි දෙකක් ඇති වුවත්, උද්ඝෝෂණ අනන්ත සංඛ්‍යාවක් ඇති වුවත්, ඒ කිසිවක් නිසා ධනවාදී ප්‍රවාහයට කිසිවක් සිදු වූයේ නැත. ‘ප්‍රාග්ධනය’ නම් එන්ජිම සියල්ල පෙරළාගෙන ඉදිරියට ගමන් කරන අතර ඊට විරුද්ධ වූවන් පවා ඊට යටත් වෙති.

                       පුරුද්දට මෙන් ධනවාදයට විරුද්ධ වන අය සිතන්නේ, මිනිසුන් මේ සමාජ ක්‍රමය ගැන නොදන්නා නිසා ඊට වහල් වී ඇති බවයි. ඒ නිසා, ඔවුන් වසර 40 ක කාලය පුරා මිනිසුන්ට දැනුම සපයති. නමුත් මිනිසුන්ගේ චර්යාවෙන් පෙනෙන්නේ, ඔවුන්ට මේ සමාජ-ක්‍රමය ගැන ඉගෙන ගැනීමට අවශ්‍ය නොවන බව ය. මිනිසුන් විද්‍යාවට වඩා මේ යුගයේ දී ආදරය කරන්නේ, අවිද්‍යාවට ය.

                         අප සංවිධානය මේ තත්වය හැඳින්වූයේ, පශ්චාත්-නූතනවාදය යනුවෙනි. දැන්, එයට වසර 20 ක පමණ කාලයක් ගත වී ඇත. අප පුරෝකතනය කළ ‘සමාජය’ මේ වන විට හොඳින් උත්පාද වී ඇත. කළ යුත්තේ, අපගේ පැරණි රචනා කියවීම පමණි.

                       සාම්ප්‍රදායික පැරණි වමෙන් සහ විජේවීරට පසුව බිහි වූ වාමාංශය ඇතුළත්ව ඊනියා ජාතිකවාදීන් ද අපට කරන ලද විවේචනය වූයේ, අපගේ න්‍යායන් සංස්කෘතියට පමණක් අදාළ වන බවයි.

                       ඉහත විවේචනයේ සාපේක්ෂ සත්‍යයක් ඇත. නමුත්, ධනවාදී ආර්ථිකයට සහ ධනවාදී සංස්කෘතියට යන අංශ දෙකටම සාධාරණ න්‍යායික දර්ශනයක් ඉදිරිපත් කිරීම පහසු හෝ කෙටි කාලීන වැඩක් නොවේ. විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩ නැඟීමේ දී විප්ලවවාදී න්‍යායක් අනිවාර්යයෙන් අවශ්‍ය ය. මේ අර්ථයෙන්, විප්ලවවාදී වන්නේ න්‍යාය මිස ව්‍යවහාරය නොවන බව ද අන්තවාදීව අපි විශ්වාස කරන්නෙමු. උදාහරණයක් ලෙස ගතහොත්, වසංගත රෝගයක් අවසන් කළ හැක්කේ එන්නතක් සොයා ගැනීමෙන් පමණි.

                         වසර 2000 පමණ වන විට, ධනවාදී සංස්කෘතියේ සිදු වූ උන්මුල වෙනස නැතහොත් ඛණ්ඩනය ”පශ්චාත්-නූතනවාදය” මඟින් අපි පරිකල්පනය කළෙමු. ‘මාතොට’ සහ ‘ලන්ඩන්’ සඟරාවල මුල් අවධිය මඟින් මෙම අවධිය ප්‍රකාශ විය. 2001 වන විට, ලැකානියානු මනෝවිශ්ලේෂණය මඟින් පශ්චාත්-නූතන සංස්කෘතිය තුළ ජීවත්වන ඒජන්තයාගේ මනෝභාවයන් අපි ප්‍රකාශ කළෙමු. ‘හිස්ටීරියාව’ නම් තනි සංකල්පයක් හරහා ජනප්‍රිය වූයේ, මෙම අවධිය යි. නමුත් 2002 සිට 2004 මැද දක්වා උත්සාහ කරන ලද්දේ, අර්නෙස්ටෝ ලැක්ලාව් ඉදිරිපත් කළ සාරයන් (වෙනස් නොවන දේවල්- පන්තිය, ඒජන්තයා, පක්ෂය) විසංයෝජනය කරන සහ ප්‍රතිවිරෝධයන් වෙනුවට පසමිතුරුභාවයන් න්‍යාය ගත කළ පශ්චාත්-මාක්ස්වාදය සහ ස්ලෝවේනියානු දාර්ශනිකයෙක් වන ස්ලාවොජ් ජිජැක් ඉදිරිපත් කරන ලද හේගලියානු ලැකානිකෘත මාක්ස්වාදය අතර යම් සංස්ලේෂණයක් කළ හැකි ආකාරය වටහා ගැනීමට ය. 2004 වර්ෂයේ අග සිදු වූ අනපේක්ෂිත පිපිරීම නිසා සංවිධානයෙන් බාහිරට ගිය කිහිපදෙනෙක් ඉහත ප්‍රවාහා දෙක වෙන් කර, වෙන වෙනම ඒවාට ස්වාධීනත්වය දෙමින් අනන්‍යතා දේශපාලනයක් තහවුරු කිරීමට උත්සාහ කරන ලදි.

Paligu Manike

                       සංවිධානය තුළ මා සමඟ ඉතුරු වූ පිරිසෙන් එක් පුද්ගලයෙකු විසින් ඉහත ද්විඝටනයේ පූර්ව අවධියකට සංවිධානයේ දේශපාලනය රැගෙන ගිය අතර ඊට බහුතර කැමැත්ත පළ විය. එය එක්තරා ආකාරයක නව-විජේවීරවාදයක් විය. සමාජයේ එක් පන්ති තීරැවක් තෝරාගෙන, ඒ අයව උත්තේජනය කොට, ඒ හරහා බහුජන සංවිධානයක් ගොඩනඟා රාජ්‍ය බලය ලබා ගැනීම උපායමාර්ගික සැලැස්ම විය.

                            මම ඉහත අන්ත දෙකටම නොගියෙමි. මට අවශ්‍ය වූයේ, ලැක්ලෝ සහ ජිජැක් අතරමැදි කොටගෙන නැතහොත් ඒ දෙදෙනාගේ න්‍යායික චින්තන දෙක අතරින් ධනවාදය පිළිබඳ සාධාරණ න්‍යායක් (General Theory) ගොඩනැඟීමට ය. මා එය කලින්ම දැන සිටි පරිදි පරම්පරාවක කාලයක් ගත වන වැඩකි. උදාහරණයක් ලෙස, දළ වශයෙන් පසුගිය වසර 12ක පමණ කාලය ගත වූයේ, ‘න්‍යායික පර්යේෂණාගාරයක්’ (Theoretical Lab) සංවිධානය තුළ පිහිටුවා ඒ තුළින් අලුත් පරම්පරාවට ඉහත සංගතකරණය ඉගැන්වීමට ය. 2004ට පෙර මා සමඟ වැඩ කළ අයට විශාල ඉඩක් සහ ප්‍රචාරයක් මාධ්‍ය මඟින් ලබා දුන්නේ මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමට බවට සාක්ෂි ඕනෑ තරම් ඇත. මගේ අනුකාරකයන් සහ ඔවුන්ට කඩේ ගිය සියලු දෙනා දැන් ලැජ්ජා විය යුතුය. මන්දයත්, නිවැරදි දිශානතියකින් තොරව ඔවුන් ගොස් ඇති මාර්ගයන් වංකගිරි වලින් කෙළවර වී ඇති නිසා ය.

                        දැන් අපට සංස්කෘතික න්‍යායක් වෙනුවට ධනවාදය විචාරය කරන ”දේශපාලන-ආර්ථික විද්‍යා දෘෂ්ටිකෝණයක්” සහිත  දෘෂ්ටිවාදී විශ්ලේෂණයක් සම්මුඛ වී ඇත. හුදු පශ්චාත්-මාක්ස්වාදයක් නොවන හුදු ලැකානියානු මනෝවිශ්ලේෂණය මත පදනම් වූ සංස්කෘතික විචාරයකුත් නොවන එන්නතක් අප සොයා ගෙන ඇත.

                       මෙම අලුත් එන්නත සොයා ගැනීමේ විශාල ගෞරවයක් ‘ඩිල්ෂාන් ප්‍රනාන්දු සහෝදරයාට’ යා යුතු අතර සංවිධානයේ සහෝදර සහෝදරියන් විශාල ගණනක් ද ඊට දායක විය. කෙනෙක් අලුතින් සොයාගත් දෙයක් ගසා කන්නට කැප වූ කාලකණ්ණි පිරිසක් මේ රටේ සිටින බව මම දනිමි. මාව විකුණා පොරවල් වූ අය ඕනෑ තරම් මේ රටේ සිටිති. නමුත් ඉදිරියේ දී ඒ දෙය යළිත් සිදු වීමට සංවිධානයක් ලෙස අපි ඉඩ නොදෙන්නෙමු.

                          මේ පිළිබඳ න්‍යායික පත්‍රිකාව ඉදිරියේ දී 3mana වෙබ් අඩවියේ පළ වන අතර ඩිල්ෂාන් සහෝදරයා විසින් කිරීමට නියමිත ආචාර්ය උපාධියට මම සුබ පතන්නෙමි. මම මීට ඉස්සර, මෙවන් ප්‍රාර්ථනාවන්ම නිර්මාල් රංජිත් දේවසිරි, ප්‍රභා මනුරත්න, සමන් පුෂ්පකුමාර අරබයා ද කළෙමි. උදාහරණයක් වශයෙන්, ‘Interpassivity’ යන ඉංග්‍රීසි වචනයට ඉතා හොඳ තේරුමක් සහිත ‘අන්තර්අක්‍රීයතාවය’ යන වචනය සෑදුවේ ද ප්‍රභා ය. නිර්මාල් ටෙලිනාට්‍ය නළුවෙක් නොවූයේ නම් ලංකාවේ ‘ඉඩම්’ පිළිබඳ හොඳම න්‍යාය ඔහු අතින් බිහි වීමට ඉඩ තිබුණි. එපරිදිම, නිමල් බණ්ඩාර සහ තිලක් කෝදාගොඩ බබා කතා කියා නො රවටන්නට සමන් පුෂ්පකුමාරට ජිජැක්ට වඩා ‘නිශේධනය’ පිළිබඳව හොඳ න්‍යායක් ගොඩනැඟීමට හැකිව තිබුණි. දැන් මේ සියල්ල කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් ඇත.

                      මට අනාගත පරපුරට පරිත්‍යාග කළ හැකි හොඳ දේ මම  දුන්නෙමි. ඒ සඳහා, නිර්මාල් හිනා වන, සතපහකට වැඩක් නැති මගේ ජීවිතය මා විසින් කැප කළෙමි.

Deepthi kumara Gunarathne

මීළඟට ඊළඟ කොටස – 

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

 

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. පීඑච්ඩි කරනන් ගියාට පස්සේ ඔය කට්ටිය අත ඇරලා යනවා නේද? ඔතන ප්‍රශ්නය තියෙන්නේ මම හිතන්නේ දීප්ති ඒ අය ගිය තරම් දුරට ඉගෙන නැහැ කියන හැඟීම වෙන්න ඇති. ලංකාවේ ඒක හුඟක් බලපාන සාධකයක් නේද ? ඔයතියන අධ්‍යාපන ක්‍රමයත් අනුව. හුඟක් අය දීප්ති ගෙන් යම් දෙයක් දැන ගත්ත කියන්න ලැජ්ජ වෙනවා නේද? විජේවීර ට හරිගියේ සෝවියට් දේශයේ ඉඳන් ආ නිසා සහ වපුරා තිබු ඇතැම් මිත්‍යාවන් නිසා. දවසක් පෙසපේ සාමාජිකයෙක් ඉතමත් උජාරුවෙන් කීව පලවෙනිඅවුරුද්දේ විජේවීර හැම විෂයක්ම හොඳටම (විශිෂ්ඨ සම්මන) පාස් වෙලා රන් පදක්කමක් ලැබුනලු. අනේ මන්ද? හුඟක් ලංකාවේ සිසුන් එහෙම පාස් වුනා. (මාත් ඇතුළුව). ඉතින් ඒකෙ ඇති දෙයක් නැහැ කියල අර මනුස්සයට තේරෙන්නේ නැහැ.

Comments are closed.