ශිෂ්ටත්වයේ සිහිනය...|Tuesday, September 26, 2017
You are here: Home » News » තාගෝර් – ආදරවන්තයාගේ කතිකාව

තාගෝර් – ආදරවන්තයාගේ කතිකාව 

apjvyh

මම අසීරු කාර්යයකට අත පොවමි. අසීරුතාවය අන් කිසිවක් නොව රවීන්ද්‍රනාත් තා‍ගෝරයන් පිළිබඳ එරික් ඉලියප්පආරච්චි ගේ පුළුල් කියවීම පත්තර පිටු කාලක වපසරියක ලා කතා කිරීමට සිදුවී තිබීමය. එය හරියට අර ආර්.කේ.නාරායන් කිව්වාක් මෙන් ඩිමයි අටෙන් එකේ ‍කඩදාසියකින් අලියකු එතීමට අසමාන නොවේ.

ඇත්ත. සිංහල සාහිත්‍ය විචාරය විශේෂිතවත් ලෝක සාහිත්‍ය සම්මතය පොදුවේත් ගෙන බැලූ විට තාගෝර් පිළිබඳ එරික් ගේ කියවීම විචක්ෂණශීලී කියවීමක් තමයි. එම ගෞරවය එසේම හිමිකර දෙමින් මෙම ලිවීම තුළ මා උත්සාහ කරන්නේ තමා‍ගේ කියවීමට එරික් විසින්ම පනවා ගන්නා යම් සීමාවන් කීපයක් හඳුනා ගැනීමටත් ඉන් යම් අවැඩක් වී තිබේදැයි සලකා බැලීමටත්ය.

එරික් මෙම ලිවීම කරගෙන යද්දී තමාගේ අත පොවන මායිමේ තිබෙන හැම ප්‍රවාදයක්මත් තම මල්ලේ ලා ගනී. මෙය ආදරවන්තයාගේ කතිකාවක් ලෙස නිමා කරන්නේ ඒ අනුවය. ඉලයප්ආරච්චි තාගෝර්ගේ, රොමැන්ටික් කවි තේරුම් කිරීමේ යතුර සොයා රොලන් බාත් (Roland Barthe) ගේ A Lovers Discourse නම් වියමන පීරයි. පශ්චාත් නූතන කතිකාව තුළ තම ලිවීම මෙහෙයවන මුත් ව්‍යූහවාදියකු (Structuralist) ලෙස කුප්‍රකට බාත් ගේ (එරික් මෙම නම බර්ත යනුවෙන් ප්‍රංශ වහරට එදිරිව යමින් උසුරුවයි) මෙම වියමන ප්‍රේමය පිළිබඳ ව්‍යූහවාදී වාගාලංකාරයකි (Rhetorical Discourse). එරික් මෙම වාගාලංකාරය යොදාගනිමින් තාගෝර්ගේ නස්තනීර් (චාරුලතා) නවකතාව නැවත කියවීම විශිෂ්ටය. (මෙම වියමනෙහි 178 පිටුව බලන්න.)

විටෙක ඔහුගේ මෙම ලිවීම තුළට ලැකාන් පවා කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව කඩා වදී. එහෙත් එම සියලු න්‍යායික ප්‍රවේශයන්ගේ යටි පෙළ වෙනත් කියවීමක් බව වටහා ගත යුතුය. එය අන් කිසිවක් නොව පශ්චාත් යටත් විජිත කතිකාවයි (Post Colonial Discourse). මෙම කියවීමට ප්‍රවේශයක් ලෙස මෙම වියමන තුළ හමුවන පහත දැක්වෙන උධෘතයන් විමර්ශනය කරන ලෙස මම යෝජනා කරමි.

“පශ්චාත් – යටත් විජිත ඉන්දියාවේ ගැටලු විභාග කිරීමට උපකාර වන විකල්ප ඉන්දියාවක් පිළිබඳ බලාපාරොත්තු එමඟින් දල්වා ලනු ලැබේ.”
පිටුව 27

“පශ්චාත් – යටත් විජිත වාදී විචාරකයින් පෙන්වා දෙන පරිදි ‍එම බෙංගාල චරිත තුළ උභයාවේගිකාව (ambivalence) හෙවත් ප්‍රතිවිරුද්ධ චින්තනයන්ගේ සම්මිශ්‍රණය නිසා ඇතිවූ ද්විත්ව චේතනිකතාව විද්‍යමාන වේ.
පිටුව 85

“මෙය තාගෝර් ගේ රොමැන්ටික් වාදයේ ලක්ෂණයකි. එහි දේශපාලන පිළිබිඹුව ලෙස පවතින්නේ අධිරාජ්‍යවාදයෙන් නිදහස් වන දවසක අවදිවන නිදහස් ළදරු රාජ්‍යයක් පිළිබඳ පිරිසිදු බලාපොරොත්තුවයි.”
පිටුව 93

“අනාගත පශ්චාත් යටත් විජිත සමාජය තුළ ලිංගිකත්වයට වඩා වැඩි වටිනාකමක් හා කාර්යභාරයක් වසඟය ඉටු කරනු ඇති බව ඉඟි වෙයි.”
පිටුව 135

මේ ආදී වශයෙන් එරික් තා‍ගෝරියානු ඉන්දියාව පශ්චාත් යටත් විජිත කතිකාව තුළ කියවයි. වැඩවසම් සමාජය බිඳ වැටී කාර්මික කරණය හරහා ඉන්දියාව ධනේශ්වරයට පිළිපන් අයුරු එරික් මෙහි ලා මනාව විස්තර කර ඇත. තාගෝර් පරපුර පවා මේ කාර්මික කරණයට මුල පිරූ බව පැහැදිලි කෙරේ. එහෙත් එරික් ‍රොමැන්ටික් වාදය පශ්චාත් යටත් විජිත කියවීමක පූර්ව ආඛ්‍යානයක් ලෙස දකින්නේ කුමක් නිසාද? මෙයට හේතුව එරික් නූතනත්වය (Modernity) සහ නූතනවාදය (Modernism) එකක් ලෙස සැලකීමය.

නූතනත්වය (Modernity) යනු ධනේශ්වර කාර්මිකකරණය තුළින්ම පැන නැඟී එයට පිළිමල්ව සිටි සංස්කෘතික ව්‍යාපාරයයි. රොමැන්ටික්වාදය මෙම නූතන වාදී සංස්කෘතික විරෝධයේ එක් බලවේගයකි. එරික් තර්ක කරන පරිදි ඉන්දියාවේ ආර්ථික සම්පත් පමණක් නොව, යටත් විජිත වැසියාගේ මනස ද යටත් විජිත කරණයට භාජනය වී ඇත. මේ නිසා ඉන්දියානු යටත් විජිත වැසියාගේ සංස්කෘතික ප්‍රමුඛතා සදහටම වෙනස් කරන ආකාරයේ බලවේග මෙම යටත් විජිත සමාජ තුළට ඇතුල් කරනු ලැබ ඇති බවට එරික් ප‍රසක්වල ගසයි. තාගෝර්ගේ සියලු නිර්මාණ එරික් විග්‍රහ කරන්නේ එබඳු විචාර සන්දර්භයක් තුළ බව පැහැදිලිය.

ත‍ාගෝර් ගේ කලිබුවාලා කෙටිකතා‍වේ එන පියවරුන්ගේ හැසිරීම එරික් කියවන්නේ ඊඩිපස් සංකීර්ණයේ විවිධ විස්තාපනයන් ලෙසය. මෙම අවුල් සහගත නිගමනය යළිත් පශ්චාත් ව්‍යූහවාදය සමඟ ගැටගැසෙයි. එරික් මෙසේ ලියයි.

“කල්කටාව කේන්ද්‍රය කරගත් බ්‍රිතාන්‍ය පාලනය විසින් බෙංගාලියා සහ ඇෆ්ගන් කාරයා එකිනෙකා වෙතින් දුරස් කර එකකු ශිෂ්ටාචාරය තුළත්, අනෙකා ශිෂ්ටාචාරයෙන් පරිබාහිරවත් තබා ඇත.”

බ්‍රිතාන්‍ය පාලනය විසින් නිර්මාණය කළ ශිෂ්ටාචාර 2කට අයත් පියවරුන් දෙදෙනෙකු පිළිබඳ මෙම ප්‍රලාපය ඉන්දියාව තුළ නූතනවාදයේ අනුශීලනය වරදවා කියවීමකි. නැතහොත් නොකියවීමකි. කලිබුවාල වූ කලී පූර්වජ ගෝත්‍රික පියා නූතන ධනවාදී සන්දර්භයක් තුළ නැවත නිර්මාණය කිරීමකැයි මම කියමි. සියලු ස්ත්‍රීන් තමන්ට අයිති කරගත් පූර්වජ පියා (Primodial father) වෙනුවට ධනේශ්වරය විසින් ශිෂ්ට සම්පන්න කළ පියකු එහිදී අපට හමුවේ.

තාගෝර් ගේ ඉන්දියාව විරුද්ධභාෂිතයක් (paradox) ලෙස එරික් නම් කරන්නේ එහි හේතුව එය පශ්චාත් – යටත් විජිතයක් වීම ලෙස ගනිමිනි. ඉන්දියා‍වත් අපත් ධනේශ්වර වන්නේ අධිරාජ්‍ය වාදය නිසා බව ඇත්තය. එහෙත් එහි ප්‍රතිවිරෝධතා පශ්චාත් යටත් විජිත කතිකාවකට ඌනනය කළ නොහැක. විරුද්ධ භාෂිතය නූතනවාදය විසින්ම නිර්මාණය කළ කිසිවකි.

නූතනත්වය යනු නූතනවාදය නොවේ. නූතනත්වය පිළිබඳ සංකල්පය 18 වන සියවස අග තහවුරු වද්දීම 19 වන සියවස අග වන විට එයට එරෙහි සංකීර්ණ ප්‍රතික්‍රියාවක් මතුවිය. නූතන වාදයේ සංස්කෘතික ව්‍යාපාරය එයයි. නූතනවාදය එක් අතකින් නූතනත්වය තහවුරු කළා සේම එය ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව 19 වන සියවස තුළදී නූතනත්වයේ ආත්මය දෙකඩ වන්නේ සමාජ සහ දේශපාලන ව්‍යාපාරයක් ලෙස නූතනත්වය සහ සෞන්දර්ය සංකල්පයක් ලෙස නූතනත්වය වශයෙනි.

ධනේශ්වර නූතනත්වය තුළ එරික් සඳහන් කරන විරුද්ධ භාෂිකයාගේ උපත සලකුණු කරන්නේ එතැනය. එය හුදු පශ්චාත් – යටත් විජිත කතිකාවකට ඌනනය කළ මතික්‍රමයන් ලෙස තොරොම්බල් කිරීම ගයාත්‍රි ස්ජිවැක් රෑ වැටෙන වළේ දවල් වැටීමකි. වෙනත් ලෙසකින් කිව හොත් ලංකාව පශ්චාත් යටත්විජිත කතිකාව තුළ විග්‍රහ කිරීමේ පහසු කාර්යයට අත පොවන සුනිල් වි‍ෙජ්සිරිවර්ධන, ලියනගේ අමරකීර්ති වැනි අය සමඟ සම අසුන් ගැනීමකි. එරික් ඉලයප්ආරච්චි වැනි කෙනකු එතැනට වැටීම කනගාටුදායකය.

සමන් වික්‍රමාරච්චි

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...