‘ගොළු හදවත’ චිත‍්‍රපටයේ මුඛ්‍ය ලක්ෂණය වන්නේ එහි කතාව දෘෂ්ටිකෝණ දෙකකින් ප‍්‍රකාශ කිරීමයි. සිනමා ව්‍යවහාරයක් ලෙස ගත් කල මෙම උභය දේශපාලනිකය. චිත‍්‍රපටය තුළින් සාකච්ඡා වන තේමාවේ හරය කැටි කරන දෙබසක් සිනමා ආඛ්‍යානයේ මුල දී අපට හමු වෙයි.

රුබයියාට් කාව්‍ය ගැන සාහිත්‍ය ගුරුවරයා සුගත්ගෙන් ප‍්‍රශ්නයක් අසයි.

 

ගුරුවරයා           : රුබයියාට් කාව්‍යයේ විශේෂ ලක්ෂණයක් කියන්න.

සුගත්           : වචනවලින් කියන්නේ එකක්, ඒත් අදහස (Idea) වෙන එකක්.

 

‘ගොළු හදවත’ චිත‍්‍රපටය තිරගත වූයේ 1968 වර්ෂයේ ය. කරුණාසේන ජයලත් වාමාංශිකයකු වුවත් ඔහු ලියූ මෙම නවකතාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන් එකල ජීවත් වූ වාමාංශිකයන්ට අනුව බොළඳ පේ‍්‍රම කතාවකි. මෙම චිත‍්‍රපටය තිරගත වී මේ වන විට දශක පහක් ගත වී ඇත. නමුත් ලංකාවේ වාමාංශික දේශපාලනය සහ ස්ත‍්‍රී-පුරුෂ ලිංගික වෙනස පිළිබඳව මූලික DNA අණුව මෙම චිත‍්‍රපටය තුළ නිධන්ගතව ඇත. ලෙස්ටර් මූලික වශයෙන් මතු කරන කාරණය වන්නේ එහි ඇති අපූර්ව ආකෘතියයි. එනම් එකම කතාව දෘෂ්ටිකෝණ දෙකකින් ප‍්‍රකාශ කිරීමයි. යම්කිසි කතාවක් දෘෂ්ටි කෝණ දෙකකින් පැවසීම අපූර්ව වන්නේ කෙසේද? ගැටලුව එයයි. මේ හේතුව නිසා මෙම චිත‍්‍රපටයට 1968 දී පැවතුණේ ‘නමක්’ පමණි. මෙම ලිවීම හරහා ‘ගොළු හදවත’ දේශපාලන තේමාවක් වෙයි.

‘ගොළු හදවත’ චිත‍්‍රපටය සමකාලීන මාතෘකාවක් බවට පත් වන්නේ කෙසේද? 1968 වර්ෂයට අදාළව ගත් කල මුළුමහත් පරම්පරාවක්ම ‘ගොළු හදවත’ සලකන ලද්දේ හදවතේ කතාවක් ලෙසින්ය. ඔවුන්ට එය අසාර්ථක වූ පේ‍්‍රම කතාවක් විය. නමුත් අසාර්ථක වූ පේ‍්‍රම කතාවක් එතරම් සාර්ථක ප‍්‍රබන්ධ කතාවක් වූයේ කෙසේද? වාමාංශය යනු 60 දශකය තුළ ලංකාවේ තහවුරු වූ දේශපාලන ප‍්‍රවර්ගයකි. ඔවුන් යථාර්ථයට වැඩියෙන්ම අනුරාගික වූ කොටසයි. වාමාංශික දේශපාලන සත්වයෙක් ‘ගොළු හදවත’ චිත‍්‍රපටයට වඩා එය නිපදවන වාස්තවික යථාර්ථයට වශී වීම අපේක්ෂා කළ යුතු තත්ත්වයකි. මේ නිසාම ‘ගොළු හදවත’ චිත‍්‍රපටයේ දෘෂ්ටිකෝණ දෙක පිළිබඳ උපක‍්‍රමය බොළඳ එකකි. 2004 වර්ෂයේ සිදු වූ X කණ්ඩායමේ ඛණ්ඩනය යට ඇත්තේ ද බොළඳ පේ‍්‍රම කතාවක් යැයි කිසිවකු පැවසුවොත් තවම ජීවමාන බොහෝ X සාමාජිකයන්ට එය කැළැලකි. ඔවුන් බහුතරය තවම රුචි කරන්නේ X ඛණ්ඩනය යට ඇති වාස්තවික හේතු ගවේෂණය සඳහාය. නැතහොත් එම බෙදීමට මගේ දායකත්වය පාදක වූ අයුරු ගවේෂණ කිරීම ඔවුන්ගේ පැත්තෙන් සංරක්ෂණවාදීය. නමුත් ‘ගොළු හදවත’ චිත‍්‍රපටයේ ද්විත්ව ආඛ්‍යාන රටාව මිනිසාගේ අවිඥානික ආශාව ගැන උගන්වන්නේ නම් තත්ත්වය අප සිතනවාට වඩා දේශපාලනිකය. පේ‍්‍රමය පමණක් නොව දේශපාලනය ද යම්කිසි බොළඳත්වයක් මත පදනම් වන බව පිළිගැනීමට අප අරුචිය.

අප පළමුවෙන් ඇසිය යුතු ප‍්‍රශ්නය වන්නේ පශ්චාත්-යටත්විජිත පිරිමියා (සුදු ජාතික ස්කොට්ලන්ත සංචාරකයාගෙන් අපගේ ආශාව උත්පාද කරගත්) විසින් ස්ත‍්‍රියකට ආදරය කරනවාද? නැතහොත් ආදරය හරහා මේ ප‍්‍රකාශ වන්නේ පිරිමියාගේ ආත්ම රාගයද යන්නය. යථාර්ථයට වෙරි වීම මොහොතකට අමතක කර ආශාවේ සාක්ෂරතාව අප කියවන්නේ නම් එහි ව්‍යාකරණය කුමක්ද?

ඇල්ෆ‍්‍රඞ් හිච්කොක්ගේ Vertigo (1958) චිත‍්‍රපටයේ දී ස්කොටී නම් පිරිමියා මැඩලීන් නම් ස්ත‍්‍රියට ආලය කරනවා නොවේ. ඒ වෙනුවට ඔහු කරන්නේ ස්වයං-ආලයයි. මෙය ඇමරිකානු පිරිමියාගේ සුවිශේෂී ආත්ම ප‍්‍රකාශනයයි. ඔහු කෙතරම් ආත්මරාගීද කිවහොත් එම තත්ත්වය රෝගී ලක්ෂණයක් දක්වා උත්සන්න වී ඇත. මේ සන්දර්භය අනුගමනය කරමින් ‘ගොළු හදවත’ නැවත කියවීමක් කළහොත් සුගත් දම්මිට ආදරය කරන්නේ නැත. ඔහු ආදරය කරන්නේ ඔහුටමය. ඒ සඳහා ඔහුට අවශ්‍ය කරන්නේ හිස්ටෙරික ආශාවකි. හිස්ටෙරික ආශාව යනු කිසිදු ආකාරයකින් තෘප්තිමත් කළ නොහැකි ආශාවකි. හිස්ටෙරිකයකු යනු ස්ති‍්‍රයක් හෝ පුරුෂයෙක් හෝ නොවේ. ඇය ආශාව ප‍්‍රශ්න කරන්නෙකි. මේ නිසා ඇගේ ආශාව අනෙකා නරඹන්නේ ප‍්‍රහේලිකාවක් ලෙසිනි. පශ්චාත් – යටත්විජිත සිංහල පිරිමියා පෙම්වතෙක් නොව මෙලන්කොලිකයෙකි. ඔහු ශෝකී වන්නකු නොව පසුතැවෙන්නෙකි. ආදරය ඉදිරියේ ඔහු ඇද වැටෙන්නකු නොව සදාචාරාත්මක ස්වපීඩකයෙකි.

අවිඥානය පැත්තෙන් බලන විට අප ‘ගොළු හදවත’ චිත‍්‍රපටයට ආශා කරන්නේ එය බොළඳ පෙම් කතාවක් නිසා නොවේ. අප එයට ආකර්ෂණය වන්නේ එහි යටිපෙළ විසින් අපට සපයන සුවිශේෂී ස්වපීඩාකාමය (තමන් තමන්ටම හිරිහැර කර එම වේදනාවෙන් සතුටු වීම* නිසාය. මහාචාර්ය සිරි ගුණසිංහ ‘සත් සමුදුර’ චිත‍්‍රපටය කරා නොවේ. ස්වර්ණා මල්ලවආරච්චි නම් නිළිය මුණගැසීම නිසා සිරි ගුණසිංහ සිංහල චිත‍්‍රපටයක් නිර්මාණය කළේය. සත්‍යය අපට සම්මුඛ වන්නේ පැත්ත මාරු කළ විටය.

‘ගොළු හදවත’ චිත‍්‍රපටය නරඹන විට අපට දම්මි නම් තිරිසන් සත්වයා ගැන ජුගුප්සාවක් මතු වෙයි. ඇගේ නැරඹුම නිසා පිරිමි අප බලවත් අපහසුතාවකට පත් වෙයි. ඇගේ දැක්ම නිසා සුගත් පමණක් නොව අප ද තිගැස්මකට භාජනය වෙයි. ඒ ඇයි?

ස්ති‍්‍රය නම් තිරිසනාගේ බැල්ම නිසා පිරිමියා නම්  මනුෂ්‍යයා ලැජ්ජා වන්නේ ඇයි? ප‍්‍රහේලිකාවක් වන ආශාවක් සහිත ස්ත‍්‍රියක් පසුපස පිරිමින් හඹා යන්නේ ඇයි? තමන්ට කරදරයක් වන දේවල් වහා අතහැර දමන පිරිමින් ස්ත‍්‍රීන්ගේ මහා කරදරයක් වන ප‍්‍රහේලිකාමය, ගුප්ත, අඳුරු, තිිරිසන් ආශාවන් පිටුපස මෙතරම් අනුරාගයෙන් දුවන්නේ ඇයි? පිළිතුර ස්කොටී සහ සුගත් යන පුරුෂයන්ගේ ආත්මමූලිකත්වය තුළම ඇත.

ගැටලූව වක‍්‍රව වටහා ගැනීම සඳහා අපි බටහිර දාර්ශනිකයෙක් වන ජාක් ඩෙරීඩා දෙසට හැරෙමු. ඒ ඔහුගේ ගැඹුර සෙවීමට නොව මතුපිට පහුරු ගෑමටය. දිනක් ඩෙරීඩා හිමිදිරියේ නැගිට තුවාය ද අතැතිව නාන කාමරය දෙසට නිරුවතින් දිව යයි. ඔහු සමඟ ඔහුට ඉදිරියෙන් හෝ පසුපසින් හෝ සමාන්තරව (මෙය මතක නැත) නිවසේ හුරතලයට ඇති කරන පූසිය ද දිව යයි. මේ ගමන අතරතුර දී නිරුවත් ඩෙරීඩාගේ පිරිමි ශරීරය දෙස පූසිය බලා සිටියි. එවිට ලැජ්ජාවෙන් ඉපිල යන ඩෙරීඩා තම තුවායෙන් නිරුවත වසා ගනියි. ඩෙරීඩාගේ ප‍්‍රශ්නය වන්නේ මේ තිරිසනා තුළ සිට ඔහුගේ නිරුවත් සිරුර දෙස බලා සිටියේ කවුද යන්නය. අප මේ සඳහා මනෝවිශ්ලේෂණ පිළිතුරක් අපේක්ෂා කරන්නේ නම් ඒ අන් කිසිවකු නොව ඩෙරීඩාමය. මෙහි අර්ථය කුමක්ද? අපගේ සත්තාව කුමක්ද යන්න තීරණය වන්නේ අනෙකාගේ තිරිසන් දැක්ම මඟිනි. අවසන් විග‍්‍රහයක දී අපගේ නිරුවත් වීම නිසා අප ලැජ්ජාවට පත් වන්නේ එය අපගේ බැල්ම නිසාය (I = Gaze)

ගෙවී ගිය වසරක නදී වාසලමුදලිගේ නවකතාවක් අරබයා මා විසින් මගේ දේශනයක දී සත්තාව (Being) යන වචනය යොදාගන්නා ලදී. දේශනය අවසානයේ මා අසලට පැමිණි ඉස්සර නළුවකු වූ සහ වත්මනයේ දාර්ශනිකයකු වූ සෞම්‍ය ලියනගේ මහතා කලබලයෙන් මගෙන් මෙසේ විචාළේය. ”ඔයා මේ සත්තාව කියල වචනයක් පාවිච්චි කරා, ඔයා දන්නවද ඒ වචනයේ බැ?රුම්කම ගැන” මම නිහඬ වුණෙමි. පිරිමින් වන අපට දාර්ශනිකයන් වන ආත්මරාගීන්ට විශේෂ ඇල්මක් ඇත. නමුත් පසුගිය සතියේ Id අතිරේකයට රමේෂා සිරිවර්ධන නම් බොළඳ ස්ත‍්‍රිය මෙලෙස ලියා තිබුණි. ”අප ගොඩර්ගේ දර්ශනය හරහා වඩ වඩා ගැඹුරු අර්ථකථන සහිත මනෝ විද්‍යාත්මක පිරිමියෙක් ගවේෂණය කරන විට ෙහෙඩගර් විශ්ව-විද්‍යාලය මාරු කරන එක අහන්නේ නැද්ද ගැමියෙකුගෙන්” ඒ කියන්නෙ ෙහෙඩගර් දිහා අප බලා සිටින විට ඔහු බලා සිටින්නේ අප දෙස නොව ග‍්‍රාමීය ගොවියෙක් දෙසය. ෙහෙඩගර් එක පැත්තකින් බටහිර පරිභෝජනවාදයේ නාස්තිකත්වය අවධාරණය කළ අතර ඔහු අනෙක් පැත්තෙන් බටහිර ක‍්‍රිස්තියානි දහමේ නාස්තිකත්වය අවධාරණය කළේය. විකල්පය මාක්ස්වාදය යන්න ප‍්‍රතික්ෂේප කළ ඔහු විමුක්තිය ලෙස බටහිර ආධ්‍යාත්මික කැලයේ පදිංචි වූ අව්‍යාජ ගැමි ගොවියාව තෝරා ගත්තේය.

එවිට ෙහෙඩගර්ගේ ‘සත්තාව’ යන බහුශ‍්‍රැත වචනයේ වාගීශ්වරභාවයේ අර්ථකථන ගැඹුර ජර්මානු ගැමියාගේ බැල්මෙන් අවසන් වේ. එය අවසන් වන්නේ Being and Time තුළ නොවේ. පුරුෂයන්ගේ ආත්ම රාගයන් වන කටහඬ සහ වාගීශ්වරත්වය යනු දෘෂ්ටිවාදාත්මක ගැඹුරකි. ඊට එරෙහි නදී වාසලමුදලි හෝ දම්මි යනු පිරිමින්ගේ ආත්මරාගී ආශාවේ හිස්කම විදහා දක්වන ශ්‍රේෂ්ඨ කාන්තාවන්ය. හනා අරෙන්ඞ් නම් යුදෙව් ස්ත‍්‍රිය ෙහෙඩගර් නම් ශ්‍රේෂ්ඨ දාර්ශනික පිරිමියාව පිළිකුල් කරන්නේ ඔහු ප‍්‍රාදේශීයවාදියෙක් නිසාය. ඔහුට බර්ලිනයට ඒමට ඉඩ නොදෙන ‘මායාව’ ගැමියාට ප‍්‍රක්ෂේපණය කරනමුත්, එය ඔහුගේම ආත්මරාගයයි. ‘ගොළු හදවත’ චිත‍්‍රපටය මේ අනුව හුදු බොළඳ පේ‍්‍රම කතාවක් නොවේ. ස්ති‍්‍රයව බොළඳ කරන පිරිමි උපක‍්‍රමයකි. අවසානයේ තම ආත්මරාගය යනු පිරිමියාගේ පැත්තෙන් ගත් කල මෙලන්කොලික පැවැත්මයි. යථාර්ථයට හෝ වාස්තවික ආඛ්‍යානයන් කෙරෙහි අනුරාගික වන බොහෝ පිරිමින් පිටුපස ඇත්තේ සාමූහික හැඟීම නොව ආත්ම රාගයයි. ගොළු හදවත දෘෂ්ටිකෝණ අතරමැද ඇත්තේ සැඟවී ගිය පුරුෂ විනෝදයයි. (ස්වපීඩා කාමය)

 දීප්ති කුමාර ගුණරත්න

ඔබේ අදහස කියන්න...