ශිෂ්ටත්වයේ සිහිනය...|Wednesday, July 26, 2017
You are here: Home » News » දාර්ශනික සංකල්ප නොන්ඩි ගසන විචාරකයින්ට දාර්ශනික කිහිලිකරුවක්

දාර්ශනික සංකල්ප නොන්ඩි ගසන විචාරකයින්ට දාර්ශනික කිහිලිකරුවක් 

ice

මීට දශකයකට පමණ පෙර එක්තරා නවකතාවක් ප්‍රස්තුත කොට ගනිමින් මා ලියූ විචාරයක මෙසේ සඳහන් කළෙමි.

“සියලු සන්සන්දනයන් නොන්ඩි ගසතියි ලෙනින් කීවෙලු. දැන් මම මෙසේ කියමි. සාහිත්‍ය නිර්මාණ සන්සන්දනාත්මක ලෙස හැදෑරීමේ නොපොහොනා විචාරකයෝ නොන්ඩි ගසති. ඔවුන්ට කිහිලිකරු වී ඇත්තේ කුමක් ද? යල් පැන ගිය යථාර්ථවාදයේ මළකඩ කෑ රසාස්වාදනයයි.”

ඇත්ත. තවමත් මේ විචාරකයින් නොන්ඩි ගසනවා තමයි. එහෙත් අද මා මෙම තීරුව වියදම් කරන්නේ මෙරට සාහිත්‍ය විචාරකයින්ගේ දාර්ශනික දුගී බව පිළිබඳ විමසීමටය. ඒ සඳහා මම විජිත වෙලගෙදර ලියූ සාහිත්‍ය සහ සෞන්දර්ය කලාවේ දාර්ශනික සංකල්ප නමැති කෘතිය අත්වැලක් කොට ගනිමි.

විජිතගේ ලිවීම මට අනුව ෆැන්ටසිමය ආස්ථානයකි. එය ෆැන්ටසියක් වන්නේ අන් කිසිවක් නිසා නොව ඔහු ලියන්නේ දැනට ලාංකීය සාහිත්‍ය විචාරය තුළ දක්නට නොමැති කිසිවක් පිළිබඳ බැවිනි. එලෙස විචාරයක් දක්නට නොමැත්තේ සාහිත්‍ය නිර්මාණයක් වෙත දාර්ශනික එළඹුමය. මෙම වියමන පුරාම කතුවරයා ගැටෙන්නේ සත්‍යය යනු කුමක් ද? නැතහොත් සත්‍යය කියා දෙයක් තිබේ ද? සත්‍යය සහ ප්‍රබන්ධය අතර කඩඉම කුමක් ද? යනාදි ප්‍රශ්න සමඟය. මෙම පිළිවිසීම දාර්ශනික සන්දර්භයකින් සිදුවන විට එය නිරායාසයෙන් ම ඥාන විභාගාත්මක ගැටලුවක් වන බව අමුතුවෙන් කිව යුතු නැත.

සිංහල සාහිත්‍ය විචාරය තුළ මෙබඳු ආකාරයේ විමර්ශනයක් කෙරෙන පළමු අවස්ථාව මෙයයි. වෙලගෙදර මෙහි සත්‍යය යනුවෙන් සඳහන් කරන්නේ කලා කෘතියක් යථාර්ථය (reality) සේ ගන්නා දේම වේ. එනම් යම් කලා කෘතියක් යථාර්ථවාදී වීම යනු එය සත්‍යයට වඩා සමීප වීමක් සේ සැලකීමය. අද්‍යතන ලාංකීය විචාර ප්‍රවේශයන් තුළ වඩාත්ම තොරොම්බල් වන්නෙ ෆෝස්ටරියානු (E. M. Forster) වර්ගයේ විචාර කලාවකි. එහිදී සම්ප්‍රදායික විචාරකයො නවකතාවක චරිත නිරූපණය, අවස්ථා නිරූපණය, තේමාව ආදී වශයෙන් වූ යල් පැනගිය සිද්ධාන්ත ගෙනහැර පාමින් වංශය කබල් ගාති.

විජිත වෙලගෙදර මෙම ඊනියා විචාරය ප්‍රශ්න කිරීමට දොරටු විවර කරමින් විවිධ සාහිත්‍ය ධරයන්ගේ (කොලින්වුඩ්, වයිට් හෙඩ්, රිචඩ් ආදී ලෙස) සහ දාර්ශනිකයින්ගේ (කාන්ට්, හෙගල්, විට්ගන්ස්ටයින් ආදී ලෙස) ප්‍රවාද උරගල කොට ගනිමින් කරන තියුණු විමර්ශනය තුළ සත්‍යය / ප්‍රබන්ධය යන සහ සම්බන්ධ ප්‍රතිපක්ෂය (binary opposition) විසංයෝජනය කරයි. එනම් සත්‍යය යනු අවසාන විශ්ලේෂණයේදී ප්‍රබන්ධයක් වන බවත් ප්‍රබන්ධයට සත්‍යය වන බවත්ය. මේ පොතෙහි කතුවරයා කිසිදු තැනෙක ලා එබඳු නිගමනයක් ප්‍රකාශයට පත් කර නොමැත්තේ වුවත් මෙම වියමනෙහි සමස්ථාර්ථය ලෙස කෙනෙකුට අභ්‍යුපගමනය (assume) කළ හැකි න්‍යායික එළඹුම එවැන්නකි.

මෙම කතුවරයා තෝරා ගන්නා බොහෝ සාහිත්‍ය ධරයන් (දර්ශනාත්මක ප්‍රවේශයකින් යුතුව) සෞන්දර්ය ගැටලුව සඳහා එළඹීමේදී 18 වන සියවසේ විචාරාත්මක දර්ශන වාදය කරා ආපසු යයි. නිදසුනක් නම් අර්නස්ට් කැසිර නම් චින්තකයාය. ඔහු කැන්ටියානු දර්ශනවාදය තම ප්‍රවාද මූලයන් සැකසීමේ ලා යොදා ගනී. ඉමැනුවෙල් කාන්ට් Critique of Pure Reason නම් කෘතිය මඟින් සමපේක්ෂණාත්මක පාර භෞතික ආකල්පවලට (Speculative Metaphisics) ඉඩ දෙයි. කාන්ට ට අනුව ඒවායේ නියමානුකූල කර්තව්‍යය නම් සැබෑ ඥාන පද්ධතියට පිටතින් පවතින විමර්ශකයාගේ කාල්පනික කාරණා ලෙස සේවය කිරීමය. කැසිර කරන්නේ කැන්ටියානු ප්‍රාග් අනුභූතිය අනුව යමින් කලාව පිළිබඳ සංකේතවාදයක් හඳුන්වා දීමය. අප කතුවරයා කැසිරගේ ප්‍රවාදය අනුව යමින් එළඹෙන නිගමනය සකල විශ්ව සභ්‍යත්වයම සංකේතමය ආකෘතීන්ගේ පද්ධතියක් බවයි.

මෙම කෘතිය මුහුණ දෙන ප්‍රධාන ගැටලුව නම් විජිත වෙලගෙදර තම විමර්ශනය එබඳු ආකෘතිකවාදී සීමාවන් තුළ සිරගත කිරීමය. සත්‍යයේ (යථාර්ථයේ) ගැටලුව භාෂාව කරා විහිදෙන මුල් සහිතය. යථාර්ථය යනුම භාෂාත්මක නිර්මාණයක් බව සමකාලීන සම්ප්‍රදායික විචාරකයාට අප්‍රබංසයක් තරම් දුරස් වූ ප්‍රවාදයකි. විජිත වෙලගෙදර යථාර්ථය භාෂාත්මක ගැටලුවක් ලෙස ගෙන විමසීමට සරණ යන්නේ 18 සහ 19 වන සියවස්වල බැබළුන විවිධ දාර්ශනිකයන්ය. ඔහුගේ මේ මීමංසාව යම් සීමාවන් තුළ විඩාපත් වේ. එය ඔහුගේ වරදකටත් වඩා ඔහු තෝරා ගන්නා චින්තකයින්ගේ සීමාවන්ය.

මෙම කෘතිය තුළ ඔහු තෝරා ගන්නේ 19 සහ 20 සියවස්වල ප්‍රචලිත වූ නූතනවාදී සංස්කෘතික ව්‍යාපාරය නියෝජනය කරන සාහිත්‍යධරයන් සහ දාර්ශනිකයින්ගේ ප්‍රවාදයන්ය. නිදසුනක් ලෙස මනෝ විශ්ලේෂණය තම සෞන්දර්ය අධ්‍යයනය පිණිස කැඳවීමේදී ඔහු ෆ්‍රොයිඩ් සහ ඇඩ්ලර් ළඟ නතර වනවා මිස ලැකාන් හෝ ලැප්ලාන්ෂේ කරා එම විමර්ශන දිගු නොකරයි. අනෙක් අතට කාන්ට්, විට්ගන්ස්ටයින් සහ හෙගල් අබියස තාවර වීමෙන් ඔහු සෑහීමට පත් වේ. තම ප්‍රවාද ගොඩ නැගීමේ ලා මේ යුගයේ දාර්ශනිකයින් සහ විචාරකයින් ලෙස සැලකෙන ඩෙරිඩා හෝ ස්ලැවෝජ් ජිජැක් වෙත නොඑළඹේ. (වෙසෙසින් ම ජිජැක් හේගලියානු අපෝහකය (Dialectics) නැවති කියවයි.) ඔහු මාක්ස්වාදී විචාර වේදය කොනහන මුත් පශ්චාත් මාක්ස්වාදී විචාරකයින් වන ලුවී අල්තුෂර් හෝ ලියෝතා පිළිබඳ අසා ඇති බවක්වත් ඉඟි නොකරයි.

මෙම සීමාවන් තුළ කොටු වෙමින් වුවත් විජිත වෙලගෙදර ගේ ප්‍රයත්නය ප්‍රශස්තය. ඊනියා විචාර ලියන සම්ප්‍රදායික පඬිවරුන්ට ඔහු දාර්ශනික කිහිලු කරුවක් ප්‍රදානය කර ඇතිවාක් මෙනි. ඔහු මෙම සාහිත්‍යය සහ සෞන්දර්ය කලාවේ දාර්ශනික පදනම විමර්ශනයට ලක් කරන්නේ නූතනවාදී සන්දර්භයක් තුළය. එහිදී ඔහු තම සීමාවන් පනවා ගන්නේ සන්දර්භීය (Contextual) ලෙස මිස සංකල්පීය (Conceptual) ලෙස නොවීම මෙහිදී වැදගත්ය. ඇත්තටම නම් එය යම් වියමනක් ලියවෙන කාලය පිළිබඳ ගැටලුවකි.

(මෙම ලිපිය ලියන ලද්දේ උක්ත කෘතියට මවිසින් ලියන ලද පෙරවදන පාදක කර ගනිමිනි.)

සමන් වික්‍රමාරච්චි

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...