ලංකාවේ අනූව දශකය අගභාගයේ ‘සිරස’ රූපවාහිනියේ ප්‍රචාරය වූ ඉතා ජනප්‍රිය වූ වැඩසටහනක නාමය වූයේ ”අපි නොදන්න Live”ය. චූටි මල්ලියා සහ පොඩි මල්ලියා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම වැඩසටහන මඟින් උත්ප්‍රාසයට ලක් කරේ රූපවාහිනියෙන් පෙන්වන විවිධ වැඩසටහන් නිර්මාණය කිරීමේදී අපට නොපෙන්වන පැත්තයි.

උදාහරණයක් වශයෙන් යම් වැඩසටහනක් නිර්මාණය කරන විට විදුලිය විසන්ධි වූවා යැයි සිතමු. වැඩසටහන ප්‍රචාරය වන විට එම විදුලිය විසන්ධි වීම ඉවත් කර එය පෙන්වීමට එහි නිෂ්පාදකවරු සමත් වෙති. නමුත් ‘අපි නොදන්න Live’ මඟින් පෙන්වන්නේ ඉහතදී නොපෙන්වූ දර්ශනයයි. එමඟින් දැඩි හාස්‍ය රසයක් නිර්මාණය කිරීම චූටි මල්ලිගේ සහ පොඩි මල්ලිගේ අභිප්‍රායයි. අප ජීවත්වන පශ්චාත් – නූතන සමාජයේ මාධ්‍ය මඟින් ඊට පෙර පැවති මාධ්‍ය නොපෙන්වන දේ ද පෙන්වයි. යථාර්ථවාදය සහ නූතනවාදය රජ කරන යුගයේ දී (මුවන්පැලැස්ස සහ මොණරතැන්න යුගයේ) යමක් නිර්මාණය (උදා:- යථාර්ථය) කරන විදිහ නොපෙන්වා ‘නිර්මාණය’ පමණක් පෙන්වයි. නමුත් අප ජීවත් වන යුගයේ දී ‘යථාර්ථය’ පමණක් නොව එය නිර්මාණය කරන ආකාරය ද අපට පෙන්වයි. එමඟින් යථාර්ථය ගැන අපට රැඩිකල් අවබෝධයක් බිහි වෙතැයි අප නිගමනය කරයි.

ඉහත තත්ත්වය මැනවින් පැහැදිලි කළ හැකි සිනමා කෘතියක් ලෙස රොබට් සෙමාකිස්ගේ Forest Gump (කැලෑ ගම්ප්) සලකා බලමු. චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වූ ‘ගම්ප්’ නම් පුද්ගලයා කිසිදු දෙයක් වටහා ගන්නට උත්සාහ නොකරන්නෙකි. ඔහු අවට පවතින සමාජ යථාර්ථය කෙරෙහි ඔහු දක්වන්නේ බිංදුවේ ප්‍රතිචාරයකි. වරක් ඔහු ඇමරිකාව වෙනුවෙන් වියට්නාම් යුද්ධයට බැඳී සටන් කරයි. තව වරක් ඔහුව ඇමරිකන් ආණ්ඩුව පිං පොං බෝල ගැසීම සඳහා චීනයට යවයි. ඔහු ආදරය කරන පෙම්වතිය වියට්නාම් යුද්ධයට විරුද්ධව පෙළපාළිවල ගමන් කරන්නියකි. ඇයට ඊට අමතරව AIDS වැළඳී ඇත. වියට්නාම් යුද්ධය, චීනය, AIDS යන මේවා ඓතිහාසික සිදුවීම් වන අතර ඒවා අතර විශාල වෙනස්කම් පවතියි. නමුත් ගම්ප්ට අනුව ඔහුට මේවා අතර වෙනසක් නැත. වියට්නාම් යුද්ධයේදී සටන් කරන ඔහු ඊට ප්‍රතිපක්ෂ ස්ථාවරයක සිටින තම පෙම්වතිය විවාහ කර ගැනීමේදී ඒ ගැන කිසිවක් නොඅසයි.

ධනවාදී ආර්ථික ව්‍යුහයක් සහිත සමාජයක් ක්‍රියාත්මක වන්නේ ද්‍රව්‍යමය අසමානතාවය මත පදනම් වෙමිනි. මේ නිසා මෙවැනි ක්‍රමයක් අභියෝගයකින් තොරව ක්‍රියාත්මක කරගෙන යාමේදී ‘අදහස්’ මගින් ඊට සුජාතකරණයක් අවශ්‍යය. නමුත් Forest Gump චිත්‍රපටියේ වීරයා අපට මේ දක්වා දෘෂ්ටිවාදය (අදහස්) ගැන තිබූ ස්ථාවරය අවුල් කර දමයි. ගම්ප් හට මෙම ධනවාදී සමාජ -ක්‍රමය තුළ ජීවත් වීමේදී දෘෂ්ටිවාදයක් මඟින් කරන අවනත වීම අවශ්‍ය නැත. ඔහු දෘෂ්ටිවාදයට කිසිදු විරෝධයක් නොදක්වන්නෙකි. ඔහු සම්පූර්ණයෙන්ම දෘෂ්ටිවාදයට යටත්ය. ඔහුට අනුව ඔහුට කිසිම සාරයක් නැත. ඒ නිසා දෘෂ්ටිවාදයට අවශ්‍ය කරන පරම ආත්මය ගම්ප් වැනි මිනිසුන්ය. නමුත් දෘෂ්ටිවාදයට කිසිදු විරෝධයක් නොදක්වා ඊට 100% අනුගතව ජීවත් වන ගම්ප් හරහා නව – අසහනයක් අපට ඇති වෙයි. එනම් ගම්ප් හරහා දෘෂ්ටිවාදය පමණක් නොව එය තිරයෙන් පිටුපස සිට ක්‍රියාත්මක වන යාන්ත්‍රණය ද අපට හෙළිදරව් වීමයි. අපි තවත් උදාහරණයකට යමු. ලංකාවේ දේශපාලනය ගැන දන්න හැමෝම දන්න දෙයක් තමයි ලංකාවේ දේශපාලනය කරන අයට සල්ලි දෙන්නෙ ව්‍යාපාරිකයො කියන එක. නමුත් රනිල් වික්‍රමසිංහ සහ කිලි මහාරාජා අතර මතගැටුමක් ආරම්භ වෙලා මෙතෙක් කල් තිරයෙන් පිටුපස පැවති රහස් රංගනයන් මේ වන විට හැමෝටම මහ දවල් වගේ පෙනී යමින් පවතිනවා. හරිනම් රැඩිකල් විපර්යාසයක් ඇති වෙන්න  ඕනේ. රනිල්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන විකල්ප එ.ජා.ප. මන්ත්‍රීවරු ඔක්කොම ඉන්නෙ මහරාජාගේ සාක්කුවෙ. නමුත් කිසිම කෙනෙක් අනවශ්‍ය කිසිම ප්‍රශ්නයක් අහන්නෙ නැහැ. ඉතිහාසයේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ පිල් දෙකක් නියෝජනය කරපු වියට්නාම් යුද්ධය සහ එයට විරුද්ධ සාම ව්‍යාපාරය ”කැලෑ ගම්ප්”ට අනුව එකිනෙකට පරස්පර නැහැ. ඒ හින්ද තමයි ගම්ප් තමන්ගේ පෙම්වතියව විවාහ කරගන්නකොට ඒ ගැන කිසිවක් නොඅසන්නෙ. චිත්‍රපටිය අවසානයේදී සමාජයේ සිදුවන කිසිවක් අවබෝධ කර ගැනීමට උත්සාහ නොදරන ‘ගම්ප්’ දසලක්ෂපතියෙක් වෙනවා. ඊට පරස්පරව සමාජයේ සිදු වන විවිධ ගැටුම් ග‍්‍රහණය කර ගැනීමට උත්සාහ කරන ඔහුගේ පෙම්වතිය AIDS රෝගයෙන් පීඩා විඳ මිය යනවා. ඒ අනුව අද අපි ජීවත්  වන යුගයේ දෘෂ්ටිවාදී පණිවුඩය මෙහෙමයි. ”කිසිවක් තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. ඒක භයානක වැඩක්. කිසිවක් තේරුම් නොගෙන නිකමකු වගේ පවතින ක්‍රමයට අනුගත වෙලා ජීවත් වෙන්න! එතකොට ඔබට කෝටිපතියකු වීමේ වාසනාව මුණ ගැහෙනවා” කිලි මහාරාජා එ.ජා.ප.යේ විකල්ප මන්ත‍්‍රීවරුන්ට දී ඇති රහස් පණිවුඩය ඒකයි. එබැවින් සමකාලීන දෘෂ්ටිවාදයේ වඩාත්ම කාර්යක්ෂම මාදිලිය නරුමවාදයයි. ඊට අනුව ඔබ ජීවත් විය යුත්තේ මැට්ටෙකු ලෙසය. මෙලෙස මැට්ටෙකු ලෙස ජීවත් වීම තුළ ඔබට සාර්ථක මිනිසකු වීමේ වරය ලැබේ. එනම් දෘෂ්ටිවාදයට මේ වන විට එය ක්‍රියාත්මක වන රහස් යාන්ත‍්‍රණය පවා හෙළිදරව් කළ හැකිය.

දීප්ති කුමාර ගුණරත්න

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. //අපි ජීවත් වන යුගයේ දෘෂ්ටිවාදී පණිවුඩය මෙහෙමයි. ”කිසිවක් තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. ඒක භයානක වැඩක්. කිසිවක් තේරුම් නොගෙන නිකමකු වගේ පවතින ක්‍රමයට අනුගත වෙලා ජීවත් වෙන්න! එතකොට ඔබට කෝටිපතියකු වීමේ වාසනාව මුණ ගැහෙනවා” කිලි මහාරාජා එ.ජා.ප.යේ විකල්ප මන්ත‍්‍රීවරුන්ට දී ඇති රහස් පණිවුඩය ඒකයි. එබැවින් සමකාලීන දෘෂ්ටිවාදයේ වඩාත්ම කාර්යක්ෂම මාදිලිය නරුමවාදයයි. ඊට අනුව ඔබ ජීවත් විය යුත්තේ මැට්ටෙකු ලෙසය. මෙලෙස මැට්ටෙකු ලෙස ජීවත් වීම තුළ ඔබට සාර්ථක මිනිසකු වීමේ වරය ලැබේ. එනම් දෘෂ්ටිවාදයට මේ වන විට එය ක්‍රියාත්මක වන රහස් යාන්ත‍්‍රණය පවා හෙළිදරව් කළ හැකිය.// ෆේස් බුක් එකේ හෙම වැඩිපුරම ලියන කට්ටියත් මේ වගේද ? 🙂

Comments are closed.