පුද්ගලයන් අපරාධකරුවන්, රෝගීන්, මානසික රෝගීන් ලෙස කොටු කිරීමේ කතිකාමය භාවිතාව සහ ආයතන ක‍්‍රියාත්මක වන අකාරය ව්‍යුහාත්මකව විග‍්‍රහ කිරීමට මිචෙල් ෆුකෝ උත්සාහ කළේය. 1971 දී ප‍්‍රංශයේ සිරගෙවල් පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා ෆුකෝ සංවිධානයක් බිහිකරන අතර ඔහු එමඟින් සිරගෙවල් පිළිබඳව තොරතුරු

රැස් කරන ලදී. එම තොරතුරු පාදක කරගනිමින් හෙතෙම 1975 දී Discipline and Punish  (ශික්ෂණය සහ දඬුවම) කෘතිය රචනා කරයි. ඉහත සංවිධානය බිහි කිරීමේ දී ෆුකෝ සිදු කරන ලද නිවේදනයේ කරුණු සමකාලීන ලංකාවේ සිරගෙවල් පිළිබඳව අධ්‍යයනයක් සඳහා යොමුවීමට පසුබිමක් සපයයි. අපි එම ප‍්‍රකාශය සැකෙවින් සලකා බලමු.

අද කිසිම කෙනෙකු සිරගෙයින් පැන යාම පිළිබඳව නිශ්චිත බවක් නැත. වෙනදාට වඩා පොලීසිය අපව පාලනය කරයි. මත්ද්‍රව්‍ය පාලනය කරන ආකාරය ඉතා හිතුවක්කාරී වේ. අප එක්තරා ආකාරයක අත්අඩංගුවේ පසුවීමේ තත්ත්වයකට මුහුණ දී ඇත. ඔවුන් අපට කියනවා අධිකරණ පද්ධතිය විනාශ වන බව. නමුත් එය විනාශ වන්නේ පොලීසිය අතින්ම නොවේද? ඔවුන් කියනවා සිරගෙවල් පිරී ගොස් ඇති බව. නමුත් ජනතාව  ඕනෑවටත් වඩා සිරකොට ඇති බව ඉන් ගම්‍ය නොවේද? සිරගෙවල් පිළිබඳව අපට දැනගත හැක්කේ ඉතා සුළු තොරතුරු ප‍්‍රමාණයකි. එය අපගේ සමාජ ක‍්‍රමයේ එක්තරා සැඟවුණ කොටසකි. එය අපගේ පැවැත්මේ එක් අඳුරු අංශයකි. එය පිළිබඳව දැන ගැනීමට අපට අයිතියක් ඇත. අපගේ බලාපොරොත්තුව ජනතාවට සිරගෙවල් පිළිබඳව දැන ගැනීමට ඉඩ හැරීමයි. කවුද ඒවාට යන්නේ? කොහොමද? ඇයි? එතැන මොකද වෙන්නේ? සිරකරුවෙකුගේ පැවැත්ම මොන වගේද? ඔවුන් මුරකරන අය මොන වගේද? කෙනෙකු එළියට එන්නේ කෙසේද? එලෙස එළියට එන කෙනෙකුට  සමාජය තුළ සිදු වන්නේ කුමක්ද? මෙම තොරතුරු නීත්‍යනුකූල වාර්තාවලින් සොයාගෙන ඵලක් නැත. අපගේ මෙම අධ්‍යයනය සිරගෙවල්වල ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහා නොවේ. එහි ඇති භයානකකම ඇත්තේ කොතනදැයි සොයා බැලිය යුතුය.

දඬුවම යනු සංකීර්ණ සමාජ ක‍්‍රියාවලියකි. එමෙන්ම එය දේශපාලනික උපායමාර්ගයකි. ෆුකෝට අනුව බලය පිළිබඳව සලකා බැලිය යුතු නව ආකාරයට අනුව බලය යනු දේපළක් වැනි දෙයක් නොව උපායමාර්ගයකි. බලය කෙනෙකු ළඟ තිබෙන දෙයක් නොව පුද්ගල සබඳතාවල දී ක්‍රියාත්මක වන දෙයකි. සමාජයක සියලූ‍ දෙනා අතරම බලය ක්‍රියාත්මක වේ. සම්ප‍්‍රදායික සිතීමේ දී දැනුම පැවතියේ බලයේ විනාශකාරී ප‍්‍රතිඵලවලට පිටතින්ය. නමුත් ෆුකෝට අනුව බලය දැනුම නිෂ්පාදනය කරයි. මේ නිසා බලය සහ දැනුම අතර සම්බන්ධය විශ්ලේෂණය කිරීම වැදගත් වේ.

ශික්ෂණය සහ දඬුවම කෘතියේ පළමු කොටසින් සාකච්ජා කරන්නේ දඬුවම් කිරීමේ මුල්කාලීන ආකෘතිය වූ වදයට පැමිණවීම පිළිබඳවයි. රජුගේ අධිකරණයක දී වරදකරු වූ පුද්ගලයෙකුගේ ශරීරය දඬවම් ලබා දීමේ මූලික ඉලක්කය විය. වරදකරු වූ තැනැත්තාගේ ශරීරය රජුට අයත් දෙයක් විය. අපරාධකරුවා යනු රජුගේ බලයට අභියෝග කළ තැනැත්තායි. ඔහුට දඬුවම් කිරීම පේ‍්‍රක්ෂකයන් පිරිසක් ඉදිරියේ සිදු විය. පුද්ගලයාව වදයට පැමිණවීමේ දී  යම්කිසි මට්ටමක වේදනාවක් ඇති කළ යුතු අතර එය මැනිය හැකි දෙයක් වේ. මරණය යනු වද දීමේ උපරිම තැනයි.

ප‍්‍රංශය තුළ මුල් කාලයේ දී අපරාධ පිළිබඳ විනිශ්චය කිරීමේ දී අපරාධකරුවාගේ මැදිහත්වීම සිදු නොවිණ. විනිසුරුවරයා ප‍්‍රශ්න කිරීම් සිදු කළේ චූදිතයා හසුකර ගැනීමටය. ඒ සඳහා ඔහු බොරු කීම, බොරු පොරොන්දු දීම, තේරුම් දෙකේ වචන භාවිතය ආදිය සිදු කළේය. මේ ආකාරයට අපරාධ පිළිබඳ උසාවි ක‍්‍රමය ගොඩනැගුණේ රජුගේ බලය ආරක්ෂා කරගැනීම සඳහාය. අධිකරණය විත්තිකරුවා නොමැතිව සත්‍ය නිර්මාණය කළ අතර එය අවසානයේ විත්තිකරු පාපොච්චාරණය කිරීමෙන් අවසන් විය. පාපොච්චාරණය යනු අපරාධය පිළිබඳ සත්‍යයේ ජීවමාන දෙයි. මේ නිසා සියලූ‍ ලිය කියවිලි සකස් වන්නේ පාපොච්චාරණය හරිහැටි ලබා ගැනීමටය. විත්තිකරුවන්ට මේ නිසා තමා නොකළ වරදකට දඬුවම් විඳීමට සිදු වීම ප‍්‍රසිද්ධ  සත්‍යයකි.

ප‍්‍රසිද්ධියේ දඬුවම් කිරීම මඟින් රජු උත්සාහ කළේ තමාගේ ආධිපත්‍ය පෙන්නුම් කිරීමයි. අපරාධය පිළිබඳව මහජන වෛරය වරදකරුවා වෙතට එල්ල වීමට සැලැස්වීම එහි අරමුණයි. නමුත් ප‍්‍රසිද්ධියේ වදයට පැමිණිවීම නැරඹීම සඳහා පැමිණෙන ජනතාව නිසා ප‍්‍රතිඵල ගණනාවක් ඇති විය. ජනතාවට අපරාධකරුට විරුද්ධව හඬ නැගීමට අවස්ථාව ලැබුණ ද එය එක්තරා දුරකට පාලනය කිරීමකට ලක් විය. රජුගේ ආධිපත්‍ය ක‍්‍රියාත්මක වීම ප‍්‍රමුඛ කාරණය විය. මේ හේතුව නිසා ටිකෙන් ටික  ජනතාවගේ විරෝධය අපරාධකරුවාගේ දිශාවට නොව රජුගේ පාලනයට විරුද්ධව එල්ල වීමට ආරම්භ විය. මරණයට නියම වන පුද්ගලයා තමන්ට නැති වීමට දෙයක් නැති නිසා නීතියට, උසාවියට, ආගමට, රජයට ශාප කිරීමට පටන් ගත් අතර එය නැරඹීමට මිනිස්සුන් ආශා කළේය. අපරාධකරු වීරයෙකු බවට පත් විය.

රජුගේ ආධිපත්‍ය පෙන්නුම් කරමින් පැවැත්වූ වදයට පැමිණ වීමේ උත්සව රජුට එරෙහිව දේශපාලනික තර්ජනයක් නිර්මාණය කරන තැනට පැමිණියේය. මේ නිසා පැරණි දඬුවම් ක‍්‍රම තවදුරටත් වලංගු නොවන බව පෙනී ගියේය.

අද අප මානුෂික හේතුවක් නිසා නැති වී ගියා යැයි සිතන අමානුෂික දඬුවම් ක‍්‍රම ලෝකයෙන් වියැකී යන්නේ සැබෑ ලෙසම මානුෂික හේතුවක් නිසා නොව දේශපාලනික උපායමාර්ගයක් වශයෙනි. දඬුවම ශරීරය ඉලක්ක කර ක‍්‍රියාත්මක වීම වෙනුවට වර්තමානයේ වෙනත් ආකෘතියක් ගෙන තිබේ.

 

 

 

ඔබේ අදහස කියන්න...