කාල නදී ගලාබසී – නෝබට් අයගමගේ

පසුගිය සතියේ සිළුමිණ පුවත්පතේ ශාස්ත්‍රීය අතිරේකය කොළඹ පොත් ප්‍රදර්ශනයට පැමිණි කීපදෙනකුගෙන් කර තිබූ මත විමසුමින් මෙම ලිවීම මම අරඹමි. එක්තරා ගෘහණියක් අපූරු අදහසක් පළ කර තිබිණි. ඇය මෙවර ස්වර්ණ පුස්තක අවසන් වටයට තේරුණ පොත් පහ මිලදී ගෙන බලාපොරොත්තු කඩකර ගත් කියවන්නියකි. ඒවාට සම්මාන දුන් අයට ඇය දෙස් දෙවොල් තබයි.

මෙහිදී මට වැදගත් වන්නේ ඇය පළ කළ එම අදහස් සියල්ල නොව ඉන් පහත උපුටා දක්වන ඇබින්දය.

“ඒ වගේම තමයි මෙවර රාජ්‍ය සම්මානය හිමි වූ ‘කාල නදී ගලාබසී’ කෘතිය. එය කියවන විට අතින් ඉවත් කරන්න හිතෙන්නෙ නැහැ. එක හුස්මට කියවන්න හ‍ිතෙනවා.”

මෙම කියවන්නියගේ පොත් කියවීමේ රුචියට මම ගරු කරමි. ඇය තමාට කියවීමට රුචි පොත් තෝරා මිලදීගෙන කියවීම කවර වරදක්ද? එහෙත් මට අනේ අපොයි කියවෙන්නේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ජූරියේ රසඥතාව ගෘහණියන්ගේ මට්ටමට ඇදවැටුණ එකක් වී තිබීම ගැනය.

අර ගෘහණිය කියන කතාව ඇත්තකි. කාල නදී ගලා බසී යනු කතාසරිත් සාගරයකි. පොත් කියවීමේ රුචිය කුඩා කාලයේ දී වර්ධනය වන්නේ එබඳු කතාන්තර පොත් කියවීමෙන් තමයි. අරාබි නිශොල්ලාසය කතාන්තර පැටව් ගසන පොතකි. එහෙත් එය නවකතාවක් යයි සැලකෙන්නේ නැත. එහෙත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ජූරියේ මහත්වරු නම් අරාබි නිශොල්ලාසයත් හොඳ නවකතාවකැයි අදහනවා ඇත.

කාල නදී ගලා බසී කියවන කෙනෙකුගේ මතකයට නිරායාසයෙන්ම බෝගල සවුන්දරිස් ඇතුළුවීම ගැන පුදුම විය යුතු නැත. මෙහි කියවෙන සාදිරිස් බෝගල සවුන්දරිස් බඳු තනිව කීපදනකු සමඟ වුව සටන් කර දිනිය හැකි වීරයෙකි. එහෙත් නවකතාවක් ලෙස ගත් කල කාල නදියට බෝගල සවුන්දරිස්ට කිට්ටු විය නොහැක. බෝගල සවුන්දරිස් වූ කලී මිනිරන් ප්‍රධාන චරිතය කොට ගත් සුන්දර කතා පුවතක් බව මීට පහළොස් වසරකට පමණ පෙර මම ලිව්වෙමි. එහෙත් කාල නදී ගලා බසී නවකතාව භාවාතිෂය වීර ක්‍රියාවලින් ගහන කතාන්තර පොතක් පමණකි.

පසුගිය කාලයේ වාසනාවකට ‍(හෝ අවාසනාවකට) 2013 වර්ෂයේ පළවූ පොත් 107ක් එකදිගට කියවීමට මට අවස්ථාව ලැබිණි. මෙම කියවීමේ දී සිංහල නවකතාව ජීවිතය පිළිබඳව කරන සරලමතික කියවීම හඳුනාගැනීමට හැකි විය. බොහෝ නවකතාවලින් කියවුණේ දුෂ්කර තත්ත්වයක සිට සමාජයේ මතුමහල ජය ගන්නා කතාන්තරය. සමකාලීන ව්‍යාධිගත සමාජ අභිලාෂය එය බැවින් සිංහල නවකතාව සපයන ෆැන්ටසි ප්‍රතිකාරය එයයි. බොහෝ විට මෙම නවකතාකරුවාගේ ඉලක්ක පාඨකයා වන්නේ සමාජයේ එබඳු කොටස්ය. එබඳු භාවතිශය කතාන්දර ජනප්‍රිය නවකතා බවට පත්වීම ගැන පුදුම විය යුතු නැත.

කාල නදී ගලාබසී යනු එබඳු කතාන්දර කීමක් මිස සමහරු කියන පරිදි පාරුකාරයින්ගේ ජීවිතය පිළිබඳ ගැඹුරු කියවීමක් නොවේ. උසස් ටෙලි නාට්‍යයක් වූ කඩුල්ල බඳු කතාවක දක්නට ලැබුණ ගැඹුරු හැදෑරීමක් එහි අපට හමු නොවේ. ඉන් කිසිදු සමාජ පරිණාමයක අවස්ථාවක් සලකුණු වන්නේ නැත.

මෙම නවකතාව භාවාතිෂය ලෙස කතාන්තර පැටවු ගසන්නේ මෙසේය; කතාවේ මුල් පරිච්ඡේද හතර තුළ කතාකරුවා සාදිරිස් ළමා වීරයකු ලෙස බවුතීස්ම කිරීමට අවස්ථාවන් නිර්මාණය කරයි. එහිදී ඔහු ගමේ ගණන්කාරයකු වූ ගවරා අඩපණ කොට ගමෙන් පැනයද්දී සවුන්දරිස් නම් වූ සුද්දාගේ අසුට කැටපලයෙන් විද සුදු ජාතිකයා මට්ටු කරයි. එම තැනැත්තා සවුන්දරිස් වීමත් සාදිරිස්ගේ

ගම්මානය තුළ මිනිරන් කර්මාන්තය තිබීමත් පෙන්නුම් කරන්නේ මෙම ලිවීම පටන් ගනිද්දීම බෝගල සවුන්දරිස් පසෙකින් සිටි බවය.

ගමෙන් පලා ගොස් පාරුවට වන් සැණින් ඔහු වීරයකු බවට පත් කෙරේ. එවර ඔහු වීරයකු වන්නේ නිකම්ම නො‍ව පාරු මංකොල්ලයට පැමිණි සොරමුලක් ගලකින් විද මට්ටු කිරීමෙනි. ඊළඟට මේ කතාන්දර කීම තන්ඩලේගේ කතාව තුළ ද කතාන්දර රාශියකි. එයට සඟවා ගත් මැණික් මල්ලක් පිළිබඳ අද්භූත කතාවක් ද ඇතුළත්ය. ඉතින් මෙබඳු භාවාතිෂය තුට්ටු දෙකේ කතාන්දරවලට අපේ රටේ රාජ්‍ය සම්මානත් ලැබේ.

යම් නිර්මාණ කෘතියකට සම්මානයක් හිමි විය යුත්තේ එය සමකාලීන කලාව තුළ හැරවුම් ලක්ෂයක් තරම් විය හැකි නිර්මාණයකට යැයි මම අදහමි. කාල නදී ගලා බසී යනු එබඳු කිසිදු සුවිශේෂතාවක් පෙන්වන කෘතියක් නොවේ. යථාර්ථවාදී නවකතාවක් ලෙස ගත්තද කාල නදී යනු අභව්‍ය සිදුවීම්වලින් ගහණ නිර්මාණයකි. නවකතාකරුවාට අවශ්‍ය පුහුවීරයකු නිර්මාණය කිරීම මිස මිනිස් චරිතයක් ගොඩනැඟීම නොවේ.

සාදිරිස් යනු තම මව අහිමි වූ දරුවෙකි. ඔහුගේ පියා නෝන්ජලයකු ලෙස හැසිරෙයි. ඒ මදිවාට තම කුඩම්මාගේ සොර සැමියාගේ අඩන්තේට්ටම් වලට ද ඔහු ගොදුරු වේ. එවැනි දරුවකු තුළ ඇතිවන මානසික පීඩනය කවරාකාර විය හැකිද? නවකතාකරුවා හුදු කතාන්දර කියන්නකුගෙන් ඔබ්බට ගිය අයකු නොවන බැවින් සාදිරිස් යනු ඔහු අත නැටවෙන රූකඩයක් බඳු චරිතයක් වේ. ගවරා මට්ටු කිරීමෙන් ඔහු තම ඉලක්ක පාඨකයා විඳින ප්‍රමෝදය තුළ සිරකරුවෙකු වෙයි. නවකතාකරුවා කරන්නේ කෙවිටක් අතින් ගෙන අම්බරුවන් දක්කන්නකු මෙන් පාඨකයා තම කතාන්දරය ඔස්සේ දක්කාගෙන යාමය.

මේ නවකතාව තම ඉලක්ක පාඨකයා පහසුවෙන් ගොදුරු කර ගන්නේ කෙසේද? එයට හේතුව නවකතාකරු‍වාගේ ඉලක්ක පාඨකයා නොගැඹුරු බයාදු (innocent) කියවන්නකු වී පමණක් නොවේ. නවකතාකරුවා ද ජීවිතය විනිවිද දකින ගැඹුරු දැක්මක් සහිත නිර්මාණකරුවකු නොවන බැවින් මෙහි 199 පිටුවේ මෙසේ ලියැවී ඇත.

“අඟුලේදී වන්ඩර්පුල් මහතා කිව් කතාවේ සඳහන් “තණ්ඩලේව සොයමින් සිටින්නාද ඔහු සිත තුළ රැඳි බිය සැක තව තවත් තහවුරු කළේය. මෙවර ආපසු රත්නපුරයට ගිය පසු ඒ කරදරය ද ඉවරයක් කරන්නට ඔහු සිතා ගත්තේය.”

කෙතරම් සරලමතික ලිවීමක්ද? මෙබඳු මොහොතක මිනිසකු තුළ ඇතිවිය හැකි, ඇතිවිය යුතු මානසික ගැටුම කෙබඳුද? එහෙත් තමා ලියන්නේ නවකතාවක් නොව තම ඉලක්ක පාඨකයාට ගැළපෙන කතාන්දරයක් බැවින් නවකතාකරුවා ඒ කිසිවක් පිළිබඳ දෙවරක් කල්පනා නොකරයි. ඉතින් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබෙන්නේ එලෙස අකල්පනාවෙන් ලියූ නවකතාවකටය.

සමන් වික්‍රමාරච්චි

silumina

ඔබේ අදහස කියන්න...