ශිෂ්ටත්වයේ සිහිනය...|Friday, July 28, 2017
You are here: Home » News » නායකයා විවේචනය කිරීම විනෝදය දක්වා තහවුරු කිරීම

නායකයා විවේචනය කිරීම විනෝදය දක්වා තහවුරු කිරීම 

ftr

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 03

අද පළ වන්නේ මහේෂ් හපුගොඩ සමග කළ ‘‘ජිජැක් පිළිබඳ අධ්‍යනයක්’’ සාකච්ඡා මාලාවේ තුන් වන අදියර යි. අපි පසුගිය සතියේ සාකච්ඡාව අවසාන කළේ… ‘‘ඇත්තට ම මේ මොහොතෙ කවුරුන් හෝ සමාජවාදය ගැන කතාකරනවා නම් ඔහු උම්මත්තකයෙක්.’’  යන ප්‍රකාශයෙනි. අද එතැන් සිට කියවමු.

ඒ සඳහා උදාහරණයක් දෙන්න පුළුවන්ද?

ඔව්. මම ඒකට සරල උදාහරණයක් දෙන්නම්.

මේ මෑතක මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි දේශනයකදි පවසා තිබෙනවා ‘දැන් අපිට විප්ලවය කරන්න පුළුවන්’ කියල. ලංකාවෙ ශිෂ්‍ය සංගම් එයාට ආරාධනා කරනවා ‘සර් එන්න; ඇවිත් දේශනයක් පවත්වන්න’ කියල. ඔන්න එතකොට එයාට මාර රැඩිකල් හැඟීමක් එනවා. මොකද එයා කතාව පවත්වන්නෙ හෙට වුනත් විප්ලවට සුදානම් වෙලා ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවො තුන්හාරදාහක් ඉස්සරහනෙ. එකතොට එයා හිතනවා..‘ෂහ් මාරයිනෙ! මෙහෙම මිනිස්සු එකතුවෙනව නම් මොකද විප්ලවය කරන්න බැරි’ කියල. නමුත් ඔබ දන්නවනෙ ශිෂ්‍යයො කියන්නෙ කවුද කියල. ශිෂ්‍යයන්ට වුවමනා සමාජවාදයක් නැහැ. ඔවුන් අදාළ අවස්ථාවෙ ඉදිරිපත්වුණා, මොනව හරි ඉල්ලීම් ටිකක් දිනාගත්තා නැතා ඊළඟ මොහොතෙ ඉන්නෙ වෙනත් ආස්ථානයක ඊට පස්සෙ ඔවුන්ට අවශ්‍යය සමාජවාදයක් නැහැ. කවුරුහරි මේ මොහොතෙ එබඳු සමාජවාදයක් ගැන කතාකරනවා නම්, ඒක ප්‍රහසනයක්. (Comedy) එකක්. කියල මම කියන්නේ අන්න ඒ නිසා. මේ මොහොතෙ කවුරුහරි සමාජවාදය ගැන කතාකරනව නම් ඒ කතාකරන්නෙ අදාළ සංකල්පය වාණිජ භාණ්ඩයක් විදියට සලකලා. මේ මොහොතෙ වැදගත් වෙන්නෙ එය නොවෙයි. මේ මොහොතේ ධනවාදය විසින් පතුරවා ඇති දෘෂ්ටිවාදය අභියෝගයට ලක් කරමින්, ඇත්ත ප්‍රාග්ධනය වැඩ කරන්නෙ කොහොමද කියන කාරණය වටහා ගැනීමයි රැඩිකල් වැඩේ වෙන්නෙ.

විප්ලවවාදි පක්ෂය කියන සුන්දර දේ ම එක් පැත්තකින් පරමත්වයක් බවට පත්වෙනවා. මේ ක්‍රියාවලිය පවතින ක්‍රමයට ම ආයාත කිරීමක් නේද? ඒ වගේ ම එය බරපතල දේශපාලන අනතුරක් වෙන්න පුළුවන් නේද?

ඔබේ ප්‍රශ්නය පැහැදිලියි. මෙතන පවතින්නෙ මහා අනෙකාට ඇති බිය යි. වඩාත් පැහැදිලිව කියනවා නම් ඕනෑම සමාජ හිතවාදී දෘෂ්ටියක් අවසාන වශයෙන් සර්වාධිකාරි විභවයක් සහිත යි. විප්ලවවාදි පක්ෂය කියන දේ ම එක් පාර්ශවයකින් පරමත්වයක්. තවත් පැහැදිලිව කියනවා නම්, උත්කෘෂ්ටයට (Sublimation) නැංවෙනවා. ඒක එහි ස්වභාවය. ඉන් අදහස් කරන්නෙ: ඕනෑම පක්ෂයක් තමන් උත්කර්ෂයට නංවන වස්තුවක් තිබෙනවා. හෙගලියානු අර්ථයෙන් ගත්ත්තොත් එය ‘පරිපූර්ණ නිමේෂයක්’ කියල හඳුන්වන්න පුළුවන්. අපි හැමෝ ඒ ‘පරිපූර්ණ නිමේෂය’ අත්දකින්න කැමතියි. අපි ගමු ගෝලීය වශයෙන් පැතුරුණු කම්කරු ව්‍යාපාරය. එය පරමත්වයක්. මේක එක් පාර්ශවයකින් ගත්තම දේව වාදයක් වගේ. ඇතැම් විට එහි ආගමික ප්‍රවේශයක් තිබෙන්න පුළුවන්. එහි දී ගැටලුව වෙන්නෙ ඒ සම්බන්ධයෙන් අප තුළ පවතින යටත් වීමේ ප්‍රවණතාවය යි. එය විෂයමූලිකයි. අපි උදාහරණයක් ගනිමු. ප්‍රභාකරන් නමැති නායකයා ගමු. සාමාජිකයො තුළ ඔහුට තිබෙන ගෞරවය සහ විශ්වාසය හරහා එක්තරා මට්ටමකින් ඒ සාමාජික සාමාජිකාවො ඔහුට යටත් වෙනවා. එක් අතකට මෙය අවශ්‍යය යි. මේ ධනේශ්වර මොහොතේ දී මෙය අපි වටහාගත යුතු යි.

ඒක් පැත්තකින් පුද්ගල නිදහස කියන දේ උත්කර්ෂයට නංවලා තිබෙනවා. නමුත් මෙය සාර්ථක නැහැ. මොකද පක්ෂය තුළ ම තිබෙන සාරය තේරුම් ගන්න පුළුවන් එය තුළින්ම යි. එහෙම නැතිව බාහිර සොයා බැලීමකින් තේරුම් ගන්න බැහැ. ඒ නිසයි අපි එයට යටත් වෙන්නෙ. අපිට දෙවියන් තේරුම් ගන්න නම් එයට ම අදාළ සංවාදයකට (Discourse) යන්න වෙනවනෙ. ඒ වගේ ම පක්ෂය තේරුම් ගන්න වෙන්නෙ පක්ෂයට ම අදාළ සංවාදයක් හරහා. මෙන්න මෙය තුළ පෙර කී පරිදි උත්කර්ෂයට නැංවෙන වස්තුව: එහෙම නැත්නම් ඒ පක්ෂයේ නායකයා, නායිකාව හෝ නායකයන්ට අපි ගෞරව කරන්න පෙලඹෙනවා. ඒ ගෞරවයත් සමග ම යටහත් බවක් දක්වනවා. එය නායකයා ප්‍රශ්න නොකිරීම දක්වා වර්ධනය වෙනවා. පක්ෂයක එයත් තිබිය යුතුයි. මේ අදහස පාඨකයො, එහෙම නැත්නම් බාහිර පුද්ගලයො මොන විදියට ග්‍රහණය කරගනී ද කියන්න මම දන්නෙ නැහැ. මේ අදහසට ලොකු විචාරයක් විවේචනයක් එන්න පුළුවන්. මොකද හැමෝ ම කියන දෙයක්නෙ ‘එහෙම කොහොම ද? නායකය ප්‍රශ්න කරන් ඕන.’ කියන කාරණය. ඔව්… නායකයා ප්‍රශ්න කළ යුතු යි. ඒකට අපි කියන්නෙ ‘අභ්‍යන්තර විවේචනය කියලා. නමුත් ලංකාවෙ නොවෙන්නෙත් මේක. පවතින්නෙ ඇත්තට ම ප්‍රශ්න කිරීම නොවෙයි. ‘යර්ස් සර්, ඔව් සර්’ කියල ඔළුව නවල එළියට ගිහින් පට්ට යන්න බනිනවා. ඒ නිසා තමයි හුඟක් නායකයො විනාශ වුණේ. මහින්ද රාජපක්ෂ ඇතුළු බොහෝ නායකයො විනාශයට පත්වුණේ මෙන්න මේ කාරණාව නිසා. ගෞරවය කියන්නෙ අපි නායකයාට දක්වන කොන්දේසි විරහිත ගෞරවය. මෙය බාහිර සාධකයක්. වඩාත් පැහැදිලිව කියනවා නම් අපි ඒ ප්‍රශ්න කිරිම, විවේචනය කිරීම එළියෙදි නොකිරීම. නමුත් පක්ෂ අභ්‍යන්තරයේ නායකයා ප්‍රශ්න කළ හැකියි. නමුත් අපි කරන්නෙ එහෙම නොවෙයි. ඔබට මතකනෙ එක් අවධියකදි රනිල් වික්‍රමසිංහ විවේචනය කළ ආකාරය. ඒක විපරිතයක්, (Perverse) තත්ත්වයක්. එතනදි ඒ විවේචකයො කළේ නායකයා විවේචනය කිරීම විනෝදය දක්වා රැගෙන යාම. අන්න එතනයි ප්‍රශ්නයමතුවෙන්නෙ. ඇතැම් අය කියනවා දීප්ති විවේචනය කරන්න බැ කියල.

මෙතනදි මම අතුරු ප්‍රශ්නයක් නගන්නම්. ලංකාවෙත් ඇතැම් අය කියනවා දීප්පති විවේචනය කරන්න බෑ කියල. ඔබේ ප්‍රකාශයට අනුව මෙය විග්‍රහ කරන්නෙ කොහොමද?

ඇයි දීප්ති විවේචනය කරන්න බැරි? නෑ… දීප්ති විවේචනය කළ හැකියි. නමුත් ඔහු විවේචනය කළ හැකි පිළිවෙලක් තිබෙනවා. ඔබ මතක තබාගත යුතු වැදගත් ම කාරණය වෙන්නෙ ‘අපි සංකේතීයව නායකයා විනාශ නොකළ යුතුයි’ කියන කාරණය. අපි පක්ෂ නායකයාට සංකේතීයව දක්වන ගෞරවය විනාශ නොවන විදියටයි විවේචනය කළ යුත්තේ. මෙතනදි ඔබ ප්‍රශ්න කරන පරමත්වය මතුවෙන්නෙ ඔය මම පැහැදිලි කළ තත්ත්වයත් එක්ක.

අපි මේ කාරණය තව ටිකක් විග්‍රහ කරගමු. පක්ෂ සාමාජික සාමාජිකාවො සියලු දෙනාම දන්නෙ නැහැනෙ නායකය කොහොම කෙනෙක් ද කියල. එහෙම දැනගන්න අවශයත් නැහැ.  නායකය එහෙම කියන්න අවශ්‍යයත් නැහැ. අපි මේකට ජිජැක්ගෙ ම උදාහරණයක් ගනිමු. මෙය හෙගලියානු සම්බන්ධයක්. ජිජැක් ජිවත්වෙන්නෙත් පවතින ක්‍රමය තුළ ම යි. හබමාස් ජිවත් වෙන්නෙත් පවතින ක්‍රමය තුළ ම යි. මොකද හැම තැනම පවතින්නෙ ධනවාදය. නමුත් ජිජැක් ඉන්නෙත් පවතින මඩගොහොරුවේම කියල අපි හිතනවා නම් එය වැරදියි. එහෙම නොවන්න කාරණාවක් තියෙනවා.

ඔබ කියන්නෙ ජිජැක් පවතින ක්‍රමයෙන් වියුක්තයි කියල ද?

නෑ… ඒක ඒ තරමට ම පටු විදියට ගන්න එපා. අපි කොහොමද මේ තත්ත්වය වටහා ගන්නෙ? මම ඒකට ජිජැක්ගෙන් ම උදාහරණයක් දෙන්නම්. ඔහුට කම්කරු සංගමයකින්  දේශනයකට ආරාධනා කරනවා. නමුත් ඔහු එය මගහැර එදාම යුරෝපීය පශ්චාත් අධ්‍යන ආයතනයේ දේශනයක් සඳහා සහභාගි වෙනවා. මේක කොහොම ද අපි වටහා ගන්නෙ? ඇමරිකානු ඇකඩමියාව නමැති තැනට ඔහු යනවා. නමුත් කම්කරු සංගමයේ තිබෙන දේශනයට යන්නෙ නැහැ. මේ මොහොතෙ ඇමරිකානු ඇකඩමියාව කියන්නෙ ලෝකයේ සිටින බුද්ධිමතුන් බහුතරයක් මුදල් දී ලබාගත් ආයතනයක්. ඇයි එහෙම වෙන්නෙ? එහෙමනම් ජිජැක් මේ ක්‍රමයට බද්ධ වෙලා ද? අපිට මේ ප්‍රශ්නයට පිළිතුර හොයන්න වෙන්නෙ එතනින්. මම කියන්නෙ නැහැ කියල. බැලූ බැල්මට පේන්නෙ එහෙමයි. නමුත් සිද්ධවෙන්නෙ ඒක නොවෙයි.

|මතු සම්බන්ධයි
සාකච්ඡා සටහන – ජයසිරි අලවත්ත

සත්හඬ ලිපිය මෙතනින් බලන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 01 මෙතනින් කියවන්න

ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 02  මෙතනින් කියවන්න

 

 

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...