2024 වර්ෂයේ ඡන්ද උණුසුම ඉහළ යත්ම රටේ ආර්ථික බිඳ වැටීමට විකල්පයක් ලෙස රට තුළ නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීම පිළිබඳව විපක්ෂයේ විවිධ කණ්ඩායම් සංවාද කරමින් සිටිනු පෙනේ.
After Left and Right Politics –
අපගේ සංවිධානය ද 2002 වැනි වර්ෂයක දී S.B.de Silva ඇසුරු කරගෙන ‘නිෂ්පාදන ආර්ථිකය’ ගොඩනැගීම පිළිබඳව ප්‍රවාදයක් ගොඩනැගු අතර ටික කලකින්ම එය පුස්සක් බවට පත් විය. ලංකාව වැනි ධනවාදී සමාජ-ක්‍රමය අවිඥාණක රටක නිෂ්පාදන ආර්ථිකයක් යන අදහසම පවා මනෝභ්‍රාන්තියක් වන්නේ කෙසේද? දශක එකහාමාරක පමණ කාලයක් ඒ වෙනුවෙන් කරන ලද අධ්‍යයනයේ නිශ්චිත නිගමන අපට පහත පරිදි ඉදිරිපත් කළ හැකිය.
1964 – sexy ?
20 වැනි සියවසේ ආරම්භයේ සිදු වූ 1917 ඔක්තෝබර් විප්ලවයට පසුව ලෙනින්ගේ නායකත්වයෙන් යුතු පොලිටි බියුරෝව උත්සාහ කරන ලද්දේ, විප්ලවය යුරෝපයට අපනයන කරන්නේ කෙසේ ද කියා ය. මන්ද, ඒ වන විටත් බටහිර යුරෝපය කාර්මිකකරණයට යටත් වී පැරණි සමාජ අගතීන්ගෙන් නිදහස් වන වාතාවරණයක් තිබුණු බැවිනි. නමුත්, ලෙනින්ට සිදු වූයේ රුසියාව තුළ ‘නිෂ්පාදන ආර්ථිකයක්’ නිපදවීම පසෙකලා ඒ තුළ ධනවාදී වෙළඳපොල ස්ථාපිත කිරීමට ය. අනෙක් අතට, සමාජවාදය යුරෝපයට අපනයනය කිරීම වෙනුවට රුසියාවට සිදු වූයේ ජර්මනියේ ජාතිවාදය අපනයනය කිරීමේ ව්‍යාපෘතියට මුහුණ දීමටය. 1923 සිට 1945 දක්වා දීර්ඝ කාලයක් ගත වූයේ ඉහත ව්‍යාපෘති දෙක රුසියාව තුළ තුලනය කිරීමට ය. පසුව, එසේ ක්‍රියාත්මක කරන ලද ක්‍රමය ස්ටාලින්වාදය ලෙසින් හැඳින්විය.
දශක 4 ක පමණ ලෝක යුධ යථාර්ථයකට පසුව යුරෝපයේ දීර්ඝ කාලීනව පවතින පන්ති සාමයක් බිහි විය. නික් බීම්ස් තම භූගෝලීයකරණය (1998) පොතේ ඒ පිළිබඳව මෙලෙස රචනා කරන ලදී:
“ බලවතුන් තිදෙනාගේ (ඇමරිකාව, එක්සත් රාජධානිය, රුසියාව) හමුදාවන්ට සහ රාජ්‍යතාන්ත්‍රිකත්වයට පැරණි යුරෝපයේ සියලු සමාජ පන්ති මත තමන්ගේ අභිප්‍රාය සමස්ත යුගයකටම (1945-1970) බලපාන පරිදි පටවන්නට හැකි වන බව සිතා ගැනීමට සිය සියලු චින්තන පුරුදු නිසා ඔහු අසමත් විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, සාම්ප්‍රදායික පන්ති අරගලය ඒ දක්වා එය පැවැති මට්ටමෙන් ‘සීතල යුද්ධය’[Cold war] නම් තලයකට මාරු විය. මෙය, ඒ දක්වා ලෙනින්වාදය හෝ වෙනත් කිසිදු පශ්චාත්-යුධ කාලීන මාක්ස්වාදයකට ග්‍රහණය කර ගත නොහැකි යථාර්ථයක් විය.”-
උපුටා ගැනීම නවීකාරක කර ඇත-
‘සීතල යුද්ධය’ ආරම්භ වී යන්තම් දශක හතරක් ගත වූ කල රුසියාවේත්, නැගෙනහිර යුරෝපයේත් සමාජවාදය 1989 දී බිඳ වැටුණු අතර සියවස සිතුවාට වඩා කෙටි විය. ඉන්පසු, ඇමරිකානු සියවසක් ආරම්භ විය.
1900 සිට (19 වන සියවසේ ලිබරල්වාදය අවසන්ව) 2000 දක්වා කාලය තුළ ඉතිහාසය වර්ධනය වූ තර්කය පිළිබඳව මූලික අදහස් දෙකක් මෙලෙස සාරාංශගත කළ හැකිය.
1.ජියොවන්තී අරිගි විසින් ඉදිරිපත් කළ ‘ව්‍යුහය අධිනිශ්චය වීමේ චක්‍රීය විපර්යාසය’ (Long Twentieth Century). මෙම කෘතිය මගින් තහවුරු කරන ලද්දේ, පන්ති අරගලය ප්‍රතික්ෂේප කොට ධනවාදය නම් ව්‍යුහය සිය බාධාවන් ජය ගන්නා ආකාරය පිළිබඳවයි. (Structure over Agent)
2. අන්තෝනියෝ නෙග්‍රී සහ මයිකල් ගාර්ඩි විසින් ඉදිරිපත් කළ පන්ති අරගලයේ නූතන ස්වරූපය (Empire). මෙමගින් අවධාරණය කරන ලද්දේ, බහුලත්වය සහ ආශාවන් සියල්ල ඉටු කරනු ඇත යන න්‍යාය යි. මෙහිදී, ධනවාදී ව්‍යුහය වෙනුවට ඒජන්තයා පිළිබඳ අදහස යළි පෙරමුණට ගෙන එන ලදි.
shells.
ඉතිහාසයේ දැන් අප සිටින්නේ, දෙවන ලෝක-යුධ යථාර්ථයකට පසුව පමණක් නොව සීතල යුද්ධයට ද පසු තත්ත්වයක් තුළ ය. අධිරාජ්‍යවාදය නම් සංකල්පය දැන් යළිත් නිර්වචනය කළ යුතු අතර ඇමෙරිකාව තම අතපෙවීම ලතින් ඇමෙරිකාවෙන් සහ ඇෆ්ගනිස්ථානයෙන් යුක්‍රේනයට සහ මැදපෙරදිගට මාරු කර ඇත.
සාම්ප්‍රදායික මාක්ස්වාදී ආර්ථික විද්‍යාඥයන්ටත්, පශ්චාත්-යුධ කාලීන දාර්ශනිකයන්ටත් (ධනවාදය සමතික්‍රමණය සඳහා චින්තන තලයේ යොදා ගත් ප්‍රංශ දාර්ශනික ගුරුකුලය- මිචෙල් ෆූකෝ, ජාක් ඩෙරීඩා, ඇලන් බදියු, ලුවී අල්තූෂර්, ප්‍රාංශුවා ලියෝතා, ජීන් බෝද්‍රිලා) 70 දශකයේ මුල දී සිදු වූ ඓතිහාසික ඛණ්ඩනය න්‍යායගත කිරීමට නොහැකි විය.
සාරාංශගතව 70 දශකය මුල සිදු වූ ඓතිහාසික ඛණ්ඩනය පහතින් අපි මෙලෙසින් සටහන් කරමු.
ගෝලීය නිෂ්පාදන ක්‍රමය ෆෝඩ්වාදයෙන් පශ්චාත්-ෆෝඩ්වාදයට විස්ථාපනය වීම. මෙමගින්, රටවල් මට්ටමේ සමාජ, ආර්ථික සහ සංස්කෘතික තලයේ ව්‍යුහාත්මක විපර්යාස බිහි වූ අතර 2008 වර්ෂයේ මූල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍යය බිඳ වැටුණු අතර එමගින් ඇමරිකන් ධනවාදයේ ඩොලර් ආධිපත්‍යය ද පරීක්ෂාවට ලක් විය. ෆෝඩ්වාදයේ සිදු වූ මෙම විපර්යාසය බටහිරට සහ නැගෙනහිරට බලපෑ දෙයාකාරය පහත පරිදිය.
බටහිර - රාජ්‍ය කේන්ද්‍රීය ධනවාදයේ දේශපාලන සහ සමාජ තර්කය බිඳ වැටීම. දෙවන ලෝක යුද්ධයට පසුව ලෝක පර්යාය ආර්ථික තලයක සකස් කළ කේන්ස්ගේ අදහස් අර්බුදයට ලක් වීම. එනම්, පන්තීන් අතර සාමය සුභසාධනයෙන් අතු ගා දැමීම. විභාග ක්‍රම සහ අධ්‍යාපනය හරහා පහළ පන්තීන්ට ලොතරැයි දිනුම් යෝජනා කිරීම.
නැගෙනහිර – නැගෙනහිර යුරෝපයේ සහ රුසියාවේ කොමියුනිස්ට්වාදය බිඳ වැටීම. එනම්, රාජ්‍ය කේන්ද්‍රීය ධනවාදය සහ නිලධාරී තන්ත්‍රයේ සුජාතභාවය ඊට අහිමි වීම.
ඊට අමතරව, චීනයේ මාවෝවාදය යළි ප්‍රතිව්‍යුහගත වීමක් ද සිදු විය.
ඓතිහාසික වර්ධනය පිළිබඳ (මාක්ස්වාදී/ වෙබරියානු) සරල රේඛීය චින්තනය සහ සාම්ප්‍රදායික සහ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ද, කොමියුනිස්ට් පක්ෂ ද ෆෝඩ්වාදයේ බිඳ වැටීම නිසා අභාවයට ගමන් කරන ලදී. ඒ වෙනුවට, ආපතිකත්වයට[ contingencies] ඉඩදෙන සමාජ න්‍යායන්ට ඉඩ විවර විය.
‘නික් බීම්ස්’ ඉහත ෆෝඩ්වාදයේ බිඳ වැටීම ඉතාම සංකීර්ණ ප්‍රපංචයක් ලෙසින් වටහා ගත්තේය. ඔහු මූලික කරුණු දෙකක් පශ්චාත්-ෆෝඩ්වාදී නිෂ්පාදන මාදිලිය තුළ හඳුනාගන්නා ලදී.
1. නිෂ්පාදනය භූගෝලීයකරණය යනු, හුදෙක් ආර්ථික ක්‍රියාවන්ගේ ප්‍රසාරණයක් නොවේ. ඉන් නියෝජනය වන්නේ, ලෝක ධනවාදී ආර්ථික ව්‍යුහයේ ගුණාත්මක වෙනසකි. ප්‍රාග්ධනයේ රූපාකාර තුනකි. එනම්, මූල්‍ය ප්‍රාග්ධනය, නිෂ්පාදන ප්‍රාග්ධනය සහ භාණ්ඩ ප්‍රාග්ධනය යි. ප්‍රාග්ධනයේ ස්වයං නිෂ්පාදනය ප්‍රාග්ධනය රූපාන්තරණය වීමෙන් සිදු වෙයි. මෙම ක්‍රියාවලි තුනෙන් එකක් සුවිශේෂය. එනම්, නිෂ්පාදන ප්‍රාග්ධනය එහි ඊළඟ අදියර වන භාණ්ඩ ප්‍රාග්ධනයක් වීම තුළ සුවිශේෂී පරිවර්තනයක් සිදු වෙයි. මෙහිදී, ප්‍රාග්ධන ස්කන්ධයෙහි වැඩි වීමක් සිදු වෙයි. මේ ස්කන්ධයේ ඕපපාතික වැඩි වීම නැතහොත්, එහි උල්පත ඇත්තේ නිෂ්පාදන ක්‍රියාවලියේදී කම්කරුවාගෙන් උපුටා ගන්නා ‘අතිරික්ත වටිනාකම’ මත ය. (ගෙවන මිලට වඩා වැඩි මිලකට ශ්‍රමයේ වටිනාකම විකිණීම) ධනවාදී නිෂ්පාදනයේ ඉතිහාසය යනු, මෙම තෙවැදෑරුම් රූපකාරයන් හි භූගෝලීයකරණයේ ඉතිහාසය ලෙස සැලකිය හැකිය.
මේ දක්වා ජාතික භූමියට ගැට ගැසුණු නිෂ්පාදන ප්‍රාග්ධනයට එය පිහිටා තිබූ ස්ථානය කරා ශ්‍රමය අද්දා ගැනීමට සිදු විය. උදාහරණයක් ලෙස, කපු වැවීම සඳහා කළු ජාතික ශ්‍රමය ඇමරිකාවට ගෙන එන්නට සිදු විය. මෙතැනට, ලාභ ශ්‍රමය පිළිබඳ කතාවට වඩා වැඩි දේවල් ගැට ගැසී ඇත. මේ නිසා, දැනට ජාත්‍යන්තර ශ්‍රම විභජනයක් සිදු වෙමින් පවතී.
අතීතයේ දී නිෂ්පාදන ප්‍රාග්ධනයේ ක්‍රියාකාරී ක්‍ෂේත්‍රය වූයේ, ජාතික රාජ්‍යය යි. අමුද්‍රව්‍ය ඇතුළුව යන්ත්‍රෝපකරණ ගෙනාවේ බැහැරිනි. නිමි ඇඳුම් වැනි නිෂ්පාදනය කරන ලද භාණ්ඩ විකුණනු ලැබුවේ, ජාත්‍යන්තරවය. වැදගත් කරුණ වූයේ, ‘නිෂ්පාදන ප්‍රාග්ධනය’ එතැන් සිට භාණ්ඩ ප්‍රාග්ධනය දක්වා ප්‍රතිවර්තනය වීම තුළ සිදුවන අතිරික්ත වටිනාකම් උපුටා ගත්තේ දෙන ලද ජාතික රාජ්‍ය සීමාව තුළින් වීමය. මෙය, තවදුරටත් සිදුවන දෙයක් නොවේ. දැන් නිෂ්පාදන ප්‍රාග්ධනය විසින් අතිරික්ත වටිනාකම් උපුටා ගනු ලැබීමේ ක්‍රියාවලිය සිදුවන්නේ ද ජාතික රාජ්‍ය සීමාවෙන් පිටත ය. මෙම ගුණාත්මක පරිවර්තනය සත්‍ය ලෙසම ජාතික රාජ්‍ය සීමාවේ සිට ක්‍රියා කරන දේශපාලන පක්ෂවල සීමාවලට වඩා දුරදිග යන එකකි. ඉන් ප්‍රකාශ වන්නේ, ජාතික රාජ්‍ය සීමාවන්වල ජීවත් වන ශ්‍රමිකයන්ගේ සමාජ තත්ත්වය රැක ගත හැකි ය යන සියලු ජාතික- ප්‍රතිසංස්කරණවල බිඳ වැටීමයි.
2. පශ්චාත්-ෆෝඩ්වාදී සමුච්ජන ක්‍රියාවලිය තුළ දී එක්තරා ආකාරයකට දක්නට ලැබෙන පරිදි ධනවාදී නිෂ්පාදන ආකාරයේ බිඳ වැටීමේ තත්ත්වයක් උදා වෙයි. එය, හුදු සමස්ත පද්ධතිය ඇන හිටුවන වාණිජ හෝ ව්‍යාපාරික අර්බුදයක් නොවේ.
නික් බීම්ස් ධනවාදී නිෂ්පාදන ආකාරයේ බිඳ වැටීමක් ලෙසින් විස්තර කරන තත්ත්වය කුමක්ද?
භාණ්ඩය නිෂ්පාදනය කරන්නේ එක රටක වන විට එහි වටිනාකම තහවුරු වන්නේ වෙනත් රටක නම්, එවැනි තත්ත්වයක් තුළ දී අලුත් විභවතාවයක් හට ගනියි. උදාහරණයක් ලෙස, ඇපල් දුරකතනය නිපදවන්නේ චීනයේ කම්හලක වන අතර එය කළමනාකරණය වන්නේ, තායිවානයේ ෆොක්ස්කොන් සමාගමෙන් නම් එහි අගය තහවුරු වන්නේ, ඇමරිකාවේ කැලිෆෝනියාවේ දී නම් චීනයේ කර්මාන්ත ප්‍රාග්ධනය සතු වටිනාකම සහ කැලිෆෝනියාවේ ඇපල් සමාගම සතු සමපේක්ෂණ ප්‍රාග්ධනය අතර පරතරය 1:60 පමණ අනුපාතයකි. එහි සරල අදහස වන්නේ, චීනයේ ඇපල් කම්හල ලබන වටිනාකම රුපියලක් වන විට දී එහි අගය 60 ගුණයකින් කැලිෆෝනියාවේ වැඩි වී ඇති බවයි. ඉන් අදහස් වන්නේ, කර්මාන්ත ප්‍රාග්ධනයෙන් ලැබිය හැකි ලාභ රේට්ටුව හොඳටම යල් පැන ගොස් ඇති බවයි.
ඒ අනුව, දැනට පවතින ගෝලීය නිෂ්පාදනය යළි සකස් වී ඇති ආකාරය අනුව , ලංකාවේ කර්මාන්ත ආරම්භ කරනවා යනු පාඩු ලබන තත්ත්වයක් බිහි වීම පමණි. 70-77 සමඟි පෙරමුණ ආණ්ඩුව දැවැන්ත පරාජයකට 77 වර්ෂයේ මුහුණ දුන්නේ, ලෝක මට්ටමින් ඒ වන විට අවිශදව පැවැති ෆෝඩ්වාදයේ බිඳ වැටීම අවබෝධ නොකොට තිබීමයි. 77 ට පසුව ආරම්භ කළ නිමි ඇඳුම් කර්මාන්ත ශාලා සාපේක්ෂව සාර්ථක වූයේ ද ඉහත සන්දර්භය තුළදී ය.
නික් බීම්ස්ගේ ධනවාදය පිළිබඳ පර්යාවලෝකනය සිදු වූයේ, 90 දශකය අග භාගයේදී ය. අද වන විට, දශක දෙකක් පමණ ගෙවී ඇති තැන ධනවාදී පර්යායට සිදුවී ඇති නව ඛණ්ඩනයන් මොනවාද?
ලෝක මට්ටමින් මේ පිළිබඳව තියුණු නිරීක්ෂණ දෙකක් න්‍යායාචාර්යවරුන් දෙදෙනෙක් විසින් සිදු කර තිබේ.
1. මොයිෂ් පොස්ටෝන් (Moishe Postone)- මාක්ස්වාදී ඉතිහාසවේදියෙකු වන පොස්ටෝන් ඉතාම විචක්‍ෂණ ලෙස පශ්චාත්- ෆෝඩ්වාදී ධනවාදී පර්යාය පිළිබඳව න්‍යායගත කිරීම් කර ඇත. ඔහුගේ නිර්වචනයට අනුව, ශ්‍රමය මත තීරණය වූ වටිනාකම් න්‍යාය -value theory- බිඳ වැටී ඇති අතර දැනට තහවුරු වී ඇත්තේ මුදල් මගින් මුදල් මවන ‘කැසිනෝ ප්‍රාග්ධනය’ මගින් මෙහෙයවන ආර්ථික ක්‍රමයක්ය. අධිරාජ්‍යවාදය ධනවාදයේ උසස්ම අවධිය යැයි කියවෙන ලෙනින්ගේ ප්‍රවාදය අභියෝගයට ලක් වී ඇති අතර පොස්ටෝන්ට අනුව, අධිරාජ්‍යවාදය වෙනුවට නව ජාත්‍යන්තර රටාවක් නිර්මිත වී ඇත.[New World Order After Thatcher.]
පොස්ටෝන්ට අනුව, ‘රාජ්‍යය’ [state] ධනාත්මක වෙනසක සහ සංවර්ධනයේ නියමුවා යන ඒජන්තභාවයෙන් ඓතිහාසිකව ඉවත් වී ඇත. එම නිසා, ජාතික රාජ්‍යය තුළ ශ්‍රමයට ඇති විසඳුම යල් පැන යයි. මෙම තත්ත්වය ඔහු නව- ලිබරල් පර්යාය ලෙසින් හඳුන්වන ලදී. නමුත්, පොස්ටෝන්ට අනුව මාක්ස් ලිව්වේ විචාරාත්මක දේශපාලන ආර්ථිකය පිළිබඳව නොව ‘දේශපාලන- ආර්ථිකයට’ විචාරයකි. එම සන්දර්භය තුළ දී ඔහු කතා කරන්නේ, සංක්‍රාන්ති ඓතිහාසික ප්‍රභේද පිළිබඳව නොව සුවිශේෂ ඓතිහාසික ප්‍රභේද පිළිබඳව ය. ශ්‍රමයට පවා මෙම තත්ත්වය අදාළ ය.
ධනයේ උල්පත එක් යුගයක දී ශ්‍රමය වන විට දී, වෙනත් යුගයක දී එය එසේ නොවිය හැකිය. උදාහරණයක් ලෙස, සාම්ප්‍රදායික ධනවාදය තුළ ශ්‍රමිකයාගේ ශ්‍රමය ෆැක්ටේරිය තුළ දී සූරාකනු ලබයි. නමුත්, පශ්චාත්-නූතන ධනවාදය තුළ දී ශ්‍රමිකයාගේ ‘ශ්‍රමය’ සුවිශේෂී ඓතිහාසික අවධියකට ඇතුල් වෙයි. එහිදී, ශ්‍රමිකයන්ගේ ‘ශ්‍රමය’ නම් ප්‍රභේදය දෙපලු වන අතර එක් කොටසක් ෆැක්ටරියේ දී හෝ වැඩ බිමේ දී සූරා කැවෙන අතර අනෙක, ෆැක්ටරියෙන් පිටත දී තවත් ආකාරයකින් උරා ගනු ලැබේ. උදාහරණයක් ලෙස, ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැලක සේවය කරන සිංහල ශ්‍රමිකයෙක් තමන්ගේ දවසේ වැටුපෙන් විශාල කොටසක් චාමර වීරසිංහගේ ප්‍රසංගයක් නැරඹීමට වියදම් කළ හැකිය. චාමර වීරසිංහ දිනකට මිලියන 2ක පමණ මුදලක් උපයන අවංක හදවතක් සහිත ගමේ මිනිසුන්ගේ හදවත් දිනාගත් ගායකයෙකි. මේ මුදල් අවසාන වශයෙන් සමපේක්ෂණයට ලක් වන්නේ, මත්ද්‍රව්‍ය හරහා ඩුබායි හී සමපේක්ෂණ ධනවාදීන් මඟිනි. එම නිසා, මේ දෙවන ආකාරයේ සමුච්ජනය සඳහා යෙදවෙන්නේ කායික ශ්‍රමය නොව ෆැන්ටසි ශ්‍රමය නැතහොත්, මානසික ශ්‍රමය යි. මෙම මානසික ශ්‍රමය සූරා ගන්නා කතිකාව ”විශ්ව-විද්‍යාලය” [university discourse or Capitalist Discourse] මිස ෆැක්ටරිය නොවේ. ග්‍රාම්ස්චිව පවා මානසික ශ්‍රමයක් ලෙස බදු ගෙවන්නන්ට විකිණිය හැකි යුගයකට අප සම්ප්‍රාප්ත වී ඇත.
පොස්ටෝන්ට අනුව, ධනවාදය තුළ ධනයේ මූලය බවට ශ්‍රමය පත් වූ යුගය අවසන් වී ඒ නිසාම අතිරික්ත වටිනාකම්වල[surplus value] පදනම ලෙස ශ්‍රමයට තිබූ ඓතිහාසික ඉරණම ද අවසන් වී ඇත. ඔහුට අනුව, ඉන්පසුව වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යාය යල්පැන ගොස් ඇත. සරලව කිවහොත්, ධනවාදී නිෂ්පාදනය සඳහා අවශ්‍ය ‘ශ්‍රම-කාලය’ නැතහොත්, මිනිසුන් මත යෙදවූ කාලයේ ආධිපත්‍යය බිඳ වැටී ඇත. ෆැක්ටරිය තුළ උරාගන්නා ‘ශ්‍රම-කාලය’ නිපදවන්නේ අඩු ලාභයකි.
විශාල ඓතිහාසික පරිවර්තනයක් පටුකර කිවහොත්, ධනවාදයට තවදුරටත් පුද්ගලයන් අවශ්‍ය නොවන අතර එම නිසාම සමාජ විද්‍යාවේ අවසානයන් සනිටුහන් වෙයි. මා කලින් ෆැන්ටාස්මැතික ශ්‍රමය යැයි කීවේ මෙම තත්ත්වාරෝපිතයට ය. අද දවසේ මිනිසෙක් (?) තම ශ්‍රමය ධනපතියාට විකුණනවා නොව තමන්වම වටිනාකමක් ලෙස ෆැන්ටසිකරණය කරනවාය. එයට අවශ්‍ය නම්, අපට ස්වයං භක්‍ෂණය හෝ මළගිය-ප්‍රාණියෙකු බවට රූපාන්තරණය වනවා යැයි ප්‍රකාශ කළ හැකිය. නූතන ධනවාදය තුළ සිතනවා යනු ද ධනවාදය යි. (Self-Moving Substance that is Subject) හේගල්ට අනුව, ඉතිහාසයට තර්කයක් ඇත. මාක්ස්ට අනුව, ප්‍රාග්ධනය යනු වියුක්ත ආධිපත්‍යයක් වන අතර එය සංස්ථාපනය කරන මිනිසුන්ගේ හිස් කුහරවලින් එය ස්වාධීන ය. මේ නිසා, ධනවාදය නැති කරන්න යන අය තහවුරු වනවාට වඩා වේගයෙන් අතුරුදහන් වෙයි.
20 වැනි සියවසේ සත්වන දශකයේ දී (1970’s) ප්‍රාග්ධනයට තමන්ගේ ස්වයං-වර්ධනයට ඓතිහාසිකව තවදුරටත් ශ්‍රමය අදාළ නැති බව වැටහෙයි. ෆෝඩ්වාදය බිඳ වැටීම යනු, මෙම සිදුවීමට ය. මෙය, ඉන්පසු කේන්සියානු රාජ්‍යකේන්ද්‍රීයවාදයටත් අදාළ වෙයි. 90 දශකය මැදවන විට දී මෙම අර්බුදය පශ්චාත්-නූතන තත්ත්වය ලෙසින් ලෞකිකව ප්‍රකාශ විය. මෙම නව තත්ත්වයට ප්‍රාග්ධනය ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද? එහි පළමු පියවර කිහිපය මෙලෙසින් වාර්තා කිරීමට හැකිය.
1.වෘත්තී සමිති දුර්වල කිරීම.
2. නිෂ්පාදනය ලාභ ශ්‍රමය සහිත කලාපවලට විස්ථාපනය කිරීම.
3. ශ්‍රමයට තාක්ෂණය හැකිතාක් ආදේශ කිරීම.
4. ධනය රැස් කරන අලුත් ආකෘති ගවේෂණය කිරීම. ආදායම් එකතු කිරීමේ නව ආකෘතියක් ලෙස ‘ණය ආර්ථිකය’ නැතහොත්, පුද්ගලයන්ට ක්‍රෙඩිට් කාඩ් සංස්කෘතියක් ආරෝපණය කිරීම. මෙය, අලුත් දෙයක් නොවන මුත් අලුත් අත්හදා බැලීමකි. මෙම නව මූල්‍ය ප්‍රාග්ධනය බිහි වන්නේ, වටිනාකමේ මූලාශ්‍රය ශ්‍රමය යන සිද්ධාන්තය බිඳ වැටුණාට පසු බව මතක තබා ගැනීම වැදගත්ය. මුදල් අච්චු ගැසීම ආර්ථිකයට හොඳ බව ඊනියා මාක්ස්වාදී ආර්ථික විද්‍යාඥයෙක් පැවසීම ඒ අනුව, අහම්බයක් නොවේ.
ප්‍රාග්ධනය පැත්තෙන් තමන්ගේ ස්වයං-වර්ධනය සඳහා ඉහත සියලු පියවර ගත් පසු ඉතිරි වන විකල්පය කුමක්ද? පොස්ටෝන්ගේ මුඛ්‍ය ගැටලුව එය යි. නැතහොත්, සමකාලීන අපගේ සමාජ-අර්බුදයේ මූලය එයයි.
ඉහත පියවරයන් දෙස තීක්‍ෂණ ලෙස සලකා බලන විට දී අපට අවබෝධ වන්නේ, ‘වටිනාකම් නිපදවීම’ (Value Production) මත ධනය එක් රැස්වේ නම් ඒ සඳහා ඕනෑම මූලාශ්‍රයක් භාවිතයට ගත යුතු යැයි ප්‍රාග්ධනය තීරණය කරයි. ඉතාම සංක්ෂිප්තව සටහන් කළහොත්, ප්‍රාග්ධනය මිල සහ ලාභය සඳහා අන්තර්ගතයක් ලෙස මිනිස් ජීවිතයේ අන්තර්ගතයන් ද (ආත්මමූලිකත්වය සහ ලිංගික ෆැන්ටසි- පුළුල්ව ලුබ්ධිය) යොදා ගැනීම පටන් ගනියි. මේ මොහොතේ දී, ඇමෙරිකාව ඒ දක්වා ආරක්ෂාව යටතේ තබාගෙන සිටි අන්තර්ජාලය (Internet) මහජන අවකාශයට මුදා හරියි.
ඉතිහාසයේ ”අන්තර්ජාල මොහොතට” පසුව ප්‍රාග්ධනයට තමන්ගේ වටිනාකම් නිපදවීමේ ක්ෂේත්‍රයට මිනිසාගේ මානසික ශ්‍රමය යොදා ගැනීමට හැකි වෙයි. සරලව කිවහොත්, සමුච්ජනය ගෝලීය මට්ටමින් මන්දගාමී වන විට දී එය වඩ වඩා පරාර්තිත තැනකට එනම්, සමාජය සහ සොබාදහම සූරාකෑම පැත්තට යොමු වෙයි. ප්‍රාග්ධනය පැත්තෙන් ගතහොත් ආපසු හැරීමකි. ශ්‍රමය වෙනුවට අනන්‍යතාවයන් අධිනිශ්චය වීමට පටන් ගන්නේ මේ ආපසු හැරීමත් සමඟ ය. කටුව පොඩි වී ගිය ගොළුබෙල්ලෙකුට එලෙසම වූ තවත් ගොළුබෙල්ලෙකුගෙන් ඉගෙන ගැනීමට දෙයක් තිබේද?
පොස්ටෝන් තම තිසීසය අවසන් කරන්නේ, ධනවාදය වඩ වඩා අනාගතයේ දී අරාජක වීමට නියමිත ගතිකයන් පෙන්වා දෙමිනි. මේ සඳහා, දේශීය පිළිතුර කුමක්ද? හුරු-පුරුදු එක වන්නේ අල්පේච්ඡවාදය යි. දෙවැන්න වන්නේ, වාම-ජාතිකවාදය මුසු වූ සොරකමින් තොර ධනවාදය යි. මෙය, කෙතරම් අසාර්ථක විකල්පයක් ද යන්න අනාගතය අපට කියා දෙයි.
Boris-
2. යානිස් වරුෆාකිස් විසින් ඉදිරිපත් කරන තාක්ෂණ-වැඩවසම් වාදය (Techno- Feudalism). මොයිෂ් පොස්ටෝන් නැවැත්වූ තැන වූ ධනවාදයේ අරාජකවාදී සැකැස්ම යන තැනින් එහා යමින් වරුෆාකිස් ප්‍රකාශ කරන්නේ, ධනවාදය සමාජ-ක්‍රමයක් ලෙස අවසන් වන බවයි. මෙය, නික් බීම්ස්ගේ අදහසට සමීප ය. නමුත්, ධනවාදයේ අවසාන සූරාකෑමේ ආකෘතිය හඳුන්වා දෙමින් වරුෆාකිස් ප්‍රකාශ කරන්නේ, ධනපතියන් පවා කලින් පරිකල්පනය නොකළ තත්වයක් උදාවී ඇති බවයි.
වැඩවසම් යුගයේ ඉඩම් හිමියාට ඉඩම අයිතිය. ඒ තුළම ජීවත් වන ප්‍රවේණි-දාසයන් (පරම්පරාවෙන් පරම්පරාවට ජීවත් වන ඉඩම- මෙය ලංකාවේ වතු ඉඩම්වල ජීවත් වන වතු දෙමළ කම්කරුවන් මෙනි) තම ශ්‍රමය තම ස්වාමියාට විකුණන්නේ නැති අතර එය ලබා දෙන්නේ නොමිලේ ය. එයට හිලව් ලෙස ඔවුන්ට යැපීම සඳහා යැපුම් ආර්ථිකයක් සකස් කර ඇත.
වරුෆාකිස්ට අනුව, නූතන Facebook, Whats app , Twitter, Amazon, Apple වැනි සමාගම් වලට සේවය කරන ශ්‍රමිකයන්ට ජෙෆ් බෙසෝස්, මාක්ස් සකර්බර්ග්, ඊලෝන් මස්ක්, ටිම් කුක් ගෙවන්නේ නැත. ඒ සඳහා, යොදවන මානසික ශ්‍රමය (අධිනිශ්චය වූ ශ්‍රම ආකෘතිය) ලබා දෙන්නා එය ලබා දෙන්නේ, ස්වේච්ඡාවෙන් නොමිලේ ය. ප්‍රවේණි-දාසයාට යැපුමට හරි යමක් ලැබෙන මුත් සයිබර්- වහලුන්ට එවැන්නක් හෝ ලැබෙන්නේ නැත. ලැබෙන්නේ, වේදනාත්මක සතුටකි පමණි.[pleasure-in-pain] මෙයට, සභ්‍ය භාෂාවෙන් කියන්නේ Content Provider කියා ය. අසභ්‍ය ලෙස කියන්නේ නම්, අප මෙයට කියන්නේ අතේ ගසනවා නැතහොත්, ස්වයං-මෛථුනය යි. ස්වයං- මෛථුනය යනු, ස්වයං නිර්ණයේ රහස් කවචය යි. ලංකාවේ වම්මුන් කියා ගන්නා 100% ක් පුද්ගලයන් යනු, සකර්බර්ග්ට ප්‍රාග්ධනය එකතු කිරීමට ජාතික රාජ්‍යයේ සිට අතේ ගසන්නන් ය. මේ වම්මුන්ව විකුණා අමතර ආදායමක් ලබන දේශීය ඒජන්තයන් සිටින මුත් ඉහත සමාගම් සහ නිෂ්පාදන සමාගම්වල වැටුප් වලට යෙදවෙන මුදල් ප්‍රමාණය බැලූ විට යථාර්ථය පැහැදිලිය.
ෆොක්ස්වාගන් වැනි මෝටර් රථ නිපදවන නිෂ්පාදන සමාගමකට තම ආදායමෙන් වැටුප් සඳහා 92% ක් පමණ ගෙවීමට සිදුවේ. නමුත්, අප ඉහත කී Facebook වැනි සමාගම්වලට තම ආදායමෙන් වැටුප් සඳහා ගෙවීමට සිදු වන්නේ, .9% වැනි පහළ අගයකි. ෆොක්ස්වාගන්, Land Rover වැනි සමාගම්වල ප්‍රාග්ධන භාණ්ඩ ලෝහ, චිප්, රබර් වන විට Facebook සමාගමේ ප්‍රාග්ධන භාණ්ඩය වන්නේ, අනන්තයට දිගු විය හැකි මනුෂ්‍යයාගේ අභ්‍යන්තර ජීවිතය යි. [inner shell life] එනම්, අශ්ලීල ෆැන්ටසි සහ ළමා ලිංගිකත්වය යි.
දැනට අපට කිව හැක්කේ, ධනවාදය සමාජ-ක්‍රමයක් ලෙස අවසන් වී ඇති බවයි. ඒ සඳහා, දැන් කිසිවෙකු බාහිරින් අවශ්‍ය කරන්නේ නැත. නමුත්, ‘ප්‍රාග්ධනය’ තවමත් ජීවමාන වන අතර එහි ස්වයං-වර්ධනය සඳහා අමුද්‍රව්‍යය වී ඇත්තේ, මිනිස් ජීවිතය යි. 90 දශකයට පසුව අප ජීවත් වී ඇත්තේ, මෙම ඓතිහාසික මොහොත තුළ ය. ප්‍රාග්ධනයේ මේ නවරූපකාය AIDS රෝගයට ඉතා සාදෘෂ්‍ය ය. ප්‍රාග්ධනය සහ සිතීම අතර වෙනසක් දැන් නැති අතර සිතනවා යනු ද ප්‍රාග්ධන සමුච්ජනය යි. මේ නව තතු යටතේ ”පවුල, පුද්ගලික දේපළ සහ රාජ්‍යයට” සිදු වන දෙය අපට වෙනත් තැනක සංවාද කළ හැකිය.
මා ඉහත ඉදිරිපත් කරන ලද්දේ, ධනවාදී සමාජ-ක්‍රමයේ පසුගිය වසර 50 ක පමණ සිදු වූ විපර්යාසය යි. මේ පිළිබඳව සංවේදී මිනිසුන් ලංකාවේ සිටිතැයි අනුමාන කිරීමට තරම් මම මෝඩයෙකු නොවෙමි.
නමුත්, මෙම කෙටි පැහැදිලි කිරීම අනාගතයට අයිතිය.
-දීප්ති කුමාර ගුණරත්න.
ඔබේ අදහස කියන්න...