ශිෂ්ටත්වයේ සිහිනය...|Friday, July 28, 2017
You are here: Home » News » පඨිතය වියමන ද?

පඨිතය වියමන ද? 

Derrida

 

‘වටමඩල’ සාහිත්‍ය අතිරේකයට 2017 ජුනි 16 දින කැලණිය සරසවියේ සුදේශ් කවීශ්වර විසින් ලියා තිබූ ‘අන්තර්ග්‍රාන්ථිකත්වය උඩු යටිකුරු කිරීම – ඉමේෂා සපුතන්ත්‍රිට පිsළිතුරක්‌’ මැයෑති ලිපිය සිත් ගන්නා සුළු ලියවිල්ලකි. එය සිත් ගන්නා සුළු යයි මා කියන්නේ එය කැලණිය විශ්වවිද්‍යාලයෙන් ප්‍රභව වන බැවින් සහ කථිකාචාර්ය චින්තක රණසිංහ මහතාද උගන්වන්නේ එම විශ්වවිද්‍යාලයේම වන බැවින් නිසාම නොවේ. ඊටත් වඩා එම ලිපිය ලියන ලේඛකයා තමාගේ ස්‌ථාවරය තහවුරු කර ගන්නේ ආචාර්ය ප්‍රභා මනුරත්න නමැති එම විශ්වවිද්‍යාලයේම ආචාර්යවරියක ගෙන් බව සඳහන්ව තිබීම නිසා ද නොවේ. තමන් හරිහැටි නොදන්නා දේවල් ගැන ලොකු කතා කියන්නට යැමෙන් සිදුවන විකාරය මගින් අපූර්ව හාස්‍යයක්‌ මතු කරන බැවිනි.

කෙසේ වෙතත් එම ලිපිය ලියන ලේඛකයා සහ ඉමේෂා සපුතන්ත්‍රි නම් කෙනෙකු අතර පවතින ශාස්‌ත්‍රීය ආරවුල අපට අදාළ නැත. කෙටියෙන් කිවහොත් එම ලිපියේ අපට වැදගත් වන්නේ ‘අන්තර් ග්‍රාන්ථිකත්වය‘ යන අනුමැයින් යුතු ඡේදය පමණකි. වඩාත් පිරිසිදුව කියන්නේ නම් ඉනිදු අපට වැදගත් වන්නේ එකම වචනයකි. එනම් ‘පඨිතය’ යන්නය. රෝලන්ඩ් බාත් ගේ සොයා ගැනීමක්‌ වූ Text යන යෙදුමට පඨිතය යනුවෙන් භාවිත කර තිබීම පමණක්‌ එහිලා අපට වැදගත්ය. මෙහිදී එම ඡේදයට නොව එහිලා සුවිශේෂ වූ කොටස උපුටා දැක්‌වීමෙන් මෙම කතා බහට පිවිසීම පහසු කරතැයි මම කල්පනා කරමි.

”බාත් ගේ විචාර ක්‍රමයේ මූලික ලක්‌ෂණය වන්නේ භාෂාත්මක ව්‍යqහය මුල්කරගෙන පාඨකයා පඨිතයේ අර්ථ ජනනය කිරීමයි. එය පඨිතයක්‌ වන්නේ නැවත නැවත එහි අර්ථ මතුවෙමින් සිදු කරන සෙල්ලක්‌කාර, ප්‍රාණවත් පඨනයක්‌ වන නිසාය. ව්‍යqහවාදී හෝ පශ්චාත් ව්‍යqහවාදී න්‍යායන්ගේ සන්දර්භය තුළ හැඟවුම්කාරකය හා හැඟවුමට හිමි වන්නේ සුවිශේෂ ස්‌ථානයකි. ව්‍යqහවාදයේදී එක්‌ හැඟවුම්කාරකයකින් හැඟවුමක්‌ මතුවන අතර පශ්චාත් ව්‍යqහවාදයේදී මතු වූයේ හැඟවුම්කාරකයකින් තවත් හැඟවුම්කාරකයක්‌ පමණි. එනිසා භාෂාව නිශ්විතාර්ථයන් ප්‍රකාශ නොකරන හිතුවක්‌කාරි භාවිතයක්‌ බව තදීය නියාමයන් විශද කරයි. මහාචාර්ය විමල් දිසානායකයන් Text යන්න හඳුන්වනු ලබන්නේ ග්‍රන්ථය යනු නමිනි. නමුත් එය ග්‍රන්ථය යන්නට වඩා පඨිතය යනුවෙන් භාවිතා කිරීම යෝග්‍ය යයි ඇතැම් අයගේ අදහසක්‌ වේ. ආචාර්ය ප්‍රභා මනුරත්නයන් සමඟ කළ සාකච්ඡාවකදී ඇය අදහස්‌ කළේද පඨීතය යනුවෙන් භාවිත කිරීම වඩාත් යෝග්‍ය බවය.”
‘දිවයින – වටමඬල’ 2017 ජුනි 16

මෙය කියවන මීට අදාළ දාර්ශනික කරුණු ගැන මැනවින් දන්නා කෙනෙකුට අම්මෝ යයි කියවීම ගැන පුදුම විය යුතු නැත. කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් තමන්ගේ ශිෂ්‍ය ප්‍රජාව ශාස්‌ත්‍රීය ලෙස නොමඟ යවමින් සිටිතැයි චෝදනා කිරීමට මෙම උපුටා දැක්‌වීම ප්‍රමාණවත්ය. ලංකාව තුළ Text යන වචනයට ‘වියමන’ යනුවෙන්ද සමහර අය වහරන බව නොකීමට තරම් තක්‌කඩි පිළිවෙතක්‌ මෙම ලේඛකයා අනුගමනය කරන්නේ කුමක්‌ නිසාද? එහි දැක්‌වෙන Text යන වචනය සිංහලෙන් ලිවිය යුත්තේ වියමන යනුවෙන් මිස පඨිතය ලෙස නොවන බව පෙන්වා දෙන්නේ මා නොව රෝලන්ඩ් බාත්ම බව ගෝලයන් තබා ගුරුවරු ද නොදනිති. දැන් ඔබ උඩ බිම බැලීමට අවැසි නැත.

මම බාත් ගෙන්ම උපුටා දක්‌වමි. හැබැයි මා Text යනු පඨිතය නොව වියමන යයි කියන්නේ වාගීෂ්වරත්වය නැතහොත් වදන් කේන්ද්‍රීයතාවය (Logocentric) ලෙස ඩෙරිඩියානු අපවාදයට ලක්‌වූ අර්ථයෙන් නොවන බව මෙහිදී කිව යුතුය. අපට නිශේධනය කිරීමට අවශ්‍ය Text යනු පඨිතයම පමණකැයි යනුවෙන් නගන තක්‌කඩි ප්‍රකාශයයි. බාත් ප්‍රංශ බසින් ලියා තිබූ දේ රිචඩ් ගොවාඩ් ඉංගී්‍රසියට නගන්නේ මෙසේය.

“The plurality of the Text depends as a
matter of facts, not on the ambiguity of
its contents, but we might Call the
stereographic plurality of the
signifiers which weave it
(etymologically, the text is a fabric)…”

Roland Barthes – The Rustle of the language

මෙහි දළ සිංහල අර්ථය මෙසේය.

‘පරිසිද්ධීය ලෙස වියමනෙහි අනේකත්වය පරායත්ත වන්නේ එහි අන්තර්ගත කරුණු වල ඇති බහු අර්ථතාව මත නොව එය වියන්නා වූ හැඟවුම්කාරකයන්ගේ ත්‍රිමාන රේය අනේකත්වය යයි අප හඳුන්වන දේ මතය. (නිරුක්‌තිමය ලෙස වියමන (Text) යනු වියන ලද රෙදි කඩකි.)”

මෙහි එන Fabric යන යෙදුම ඔක්‌ස්‌µර්ඩ් ශබ්ද කෝෂය අර්ථ දක්‌වන්නේ a woven material යනුවෙනි. ප්‍රශ්නය වන්නේ Text යනු වියමන බව බාත්ම එසේ පවසා තිබියදී ඒ සඳහා පඨිතය යනුවෙන් වහරන්නේ කුමක්‌ නිසාද යන්නය. මෙම පඨිතය යන වචනය මුල්වරට හඳුන්වා දෙන්නෙ සමාජ විද්‍යාඥයන්ගේ සංගමය වෙනුවෙන් රංජිත් පෙරේරා සහ සුනිල් විඡේසිරිවර්ධන යන මහත්වරුන්ය. එහෙත් ඉන් පසුව දීප්ති කුමාර ගුණරත්න ප්‍රමුඛ පැරණි X කණ්‌ඩායම Text යන්න වියමන යනුවෙන් හැඳින්වීමට පටන් ගත්හ.  x විමතිකයක වූ ආචාර්ය ප්‍රභා මනුරත්න එම කණ්‌ඩායමේ සාමාජිකත්වය දරන කාලයේ Text යනු වියමන ලෙස හැඳින්වීමට මැලි නොවූවාය. ඇය දැන් X කණ්‌ඩායම සමඟ ඔවුන් නිපදවූ වචන ද අතහැර දමයි. පැරණි X කණ්‌ඩායම නිපදවූයේ වියමන පමණක්‌ නොවේ. දෛව ස්‌ත්‍රිය, පොලා පැනීම ආදී වූ යෙදුම් ගණනාවක්‌ ඔවුහු හඳුන්වා දුන්හ. අද ඒවා ලේඛක යුව ජනයින් ගේ ලියවිලි අතර අවභාවිතයේ යෙදෙයි. ප්‍රභා මෙහිදී කරන්නේ බේසමේ වතුර දරුවාද සමඟ විසිකර දැමීමක්‌ නොවන්නේද?

බාත් ගේ Text යන යෙදුමට පඨිතය නොගැළපෙන්නේ එම සිංහල අර්ථයමත් විකාරයක්‌ වන බැවින් පමණක්‌ නොවේ. පඨිතය යනු පඨනය කරන ලද්දේ නම් සුමංගල ශබ්ද කෝෂය අපට පෙන්වා දෙන්නේ පඨිතය යනු කියූ දේ බවය. රෝලන්ඩ්බාත් Text යන වචනයෙන් ඉදිරිපත් කරන්නේ කියූ දේ පමණක්‌ නොවේ.

හැබැයි රංජිත් පෙරේරා සහ සුනිල් විඡේසිරිවර්ධන Text සඳහා පඨිතය යනුවෙන් යෙදීම අහම්බයක්‌ වන්නේද නැත. එය අතිශය පාර භෞතික සොයා ගැනීමකි. මෙහිදී කියුදේ යන අර්ථය ගනිමින් Text පඨිතය වන විට එයට තුඩු දෙන පාර භෞතික නොමඟ යැම කුමක්‌ද? ඩෙරිඩා කටහඬ කේන්ද්‍රීයතාවය (Phno – centrism) නම් ප්‍රවාදය හඳුන්වා දෙමින් සෝෂියර්ගේ සංඥව (Sign) පිළිබඳ සංකල්පය විසංයෝජනය කරයි. ඉන් අදහස්‌ වන්නේ කෙනෙකු පාරභෞතික ලෙස ශාබ්දික හඬවල් (Phonetic Sounds) වලට ප්‍රමාණවත් අර්ථයක්‌ ජනනය කළ හැකි බව විශ්වාස කිරීමය. එවිට කතා කරන්නා කියන දේ ප්‍රමුඛ වන අතර ලිවීම ද්විතියික වේ. රංජිත් පෙරේරා සහ සුනිල් විඡේසිරිවර්ධන පඨිතය යනුවෙන් නම් කරන විට කටහඬ ප්‍රමුඛවීමේ පාර භෞතිකයකට (Metaphisics) යටවූ බව ඉන් අපට පැහැදිලි වේ. මක්‌නිසාද යත් පඨිතය යයි කියන විට එහි කියූ දෙයක්‌ මිස ලියූ දෙයක්‌ නොමැති බැවිනි. අප ලේඛකයා ලියන “පාඨකයා පඨිතයේ අර්ථ ජනනය කිරීම” වැනි විකාර යෙදුම් හාස්‍යජනක යෑයි අප කියන්නේ එබැවිනි. එහෙත් වියමන (Text) යෑයි කී විට කියු දේ සහ ලියූ දේ මතු නොව දුටු දේ සහ ඇසූ දේ ද අන්තර්ගතය.

බාත්ට අනුව වියමන (Text) යනු පොතක්‌ පමණක්‌ නොවේය. ඔහු එය කෘතියෙන් (Work) වෙන් කොට දක්‌වන්නේ එබැවිනි. කෘතිය යනු වස්‌තුවක ප්‍රපංචමය මතුපිට පමණක්‌ දක්‌වන කිසිවකි. කෙනකු අත තිබෙන පොතක්‌ ඊට නිදසුන් කොට දක්‌වා තිබෙන්නේ එබැවිනි. එහෙත් කිසි විටෙක එය පොතක්‌ ලෙසට ඌනනය නොවේ. සංඥර්ථවේදය කතා කරන්නේ සිනමා වියමන ගැන මිසෙක චිත්‍රපට ගැන නොවේ. Text යනු පඨිතය නම් එය සිනමාවට අදාළ වන්නේ කෙසේද?

එය වියමනක්‌ වන්නේ හැඟවුම්කාරකයන් මගින් එය වියන බැවින් බව බාත් පවසයි. මෙහි හැඟවුම් කාරක යනු කුමක්‌ද? වටමඬල ලේඛකයා සහ ඔහුගේ ගුරුවරුන් ද හැඟවුම්කාරක ලෙස ගන්නේ වචනය (Words). පාරිභාෂික ලෙස වචන යෑයි නොකියා හැඟවුම්කාරක ලෙස හඳුන්වන්නේ කුමක්‌ නිසාදැයි ඔවුන් කිසිවිටෙක කල්පනා කර තිබේද?

වචනය යනු එකම හැඟවුම්කාරකය නොවේ. මාර්ග සංඥ, දිසාව දැක්‌වීම්, පදික මාරු තීරු ආදියද හැඟවුම්කරණය කරයි. කිසියම් ඉංගිතයක්‌ (gesture) පවා හැඟවුම්කාරකයකි. යමක්‌ පෙන්වීම, අතට අත දීම, ඈනුම් ඇරීම, මරහඬ දීම ආදී සියල්ලත් හැඟවුම්කාරකය. සිතුවම් යමක්‌ හැඟවුම්කරණය කරයි. බාගවිට වචන කාණ්‌ඩයක්‌ (හෝ එක වචනයක්‌) යමක්‌ හැඟවුම්කරණය කරයි. ඒ අනුව ඔබට කොහොමද? යෑයි කෙනකුගේ (නිදසුනක්‌ ලෙස අවන්හලක සේවකයකු ) පිලිවිසීම ඔබ පිළිතුරු දිය යුතු කිසිවක්‌ නොව හුදු සමාචාරයක්‌ හඟවයි.

වියමන යනු එබඳු හැඟවුම් කාරකයන්ගෙන් වියෙන්නක්‌ (Weave) වන නිසා එහි අනේකත්වය (Plurality) ඇත. එම අර්ථයෙන් වියමන යනු කෘතියක්‌ පමණක්‌ නොවේය. ජීවන අත්දැකීමත්, යුද්ධයත්, විප්ලවයත්, දේශපාලන රැලියත්, මැතිවරණයත්, පුද්ගල සබඳතාවත්, නිවාඩුවත්, කොණ්‌ඩය කපා ගැනීමත්, තීරුබදු සහන මත මෝටර් රියක්‌ ආනයනය කිරීමත්, රස්‌සාවක්‌ සෙවීමත් ආදී වූ සියල්ලම මා වියමනකැයි කියන විට ඉන් ගම්‍ය වන්නේ දේශපාලන අර්ථයකි. වියමනක්‌ නම් අපි කියවන්නෙමු. එවිට දේශපාලන රැලියක්‌ වියමනක්‌ කොට ගත් විට අප කියවන්නේ ඒ දේශපාලන රැලියේ (අ)දේශපාලනයයි. නාට්‍යය යනු වේදිකාවේ රඟ දැක්‌වෙන පෙළ පමණක්‌ නොව සමස්‌ත නාට්‍ය ශාලාවම වේ. වියමන යනු පොත්ත පමණක්‌ නොවන්නේ එලෙසය.

වියමන පිළිබඳ කතිකාව තුළ වැදගත් කරුණක්‌ නම් වියමනට පිටින් කිසිත් නැත. (There is nothing out side of text) යනුවෙන් කියෑවෙන ඩෙරිඩියානු ප්‍රවාදයයි. එහෙත් මෙම ඩෙරිඩියානු සොයා ගැනීම ද අද වනවිට අවභාවිතයට ලක්‌ වෙමින් පවතී. බොහෝ විචාරකයන්ගේ මතය අනුව එය ඩෙරිඩා ප්‍රංශ බසින් ලියූ දේ වැරදියට පරිවර්තනය වීමකි. එහි නිවැරැදි ඉංගී්‍රසි පරිවර්තනය නම් There is no outside text යන්නය. ඩෙරිඩාගේ Of Grammatalogy ඉංගී්‍රසියට නගන ගයාත්‍රි ස්‌ජිවැක්‌ එම පරිවර්තන දෙකම යෝජනා කරන්නේ ඩෙරිඩා ප්‍රංශ බසින් ලියූ දේද එලෙසින්ම උපුටා දක්‌වමිනි. බාගවිට, ඇය ඩෙරිඩා, හයිඩෙගර් අනුව යමින් හඳුන්වාදුන් මකනයට යටත් කර ලිවීම (Under Erassure) නම් උපක්‍රමය භාවිත කළා විය හැක.

ප්‍රශ්නය නම් ඩෙරිඩා අදහස්‌ කළේ කුමක්‌ද? යන්නය. වියමන සහ කෘතිය හෝ පොත අතර ඇති වෙනස මීට අදාළය. රොලන්ඩ් බාත් Rustle of the Language හි වියමන සහ කෘතිය අතර වෙනස සලකුණු කරයි. ඒ අනුව වියමන (Text) යනු ලියන ලද කිසිවක්‌ පමණක්‌ නොවේ. දේශපාලන රැලියක්‌ පවා වියමනක්‌ විය හැකි අයුරු එම බාතියානු සොයා ගැනීම තුළ වර නැගෙන අයුරු අපි ඉහත සාකච්ඡා කළෙමු.

එකී බාතියානු ප්‍රවාදය විසංයෝජනය කරමින් ඩෙරිඩා වියමනට බැහැරින් කිසිත් නැත යෑයි කියනවිට අදහස්‌ කරන්නේ සියල්ල වියමනක්‌ වන බවය. ඉන් අදහස්‌ වන්නේ සියල්ලම සුවිශාල වූ ග්‍රන්ථයක්‌ (Book) වන බවක්‌වත් අප සුවිශාල වූ ග්‍රන්ථයක්‌ තුළ දවසරින බවක්‌වත් නොවේ. යමක්‌ අත් විඳීමට නම් හැමදේම නිර්වචනය කළ යුතු බව එහි අර්ථයයි. එනම් අපගේ අත්දැකීම් වූ කලී හැමවිටම කිසියම් වූ නිර්වචනයකි. ඒ අනුව ලෝකය යනු අන් කිසිවක්‌ නොව නිර්වචනයක්‌ (interpretation) ඉල්ලා සිටින වියමනකි. ඒ අනුව වියමනට බැහැරින් කිසිවක්‌ නැත (there is nothing outside of text) යන ඩෙරිඩියානු ආප්තය අප පරිවර්තනය කළ යුත්තේ හැම දෙයම නිර්වචනයක්‌ යනුවෙනි.

දැන් ඉතින් පඨිතයත් එම යෙදුමේ එල්ලීගත් සැමත් අනාථ වීම ගැන කළ හැකි කිසිවක්‌ නැත. අප දන්නා තරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ උගන්වන්නේ මනෝ විශ්ලේෂණය සහ මනෝ විද්‍යාව අතර වෙනස නොහඳුනන කථිකාචාර්යවරුන් ය. නිවාඩු පිට සිටියදී පවා පීඨ රැස්‌වීමට පැමිණ දැනුම බැහැරින් විශ්වවිද්‍යාලය තුළට ගලා ඒම වැළැක්‌වීමට හඬනගන තක්‌කඩි කථිකාචාර්යවරුන්ය. (වැඩි විස්‌තර අවශ්‍ය අය චින්තක රණසිංහ මහතාගෙන් අසන්න) එබඳු ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්නා ශිෂ්‍යයන්ට මුහුණ දීමට සිදුවන ෙ€දවාචකය නම් කිසිදු විලිබියකින් තොරව යට කී වර්ගයේ තකතීරු ලිපි ලිවීමට සිදුවීමය.

සමන් වික්‍රමාරච්චි

 

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...