‘ඇගේ ඇස අග’ (2016) චිත්‍රපටය කල්පනාවෙන් හැදෑරුවොත් එය ස්ත්‍රියගේ ‘විනෝදය’ (Jouissance – Enjoyment) පිළිබඳ විශ්මයජනක ප්‍රකාශනයකි. චිත්‍රපටයේ දෘෂ්‍යමාණය අපට පවසන්නේ, එය විශ්ව-විද්‍යාල ගුරුවරයෙකුගේ මුඩු ෆැන්ටසියක් බවයි. නමුත් හඳගමගේ ආඛ්‍යානය විසින් ලිංගික සබඳතා ක්ෂේත්‍රය දෙකට පලා වෙන වෙනම ලිංගික යථාර්ථයන් දෙකක් අපට සම්මුඛ කරවයි. කතාව චක්‍රීය එකකි. එය පටන් ගන්නා තැන වන්නේ, පන්සලේ ගෝරියට පසුව මෝටර් රථයක ගමන් කරන කිහිපදෙනෙකුගේ අර්ථකථන විශ්වයෙනි. චිත්‍රපටය අවසාන වන්නේ ද එම දර්ශනයෙනි. චිත්‍රපටය අපට ලංකාවේ මධ්‍යම පන්තිය සඳහා එක් ලිංගික සබඳතා අඩවියක් ද පහළ පන්තිය සඳහා තවත් ලිංගික සබඳතා අඩවියක් ද නිරූපණය කරයි.

                  මධ්‍යම පන්තිය සඳහා යෝජනා වන්නේ, ‘මිචෙල් ෆූකෝ’ විසින් ඉදිරිපත් කරන ‘බලය’ විසින් කේන්ද්‍රගත කරන ලිංගික සබඳතා ක්ෂේත්‍ර ය. එය මනෝ-ලිංගික (Psycho-sexual) ය. නිදහස් වෙළෙඳපොළ මත පදනම් වන ලිබරල් මිනිස් සබඳතා ලෝකයක දී මධ්‍යම පන්තියට ශේෂ වන්නේ, කැපවීමක් නොකරන, හැඟීම්බර හවුල් වීමක් නොකරන, හුදු ලිංගික සබඳතා ය. (No commitment, No emotional involvement, Just sex) කෙටියෙන් කිවහොත්, Pornography ය. මෙහිදී, මධ්‍යම පන්තිකයෙක් සැබෑ ශරීර සංසර්ගයට යොමු වීම වෙනුවට ෆැන්ටසිය වෙතට දිශානත වෙයි.

               අනෙක් අතට, ෆූකෝ පහළ පන්තීන් පාලනය කිරීම පිළිබඳව යෝජනා කරන්නේ, bio politics නොහොත් ‘ජීව දේශපාලනය යි’. ගෝලීයව විහිදී ගිය නූතන ධනවාදය විසින් පහළ සමාජ පන්තීන්ගේ ශරීර මිස ඔවුන්ගේ සිතුවිලි පාලනය කරන්නට යන්නේ නැත. ඒ නිසා, පහළ පන්ති පාලනය වන්නේ ප්‍රමාණාත්මක තලයක නැතහොත් ජනගහණ මට්ටම අනුව ය. මෙම පන්තිය ලිංගික සබඳතාවල දී ශාරීරික සංසර්ගයකට ඇබ්බැහි වී සිටින අතර ඔවුන් අනෙකාගේ විනෝදය ගැන දැඩි ඊර්ෂ්‍යාවකින් පෙළෙයි. පන්සලේ ජවනිකාව මගින් පෙළ ගැසෙන්නේ, මෙම පන්තියේ ලිංගික සදාචාරය සහ ප්‍රචණ්ඩත්වය යි.

              ඉහත යාන්ත්‍රණයන් දෙක අපට සූත්‍රගත කරගත හැකි නම්, නූතන ධනවාදය උපරි ව්‍යුහය/ අධෝ ව්‍යුහය යන ව්‍යුහාත්මක භේදය දෘෂ්ටිවාදය මගින් සමතික්‍රමණය කර ඇත. පහළ පන්තිය පාලනය කරන්නේ, ‘ප්‍රමාණය’ පිළිබඳ දෘෂ්ටිවාද මඟින්ය. මැද පන්තිය පාලනය කරන්නේ, ‘ගුණය’ පිළිබඳ දෘෂ්ටිවාද මඟින්ය. (සාරයන් ආදේශනය මගින්)

              ‘ඇගේ ඇස අග’ චිත්‍රපටයේ කතාව මෙහෙයවන්නේ කවුද යන්න ආඛ්‍යානය තුළ අවුල් කර ඇත. චිත්‍රපටය පළමුවර නැරඹූ විට සිතෙන්නේ, විශ්ව-විද්‍යාල මහාචාර්යවරයා කතා නායකයා බවයි. නමුත් යළි කිහිප වතාවක් නරඹන විට, චිත්‍රපටයේ ආඛ්‍යානය මැදිවියේ බිරිඳගේ දෘෂ්ටිකෝණය බව පැහැදිලි වෙයි. චිත්‍රපටය ‘නිල් සිනමාවට’ සමීප වුවත් එය සායනික අර්ථයෙන් විපරිත වුවත්, අවිඥාණය පිළිබඳව අපට විචාරාත්මක දෘෂ්ටිකෝණය යොදා විශ්ලේෂණයක් කළ හැකි නම් සමකාලීන ලිංගික සබඳතා පිළිබඳ නව කියවීමකට ඒ හරහා අපට ගමන් කළ හැකි ය.

              චිත්‍රපටය කියවීම සඳහා අපට දෘෂ්ටිකෝණ තුනක් පහත පරිදි යෝජනා කළ හැකිය. ‘බලය’ මිස ‘ශරීරය’ කේන්ද්‍ර නොවන මෙම පවුල් ආඛ්‍යාන තුළ මෙම දෘෂ්ටිකෝණ තුනම වලංගු ය.

      

1.චිත්‍රපටයේ ෆැන්ටසිය ක්‍රියාත්මක වන්නේ තරුණ කාලයේ කාමධේනුවක්ව –Nymphomaniac– සිට මැදිවියට පත් වූ ස්ත්‍රියකගේ දෘෂ්ටි කෝණයක් ලෙස.

2.නිවසේ සිටින ගැටවර දරුවා තමන්ගේ ගැටවර දෘෂ්ටියේ සිට වැඩිහිටි ලිංගිකත්වය වටහා ගැනීමට උත්සාහ දරන ෆැන්ටසියක් ලෙස.

3. තම සැමියාගේ ලිංගික උදාසීනත්වය තැටියක   තබා රත් කිරීමට ‘දෛව ස්ත්‍රියක්’ නිර්මාණය කිරීමට බිරිඳක් දරන උත්සාහයේ ෆැන්ටසි යථාර්ථයක් ලෙස. චිත්‍රපටය විනෝදය සංවිධානය කරන්නේ මෙම ෆැන්ටසිය හරහා ය.

 

                     නමුත් ඉහත දෘෂ්ටිකෝණ තුන පරයා පළමු දෘෂ්ටිකෝණය අධිනිශ්චය වන ජවනිකාවක් චිත්‍රපටයේ ඇත. චිත්‍රපටය හේගලියානු දර්ශනය අනුයන නිසාම චිත්‍රපටයේ යථාර්ථය සහ ෆැන්ටසිය අතර වෙනස ලකුණු කළ නො හැකි ය. කිව හැකි එකම දෙය වන්නේ, ෆැන්ටසි දෙකක් සර්පිලයක් මෙන් එකිනෙක මත අතිපිහිත වෙන බවයි.

                   චිත්‍රපටයේ එක ජවනිකාවක දී මැදිවියේ බිරිඳ විසින් තම සැමියා සමඟ ‘රිතිකා භූමිකාව’ නිදා ගන්නවා යැයි අනුමාන කරයි. මෙහිදී, අපට සිනමා තිරය මත ආත්මමූලික-වාස්තවිකත්වයක් (Fantasy 1 & 2) හමු වෙයි. රිතිකා භූමිකාව යනු, බිරිඳගේ නිර්මාණයකි. පරස්පර ලෙස ඇයව විසංයෝජනය කරන, නින්දාවට පත් කරන ආඛ්‍යානය ගොඩ නගන්නේ ද ඇයමයි. මෙය, විරුද්ධාභාසයකි.

                   රිතිකා සහ මැදිවියේ බිරිඳ අතර ඇතිවන නිල් සිනමාමය දෙබස් පහත දැක්වේ. එමඟින් නිරූපණය වන්නේ, අපගේ බාහිර යථාර්ථය අපගේ ආත්ම මූලිකත්වයට අභ්‍යන්තරික බවයි. (අනෝමා රාජකරුණා හඳගමගේ ඉහළ පන්තිය නිරූපණය කිරීමේ ගැටලුව ලෙස හඳුනා ගන්නේ ද මේ ජවනිකාව ය)

 

      මැඩම් –  ඔයා දැන් හීනියට හිටියට වයසට   යනකොට අල ගෝනියක් වෙයි. තාත්තා මහතද?’

 

      රිතිකා – දන්නෙ නැහැ.

 

      මැඩම්– පඳුරු අස්සේ ලැගල ද කොහෙද හම්බවෙලා තියෙන්නේ.

      

      රිතිකා – (තම තුවාය ගලවා මැඩම්ට තම කයේ ඉදිරිපස පෙන්වා) පේන්නේ නැද්ද මැඩම්. මේ ඇඟ දැක්කම හොඳ සැප මෙට්ටයක් උඩ කරලා හම්බවෙච්ච එකක් කියලා. පඳුරු ගානේ හිටගෙන කරල මේ වගේ ඇඟක් හදන්න පුලුවන් ද?

 

      මැඩම් – පට්ට වේසි, කන්න යං; අපේ ඒවා නම් ඔය වයසෙදි ඔයිට වඩා ලොකුයි.

(ස්වර්ණාගේ අන්තිම පේළිය පිටපතේ නැති කොටසකි. එය රිතිකා ‘යථාර්ථය’ සමඟ පටලවා ගනියි. චිත්‍රපටවල දී කියන දෙබස් වලට යථාර්ථයේ දී උත්තර දිය යුතු නැත)

 

                   ඉහත දෙබස් ඛණ්ඩ ඉදිරිපත් කිරීම මගින් මට ඔප්පු කිරීමට අවශ්‍ය වන්නේ, පිරිමින්ට වෙනස්ව ස්ත්‍රීන් තම ලිංගික ප්‍රමෝදය උත්පාදනය කර ගන්නේ ‘භාෂාව’ මත පදනම් වී ය යන්න ය. සරලව කිවහොත්, ස්ත්‍රීන් ප්‍රමෝද වන්නේ ලිංගික දේවල් කිරීමෙන් නොව ‘ලිංගික-නිල් සිනමාමය’ දේවල් රස කර කර කතා කිරීමෙන්ය. ව්‍යුහාත්මක වශයෙන් පිරිමින්ගේ විනෝදය ඉලක්ක වන්නේ, ගැහැණු ශරීරය දෙසට ය. මේ හේතුව නිසා ලිංගික විශ්වයේ දී පිරිමින්ට සහ ගැහැණුන්ට සමමිතික සම්බන්ධයකට ගමන් කළ නො හැකි ය. ඔවුන්ට එකිනෙකාව හඳුනාගත නො හැකි ය. ලිංගික සංසර්ගයේ දී ස්ත්‍රීන් නිහඬ වන්නේ මේ නිසා ය. මීට විකල්පයක් ලෙස යුරෝපීය පිරිමියා රමණයේ යෙදෙන විට, යුරෝපීය ස්ත්‍රියට කොඳුරන්නට, වචන කතා කරන්නට උගන්වා ඇත. එම වචන කීම ස්ත්‍රී විනෝදයකි. මෙය දැන් සිංහල පිරිමින් Spa ස්ථානවල දී සිංහල ස්ත්‍රීන් සමඟ අත්හදා බලන්නට ගොස් විකාර සහගත ජවනිකා බිහි වී ඇත. කොළඹ දී ඊට ඇතුල් වන පිරිමින් හිතන්නේ, Spaවල ඉන්නේ HFC හෝ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ හෝ ලේඩීස් කොලේජ් වැනි පාසල්වලට ගිය ස්ත්‍රීන් කියා ය. මෙය යුරෝපා ස්ත්‍රියගේ කෙඳිරිය සහ සංවාද සිංහල ස්ත්‍රීන්ගෙන් ඇසීමට ඇති සිංහල පිරිමි ෆැන්ටසිය යි. නමුත් අවාසනාවකට මෙන් මේ Spa වලට එන්නේ ඇඹිලිපිටිය, යටලමත්ත, උඩුදුම්බර, මාතලේ, අනුරාධපුරය, බිංගිරිය, පුත්තලම වැනි පළාත්වල දුප්පත් පවුල්වල තරුණ ස්ත්‍රීන් ය. 2004 වර්ෂයේ දී X කණ්ඩායමෙන් ඉවත් වූ චන්ඩි කිහිපදෙනා ද එවකට පැවති ‘කරෝකේ’ ශාලාවල පැතුවේ කොළඹ අගනාගරික ස්ත්‍රීන්ව ය. ඔවුන්ගේ එම ෆැන්ටසියට පහර දුන් නිසා ඔවුන්ගේ පෞරුෂයන්ට වූ හානිය පසුව මම දුටුවෙමි.

                  අපට මෙතැන දී සිරිමල් විජේසිංහ විසින් 90 දශකය අග දී පහළ මැදපන්තික පිරිමින් සඳහා ඉදිරිපත් කළ සමාජ-විද්‍යාත්මක උත්තරය මෙලෙස සාරාංශගත කළ හැකි ය. සිරිමල් ඒ කාලයේ මංගල දැන්වීමක් මෙලෙස පළ කළේ ය.

        “තැනකට ගිය විට හොදින් අදහස් ප්‍රකාශ කළ හැකි, හොඳට හැඳ පළදින, පිරිසිදු ජලයෙන් ඇඟ සේදීම පුරුද්දක් කරගත්, වැරදීමකින් වමේ දේශපාලනයට ගොස් ලඟදි එය නිවැරදි කරගත් බුද්ධිමත් තරුණයෙක් හොඳ දෙපළක් (වටිනා නිවසක්, අක්කර 15ක පොල් ඉඩමක්, තුන්මං හන්දියක කඩයක්….) සහිත වැදගත් මධ්‍යම පන්තික කාන්තාවක් හදිසි විවාහයක් සඳහා සොයයි.

           කුල මල භේද නැත. ඇසක පොඩි පිං වපරයක්, එක කකුලක කොටයක්, නො දැනීමකින් ගෙදර රියදුරා අතින් සිදු වූ අත්වැරදීමක්, පොඩි නුහුගුණ ගතියක් යනා දී පුංචි අඩුපාඩු නො සලකනු ලැබේ”.

                       සිරිමල්ගේ ස්වයං පරස්පර මංගල දැන්වීමේ විරුද්ධාභාසය වන්නේ, ඉහත කී කරුණු සහිත මැද පන්තික කාන්තාවන් යනු තේරී ඉතිරි වූ අය බව ය. එවැනි අය සමඟ විවාහ වන්නේ, ගමෙන් කොළඹට පදිංචියට විත් තැන්පත් වීමට තැන් සොයන අයට ය. මෙතැන ඇති විරුද්ධාභාසය වන්නේ, සිංහල පිරිමින් විනෝදය ‘කඳන්’ වලින් බලාපොරොත්තු වෙද්දි ස්ත්‍රීන්ගේ විනෝදය කතාව තුළ ව්‍යුහගත වී තිබීමයි.

                    මම මෙහිදී කිසිදු විකල්පයක් යෝජනා නොකරමි. උදාහරණයක් වශයෙන් ස්ත්‍රීන්ගේ කතා ඇසීම හෝ ඔවුන්ට රමණයේ දී කතා කරන්නට ඉඩ දෙන්න වැනි මධ්‍යම-පන්තික ප්‍රතිචාර උත්තරය නොවන බව කියමි. මේ වනාහි පන්ති අරගලයේ නූතන ප්‍රකාශ වීමයි. එනම්, පහළ පන්තිවලට ශරීර පදනම් කරගත් දෘෂ්ටිවාද යෝජනා කිරීමක්, මැද පන්තියට ‘බලය’ මගින් උත්පාද වන ලිංගික දෘෂ්ටිවාදය යොදා ගැනීමක් යනු, එකම කාසියේ දෙපැත්තයි.

                      ‘ඇගේ ඇස අග’ මගින් විද්‍යාමාණ කරන මැදපාන්තික ලිංගිකකරණයේ නරුමවාදී දෘෂ්ටිය ඛණ්ඩනය කරන උපාය මෙතන දී සාකච්ඡා කිරීම වැදගත් ය.

Bisexual

                      මැදිවියේ කාන්තාවගේ ෆැන්ටසි ලෝකය තුළ කිසිදු සැබෑ ලිංගික සම්බන්ධයක් (යථාර්ථයේ-ශරීරය මත පාදක වූ) බිහි වන්නේ නැත. ඇගේ ලෝකය තුළ දයලෙක්තික චින්තනය රජ කරයි. රිතිකාගේ මුහුණ සහ ශරීරය මගින් ප්‍රකාශිත වන්නේ, ද්විලිංගික (Bisexual) දෘෂ්‍යාවලියකි. හඳගම ඇගේ මුහුණ ගැඹුරු නාභිගත කිරීමකට යන විට එහි ආරම්භක රූපය වන්නේ, ස්ත්‍රී මුහුණකි. නමුත් කාලය ගතවන විට, එම රූපය එක්වරම පිරිමි බවට රූපාන්තරණය වෙයි. පිරිමින්ගේ අව්‍යාජ ෆැන්ටසි රූපකය වන්නේ, පුරුෂ ශරීරයක් විසින් ස්ත්‍රී ඇඳුම් ඇඳගෙන කරන ක්‍රීඩාවයි. නීල් ජෝර්දාන්ගේ ‘Crying Game’ සහ ඩේවිඩ් කොතනන්බර්ග්ගේ ‘M. Butterfly’ යන චිත්‍රපට දෙකේම තේමාව වන්නේ, ස්ත්‍රී වෙස් මුහුණක් දමා ගත් පිරිමින් දෙදෙනෙකු තවත් පිරිමියෙකුට ආදරේ කිරීමයි. මනෝ විශ්ලේෂණාත්මකව ගත් කල, ‘විෂම-ලිංගික සබඳතාවයකට’ වඩා මෙවැනි ප්‍රේමයක් අව්‍යාජ ය. එය එසේ වන්නේ, එවැනි ලිංගික සබඳතාවක දී ෆැන්ටසිය යොමු වන්නේ බාහිර යථාර්ථයකට (ස්ත්‍රී ශරීරය) නොව ආදරය කරන තවත් ආත්මයකට වීමයි. ආදරයේ අසමසම ප්‍රාතිහාර්ය වන්නේ, තවත් ශරීරයකට නොව තමන් වැනි හිතන ආත්මයකට ආදරය කිරීමයි. නැතහොත්, අපගේ ආදරය පාරභෞතික තලයකට එනම් විද්‍යාමාණයන්ගේ පාරභෞතික තලයකට (අප ආදරය කරන්නේ ශරීරයෙන් ලබන විනෝදයට මිස අනෙක්පස සිටින විචාරාත්මක මනසට නොවේ) පමණි. ‘ඇගේ ඇස අග’ මත නිරූපිත රිතිකාගේ මුහුණෙහි ලිංගික අඩමානය මැද පාන්තික විෂමලිංගිකත්වය විසංයෝජනය කරයි.

Rithika as sinhala …

                  චිත්‍රපටයේ විපරිත විනෝද අක්ෂය කුමක්ද? චිත්‍රපටය හැමවිටම පුරුෂයාගේ ෆැන්ටසියට අත වනයි. එනම්, පිරිමින් සහ ගැහැණුන් අතර සිදුවිය හැකි පරිසමාප්ත ලිංගික සබඳතාවය යි. නමුත් චිත්‍රපටියේ දී ෆැන්ටසිය තුළ මිස යථාර්ථයේ දී කිසිදු රමණයක් සිදු නොවේ. සුවඳ විලවුන් කුප්පිය මගින් නිරූපණය වන්නේ ද මෙම රූපකය යි. අපට ද ඇත්තටම අවශ්‍ය වන්නේ, යථාර්ථයේ සිදුවන සුරතාන්තය යි. නමුත් එය ස්වයං-මෛථුනයක් පමණි. මේ පිරිමි ස්වයං-මෛථුනයට අත්වැසුම් මෙන් බාහිර යථාර්ථයේ සිට ස්ත්‍රී ශරීරය උදව් කරයි. පිරිමියා තම ආත්මයේ ස්වයං-බාධාව බාහිරින් පවතින ස්ත්‍රී සිරුරට බහිෂ්කරණය කරන්නේ, මෙම ලක්ෂයේදී ය. මැදිවියේ ස්ත්‍රීය ෆැන්ටසිකරණය කරන්නේ, තරුණ ස්ත්‍රී ශරීරය හරහා වැඩි වින්දනයක් පිරිමියා ලබන බවයි. නමුත් රිතිකා මඟින් ඔප්පු වන්නේ, ඇය පිරිමියෙක් ද, ස්ත්‍රීයක් ද යැයි අප නො දන්නා නිසා මෙම වින්දනය හුදු ස්වයං-මෛථුනයක් බවයි. එබැවින්, පිරිමියාට බාහිරින් ලබා දෙන ලිංගික උපදේශන සේවාවන් ගඟට කපන ඉණි ය.

                    විශාල පියොයුරු ස්ත්‍රීන්ට තිබිය යුතු යැයි යන සටන් පාඨයට රිතිකාගේ බිය වීම කුමක්ද? විශාල පියොයුරු අවශ්‍ය වන්නේ, දරුවන් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය ගොවිතැනට ය. නමුත් මැදපාන්තික ප්‍රමිතිය (?) වන්නේ, නැතහොත් බුර්ෂුවා පිරිමි ෆැන්ටසිය වන්නේ, පපුවෙන් යාන්තමට ඉස්සුණු එනමුත් Triumph  ඇන්ඳ විට වටකුරුවට සහ ගුරුත්වාකර්ෂණයට එරෙහිව ඉහළට එසවුණු පියොයුරු ය. (ගුරුත්වාකර්ෂණය පියොයුරු හරහා සංවේදනය කරන මනසක් ඇත්තේ, මැදපාන්තික පිරිමියාට ය. ගුරුත්වාකර්ෂණය යථක් වන්නේ, එය පන්ති අරගලය මඟින් නිෂේධනය කරන නිසා ය.) ඇපල් මෙන් පියොයුරු පොළව දෙසට නොව අහස දෙසට පිරිමි මනස තුළ දිශානත වෙයි. ආශාවෙන් පාර්ශවීය වස්තු වෙතට වූ හඹායාම ආරම්භ වීමත් සමඟම Triumph යනු, අතිරික්ත විනෝදය සපයන අතිරික්ත පාරිභෝගික භාණ්ඩයකි.Triumph නිසා රිතිකාට බය වීමට හේතුවක් නැත.

 

 සටහන 1-  ‘අක්ෂරය’ චිත්‍රපටයේ දී අධිනිශ්චය වූයේ, විශාල පියොයුරු ය. ඊඩිපස් කේන්ද්‍රීය සහ මව කේන්ද්‍රීය කතාවක දී පියොයුරු විශාල වීම ගැන දයලෙක්තිකව වෙනත් අර්ථකථනයකට යා යුතු ය. 

Note 2- Idealism is the philosophy that believes the ultimate nature of reality is ideal, or based upon ideas, values, or essences. The external, or real world cannot be separated from consciousness, perception, mind, intellect and reason in the sense of science.

Deepthi kumara Gunarathne

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

අයදුම් කිරීමට මෙතන Click කරන්න

සමබිම පක්ෂය.

 

ඔබේ අදහස කියන්න...