අප ගියවර ලිපියේ සාකච්ඡා කළ පරිදි තීරණාත්මක ගැටලුව වන්නේ, “රාජ්‍ය බලය” ලබා ගැනීම යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න ය. ඊළග ගැටලුව වන්නේ, සංක්‍රමණික අවධිය ආරම්භ වන්නේ ‘රාජ්‍ය බලය’ ලබා ගැනීමෙන් පසුව ද? පෙර ද? යන ගැටලුවයි. මේ දෙවන ප්‍රශ්නය සත්වාදී ගැටලුවකි. එනම්, කුකුළා ද? බිත්තරය ද? පළමුවෙන් මේ ලෝකයට පැමිණියේ කවුද යන උභතෝකෝටික ගැටලුවයි.

                අපි පළමුව දෙවන ගැටලුවට සරල පිළිතුරක් දෙමු. අපගේ අදහස වන්නේ, ‘සංක්‍රමණික අවධිය’ පැවතිය යුත්තේ ‘රාජ්‍ය බලය’ ලබා ගැනීමට පෙර බව යි. ලෙනින් බලය ලබා ගත්තේ සන්නද්ධ අරගලය හරහා නොව ධනපති ප්‍රජාතන්ත්‍රවාදය උපයෝගී කොටගෙනය. ඔහුගේ ‘සංක්‍රාන්ති යුගය’ සම්පූර්ණ කරන ලද්දේ, රුසියානු සිවිල් යුද්ධය මඟින්ය. ‘ලෙනින්’ අනුමත කරන බහුතරය, ඔහු බලය ලබා ගත්තේ ‘සන්නද්ධ අරගලයක්’ මඟින් බව අනුමාන කරයි. එබැවින්, ලෙනින්වාදී ‘සංක්‍රමණික අවධිය’ ආරම්භ වන්නේ ධනේශ්වර සමාජ සම්බන්ධතා තුළ මිස ඉන් පිටතදී නොවේ.

                නමුත් ලෙනින් මෙන් නොව අද අප ජීවත් වන්නේ, පුරුෂාධිපත්‍යය රජ කරන මර්දනකාරී ධනවාදයක් තුළ නොවේ. අද අප ජීවත් වන්නේ, ආයුධවලින් බලහත්කාරයෙන් පාලනය කරන ධනවාදයක් තුළ නොව ධනවාදයෙන් විනෝද වන , ඉන් ප්‍රමෝද වන සමාජයකයි.

             සුළු ජාතීන් වෙතට අධිකතර වාස්තවික මර්දනයක් දියත් වන අතර  මහජාතිය ‘ධනවාදය’ සලකන්නේ, තමන්ට නිර්මාණශීලී වීමට ඇති වඩාත්ම උසස් සමාජ-ක්‍රමයක් ලෙසිනි. පැරණි සමාජවාදී දෘෂ්ටිකෝණයෙන් නරඹන ලංකාවේ බහුතර වාමාංශිකයන්ට අනුව ‘ධනවාදය’ මර්දනකාරී ය. නමුත් සමකාලීන පශ්චාත්-නූතන ධනවාදය එහි යටත්වැසියන් සලකන්නේ, නිර්මාණශීලී අඩවියක් ලෙස බව ඔවුන්ගේ ආත්මීයත්වය ප්‍රකාශ වන සෑම විටම විද්‍යමාන වෙයි. අරුණි ශිපීරෝ වැනි ලිබරල් චින්තිකාවන් කියන්නේ, ධනවාදය නොව ‘පැවැති සමාජවාදය’ කෙතරම් මර්ධනකාරී ද යන්නයි. ලංකාවට ‘පරිභෝජන කතිකාව’ හුරු වුවත් ‘ප්‍රති-කොමියුනිස්ට්’ කතිකාව හුරු නැත. ශපීරෝගේ සරලමතික සෑම ලිපියක්ම  යොමු වී ඇත්තේ, ප්‍රති-කොමියුනිස්ට්වාදය වෙතටයි. ඇය දැනට ‘කොමියුනිස්ට්වාදයේ කලු පොත’ සිංහලට කොටස් වශයෙන් පරිවර්තනය කරමින් සිටියි. 

               ‘ලිබරල් ධනවාදය’ ඉතාම නිර්මාණශීලී සමාජ-ක්‍රමයක් බව ප්‍රකාශ කරන්නේ, ශපිරෝ පමණක් නොවේ. එය සිංහල ජාතිකවාදීන් ද අනේකාකාර ලෙස ප්‍රකාශ කරයි. නමුත් ‘ධනවාදය’ තුළ ඇති සැඟවුණු නිර්මාණාත්මක විභවය ගැන ‘ගිල්ස් ඩෙලියුස්’ වැනි ප්‍රංශ දාර්ශනිකයාගේ අනුගාමිකයන් ද සිදු කරයි. උදාහරණයක් ලෙස, ‘බ්‍රයන් මසූමී’ නම් චින්තකයා විසින් ‘පශ්චාත්-ධනවාදී’ ප්‍රකාශනයක් දැනටමත් ප්‍රකාශනයට පත් කර ඇත. ඔහුට අනුව, ධනේශ්වර සමාජයේ ඇති මෞලික වටිනාකම් යුවල වන්නේ ‘ප්‍රයෝජ්‍ය වටිනාකම’ (Use value) සහ ‘හුවමාරු වටිනාකම’ (Exchange value) යන වටිනාකම් දෙකයි. ධනවාදය තුළ සියලු ඇගයුම් පාදක වී ඇත්තේ, ඉහත වටිනාකම් දෙක පාදක කරගෙන ය. මසූමී යෝජනා කරන්නේ, මීට විකල්පව ධනවාදය තුළ මිනිස් ජීවිතය තුළ ‘ජීවාත්මයක්’ (Life-value) නැතහොත් ජීවන ක්‍රියාවලිය තුළින් ම මතු වන (කලාව, ආදරය) ඇගයුම් පද්ධතියක් ද බිහි වන බවයි. නමුත් නිෂ්පාදනය සහ ලාභය අධිනිශ්චය වූ සමාජයක ‘ජීවාත්මය’ ට වටිනාකමක් නැත.  සමහරවිට, මෙම වටිනාකම ධනවාදය විසින් කෲර ලෙස මර්දනය කරයි. මසූමී විසින් මෙහිදී යෝජනා කරන්නේ, නීට්ෂේ මෙන් සංක්‍රාන්ති ඇගයුම් පද්ධතියක් යෝජනා කිරීම නොවේ. ඒ වෙනුවට ඔහු යෝජනා කරන්නේ, ‘වටිනාකම’ යන අදහසම නැවත පුනර්ජීවනය කළ යුතු ය යන්නයි. ලංකාවේ ද වාමාංශිකයන් බහුතරයක් යෝජනා කරන්නේ මෙවැනි තත්වයකි. උදාහරණයක් ලෙස, සිංහල  වාමාංශිකයන් බහුතරය අද සටන් වදින්නේ තිබෙන ඒකාකාරී ජීවිතයට එරෙහිව ‘අතිරික්ත ජීවිතයක්’ ඇතැයි අනුමාන කරන ‘අනන්‍යතා දේශපාලනය’ වෙනුවෙනි. ඩෙලියුස් ‘වෙනස’ පිළිබඳ දාර්ශනිකයා වීම මේ අනුව අහම්බයක් නොවේ.

                යුරෝපීය පශ්චාත්-නූතන කොමියුනිස්ට් දාර්ශනිකයෙකු වන ‘ෆ්‍රෑන්ක් රූඩා’Frank Ruda– ධනවාදය තුළ මසූමී හඳුනා ගන්නා නිර්මාණශීලීත්වයට එරෙහිව නව පාරභෞතික ක්ෂේත්‍රයක් පිළිබඳ අදහසක් මතු කරයි. මසූමීගේ ‘පශ්චාත්-ධනවාදී’ යෝජනා ඉතා ප්‍රබල ඒවා බව පිළිගන්නා ගමන්ම ‘ෆ්‍රෑන්ක් රූඩා’ ඉතා තීක්ෂණ ප්‍රශ්නයක් අසයි. තත්ත්වය එසේ නම්, ඩෙලියුසියානු විශ්වය තුළ මිනිස් ජීවිතය සලකන්නේ ත්‍යාගයක් (Gift), නිෂ්පාදනීය දෙයක්, ප්‍රීතිය දෙසට දිශානත දෙයක් වග ගම්‍යමාන වෙයි. නමුත් මිනිස් ජීවිතයට මීට විකල්ප ප්‍රවාදයක් ගොඩනැඟීමට නොහැකි ද? 

                ‘ෆ්‍රෑන්ක් රූඩා’ මිනිස් ජීවිතය සඳහා නව කුසලාකුසල ප්‍රවේශයක් (Ethical approach) යෝජනා කරයි.  මිනිස් ජීවිතය ‘තෑග්ගක්’ නොව ‘බරක්’ (Burden) ලෙස සලකා බැලුවොත් එවිට ධනවාදයට පසු ජීවිතය ගැන ‘නව-පර්යාවලෝකනයක්’ නිර්මාණය කර ගත නොහැකි ද? මිනිසා යනු, වෙනත් මිනිසුන්ගේ ‘කුණුකන්දල්’ දැමීමට ඇති කුණු බක්කියක් (Dustbin) නම් මිනිස් ජීවිතය අර්ථකථනය කළ හැක්කේ කෙසේද? සමහරවිට, නූතන ධනවාදය විසින් සපයා ඇති නව මාර්ගෝපදේශයන්ට (මුහුණු පොත, දෛනික ජීවිතය ඩිජිටල්කරණය වීම) අනුව අපට ‘පශ්චාත්-ධනවාදය’ ගැන සංකල්පනය ඒ තුළම කළ නොහැකි ද? මේ ‘ෆ්‍රෑන්ක් රූඩා’ මතු කරන ගැටලු ය.

                අනෙක් අතට, ‘පශ්චාත්-ධනවාදය’ ගැන පරිකල්පනය කිරීමේදී ‘දෘෂ්ටිවාදය’ පිළිබඳ අල්තූෂර්ගේ න්‍යාය සහ ජාක් ලැකාන්ගේ න්‍යාය අතර පවතින ද්වි-ඝඨණාත්මක පරස්පරය අප නිවැරදිව වටහා ගෙන තිබේ ද?

(a) ලුවී අල්තූෂර්ගේ දෘෂ්ටිවාදය පිළිබඳ තිසීසයට අනුව දෘෂ්ටිවාදය යනු, බාහිරින් පුද්ගලයෙකු විසින් කරන ඇමතීමට අනුව දෘෂ්ටිවාදය අභ්‍යන්තරීකරණය වීමකි. උදාහරණයක් ලෙස, ගෝඨාභය රාජපක්ෂ විසින් ‘ඒයි’ කී විට මහ බැංකු නිලධාරීන් හැරී ඔහු දෙස බලයි. බාහිරින් එන ඇමතුමට හැරී බලන නිලධාරීන් රාජපක්ෂ අමතන්නේ ‘තමන්ට’ බව වටහා ගනියි. ඊට අනන්‍ය වෙයි. ඒ අනුව, ගෝඨාභයගේ අණට හැරී බලන පුද්ගලයා ගෝඨාභයගේ විෂයක් (යටත්වැසියා) වෙයි.

 (B)  නමුත් ලැකාන් අනුදත් දෘෂ්ටිවාදය පිළිබඳ තිසීසය රැඩිකල් ලෙස අල්තූෂර්ගේ ‘විෂයෙන්’ වෙනස් වෙයි. ඊට අනුව, මහ බැංකු නිලධාරියා නම් මිනිසා සමකාලීන පරිභෝජන ධනවාදය තුළ උපරිම තලයේ විනෝද වෙයි. වෙන කෙනෙකු ඇමතීමට පෙර සිටම බැංකු නිලධාරියා වරදකාරී හැඟීමකින්  පෙලෙයි. විනෝද වීම යුතුකමක් කරගත් බැංකු ආත්මය සිර වී සිටින්නේ, ආත්මීය අසහනයක ය. ඔහු එම දරාගත නොහැකි ‘විනෝද ආත්මයෙන්’ ගැලවීමට ගෝඨාභයගේ වියරු කටහඬට අනන්‍ය වෙයි. ලැකානියානු ආත්මය බිහි වන්නේ, දෘෂ්ටිවාදී ආමන්ත්‍රණයක් නිසා නොව එහි විරුද්ධ පැත්ත නිසා ය. එනම්, දෘෂ්ටිවාදී ඇමැතීම හෝ ප්‍රබන්ධය අසමත් වූ පසු ලැකානියානු ආත්මය හට ගනියි. සරලව කිවහොත්, බාහිරින් අනන්‍ය වන කටහඬ ආත්මයට අතිරේකයකි. 

                ඉහත විග්‍රහය ඔබට ජීර්ණය වන්නේ නම්, තත්ත්වය උඩු යටිකුරු වනු දැකිය හැකිය. අල්තූෂර්ට අනුව ‘දෘෂ්ටිවාදය’ ආත්මය දෙසට ගමන් කරන ”ඇමතීම්- අන්තර්ගතයකි”. නමුත් ලැකාන්ට අනුව දෘෂ්ටිවාදය යනු, ‘ආත්මය’ ඇතුලේ ඇති ප්‍රබන්ධයක් තම ගැටලුව සඳහා පිටතට මුදා හැරීමකි. ‘විනෝදය’ දෘෂ්ටිවාදයේ ඵලය නොව එහි හේතුවයි. විනෝද වන ආත්මයක් තම අපරිමිත විනෝදයේ ආතතියෙන් ගැලවීමට අර්ථයකින් තොරව කුමන හෝ ප්‍රබන්ධයකට අනන්‍ය වෙයි. අර්ථය ඔහුගේ ක්ෂතිජය නිර්මාණය කරනවා නොව එය මුවහමකි. මරණයට හේතුව මරණ පරීක්ෂණයෙන් හෙළිදරව් වෙයි.

            මේ මෑතකදී, ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය වූ ලක්ෂ 79ක වැටුප් මංකොල්ල කෑ පුහුණු වන විශේෂඥ වෛද්‍යවරයා අල්තූෂරියානු විෂයක් (යටත්වැසියා) නොව ලැකානියානු ආත්මයකි. එසේ වන්නේ, කෙසේද? යුද්ධයෙන් පසු දශකයක පමණ දිගු කාලයක් තිස්සේ මාධ්‍ය සහ ආධිපත්‍යයික චරිත නැවත නැවතත් ප්‍රකාශ කරන්නේ විනෝද වන්න! යන්නයි. ඔවුන් අපට කියන්නේ හැකිතාක් විනෝද වන්න යන ආප්තය යි. මේ හේතුව නිසා, සමකාලීන සමාජයේ මේ වන විට වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විශ්ව-විද්‍යාල ගුරුවරුන් යනුවෙන් ‘පරමාදර්ශ’-ideals- නැත. සෑම සියලු දෙනාම මෙන් ඔවුන් ද විනෝද වන ආත්මය. විනෝද වන්නන් තහංචි දමන්නේ නැත. අප ජීවත් වන්නේ, සමජාතීත්වය තුළය.

               වැටුප් මුදල් මංකොල්ල කෑ පුද්ගලයා ඉහත සන්දර්භයට අනුව වෛද්‍යවරයෙක් නොවේ. ඔහු විනෝද වන්නෙකි. විශාල ගෙවල් සාදා, විශාල වාහන ගත් ඔහු දිගට හරහට ණය වූවෙකි. ඔහු තම විනෝද ආත්මයේ ආතතියෙන් ගැලවීමට අනන්‍ය වූයේ,  මුදල්වලට ම ය. මුදල් යනු, ඔහුට දෘෂ්ටිවාදයකි. නමුත් විනෝද වන ආත්මය පවතින්නේ මුදල් වලට පෙර ය. නමුත්  බාහිරින් සිටින අපි ඔහුව හොරකමට පසුව වෛද්‍යවරයෙක් කරන්නෙමු. වෛද්‍යවරයා නොවන ආත්මය මුදල් සමඟ අනන්‍ය වන්නේ, මුදල් නැති වෛද්‍යවරයාට සමාජ තත්ත්වයක් නැති නිසා ය. වෛද්‍යවරයාගේ පැත්තෙන් ගත් කළ ඔහු ජීවත්ව සිට ඇත්තේ පශ්චාත්-දෘෂ්ටිවාදී සමාජයක ය. සමහරවිට, ඔහු සිංහල ජාතිකවාදියෙක් විය හැකිය. ඔහු සිංහල දෘෂ්ටිවාදයට බැඳෙන්නේ, එහි ග්‍රහණය තහවුරු කරන්නේ ඉන් ඔහු අර්ථයක් හෝ සීමාවක් නිපදවා ගත් නිසා නොව එම ප්‍රබන්ධය ඔහුගේ විනෝදය ආරක්ෂා කරන නිසාය.

                 කිසියම් වෛද්‍යවරයෙකු හෝ කිසියම් වෘත්තිකයෙකු (උදා:- චන්න ජයසුමන) මේ යුගයේ ප්ලේටෝ හෝ කාන්ට් හෝ හේගල් සමඟ අනන්‍ය වන්නේ යැයි සිතමු. ඔහු එය කරන්නේ, ‘දර්ශනය’ ඉගෙන ගැනීමට යැයි බාහිරින් බලන විට පෙනී යා හැකිය. නමුත් එවැන්නෙකු එසේ කරන්නේ තම විනෝදයෙන් මිදෙන්නට මාර්ගයක් වශයෙන් මිස දර්ශනයට ආශා කරන නිසා නොවේ. මේ හේතුව නිසා ‘දර්ශනය’ උගන්වන ගුරුවරු තල දෙකක දී  දුෂ්කරතාවල පැටලෙයි. ‘දර්ශනවාදය’ දෘෂ්ටිවාදී වීම සමකාලීන යුගයේ දී වැළැක්විය නොහැකිය. අනෙක් පසින්, ඉගෙන ගැනීමට එන ශිෂ්‍යයා දිගටම ‘දර්ශනය’ හරහා විනෝද වීම තහවුරු කරන්නට පටන් ගැනීමයි. ගුරුවරයාට සිදු වන්නේ, කූඤ්ඤය ගලවා ගත් වඳුරාට වූ දෙය යි. ‘ලුබ්ධි-ආර්ථිකයක්’ නඩත්තු කිරීම හැර වෙන කරන්නට දෙයක් නැත.

                   ‘අල්තූෂරියානු විෂය’ හා ‘ලැකානියානු ආත්මය’ අතර කෲර වෙනස අපට පැහැදිලි කිරීමට ‘සිරස’ රූපවාහිනියේ අතීතයේ සේවය කර මිය ගිය නිමල් ලක්ෂපතිආරච්චි සහ දැනට ‘දෙරණ’ නාලිකාවේ සේවය කරන ජනප්‍රිය වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන ‘පේශල මනෝජ්’ අතර ආත්මීයත්වයේ වෙනස සලකමු. ලක්ෂපති යනු, ජනප්‍රිය සංස්කෘතියේ සහ මහරාජාගේ ආමන්ත්‍රණයට හැරී බැලූ යටත් වැසියෙකි.  ඔහුගේ සීමාව  ලකුණු වූයේ, පීතෘ හැඟවුම්කාරකයෙනි. නමුත් පේෂල යනු, විනෝද වන ආත්මයකි. ඔහු ප්‍රාග්ධනය විසින් හසුරුවන ඕනෑම වැඩසටහනකට කැමති ආකාරයකට සකස් කළ හැකි මැටි පිඬකි. මේ මැටි පිඬ අවශ්‍ය ආකාරයට සකස් කරන්නේ ස්ත්‍රී විඥාණයක් වන සුභාය. එබැවින්, පේෂල යනු, පශ්චාත්-මිනිසෙකි. ඔහු සීතලය. වෙනත් මිනිසුන්ගේ විනෝදයේ උපකරණයක් වන ඔහු ආකර්ෂණයක් නිපදවයි. නමුත් එම ආකර්ෂණය නිශේධනයකි. තිත්තය. 

Deepthi kumara Gunarathne 

|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. “විනෝද වන ආත්මයක් තම අපරිමිත විනෝදයේ ආතතියෙන් ගැලවීමට අර්ථයකින් තොරව කුමන හෝ ප්‍රබන්ධයකට අනන්‍ය වෙයි. අර්ථය ඔහුගේ ක්ෂතිජය නිර්මාණය කරනවා නොව එය මුවහමකි. මරණයට හේතුව මරණ පරීක්ෂණයෙන් හෙළිදරව් වෙයි.”

    වෙනත් ඕනෑම දෙයක් සම්බන්දව වාචාලයකු වු විමල් වීරවනශ කරුනාගෙ ප්‍රකාශයක් සම්බන්දව මෙ දිනවල වචන පටලවා ගෙන බොක බොක ගෑම ඉහත අදහස අනුව තෙරුම් ගත හැක. එනම් විමල් ගෙ ලැකානියානු ආත්මය ඔහුට අභිමුක වීම නේද?
    ඔහුට අවබෝද වෙනව නේද ඔහු ජාතිවදියෙක්
    (Authentic)නොවන බව ජාතිවාදියෙක් විමට සිදු වුයේ වීනොද වන ආත්මය වසන් කීරිමට බව.

  2. ගෝටාබය මහතා ගෙ කාර්ය වන්නේ අල්තුශර්යානු ඇමතුම් ලබා දීමද ? ඔහුගෙ ආත්මය විනොද වන්නෙ කෙසෙද? උත්තරයක් ඕන

Comments are closed.