දර්ශනය සහ දර්ශනවාදය යනු, දේශපාලනික වශයෙන් ප්‍රපංච දෙකකි. නූතන අර්ථයෙන් දර්ශනය රැඩිකල් වන්නේ, ‘සැබෑව’ රැඩිකල්කරණය කිරීමට නොහැකි යැයි සිතන මිනිසුන්ටය. X  කණ්ඩායම විසිරී ගිය 2004  වර්ෂයට පසු දර්ශනවාදය-Philosophy- අධිනිශ්චය විය. එය දාර්ශනික ළදරු වලිප්පුවක් තරම් මේ වන විට සංකීර්ණ වී ඇත. දර්ශනය යනු, ඔබ ගැන උගෙන ගැනීම නොව සාර්වත්‍රිකයන් ගැන ඉගෙන ගැනීමයි. නමුත් ‘දර්ශනවාදය’ (Pholosphism) ගැන ඔබට ඉගැන්වීමේදී ඉලක්ක කරන්නේ ඔබ ගැන ය. ඔබ කවුද? ඔබට බාහිරින් පවතින යථාර්ථය ඔබට ඥානණය කළ හැකි ද? ජීවත්වීමට නිවැරදි අදහසක් තිබේ ද?  දර්ශනය යනු, ජීවිතයේ නිෂ්ටාව ‘සතුට’  ලෙසින් නිර්වචනය කිරීම යනාදී මේ සියල්ල එක පැත්තකින් ඇකඩමික නොවන අතර අනෙක් පසින් මනෝවිද්‍යාකරණයට ලක් වූ දර්ශනවාදය යි. දර්ශනය යනු, අපට අපවම නැරඹීමට ඇති කතා නොවේ.[ideology]

                 X  කණ්ඩායම තුළ අප දර්ශනය හෝ දර්ශනවාදය ඉගැන්වූයේ නැත. නමුත් X කණ්ඩායම නොමැති වූ විගස සියලු දෙනා දාර්ශනිකයන්, දාර්ශනික ස්ත්‍රීන් බවට පත්විය. දැන් වසර 15ක්  තිස්සේ, ඔවුන් කරමින් සිටින්නේ දර්ශනය මනෝවිද්‍යාවක් බවට ඌනනය කිරීම යි. ඔවුන් කිසිවෙකු දර්ශනයේ සැබෑව-real- මනෝවිශ්ලේශණය කරන්නට උත්සාහ කරන්නේ නැත. 

                    කුරුණෑගල කොමියුනයේ පහත ප්‍රශ්න හරහා අපට පසුගිය වසර 15ක් තුළ සිදු කළ ‘ගෙදර වැඩ’ ගැන සටහනක් සකස් කළ හැකි ය.

        

  1. කොමියුනිස්ට් ක්‍රමය දක්වා යාමට ව්‍යූහයක් අවශ්‍ය ය. එය කුමක්ද? එහි ආකෘතිය කුමක්ද?
  2. ‘රාජ්‍ය බලය’ ලබා ගැනීම යනුවෙන් ඔබලා අදහස් කරන්නේ කුමක්ද? සංක්‍රමණික අවධිය ආරම්භ වන්නේ රාජ්‍ය බලය ලබා ගැනීමෙන් පසුව ද? පෙර ද?
  3.  ‘රාජ්‍යය’ නම් සංස්ථාපිතය අහෝසි වන ආකාරයට රාජ්‍ය ව්‍යුහය සකස් කරන්නේ කෙසේද?

 ඉහත ගැටලු 3ට පිළිතුරු සැපයීමේ දී  ‘ඇලන් බදියු’ නම් කොමියුනිස්ට් දාර්ශනිකයාගේ න්‍යායික ස්ථාවරයන් නිදැල්ලේ යොදා ගැනීමට  අපි පසුබට නොවෙමු. නමුත් X  කණ්ඩායම තුළ ‘දේශපාලනය’ ස්ථාපිත කරන්නට උත්සාහ කළ ආකාරයත් එහි දී අපි යොදා ගන්නෙමු. එක පසෙකින් , ‘කොමියුනිස්ට්වාදය’ බදියු න්‍යායගත කර ඇත්තේ X ආකෘතිය පහදමිනි. 

                 මේ මොහොතේදී, අනවශ්‍ය සංකීර්ණභාවයක් අපට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ, ඉතා සරල තිසීස කිහිපයක් පමණි. එබැවින්, තත්ත්වයට අදාළ මෞලික සංකල්ප හැකිතාක් සරලව ඉදිරිපත් කිරීමට අපි උත්සාහ කරන්නෙමු. එක පැත්තකින්, මෙම තත්ත්වය ‘රාජ්‍ය බලය’ ලබා ගැනීමට පෙර ‘කොමියුනිස්ට්වාදය’ උපන්‍යාසගත කරන ප්‍රථම ලියවිල්ලයි. (රාජ්‍යයට පෙර ‘අදහස’ මූලික කිරීම)

                   පළමු තිසීසය-

කොමියුනිස්ට්වාදයේ නව අදහසට ඇත්තේ දවස් තුනකි. 

  1.  පැරිස් කොමියුනය-1789 – දින 72
  2. 1917 බොල්ෂෙවික් විප්ලවය- 1917-1929
  3. 1968 චීන සංස්කෘතික විප්ලවය- 1968-1972

 

             දෙවන තිසීසය-

ලෙනින් විප්ලවය ගැන ‘සිතීමක්’ (Thinking)  බිහි කළේය. ඔහු එය සිදු කළේ, සමාජවාදීන් සිතන පරිදි උත්තරයක් සකස් කිරීමෙන් නොව ‘නිවැරදි ප්‍රශ්නයක්’ ඇසීමෙනි. නිවැරදි ප්‍රශ්නය මෙසේ ය. “පැරිස් කොමියුනයේ” පාඩම් ඉගෙන ගෙන අපි කොහොමද නිවැරදි ආකාරයට ‘රාජ්‍ය බලය’ ගන්නේ? (රාජ්‍යය සහ විප්ලවය) මේ නිසා, අපි මිනිස්සුන්ට උත්තර සපයන විට මිනිසුන් අලුතින් සිතන්න පුරුදු වෙන්නේ නෑ යනුවෙන් මිනිසුන් අලුතින් සිතන්න ගත්තා.

             මිනිසුන්ට නිවැරදිව හිතන්න පුළුවන් වෙන්නේ ප්‍රශ්නයක් අහපු හින්දයි. ඊට පසුව, 1917 දී බොල්ෂෙවික් විප්ලවය සිදු වුණා. නමුත් ලෙනින් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. “විප්ලවයෙන් පස්සේ බොල්ෂෙවිකයන් කොහොමද තම පාලන බලය දිගටම රඳවා ගන්නේ?” මේ ප්‍රශ්නය ලෙනින් අහන්නේ ‘බලය’ ගත්තාට පසුවයි.  මොකද රාජ්‍ය බලය පක්ෂය ලබාගත් විට, රාජ්‍යය ‘පක්ෂ-රාජ්‍යයක්’-Party-State– වෙන නිසා ය. 

                 ඉහත ඓතිහාසික තත්ත්වය තුළ ‘උදා වීමට නියමිත තත්ත්වය’ කලින් කල්පනා නොකළ නිසා ලෙනින්ට ‘සිවිල්-යුද්ධයට’ මුහුණ දීමට සිදු විය. ඉන් ඔහු ජයග්‍රහණය කරන ලදී. නමුත් ඉහත ප්‍රශ්නයට නිවැරදි පිළිතුර නොලැබුණු බැවින් එක පැත්තකින් ජාතිකවාදයෙන් විකල්පයක් ලැබුණි. අනෙක් පසින්, ‘පක්ෂ-රාජ්‍යය’ හරහා පක්ෂ නිලධාරීන් ‘සමාජ බලය’ ලබා ගන්නා ලදී. ලෙනින් තමන්ගේ ජීවිතයේ අවසන් යුගයේ දිගටම අහපු ප්‍රශ්නය ආකෘතිමය වශයෙන් සරලයි. “ගත්ත බලය කොහොමද දිගටම රඳවාගන්නේ?” ‘කොමියුනිස්ට්වාදය පිළිබඳ කලු පොතේ’ සඳහන් ආකාරයට ලෙනින් සර්වාධිකාරිකයෙක් නොවන්නේ මේ තර්කනය නිසා ය. ඔහුගේ ගැටලුව වූයේ,  ‘පක්ෂ-රාජ්‍ය’ තහවුරු කිරීම නොව පොදු ජනයාට කොහොමද කොමියුනිස්ට් දෛනික ජීවිතය උගන්වන්නේ කියන එකයි. ස්ටාලින් ගියේ මෙහි විරුද්ධ පැත්තට ය. ට්‍රොට්ස්කිගේ ගැටලුව පරණයි. ඔහු ගියේ ලෝක රාජ්‍ය පැත්තට ය. (විප්ලවයට වඩා විප්ලවීය දෛනික ජීවිතය රැඩිකල් ය)

 

              තෙවන තිසීසය-

 විප්ලවයේ ජයග්‍රාහී නිර්ණායකය ලෙනින්ට අනුව රාජ්‍ය බලය ලබා ගැනීමයි. ගැටලුව=රාජ්‍ය බලය ලබා ගැනීම. 17 විප්ලවය ලෙනින් හැඳින්වූයේ, ප්‍රාග්ධනයට එරෙහි එකක් ලෙස ය. නමුත් බලය ලබා ගත් පසුව ලෙනින්ගේ ගැටලුව ඓතිහාසිකව පරණ වේ. කල් පැන යයි. බලය ලබා ගැනීමේ අර්ථයෙන්, 17 විප්ලවය සාර්ථකයි.  ස්පාටකස්වරු 1918 දී ජර්මනියේ දී පරාජය වීම, ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේ දී අරාජකවාදීන් පරාජය වීම, චීනය, කියුබාව, වියට්නාමය, උතුරු කොරියාව, නිකරගුවාව (1979) සහ ලතින් ඇමෙරිකාවේ සහ ආසියාවේ දී අසමත් වූ සියලූ විප්ලව යනාදී මේ සියල්ල ලෙනින්වාදී ප්‍රොබ්ලමැතිකය තුළින් පහදන්න පුළුවන්. මොකද මේ හැම එකකම අවසන් නිර්ණායකය රාජ්‍ය බලය ලබා ගැනීම වන නිසාය. බොල්ෂෙවිකයන් මේ සියලු දෙනාට පරම නිර්ණායකයකි. මොකද බොල්ෂෙවිකයන්ගේ නවතාවය ‘පැරිස් කොමියුනයට’ වඩා පෙන්වන්නේ ‘රාජ්‍ය බලය’ ලබා ගැනීම තුළිනි.  අනෙක් අතට, ඔවුන් පෙන්වූ දෙයක් වූයේ, බලය ලබා ගැනීමේ ව්‍යාපෘතියක දී ‘සංස්කෘතිය’ යන්න උභතෝකෝටිකයක් නොවීමයි.

 

               හතරවන තිසීසය-

 බෝල්ෂෙවික් විප්ලවයට වඩා චීන සංස්කෘතික විප්ලවය අමතර දුරක් ගමන් කරන ලදී. ඒ තමයි, ලබා ගත් බලය දිගටම පවත්වාගෙන යා හැක්කේ සංස්කෘතිය තරණය කිරීමෙන් යන සාධකය යි. ‘රජ්‍ය බලය’ ලබා ගැනීමෙන් පසුව ‘මාඕ’ විසින් ධනවාදයේ සාරවත් පස වූ සංස්කෘතිය සමඟ චීන කොමියුනිස්ට් පක්ෂය හරහා දීර්ඝ සටනක් කළේය. මේ නිසා, පක්ෂය සහ එහි නිලධාරීන් බොල්ෂෙවිකයන්ට වෙනස් ව ගම සහ ග්‍රාමීය සබඳතා වලට ඇතුල් විය. 1989ට පසුව චීන කොමියුනිස්ට් පක්ෂය චීනයේ පරාජය නොවෙන්නේ ඔවුන් ජනතාව සමග දෛනිකව වැඩ කළ නිසා ය. ඒ අනුව, චීන නායක මාඕ අපට කොමියුනිස්ට්වාදය ගැන අලුත් අදහසක් ලබා දෙයි. ඒ තමයි, සංස්කෘතිය ගැන දයලෙක්තිකව (ප්‍රතිවිරෝධයන් ගැන ලිපිය) හිතන්න කියන එක. ඒ අදහස පශ්චාත්-නූතන අදහසකි.

 

               පස්වන තිසීසය-

 1989ට පසුව කොමියුනිස්ට් දේශපාලනය යනු, විප්ලවවාදී ලෙස රාජ්‍ය බලය ලබා ගැනීමට උත්සාහ කිරීම නොවේ. රොබෙස්පියර් හෝ ස්පාර්ටකස් හෝ ගල්කටස්ට අනුව ගතහොත් ‘රාජ්‍ය බලය’ ලබා ගැනීමට උත්සාහ දැරීම අලුත් වැඩකි. නමුත් න්‍යායික තලයේ දී මෙම ගැටලුව පැරණිය. ‘මුලතිව් කොමියුනය’ හරහා 2009  දී ඉතා භයානක ලෙස LTTE ය ඔප්පු කරන ලද්දේ ද මෙම තත්ත්වය යි.  ඉන් අදහස් වන්නේ, ඕනෑම විමුක්තිකාමී දේශපාලනයක් ‘පක්ෂ-රාජ්‍යයෙන්’ අවසන් වන බවයි. ඉන් පිටත සිදුවන දේශපාලනය අප නම් කරන්නේ කෙසේද?  මන්ද, එක පැත්තකින් ‘පක්ෂ රාජ්‍යයත්’,  අනෙක් පසින් ‘ජනප්‍රිය මහජනයාත්’ සිටින නිසා ය. ‘අර්නෙස්ටෝ ලැක්ලෝ’ මතු කරන්නේ මෙම ගැටලුවයි.

 

               හයවන තිසීසය-

 කොමියුනිස්ට් උපන්‍යාසයට අදාළව මේ වන විට ඉතිහාසය දින තුනක් පසු කර ඇත.

1.මාක්ස් සමඟ මනෝරාජික කම්කරු ව්‍යාපාරවල අසාර්ථකත්වය දැකීම පළමු දිනය යි.

2. ලෙනින් සමඟ අපි කොමියුනිස්ට්වාදයේ පළමු දිනය දුටුවෙමු. නමුත් එය දෙවන දිනයේ සිට අසාර්ථක විය. නිලධාරීන් පන්තියක්  වීම.

3.දැන් මාඕට පසුව කොමියුනිස්ට්වාදය ජාතික සංස්කෘතීන්ගෙන් විඝටනය කිරීම නම් දිනය පැමිණ ඇත. පක්ෂය ධනවාදය ප්‍රවර්ධනය කරන යන්ත්‍රයක් වීම.

Deepthi kumara Gunarathne 

|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.