2017 වසරේ මැයි මාසයේදී හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් වෙනුවෙන් දේශනයක් පවත්වමින් ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ප්‍රකාශ කර තිබුණේ ඔවුන්ගේ කාර්යය වන්නේ ෆේස්බුක් මඟින් “අරමුණක් පිළිබඳ හැඟීමක්“ ඇති කිරීම බව ය. නමුත් අද වන විට ෆේස්බුක් නිර්මාතෘවරුන් සිදු කර ඇත්තේ අරමුණකින් තොරව කාලය කා දැමීමේ වේදිකාවක් නිර්මාණය කිරීම පමණක් නොව ඔවුන්ට අයත් දත්ත සර්වර (data servers) තුළ අඩංගු ෆේස්බුක් ගිණුම් හිමියන්ගේ දත්ත ඔවුන් ද නොදැනුවත්ව දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගත හැකි අවකාශයක් නිර්මාණය කර තිබීම ය. එමෙන්ම ලෝකය එකට යා කරමින් ගෝලීය ප්‍රජාවක් නිර්මාණය කරන අති දැවැන්ත සමාගමක් ලෙස සන්නිවේදන ධනවාදය තුළ නම් දරා සිටින ෆේස්බුක් සමාගම තමන් සන්තක දත්ත ඔවුන් ද නොදැනුවත්ව කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම උල්ලංඝනය කර ඇති බව මඟින් පෙන්නුම් කරනු ලැබුවේ සන්නිවේදන ධනවාදය තුළම එම දැවැන්තයා අඟුටුමිට්ටකු බවට පත් ව ඇති ආකාරය ය.
දේශපාලන විශ්ලේෂක වෝල්ටර් ලිප්මන් වරෙක ප්‍රකාශ කර තිබුණේ නූතන යුගයේ සිදු වූ සුවිශේෂ පෙරළිය කාර්මික, ආර්ථික හා දේශපාලන පෙරළි නොව පාලිතයන් අතර කැමැත්ත නිර්මාණය කිරීමේ කලාව තුළ සිදුවූ පෙරළිය බව ය. වර්ෂ 1922 දී ඔහු “කැමැත්ත නිෂ්පාදනය කිරීම“ නමැති සංකල්පය (මෙම සංකල්පය පසුව නෝම් චොම්ස්කි ද භාවිතා කරන ලදී.) හඳුන්වා දෙමින් සඳහන් කළේ මහජනයා යනු ප්‍රාදේශීය අදහස් නමැති අවුලෙහි ගිලී සිටින අවුල් සහගත සමූහයක් බව ය. එබැවින් පාලක පන්තිය එම අභියෝගයට මුහුණදීම සඳහා නැඟී සිටිය යුතු බව ය. එම විශේෂිත වූ පන්තිය ප්‍රාදේශීයත්වය ඉක්මවූ අභිලාෂයන්ගෙන් සමන්විත විය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. එනම්, එම පන්තිය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අඩුපාඩු උපායශීලීව මඟ හැර යා හැකි දැනුමකින් සමන්විත විය යුතු බවට ඔහු ඉඟි කරයි. අපගේ කැමැත්ත ද සහිතව ප්‍රජාතන්ත්‍රවාදී යැයි සැලකෙන බොහෝ රාජ්‍යයන් කටයුතු කරමින් සිටින්නේ ඒ ආකාරයට ය. නමුත් ගැටලුව වන්නේ අප දැන දැනම දිගින් දිගටම එය සිදු වෙමින් තිබීම ය. අපි නිදහස්කාමී හා නිදහස් තීරණ ගනිමින් සිටින ආකාරයෙන් හැසිරෙන අතරම අප කුමක් කළ යුතු ද, කෙසේ සිටිය යුතු ද යන අදෘශ්‍යමාන නියෝග ද අපි නිහඬවම පිළිගනිමින් සිටින්නෙමු. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිගැනීම අනුව සෑම සාමාන්‍ය පුරවැසියෙක්ම බැලූ බැල්මට රජෙකි. එසේ වුව ද නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ රජු වන්නේ තීරණ ගන්නා හා පරිපාලකයින්ගේ යෝජනා අනුමත කරන්නා ය. අද වන විට ගැටලුව වී ඇත්තේ මෙම ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදයේ රජුගේ ගෞරවය ආරක්ෂා කර ගන්නේ කෙසේ ද යන්න ය.
මීට අමතරව අන්තෝනියෝ ග්‍රාම්ස්චි ද බලය මඟින් පාලනය කරන “දේශපාලන සමාජය“ හා කැමැත්ත මඟින් පාලනය කරන “සිවිල් සමාජය“ මඟින් ධනවාදී රාජ්‍යය සමන්විත වන බව පෙන්වා දෙයි. ඔහුට අනුව සංස්කෘතික ජීවිතය තුළ කැමැත්ත නිෂ්පාදනය කිරීම හා සුජාත කිරීම සඳහා මාධ්‍ය, විශ්ව විද්‍යාල හා ආගමික ආයතන මඟින් බුර්ෂුවා හෙජමොනිය ප්‍රතිනිෂ්පාදනය කරයි. මෙහිදී ග්‍රාම්ස්චි අදහස් කරන්නේ අදහස් හා දැනුම යන ක්ෂේත්‍ර තුළ බලය සංස්ථාපනය වී ඇති ආකාරය හා එය කැමැත්ත මඟින් ප්‍රකාශමාන වන ආකාරය ය. එහෙත් කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම සම්බන්ධ සිදුවීම් මඟින් පෙන්වා දෙනු ලබන්නේ ලිප්මන්, ග්‍රාම්ස්චි හා චොම්ස්කි පෙන්වා දෙන කැමැත්ත නිෂ්පාදනය කිරීම වැනි සංකල්ප තවදුරටත් වලංගු නොවන බව නො වන්නේ ද? අද වන විට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ රජු යනු පරිගණක මඟින් ක්‍රියා කරන ගණිතමය රීති වල (algorithm) ප්‍රතිඵලයක් බවට පත් ව ඇත. ලිප්මන් යෝජනා කළ ජනතාවගේ කැමැත්ත නිර්මාණය කිරීමේ කලාව ඇසුරින් දේශපාලනය තීරණය කිරීම වෙනුවට අද වන විට මිනිසුන්ගේ පෞද්ගලික දත්ත, ගතිගුණ, කැමැත්ත ආදිය මත පදනම් වූ මනෝවිද්‍යාත්මක වර්ගීකරණයක (psychography) ප්‍රතිඵල ඇසුරින් දේශපාලනය තීරණය වෙමින් පවතියි. ලොව පුරා ආන්දෝලනයට ලක් වූ ෆේස්බුක් ගිණුම් හිමියන් මිලියන පනහකගේ දත්ත ඔවුන්ගේ හෝ ෆේස්බුක් සමාගමේ අනුමැතියකින් තොරව කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම විසින් රහසිගතව ලබාගෙන ඡන්ද ව්‍යාපාර සඳහා භාවිතා කර තිබීම නමැති චෝදනාව මඟින් පෙන්වා දෙනු ලැබුවේ එය නොවේ ද?
ඒ අනුව දේශපාලන පෙළඹවීම් (Political Persuasions) අද මහා පරිමාණ දත්ත විශ්ලේෂණ සමාගම්වල විශේෂඥයින්ගේ කාර්යභාරයක් බවට පත් වී ඇත. එනම්, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට දේශපාලනය කුඩා පිරිසක් විසින් මෙහෙයවන කතිපයාධිපත්‍ය (oligarchy) ස්වරූපයක් ගෙන ඇත. ඔවුන්ගේ මෙම ක්‍රියාකාරීත්වය නිසා ජනාධිපති තනතුර සඳහා තෝරා පත් වන අපේක්ෂකයින් සාම්ප්‍රදායානුකූලව සෑම විටම ප්‍රකාශ කරන “මම ජනතාවගේ නියෝජිතයා වන්නේ ය“ යන ප්‍රකාශය “මම ජනතාව නියෝජනය නො කරන නියෝජිතයා“ ලෙස වෙනස් විය යුතුව ඇත. නිදසුනක ට පසු ගිය ඇමෙරිකානු ජනාධිපතිවරණය පිළිබඳ බොහෝ ජනමත විමසුම් වල ප්‍රතිඵල වලට අනුව ඉදිරියෙන් සිටියේ හිලරි ක්ලින්ටන් ය. නමුත් එයට පටහැනිව එම ජනාධිපතිවරණය ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම නිසා බොහෝ දෙනෙක් මවිතයට පත් වූහ. ඇමෙරිකානු ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිකුත් වීමෙන් පසුව බොහෝ දෙනා මුලින් සිතුවේ ජනතාව නියෝජනය නො කරන නියෝජිතයා ලෙස නම්ව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප්ව ජයග්‍රහණය කර වූයේ දුප්පතුන් බව ය. පසුව ප්‍රකාශ වූයේ ඒ සඳහා බහුලව දායක වී ඇත්තේ කාන්තාවන් බව ය. නමුත් අප වටහා ගත යුතු වන්නේ ඔහුව ජයග්‍රහණය කරවා ඇත්තේ දත්ත විශ්ලේෂකයින් බව ය. වෙනත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් අද වන විට මිනිසුන් හා දේශපාලනය අතරට මෘදුකාංග පාදක කරගත් වේදිකාවක් (platform) ලෙස ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය අවකාශය ඇතුළු වී ඇත. ඒ අනුව ලිප්මන්ගේ පැරණි අර්ථ දැක්වීම් වලට පටහැනිව දෘෂ්ටිවාදය තවදුරටත් රාජ්‍ය කේන්ද්‍රීය නොවී වෙළෙඳපොළ කේන්ද්‍රීය වී ඇත. වෙනදා මිනිස් ශ්‍රමය පාදක කර ගත් දේශපාලන වේදිකාව අද වන විට මෘදුකාංග, ගණිතමය රීති (algorithm) හා පෙරහන් (filters) පාදක කර ගත් දේශපාලන වේදිකාවක් බවට පත්ව ඇත. මෙම නව තාක්ෂණය හා දෘෂ්ටිවාදය එකිනෙකට පරිපූර්ණ ලෙස ගැලපෙන්නේ ඒවා අභෞතිකයෙහි (කැමැත්ත, විශ්වාස ආදියෙහි) භෞතික (material) බලපෑම් අනුරූපණය කරන්නට උත්සාහ කරන නිසා ය.
මේ වන විට ෆේස්බුක් පරිශීලකයින් අව්‍යාජ යැයි විශ්වාස කරන ඔවුන්ගේ කැමැත්තවල් (likes) හා ඔවුන් පළ කරන ප්‍රකාශ වැනි දේ ක්‍රමලේඛය (programmed) හා රෝපණය (implanted) කර ඇති දේවල් බව දන්නේ ඩිජිටල් මහා අනෙකා පමණි. එබැවින් අද වන විට අපට වඩා අප ගැන හොඳින් දන්නේ පරිගණක ආශ්‍රිත දත්ත විශ්ලේෂණ සමාගම් යැයි සඳහන් කළ හැකි ය. අප අද වන විට රිඩ්ලි ස්කොට් අධ්‍යක්ෂණය කළ “Blade Runner“ (1982) චිත්‍රපටයේ චරිත බවට පත්ව ඇත. මේ වන විට ෆේස්බුක් ගිණුම් හිමියන්ගේ සංවේදී දත්ත වන ජාතිය, ලිංගිකත්වය, බුද්ධි ප්‍රමාණය, තමන් ප්‍රිය කරන්නේ කුමන ලිංගිකයන්ට ද යන වග හා කුඩා කල ක්ෂතිමය අත්දැකීම් වැනි විශාල දත්ත ප්‍රමාණයක් එම සමාගම් සතු ය. එම දත්ත ඇසුරින් අපව පාලනය කරමින් සිටින්නේ අත්තනෝමතික ආණ්ඩු නොව අත්තනෝමතික දැවැන්ත සමාගම් ය. ඒ අනුව අපගේ ජීවිත අද වන විට නියාමනය වෙමින් පවතින්නේ කෙසේ ද යන්න හා එම නියාමනයම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරයක් වන භාෂණයේ නිදහසක් ලෙස සමාජ මාධ්‍ය මඟින් ප්‍රකාශමාන වෙමින් තිබේ. ඔවුහු අපට නොමිලේ අන්තර්ජාල ක්‍රියාකාරීකම් සපයන අතරම ඊට හිළව් වශයෙන් අපගේ දත්ත එක්රැස් කරමින් ඒවා තුන්වන පාර්ශවයන්ට පවා දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ සපයමින් සිටිති. අප වඩා ආශක්ත වී සිටින සමාජ මාධ්‍ය ගොඩ නඟන යථාර්ථය දරා සිටින්නේ එවැනි නොපෙනෙන අලිඛිත නීති මඟිනි. සාම්ප්‍රදායික මාධ්‍යවල ප්‍රකටව පෙනෙන ධූරාවලි ස්වභාවයට වඩා සමාජ මාධ්‍ය අවකාශයෙහි පවතින අදෘශ්‍යමාන ධූරාවලි ස්වභාවය නිසා වැඩි නිදහස් බවක් එමඟින් පිළිබිඹු වේ. එම අවකාශයට අපව බඳවා තබන්නේ එම නිදහස්භාවය හා ඒවායේ බැලූ බැල්මට පෙනෙන්නට තිබෙන සමාජමය ස්වරූපය ය. එම සමාජමය ස්වරූපය මඟින් ඒවායෙහි පවතින භාණ්ඩමය ගුණය සඟවා දමයි.
එමෙන්ම ඒ නිසාම පවත්නා ක්‍රමයට විකල්පයක් සෙවිය යුතු ය යන අදහස් සඳහා අපව පොළඹවන සාමූහික හැකියාව හීන වී ඇත. මෙමඟින් තහවුරු වන තවත් කරුණක් වන්නේ මිනිසුන්ට අවශ්‍ය වන්නේ සැබෑ නිදහස නොව නිදහස පිළිබඳ පිළිබිඹුවක් පමණක් වන බව ය. මිනිසුන් අතර දේශපාලන සබඳතා දේවල් අතර සබඳතා බවට මේ වන විට පත් වී ඇත. සමාජ මාධ්‍ය මඟින් පිළිබිඹු කරන ජනප්‍රිය සහභාගීත්වයම මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් වී ඇත. සමාජ මාධ්‍ය සදහා අප බැඳෙන ඒවායේ පවතින අතිරික්තමය ස්වභාවය විවිධ පාර්ශවයන්ට ලාභ උපයන දෙයක් බවට පත් වී ඇත්තා සේම එම අතිරික්තය මඟින් අපවම ද නැවත නිර්මාණය කරමින් තිබේ. එය වෙනත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් අපගේ කැමැත්ත යන්න තවදුරටත් අප තුළින්ම මතු වන අව්‍යාජ යමක් නොව ප්‍රබන්ධයක් බවට පත්වී ඇති අයුරු එමඟින් පෙන්වා දෙයි. වෙනත් නිදසුනක් ඇසුරින් මෙය පැහැදිලි කරන්නේ නම් සුපිරි වෙළඳසැල් මඟින් අප මිළදී ගන්නා භාණ්ඩ පිළිබඳ තොරතුරු ආදිය දත්ත විශ්ලේෂණ සමාගම් වෙත සැපයෙන අතර ඒවා විශ්ලේෂණය කිරීම මඟින් සුපිරි වෙළඳසැල් best buy ආදි විවිධ වෙළඳ උපක්‍රම මඟින් නැවත අපගේම කැමැත්ත ප්‍රතිනිෂ්පාදනය කරයි. දත්ත (data) වල පවතින අස්පෘශ්‍ය (intangible) ස්වභාවය නිසාම දත්ත යනු භාණ්ඩයක් බව අපට කිසිවිට වැටහෙන්නේ නැත. ඉහත සුපිරි වෙළඳසැල් නිදසුන මඟින් වුව ද අදහස් වන්නේ අපගේ පෞද්ගලිකත්වය අහිමි වෙමින් පවතින බව නොව සමාජයේ පොදු අවකාශය හැකිලෙමින් තිබෙන බව ය.
අපගේ ආත්මයේ මධ්‍යය පිහිටන්නේ පිටතය යන ලැකානියානු ප්‍රවාදය ද මහා දත්ත සමාගම් මඟින් හා සුපිරි වෙළඳසැල් පිළිබඳ නිදසුන මඟින් සිහිපත් කරයි. අපගේ අවිඥානය හුදෙක් ආත්මමූලික නොවන අතරම එයට වාස්තවික මානයක් ද පවතියි. එය භාෂාවක ව්‍යූහයක් ගන්නේ එබැවිනි. එම භාෂාමය ව්‍යුහය නිසා අවිඥානය යනු හුදෙක් අපගේ රහසිගත අභ්‍යන්තර සිතුවිලි හා මර්දනය කරන ලද හැඟීම් හා ආශාවන් පමණක් නොව පිටතින් පැමිණෙන දෙයක් බවට තේරුම් කරවයි. ආත්මීය විකෘති කිරීම් වල පැවැත්මම ඒවාට සම්බන්ධ වී ඇති ව්‍යුහයේ වාස්තවික මානය අපට පෙන්වා දෙයි. ඒ අනුව මෙම ආත්මමූලික විකෘති කිරීම් වලට වාස්තවික පාර්ශවයක් පවතින බව පශ්චාත්-නූතන යුගයේ අපට පෙන්වා දෙන්නේ ෆේස්බුක් හා කේම්බ්‍රිඡ් ඇනලිටිකා වැනි සමාගම් හෝ සුපිරි වෙළඳසැල් ය.
මෙහිදී මතුකළ යුතු තවත් කරුණක් නම් ජුලියන් අසාන්ජ්, එඩ්වඩ් ස්නෝඩන් වැනි නළාකරුවන් (whistleblowers) මෙතෙක් පෙන්වා දුන්නේ ආණ්ඩුවල පවතින දූෂණ හා ආණ්ඩු විනිවිදභාවයකින් තොරව ක්‍රියා කරන ආකාරය පිළිබඳව ය. එමඟින් අප ලබාගත් පණිවුඩය වූයේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වන්නේ දූෂිත ආණ්ඩු බව ය. එහෙත් ක්‍රිස්ටෝපර් විලී නැමැති නළාකරුවා කේම්බ්‍රිඡ් ඇනලිටිකා සමාගමේ ක්‍රියා මඟින් පෙන්වා දුන්නේ එවැනි සාම්ප්‍රදායික නළාකරුවන් පෙන්වා දුන් කාසියේ අනෙක් පැත්ත ය. එනම්, දැවැන්ත දත්ත සමාගම් ප්‍රජාතන්ත්‍රවාදයට කරනු ලබමින් තිබෙන බලපෑම් පිළිබඳව ය. නිදහස පිළිබඳ ලිබරල් වටිනාකම් අහිමි කිරීම් හා තොරතුරු බහුලත්වයට බාධා කිරීම් මඟින් ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑම් කිරීම ආණ්ඩුවල ගැටලු ලෙස විකිලීක්ස් පෙන්වා දෙන විට ක්‍රිස්ටෝපර් විලී පෙන්වා දෙන්නේ නිදහස පිළිබඳ ලිබරල් වටිනාකම් හා තොරතුරු බහුලත්වය ම භාවිතා කරමින් දැවැන්ත දත්ත සමාගම් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වන අන්දම ය. මේ සියලු නළාකරුවන්ගේ පොදු පණිවිඩය වන්නේ දත්ත හා තොරතුරු සම්බන්ධයෙන් පොදු යහපත හා භාණ්ඩය ලෙස පසමිතුරුතාවයක් ඇතිවී ඇති බව ය.
මෙම දත්ත චෞරත්වය පිළිබඳ ප්‍රධාන චූදිතයා බවට කේම්බ්‍රිඡ් ඇනලිටිකා සමාගම පත්වන ආකාරයක් මේ වන විට අපට දැකගත හැකි ය. නමුත් අප පෙරළා විමසිය යුතු වන්නේ ෆේස්බුක් සමාගම වෙත එහි වගකීමක් නො පැවරෙන්නේ ද යන්න ය. හුදු ප්‍රකාශ නිකුත් කිරීමෙන් පමණක් ඔවුන්ට වගකීමෙන් නිදහස් විය හැකි ද යන්න ය. එනම්, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට හෝ දේශපාලනයට සමාජ මාධ්‍ය සහ දත්ත සමාගම් මඟින් සිදු කරමින් තිබෙන බලපෑමට වඩා ෆේස්බුක් ගිණුම් හිමියන්ගේ දත්ත අනවසරයෙන් සොරකම් කිරීම ප්‍රමුඛ ම ගැටලුව බවට පත් වන්නේ කෙසේ ද යන්න ය. එය වෙනත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නොසිතූ විරූ ජයග්‍රහණය පිළිබඳව මීට කලකට පෙර සිටම විශ්ලේෂණ ඉදිරිපත් කළ ඇතැම් විශ්ලේෂකයින් කේම්බ්‍රිඡ් ඇනලිටිකා සමාගම ඔහුගේ ඡන්ද ව්‍යාපාරයට සම්බන්ධ වී ඇති බව පෙන්වා දී තිබිණි. එදා බොහෝ දෙනෙක් වැඩි අවධානයක් යොමු නො කළ එම ප්‍රශ්නය අද දැවැන්ත ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ ෆේස්බුක් ගිණුම් හිමියන්ගේ දත්ත අනවසරයෙන් ලබාගැනීම නමැති ගැටලුව නිසා මිස නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට ඔවුන් සිදු කරමින් තිබෙන බලපෑම නමැති කරුණ නිසා නොවේ. මෙම අර්චනකාමී ප්‍රතික්ෂේප කිරීම මඟින් දෘෂ්ටිවාදය මේ මොහොතේ ක්‍රියාත්මක වන ශුද්ධ වූ ආකාරය මැනවින් හෙළි කරයි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ට එරෙහි ගැටලුව පෞද්ගලිකත්වය පිළිබඳ ගැටලුවක් බවට ඌනනය කිරීම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජනතාවගේ නියෝජිතයා රජු ය යන අදහස වෙනුවට නැවතත් සාමාන්‍ය පුරවැසියා රජු ලෙස හුවා දැක්වීමක් දක්වා විතැන් වී ඇත. ඒ අනුව මෙහි දී අප වටහා ගත යුත්තේ ගැටලුව පවතින්නේ එහිම ආකෘතිය තුළම බව ය. එනම්, මේ වන විට ධනවාදය අන්තර්ගතයක් ලෙස නොව ආකෘතියක් ලෙස ක්‍රියා කරමින් තිබෙන බව ය. එබැවින් අපට සමාජ මාධ්‍ය මඟින් යෝජනා කරන සැබෑ තෝරා ගැනීම යනු ධනවාදයේ අර්බුදය පිළිබද පිළිබිඹුවකි. ආචාර ධාර්මික තලයේ ක්‍රියාකාරී වන දත්ත සමාගම් මඟින් පිළිබිඹු වන අශිෂ්ටත්වය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ මුහුණුවර පමණක් ආරක්ෂා කරන අපගේ ම ජීවිත වල පවතින අශිෂ්ටත්වය පිළිබඳ කැඩපතක් නොවන්නේ ද?
Tesla, Space X හා Neuralink වැනි ආයතන වල හිමිකරු වන ඊලෝන් මස්ක් මතු කරනු ලැබ ඇති අදහසක් අප ගත කරමින් සිටින මෙම යුගයේ ශිෂ්ටත්වය පිළිබඳ අදහස වටහා ගැනීම සඳහා වැදගත් ය. ඔහු සඳහන් කරන්නේ ඉගෙනීම යනු ප්‍රශ්න විසඳීම බව ය. ඒ සඳහා ඔහුගේ දරුවන් වෙනුවෙන් ඔහු වෙනම පාසලක් ආරම්භ කර ඇත. ඔහුගේ එම රැඩිකල් ප්‍රකාශය මඟින් ඔහු න්‍යාය වෙනුවට විශ්වාසය තබන්නේ ප්‍රායෝගිකත්වය කෙරෙහි ය. ඒ අනුව ඉදිරියේදී ලෝකය යනු ප්‍රායෝගිකත්වය මත පදනම්ව අංකිත (digital) තාක්ෂණය ඔස්සේ විසඳිය හැකි ප්‍රශ්න සමූහයක් ලෙස නිර්වචනය වීමට බොහෝ දුරට ඉඩ ඇත. එහෙත් අංකිත තාක්ෂණය ඔස්සේ ලෝකය තේරුම් කරවීම සිදු කළ හැකි වන්නේ පහදා දීමට හා විවරණය කිරීමට තරම් ප්‍රමාණවත් දත්ත ඇත්තේ නම් පමණි. කෙසේ වෙතත් නව ඩිජිටල් පුනරුද යුගයක් උදාවීමේ පෙරනිමිති පහළ වී ඇත.
අවසාන වශයෙන් සඳහන් කළ යුතු වන්නේ මෙවැනි තත්ත්වයන් අප “මාතොට“ සඟරාවේ සිටම විවිධ ආකාරයෙන් පෙන්වා දෙමින් සිටින බව ය. එහෙත් අද වන විට බොහෝදෙනා තිගැස්සී සිදුවෙමින් තිබෙන්නේ කුමක්දැයි නරුමවාදී ලෙස බලා සිටිති. මෙවැනි සිදුවීම් විශ්ලේෂණය කිරීම මඟින් අප නැවතත් ප්‍රකාශ කරන්නේ ලෝකය සැබැවින්ම බියකරුය යන්න නොවේ. අප බියකරු යැයි සිතන ලෝකයේ අප ද කොටසක් වන බව ය. කාල් මාක්ස් පැවසුවේ ජනතාවගේ අබිං යනු ආගම බව ය. එහෙත් අද වන විට අප වටහා ගත යුත්තේ ජනතාවගේ අබිං යනු ජනතාවම බව ය.
පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ
//කාල් මාක්ස් පැවසුවේ ජනතාවගේ අබිං යනු ආගම බව ය. එහෙත් අද වන විට අප වටහා ගත යුත්තේ ජනතාවගේ අබිං යනු ජනතාවම බව // මේ කතාවට මම කැමතියි
Comments are closed.