වෙසක් උත්සව සමයේ සිංහල-බෞද්ධ සැදැහැවත් පිරිස වෙසක් සිරියෙන් ඔද වැඩී ගමන් කරන විට, වීදියේ අඳුරු මුල්ලක ඔබ මෙවැනි නාම පුවරුවක් දුටුවහොත් කුමක් සිතට එයි ද? “ගෝනි එළුවා”.  ගෝනි එළුවා යනු, අලුත් වර්ගයක එළුවෙක් යැයි සිතන අයට කඩේ ඇතුළට ගොස් අලුත් විශේෂයකට අයත් ‘එළුවා’ නරඹන්නට ආශාවක් ඇති වීමට හැකි ය. එවිට, ඔබ ප්‍රවේශ පත්‍රයක් ලබා ගත යුතු අතර අනතුරුව ඔබට ‘ඇතුළට’ යාමට හැකි ය. ඇතුළට ගිය විගස ඔබට නිරායාසයෙන් එන ගැටලුව කුමක්ද? “ කෝ ගෝනි එළුවා? ” උත්සව සංවිධායකයන් එවිට මෙසේ කියයි. “මේ එලලා තියෙන්නේ ගෝනි. අපි කිව්වේ ‘ගෝනි – එලීමක්’ මිස එළුවෙක් (එලුවා/ එළුවා) ගැන නොවේ”. ප්‍රකෝප ගෙන යළි පිටතට හැරෙනවා මිස ප්‍රේක්ෂිකාවට වෙන කරන්නට දෙයක් නැත. එළුවා විනෝදයක් ද?[a] අත්දැකීමක් ද [s]?

                    X දේශපාලනයේ දැනුම නැතහොත් දැනුම ලබා ගන්නා ආකාරය (ඥාණ-විභාගය) ව්‍යුහවාදය (Structuralism) යි. එය පදනම් වන්නේ සහ එහි ක්ෂිතජය තීරණය වන්නේ, ස්විස් ජාතික වාග් විද්‍යාඥයෙකු වූ ෆර්දිනන්-දි සෝෂියර්ගේ ‘සාධාරණ වාග් විද්‍යාව’-General Linguistics a study  functions of language without restriction to a particular language or to a particular aspect (as phonetics, grammar, stylistics) of language- හරහා ය. ඔහුගේ න්‍යායට අනුව, භාෂාවක හෝ සංකල්ප අතර හෝ ඇත්තේ ‘වෙනස්කම්’ මිස ‘අර්ථයක්’ නොවේ. භාෂාවේ සමස්ත පැවැත්ම චලනය වන්නේ, සාරයක්-Essence- මත නොව ආකෘතීන්-Forms– මූලික කොටගෙන ය. ඒ අර්ථයෙන් භාෂාවක් යනු, වෙනස්කම්වල එකතුවක් පමණක් වන අතර භාෂාවේ ‘භෞතිකය’ යනු ද්‍රව්‍ය (Matter) රහිත ආකෘතීන් ය. ජයදේව උයන්ගොඩ විසින් ව්‍යුහවාදය මෙසේ නිර්වචනය කරයි. “ මනුෂ්‍ය සමාජයේ ක්‍රියාකාරීත්වය සහ පරිවර්තනය අවබෝධ කරගත යුත්තේ මනුෂ්‍ය කතුවරයන්ගේ මනෝමූල අභිලාෂයන් තුළින් නොව, ඔවුන්ට සහ ඔවුන්ගේ මනසට ස්වාධීනව පවතින ව්‍යුහයන්ගේ (භාෂාව) ක්‍රියාකාරීත්වය තුළින්ය යන්න යි”. ඒ අර්ථයෙන්, ඉතිහාසයේ සක්‍රීය විපර්යාසකාරකයා මිනිසා හෝ මානුෂවාදය නොවේ.  උදා:- Facebook නම් ව්‍යුහය පැමිණි වහාම දේශපාලනය යැයි සිතූ දෙය විපර්යාසගත විය. ඒ නිසා, අද ජීවත්වන මිනිසුන් ‘දේශපාලනය’ කරනවා යනු මුහුණු පොතේ සාමාජිකයෙක් බවට පත් වීමයි. ගැඹුරු අරුතින්, දේශපාලන යථාර්ථවාදයක පැටලී සිටි පිරිසක් මුහුණු පොත නම් ව්‍යුහය තුළින් දේශපාලන විඥාණවාදයකට ඇතුල් විය. මුහුණු පොත තුළ ආත්මය සහ වස්තුව අතර ඇත්තේ ‘සමරෑපයක්’ (Semblant) නිසා සහසම්බන්ධය-Correlation– අභ්‍යන්තරික වෙයි. ඒ අර්ථයෙන්, මුහුණුපොතේ සැරිසරන්නන් බහුතරයක් ප්‍රපංචවේදීන් ය.

                           වසර 25ක පමණ කාලයක් මා පොර බදන ලද ගැටලුවකට නව සූත්‍රගත කිරීමක් මේ දැන් කළ හැකිය. ගැටලුව අපට මෙලෙස වර නැඟීමට හැකිය. X  දේශපාලනයට සම්බන්ධ වූ කිසිවකුට මට හැර ව්‍යුහවාදියෙකු වීමට නොහැකි වූයේ මන්ද? මා සම්බන්ධයෙන් සුවිශේෂී සොයාගැනීම් කරන ලද ජහමනයන්ට (ලංකාවේ ඇකඩමියන් නැති නිසා) මේ සන්දර්භය ග්‍රහණය නොවූයේ මන්ද?

                            X දේශපාලනය තුළ තමන් හොඳින් තෙම්පරාදු වූ බවට වහසි බස් දොඩන අය කට ඇරිය විගස හෝ යමක් ලියූ විගස ඔවුන් ව්‍යුහවාදීන් නොවී ප්‍රපංචවේදීන් වන්නේ මන්ද? තමන්ගේ ඥාණ-විභාගය ලාංකිකයන් බහුතරයගේ ඥාණය ලබන ක්‍රමය වන ප්‍රපංචවේදය-Phenomenology– මිස ව්‍යුහවාදය නොවන්නේ මන්ද යන ගැටලුව වටහා නො ගන්නේ මන්ද? (භික්ෂුවක් ලෙස කලක් වැඩ වාසය කළ පුද්ගලයෙකු ‘දීප්ති’ සෝෂියර් ගැන දන්නේ නැත කියා ලිපි දහතුනක් ‘සිළුමිණ’ පුවත්පතට ලියූ අතර එම ලිපි සියල්ලේ ඥාණ-විභාගය ප්‍රපංචවේදය බව ඔහු නොදැන සිටියේ ය.)

                               අපි දැන් ප්‍රපංචවේදය දෙසට හැරෙමු. ලංකාවේ සාමාන්‍ය මිනිස්සු තමන්ට බාහිරින් තිබෙන දෙයක් හෝ වෙන පුද්ගලයෙකු ගැන අවබෝධ කර ගැනීමේදී ‘අත්දැකීම’ (Experience)  ප්‍රාථමික කරනු ලැබේ. ඔවුන් තේරුම් ගැනීමට හෝ අවබෝධ කර ගැනීමට හෝ දැනුම ලබා ගැනීමට හෝ උත්සාහ කරන්නේ, ‘අත්දැකීම’ මිස අන් යමක් නොවේ. ‘අත්දැකීමෙන්’ පිට දේවල් කතා කිරීම පාරභෞතික ය. නැතහොත් ප්‍රස්තුතයට අදාළ නැති පුද්ගලික කරුණු ය. උදාහරණයක් ලෙස, අප ‘දේශපාලන-ආර්ථික’ විද්‍යාඥයෙක් වන එස්. බී. ද සිල්වාගේ ‘විනෝදය’ ගැන ප්‍රශ්න කළ වහාම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ කථිකාචාර්ය ආචාර්ය සමන් පුෂ්පකුමාර නම් ‘ප්‍රපංචවේදියා’ විනෝදය නම් සාධකය දේශපාලන-ආර්ථික විද්‍යාවෙන් ඉවත් (Bracket කරයි) කරයි. විනෝදය ඒකාවචර නිසාත්, අත්විඳීමට නොහැකි නිසාත්, එය ප්‍රපංචයක් නොවන නිසාත් ඔහු අපගේ විනෝදය ගවේෂණය කරන්නට පටන් ගනියි. (ඔහුගේ ‘රාවය’ ලිපිය කියවන්න– එය ව්‍යුහවාදී නොව ප්‍රපංච-විද්‍යාත්මක ය). 

                         මේ මෑතකදී මළගෙදරක දී ‘නිර්මාල්’ හමු වූ විට මෙසේ පැවසුවේ ය. “ මම හිතුවේ උඹත් එක්ක අපට විතරයි ප්‍රශ්න තිබුණේ කියලා. උඹත් එක්ක පස්සෙ කාලෙක වැඩ කරපු බහුතර දෙනා කිව්වෙත් ඒ අයට උඹත් එක්ක ගොඩක් ප්‍රශ්න තියෙනවා කියලා”. නිර්මාල් X  කණ්ඩායමට සම්බන්ධ වූයේ, 97 වැනි යුගයක ය. ඒ දිනවල ව්‍යුහවාදී පන්තියේදී උගන්වන ලද මූලික පාඩම වූයේ, ‘අත්දැකීමට’ වඩා ‘භාෂාව’ ප්‍රාථමික බවයි. 2020 වර්ෂයේ දී, නිර්මාල් නැවත මට කියන්නේ ‘අත්දැකීම’ ප්‍රාථමික බවත්, ‘භාෂාව’ ද්විතීක බවත් ය. කෙනෙක් තමන් අන්අයෙක් සමඟ ලද ‘අත්දැකීම’ අව්‍යාජ හෝ ප්‍රාථමික හෝ ශුද්ධ හෝ යැයි කියන විට, ඔහු/ ඇය ඊළඟට ගවේෂණය කරන්නේ තමන් ලද අත්දැකීම කරුණුවලින් සාරවත් කිරීමට ය. ඒ අර්ථයෙන්, නිර්මාල් පමණක් නොව ඔහුගේ X විමතිකයන් ද සම්භාෂණීය අර්ථයෙන් ප්‍රපංචවේදීන් ය. මේසයක් මත ඔවුන් සියලු දෙනා කේන්ද්‍රගත වන්නේ, උළුදු වඩේ කන්නට නොව තම තමන්ගේ සාරවත් අත්දැකීමේ පොදුභාවය බෙදා ගැනීමට ය.

                           අපි දැන් ‘ප්‍රපංචවේදය’ නම් සංකල්පයේ දාර්ශනික සහ ක්‍රමවේදවාදී තේරුම සොයා බලමු. වචනාර්ථයෙන් ගත් විට, එහි තේරුම ‘දෘෂ්‍යමාන වීම පිළිබඳ විද්‍යාවයි’. ඉතා වේගයෙන් මෙම වචනයට සරල තේරුමක් අවශ්‍ය නම් එය මෙසේ ය. ඔබගේ පංචේන්ද්‍රියන්ට ග්‍රහණය වන සංවේදන සංස්ලේෂණය වන්නේ, ‘මනස’ නම් සයවන ඉන්ද්‍රිය හරහා ය. එබැවින්, ‘ප්‍රපංචය’ යනු, මනස අත්විඳින (කෙනෙක් කුමක් විඳී ද, එය (ඔහු/ ඇය) සංඡානනය කරයි.) අත්දැකීමයි. ඉන් අදහස් වන්නේ, අන් ඉන්ද්‍රියයන්ට නොමැති ‘සාරයක්’ මනසට යෝජනා කිරීමයි. ඇස, කණ, නාසය, දිව සහ සමට වඩා මනස අධිනිශ්චය කිරීමෙන් විඥාණය නම් ක්‍රියාකාරීත්වය හට ගනියි. 18 සහ 19 වැනි සියවස්වල යුරෝපා දර්ශනවාදයට එය ආවේ ‘දෘෂ්‍යමානය සහ දෘශ්‍යමානය සිදුවන ආකාර පිළිබඳ අධ්‍යනය කිරීම’ යන අර්ථයෙනි. එම්මෑනුවෙන් කාන්ට් නම් ජර්මානු දාර්ශනිකයාට අනුව, ‘ප්‍රපංචවේදය’[2] යනු වාස්තවික හෝ මනුෂ්‍ය විඥාණයෙන් ස්වාධීනව පවතින වස්තූන් හැදෑරීම නොව දෘෂ්‍යමානය (මිනිසුන්ට පෙනෙන ලෝකය) හැදෑරීමට යොදාගත හැකි සංකල්පයකි. හේගල්ට අනුව, ‍ප්‍රපංචවේදය [3]යනු මිනිස් විඥාණය එහි සරල අවධියේ සිට පරමත්වය දක්වා වර්ධනය වන ආකාරය අධ්‍යයනය කිරීමයි. මින් අදහස් වන්නේ, ‘මනස’ විස්තර කිරීම මිස එය හේතු-ඵල සම්බන්ධයක් හරහා අවබෝධ කර ගැනීම නොවේ. හේගල් විසින් කරන්නේ ද ‘අත්දැකීම’ විචාරය කිරීමයි.

                          නමුත් ප්‍රපංචවේදයට 20 වැනි සියවස මුලදී, ‘එඩ්මන්ඩ් හූසල්’ මඟින් නව අරුතක් එකතු විය. හූසල් විසින් උත්සාහ කරන ලද්දේ, ‘මානසික අත්දැකීම’ හැකිතරම් අනුභූතියෙන් වෙන්කර එය ශුද්ධ තත්ත්වයකට පත් කිරීමට යි. එමඟින්, හේතු-ඵලවාදී නොවන ඥාණයක් ගොඩනැඟීමට හූසල් උත්සාහ කරන ලදී. හූසල් විසින් ඔප්පු කරන්නට උත්සාහ කරන ලද්දේ, කෙනෙකු අත්දකින අත්දැකීමක් විද්‍යාත්මක හෝ උපකල්පන (පූර්ව අගති) වලින් ආරක්ෂා කර අත්දැකීමේ සැබෑ හරය වෙත යා හැකි බවයි. ඒ අනුව, අපගේ අත්දැකීම නිර්මල විඥාණයක් බවට පරිවර්තනය කිරීමට හැකි ය. මිනිස් ක්‍රියාවල නියම අර්ථය තිබෙන්නේ, එම ක්‍රියා ඇතුළේ, එම ක්‍රියාවන්ගේ අභිප්‍රායත්වය පවතින්නා වූ විඥාණය තුළමය යන්න හූසල්ගේ ප්‍රපංචවේදයේ නිෂ්ඨාව යි.  මෙමඟින් උත්පාද වන්නේ, හදවත කේන්ද්‍රකොටගත් රෝමෑන්තිකවාදී විඥාණ ප්‍රවර්ගයකි. එය අනුභූතිවාදයට එරෙහිව විඥාණයේ අන්තයට යා හැකි අවසන් දුරයි.

                        ‘අර්ථකතනවේදය’ (Hermeneutics) යනු, ලංකාවේ වඩාත්ම ගුප්තකරණය කරන ලද මානුෂික විද්‍යාවයි. මෙම ගුප්තකරණය සිදු කරන ලද්දේ, කුමුදු කුසුම් කුමාර ය. තමන්ගේ චින්තනයේ මූලයන් නොපෙන්වා ඔහු ලියන නිසා ඒ දේවල් අන් අයට පෙනෙන්නේ ඕපපාතික අදහස් මාලාවක් ලෙසිනි. ඔහු ඒ අර්ථයෙන්, සුපිරි ප්‍රපංචවේදීයෙකි. දේශපාලන පක්ෂවලට ඉතා බය මොහු හොරෙන් හොරෙන් ප්‍රපංච විද්‍යාත්මක ආරයකින් දේශපාලන පක්ෂවලට විරුද්ධව යන්නන්ට අත්උදව් දෙයි. ඔහු හසුරුවන විද්‍යාව ගැන අවබෝධයක් නැති අයට ඔහුව පෙනෙන්නේ යෝගීවරයෙකු සහ විද්‍යාඥයෙකු ලෙසට ය.

                          ‘අර්ථකතනවේදයට’ අවශ්‍ය වූයේ, ස්වාභාවික විද්‍යාවන්ට සහ වාස්තවිකයන්ට අදාළව වෙනස් ආකාරයක වාස්තවිකත්වයක් මානවීය විද්‍යාවන්ට එන්නත් කිරීමට ය. මේ විද්‍යාවේ ආරම්භකයා කුමුදු නොව දිල්තේ ය. විල්හෙලම් දිල්තේට අනුව මිනිස් විද්‍යාවන් අවබෝධ කොටගත යුත්තේ නැතහොත් මිනිස් ක්‍රියාකාරිත්වයන් අවබෝධ කොටගත යුත්තේ, ඒවාට පරිබාහිර වාස්තවික ලෝකය තුළදී නොව ඒවා ගිලී ඇති ආත්මීයත්වය තුළ සිටගනිමින් ය. අවබෝධනයේ කාර්යය වන්නේ, යම් යම් මිනිස් ක්‍රියාකාරකම් බිහි වූ ජීවන ලෝකය සොයාගෙන, ඒ ක්‍රියාකාරකම්වල කතුවරුන් තමන් තේරුම් ගත්තේ යම් ආකාරයකට ද, ඒ ආකාරයටම තේරුම් ගැනීමයි. නැතහොත් කතුවරයාගේ දෘෂ්ටිකෝණයෙන් තේරුම් ගැනීමයි. 

Prof. Hans-Georg Gadamer – Fusion of horizons

                         දිල්තේට පසුව ‘අර්ථකතනවේදය’ තවදුරටත් වර්ධනය විය. ‘හාන්ස් ජෝර්ජ් ගදාමර්’ යනු, දිල්තේ සමතික්‍රමණය කළ චින්තකයා ය. ඔහු කළ විශේෂ කාර්යය වූයේ, අවබෝධය තුළට සත්තාව (Being) ගෙන ඒමයි. ඔහු අවබෝධය සත්භාවවේදී ගැටලුවක් බවට පත් කරන ලදී. දිල්තේට අනුව, යම් වියමනක් (චිත්‍රපටයක්, නවකතාවක්) අප තේරුම් ගැනීමට උත්සාහ කරන්නේ එය නිපදවූ කතුවරයාගේ ලෝකයටම ගොස් වටහා ගැනීමෙනි. (උදා:- බයිබලය එය ලියැවුණු සන්දර්භයට එනම්, අතීතයට ගොස් වටහා ගැනීමයි.) ‘අර්ථකතකයා’ අර්ථකතන ක්‍රියාව තුළ දී කරන ‘වර්තමානයෙන් ඉවත්වීම’ ගදාමර් විසින් විවේචනය කරන ලදී. (ගදාමර්ගේ ‘Truth & Method’ නම් පොත ඇත්තේ වෛද්‍ය රුවන් කුමාර ළඟ නිසා වැඩි දෙයක් මට ලිවීමට නොහැකි ය.) ගදාමර් විසින් දිල්තේව කණපිට පෙරළා අලුත් ගැටලුවක් හඳුන්වා දෙයි. ගදාමර්ට අනුව, සමකාලීන අගතීන්ගෙන් තොරව අතීතයට යාමක් නැත. ඔහුට අනුව, අවබෝධය සිදුවන්නේ ම මෙම පූර්ව අගතීන් නිසා ය. ඒ අනුව, මෙම අගතීන් නිර්මාණාත්මක කර්තව්‍යයක් ඉටු කරයි.

                            අපි දැන් නිර්මාල්ගේ ගැටලුවට එමු. ඔහු කියන්නේ අත්දැකීම අව්‍යාජ බවයි. නමුත් ව්‍යුහවාදයට අනුව, හැඟවුම්කාරකය ප්‍රාථමික ය. නිර්මාල් කියන්නේ ‘හැඟවුම’ (Signified) ප්‍රාථමික බවයි. නමුත් ලැකාන් වැනි මනෝ විශ්ලේෂකයෙකු කියන්නේ, හැඟවුම්කාරකය ප්‍රාථමික බවයි. මෙම සන්දර්භය ඇතුළත බහුතර සිංහලයන් ප්‍රපංචවේදීන් ය. ඔවුන් තවම ව්‍යුහවාදය අසළකටවත් පැමිණ නැත. භික්ෂු ඥානාන්දගේ ප්‍රධාන කෘතිය වූ ‘Concept and Reality’ තුළ දී උන්වහන්සේ ‘ප්‍රපංචය’ පිළිබඳව නවීකාරක අදහසක් ලබා දෙයි. “චින්තනයේ යෙදෙන විඥාණය තමා සමඟ තදාත්ම කිරීම මඟින් පපඤව සංඛා යන්න පැන නගියි”.

                      මහාචාර්ය සරච්චන්ද්‍ර ‘ප්‍රපංචය’ යන්නට මෙවැනි අර්ථකතනයක් සිදු කරයි. ඔහු ‍ප්‍රපංච යන්න ඉන්ද්‍රීය සංජානනයට තුල්‍ය කරයි. නමුත් ඉන්ද්‍රීය සංජානනයට ද්විධ අංශයක් ඇත. “ආත්මීය පැත්තෙන්, එය විඥාණය වන අතර වාස්තවික පැත්තෙන්, එය සංජානනය වන ලෝකය යි”. ප්‍රපංච යන්න මේ ද්විත්ව අංශයටම යෙදෙන පොදු පදය යි. K.N. ජයතිලක මෙම වචනය පිළිබඳව මෙසේ පවසයි. විඥාණය යනු, වේදනා සහ සංඥාවලට පවා පෙර ඇති වන අවස්ථාවකි. ඒ අර්ථයෙන්, ‘ප්‍රපංච’ යනු, මුඩු සංවේදනයකි. ජයන්ත ද එස්. ජයමුනිගේ ප්‍රපංච විද්‍යාව පිළිබඳ සිංහල අර්ථකතනයක් ලෙස සැළකිය හැකි ‘විද්‍යා විමුක්ති’ කෘතියට පෙරවදනක් සපයන සමන් පුෂ්පකුමාරගේ සමස්ත වියමන ම ප්‍රපංචවේදී ය. මෙම කෘතිය අලුත් අදහසක් යෝජනා කළ බව සිතා එය බෙදා හැරීම භාර ගත්තේ ද පැරණි X සාමාජිකයෙකි. සමන් තම පෙරවදන හරහා ප්‍රපංචවේදයන් කිහිපයක් එකට කලතා (MixologyAt its most basic, mixology is another term for mixing drinks[philosophy] or bartending [writing] and a mixologist[philosopher] is another term for a bartender or bar chef[Thinker]. However, mixology is generally accepted as a refined and in-depth study of the art and craft of mixing drinks[Philosophical Trends].) ප්‍රපංච විද්‍යා කොක්ටේලයක් නිර්මාණය කරන අතර ඊට ජිජැක්ගේ අර්ථකතනය (ජිජැක් වනාහී ව්‍යුහවාදය විප්ලවයක් සේ සලකන්නෙකි) අදාළ වන්නේ ම නැත.

                          මම දැන් මුඛ්‍ය ගැටලුවට ප්‍රවේශ වෙමි. ‘X දේශපාලනය සහ X දේශපාලනය පිළිබඳ කතිකාව’ යැයි සංඥාර්ථවේද දෙකක් ලංකාවේ තිබේ. දෙවැන්න යනු, X දේශපාලනය නොවේ. කතිකාවෙන් [concept] මා අදහස් කරන්නේ, යමක නොවේ යන්නට අදාළ අදහස් පද්ධතිය යි. 

                           ‘‍ව්‍යුහවාදය’ සහ ‘ප්‍රපංචවේදය’ යනු, පැහැදිලි ලෙස ඥාණ-විභාගයන් දෙකකි. මින් වඩා හොඳ ඒක කුමක්දැයි පහදා දීම මගේ කාර්යය නොවේ. නමුත් මෙම ඥාණය ලබා ගැනීමේ ක්‍රම දෙක අතර ඇත්තේ, පැවසිය නොහැකි පරතරයකි.  පසමිතුරුභාවයකි. [Antagonism]

                          මෙම ‘පසමිතුරුභාවය’ ප්‍රකට කරවන අදහසක් පැරණි X කණ්ඩායමේ සාමාජිකයෙකුගේ ලියවිල්ලක් හරහා අපි දැන් ඔප්පු කරන්නෙමු. 

            “ පුද්ගල තලයේ ගතහොත් චැප්මන් (ලෙනන්ගේ ඝාතකයා) ජෝන් ලෙනන්ව හඳුනා ගත්තා වගේ, සමාජ තලයක මෙය අපට නාසිවාදය තුළ සහ ජනවාර්ගික සමූලඝාතන තුළ දැකගත හැකි ය. ලැකාන් පුද්ගල විෂය-subject- වගේම සංකේත ලෝකයත් එනම්, මහා අනෙකාත් ඛණ්ඩනය වී ඇති බව පවසනවා. ඒ නිසා, සමාජීය ලෙස පවතින ‘විනෝදය’ තලයක් ද හඳුනා ගන්නවා. නාසිවාදීන් යුදෙව්වන් ලෙස හඳුනා ගන්නේ මේ සමාජීය විනෝදයෙහි තලය යි. පැරණි X කණ්ඩායම මෙම සමාජීය විනෝදයේ (මා නොවිඳින අන් අය විඳිතැයි අපේක්ෂා කරන දෙය- සටහන මගේ) තලය හඳුනා ගන්නේ, පළමුව ගැමියන්, දෙවනුව ස්ත්‍රීන් සහ තෙවනුව මානසික රෝගීන් වශයෙනි”.

                       

                      ව්‍යුහවාදී ආකෘතියකින් ඉහත X  සමාජිකයා ලියා ඇති දේ ප්‍රශ්න කරන්නේ නම් අප ඇසිය යුත්තේ, ලැකාන් තමන්ගේ කුමන සම්මන්ත්‍රණයකදී (Mostly ඔහු ලියා නැති නිසා) ඉහත අදහස් ප්‍රකාශ කර තිබේ ද කියා ය. ‘විනෝදය’ දේශපාලන ප්‍රවර්ගයක් කරනු ලැබුවේ ස්ලාවෝජ් ජිජැක් මිස ජාක් ලැකාන් නොවේ. 

                          එසේ නම්, අප ඉහත X  සාමාජිකයාගේ ප්‍රතිචාරය හඳුනාගත යුත්තේ කෙසේද? ප්‍රපංචවේදය හරහා එය කදිමට වටහා ගැනීමට හැකි ය. ඔහු මේ කියන්නේ ඔහු විශ්වාස කරන X කණ්ඩායම ගැන ඔහුගේ අත්දැකීමකි.

                             ඉහත X කණ්ඩායමේ පැරණි සාමාජිකයා X දේශපාලනය සමඟ ලද ඔහුගේ ‘අත්දැකීම’ ප්‍රාථමික කර එහි අන්තර්ගතය ඔහුගේ ජීවන ලෝකයෙන් පුරවා දමයි. ඔහුගේ ඥාණයේ ‘ආකෘතිය’ අත්දැකීම වන විට එහි අන්තර්ගතය ‘මනෝවිද්‍යාව’ බවට පරිවර්තනය වෙයි. ඔහු නොතකා හරින සාධකය කුමක්ද? ‘අත්දැකීම’ යනු, ‘හැඟවුමක්’ (Signified) මිස හැඟවුම්කාරකයක් (Signifier) නොවන බවයි. ‘ව්‍යුහවාදය’ යනු, හැඟවුම්කාරකය නොහොත් තම ආත්මය (Subject) ගැන කතා කිරීමයි. ඔහු එතැනදී දැඩි ලෙස නිශ්ශබ්දය. ඔහු ‘අත්දැකීම’ අව්‍යාජ කරන විට තමන්ගේ ආත්මය X දේශපාලනය හරහා ලද විනෝදය (රහසිගතව ස්ත්‍රියක් සමඟ ආශාවෙන් වෙලීම) සඟවා දමයි. මේ හේතුව නිසා, ඔහු යටත් වීම, වහලෙකු වීම ගැන බාහිරින් පෙන්වන මුත් ඔහු X හරහාම ලද විමුක්තිය සහ ආශාවට වහල් වීම හරහා ලද නිදහස ද නිශේධනය කරයි. එසේ නම්, සත්‍ය ඇත්තේ ව්‍යුහවාදය හෝ ප්‍රපංචවේදය යන දෙකම තුළ නොව ඒ අතරමැද ය. විනෝදයෙන් [pain] පළා යාමට ඇති මාර්ග දෙකක් ලෙස ප්‍රපංචවේදය සහ ව්‍යුහවාදය සලකන්නේ නම් ව්‍යුහවාදය පමණක් චින්තන විප්ලවයක් වන්නේ කෙසේද?

                               පැරණි X සාමාජිකයා ලැකාන්ගේ ව්‍යුහවාදී සංකල්පයක් වන ‘විනෝදය’ තම විඥාණ අත්දැකීමක් බවට පරිවර්තනය කරන්නේ මන්ද? ‘විනෝදය’ අත්දැකීමක් නොව භාෂාව නිපදවන අතිරික්තයකි. අනෙක් පසින්, අප ගවේෂණය කළ යුත්තේ ලංකාවේ මිනිසුන් ‘අත්දැකීම’ සාරාත්මක අන්තයක් දක්වා රැගෙන යන්නේ මන්ද යන කාරණය යි. නමුත් ව්‍යුහවාදයට අනුව භාෂාව සාරයන් නිපදවන්නේ නැත.  

-Deepthi kumara  Gunarathne

|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

ඔබේ අදහස කියන්න...