[dropcap color=”red”]දැ[/dropcap]න් කාලයක පටන් ගල්කිස්ස උසාවියේ අබලන් තාප්පය අසල බෝඩ් ලෑල්ලක් සවිකර තිබේ. තාප්පය අබලන් බැවින් ප්‍රවේසම් වන්න! මේ බෝඩ් ලෑල්ල දකින අය කරන්නේ අබලන් තාප්පය මගහැර යාමයි. කිසිවකුටත් තාප්පය අබලන් නිසා එය පිළිසකර කළ යුතු යැයි සිතෙන්නේ නැහැ. හැමෝම සිතන්නේ අබලන් තාප්පය තමන්ගේ හිස මතට කඩා නොවැටී වෙනත් ඕනෑම අයෙකු මතට කඩා වැටුනාට කමක් නැති බවයි. ඒ නිසා තාප්පය අබලන් බව දැන දැනම තමා අතට තම හිසමය සෙවනැල්ල යන පිරුල පරිදි හැමෝම තමන්ගේ පුද්ගලික ආරක්ෂාව තම තමන් විසින් සලසා ගන්නට කටයුතු කරයි. දෛනික ජීවිතයේ අප විසින් පොදු සමාජ ගැටලු පෞද්ගලිකව කල්පනා කර අපට වැඩක් නැහැ යැයි සිතා තමන්ගේ පාඩුවේ ජීවත් වන තත්ත්වයක් මේ වන විටත් උදාවී ඇත. සංවර්ධනයේ නාමයෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ සහ අගනුවර ජනාකීර්ණ ප්‍රදේශ වල පැල්පත්වාසීන් එලවා දමන විට වාමාංශිකයන් කරන්නේ කුමක්ද?

ඒ බහුතරයක් අය එක්කෝ මේ ජනතාවගේ ඡන්දයට ඇති කෑදරකමින් හෝ තමන් වාමාංශිකයන් යැයි තන්ටම ඔප්පු කරවා ගන්නට ඔන්න බලන්න රාජපක්ෂ ධනපති ආණ්ඩුව විසින් ජනතාවට සළකන විදිහ යැයි කියමින්  කෑ මොර දෙනව. ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ පීඩිත ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පේටන්ට් අයිතිය ඇත්තේ තමන්ට පමණක් යැයි රටට කියා පාන්නට මෙන් මේ ප්‍රශ්ණය තමන්ගේ කර ගන්නවා. අවසානයේ සිදු වන්නේ ජනතාවට උන්හිටි තැන් අහිමිව පාරට බහින්නට සිදුවන විට අපි ඔයාලා වෙනුවෙන් අරගල කළා අපිට බේර ගන්න බැරි වුනා ඒ නිසා මෙවර මැතිවරණයේ දී අපට ඡන්දය දෙන්න අපි මේ ක්‍රමය වෙනස් කරන්නම් යැයි  ඒ අයට කියන්නට සිදුවීම පමණයි නේද?

මේ පීඩිත පංතියේ ජනතාවම තමන්ගේ නිවාස ඩෝසර් කරන විට ජ.වි.පෙ කියන ඕනෑම දෙයක් දේව වාක්‍ය වශයෙන් පිළි ගන්නා බව අගවනව. ඒ නිසා ලාල්කාන්ත සහෝදරයා හිතනව මේ පාර මහඇමති ධූරය තමන්ට ලැබේවි යැයි කියලා. ( මේ අය මේ ආකාරයෙන්ම තමයි ජාතිවාදී මිලිටරි සරත් ෆොන්සේකාව දේශපාලනයට ගෙනෙන්ට කටයුතු කලේ) හැබැයි පළාත් සභා මැතිවරණයේ දී අවංක,නිහතමානී.ජනතාවාදී,දූෂණයට විරුද්ධ,සමානාත්මතාවයට ගරු කරන,විප්ලවාදී, සිංහල ජාතියේ එකම ගැලවුම්කරුවා වන ජනතා විමුක්ති පෙරමුණ පරාජයට පත් කර වංක,උඩගු,අන්ත පුද්ගලවාදී,දූෂණයට භීෂණයට සම්බන්ධ,මැරයන්ව,පාදඩයන්ව,නිළියන්ව,නළුවන්ව,කුඩු කාරයන්ට ඡන්දය දෙනව.

ඇයි මේ චක්‍රය මේ විදිහටම දිගින් දිගටම සිද්ධ වෙන්නේ ජ.වි.පෙ මේ ගැන දන්නේ නැද්ද? නැහැ ජ.වි.පෙ මේක සිද්ධ වෙන්නේ මේ විදිහටමයි කියලා හොදටම දන්නව. එහෙම නම් ඇයි ඒ අය දේශපාලන වේදිකා වල විවිධ සටන් පාඨ කියමින් කෑ ගහන්නේ. කවුද මෙතනදී රැවටිලා ඉන්නේ? ඒ කියන්නේ ජ.වි.පේ පරිකල්පිත සමාජය සහ යථාර්ථවාදී සමාජය කියන්නේ දෙකක් කියලා ඒ අය හොදටම දන්නව. ඒ බව දැන දැනත් ඒ අය ඒ ගැන දන්නෑ වගේ හැසිරෙන්නේ කොහොමද? ඒකට තමයි නරුමවාදය කියන්නේ. දැන් අපි හිතමු අපි මේකට නරුමවාදය කියලා දාර්ශණිකව නම් කරනව. දැන් ප්‍රශ්ණය විසදෙනවද? නැහැ සිද්ධ වෙන්නේ මෙච්චරයි. ජ.වි.පෙ නරුමවාදී බව කියන්නට අපි දන්නව. ඒ කියන්නේ අපි කරන්නෙත් ජ.වි.පෙ නරුමවාදී බව දන්නා නමුත් නොදන්නා ආකාරයෙන් නැවත නරුමවාදීව ජ.වි.පෙ නරුමවාදය මතු කිරීම නේද? ඒ කියන්නේ එතනදී අපි ජ.වි.පෙටත් වඩා නරුමවාදී කියන එකද? දැන් ප්‍රශ්ණය ටිකක් සංකිර්ණයි නේද?

ඒ කියන්නේ තාප්පය අබලන් බව අපි හැමෝම දන්නව. ඒත් අපි හැමෝම කරන්නේ අබලන් තාප්පය අපේ ඔලුවට කඩා වැටෙන එක වලක්වා ගන්නට දගලන එක නේද? කාටවත් ඇත්තට උවමනාවක් නෑ නේද අබලන් තාප්පය ප්‍රතිසංකරණය කරන්න. අපි වර්ථමානයේ ජීවත් වන ධනවාදී සමාජය කියන්නේ ඇත්තටම මේ වගේ අබලන් තාප්පයක්. ඒක පිළිසකර කරන්නට වෙර දරණ අයට අපිට කියන්න පුලුවන් ධනවාදය හොද බව පිළිගන්නා නමුත් එහි අඩු පහඩු පිළිසකර කළ විට ප්‍රශ්ණයට පිළිතුරක් ලැබේවි යැයි සිතන සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් කියල. ඒත් අපේ ගැටලුව ඊට වඩා සංකීර්ණයි නේද? ඇත්ත ප්‍රශ්ණය තියෙන්නේ තාප්පය අබලන්ද නැද්ද කියන එකේ නෙවි. තාප්පය විසින් ජනතාවගෙන් වෙන්කරලා ආරක්ෂා කර ගන්නට හදන්නේ මොකක්ද කියන එකයි. ඒ ආධිපත්‍ය,බලය සහ අසමානාත්මතාවය තමයි අපි වෙනස් කළ යුත්තේ. අධිකරණයකින් අපි බලා පොරොත්තු වෙන්නේ යුක්තිය සහ සාධාරණත්වයි. සැමට සමාන ලෙස සැලකීමයි. නමුත් වර්ථමානයේ තාප්ප වලින් වටකොට දැඩි ආරක්ෂාව මධ්‍යයේ  පවත්වා ගෙන යන අධිකරණ වලින් කෙරෙන්නේ කුමක්ද? මේ හැම තැනම තියෙන්නේ යුක්තිය සහ සාධාරණත්වය වෙනුවට අයුක්තිය සහ අසාධාරණය නේද? අපි ජීවත් වන සමාජ ක්‍රමය කියන්නෙත් මේ වගේම යථාර්ථයක්. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අධිකරණය ආරක්ෂා කරන තාප්පය වගේ එකක්. ඒ වුනත් ඇත්තටම අබලන් වුන තාප්පය ප්‍රතිසංස්කරණය කරනවට වඩා වැදගත් වන්නේ අධිකරණ පද්ධතියම වෙනස් කිරීමයි. ඒ නිසා තමයි තව දුරටත් මහින්ද රාජපක්ෂ එළවලා රනිල් වික්‍රමසිංහ,චන්ද්‍රිකා හෝ ෆොන්සේකා බලයට පත් කරලා වැඩක් නැහැ කියන්නේ. ධනවාදය වෙනස් කරන්න ඕන කියලා අපි කියන අර්ථය මේ වගේ එකක් ඒ නිසා අපිට අබලන් වුන ප්‍රජාතන්ත්‍රවාදී තාප්පය ප්‍රතිසංස්කරණය කරන්න නම් මේ තරම් මහන්සි වෙන්න අවශ්‍ය නැහැ.

මේ දවස් වල මුහුණු පොතේ අන්දෝලනාත්මක සිදුවීම් දෙකක් ගැන විවිධ කතා යනව. එකක් තරුණියක් සහ තරුණයෙක් නිවෙස් වලින් තමන් ගේ ආදරයට බාධා පමුනුවන නිසා සියදිවි නසා ගැනීමට තීරණය කර තරුණයා මිය ගිය පසු තරුණිය ජීවිතය බේරාගෙන පළායාමයි. අනෙක් සිදුවීම එක්තරා තරුණියක් පාසලේ පහසුකම් ගාස්තු රුපියල් පන්සියයක් ගෙවාගත නොහැකිව ගෙලවැලලා ගෙන මිය යාමයි. මේ ගැන ලියන කියන අය බොහෝ කතා කියනව. ආඩම්බකාර තාත්තා ගේ දරුවන් රේස් පදින විට අනෙක් දරුවන්ට මිය යන්නට සිදුවන බව කියනව. ඒත් මේ ගැටලුව අපිට මහින්ද රාජපක්ෂ නිසා සිදුවන ගැටලුවක් යැයි කියන්නට පුලුවන්ද? අපි ජීවත් වෙන්නේ ධනවාදී සමාජයක කියන එක ගැන පුංචි හරි අවබෝධයක් තියෙන කෙනෙක්ට වැටහෙනව මේක රාජපක්ෂ ආණ්ඩුවේ වරදක් නෙවි ගෝලීය පරිමාණයෙන් ධනවාදය තුළ අධ්‍යාපනය මුහුණ පා ඉන්න ගැටලුවක් බව. මේ ගැටලුව ඇත්තටම ගැටලුවක් ද කියා සිතන්න නම් අපට අප්‍රිකාවේ ඇතුලු වෙනත් දුගි රටවල දරුවන් දෛනිකව මුහුණ දෙන ගැටලු ගැන සිතන්නට වෙනව. ඒ රට වල දරුවන් දෛනිකව දහස් ගණනින් මිය යන්නේ කුසට අහරක් නැතිවයි. ඒ අය අධ්‍යපනය කියා දෙයක් ගැන දන්නෙවත් නැහැ. ඒ අයට ඇති එකම ප්‍රශ්ණය කුස පුරවා ගන්නේ කොහොමද කියන එක විතරයි. ඒ අර්ථයෙන් ගත් විට ලෝක ගෝලයේ එක් අර්ධයක දරුවන් කුසට අහරක් නොමැතිව මිය යනව. තවත් තැනක දරුවෙක් අධ්‍යපනය ලබා ගන්නට මුදල් නැති නිසා මිය යනව. තවත් දියුණු ධනවාදී රටක දරුවෙක් පරිගණක ක්‍රිඩාවකට අනවශ්‍ය ලෙස ඇබ්බැහි වීම නිසා සියදිවි නසා ගන්නවා. එවැනි දරුවෙක්ට ඇත්තේ අධ්‍යපනය ගැන අතිරික්ත වටිනාකමක්.

අනිත් කාරණ දිහා බැලුවහම එතන තියෙන්නේ වෙනත් ප්‍රශ්ණයක්. හැම කෙනෙක්ටම තියෙන ප්‍රශ්ණය තමයි ඇයි අර ගෑනු ළමයා සියදිවි හානිකර නොගෙන ජීවිතය බේරා ගත්තේ කියන එක. ඇත්තටම ඒ ළමයා ජීවිතය බේරා ගත්ත එක ඉතා හොද වැඩක් නේද? අඩුම තමේ ඒ දරුවගේ ජීවිතය හරි බේරුණා. හැබැයි යළි සමාජ ගත වුනාට පස්සේ ඒ දරුවට අහන්න වෙන්නේ මොකක්ද? මේන්න ඉන්නව බොරුකාරියක්.මේකි ජීවිතේ බේර ගත්තා. අර මෝඩයා නිකම් මැරුණා. ගැනූ කියන්නේ ජරා ජාතියක්. කාලකන්නි හැත්ත. මේ ගැන දැන ගන්න ඒ ගැන ලියවෙන ගොසිප් කොමෙන්ට් කියවන්න. හැමෝම අශා කරන්නේ මිනී මරන්න නේද? හරියට ‘සයිකෝ’ ච්ත්‍රපටියේ ‘නොමන් බේට්ස්’ එක්ක අපිත් මිනී මැරුමට අවිඥාණකව සම්බනධ වෙනවා වගේ නේද? එක්තරා අවස්ථාවක ‘මේරියන් ක්‍රෙන්’ ගේ මළ මිණිය සහිත කාර් රථය මඩ වගුගේ නොගිලි තියෙන විට අපිත් හිතින් ඒක ගිල්වන්න්ට (අවිඥාණකව) උත්සහ කළා වගේ නේද? කාර් රථය නොපෙනී යන විට අපිත් මිනී මරුවා සමග අනන්‍ය වී මිනී මරුවන් බවට පත් වෙනවා නේද? ඒ වගේම අපට මෙහිදී ඇති ගැටලුව අර තරුණිය මිය නොයාම නිසා අවිඥාණකව මිනී මරන්නට අපට ඇති ආශාව  ඉෂ්ඨ නොවීම නිසා ඇති වන ගැටලුව නේද? ඒ නිසා නේද අපට උතුරේ දෙමළ වැසියන් හතලිස් දහසක් මරා දමා රතිඥ්ඥා පත්තු කර කිරිබත් කන්නට පුලුවන් වෙන්නේ. ( මේ වැඩේට සම්බන්ධ වුනේ ජනතා විමුකති පෙරමුනේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දැනට ඉන්න සාමාජිකයන් ) ඒ නිසා අපි කොහොමද මේ ප්‍රශ්ණ එකකට එකක් ගලප්පවා ගන්නේ. දෛනිකව වාමාංශිකයන් විදිහට අපි අපේ අරමුණ ධනවාදය වෙනස් කිරීම යැයි කියමින් කෑ මොර දෙමින් අපි විප්ලවාදී යැයි ලෝකයට හඩගා කියන්නට උත්සහ කළත් පවතින සමාජ ක්‍රමය වෙනස් කිරීම කියන කාරණය කෙතරම් සංකීර්ණයිද කියන එක ෆේස්බුක් විප්ලවාදීන්ට වටහා ගන්නට පුලුවන්ද? ඒ නිසා මේ යුගයේ දී සැබෑ විප්ලවාදියෙක් වෙන එකට වඩා හොද දාර්ශණිකයෙක් වෙන එක පහසු කටයුත්තක් නෙවිද?

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ඔබ කියන උසාවි සම්බන්ද කාරණාව මටත් දැනී තිබෙන කාරණාවක්..බැද්දෙගම නවකතාවෙදි සිළිඳු කියන බයියා උසාවියෙදි නිකංම නිකං අවලංගු කාසියක්..නඩුකාරහාමුදුරුවොත් කලු කොට් කාරයොත් ප්‍රශ්ණ අහනකොට බයවෙලා එහෙයි මොඩල් එකෙන් උත්තර දෙන්න වෙනවා. ඒ වෙලාවෙදි සියයට අසූවක් දුප්පත් අහිංසක මිනිස්සු බයවෙනවා..
    *නඩුකාර උන්නාන්සෙලාගේ නීතිඥයින්ගේ ආරූඩකරගත් නාටකීය ස්වරූපය..
    *උසාවියක තිබිය යුතුයැයි සලකනු ලබන මහා ගරුතර ස්වභාවය..
    *උසාවියේ කතාකරන බාසාවෙහි පවතින නොතේරෙන ස්වභාවය..
    ආදිය නිසා ඇත්තක් කියන්න යන අහිංසක මනුස්සයට ඇත්ත අමතක වෙලා අර උසාවිය කියන නාට්ටියට ඕනි වෙන දෙබස් කියන්න සිද්ද වෙනවා..
    මේ දෙබස් දිහා බලල නඩුකාරය කියල වාඩිවෙල ඉන්න පිළිමෙ විසින් දෙන තීන්දු අපි උත්තරීතරයි කියල විස්වාස කරනවා..
    සරලව හිතුවොත් අර කඩන්වැටෙන්න යන තාප්පෙන් වටවෙලා තියෙන තැන මිනිස්සුන්ට දුරයි වගේම ඒ උසාවි වලිං ගන්න තීරණත් සාමාන්‍ය මහපාරෙ ඇවිදං යන මිනිස්සුන්ගෙන් බොහොම දුරයි..

Comments are closed.