දශක තුනක පමණ කාලයක් කොමියුනිස්ට් නිෂ්ටාව කුමක්දැයි න්‍යායිකව සහ ප්‍රායෝගිකව ගවේෂණය කළ වාමාංශික සහෝදරයෙකු, පසුගිය දිනක අප වෙත පැමිණ පහත ගැටලු තුන සඳහා විසඳුමක් ඉල්ලුම් කළේය. ටිල්වින් සිල්වා, පුබුදු ජාගොඩ, සිංහල-බෞද්ධ සහරාන්වාදීන් වැනි වාමාංශික වෛද්‍යවරුන් හමු වී ඇති ඉහත සහෝදරයා, ඔවුන්ගේ පිළිතුරු වලින් තෘප්තිමත් වී නැත. ඔහුගේ සංගත ගැටලු තුන පහත සඳහන් වෙයි.
1.කොමියුනිස්ට් ක්‍රමය දක්වා යන ගමනේ දී මතවාදී අරගලයක් අවශ්‍ය ය. එය කුමක්ද? එහි හැඩය කුමන ආකාරද ?
2.රාජ්‍ය බලය හුවමාරුව සිදුවන්නේ කෙසේද? සංක්රමණීය අවධිය ආරම්භ වන්නේ රාජ්‍ය බලය ලබා ගැනීමෙන් පසුවද? පෙරද?
3.රජය අහෝසි වන ආකාරයට රාජ්‍ය ව්‍යුහය සකස් කර ගන්නේ කෙසේද?
මා මුලින්ම ඉහත සඳහන් සහෝදරයාට ප්‍රකාශ කරන ලද්දේ, ඉහත ප්‍රශ්න තුනට උත්තර දැනටමත් ඔහු සතු බවයි. ඒ නිසා, ඊට උත්තර දීම වෙනුවට, යළිත් එම ප්‍රශ්න තුනම පෙරළා ඔහුගෙන් මම ඇසුවෙමි. දේශපාලන අධ්‍යාපනයේ දී, මූලික ප්‍රතිරෝධය එන්නේ අවිඥාණයෙනි. අප යමක් ඉගෙන ගන්නා විට, එය වළක්වන්නේ අප තුළම ඇති ස්වයං-බාධාවකි. අපි උදාහරණයක් ගමු.
2005 වර්ෂයේ දී අපගේ සංවිධානය ප්‍රතිසංවිධානය කරන විට, දෛවය විසින් එහි න්‍යෂ්ටිය බවට පත් කළ පුද්ගලයා විසින් පහත් ආකාරයේ පූර්ව නිගමනයකට එළඹ සිටියේය.
“මෙතනදි ජවිපෙට නැති සමාජ සම්බන්ධයක් අපට මුණ ගැසෙනවා. එනම්,දැනුම අනෙකාට ලබා දීම පිළිබඳවයි. මේ දේශපාලන අවකාශය හරහා සංවිධාන අවකාශයට අයෙක් එන්නේ සමාජ ප්රශ්නවල ආධිපත්‍යයට යටත්වෙලා නොව දැනුමේ ආධිපත්‍යයට යටත්වෙලා”.
ඉහත ප්රකාශනයේ යටිපෙළ වන්නේ, ඔහුට සංවිධානය ගැන පැවැති පූර්ව අගතිය යි. ඔහුට අපගේ සංවිධානයේ අලුත් ජානය වටහා ගැනීමට ඉඩ නොදෙන්නේ මෙම පූර්ව-අගතිය යි.
‘දැනුම’ යනුවෙන් ඔහු හඳුනාගෙන ඇත්තේ ආධිපත්‍යය යි. නමුත් ඔහු අමතක කරන්නේ, අනෙකා පිළිබඳ ආධිපත්‍යය යි. ඒ අනුව, ඔහු දැනුමේ ආධිපත්‍යයට වඩා සමාජ ගැටලුවල ආධිපත්‍යය උසස් කොට සලකයි. දැනුම/ සමාජය යන සහසම්බන්ධ ප්රතිපක්ෂයේ ඔහු අමතක කරන්නේ, මැද ඇති පොල්ලයි. මෙම පොල්ලෙන් ගම්‍ය වන්නේ, මිනිසුන් සමාජයට ක්‍රම ක්‍රමයෙන් අවතීර්ණ වන විට, ඔවුන්ට තමා තුළින්ම ස්වයං-බාධාවක් හෝ තහංචියක් වැටෙන බවයි. සරලව කිවහොත්, මිනිසුන් පවුලෙන් සමාජයට එන්නේ තෘප්තිය නිෂ්පාදනය කර ගන්නට නොව, අතෘප්තිය හෝ මර්දනය සහතික කර ගන්නටයි. ඒ අනුව, කිසිදු මර්ධනයක් නැති සමාජ අවකාශය යනුම හිතළුවකි. ‘දැනුම’ යනුවෙන් අපගේ සංවිධානය අදහස් කරන්නේ, ‘විනෝදය’ සහතික කරන දැනුමක් නොව විනෝදය විවේචනය කරන නැතහොත් අවිඥාණක දැනුම විචාරය කරන දැනුමකි. එසේ නැතිව සවිඥානක දැනුමක් නොවේ. වසර 15කට පසු ඔප්පු වී ඇත්තේ, දැනුම යනු විචාරයක් මිස විනෝදයක් නොවන බවයි.
කොමියුනිස්ට්වාදයට වැටී ඇති 21 වැනි සියවසේ මාවත යනු, අතෘප්තිය යි. සමකාලීන දැනුම අන්තර්ජාලය නිසා ලැයිස්තුගත වෙමින් පවතී. සමහරු ‘දැනුම’ පිළිබඳ ලැයිස්තු පළ කිරීමෙන් පවා තෘප්තිමත් වෙති. දැනුම තෘප්තියේ සාධකයක් වන විට අනුභූතියට සිදු වී ඇත්තේ කුමක්ද?
ධනවාදය පිළිබඳ විවේචනයට යම් සංයුක්ත ඉතිහාසයක් ඇත. එය ආරම්භ වූයේ,19 වන සියවස අගභාගයේ දී ය. මාක්ස්වාදය අනුගමනය කරන ලද්දේ ද මෙම විවේචනය යි.
A) පළමු විචාර මාදිලිය– මෙමඟින් යෝජනා කරන ලද්දේ, සමාජ අසාධාරණය යි.-Social injustice – සම්පත් අසමානව බෙදී යාම, ධනය එකතැනක රැස්වීම. 20 වැනි සියවසේ මුල සිට රුසියානු විප්ලවය දක්වා ධනවාදී විවේචනයේ කේන්ද්‍රීය ලක්ෂණය වූයේ අසාධාරණය යි.
B) දෙවන විචාර මාදිලිය– මෙමඟින් යෝජනා කරන ලද්දේ, සමාජ මර්දනය යි. –Social repression is the act of controlling, subduing or suppressing people, groups and larger social aggregations by interpersonal means.– ඔක්තෝබර් විප්ලවයට පසුව යුරෝපය පුරා පැතිරී ගිය රැල්ල වූයේ, මර්දනයට එරෙහි ව්‍යාපාරය. ඒවා බොහෝමයක් සංස්කෘතික ව්‍යාපාර වූයේ ඒ නිසා ය. එහි මූලිකයන් වූයේ, ෆ්රෑන්ක්ෆර්ට් ගුරුකුලය සහ යුරෝ කොමියුනිස්ට්වාදය යි. එනම්, ධනවාදය විසින් ආශාව සහ ශරීරය මර්දනය කරයි. ඒවා සතු නිර්මාණශීලීත්වය විනාශ කරයි. බුර්ෂුවා පවුල, අධ්‍යාපනය, රාජ්‍යය, පල්ලිය යන ආයතන මිනිසාගේ නිදහස් චින්තනය මර්දනය කරයි. මෙම විචාර මාදිලිය 1968 ට පසු අවසන් විය.
C) තෙවන විචාර මාදිලිය– මෙමඟින් යෝජනා කරන ලද්දේ, නිදහස්වාදය යි. –Freedom– තහංචිවලින් තොර සමාජය යනු , නිර්මාණශීලී සමාජයකි. ඒ අනුව, විප්ලවය යනු, ආශාවන් සහ ශරීර නිදහස් වන්නට ඉඩ දීමයි. මෙම සංවාදයේ තරමක විසංවාදයක්, 70 දශකය මුලදී මිචෙල් ෆූකෝ විසින් නව තීසිසයක් මඟින් ප්‍රකාශයට පත් කරන ලදී. මෙම තත්ත්වය ඇත්තටම, දෙවන අවධියම රැඩිකල් කිරීමක් මිස අලුත් ප්‍රවාදයක් නොවීය. ෆූකෝට අනුව, ‘බලය’ විසින් ආශාව මර්දනය කරනවා නොව එය නිෂ්පාදනය කරයි. මෙම ප්රවාදයට අනුව, ‘දැනුම බලයක් නොව’ ආශා කරන්නට ඉගැන්වීමකි. ලිංගිකත්වය 1968ට පසු නිදහස් වන්නේ, මෙම කතිකාවට අනුව ය. යම්කිසි අනාගත පරිපූර්ණ තෘප්තිමත් ජීවිතයක් යෝජනා කිරීම යනු , දැන් ධනවාදී ව්‍යාපෘතියේම කොටසකි. නමුත් අප දැනගත යුත්තේ, මිනිසාගේ අතෘප්තිය ‘තෘප්තියක්’ බවට පත් කිරීමට කිසිදු විප්ලවයකට නොහැකි බවයි. අතෘප්තිය ජය ගැනීම සඳහා බැස්ටිලයට පහර දීම හෝ වසන්ත මාළිගාවට පහර දීම පහසු කටයුත්තක්.
ධනවාදය පිළිබඳ අලුත් ගැටලුව වන්නේ, එය අතෘප්තිය කේන්ද්‍ර කරගත් එකක් වීමයි. ලිංගික විප්ලව, ජාතිකත්ව තෘප්තිය, පාරිභෝගික භාණ්ඩ විචාරය යන මේ කිසිවකට ධනවාදය ඉක්මවා යාමට නොහැකිය. අවිඥාණයේ සමකාලීන ආකෘතීන් ලිංගික ගැටලුවලින් සහ පුද්ගලභාවයෙන් මිදී ඇත. අද දිනයේ අවිඥාණය යනු, වාරණය යෝජනා කරන කතිකාව මිස නිදහස යෝජනා කරන්නක් නොවේ. නිදහස යන්න ද ධනවාදී ව්‍යාපෘතියේම කොටසකි. ‘නිදහස’ යනු සමකාලීන යුගයේදී පුළුල්ම පළා යාමකි.
-දීප්ති කුමාර ගුණරත්න-
-2020.02.28 වන දින සිරිමල් විජේසිංහගේ කෙටිකතා සංග්‍රහයට අදාළව සිදු කිරීමට නියමිත දේශනයේ කටු සටහන-