subject and object

 

මේ මොහොත වන විට  මහබැංකුව විසින් නිකුත් කරන බැඳුම්කරයන්ට අදාල ගනුදෙණු වලට සහභාගී වූ මුල්‍ය ප්‍රාග්ධන හිමියන්ව අත්අඩංගුවට ගෙන ඇත. මහ බැංකුවේ බැඳුම්කරයන්ට අදාළ ගනුදෙනුව පිළිබඳව බොහෝ පුරවැසියන්ට සහ දේශපාලකයන්ට ඇත්තේ පවත්නා සමාජ ක්‍රමය ගැන නොදැනුමකි. මෙම ලිපියේ අරමුණ වන්නේ මෙම නො-දැනුම පිළිබඳව න්‍යායික අර්ථකථනයක් සැපයීමය.

           ධනවාදී සමාජ ක්‍රමයක අත්තිවාරම වන්නේ භාණ්ඩ නිෂ්පාදනයයි. භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා මුදල්, ශ්‍රමය සහ වෙළඳපොළක් අවශ්‍යය. ධනවාදී සමාජයක් ඊට කලින් හෝ ඊට පසුව පැවැති සමාජයන්ගෙන් (සමාජවාදය) වෙනස් වන්නේ ඊටම ආවේණික භාෂ්ඩ නිෂ්පාදන ක්‍රියාවලිය නිසාය. ධනවාදී භාණ්ඩ නිෂ්පාදනයේදී එක්තරා මූලික කොන්දේසියක් වන්නේ ලාභයක් සහිතව විකිණීම සඳහා භාණ්ඩ නිෂ්පාදනය කිරීමයි. ලාභයක් නැති භාණ්ඩ නිෂ්පාදනය කිරීම ( සේලයින්, සහල්, අධ්‍යාපනය, සෞඛ්‍යය) ධනවාදී සමාජ -ක්‍රමයක් තුළ සමාජ ගැටළු නිෂ්පාදනය කරයි.  ධනවාදය ඊට පූර්වයෙන් පැවැති සමාජ-ක්‍රම වලින් වෙනස්වන අති මූළික සාධකය වන්නේ ශ්‍රමයයි. ධනවාදය තුළදී අන් සියළු භාණ්ඩ සේම ශ්‍රමයත් මුදල් වලට මිළට ගැනීමට හැකි වෙයි. ඊට කලින් ශ්‍රමය මිළට ගැනිම එතරම් සමාජ බලවේග වර්ධනය වී නැත. අප මේ දක්වා සකච්ඡා කළ කරුණු වලට අනුව මුදල් වලට භාණ්ඩ නිෂ්පාදනය කරන විට ශ්‍රමය තිරණාත්මක වැඩ කොටසක් සිදු කරයි.

                       20 වැනි සියවසේ බිහිවූ සියළුම වාමාංශික සංවිධාන ෆැක්ටේරියේ ලාභ සහිතව භාණ්ඩ වෙළඳ පොළේ විකිණීමට නිපදවන නිසා “සත්‍ය” ඇත්තේ නිෂ්පාදන ක්‍රියාවලිය ( ෆැක්ටේරිය තුළ) තුළ බව ට විශ්වාස කළේය. බොරුව, මායාව, රැවටීම ඇත්තේ හුවමාරුව සහ පරිභෝජනය තුළදී බවට බොහෝ වාමාංශියන් සහ සමාජ -ප්‍රඡාතන්ත්‍රවාදීන් විශ්වාස කරයි. 20 වැනි සියවසේ බොහෝ මාක්ස්වාදී න්‍යායවේදීන් හිර වුයේ ඉහත පරස්පරය තුළය. සරලවකිවහොත් ෆැක්ටෙරියතුළ ශ්‍රමය සූරාකන ශ්‍රමිකයාව වෙළඳපොළ බලවේග සතු සංස්කෘතික තර්ක මඟින් මුලා කරයි. පුවත්පත්වල සිට ප්‍රගතිශීලීන් දක්වා පුළුල් පරාසයක පිරිසක් විවේචනය කරන්නේ වෙළඳපොළ මඟින් මෙහෙය වන සංස්කෘතියේ බොල් බවයි.

මිනිස් ශ්‍රමයද මිළට ගෙන ලාභයක් තබාගෙන භාණ්ඩ වෙළඳපොළේ විකිණීමට උත්සහ කිරිම ධනවාදයේ සම්මත ප්‍රවේශයයි. මෙසේ කිරිමට හැකියාවක් තිබෙන සමාජවලට අප ධනවාදී යයි කියන්නෙමු. මුදල් යොදා වෙළඳපොළේ ලාභයක් තබා විකිණීමට හැකි භාණ්ඩ නිෂ්පාදනය කිරීමට උත්සහ කිරීම මුදල්වල දෘෂ්ටියෙන් බැලු විට ඔට්ටු ඇල්ලීමකි.  එය පුද්ගලික සූදුවක් නොව සමාජයීය සූදුවකි. මේ සමාජීය සූදුව අප මේ ජීවත් වන සමකාලීන සමාජයේ සැබෑ අත්තිවාරමයි.  එසේ සූදු කෙලින්නේ නැත්නම් මේ සමාජය බිඳවැටීමට ලක්වෙයි. අප එසේ කියන්නේ මන්ද?

දැනට අප දන්නා පරිදි මහපාරේ දුවන BMW මෝටර් රථය මිනිස් ශ්‍රමයෙන් නිර්මාණය කළ උසස් ගුණාංග සහිත පාරිභෝගික භාණ්ඩයකි. මෙහි ලාභය BMW සමාගම ලබා ගන්නේ ඔවුන්ගේ කර්මාන්ත ශාලාව තුළ යයි බොහොමයක් වාමාංශීකයන් පරිකල්පනය කරයි. නමුත්  BMW සමාගම තම අතිරික්ත ලාභය ලබා ගන්නේ BMWමෝටර් රථයක් කිසියම් ගැණුම්කරුවකු මිළට ගත්තාට පසුවය. සමාගමේ ලාභය තහවුරු වන්නේ ගැනුම්කරුවාගේ ඩොලර් මුදල සමාගමෙ ගිණුමට නිෂ්කාශනය වූ පසුවය. ශ්‍රමය සූරාකෑමක් ෆැක්ටරිය තුළ සිදු වුවත් ශ්‍රමයේ තැරැව්කාර බලය රදා පවතින්නේ නිෂ්පාදනය තුළ නොව පරිභොජනය තුළය. වෙළෙඳපොළ වඩ වඩා ප්‍රසාරණය වන විට ශ්‍රමය මත පදනම් වූ වෘත්තීය සමිති ව්‍යාපාරය හැකිලී ගියේ මේ නිසාය.

                 දැන් අපි “ප්‍රාග්ධනය”යනු කුමක්දැයි දනිමු. ප්‍රාග්ධනය යනු භාණ්ඩ විකිණීමේදී මිනිස් ආත්මය සමාජය දෙසට යොමු කරන සූදුවක ඵලයකි. “ප්‍රාග්ධනයේ” වඩා දියුණු අවස්ථාවක් වන්නේ භාණ්ඩ නිෂ්පාදනයෙන් විතැන්වී මුදල් වලින් මුදල් මැවීමයි.  මුදල් වලින් නිෂ්පාදනය නොකර මුදල් වලින් මුදල් මැවීම සමපෙක්ෂණයයි. (Speculation). මුදල් වලින් මුදල් මවන ප්‍රාග්ධනයට අප කියයන්නේ මූල්‍ය ප්‍රාග්ධනය (බැංකු) (Finance capital) කියාය.  ලංකාව වැනි රටක් භාණ්ඩ නිෂ්පාදනයය කරන්නේ නැති තරම්ය. නැතිනම් නිෂ්පාදනය කරන්නේ පාඩු ලබමින්ය. මේ හේතුව නිසා ලංකාවේ සමාජ ආධිපත්‍යය දරන්නේ නිෂ්පාදන ප්‍රාග්ධනය නොව වාණිජ හො මූල්‍ය ප්‍රාග්ධනයයි. සරලව කිවහොත් ලංකාවේ හුවමාරුව බිහි කරන්නේ සහ වටිනාකම් නිපදවන්නේ මූල්‍ය ප්‍රාග්ධනයයි.  නිෂ්පාදනය නොකර ලාභ ලැබීමට නම් මුදල් වලින් මුදල් මැවිය යුතුය. එතැනදී මෙම අලුත් ලාභ ක්‍රමය නියාමනය කළ හැක්කේ රාජ්‍යයටයි. සරලව කිවහොත් මූල්‍ය සමාජ ධනයේ නියාමකයා රටේ මහ බැංකුවයි.

            ලංකාව වැනි රටක මුදල් වලින් මුදල් මැවීමට අවශ්‍ය“ප්‍රාග්ධනය” හිඟය. එසේ වන්නේ ලංකාවේ මූල්‍ය වෙළෙඳපොළ වාණිජ බැංකු මඟින් සහ පොළීකාරයන් විසින් පාලනය කරන නිසාය. සරලව කිවහොත් ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ප්‍රජාතන්ත්‍රවාදී නැත. ඒවා බැංකුවල සහ පොළීකරුවන්ගේ සිල්ලර වෙළදාමට පමණක් සීමා වී ඇත. ලංකාවේ බැඳුම්කර (2015) සිද්ධියට අදාළ වන්නේ එහි ප්‍රාග්ධන වෙළඳපළ ඒකාධිකාරී නිසාය. ඒ තුළ විශ්වාසයක් නැති නිසාය.  මේ නිසා මහ බැංකුව විසින් ප්‍රාථමික ගැනුම්කරුවන්  අවම මට්ටමකට සීමා කර ඇත. එය ලංකාවේ රාජ්‍ය ස්වභාවයයි. එහි ස්වභාවය හැඩ ගස්වා ඇත්තේ සමාජයේ පංති ව්‍යුහය විසිනි.  එහිලා තවත් සාධක ද එකතු වී ඇත. එක පැත්තකින් කුල සහ ආගම් භේදයන්ද, අනිත් පැත්තෙන් ලෝකයේ අතිශයින්ම දිළිඳු වූත්, ප්‍රජාතන්ත්‍රවාදී වූත් මැතිවරණ දේශපාලනයේ බලකිරීම්ද වෙයි. තවමත් අප රට තුළ ඇත්තේ මූල්‍ය ප්‍රාග්ධනය පිළිබඳව සාදාචාර මිණුම් දඬු පමණී.

                  රාජපක්ෂ ආණ්ඩුව චීනයේ මුල්‍ය ප්‍රාග්ධනය සඳහා 2010 ට පසු දොර අරින ලදී. මින් සිදු වූයේ එතෙක් රටේ පැවැති පන්ති ව්‍යුහය විඛාදණය කරමින් පහළ පන්ති අතට මුදල් ලැබීමයි.  එමඟින් බැංකු  වලින් ණය ගැනීම අඩු වූ අතර පොළී අනුපාතිකය සාපේක්ෂව පහත වැටී කලු සල්ලි හරහා දේපොළ වෙළඳාම ඉහළ ගියේ ය.  2015 දී අගමැතිවරයා  මීල පීඩනය අඩු කිරිමට සහ පැරණි පන්ති ව්‍යුහය යළි පුනර්ජීවනය කිරිමට බැඳුම්කර ගනුදෙනුව හරහා උත්සහා කළේ ය.  එමඟින් ඉහළ පන්ති අතට ප්‍රාග්ධනය අවශෝෂණය වූ අතර, බැංකු පොළිය ඉහළ ගියේ ය.  කෙටියෙන් කිවහොත් මුදල් හිඟවිය. UNP ය ඡන්දය කරා යොමු වන්නේ මෙවැනි මොහොතකය.  දේශපාලනයට මේ යුගයේ සාදාචාර බලපෑමක් නැත.

-දීප්ති කුමාර ගුණරත්න-

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here