නිද්‍රාවෙහි ගැලී සිටින්නකු සිහිනයෙන් වැස්සක් දකිමින් සිටී. නින්දෙන් අවදි වන ඔහු දකින්නේ වැස්ස සිහිනයක්ම පමණක් නොව එළියේ ද වහින බවය. තමා සිහිනෙන් දුටු වර්ෂාව සහ එළියේ වැස්ස අතර සබඳතාවක් වේ යයි ඔහුට කල්පනා වේ. එය සයිකෝසික තත්ත්වයකට පාර කැපීමකි. එනම් තමාගේ පරිකල්පනයන් සමඟ බාහිර යථාර්ථය සමපාත වේ යයි ගැනීමය. පසුගිය සතියේ අප නැවතුණේ එතැනය.

Torture
Torture

 

සංකේතිකය භාෂාව හරහා අපගේ ශරීර තුළට පිවිස ඒවා අප වෙනුවෙන් සංවිධානය කරන පිළිවෙළ අප හැදෑරිය යුත්තේ එම සන්දර්භය තුළය. එය මැදිහත්කරුවකු වෙමින් අප තුළ නීතිය පිහිටුවයි. සංකේතික පැවැත්ම තුළ මේ නියාමයේ වරප‍්‍රසාද ලත් ඒජන්තයකු වේ යැයි ලැකාන් කල්පනා කළේය. ඔහු එය පියාගේ නාමකරණය (Name-of-the-Father) යනුවෙන් හැඳින්වීය. විසිවන සියවසේ මුල් භාගයේ සිටි මානව විද්‍යාඥයන් පෙන්වා දී ඇති පරිදි පුරාතන සමාජවල සිටි ස්ත‍්‍රියක ගැබ් ගන්නේ ලිංගික සම්භෝගයෙන් නොව පූජනීය කඳුකරයක දී හෝ දිය උල්පතක දී හමුවන භූත බලවේගයන් මඟින් යයි විශ්වාසයක් විය. සියවස් ගණනාවක් තිස්සේ දරුවන් වැදීමෙන් පසුවත් සම්භෝගය සමඟ ඊට ඇති සබඳතාව ඔවුන්ට නොදැනුණේ කෙසේද?

ලැකාන්ට අනුව මෙකී පුරාතන නොවැටහීම පීතෘත්වයේ සැබෑ ව්‍යුහය ප‍්‍රකට කරයි. ඒ අනුව සැබෑ ප‍්‍රජනකයා සහ පීතෘත්වයේ සංකේතික කාර්ය අතර වෙනසක් ඇත. භූත බලවේගය සහ පූජනීය අවකාශය උත්පාදනයේ සංකේතික සන්දර්භයේ අංග ආකෘතිගත කරයි. සංකේතනය කිරීමේලා එය අවැසිය. එමඟින් එකී පුද්ගලයාගේ ලෝකයෙන් කොටසක් නිර්මාණය වේ. එබඳු සන්දර්භයකින් තොරව තමන් ජීව විද්‍යාත්මක ක‍්‍රියාවලියන් ආරම්භ කර ඇති බව වටහා ගැනීමට මානවයා අසමත්ය.

පුරුෂයකුට සහ ස්ත‍්‍රියකට දරුවන් ලැබෙන විට තුන්වන අංගයක් ද සම්මුඛ වේ. එය එන්නේ භූත බලවේගයක්, පූජනීය අවකාශයත් අභිචාරමය හෝ වෛද්‍ය විද්‍යානුකූල කරුණක් සහ උත්පාදන (Reproduction) ක‍්‍රියාවලිය අර්ථානුකූල කරන සමාජ කතිකාවක් විය හැකිය. පුරාණෝක්ති සහ පුරා කතා කියවන විට අපිට හමුවන්නේ යම් ස්ත‍්‍රියක දරුවකු වැදීමට පෙර ඉන්ද්‍රජාලික මාළුවකු ඇගේ මුව තුළට ගමන් කළ බවට පුවතකි. එය මාංශ සහ රුධිරය පිළිබඳ කාරණයට එහා ගිය මිථ්‍යා මතික නියෝජනයක් අඟවයි.

මෙම ආකෘතිය තුළ පියාගේ ස්ථානය කවරාකාර වේද යන්න පිළිබඳ ලැකාන් බෙහෙවින් උනන්දු විය. එනම් සැබෑ මස්, ලේ සහිත ප‍්‍රජනනයා නොව එබඳු ගර්භනී වීම් සහ මාතෘත්වයේ අවස්ථාවට එළඹෙන සංකේතික ස්ථානය පිළිබඳවය. ඔහු මාතෘත්වයේ නිසැක බවට වෙනස් ලෙස පවතින පීතෘත්වයේ වියුක්ත ස්වරූපය කෙරේ අවධානය යොමු කළේය. ”පීතෘත්වය සෑමවිටම අවිනිශ්චිතය” යන පැරණි කියමන අනුව පීතෘත්වය යනු සංකේතික පිළිගැනීමට වඩා අවම ලෙස ජීව විද්‍යාත්මක සාධක ඉල්ලා සිටින්නකි. බොහෝ සංස්කෘතීන් අනුදක්නා පරිදි නෛතික පියා තමාගේ දරුවන්ගේ උත්පාදකයා නොවීම පීතෘත්වයේ එකී අශාරීරික කෘත‍්‍රිම කාර්යභාරය ප‍්‍රතිරාවය කරයි. මෙම සංකේතික ස්ථානය නොයෙක් විට මානුෂික නොවන රූපයකි. එය දෙවියන් සහ අද්භූත සත්වයන් ආශ‍්‍රිතව ජනකතා සහ පුරාණෝක්ති තුළ නියෝජනය වන කිසිවකු හෝ කිසිවක් විය හැකිය.

ළමා කල ඇති භීතිකා පිළිබඳ අධ්‍යයනය කිරීම මෙතන දී වැදගත්ය. පියාගේ කාර්යභාරයට අදාළ ස්ථානය පිළිබඳ සංකල්ප වර්ධනය කිරීම උදෙසා ලැකාන්ට එමඟින් ඉඩ ලැබිණි. භීතිකා (Phobias) කාණ්ඩ දෙකකට බෙදෙයි. එනම් ඉක්මනින්ම පහ වී යන තාවකාලික භීතිකා සහ නිර්මාණය සහ ගොඩනැගීමට අදාළ ක‍්‍රියාවලියක තහවුරු වූ භීතිකා වශයෙනි. ෆ්‍රොයිඞ් සාකච්ඡා කළ පුංචි හෑන්ස්ගේ කතාව (Case of Little Hans) මීට නිදසුනකි. හෑන්ස්ට අශ්ව භීතිකාව වැලඳෙන විට ඔහුට අවුරුදු තුන හමාරකි. විපර්යාසයන් ගණනාවක් ඔස්සේ එය පැවතිනි. හුදකලා සාධකයකින් (අශ්වයා) ආරම්භ කර තම ජීවිතයේ සියලූ කාරණා ඇතුළත් වියරණයක් ඔහු සම්පාදනය කළේය. ඒ අනුව අශ්වයාට එක්කෝ සැපිය හැකිය. නැත්නම් නොහැකිය; බිම වැටෙන්න හෝ කෙළින් සිටීමට හැකිය; රියකට බැඳිය හැකිය නැත්නම් නොහැකිය ආදී වශයෙනි. හෑන්ස් කරන්නේ බිය එළවන වස්තුව (අශ්වයා) තමාගේ උපකරණය සේ ගනිමින් ඒ හරහා තමා කළ යුතු හෝ නොකළ යුතු දේ පිළිබඳ තහංචි පනවා ගැනීමෙන් ස්වකීය ලෝකය යළි පිළියෙල කර ගැනීමය. භීතිකාව පහව ගිය කල ඔහුගේ කාංසාව අවම වේ.

දැන් ප‍්‍රශ්නය නම් මේ බිය උපදින්නේ කොතනින්ද යන්නය. හෑන්ස් තම ජීවිතයේ දී අවස්ථා දෙකක දී විමතියට පත් විය. එනම් මුල්වරට තම ලිගුව ඍජු වීම සහ කුඩා සහෝදරිය ඉපදීමය. මේ අනපේක්ෂිත ක්ෂතිමය අවස්ථාවන් තම ජීවිතය තුළට කඩා වැදීම ඔහු තේරුම් ගත්තේ කෙසේද? තම මව සමඟ පැවති වසඟකාරි සබඳතාවට එම සිදුවීම් මහත් සේ බලපෑවේය. දැන් ඇගේ පුංචි ආදරවන්ත කොලූ පැංචාට පුරුෂ ලිංගයක් තිබේය යන කරුණ ඇය බරපතළ දෙයක් සේ නොගත්තාය. අනෙක් අතට අලූත උපන් දැරිය නිසා ඔහු ඇගේ අවධානයේ කේන්ද්‍රයෙන් දුරස් විය. මේ නිසා මව සමඟ පැවති සබඳතාව නැවත තක්සේරු කර ගනිමින් තමා සඳහා වෙනත් ස්ථානයක් සොයා ගැනීමට ඔහුට සිදු වී තිබිණි. මේ සඳහා ඔහුට පියාගේ උපකාරය අවැසි විය. එහෙත් ඔහු වූ කලී තම භාර්යාවට බලපෑම් කළ නොහැකි විදියේ දුබලයෙකි. සැබැවින්ම තම භීතිකාව බේරුමක් කරගෙන වැඩි කල් යන්නට පෙර ඔවුහු දික්කසාද වූහ.

හෑන්ස්ගේ රෝග ලක්ෂණවල ක‍්‍රියාකාරිත්වය කුමක්ද? ලැකාන්ට අනුව එය වූ කලී සැබෑ පියා (Real Father = ශාරීරික පියා) තමාව පහත් කර තිබුණ අවස්ථාවක පියාගේ සංකේතික කාර්යය ඉටු කරන මෙන් ඉල්ලා සිටි ආකාරයකි. තමාගේ ලෝකය යළි පිළිවෙල කර ගැනීම සඳහා අවැසි ශක්තිමත්, බිය උපදවන සුලූ රුව තම පියා නොව අශ්වයා විය. භීතිකාව නිර්මාණාත්මක ක‍්‍රියාවලියකි. ඉන් පෙන්නුම් කළේ හෑන්ස් පියාගේ නාමකරණය ඉල්ලා සිටීමේ යුහුසුළු වූ බවය. පියාගේ ක‍්‍රියාවලිය තුළින් මව සමඟ වූ ඊඩිපස් සබඳතාව සහ ලිඟුව ඍජු වීම මඟින් සිදු වූ වධකාර වෙනස්කම් පසුකර යාමය. මේ ක‍්‍රියාවලියේ ඵලය වන්නේ නව සංකේතීය ආකෘතියක් තුළ ලෝකයේ තමාට හිමි අලුත් ස්ථානය ලබා ගැනීමය.

ලැකාන් පියාගේ නාමකරණය යන යෙදුම භාවිතයෙන් පියාගේ සංකේතික වියමන හඳුන්වා දෙයි. එනම් මනුෂ්‍ය සබඳතාවලට පිළිවෙළක් හඳුන්වා දීමට නම් බාහිර බලවේගයක් අවශ්‍ය බවය. එය මස් ලේ ඉක්මවා ගිය සංකේත රෙජිස්තරයේ පිහිට වූ කිසිවකි.

tatoo 2

නව හැවිරිදි ජෝයි නමැති දරුවාගේ පුවතින් ද අනාවරණය වන්නේ එකී ක‍්‍රියාවලියයි. එම දරුවා ආබාධිත දරුවන් සඳහා වූ මධ්‍යස්ථානයක වසර ගණනාවක් ගත කළේය. ඔහුට අවුරුදු හතරේ දී ළමා නිවාසයක ගත කරද්දී තමා අවට වූ කිසිවක් පිළිබඳ අවධානය යොමු කළේ නැත. ඔහු කළේ අහස් යානයක අවර තටු මෙන් දෙඅත් විහිදුවාගෙන එහෙ මෙහෙ දිවීමය. ඔහුට විදුලි පංකාවක් හමු වීමෙන් පසු ඉන් ඔහු වෙන් කිරීම අපහසු විය. ඉන් මුදවාගත් වහාම ඔහු කළේ පෙර පරිදි දෙඅත් තටු මෙන් විහිදුවාගෙන දිවීමය.

මෙම අපූර්ව හැසිරීමෙහි මූලාශ‍්‍රය කුමක්ද? විදුලි පංකා ගැන ඔහුගේ උනන්දුව මුල් වරට පැන නැගී ඇත්තේ ගුවන් තොටුපළේ දී තම පියා පිටත්ව ගිය හෝ ආපසු පැමිණි අස්ථාවකය. මින් දුරස්ථ කරුණකට වූයේ ඔහුගේ මව ජෝයිගේ පියා හා විවාහ වීමට පෙර ගුවන් සටනකින් මිය ගිය තැනැත්තකු සමඟ පේ‍්‍රමයෙන් පසුවී තිබීමය. බ‍්‍රෑනෝ බෙත්ලෙහම් නම් විශ්ලේෂකයා අනාවරණය කරන පරිදි පියාට ඇති සබඳතාව අවර තටු කෙරේ ඔහුගේ ඇලීම මඟින් ප‍්‍රකට විණි. ඉන් ඉතා පැහැදිලි වන්නේ මෙහි දී ඔහුට වැදගත් පියා පුද්ගලයකු ලෙස නොව ක‍්‍රියාවක් වශයෙන් වීමය. කෙසේ වෙතත් සංකේතික මානය සඳහා වූ ජෝයිගේ ආයාචනය මෙහි දී අසමත් වේ.

දරුවකුට තම පියා වීරයකු බවට පත්වන කාල පරිච්ෙඡ්දයක් ඇත. එහෙත් එය විපර්යාසයකට බඳුන් වීමට නියමිතය. එලෙස විපර්යාසයට පත්වීමේ තර්කය කුමක්දැයි මීළඟට විමසා බලමු.    

 සමන් වික‍්‍රමාරච්චි

 

 

ඔබේ අදහස කියන්න...