අනුව දශකයේ මුල්ම හරියේ ලංකාවේ දකුණේ කලබල කෙමෙන් සිඳී යමින් පැවති  සමයේ  කිසියම් කරුණකට ලංකාවේ සිටියෙමි. ඒ අතර මගේ හිතවතෙකුගේ අවශ්‍යතාවයකට  එවකටපැවති  රජයේ ඇමති මට්ටමේ ප්‍රබලයෙකු හමුවීමි.  (ඔහු දැන්
ජිවතුන් අතර නැත) ඔහු සමග ආයෝජන  ප්‍රවර්ධන කලාපයේ කම්හලකට ගියේ මගේ හිතවතාට එම කම්හලේ නිපදවන භාණ්ඩ අපනයන කිරීමට අවශ්‍ය වූ බැවිනි. ඇමති මට්ටමේ ප්‍රබලයාට ඒ පැත්තේ කම්හල් හිමියෝ ඉමහත් ගරු කළහ. පිට රටින් ගෙන්වන නිමි ද්‍රව්‍ය අඩු බදු මුදලකට පාස් කර ගැනීම වැනිදේ ඔහු ලවා කරවා  ගත හැකි වුනු අතර, රජය සම්බන්ධ ප්‍රශ්න හා ඕඩර් ලබා ගැනීම්  සඳහාත් ඔහු ඔවුන්ට උදව් කළේය. මට අවශ්‍ය කාර්යයට එම කම්හලට ගිය පසු ඔහු තමන්ගේ “කට් ” එක ගැනීම සඳහා වෙනත් ගාමන්ට් එකකට ඇතුළු විය. එහි අයිති කරුද ඔහු හඳුනයි.  “කට් ” එක සමග තවත්  “කට් ” එකක් ද ඔහු පැජරෝවට රැගෙන ආවේය. ඒ සත්‍යජිත් මාඉටිපේ ගේ  “බොරදිය පොකුණ” හි මංගලා මෙන් එහෙත්  එතරම් උස නැති අවුරුදු දහහතක දහඅටක   ඉතා පියකරු යුවතියකි. ඔහු කීවේ “ඇයට ලිෆ්ට් එකක්” දෙන බවකි. නමුත් කලාපයේ සිට කොළඹ පැමිණි පසු ඔහු තරු 5 හෝටලයක් ළඟ රිය නැවැත්වීමට අණ දුනි. රියදුරුට මා පෙන්වා “මේ මහත්තයාගේ   ගේ ගාවින් බස්සන්න ” යයි පවසා,  පියකරු යුවතියව පැජරෝවෙන්  බස්සවා  ගත්තේය. ඇය මදෙස බැලූ  බියමුසු විලාසයත් ඇගේ  අතේ ඇඟිලි වෙව්ලු ආකාරයත් පැහැදිලිව දුටිමි.   ඉන් පසු එන ගමනේදී ජීප් රථයේ සිටි ඔහුගේ ආරක්ෂකයන් සමග කතාවට වැටුනෙමි.
“මහත්තයාට ගාමන්ට් පැත්තේ ගියාම ඒවල  ලොක්කෝ හොඳට සලකනවා, අලුතෙන් හොඳ  කෑල්ලක්  ආවොත්  මහත්තයට එන්නත් කියනවා.” එතකොට මේ එහෙම ළමයෙක්ද යයි විමසීමි. වඩාත් දොඩමලු වූ ඔහුත් අනිත් අරක්ෂකයාත් පැවසුවේ ඔහු මාස  දෙක තුනකට වතාවක් අලුතෙන් එන යුවතියක රැගෙන හෝටලයකට යන බවයි. ඒ යුවතියන් යන්නේ ඔවුන්ගේ කැමැත්තෙන් නොවේ. ඔවුන්ට බල කරන නිසාවෙනි.
නැතහොත් ලැබුන රස්සාව දමා  ගෙදර යා  හැකිය. ඉන්පසු ආරක්ෂා අංශ  සමාජිකයා  පැවසුවේ “එහෙම කෑලි  මහත්තය ගෙන් පස්සේ අපටත් සෙට් වෙනව (හෙවත් තර්ජනය කර සෙට් කර ගන්නවා යනුවෙනි)” පස්සේ උන් කොල්ලෝ සෙට් කර ගත්තත් කොල්ලට කියනවා කියල බය කලහම එනවා පට්ට වේ***යෝ. ඔවුන් පට්ට වේ**** වන්නේ කෙසේ දැයි මම නොඇසුවෙමි. නමුත් මගෙත් ඒ දේශපාලනයට සම්බන්ධ තැනැත්තා ගේත්  සම්බන්ධය එතනින් අවසන් කලෙමි.
ලන්ඩනයේ අගෝරා කලා කවය සංවිධානය කල බොරදිය පොකුණ නැරඹීමට පසුගියදා  ගියෙමි.  එහි ගෝතමී (කෞශල්‍යා ප්‍රනාන්දු) තමන් රහසේ ආදරය කරන විපුල (දුමින්ද ඩි සිල්වා)  ලබා ගැනීමට ඔහුගේ පෙම්වතිය මංගලා (දිලානි අබේවර්ධන )  දෙන පෙම් ලිපි නොදී ඔවුන් විරසකයකට යොමු කරයි. ඉන්පසු ඒ පිලිබඳ දුකින් ගොළු හදවතේ මෙන් බි වෙරිවී සිටින බොළඳ පෙම්වතා වන විපුල හමුවීමට ගොස් ඔහු සමග ලිංගිකව  හැසිරෙයි.  ඔහු නොලැබෙන අවස්ථාවල රැයේ  ස්වයං වින්දනය සඳහා රහසේ යොමු වෙයි.මේ අවස්ථාවේ මා  ළඟ හිඳගෙන සිටි  චිත්‍රපටිය පටන් ගත් තැන සිට නිතර තම බිරිඳ සමග  විස්තර ප්‍රචාරය කරමින් සිටි සැමියෙක් මෙසේ කියනු අසා සිටියෙමි. “පට්ට වේසි, ඌම (විපුලව) අල්ල ගන්න ඕනෙද? පව්  අර අහිංසක කෙල්ල මංගලා,  අර ගෙදර ඉන්න අනිත් කොල්ලට  (සුරන්ජිත් – ගයන් ලක්රුවන් ) කියල කර ගත්ත නම් මොකද “.  විවේකයෙන් පසු චිත්‍රපටියේ  දෙවන භාගයේ සත්‍යජිත් මාඉටිපේ ඉතා සුක්ෂම ලෙස මංගලා  රහසේ සුරන්ජිත් සමග ඇති කරගත් සම්බන්ධය හෙළි කරයි. අර සැමියා හා බිරිඳ නිහඬ වුනේ එතැන් සිටය.
දීප්ති ගුණරත්න විසින් සංස්කරණය කල “හිස්ටීරියාව” පොතේ මෙසේ දැක්වෙයි.
“ෆ්‍රොයිඩ් මෙසේ පැවසුවේය. ‘තමා ආදරය කරන්නා  අහිමි වීම නිසා තමාට අහිමි වුනේ
කවුදැයි යන්න වැළපෙන්නා  විසින් දන්නා මුත්, එසේ වීමෙන් තමාට අහිමි වුයේ කුමක්ද යන්න ඔහු නොදනී.’ ෆ්‍රොයිඩ් විසින් ‘කුමක්ද’ යන්නෙන් සලකුණු කළේ  ඉහත අභිරහස මානසික ඒජන්සියක් බවයි. ආදරයට ලක් වන්නා යනු පුද්ගලයෙක් බව ඇත්ත මුත්, ඊට ප්‍රථමව ඒ අපේ අවිඥානයේ ම ‘කොටසකි’.”

මෙම විශ්මිත ‘කොටස’, මෙම අහිරහස් ‘වස්තුව’  පිලිබඳ ගැටලුව ලැකාන් විසින් නොවිසඳූ අතර, ඔහු එයට “object a ” ලෙස සලකුණක් යෙදුවේ ය.  මෙහි විශ්මිත, අභිරහස්මය ස්වභාවය යනු අන් කිසිවක් නොව සංකේතනයේ අසමත්වීමට පසුව මුණ ගැසෙන, යථ  තුල ස්ථාන ගත කෙරෙන අතිරික්ත ප්‍රමෝදයයි; යථට අදාලව සංකේතනයේ ප්‍රමෝදයයි; යථට අදාලව සංකේතනයේ ශේෂයයි, මෙය ආදරය කරන්නාට, එනම් විෂයට හෝ අනෙකා –ට අයිති දෙයක් නොවේ. මෙය සරලව කියන්නේ නම් ආදරය කරන්නාගේ ශරීරයේ ශෘංගාර කලාපයක් ප්‍රමෝදයට පත් වන විට එම ශෘංගාරයේ ශරීර කොටස ප්‍රමෝදයට පත්වෙමින් ආදරය ලබන්නාගේ ‘කොටසක්’ හා බැඳේ, එනම් අනෙක් අතට කීවොත් මගේ ආදරයට පාත්‍ර වන්නා විසින් මගේ ශරීරයේ කොටසක් මට අහිමි කරයි; එය මගේ ආදරයට පාත්‍රවෙන, යථාර්ථය තුල සිටින පුද්ගලයාට  අයිති නොවන අතර මටද අයිති නැත. එම පුද්ගලයා යනු විෂයේ ෆැන්ටසිය තුලින් විෂය කරා  එන හුදු ආධාරකයක් පමණි.
-හිස්ටිරියාව පිටුව 374

ගොතමිගේ ජිවිතයේ යථාර්තය දිග හැරෙන මේ චිත්‍රපටිය දිග වැඩි බවක්ද පැවසිනි. අනවශ්‍ය දර්ශන කීපයක්ම සත්යජිත්ට කපා  හැරීමට අවකාශ තිබිණි. බටහිර රටවල
පැය  එකහමාරේ චිත්‍රපටිය නරඹන සිනමා ලෝලීන් ඉන් අනතුරුව අවන්හලකට රාත්‍රී  ආහාරයට ගොඩ වැදීම සුලභ දෙයකි. දිග චිත්‍රපටියක් වෙළඳ පලට නිකුත් කිරීම ඒ නිසා අවාසිදායකය.  නමුත් පැය  දෙක පසුකරයන  චිත්‍රපටි නැතුවා  නොවේ. “ෆිලිපිනෝ පවුලේ විකාශනය “නමැති චිත්‍රපටිය පැය  10 කි. “දස පනත ” චිත්‍රපටිය පැය  තුනකුත් විනාඩි 40කි.  සත්යජිත්ට අවශ්‍ය වී ඇත්තේ ගෝතමී රැකියාව පටන් ගත්  දා  පටන් ඇය  මුහුණ දෙන සිද්ධීන් ගේ විශ්ලේෂණයක් කිරීමට පාඨකයාට අවස්ථාව ලබා දීමට යයි සිතෙන බැවින් මේ මහා දිග කතාවට  එකඟ විය හැකිය.
එය එසේ බව ද සත්‍යජිත් පහදා  දෙයි.  මංගලා  හා විපුල ගේ ආදරයට සහය වන ගමන් ගෝතමී විපුලට රහසේ ආදරය කරන දීර්ඝ රූප  මාලා විපුල හා ගෝතමී ගේ අතර ඇතිවන ලිංගික සම්බන්ධයෙන් හා ගෝතමී  ස්වයං වින්දනය කිරීම  පෙන්වන රූප මාලාවෙන් සාධාරණය වෙයි. එසේම ඉන්දියන් චිත්‍රපටියක මෙන් සුභ අවසානයක් කිරීමට මෙන් යන දීර්ඝ රූප මාලා – එනම් ගෝතමී හා සැමියා ඩෙස්මන්ඩ්  (ධර්මසිරි බණ්ඩාරනායක) ගේ ආදර කතාව, ඔවුන් හදා ගැනීමට දරුවෙක් සෙවීම, දරුවා රැගෙන වාහනයකින් නැවත ඒම – කෙළවර වන්නේ ගෝතමී වැනිම වූ තවත් ගාමන්ට් කෙල්ලක් රථයේ හැපීමට ගොස් බේරී ඔවුන්ට බනින දර්ශනයකිනි. කදුළු වැගිරෙමින් ඈ  දෙස  බලා  සිටින ගෝතමී ප්‍රේක්ෂකයාට, ගෝතමී මුහුණ දුන් විෂම චක්‍රය ඒ ආකාරයෙන්ම ඉදිරියටත් වෙනත් ගැහැණියකටත්  මුහුණ දීමට සිදු වෙන බව දන්වයි. 

චිත්‍රපටයේ ඇතැම් තැනක ග්‍රාම්‍ය  වදන් භාවිතය ඒ ආකාරයෙන්ම දැකිය හැකිය.  සම්භාව්‍ය සිනමා හෝ වෙනත් කෘතියක එසේ නොවිය  යුතුයිද භාෂාව හැසිරවීම වඩාත් කලාත්මක විය යුතුයිද විවේචනයක් පවතී. සම්භාව්‍ය යයි කියා ගන්න දේශපාලකයන් සම්භාව්‍ය හා උගත් ජනතා නියෝජිතයන් සිටිය යුතු ව්‍යවස්ථා නීති රීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවක ප*** ඇතුළු ග්‍රාම්‍ය වදන්  භාවිතා කරන්නේ නම් යථාර්තවාදී රීතියෙන් බැහැර නොයමින් සත්‍යජිත් තම සිනමා කෘතියට  එවදන් එක්  කිරීමේ පාපයක් මම නොදකිමි. ඇරත් අතිශය ලෙස උද්වේගකාරී අවස්ථාවක ස්ව හැඟීම් අමු අමුවේ තලා  දමනා  වෙලාවක   අපේ වචන භාවිතය මෙසේ වේ යැයි කිව හැකිද? මා  දන්නා පරිදි විශ්වවිද්‍යාල  උපාධිධාරී යුවලවල් කුණුහරපෙන් බැන ගන්නා  සමයක, හාමුදුරුවරුන්, දේශපාලකයන්, පුජකයන් කුණුහරප කරනා සමයක, ගෝතමිලා කෝපය හා වේදනාව  ග්‍රාමය භාෂාවකින් පිට වීම වැළැක්විය හැකිද?

  ගෝතමිගේ ෆැන්ටසිය විපුලයි. ඇගේ  ෆැන්ටසියේ යථාර්තය දරුවකු ලැබී අනාථ  වීමයි. නමුත් ඒ යථාර්තයට ඇය  යට වුයේ නැත. මවකට කෙතරම් අපහසු වුවත් දරුවා හදා ගන්නට දී ඇය  නැවත  ජීවිතය සොයා ගියාය.

“ෆැන්ටසි සවිඥානික  හෝ පුර්ව  විඥානික (එනම් අපි ඒ කෙරේ අවධානය යොදවන්නේ නම් දැනුවත් විය හැකි ෆැන්ටසි ) ලෙස පැවතිය හැකි අතර ම ඒවා අවිඥානකවත් පවතියි. උදාහරණයක් ලෙස ෆ්‍රොයිඩියානු, “ළමයෙක් පහර කමින් සිටියි” යනුවෙන් වන සවිඥානිකෆැන්ටසියේ අවරෝධිත, දෙවන ස්වරුපය වන “මම මගේ පියාගෙන් පහර කමින් සිටිමි” යන්න පහරදීමේ-ෆැන්ටසියේ අවිඥානික ස්වරූපයයි.නිරන්තරයෙන් මෙවැනි අවිඥානික ෆැන්ටසි කර අපට ලඟා  විය හැක්කේ ‘අවිඥානය කරා ඇති ” ෆ්‍රොයිඩියානු ‘රාජකීය මාවත’ වන සිහින හරහායි.”
අනෙකාගේ ආශාවේ ප්‍රහෙලිකාවට පිළිතුරක් – හිස්ටිරියාව පිටුව 375

බෞද්ධ හැදියාව නමැති  ෆැන්ටසිය විනාශ වෙන නගරයේ සිට දරු ගැබ සහිත කාන්තාව (ගෝතමී)  සහල් පිරි නමන ශාන්ත භික්ෂුව නිරූපනය කරන්නේ දරුවා අවජාතක නොකරන ඇගේ සහෝදරියගේ හා සැමියාගේ අව්‍යාජත්වයද?

විපුල සමග එක්වීමෙන් දරුවකු පිළිසිඳ ගෙන ඔහුගේ යහළුවන්ගෙන් පට්ට වේ… නම් ගරු නාමය රැගෙන දරුවා බිහි කිරීමට ගමට යන ඇය නැවත පැමිණ මැද පෙරදිග යයි. එහිදී කතෝලික ඩෙස්මන්ඩ්  සමග යහළුවී නැවත ලංකාවේදී විවාහ වෙයි.  කතෝලික නම් දික්කසාද විය නොහැකි අතර දෙවන කසාදයක් කිරීමද කල නොහැක්කකි. නමුත් ඩෙස්මන්ඩ් මෙහිදී සම්ප්‍රදායට විරුද්ධව යයි? ඇය බැලීමට ඩෙස්මන්ඩ් ගේ පළමු කසාදයේ බිරිඳ ඩොරින් (වීනා ජයකොඩි?) පැමිණෙයි. ගෝතමී සිටින නිවසට  දරුවාගේ නඩත්තු මුදල් සොයා පැමිණෙන ඩොරීන් දැකීමෙන් ප්‍රලය වන ඩෙස්මන්ඩ් ගේ මව (චන්ද්‍රා කළු ආරච්චි ) ඇයට  “එක එකා සමග යන එකී”  හෙවත් “පට්ට වේ***”  සම්මානය ලබා දෙයි. ඇගේ අලුත ලැබුන  සුපිරිසිදු ලේලියගේ (ගෝතමී) ෆැන්ටසිය ආරක්ෂා කිරීමට මන්නයද  රැගෙන සටනට යයි.  අවාසනාවන්ත ලෙස  මේ අවුලේ ගොදුර වන තම මිනිපිරිය පිලිබඳ දුකට වඩා ඇගේ සමාජ තත්වය  වැදගත්ය.
කතාවේ මුල් හරියේ  වේ…ගේ  සිට  සුපිරිසිදු ලේලිය බවට පත් වීමේ  දයලේක්තික ප්‍රතිවිරෝධයේ සින්තසිය ගෝතමී නමැති පරිණත කාන්තාවයි.
මංගලා  හා විපුලගේ නිවසට යන ගෝතමී ඉන්පසු මුහුණ දෙන්නේ පියකරු යුවතිය හා කඩවසම් තරුණයා  අතර සිදුවිය යුතු  පරිපුර්ණ සාමය සතුට පිරි කසාදය හා මෙරිගෝ රවුමේ යමින් දරුවෙකු සමග සතුටු වන ලස්සන පුංචි පවුල් කැදැල්ලේ  ෆැන්ටසිය
නොවේ. විපුල සමග යහළුවී සිටිමින්ම  බෝඩිමේ මල්ලි සමග ද පෙම් සුව විඳ දරුවකුද ගබ්සා කර ගත්  මංගලා ගේ හා ඇය පිලිබඳ සත්‍ය දැනගත් විපුල අතර විවාහය නමැති ඛේදවාචකයයි.

චිත්‍රපටිය අවසාන  වන්නේ තවත් ගෝතමීලා හා මංගලා ලා මේ ක්‍රමය තුල   බිහි වන්නට වන්නට නියමිත බව පසක් කර දෙමිනි.

චිත්‍රපටියේ කෞශල්‍ය ප්‍රනාන්දුගේ ප්‍රතිභාපුර්ණ රංගනය  අති  විශිෂ්ටය. දුමින්ද ඩි සිල්වා හා දිලිනි අබේසුන්දර ද ඉතාමත් දක්ෂ ලෙස තම හැකියාවන්ගෙන් සහය දෙයි. ධර්මසිරි, වීනා, ගයාන්, ප්‍රියංකා, චන්ද්‍රා  , ලියෝනි  චාන්දනී, මෙන්ම  බෝඩිමේ ඇන්ටි රත්නාවලිද මේ දිගු චිත්‍රපටියේ සාර්ථක රංගනයක යෙදෙයි. 
කාලයකට පෙර ප්‍රසන්න විතානගේ ගේ “ඔබ නැතුව ඔබ එක්ක” චිත්‍රපටියේ යුද්ධයේ දරුණු පිඩාව විඳ  ජිවිතයෙන් පලා යන අහිංසක යුවතියගේකථාව  නැරඹුවෙමි. ඉන්පසු මලිත් හෑගොඩ ගේ “ඔබ නැතුව ඔබ එක්ක” චිත්‍රපටියේ සිය දිවි නසා ගැනීම පිළිතුරක් ලෙස නොගෙන දරුවා සමග සැමියා හැර යන කාන්තාව ගේ කතාව දුටුවෙමි. ඒ දෙකම අගනා  සිනමා කෘතීන්ය. පියකරු නොවීම නිසා ළමා කාලයේම කොන්වන, ප්‍රශ්න ඉදිරියේ පීඩා විදිමින් ජිවිතයට මුහුණ දෙන දිරිය ගැහැනියක ගෝතමී තුලින් දුටුවෙමි.   සත්‍යජිත් මාඉටිපේ තම මුල් සිනමා කෘතියෙන්ම සම්භාව්‍ය සිංහල  සිනමා කලාවේ තවත් පියවරක් තබමින් සාර්ථක සිනමා කෘතියක් නිර්මාණය කර ඇත. මේ පරම්පරාව සිංහල සිනමාව වඩාත් උසස් තලයකට ගෙන යනු ඇත. අපේ වාසනාවට අගතිගාමී මන්දබුද්ධික  කපන මණ්ඩලයක් දැන් නැත.

මේ චිත්‍රපටිය ලන්ඩනයේ  පෙන්වූ අගෝරා කලා  කවයට සතුටුයි.

Ajith Dharmakeerthi.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. මෙහි //මලිත් හෑගොඩ ගේ “ඔබ නැතුව ඔබ එක්ක” චිත්‍රපටියේ // නොව මලිත් හෑගොඩ ගේ “දැකල පුරුදු කෙනෙක් ” යනුවෙන් වෙනස් විය යුතුය.

  2. අගොර කලා කවය චිත්‍රපටිය පෙන්වීම ගැන සතුටුයි හා ඔවුන්ට ස්තූතියි.

Comments are closed.