පොල්කට්ටෙන් එපිටට 2016 මාර්තු 29 දා පැමිණි පසු
ඒ දිනය ඉතාමත්ම මතකයේ රැඳුනු දවසක් වූවා යැයි කිව හැකියි. නෙළුම් යාය උළෙලට එන ගමන්ම පොතේ වැඩෙත් කරලම යන්න අජිත්” කියල කිව්වේ ආදරණිය චූලානන්ද සමරනායකයන්ය . මේ ගැන මම කලින් ලිපියකද සඳහන් කළෙමි. ඔහු, නිශාන්ත පරණගම මල්ලි හා එකතුව, මා නෙළුම් යාය උළෙලේ සංවිධාන වැඩ කටයුතු අතරේ සිරවී සිටිද්දී පොතේ ලිපි තෝරා පොත මුද්‍රණය කිරීම ආදිය සංවිධානය කළේය. ධර්මසිරි බණ්ඩාරනායක නමැති සිනමා කලාවේ ප්‍රබලම පෙරටුගාමියෙකු ගේ සහයෝගය ලබා දී පොත එළි දැක්වීම සඳහා ස්ථානයක් සොයා ඒ කටයුතු කළේද චූලාමය.
මට තිබුණු වෙලාවේ මදකම දැනගෙනදෝ එදා දවස ගැන සහෘදයන්ට දැනුම්දෙමින් බ්ලොග් ලිපියක් ලීවේ කල්‍යාණ මිත්‍රයා සුමිත් කලනසිරිය. මේ පොඩි පහේ උත්සවය මෙහෙයවන්නට ඉදිරිපත් වුනේ අපේ ආදරණිය මිත්‍ර ඉවාන් පව්ලුෂා හෙවත් ප්‍රගීත් අනුරාධයි. සැබවින්ම එම කාර්යය ඔහු මැනවින් ඉටු කළේය.
ප්‍රගීත් අනුරාධ |
මේ සියල්ල වීඩියෝගත කළේ බිබිසියේ චමී මල්ලි නමින් අපි හඳුන්වන චමී දිසානායකය. වීඩියෝව මෙතනින් බලා ගත හැක. උත්සවයේ සියළුම ඡායාරූපයන් දක්ෂ ලෙස කැමරාවට හසුකර ගත්තේ ප්‍රසන්න මුදුන්කොටුව මල්ලිය. හඳුනා අවුරුද්දක් වත් ගත නොවුණු බ්ලොග් සහෘදයන් බොහෝ දෙනෙක් එතනට පැමිණ සිටීම මා දිරි ගන්වන්නක්ම විය. ඔබලා සැමගේ නම් මෙහි සඳහන් නොකලත් ඔබලාට මම හදවතින්ම ස්තූති කරන බව ඔබලා දන්නවා ඇතැයි සිතමි.
සුමිත් කලණසිරි |
මුලින්ම හැඳින්වීම කළේ සුමිත් කලනසිරියි. ගමේ සිට කොළඹ පැමිණි අජිත් ගම තවම හිතේ තබාගෙන ජිවත් වන බව කොළඹ ගමයා කියන නම භාවිතා කිරීමෙන්ම පැහැදිලි වෙනවා යයි ඔහු පැවසීය. මට සිතෙන්නේ මට එයට එකඟ විය හැකි බවයි. කුඹුක්කන් ඔයේ දියබුං ගසමින් නෑ හැටි, කමතක “සම්බෝලේ” සෙල්ලම් කරපු හැටි කවදාවත් අමතක වන දේවල් නොවේ. සම්බෝලේ සෙල්ලම් කරනවාට කියන තවත් නමක් නම් පොල්කටු කැඩීමයි. පොල් කටු ටික එක උඩ එක තබා බෝලෙන් ගසා කැඩීමෙන් පසු සියල්ලෝම දිව යති. තරඟයෙන් ඉවත් කිරීමට බෝලෙන් ඇඟට ගහන පාර ඉතා සැරය. සම්බෝලේ දෙනවා කියන්නේ මෙයටය. කොළඹ ළමයි මේ සෙල්ලම හැඳින්වුයේ ටින් කැඩීම ලෙසය. කොළඹ වඩා ලෙහෙසියෙන් සොයාගැනීමට හැකි හිස් ටින් වන නිසා විය හැක. දවා ලීමට ඇඟට ගහන පාරට කීවේ සබ්බුව දීම වැන්නකි.
චූලානන්ද සමරනායක |
ප්‍රධාන දේශනය කළේ. චුලානන්ද සමරනායකයන් විසිනි. ඔහු මුළු පොතම කියවා ඇති බව මට වැටහුනේ පහේ පන්තියේ කතාව මෙන්ම සෝවියට් දේශය ගැන ලියු අදහස් හා අත්දැකීම් ගැන ඔහු කළ අගය කිරීමෙනි.
පොල් කට්ටෙන් එපිටට පොත පිලිබඳ මුල්ම විවේචනය පැමිණියේ මගේ වැඩිමහලු සොහොයුරිය ගෙනි. ඈ පැවසුවේ ඉන්දියාවේ දී මියගිය දෙදෙනා ගැන මා සානුකම්පිතව ලියා නැති බවයි. මගේ අදහස වූයේ එතන තනිකරම තිබුනේ තරාතිරම් වාදයක් නිසා ඒ ගැන ලිවීමේදී සිදුවූ මරණය ගැන අනුකම්පාව අදාළ නොවන බවයි. ඇගේ දෙවැනි නිරීක්ෂණය මා රාජකීය විදුහලට යාමට අකමැති වූ බව දෙතැනක කියා ඇති බවත් එදා මම එතරම් එය ප්‍රශ්නයක් කර ගත්තේ නැති බවත්ය. මා රාජකීය විදුහලට අකැමති වූයේ නැති අතර විරුද්ධ වූයේ සිටි පාසැලෙන් අස් කර ගැනීම ගැනය. ඇත්ත වශයෙන්ම මා රාජකීය විදුහලට ආදරය කරමි. එය මා ඉගෙන ගත් විදුහලයි. මා ලියන්නේ විදුහල ගැන නොව එහි සිටි අය (ගුරුවරු ආදීන්) ගැන හා ඔවුන් මගේ ජිවිතයට බල පෑ අන්දම ගැනය.
දීප්ති කුමාර ගුණරත්න |
හේමාලි සෙනෙවිරත්න |