පාස්කු ඉරිදා සිදු වූ මහා ඛේදවාචකය අලලා අප විසින් කරන ලද භූ-දේශපාලනික විශ්ලේෂණය කියවා බැලු යම් යම් හිතවතුන් යෝජනා කරන ලද්දේ සිදුවීම සාමාන්‍ය මිනිසාට වටහා ගත හැකි සරල මට්ටමට පැතලි කරන ලෙසය.

                 ලංකාවේ පැවති ‘සිවිල් යුද්ධය’ (Civil War) ‘යුද්ධයක්’ ( War) ලෙසින් වටහා ගත් ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා සහ එහි බුද්ධි අංශ මෙම සිදුවීම අර්ථකථනය කර ගැනීමට උත්සාහ දරන්නේ ද ‘ජාතික ආරක්ෂාව’ නම් සන්දර්භය තුළ සිට ය.

 

                   ඊට පරස්පරව අපගේ අර්ථකථනය වන්නේ මෙම සිදුවීම හුදෙකලා ආත්මීය හිංසනයක්  සමඟ බද්ධ වූ ”දේශීය- විදේශීය” දේශපාලන ගබ්සාවක් බව ය. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමා උපන් මාධ්‍ය පවුල තුළින් ලත් ආභාෂය මෙම සිදුවීමේදී මැනවින් ප්‍රකට කරයි. ඔහු හරීන් ප්‍රනාන්දු හරහා මාධ්‍ය ජවනිකාවක් මැවූ අතර එම ගුලිය අගරදතුමා හැර  අනෙකුත් බොහෝ දෙනා ගිල්ලෝ ය. අදාළ සිදුවීම දැන් සිදු වී හමාර ය. පශ්චාත්-නූතන මාධ්‍ය මේ වන විට සිදුවීම සැණකෙළියක් සහ වැඩවර්ජනයක් දක්වා ගෙන ගොස් ඇත. රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය දේ මාධ්‍ය සහ රජයේ සේවකයන් මැනවින් ඉෂ්ට කරයි. කෙටි කලක් තුළ මාසික වැටුප් ලබන මිලියන 1.6 ක පමණ රජයේ සේවකයන් මිලියන 6 ක පමණ අවිධිමත් ආර්ථික ක්ෂේත්‍රයේ ජීවත්වන මිනිසුන්ගේ ආර්ථිකය වනසා දමා ඇත. ප්‍රහාරය සිදු වුයේ චීනයට සහ සජිත් ප්‍රේමදාසට එරෙහිව පමණක් බව බහුතරය නො දනිති. සිදුවීමට සම්බන්ධ කුඩා කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය වටහා ගැනීමට හොඳම විධික්‍රමය වන්නේ එය චිත්‍රපටයක් හරහා අවබෝධ කර ගැනීම යි. ඔබට හොඳ න්‍යායක් ඇත්නම් යථාර්ථය අමතක කිරීමට හැකිය.

                      දෛවෝපගත සිදුවීම වන්නේ පාස්කු දින ලංකාවේ සිදු වූ සිදුවීම හොඳින් වටහාගත හැකි චිත්‍රපටයක් ඇමරිකාවේ දී 2003 වර්ෂයේදී නිර්මාණය වී තිබීම යි. චිත්‍රපටයේ නම ‘Elephant’ ය. (සිංහලෙන් ‘අලියා’). මෙය අධ්‍යක්ෂණය කර ඇත්තේ ‘ගස් වැන් සැන්ට්’ (Gus Van Sant)  නම් අධ්‍යක්ෂවරයා ය. හාස්‍යයකට මෙන් 2004 මැද යුගයකදී (මෙහි DVD එක නිකුත් වූයේ 2004 මැයි මාසයේදී ය) මෙම චිත්‍රපටය එකල X කණ්ඩායමේ ප්‍රධාන කාර්යාලයේ දී කිහිප වරක්ම ප්‍රදර්ශනය කරන ලදී. 2004 සිදුවීමට පසුව නැවත චිත්‍රපටය අවලෝකනය කරන විට චිත්‍රපටයේ ප්‍රධාන චරිත කීහිපයම අපගේ Core group සාමාජිකයන්ට සෑම අතින්ම තුල්‍ය බව වැටහේ. 2004 සිදුවීම සිදුවී දැන් වසර 15ක් ගත වී ඇති මුත් තවමත් ඔවුන් හැසිරෙන්නේ චිත්‍රපටයේ නළු නිළියන් පරිදිය. අප දැන් චිත්‍රපටයේ කතා පසුබිම වෙත අවධානය යොමු කරමු.

                    1999 දී ඇමරිකාවේ කොලොම්බයියාන් නම් උසස් පාඨශාලාවක සිදු වූ සිදුවීම-Columbine High School massacre වන තෙක් අහිංසකයන් ලෙස ප්‍රචලිත වූ ශිෂ්‍යයන් දෙදෙනෙක් එක් අහඹු දිනකදී –April 20, 1999-මැෂින් තුවක්කු තම පාසලට රැගෙන ගොස් තම දෛනික හිතවත් ශිෂ්‍ය ශිෂ්‍යයාවන් දොළොස් දෙනකු සහ ගුරුවරයෙකු මරා දමයි. බෝම්බ අනූ නමයක් පමණ නිපදවන ඔවුන් ඒවායින් වැඩි හරියක් අතාර්කිකව පුපුරුවා හරින අතර අවසානයේදී සියදිවි නසා ගනියි. සිදුවීමේදී ඉතා සෙමින් ‍ප්‍රතික්‍රියා දැක්වීම ගැන පොලිසියට තදබල විවේචනයක් එල්ල වූ අතර සිදු වූ දෙය කුමක්දැයි වටහා ගැනීමට බොහෝ කලක් ගත විය. විනෝදය (Enjoyment) නම් ප්‍රපංචය දේශපාලන සාධකයක්ය යන අවබෝධය නොමැතිව මෙවැනි සිදුවීම් වටහා ගැනීමට නොහැකිය.

                      චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක වන එරික් හැරිස් සහ ඩිලන් ක්ලේබෝඩ් යනු පාසලේ පොදු සමාජයීය ජීවිතයෙන් තදබල ලෙස පරාරෝපණය වූවන්ය. ඔවුන්ව පාසල් පාලනාධිකාරිය සලකා බලන ලද්දේ පරාජිතයන් සහ විකාරකාරයන් ලෙසය. ඔවුන්ගේ දෛනික ජීවිතය තුළ ‘විනෝදය’ යන්න සීමිත සහ අවකලනය (ක්‍රමිකව අඩුවන) වන ප්‍රපංචයකි.

                      යම්කිසි ජන සමාජයක් විනෝදය නම් තර්කය මඟින් චලනය වන විට එවැන්නක් තුළදී අනෙකා (ඇත්තටම සමීප අනෙකා) පිළිබඳ සුවිශේෂ භීතියක් ඇති වෙයි. මෙවැනි තත්වයක් උදා වූ විට දී මිනිසුන් ජීවත් වන්නේ තමන් සතු විනෝදය කවුරු හෝ කෙනෙකු කුමන හෝ මොහොතක දී පැහැර ගනීවී යැයි යන සිතුවිල්ල ඇතිවය. මෙම තත්වය දේපළ සොරකම් කිරීමට සාම්‍යය. අධික ලෙස දේපළ ඇති මිනිසුන් හැමවිටම පරිකල්පනය කරන්නේ ඒවා කුමන මොහොතක හෝ කිසිවකු හොරකම් කරනු ඇත යන්නය. ‘දෙරණ’ නාලිකාවේ චතුර අල්විස් පාස්කු ප්‍රහාරය ගැන අදහස් ප්‍රකාශ කරන විට ඔහුගේ මුහුණ නිරීක්ෂණය කරන්න. තමා සතු කිසිවක් අනෙකා කොයි මොහොතක දී හෝ පැහැර ගනීවී යන මතිභ්‍රමයෙන් – Paranoia is the irrational and persistent feeling that people are ‘out to get you’ ඔහු පෙළෙයි. එරික් සහ ඩිලන් යනු තම දෛනික පාසල් කාලය තදබල භීතියකින් ගත කළ ශිෂ්‍යයන් දෙදෙනෙකි. මේ හේතුව නිසා ඔවුන් වඩ වඩා හුදකලා ජීවිතයකට තල්ලු විය.

                   විනෝදය නම් ප්‍රපංචය (මානසික අත්දැකීම හෝ දෘෂ්‍යමානය) ඉදිරියේ මිනිසෙකුට ශේෂ වන්නේ ක්‍රියාමාර්ග දෙකක් පමණි. එකක්  තමන්ගෙන් අනෙකා පැහැරගත් විනෝදය යළිත් තමා වෙතට ලබා ගැනීමය. දෙවැන්න වන්නේ අනෙකා විඳිතැයි අපේක්ෂා කරන විනෝදය තර්ජනයට හෝ හැකිනම් සීමාවකට ලක් කිරීමයි. මෙම ක්‍රියාවන් දෙකටම එළඹිය හැක්කේ හිංසනය හරහා පමණි. අනෙකා තමන්ගෙන් පැහැරගත් විනෝදය යළි ලබා ගැනිම ආත්මීය ක්‍රියා මාර්ගයකි. හැරිස් සහ ඩිලන් මෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙය වූ කුඩා කණ්ඩායම ද තම අනෙකා විඳින ප්‍රමෝදය යළි උකහා ගන්නේ අනෙකාට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීමෙනි. දෙවැන්න වන්නේ  අනෙකා විදිතැයි අනුමාන කරන ‘විනෝදය’ සීමා කිරීම හෝ තර්ජනයට ලක් කිරීමයි. ඩොනල්ඩ් ට්‍රම්ප් , ගෝඨාභය රාජපක්ෂ මගින් එළිපත්තට පැමිණෙන ‘ජාතික රාජ්‍යයේ ආරක්ෂාව’ -National Security State -යන අදහස යට ( පරිත්‍යාගය) ඇත්තේ අනෙකාගේ විනෝදය පාලිත තත්ත්වයකට රැගෙන ඒමයි. එමගින් විනෝදයේ අභ්‍යන්තර තර්කනය වන ප්‍රාග්ධනයට (Capital) නිදහසේ වර්ධනය වීමට හැකි ශක්‍යතා ( ලිබරල් සුදු ජාතික මැදපාන්තික තර්කනය) හමුදාමය සහ වෙනත් මර්දන උපක්‍රම මගින් සීමා කරයි. මෙම උපක්‍රමය ගැටලුවට විසඳුමක් නොව තුවාලයට උඩින් පැලැස්තර ඇලවීමකි. ගෝලීය ප්‍රාග්ධනය ප්‍රසාරණය වන යුගයක වියරුවට ස්ථිරසාර පිළිතුරක් නැත. මෙම තත්ත්වය උත්තරයක් නැති ප්‍රශ්නයක් ලෙසින් පමණක් ව්‍යුහගත වෙයි.

                  සමාජ රංග භූමියට අතාර්කික හිංසනය රැගෙන එන්නේ ‘විනෝදය’ පිළිබඳ ඉහත ආත්මීය තර්ක දෙකයි. ලද සෑම අවස්ථාවකදීම ”විනෝද වන්න!” යන විනෝද තර්කය උඩ මිනිසාගේ ජීවිතය සහ මරණය අතර උමතු වැඩබිමක් නිර්මාණය වෙයි. අප ජීවත්වන සමකාලීනත්වය තුළ විනෝදයෙන් පරාජිත වූවන්ගේ හඬ වියරු ය.

                  ඊළඟට අප පැහැදිලි කළ යුතු වන්නේ වෙනදා සමාජ විරෝධී භූමිකාව රඟ දැක්වූ  ‘ධනපතියා’ නම් පන්ති නියෝජකයා වියැකී ගොස් එතනට අපන්තික, සංස්කෘතිමය සාරයක් එන්නත් කරගත් සුළු ජාතිකයෙකු ආදේශ වන්නේ මන්ද යන කාරණය යි. උදාහරණයක් වශයෙන් බහුතර සිංහලයාගේ ආත්මීය තර්කනයට අනුව ( චතුරගේ සිට චම්පික දක්වා වූ පරාසය) ‘දෙමළා’ සිංහලයාගේ අව්‍යාජ විනෝදය තර්ජනයට ලක් කරයි. අනෙක් පැත්තෙන් මුසල්මානුවා නැතහොත් ‘හම්බයා’ ( හම්බා ඔරුවලින් හම්බන්තොටට පැමිණි වෙළෙන්දන්- නීරැක්තියේ බුද්ධිමය අයිතිය ජැක්සන් ඇන්තනී සතු ය.) යනු ‘සිංහල විනෝදය’ පැහැර ගන්නා (ව්‍යාපාරික අභිලාෂ හරහා) ප්‍රපංචය යි. පළමුවැනි ක්‍රියාවලියේ ජාතික සංකේතය ප්‍රභාකරන් වන විට දෙවැන්නේ ජාතික සංකේතය වන්නේ රිෂාඩ් බදුර්දීන්ය. ප්‍රාග්ධනයේ වියුක්ත තර්කනය ගැන අවබෝධයක් නැති බහුතර සිංහලයා තමන් ජීවත්වන සමාජ ක්‍රමයේ අත්තිවාරම කුරුසයේ තබා ඇණ ගසන්නේ එලෙසය. ධනවාදය හොදින් පරිස්සම් කර එහි ‘උත්කර්ෂවත් වස්තුව’ (විනෝද වස්තුව) විනාශ කිරීමට නොහැකිය. ගෝඨාභය බාර ගන්නේ මෙම කරන්නට බැරි වැඩේ ය. අනුන්ගේ විනෝදය විනාශ කර තමන්ගේ විනෝදය පමණක් සංරක්ෂණය කළ හැකිය යන මිත්‍යාවක සිංහලයා ගිලී ගොස් ඇත.

                  සමකාලීන ශ්‍රී ලාංකික ධනවාදය තුළ මහා පොදු සිංහලයා පරාජය වී ඇත. ධනවාදය හරහා උත්කර්ෂයට පත් වන ඕනෑම කෙනෙකු (රනිල්ගේ සිට රිෂාඩ් සහ ඕනෑම කෙනෙක්) විනාශ කිරීම සිංහලයාගේ අභිලාෂය වී ඇත. ‘Elephant’  චිත්‍රපටයේ ඝාතකයන්ගේ වියරු හිංසනය සමාජ කොටස් දෙකකට එරෙහිව එල්ල වෙයි. එක් පිරිසක් පාසලේ ජනප්‍රිය පිරිමි ශිෂ්‍යයන්ය. ඔවුන් ක්‍රීඩාවේ සිට ඉගෙනීම දක්වා නිපුණතා පෙන්වන ශිෂ්‍යයන්ය. අනෙක් පැත්තෙන් ඔවුන්ගේ වියරුව එල්ල වන්නේ සුළු ජාතිකයන්ට එරෙහිවයි. දේශපාලකයන්ට සහ  දේශපාලන විශ්ලේෂකයන්ට තේරුම් ගැනීමට අපහසු වූයේ මෙම එකිනෙකට විරුද්ධාභාෂී කණ්ඩායම් දෙකටම එරෙහිව ඔවුන් ක්‍රියාත්මක වූයේ ඇයිද යන්නය. අපගේ පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව සලකා බැලුවහොත් විසඳිය නොහැකි ගැටලුව වන්නේ   ShangriLa , Cinnoman Grand, Kingsbury වැනි අධිකතර සුඛෝපභෝගී හෝටල් වලටත්, දුප්පත් පොහොසත් භේදයකින් තොරව දේව මෙහෙයට සහභාගී වූ ජනයාටත් එකවර පහර දුන්නේ ඇයි ද යන්නය. ඊළඟට  ,ප්‍රහාරකයන් වන්නියේ හෝ නැගෙනහිර දරිද්‍රතාවයෙන් පෙළෙන්නන් නොව සුපිරි ධනපති පවුල් වල සැප විඳින දරුවන් වීම ශ්‍රී ලාංකීය ඔත්තු සේවාවන් මවිත කරවන සාධකයක් වී ඇත.

                 ShangriLaපෙරදිග යුතෝපියාවහෝටලයේ හිමිදිරි පාතරාසය භුක්ති විදිමින් සිටින ධනවත් ඩෙන්මාක් ජාතිකයාගේ දරුවන් තිදෙනා සහ කටුවාපිටිය පල්ලියේ හිමිදිරි දේව මෙහෙයට සහභාගි වන සංස්කෘතික නිර්ධනයා අතර සාම්‍යයක් සමූල ඝාතකයන්ගේ පැත්තෙන් ඇත. ඝාතකයන්ගේ දෘෂ්ටිය පැත්තෙන් ගත් කල මෙම ජන කණ්ඩායම් දෙකටම ‘විනෝදයට’ ඇති සම්බන්ධය සුවිශේෂීය. ඉස්ලාමයේ පැත්තෙන් ගත් කල ඔවුන් කොට්ඨාස දෙකම ශුද්ධ වූ කුරානයේ ධර්මයට අනුව මුසල්මානුවන්ගේ විනෝදය පැහැර ගෙන ඇත. ප්‍රහාරයේ ඉලක්කය පැහැරගත් විනෝදය යළි ලබා ගැනීමයි. මේ මොහොතේ මුස්ලිම් ප්‍රජාව ලැජ්ජ වන්නේ මේ නිසාය. ඝාතකයන් ඔවුන්ට අහිමි වූ දේ යළි ප්‍රජාවට ලබා දී ඇත. (මේ තත්ත්වය 2009 දී සිංහලයන්ටද අත් වූ ඉරණමයි). හමුදාව සහ ඔත්තු සේවා නැතිවූ වස්තුව සොයමින් ගමන් කරන්නේ නැගෙනහිර මද්ද්‍රස දෙසටය.නැති වූ හේතුව ධනවාදය (Capitalsm) මිස රැඩිකල් ඉස්ලාම් නොවේ.  

-ඉතිරිය ඊලඟ කොටසින්

   -දීප්ති කුමාර ගුණරත්න-

ඔබේ අදහස කියන්න...

7 COMMENTS

  1. පෙර සඳහන් කරන ලද භූදේශපාලන අර්තකතනය සහ මෙම ලිපියේ පැහැදිලි කිරීම අතර සම්බන්ධයක් තිබේද?

  2. ඉහත සඳහන් කරන ලද පැහැදිලි කිරීම හැරුණූ කොට ගෙන මා හට තවත් කෙනෙක් නැගූ ප්‍රශ්න කිහිපයක් ඔබලාට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.
    ඔහු පැවසූ ආකාරයට ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණයෙන් යම් පුද්ගලයෙකුගේ කුඩා කළ සිදුවූ සිදුවීම් මගින් සිත වෙනස් වන බවත් එමගින් වර්තමානයෙ ඇති ගැටලු නිරාකරණැය කළ හැකි බවත් ෆ්‍රොයිඩ්ගේ පදනම බව පැවසුවේය.එහි සත්‍යතාවක් තිබේද?
    එය බොරුවක් බවත් ෆ්‍රොයිඩ් යනු බොරුකාරයෙක් බවත් පැවසුවේය.මේ පිළීබඳ මා නොදැනුවත් හෙයින් මේවායෙහි සත්‍යතාවක් තිබේද යන්න පැහැදිලි කළැ හැකි නම් එය වටී.

      • සහෝදරයා ඉහත ප්‍රශ්නයටම අදාළ මඟ හැරූණූ කරුණක් තියෙනවා ඔය පැහැදිලි ලකිරීමත් සමගම තෝමස් සාස් Thomas sasz නම් පුද්ගලයා පදනම් කරගනිමින් ඉහත විවේචනය යොමු වුණා.එතකොට ඒ පුද්ගලයාගෙ දර්ශනය ගැනත් පැහැදිලි කිරීමක් දෙන්න පුලුවන් නම් වටිනවා.

  3. දීප්ති මහතා , ඔබතුමා අලුතෙන් සගරාවක් හෝ ලිපි ලියනවද? ඒවා ලබා ගන්නෙ කොහෙන්ද? මට එකවර ඒවා ලබා ගන්න ක්‍රමයක් තියනවද? මම පිටරටක දෙනට පදින්චි වෙලා ඉන්නෙ, ඒ නිසා තැපැල් මගින් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා..

Comments are closed.