අනෙකාගේ ‘ප‍්‍රමෝදය’ නම් කේන්ද්‍රය අනිවාර්යයෙන් ම අශ්ශීල අන්තර්ගතයක් දරා සිටින බව අපි පසුගිය සතියේ සාකච්ඡුා කළෙමු. එමෙන්ම අපි අසල්වැසියා සම්බන්ධයෙන් බිය වන ගුප්ත ෆැන්ටාස්මතික අන්තර්ගතය දරා සිටින්නේ ද ඉහත ප‍්‍රමෝදයේ කේන්ද්‍රය මත බව අපි දැන් දනිමු. දෙමළ සහ මුස්ලිම් අනෙකා සම්බන්ධයෙන් අපි කෙතරම් බියවී සිටින්නේ ද යන්න පැහැදිලි වන බොහෝ උදාහරණ මේ වන විට දිනපතා අප වටා ගොඩනැගෙමින් පවතී. දිනපතා ඝාතන සිද්ධි බහුල වන විට අප ආදරය කරන අනෙකා සම්බන්ධයෙන් වුව ද මෙම තත්ත්වයේ වෙනසක් නැත. ප‍්‍රමෝදය හෙවත් (ලිබිඩෝව/ පේ‍්‍රරණය) නිර්වචනීය ලෙස ම අශ්ශිලය; කුණු සහිත ය. එමෙන්ම එය අතිසමීප වේ (Too close). ලිබිඩෝව හෙවත් පේ‍්‍රරණය විද්‍යාමාන වන විට ආශාව අතුරුදන් වී යයි.  (ජිජැක් The Abyss of Freedom කෘතියේ 24 වන පිටුව කියවන්න) අතුරුදන් වී යන ආශාව පවත්වාගෙන යාම සඳහා මිනිස් ශිෂ්ටාචාරය ගොඩනගා ඇති ප‍්‍රතිඵලදායක ක‍්‍රමවේදය නම් භාෂාව යි. ශරීර දෙකක් ඍජුව භාෂාවේ ආධාරය නොමැතිව අනෙකාගේ ගුප්ත ෆැන්ටාස්මතික සාරය විනිවිදීම තුළින් රැුඩිකල් ලෙස ආශාව අතුරුදන් විය හැකි බැවින් කුඩා වස්තුව හරහා ගොඩනැෙඟන ප‍්‍රමෝදය අනෙකාගේ භාෂාව සමඟ සම්බන්ධ කරමු. මෙයින් ආදරවන්තයා වසඟකාරී භාෂාව (Seductive talk) හෙවත් කථනය පමණක් තෘප්තිය ලබා දෙන උපකරණයක් බවට පත්වෙන බව ජිජැක් පෙන්වා දෙයි. මෙම තත්ත්වය තුළ පිරිමියා සහ ගැහැනිය ආකාර දෙකකට සයිබර් අවකාශයට සම්බන්ධ වන බව ජිජැක් සිය The Fragile Absolute කෘතියේ 135 වන පිටුවේ පෙන්වා දෙයි.

පිරිමියා තම ෆැන්ටසි ආධාරකය සඳහා ස්වයං වින්දනය වෙනුවෙන් හුදෙකලා වීම සඳහා මෝඩ පුනර්වාචී අභිනයකින් නැවත නැවත ලිංගික දෘශ්‍ය කලාපයක් ලෙස සයිබර් අවකාශය යොදාගන්නා විට, ගැහැනිය වඩ වඩාත් තම වසඟකාරී භාෂාව හුවමාරු (Exchange) කරගැනීම වෙනුවෙන් කතා-බහ කුටි (Cyber chatroom) වෙත ආකර්ෂණය වෙමින් පවතී. මෙහි දී ගැහැනිය කරන්නේ පිරිමියාගේ ස්වයං වින්දන ෆැල්ලසය වෙනුවෙන් ෆැන්ටාස්මික තිරයක් ස්වකීය ප‍්‍රමෝදය හරහා ගොඩනැඟීම ය. මේ සඳහා උදාහරණයක් ලෙස ජිජැක් භාවිත කරන්නේ ලාස් වොන් ටි‍්‍රයර් ගේ Breaking the Waves (1996) චිත‍්‍රපටය යි. අබ්බගාතයකු ලෙස තම ලෙඩ ඇඳට ම සිර වී සිටින ජැන් (Jan) සිය බිරිඳට කියන්නේ වෙනත් පිරිමින් සමඟ ලිංගිකව එකතු වී නැවත පැමිණ එම අත්දැකීම් තමාට පවසන ලෙසයි. බටහිර ගැඹුරු සාන්දෘෂ්ටික සිනමාවක නිරත වන වොන් ටි‍්‍රයර් මෙහි දී කරන්නේ ඇය හරහා ජැන් තම ජීවිතයට කරන ආශාව සජීවීව පවත්වාගෙන යාමට [මරණයට නොවැටී] උදවු කිරීමයි. ඇය විසින් සජීවීකරණය කරනු ලබන ආශාව හරහා ජැන් සිය ජීවිතයට තවදුරටත් ආශා කරයි. මෙහි දී සාන්දෘෂ්ටික අරුතකින් අනෙකාගේ ආත්මය සජීවීකරණය අරමුණු කළ ඇයගේ ක‍්‍රියාව රැුඩිකල් වන අතර ‘සත්‍ය ලිංගික ක‍්‍රියාව’ සිදු වන්නේ ඇය අන් පිරිමියකු සමඟ යහන්ගත වන නිමේෂයේ  නොව එම ලිංගික ක‍්‍රියාව නැවත ජැන් ඉදිරියේ වමාරන මොහොතේ ය.

ජැන්ගේ ප‍්‍රමෝදය ෆැලික ස්වයං මෛථුනයේ මොහොතකි. බෙස් (Bess – ජැන්ගේ බිරිඳ) විසින් සපයනු ලබන්නේ එම ෆැලික මෛථුනය සඳහා අවශ්‍ය අඳුරු, ගුප්ත, මිථ්‍යාමතික තිරය (Screen) යි. එවිට බෙස් හට අනේකත්වයේ මට්ටම තුළ ප‍්‍රමෝදයේ මොහොත නොහොත් තෘප්තිය (සංකේතීය පිළිවෙළ) මුණගැසේ. ඇය අනෙකා (වෙනත් පිරිමි සමඟ) සමඟ යන්ත‍්‍රයක් ලෙස පවත්වන ලිංගික ක‍්‍රියාව සත්‍යය තෘප්තියේ ලිංගික ක‍්‍රියාව නොවන අතර ඇය සාන්දෘෂ්ටික ලෙස කරන එම ‘කැපකිරීම’ (තම ආදරවන්තයා වෙනුවෙන් කරන යාග හෝමය) තුළින් ‘වචනය වෙත ගෙන එන’ දෙය සත්‍යය තෘප්තියේ මොහොත ලෙස ජිජැක් නම් කරයි. (ඉහත The Fragile Absolute කෘතියේ 136 වන පිටුව) ඇගේ සත්‍යය තෘප්තිය නම් අනෙකා තෘප්තිමත් කිරීමට ඇය කරන කැපකිරීම ය. ගාන්ධි චිත‍්‍රපටයේ එක් තැනක  ගාන්ධිගේ ආර්යාව පවසන්නේ ‘මගේ ගෞරවය රැඳී ඇත්තේ මගේ ස්වාමියා පසුපස යාම තුළ ය’ යන්න මේ සමඟ හොඳින් ගැළපේ. ඇගේ තෘප්තිය රැඳී ඇත්තේ ඇය ඔහු වෙනුවෙන් සිය ජීවිතය කැප කරන ප‍්‍රමාණයේ තරමට ය; ඔහුගේ වේදනාව ඇය විසින් දරාගනු ලබන ප‍්‍රමාණයට ය. ස්ත‍්‍රී ප‍්‍රමෝදය කථනයෙන් ඔබ්බෙහි ඇති මිථ්‍යාමතික භක්තිවන්තභාවයක් යන්න වෙනුවට අපිට මුණ ගැසෙන්නේ අන් කිසිවක් නොව භාෂාව තුළ ම ගිලී ඇති (Immersed into the order of speech) ස්ත‍්‍රී ප‍්‍රමෝදයකි. 

අපි මේ සියලූ‍ උදාහරණ මඟින් පෙන්වා දීමට උත්සාහ කරනු ලබන්නේ අපේ අසල්වැසියාට පේ‍්‍රම කිරීමේ තේමාව තුළ ම මතුවෙන ‘අනේකත්වය මුණගැසීම’ ඉතාම ගැඹුරු ක‍්‍රියාවක් යන්න ය. එය මෙලන්කොලිකයෙක් වටහා ගත යුතු වැදගත් පාඩමකි.

මෙම භාෂාවේ බිත්තිවලට ඔබ්බෙන් අනෙකාගේ ෆැන්ටාස්මතික අන්තර්ගතය විනිවිදීම තේමා කරගත් තවත් සාන්දෘෂ්ටික චිත‍්‍රපටයක් නම් බර්නාඩෝ බ‍්‍රතලුසිගේ The Last Tango in Paris ය. කිසිවකු දකින්නට නැති, අඳුරු, පාළුවට ගිය තට්ටු නිවාසයක පෝල් නම් අමරිකානුවකුට අහම්බෙන් ජේන් නම් තරුණ ඇමරිකානු ස්ත‍්‍රියක් මුණගැසීම පදනම් කරගෙන ගොඩනැෙඟන නිර්නාමික සම්බන්ධයක් ඉහත චිත‍්‍රපටයට පාදක වේ. පෝල් විසින් ඇගේ ඉතිහාසය, නම්-ගම් සහ පෙම්වතුන් පිළිබඳ පෞද්ගලික විස්තර දෙදෙනා විසින් හෙළිදරව් කරගැනීම තහනම් කරයි. නම් නැති ක‍්‍රීඩාවක (no name game) දෙදෙනාම නිරත වන අතර ලිබිඩෝ උද්දීපනයෙන් ශරීර විනිවිදීමකට පමණක් එය සීමා කරයි. ප‍්‍රමෝදයේ මොහොත සොයා යන ඔවුන්ගේ පැවැත්ම එම කාමරය තුළ දිගහැරෙන්නේ ‘කැත බව’ (Ugliness) විසින් බාහිර යථාර්ථය (කාමරයෙන් පිටත) ප‍්‍රතිරෝධයට ලක් කිරීමෙනි. කාමරයෙන් පිටත ඇති ඔවුනොවන්ගේ ඉතිහාසය සම්බන්ධ ‘කුණු’ මෙම වචනවලින් ඔබ්බෙහි ඇති ප‍්‍රමෝද ක‍්‍රීඩාව විසින් අමතක කරනු ලබයි. නමුත් චිත‍්‍රපටය අවසානයේ ඇගේ ඉල්ලීම පරිදි පෝල් විසින් තම ඉතිහාසය හෙළිදරව් කරනු ලැබීමත් සමඟ ම ඇය ඔහුගෙන් වෙන්වීමට උත්සාහ කරයි. ඇය බියවන්නේ ඔහුගේ අනේකත්වයේ ඇති අඳුරු ෆැන්ටාස්මතික කුණු කන්දට ය. කෙසේ වෙතත් යථාර්ථය පිරී ඇත්තේ කුණුවලිනි. එනම් ප‍්‍රමෝදය විසින් ඇය වෙත වමාරනු ලැබූ ඔහුගේ දැවැන්ත කුණු කන්ද නම් ‘ආශාවේ බාධාව’ ඇයට ම දරාගත නොහැකි වීම මේ දෙදෙනාගේ වෙන්වීමේ නිමේෂය යි. ඇය අමතක කරන්නේ දෙදෙනාගේ ‘ප‍්‍රමෝදය’ නිර්මාණය කරන ලද්දේ ම ඉහත ඔහුගේ ද්‍රව්‍යමය ඉතිහාසය නම් කුණු ගොඩ විසින් ම බවයි.

Last Tango in Paris

ඉහත චිත‍්‍රපට දෙක විසින් ම අපිට කියා දෙනු ලබන පාඩම නම් ප‍්‍රමෝදය පවතින්නේ ‘තෘප්ත මූලධර්මයට’ ඔබ්බෙන් ය යන්නය. එනම්, අනෙකා මුණගැසීම සිදු විය හැක්කේ සත්‍යය ලෙසට සංකේතීය පිළිවෙළට ඔබ්බෙන් විය හැකි ය යන තත්ත්වය යන්න පිළිබඳව අපි සැලකිලිමත් විය යුතු ය. එවන් ප‍්‍රමෝදය විනිවිදන අනෙකා සම්මුඛ වීමේ නිමේෂයක් සත්‍යය වශයෙන් ම වේදනාකාරී, අතෘප්තිමත් තෘප්තියේ සමතුලිතතාව බිඳ දමන මොහොතක් විය හැකි ය. අනේකත්වය එම ප‍්‍රමෝදයේ අර්ථයෙන් දෘඪ යථාර්ථයකි; (Hard reality) සංකේතීය පිළිවෙළට අනුගත කරගත නොහැකි යථකි; තද-බද වූ විනිවිදිය නොහැකි (Impenetrable) දෙයකි. ‘ප‍්‍රමෝදය ගිලී ඇත්තේ අතෘප්තියේ මූලාශ‍්‍රය වන යථාර්ථය තුළ ම ය.’ යනුවෙන් ජිජැක් පවසන්නේ එබැවිනි. අනෙකා තුළින් වැමෑරීමෙන් මෙන් එළියට පිවිසිය හැකි අශුද්ධ, කුණු,  ඕජස් ගලන මෙම ‘අන්තර්ගතය’ ජිජැක් සමාන කරන්නේ ස්ත‍්‍රී මාස් ශුද්ධියට ය. (කියවන්න The Abyss of Freedom කෘතියේ 24 වන පිටුව) අන්තර් විෂය මූලිකත්වයේ (Inter-subjectivity) උත්කෘෂ්ට ගැටලූ‍ව නම් මෙම අනෙකාගේ බාහිරට නික්මෙන අන්තර් අශ්ශීල අන්තර්කරණය අපි කොතෙක් දුරට පිළිගැනීමට සූදානම් ද යන තත්ත්වය යි. අපිට අපේ ලිංගික අනෙකාගේ මතු නොව වාර්ගික අනෙකාගේ ආත්මය තුළින් එළියට වැගිරෙන කැත කුණු විනිවිද යා හැකි ද යන ගැටලූ‍වට පිළිතුරු ලබා ගැනීම ඔස්සේ වඩාත් යහපත් අනේකත්වයක් ගොඩනංවාගත හැකි බව මනෝ විශ්ලේෂණයේ ස්ථාවරය යි.  එය හරියට ම ජේම්ස් ජොයිස් තම බිරිඳ නෝරාගේ ගැඹුරු අශෝභනත්ව ය ඉවසුවා සහ සමාන යැයි ඉහත කෘතියේ ම ජිජැක් පෙන්වා දෙයි.

වාර්ගික අර්ථයකින් ගත් විට මෙම අනෙකාගේ අශ්ශීල අශෝභන අන්තර්ගතය මඟහැරීමට අපි උත්සාහ කරන මොහොත වනාහී බහු සංස්කෘතික මොහොතකි. ‘දනුම’ තුළින් අනෙකා විනිවිදිය නොහැකි අතර අපි සම්මුඛ විය යුත්තේ අනෙකාගේ සත්‍යය සමඟ ය. නැතිනම් අනෙකා යනු හුදු ප‍්‍රබන්ධයක් පමණ ය. පශ්චාත් නූතන බහු සංස්කෘතිකවාදය තුළ පවතින විරුද්ධාභාෂයක් පිළිබඳ අවධානය යොමු කිරීම මෙහි දී ඉතා වැදගත් වේ. එක් අතෙකින් වාර්ගික අනෙකාගේ අශ්ශීල, ගුප්ත, ෆැන්ටාස්මතික අන්තර්ගතය වනාහී අපගේ ආශාව උත්පාදනය කිරීමට උපකාර වන ආධාරකය යි. අනෙක් අතට අනෙකා සත්‍යය ලෙස ම වෙනස් කිරීම සඳහා අනෙකාගේ ඉහත ගුප්ත අන්තර්ගතය වෙනස් කළ යුතුව ඇත. එනම් අපි ආශා කරන දෙය ම අපි විසින් ම රැුඩිකල් ලෙස වෙනස් කරනු ලැබිය යුතු වන්නෙමු. මෙය යටත් විජිතකරණය තුළ සුදු ස්වාමියා මුහුණ දුන් විරුද්ධාභාෂයට තරමක් සමාන ය.

සුදු ස්වාමියා විසින් යටත් විජිත ආත්මය පූර්ණ ලෙස රැුඩිකල් ආකාරයකට වෙනස් කරනු ලැබුවේ නැත. එසේ වෙනස් කිරීමට ඔහුට අවශ්‍ය වූවේ ද නැත. මන්ද ඔහු අපේ අථාර්කික, ගුප්ත, ෆැන්ටාස්මතික ආත්මීය අන්තර්ගතයට අවිඥානිකව ආදරය කළ බැවිනි. එම ආත්මීය ගුප්ත බව යනු ප‍්‍රබුද්ධත්වය විසින් බටහිර සුදු ආත්මය තුළින් පලවා හරිනු ලබන දෙය යි; ඔහුගේ මර්දිත අවිඥානය යි. එනයින් සුදු ස්වාමියා කළේ ඔහුගේ ආශාව දිගු කර ගැනීමට හැකි ආකාරයට අර්ධ ලෙස අපිව වෙනස් කිරීම ය. එය හරියට ම ඉතාමත් දුප්පත් පවුලකින් මෙහෙකාරකමට කොළඹ නිවසකට ගෙන එන කාන්තාවකට හොඳින් ඇඳුම් අඳින්න දෙනවාට සමාන ය. තරමක් පිරිසිදු හොඳ ඇඳුම් ඇඳි පමණින් ඇය ‘මෙහෙකාරභාවයෙන්’ (වහල්භාවයෙන්) රැුඩිකල් ලෙස වෙනස් වන්නේ නැත. සිදු වන්නේ: ‘එයාල එයාලගේ මෙහෙකාරයට හොඳින් සලකන අය’, ‘බලන්නකෝ එයාලගේ මෙහෙකාරය ලස්සනට ඉන්නවනේ’ යනුවෙන් අතිරේක ලකුණක් ස්වාමියාට එකතු වීම පමණි. පෙරදිග යටත් විජිතකරණය තුළ අර්ධ – සද්භාවි අධ්‍යාපනයක් දුන් සුදු ස්වාමියා තමන්ගේ ලකුණු වැඩි කර ගත්තේ ඒ අයුරින් ය.

ඔහු අපි තුළ ශේෂ කළ ‘සාරය’ අද දින දක්වා ම අපේ පැවැත්ම සිරගත කර ඇත. එම සාරය විසින් අපිව පූර්ණ වෙනසකට ලක් කිරීම වළක්වාලනු ලබයි. අපි අනෙකා තුළ දකින්නට කැමැති දෙය ම අපි විසින් ම වෙනස් කිරීමකට ලක් කරනු ලැබුවේ නම් එවිට අපේ ආශාව පවා වෙනසකට ලක් විය යුතු ය. අපි වැද්දෝ ‘වැද්දෝ’ ලෙස දැකීමට අපේක්ෂා කරන්නේ නම් සහ වැද්දෝ විසින් ද අපිට අවශ්‍ය ඒ සත්‍යය වැද්දෝ පෙන්වීමට උත්සාහ කරනු ලබන්නේ නම් එවිට එම ‘ආශා උගුල’ හේතුවෙන් වැද්දෝ පමණක් නොව වැද්දෝ දැකීමට අපේක්ෂා කරන අපි ද රැුඩිකල් වෙනස් වීමකට භාජනය වන්නේ නැත. සිදුවන්නේ පාර්ශ්ව දෙක ම එකම ආශා උගුලක සිර වී එක තැන පල්වීම පමණි. අනෙකා රැුඩිකල් ලෙස වෙනස් කිරීමට අවශ්‍ය නම් අපි පළමුවෙන් ම අපේ ආශාව රැඩිකල් ලෙස වෙනස් කර ගැනීමට සුදානම් විය යුතු ය. අද දවසේ ජාතිවාදය ඔස්සේ සිංහල බෞද්ධ සාරය වෙනුවෙන් මරාගෙන මැරෙන්න සුදානම් වන වුන් අනෙකා රැුඩිකල් ලෙස වෙනස් කිරීම වෙනුවෙන් තමා පූර්ණ ලෙස වෙනස් වීම නම් දයලෙක්තිකය – නැත්නම්  ප‍්‍රගතිශීලී ක‍්‍රියාව මඟහරින්නෝ ය. මොවුහු සමාජ ප‍්‍රගමනය ඉදිරියේ සමාජය සත්‍ය ලෙස වෙනස් වෙනවා දැකීමට අකැමැත්තෝ ය. අනෙකා යනු (අනෙකාගේ ආශාව) පතුලක් නොපෙනෙන යථක් නම් එම යථ මුණගැසීමට මෙන්ම වෙනස් කිරීමට ද අවශ්‍ය ධෛර්ය අපි තුළ තිබිය යුතු ය. අපගේ නැති වු සාරය ‘සෞන්දර්යකරණය’ (සරච්චන්ද්‍ර) කිරීම මෙන්ම අනෙකාගේ පැවැත්ම ‘සෞන්දර්යකරණය’ (ලෙනාර්ඞ් වුල්ෆ්, ලෙස්ටර් ජේම්ස් පීරිස්, ජෙෆ්රි බාවා) කිරීම මේ අනුව නූතන ක‍්‍රියාවක් නොව පශ්චාත් නූතන බහු සංස්කෘතිකවාදයේ උප්පරවැට්ටියකි.

 Mahesh Hapugoda

සාකච්ඡාව – ජයසිරි අලවත්ත

 

 

 

ඔබේ අදහස කියන්න...