[dropcap color=”gray”]ස[/dropcap]මන් වික්‍රමාරච්චි මහතා ‘කාල සර්ප’ නම් නවකතාව ගැන විචාරයක් ලියා ඇත. එය අප පහත පල කරන්නෙමු. සමන් යනු බෞද්ධ සංස්කෘතියේ එකම හොද ලක්ෂණය වන ‘අනිමිසලෝචනය’ නම් සාධු ධර්මය දන්නා කෙනෙකි. ලංකාවේ ඉන්න තක්කඩීන් විශාල ප්‍රමාණයක් කරන්නේ අප විසින් යොද්‍ර ගත් වචන,සංකල්ප,න්‍යායන් තමන් සොයා ගත් සේ ඉදිරිපත් කිරීමයි. ඉතා පැහැදිලව විචාරය යනු විනිශ්චයකි. එවැනි විනිශ්චයක් සහ උසාවි නියෝගයක් අතර වෙනසක් නැත. වියමනෙන් පිටත කිසිවක් නැති අතර ෂානර ගොඩ නගන්නේ ආධිපත්‍ය සහිත එවුන්ය. මේ ගැන ඩෙරිඩා පොතක්ම ලියා ඇත.
කණගාටුවට කරුණ වන්නේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය ලියනගේ අමරකීර්ති මහතා විසින් ‘රොලන්ඩ් බාත්’ ගේ න්‍යාය වැරදි විදිහට සමන් පාව්චිච් කරනවා කියන්නේ කුමන දාර්ශණික පදනමකින් ද යන්නය. බාත් ගේ රචනා අයත් වන්නේ සද්භාවවේදයටය. ( ontology) එනම් ප්‍රබන්ධ ගණයටය. එවැනි න්‍යායන්ට හරි වැරදි යනුවෙන් කියන්නේ දර්ශණයේ A,B,C නොදන්නා අයයි. මතුකළ යුතු ගැටළුව වන්නේ ‘සත්‍ය’
යන ගැටළුවයි. අපි මතු කළ යුත්තේ සමන් කෘතිය ගැන බොරු කියනවාද යන්නයි. න්‍යාය ගැන අපිට හරි වැරදි කීමට සිදු වුවහොත් අමරකීර්ති මහතාගේ පොත් වල ඕනෑතරම් දෝෂ අපටද පෙන්විය හැක. නවකතා විචාරය සදහා ෆැන්ටසි ක්‍රමවේදයක් සොයා ගත් පිස්සන් සිටින රටක මෙම දෝෂ දේශපාලනික විය හැක.
පහත පළ වන්නේ සමන් වික්‍රමාරච්චි මහතා විසින් දිවයින පුවත් පතට ලියු ලිපියයි!
ඇත්ත. මා ලියන්න යන්නේ ‘කාල සර්ප’ නවකතාව ගැන තමයි. කාරණයට අදාළ නොවේ යෑයි කෙනකුට සිතෙන එහෙත් මට අනුව අතිශය අදාළ තැනකින් මෙම ලිවීම පටන් ගනිමි.
වියමන (Text) යන යෙදුමෙහි පේටන්ට් හිමිකම ඇත්තේ තමාට යෑයි දීප්ති කුමාර ගුණරත්න පරසක්‌වල ගසයි. කාරණය ඇත්තය. පසුගිය දසක දෙකක පමණ කාලයක් තිස්‌සේ ඔවුහු පෙර නොවූ විරූ වදන් සංස්‌කෘතික අවකාශයට මුදා හළහ. දීප්තිගේ විස්‌සෝපයට හේතුව පශ්චාත් නූතන අස්‌ලීල සමාජය සංකල්ප ගත කිරීමට මෙම වචන ඉවක් බවක් නැතුව භාවිත වීම විය හැක.
එහෙත් හිතාමතාම X පැරැණි කණ්‌ඩායම නිර්මාණය කළ වචන මඟ හැර යැමට බොහෝ අය උත්සාහ කරති. නිදසුනක් ලෙස වියමන වෙනුවට පඨිතය යනුවෙන් යෙදීම ගත හැක. සුනිල් විඡේසිරිවර්ධන පවසන්නේ පඨිතය තමාගේ දරුවකු බවය. මේ සිංහල වචනවල පීතෘත්වය පිළිබඳ ආරවුල සහ ඒවායේ භාවිතය පිළිබඳ කාන්සාව එසේම තිබියදී මට කීමට සිදුවන්නේ වියමන (Text) යනු වෙන කාගේවත් නොව රොලන් බාත්ගේ (Roland Barthes) සොයා ගැනීමක් බවයි. බාත්ට අනුව Text යනු වියමන මිස පඨිතය නොවේ.
රොලන් බාත් Text යන්නෙහි නිරුක්‌තිය ගැන මෙසේ ලියන විට ඉන් කියෑවෙන්නේ වියමන මිස අන් කුමක්‌ද?
The plurality of the text depends, as a matter of fact, not on the ambiguity of its
contents, but on what we might call the stereographic plurality of the signifiers which weave it (etymologically, the text is a
fabric).
Roland Barthes – Rustle of language
බාත්ගේ මේ ප්‍රකාශය අදාළ කර ගනිමින් මා වෙනත් අවස්‌ථාවක කළ විග්‍රහයක් මෙතැනදී උපුටා දක්‌වමි. මා උපුටා දක්‌වන්නේ 2011 මැයි 26 දින ජාතික පුස්‌තකාල සේවා ශ්‍රවණාගාරයේදී පැවැති අසෝක හඳගම, ප්‍රසන්න විතානගේ සහ නාමල් ජයසිංහගේ නාට්‍ය සහ තිර පිටපත් නිකුත්වීමේ උත්සවයේදී මවිසින් පවත්වන ලද දේශනයෙන් ඇබින්දකි.
“බාත්ට අනුව පැහැදිලි දේ තමයි, Text කියන්නේ වියන ලද දෙයක්. හැඟවුම්කාරකයන් මගින් වියන්නා වූ එය ස්‌ටීරියෝ ග්‍රැµsක බහුත්වයක්. ඒ බහුත්වය වියමනට එන්නේ එය වියන හැඟවුම්කාරකයන් මගින්. බාත් Text is a
fabric කියනකොට ඔහු එය වියමනක් බව ප්‍රකාශ කරනවා.
“වියමන යනු කෘතිය (work) නොවෙයි. පෙළ. පාඨ ග්‍රන්ථය නැත්නම් පඨිතය කියන්න පිළිවන් කෘතියට. වියමන ඊට වඩා පුළුල්.
“වියමන කියන්නේ ලියූ දෙයක් විතරක් නොවෙයි රෝලන් බාත් Fabric කියන වචනය Text අරබයා භාවිත කරන්නේ එය ලියන ලද්දක් නොව වියන ලද්දක් බව කියන්නට. The Text is a methodologica field යනුවෙන් ලියද්දී ඔහු වියමන එහි ලේඛනමය ස්‌වභාවයෙන් ගලවනවා. සිනමා නිර්මාණයක් වියමනක් ලෙස හඳුන්වන්න පිළිවන් වෙන්නේ ඒ නිසයි. වියමනක් යනු කෘතියක් පමණක් නොවන බැවින් කවර හෝ ජීවන අත්දැකීමක් වියමනක් විය හැකියි.
”දේශපාලන රැලියක් වියමනක් කොට ගත් විට අප එය කියවන්නේ එම දේශපාලන රැලියේ (අ) දේශපාලනිකයයි. නාට්‍යයක් යනු වේදිකාවේ රඟ දැක්‌වෙන පෙළ පමණක් නොව සමස්‌ත නාට්‍ය ශාලාවටයි. එයයි වියමන.”
(මෙම දේශනයේ සම්පූර්ණ පෙළ මවිසින් ලියන ලද කළු වලසාගේ සම්ප්‍රාප්තිය පොතෙහි පළ වී ඇත.)
මෙහිදී පැහැදිලි කළ යුතු දේ නම් කෘතියක් (Work) වියමනක් බවට පත්වන්නේ ඉන් බහු අර්ථ නැගෙන සැටි සොයා ගැනීම නිසා නොවන බවයි. එය වියමනක් බවට පත් කරන්නේ එය පාලනය කරන හැඟවුම්කාරකයන්ගේ මෙහෙයවීමෙනි. එම අර්ථයෙන් කීර්ති වැලිසරගේ ‘කාල සර්ප’ වියමනක් බවට පත්වන්නේ එය ස්‌වර්ණ පුස්‌තක සම්මාන අවසන් වටයට නිර්දේශ වීමත් සමගය.
හැඟවුම්කාරකය (Significer) යනු සෝෂරියානු අර්ථ විග්‍රහයෙන් මුදවා ගනු ලැබූ විට සියල්ල පාලනය කරන බල පරාක්‍රමයෙන් යුතු ප්‍රජාවකි. සාමාන්‍යයෙන් හැඟවුම්කාරක ලෙස අප දකින්නේ වචනය. බාගවිට වචනවලට වඩා කුඩා ශබ්ද අණුද (Morphemes) වචනවලට වඩා විශාල ඒකකයන් ද (වාක්‍ය) හැඟවුම්කාරකය. එහෙත් භාෂාත්මක නොවන දේවල් එනම් යම් වස්‌තූන්, සබඳතා සහ ක්‍රියාවන් පවා හැඟවුම්කාරක ලෙස විස්‌තර කළ හැක. එවිට “කාල සර්ප” හොඳම නවකතාව ලෙස ගත් ස්‌වර්ණ පුස්‌තක සම්මානය යනු හැඟවුම්කාරකයකි. මේ කාලයේ සිංහල නවකතාව පාලනය කරන ප්‍රධාන හැඟවුම්කාරකය වී ඇත්තේ එයයි.
අද කාලයේ නවකතා ලියන්නේ ස්‌වර්ණ පුස්‌තක සම්මානය දෙස බලාගෙනය. සංස්‌කෘතිය සහ ආර්ථිකය අතර සීමා ඉර බොඳවී ගිය පශ්චාත් – නූතන අවධියට අනුව එය එසේම සිදුවීමට නියමිතය. නවකතා යනුවෙන් ලියෑවෙන සංස්‌කෘතික භාණ්‌ඩ (Cultural Commodities) සඳහා මිල නියම කිරීමේ කාර්යය මේ කාලයේ පැවරී ඇත්තේ විවිධ සාහිත්‍ය සම්මාන ජූරිවලටය. එහෙත් ස්‌වර්ණ පුස්‌තකය පොත් ප්‍රකාශකයන්ගේ සංගමය නමින් හැඳින්වෙන ව්‍යාපාරිකයන් රොත්තකගේ මෙහෙයවීමෙන් කෙරෙන්නක් බැවින් එහි සංස්‌කෘතික සන්දර්භය අතිශයින් පසු ධනවාදී වේ. ‘කාල සර්ප’ නවකතාව අප වියමනක් ලෙස ගෙන කියවන්නේ මෙම සන්දර්භය තුළය.
රොලන් බාත්ට අනුව කෘතියක් වියමනක් බවට පෙරළෙන විට කතුවරයාට එහි ආධිපත්‍යය අහිමි වේ. ඉන්පසුව වියමන හැසිරෙන්නේ පාඨකයාට අවැසි පරිදිය. මෙතැනදී බාත් කොතෙක් නම් රැඩිකල් වන්නේද යත් වියමන තුළ කතුවරයා එහි චරිතයක් බවට පත්වන බව කියයි. වියමන, කතුවරයා සහ එහි අනුශීලනය පැහැදිලි කිරීමට මට පෞද්ගලික වූ කාරණයකින් වඩාත් හොඳින් කිරීමට පිළිවන් වේ යෑයි මම විශ්වාස කරමි.
ස්‌වර්ණ පුස්‌තක සම්මාන ජූරිය සඳහා මගේ නම යෝජනා වී තිබිණි. (මෙහි ඇත්ත නැත්ත දැන ගැනීමට අවැසි කෙනකුට ජනක ඉණිමංකඩ මහතාගෙන් විමසා බැලිය හැක.) එහෙත් පොත් ප්‍රකාශකයන් වැඩි දෙනෙක් ඒ නමට තම විරුද්ධත්වය පළ කළ බැව් දැන ගන්නට ඇත. කිසියම් ප්‍රකාශකයෙක් “එයාගේ න්‍යාය වැඩියි – ඒ වගේම එයා රැඩිකල් වැඩියි” යනුවෙන් පැවසුවේය.
දැන් ඉතින් කාරණය සංඛයක සුදු පාට මෙන් සුපැහැදිලිය. රැඩිකල් සහ න්‍යාය යන වදන්වල ඔවුන් දක්‌නා අර්ථය කුමක් හෝ වේවා ඔවුන්ට අවශ්‍ය නෝන්ජලයන් පිරිසකි. අප ඔවුන් හඳුන්වන්නේ අපතයන් යනුවෙන්ය. ඒ අනුව කේ. කේ. සමන් කුමාරද (ඒ නමද එලෙස යෝජනා වී තිබී කැපී ගිය එකකි.) උන්ගේ තරාතිරමට නොගැළපෙන අපතයකු නොවූ න්‍යායවාදී රැඩිකල් පොරකි. එලෙස ස්‌වර්ණ පුස්‌තක සම්මාන නම් වූ හැඟවුම්කාරකයේ ආධිපත්‍යයට නතු වූ නෝන්ජලයන් පිරිසක් විසින් දොළහක්, පහක් සහ එකක් ලෙස තෝරා දුන් පොත් මුදලාලිලාගේ පහන් සංවේගයට ගැළපෙන නවකතාව කාල සර්ප විය.
කාල සර්ප නවකතාව වූ කලී එක්‌තරා නෝන්ජලයකුගේ කතාවයි. වියමන පිළිබඳ බාතියානු ප්‍රවාද ඇසුරුකොට ගනිමින් මා ඉහත සඳහන් කළ කරුණු නවකතාවේ කතා ප්‍රවෘත්තිය තුළ උත්ප්‍රාසනීය ලෙස මතුවන අයුරු ඔබට පිරික්‌සා බැලීමට පිළිවන. යම් කෘතියක් වියමනක් වන විට කතුවරයා ද එහි චරිතයක් පමණක් වන බැව් රොලන් බාත් පවසා ඇතැයි මම මින් පෙර නොකීවෙම්ද?
කලාකෘති පිළිබඳ ෆ්‍රොයිඩියානු කියවීම නම් ඒවා බොහෝවිට සිහිනවලට සම්බන්ධ බවය. සිහින ගවේෂණය කරන්නා සේ යම් පරිකල්පනීය කෘතියක් විශ්ලේෂණයෙන් තම නිර්මාණය සේම ඒවාහි නිර්මාතෘන් (ලේඛකයන් සහ කලාකරුවන්) දක්‌වාම විනිවිද දැකිය හැකි බව ෆ්‍රොයිසියානු මතයයි. ඔහු කලාකරුවා සම කළේ නියුරෝසිකයකුටය. ෆ්‍රොයිඩ්ගේ අපකීර්තිමත් ප්‍රකාශයේ දල සිංහල පරිවර්තනය මෙසේය.
“කලාකරුවා වූ කලී මතිමාත්‍ර ලෙස අන්තරා වර්තික වූ පුද්ගලයකු (Introvert) බැවින් නියුරෝසියාවෙන් නොමිදුනෙකි. ඔහු අධිකතර ලෙස ප්‍රබල සාතිශමය උවමනාවන්ගෙන් පීඩිතව සිටී. ඔහු ගෞරවය, බලය ආශාව, ධනය, කීර්තිය සහ ස්‌ත්‍රීන්ගේ ප්‍රේමය දිනා ගැනීමේ ආශාවෙන් පෙලුනද මේවා සපුරා ගැනීමේ අවකාශය ඔහුට අහිමිය.
සිග්මන් ෆ්‍රොයිඩ්ගේ Introductory lectures on Psycho Analysis එකතු කළ කෘති XVI වෙලුම.
මෙම ෆ්‍රොයිඩියානු ප්‍රවාදය ‘කාල සර්ප’ වියමන තුළට ගෙන ආ විට අපට එහි චරිත අතර ගැවසෙන කතුවරයා පමණක් නොව එයට ස්‌වර්ණ පුස්‌තක සම්මානය නිර්දේශ කළ ජූරි සභිකයන් ද හමුවිය හැක. කෙනකු නෝන්ජලයකු වන්නේ තම ආශාවන් සපුරා ගැනීමේ මං ඇහිරී ගිය විටය. ‘කාල සර්ප’ නවකතාවේ ප්‍රධාන කතාවේ එන වසන්ත කුමාර පාසලේ ජීව විද්‍යා පාඩමේදී විච්ඡේදනය කිරීම සඳහා කුකුළකු ගෙන යැමට දැරූ හාස්‍යජනක ප්‍රයත්නය ඔහුගේ මුත්තණුqවකු වූ ගිරිං නමැත්තා මුළු ගමටම පෙනෙන ලෙස දැවැන්ත පන්දමක් නිර්මාණය කිරීමට තැත් කිරීමත් මෙම නෝන්ජලකමේ ප්‍රකාශනයන්ය. එම ක්‍රියාකාරකම් දෙකෙහිදීම ඔවුන්ට ඉතිරි වන්නේ අතිරික්‌ත ප්‍රමෝදයකි.
මෙහි කැපී පෙනෙන කාරණය නම් අතීත කතාව වර්තමාන කතාව තුළ පුනරාවර්තනය වීමය. මෙම නවකතාවේ එන කතාව අතිශයින් සරලය. වසන්ත කුමාර නම් වූ තරුණයෙක් ඉහළට යැමේ නොතිත් ආශාවෙන් පෙළෙයි. වෛද්‍යවරයකු වීමේ සිහිනය අතහැර දමන ඔහු කෙසේ හෝ විශ්වවිද්‍යාලයට ඇතුළත් වේ. ඔහු තම ගම සිටින පෙම්වතියට (චාරුණී) එවන හසුන්වල සඳහන් කරන්නේ තමා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයකුව සිටිමින් විවිධ ශිෂ්‍ය අරගලවල නිරතව සිටින බවය. එහෙත් ඔහු වූ කලී නායකයකු වනු තබා යම් සමාජ සබඳතාවක් පවා පවත්වාගෙන යා නොහැකි නෝන්ජල් තරුණයෙකි. ඔහු පෙම්වතියට ලියන ලිපිවල දැක්‌වෙන්නේ ඔහුගේම µeන්ටසීන්ය. කැරැල්ලට කිසිදු සබඳතාවක් නොමැති ඔහු එම µeන්ටසීන් විසින් රාජ්‍ය තන්ත්‍රයට කැරලි නායකයකු සපයා දෙනු ලබයි.
වසන්ත කුමාර තම පෙම්වතියට ලියන ලිපියෙහි තමා තමාට වඩා වූ කිසිවකු ලෙස නිර්මාණය කරයි. ජීවිතය පිළිබඳ ඔහුගේ නාසිස්‌මික වූ කියවීම ඉන් ප්‍රකාශ මාන වේ. සැබැවින්ම එම ලිපිවල සඳහන් පුද්ගලයා තමා නොවෙතත් එය කියවන චාරුණී ඇති කර ගන්නා ප්‍රතිරූපය ඔහුට ආස්‌වාදජනකය. ඒවාහි සඳහන් වූයේ විශ්වවිද්‍යාලය තුළදී ඔහුගෙන් හැමවිටම ප්‍රකාශ වූ නෝන්ජල් චරිතයට ඉඳුරාම වෙනස් කිසිවකි. නවකතාකරුවා නවකතාවට ලබා දෙන්නේ ටයිටැනික් වර්ගයේ අවසානයකි. යම් හෙයකින් එය එසේ නොවී තම ප්‍රාර්ථනා සඵල කර ගනිමින් චාරුණී සමග විවාහ වූයේ නම් නවකතාකරුවාට මෙය අවසන් කිරීමට සිදු වනු ඇත්තේ කවරාකාරයකින්ද?
මෙහිදී සිදුවන්නේ අන් කිසිවක් නොව නවකතාකරුවා තමාගේම ජීවිතය ප්‍රති නිර්මාණය කර ඒ දෙස සැඟවී බලා සිටීමය. සැඟවී බලා සිටීම මෙම නවකතාවේ අරුමැසියක් නොවේ. වසන්ත කුමාරගේ බැල්ම ප්‍රකාශ වන එක් අවස්‌ථාවක් නවකතාවේ දැක්‌වෙන්නේ මෙසේය.
“…වසන්ත කුමාර ජනේලය අද්දරට ගොස් සිටගෙන ඇතුළත දැක ගන්නට වීදුරු ජනෙල් පියන්පතට දැස් ළං කළේය. කිසිවක් නොපෙනේ. ඇතුළත කවරාකාරයකින් හෝ පිටත සිටින්නකුහට දැක බලා ගත නොහැකිය.
“මොකෝ මලේ…..”
වසන්ත කුමාර තිගැස්‌සිණි. ඔහු ගෙල අනිච්ඡානුගතව පසුපසට හැරවිණි. රූපසිංහ මිදුල කෙළවර නවහන්දි වැටට මුත්‍රා කරමින් සිටිනු ඔහු දුටුවේ එවිටය.
“බැලුවේ ඇතුළ පේනවද කියලනෙ…”
කාරිය අවසන් කොට එමින් රූපසිංහ ඇසුවේය. ඔහුගේ මුවෙහි වූ සෝපාහාස සිනාවෙන් පළ වූයේ වසන්තගේ ඇතුළත මුළුමනින්ම කියවා අවසන් බවය.”
නවකතාවේ වීරයාගේ මෙම නිරීක්‍ෂණය තමාගේම අභ්‍යන්තරය කියෑවීමට දරන වෑයමකි. එම නවකතාව තුළ පුනරාවර්තනය වන අවස්‌ථාව නම් රේණු නමැති විප්ලවවාදී ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයන් සමඟ වූ සබඳතාව අත්හරින පිළිවෙළය. එම සබඳතාව අවසන් වන අයුරු සියෑසින්ම දැක බලා ගැනීම සඳහා ඔහු උස් ගොඩනැඟිල්ලක සිට රේණු රස්‌තියාදු වී ආපසු යන අයුරු නරඹයි. මෙම අවස්‌ථා දෙකේaaදීම සිදුවන්නේ නවකතාවේ රචකයා තමාගේම ජීවිතයට එබී බැලීම ප්‍රතිනිර්මාණය කිරීමකි.
මෙම නවකතාව පිළිබඳ ස්‌වර්ණ පුස්‌තක සම්මානය ප්‍රදානය කරමින් ප්‍රකාශයට පත් කරන හේතු පාඨය ද වසන්ත කුමාර තම පෙම්වතියට ලියන ලිපියට දෙවැනි නැත. එම හේතු පාඨයෙන් උපුටාගත් කොටසක් මෙසේය.
‘මේ නවකතා පහ අගය කිරීමේදී අප අනුගමනය කළේ සාකල්‍යවාදී (Holistic
Approach) ප්‍රවේශයකි. එතෙකුදු වුවත් එය හැකිතාක් ක්‍රමික සැලැස්‌මක් තුළට ගෙන ඒම සඳහා පහත සඳහන් ද්විවිධ අවලෝකනයන් උපයෝගී කර ගත්තෙමු.
අ. පඨිතය ගොඩනැඟීමේදී යොදා ගත් ශිල්පීය හා කලාත්මක ශක්‍යතා
ආ. කථිකාමය ලක්‌ෂණ හා මැදහත්කාරක ගුණය.
නැවත මේ සංරචක අතර පළමුවැන්න
1. නවකතාකරුවා තෝරාගත් කතා මාදිලිය
2.චරිත හා චරිත ගොඩනැංවීම හෙවත් චරිතායතනය.
3. කතාන්දරය හා කතා වින්‍යාසය
4. භාෂාව හා ආඛ්‍යාන උපායන් යනුවෙන්ද,
දෙවැන්න
1. කථිකාමය ප්‍රබලත්වය
2. සමස්‌ත ආවරණය (Total Effect) ලෙස සලකා බැලීමු.
මේ පදනම් මත පිහිටා සලකා බැලීමෙන් පසු අවසාන තේරීමට ලක්‌වූ මේ නවකතා පහ අතර ප්‍රශස්‌තතම නවකතාකරු වනුයේ කාල අවකාශ සන්දර්භය කෙරෙහි අවධානය රඳවා ගනිමින්, පරිස්‌සමින් ගොනු කළ බහු ශාබ්දික භාෂා භාවිතයෙන් සන්නද්ධ වෙමින්ද නවකතාවේ එන පාත්‍ර වර්ගයාගේ, අභ්‍යන්තරික අනපේක්‌ෂිත මානයන් මෙන්ම ප්‍රති විරෝධතාද මතු කරමින් චරිතවල නියෝජනාත්මක ගුණය කෙරෙහි සැලකිලිමත් වෙමින් ලාංකේය සමාජ පරිවර්තන ක්‍රියාවලියේ නිමේෂයක් පිළිබඳ මානුෂීය කතාන්දරයක් ඔස්‌සේ පාඨක වින්දනේන්ද්‍රියන් නව ඉම් කරා ගෙන යන ප්‍රශස්‌ත වියමනක් වෙනුවෙන් කීර්ති වැලිසරගේ ලේඛකයාගේ ‘කාල සර්ප’ නම් නවකතාවයි.
ස්‌වර්ණ පුස්‌තක තුන්වැනි මණ්‌ඩලයේ සභාපති ආරියවංශ රණවීර
තමන් හේතු පාඨයේ ලා සඳහන් කරන කිසිවක් මේ නවකතාව තුළ නොමැති බව මේ ජූරි සභිකයෝ හො¹කාරවම දනිති. එහෙත් වසන්ත කුමාර තම පෙම්වතිය අමතන්නාක් මෙන් ඔවුන්ද සහෘද පාඨක ජනයා ඇමැතිය යුතුය. මේ නිසා හේතු පාඨය තුළට පඨිතය, කථිකාමය ලක්‌ෂණ, කතා වින්‍යාසය, ආඛ්‍යාන උපායන් ආදීවූ බොල් වදන් කැඳවනු ලැබේ. නවකතාව සමග සසඳමින් මේ බොල් බව එළිදරව් කිරීමට ගියහොත් මේ ලිපිය මීට වඩා දික්‌ගැස්‌සෙනු ඇත. ඔවුහු මෙහි පඨිතය යනුවෙන් පටන් ගත්තද අවසන් කරන්නේ ‘වියමන’ යෑයි සඳහන් කරමින් බැවින් එම යෙදුම් දෙකෙහි වෙනසක් සලකුණු කරති. ඒ අනුව අනෙක් කාට කෙසේ වෙතත් ස්‌වර්ණ පුස්‌තක සම්මාන ජූරියට පඨිතය යනු වියමන (එeංඑ) නොවේය.
ඉහත දැක්‌වූ හේතු පාඨය හකුළුවා දක්‌වතොත් සම්මාන ජූරිය අදහස් කරන්නේ ‘කාල සර්ප’ යනු අපූර්ව නිර්මාණයක් බවය. එහෙත් ගැටලුව නම් එම අපූර්වත්වය ණයට ගන්නේ කතුවරයාගෙන්ම වීමය. පශ්චාත් නූතනවාදය සහ රොලන් බාත් ගැන ලියන කෙනකුගේ අත්සනින් නිකුත් කෙරුණ හේතු පාඨය උත්ප්‍රාසනීය රංගනයක් වන්නේ එබැවිනි.
එය මම මෙසේ පැහැදිලි කරමි. හේතු පාඨයේ දැක්‌වෙන සියලු ගුණාංග මෙම නවකතාව තුළ තිබේ යෑයි අපි මොහොතකට උපකල්පනය කරමු.
එහි කියවෙන කතා මාදිලිය චරිත නිරූපණය කතා වින්‍යාසය භාෂාව හා ආඛ්‍යාන උපායන් ආදී වූ සියල්ල කතුවරයාගේ අභිප්‍රාය අනුව සිදුවී ඇති දේවල්ය. කතිකාමය ප්‍රබලතාව සේ ඔවුන් සඳහන් කරන්නේ කතාවේ දෘෂ්ටිමය පටුත්වය නම් එය ද අයිති කතුවරයාටය. එතැනදී නම් නවකතාකරුවා ජූරි සභිකයන්ගේ වාචාලකම ඉක්‌මවා යන කිසිවක් සම්පාදනය කර ඇත. එනම් මේ නවකතාව තුළ නෝන්ජලයන් බවට පත්වෙමින් සිටින නව තරුණ පරපුරක් සොයා ගැනීමය. එනම් මෙතෙක් අපට සම්මුඛ නොවූ සමාජ ඛණ්‌ඩයකි. ඒ අනුව මේ ජූරි සභිකයන් ඔවුන්ගේ කියවීම තුළ අලුතින් කිසිවක් සොයාගෙන නැත. එය අපූර්ව වූ වියමනක් වන්නේ කතුවරයාගේ අභිප්‍රාය හිංසනයට ලක් කළ හැකි කියවීමකට අවකාශ සලසන්නේ නම් ය.
හේතුපාඨය, කතාන්දරය හා කථා වින්‍යාසය, තොරොම්බල් කරත්ත මෙම නවකතාව කෙටිකතා දෙකක් පූට්‌ටු කිරීමක් සේ කෙනකුට පෙනී යතොත් පුදුම වන්නට දෙයක් නැත. එහි දැක්‌වෙන්නේ එක් කතාවක් අනෙක් කතාවේ පුනරාවර්තනීය (Repetitive) අවස්‌ථාවන් ලෙසය. පෙර කිසියම් අපූර්වත්වයක් වේ නම් එය තිබෙන්නේ අතීත කතාව සහ වර්තමාන කතාව ඉදිරිපත් කිරීමේ පිළිවෙළ වෙනස් කිරීම තුළ පමණකි.
කතිsකාමය ප්‍රබලත්වය යනු නවකතාකරුවාගේ දෘෂ්ටිය පිළිබඳ කාරණයකි. නවකතාකරුවා දෘෂ්ටිමය ලෙස ප්‍රබල ආස්‌ථානයක සිටී නම් ඔහුගේ නවකතාවෙන්. ප්‍රකාශමාන විය යුත්තේ අප ගෙවන මේ මොහොතේ අර්බුදයයි. ඒ අනුව ගත් කල කතිකාමය ප්‍රබලත්වය අතින් මේ නවකතාවට වඩා ඉදිරියෙන් සිටි නවකතා තිබිණි. එහෙත් ජූරි සභාවේ කියවීම නවකතාකරුවා නිර්මාණය කරන වසන්ත කුමාරගේ ලිවීම බඳු ෆැන්ටසිමය කියවීමකි.
මෙලෙස ‘කාල සර්ප’ පුළුල් වියමනක් ලෙස ගෙන සලකා බලන විට පෙනී යන්නේ එහි එන පාත්‍ර වර්ගයා පරයා එහි කතුවරයා ද එයට සම්මාන පාක්‌කුඩම් පුදන ස්‌වකීය මිත්‍ර ප්‍රතිරූපකයන් ද මතුවන සැටි ය. ඔවුහු නවකතාවේ මුඛ්‍යාර්ථය පෝෂණය කරති. ඔවුහු නවකතාවේ එන ප්‍රධාන චරිතයේ නෝන්ජල්කමට නොදෙවැනිව හැසිරෙති. අන්තිමේදී ‘කාල සර්ප’ යනු කීර්ති වැලිසරගේ නම් නවකතාකරුවා නිර්මාණය කළ එක්‌තරා නවකතාවක් පමණක් නොවී පොත් ප්‍රකාශකයන්ගේ සංගමය තමන් විසින් තෝරාගත් සම්මාන ජූරිය හරහා නැවත නැවතත් ගොඩනඟන ලද ව්‍යාපෘතියක් බවට පත් වන්නේය. ඔවුන් සියල්ලන්ම එකට එකතු වී ‘කාල සර්ප’ නමින් නැවත ලියන්නේ පසු ධනවාදී සංස්‌කෘතික තර්කනයේ කාලකන්නි ස්‌වරූපයයි.
සමන් වික්‍රමාරච්චි ( දිවයින ඉරිදා සංග්‍රහය )