මීට කලින් අප සාකච්ඡා කරන ලද්දේ, ලලිත් කොතලාවල විසින් මෙහෙයවන ලද ‘මූල්‍ය ප්රාග්ධනය’ සතුව පැවති සුවිශේෂීභාවය යි. ඔහුගේ මූල්‍යකරණයේ තිබූ සුවිශේෂී ගුණය වූයේ, පහළ සමාජ තට්ටු වෙතට මූල්‍ය ධනය සමීප කිරීමයි. ඉන් අදහස් වන්නේ, පහළම තට්ටුවලට අවශ්‍ය ප්‍රාග්ධන වෙළදපොළ සැපයීමයි. සාමාන්‍යයෙන්, ලංකාවේ වාණිජ බැංකු සහ රාජ්‍ය බැංකු දෛනික යැපීම් මත පරාධීන වන සමාජ ස්ථර සඳහා ප්රාග්ධනය සපයන සිල්ලර වෙළදාම කරන්නේ නැත. උදාහරණයක් වශයෙන්, උදේට රුපියල් 2000 ක් පොලී කරුවෙකුගෙන් ඉල්ලා ගන්නා මාළු වෙළෙන්දියක් සවසට රුපියල් 200 ක පොලියක් ගෙවයි. දැනට ලංකාවේ පවතින බහුතර සිල්ලර වෙළදාම රඳා පවතින්නේ, පොලීකරුවාගේ ප්‍රාග්ධන වෙළෙඳපොළ නිසා ය. මෙය විෂම චක්රයකි. අප යෝජනා කරන්නේ HNB, සෙලාන්, කොමාෂල්, පෑන් ඒෂියා වැනි බැංකු සිල්ලර වෙළදාමට බැසිය යුතුය යන්න නොවේ.
අපි පළමුවෙන් ‘මූල්‍ය ප්රාග්ධනය’ (Finance Capital) නිරිවචනය කරමු. වෙළඳ හෝ වාණිජ හෝ කාර්මික ප්රාග්ධනයට වඩා ‘මූල්‍ය ප්රාග්ධනය’ උන්මුල වශයෙන් වෙනස් ය. යම්කිසි ධනේශ්වරකරණයක් සිදුවන සමාජයක ‘තරඟය’ අභිබවා ඒකාධිකාරය රජ කිරීම පටන් ගන්නේ කොතැන ද එතැන ‘මූල්‍ය ප්රාග්ධනයේ’ සරුපස බිහි වෙයි. ගෝලීයකරණය වූ මූල්‍ය ප්රාග්ධනය දෙවන වරට ලෝකය වටා භ්‍රමණය වන සමකාලීන යුගයේ දී ‘චීන ප්රාග්ධනය’ සහ ‘ඇමෙරිකානු ප්රාග්ධනය’ අතර නිදහස් තරඟය අවසන් වී ඒකාධිකාරී බලය පිහිටුවීම සඳහා අවස්ථාවක් බිහි වී ඇත. ‘ප්රාග්ධනය’ තරඟකාරීත්වයෙන් අත්තනෝමතිකභාවයට එළඹීම සදාචාරය හා සම්බන්ධ ගැටලුවක් නොවේ. ‘මූල්‍ය ප්රාග්ධනය’ යනු, ධනවාදයේ අලුත් අවධියක් යන අදහස මුලින්ම ප්‍රකාශ කරන ලද්දේ, රුඩොල්ෆ් හිල්ෆර්ඩින් විසිනි. ලෙනින් විසින් මෙයට එකතු කරන ලද අලුත් අදහස වූයේ, ධනවාදයේ නෛසර්ගික ගුණයක් වූ ‘තරගකාරීත්වය’ නම් හැව අධිරාජ්‍ය යුගයේ දී හැලී ගොස් ඊට ‘ඒකාධිකාරය’ යන ගුණය ආදේශ වන බවයි. ලංකාවේ ඊනියා ජාතික ආර්ථිකයේ හැඩගැස්ම ඉහත ගුණ දෙකම ආරෝපණය කරගෙන ඇත.
යමිකිසි ජන සමාජයක වාණිජ හෝ කාර්මික හෝ කෘෂිකාර්මික ප්රාග්ධනය අභිබවා (හාල් මාෆියාව යනුවෙන් සදාචාරවාදීව විග්රහ වන්නේ, ‘කෘෂිකාර්මික ප්රාග්ධනය’ ලංකා බැංකුව විසින් පාලනය කිරීමයි. ඩඩ්ලි යනු, මෙහි අතරමැදියෙකු පමණි. ඩඩ්ලිට සල්ලි දෙන්නේ ‘ලංකා බැංකුව’ බව බබාලා තවම දන්නේ නැත.) මූල්‍ය ප්රාග්ධනය ”හෙජමොනික” (ලංකාවේ ගණිකා වෘත්තියේ යොදවන ප්‍රසිද්ධ සිංහල වචනය – මේ වචනය සිංහල භාෂාව තුළ සොයා ගැනීමේ ගෞරවය පවා තක්කඩින් මට අහිමි කර ඇත.) වන විට බැංකු වලට දේශපාලන කාර්යයක් ආදේශ වෙයි. ලෙනින්ට අනුව බැංකු සතු ප්‍රධානත ම හා ප්‍රාථමික ම කාර්යය නම් ගෙවීම්වල දී ‘අතරමැදියෙකු’ ලෙස ක්‍රියා කිරීම ය. ඉෂාර නානායක්කාර ජපානයෙන් මිලට ගන්නා ටොයොටා මෝටර් රථ වලට අදාළව මිලියන 3000ක් පමණ ගෙවන්නේ ඔහු නොව HSBC බැංකුවයි. (එක්වරකට) කරුංකා ඉන්දියාවට පැටවීමේ දී ඉන්දීය ඒජන්තයාට මුදල් ගෙවන්නේ LC හරහා ලංකා බැංකුවයි. ලංකාවේ මත්ද්‍රව්‍ය වෙළදාමට අදාළව මූල්‍ය ප්රාග්ධනය සංසරණය වන්නේ, වාණිජ බැංකුවල ජංගම ගිණුම් හරහා ය. මේවායින් සමහර ඒවා හොද වී සමහර ඒවා නරක් වීම, ජනමාධ්‍ය ගොයියන්ගේ පහළ මැද පාන්තික සදාචාර ඝෝෂාවන් පමණි. (චාපා වැනි කුඩා දරුවන්ගේ Video නැරඹීමෙන් මෙම සදාචාර විලාපය වටහා ගත හැකි ය. දැන් ඊට පුබුදු වැනි පොඩි දරුවන් ද සම්බන්ධ වී ඇත.)
ලෙනින් ඊළඟට (ලංකාවේ නම් ලෙනින් අවලංගු වී බොහෝ කල්ය.) මූල්‍ය ප්රාග්ධනයේ දේශපාලන විභවය මෙසේ සංකීර්ණ කරයි. ලෙනින් මෙසේ කියයි. “බැංකු ගෙවීම් වලදී අතරමැදියෙකු ලෙස ක්‍රියා කිරීම මඟින් ‘මුදල් ප්රාග්ධනය’ ලාභ උපයන නැතහොත් සමපේක්ෂණ ප්‍රාග්ධනයක් බවට පත් කරයි”. මෙය රැඩිකල් පියවරකි. ‘ලංකා බැංකුව’ ඉහත තත්වය නිසා ව්‍යාපාරිකයන්ට මුදල් ණයට දෙනවා පමණක් නොව මුදල් මැවීමක් ද කරයි. සමහර අවස්ථාවල තැන්පතුකරුවන්ගේ මුදල් අතුරුදහන් කිරීමක් ද සිදු කරයි. සජිත් ප්‍රේමදාසගේ ගෝලයෙකු සතු වූ මිලියන 300 ක ණය මුදල හදිසියේ බොල් ණය වූයේ රාජපක්ෂලාගේ දේශපාලන උවමනාවක් නිසා ය. සජිත්ට දැනට සිටින මන්ත්‍රීලා ද වැඩි බවත් අවශ්‍ය නම් තව 20ක් වුවත් විකුණා දැමිය හැකි බව සජිත්ගේ ගෝලයෙකු කියමින් සිටින්නේ, අහම්බයකට නොවේ. මේ ‘මූල්‍ය ප්රාග්ධනය’ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය හීලෑ කරන ආකාරයයි. UNP යේ මෙම තත්වය මලික් සමරවික්රමසිංහ හොඳින් දනියි. ජවිපෙ සහ ඉතුරු වාමාංශිකයන් ගැන අපි කතා නොකර ඉමු. උදාහරණයක් ලෙස, ලලිත් කොතලාවලගේ ව්‍යාපාර ජාලය අවසන් කිරීමට ආගම මූලික කරගත් සටන ‘චම්පික-රතන’ විසින් මෙහෙය වූයේ මන්ද යන කාරණය ද සොයා බැලීම චාපා වැනි දරුවෙකුට තම වැරදි හදා ගැනීමට උදව් වනු ඇත.
දෛනික ජීවිතයේ දී ‘සිවිල් ජනයා’ වාණිජ බැංකුවලට පිය නැඟීමේදී දෘශ්‍යමානය වන්නේ, මහජන සේවයක් පමණි. නමුත් බැංකුව ඔබ සිතනවාට වඩා දෙයක් සිදු කරයි. ඔබ එහි තැන්පත් කරන මුදල රුපියල් 1000 ක් නම් ඔවුන්ට මේ තැන්පතුව හරහා රුපියල් 6000 ක ණය මුදල් ව්‍යාපාරිකයන්ට දිය හැකි ය. මේ සන්දර්භය තුළ මධූෂ් පවා මුදල් වලින් මුදල් මවන්නෙකි. ඔහු විසින් වෙනත් කෙනෙකුට විකුණා ලංකාවට එවන මත්ද්‍රව්‍ය තොගයක් ඔහුගේම කණ්ඩායමක් මඟින් හොරකම් කරන අතර එකම ”මත්ද්‍රව්‍ය” තොගයෙන් ඔහු මුදල් ද්වි ගුණනය කරයි. බැංකුව සහ මධූෂ් යන පාර්ශව දෙකම කරන්නේ එකම දෙයකි. මුදල් වලින් මුදල් මැවීමයි. නමුත් පිරිසක් මැද පාන්තික මහත්වරු වන (නීතිගරුක) අතර අනෙකා අපරාධකරුවෙකු (නීති විරෝධී) වෙයි.
පකිස්ථාන්-ඩුබායි මත්ද්‍රව්‍ය කාටලය විසින් මධූෂ්, මොරිල් වැනි අතරමැදි ඉත්තන් පාවිච්චි කරන්නා සේ චීනය විසින් ‘රාජපක්ෂ කාටලය’ යොදා ගන්නේ ද ඔවුන්ගේ යුවාන් මුදල් ඩොලර් බවට පත්කර ගැනීමට ය. මධුෂ් සහ මොරිල් අතර වෙනස ඇමෙරිකාව සහ චීනය අතර වෙනස පරිදිය. මධූෂ්ට රට තුළ සන්නද්ධ කණ්ඩායම් පැවති නිසා ඔහු මත්ද්‍රව්‍ය විකුණා ඉක්මනින් මුදල් එකතු කළ අතර මොරිල්ගේ මත්ද්‍රව්‍ය මුදල් කරන විට වැටෙන පොලු ප්‍රමාණය වැඩි ය. මධූෂ් ඝාතනය වී මොරිල් ඉතුරු වන්නේ ඔහුගෙන් යැපෙන අය වැඩි නිසා ය. ඇමරිකාවට සන්නද්ධ බලයක් ඇති නිසා ලෝක මූල්‍ය ප්රාග්ධනය පාලනය කිරීම ඔවුන් සතුය. නමුත් චීනය කිසිදු යුද්ධයක් කිරීමට නියමිත නැත. ඔවුන් උත්සාහ කරන්නේ, මුදල් වලින් කප්පම් ගෙවා පුද්ගලයන් සහ රාජ්‍යයන් බා ගැනීමට ය.
චීනයට ලංකාවේ ඉඩම් මැනීමට අවශ්‍ය නොවන අතර ඇමරිකාවට ලංකාවේ ඉඩම් මැනීමට අවශ්‍ය ය. මේ හේතුව නිසා ජවිපෙට සහ චාපාට අනුව අධිරාජ්‍යවාදීන් වන්නේ, ඇමරිකාව මිස චීනය නොවේ. යටත්විජිතය බැඳී තිබුණේ, එක්සත් රාජධානිය සමඟ මිස ඇමරිකාව සමඟ නොවේ. ‘රෙජීමය වෙනස් කිරීම’ නම් සංකල්පය ඇමරිකාව භාවිතා කරන්නේ, හැකිතාක් යටත්විජිතවාදයෙන් ඔවුන්ට ඈත්ව සිටීමට ය. ඔවුන් 21 වැනි සියවසේ දී අපනයනය කරන්නේ, ‘මානව හිමිකම්’ සහ ප්රජාතන්ත්රවාදය යි. ලංකාවේ පාලන රාමුව තවමත් නමට හෝ ප්රජාතන්ත්රවාදය යි. නමුත් එහි අන්තර්ගතය අත්තනෝමතික ය.
ලංකාවේ පාලන රාමුව ප්රජාතන්ත්රවාදය වන විට එහි පාලිත අන්තර්ගතය අත්තනෝමතික යැයි කීම තුළින් අදහස් වන දේශපාලන-ආර්ථික අදහස කුමක්ද? LTTE සංවිධානය යනු, දෙමළ සුළු ජාතිය ශ්‍රී ලංකාවේ දේශපාලන – ආර්ථිකය තුළ තමන්ගේ කොටස වෙනුවෙන් සටන් කළ සන්නද්ධ ආකෘතිය යි. එය දෙමළ අභිලාෂයන්ගේ ධනේශ්වර ප්රකාශනය යි. රාජපක්ෂලා එනතුරු ලංකාව හා සම්බන්ධ වන මත්ද්‍රව්‍ය කාටලය පාලනය කළේ, LTTEය යි. චීනය විසින් LTTE ය තමන්ගේ මූල්‍ය ඒකාධිකාරය වෙනුවෙන් උතුරු කොරියාව හරහා රවටා රාජපක්ෂලා මඟින් පරාජය කරන ලදී. ඊට LTTE සන්නද්ධ ව්‍යුහයේ මාෆියා අන්තර්ගතය උදව් විය.
ශිවරාම් මියයන තුරු ඔහුගේ ජීවිතයේ අවසාන වසර 5ක පමණ කාලයක සිට ඇමෙරිකාවට ඇති ලංකාව ගැන දේශපාලන අභිලාෂ කුමක්දැයි ගවේෂණය කළේය. ඔහු ඒ සඳහා එක්සත් ජනපදයට ගොස් තොරතුරු සහ දත්ත සෙව්වේය. නමුත් ඔහුගේ විශ්ලේෂණ කියවන්නෙකුට ඇමරිකානු අභිලාෂ මොනවා දැ යි අවබෝධ කරගත නොහැකි ය. මේ තත්වය මේ මට්ටමටම LTTE යට ද බලපෑවේය. ඔවුන්ට ඇමෙරිකානු අභිලාෂ කියවීමට නොහැකි විය. සාමාන්‍යයෙන්, ඇමරිකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති වෙනත් දියුණු ධනවාදී රටවල මෙන් නොව ‘පුද්ගල ප්රතිරූප’ මතද තීන්දු වෙයි. ඉරාක යුද්ධය යනු, ඇමරිකානු රාජ්‍ය උවමනාවක් නොව ජෝර්ජ් බුෂ් පවුලේ උවමනාවකි. ලිබියාව විනාශ කිරීම හිලරි ක්ලින්ටන්ගේ පුද්ගලික උවමනාවකි. අමෙරිකානු යුද්ධය තනිමතයට නතර -slow- කළේ රිචඩ් නික්සන් ය. (LTTE ය විනාශ කිරීමේ දී ඉන්දියාවේ සෝනියා ගාන්ධිගේ පුද්ගලික උවමනාව ද ප්රමුඛ විය.)
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුව පත් වූ වහාම ඔහුගේ බෑණා වූ ‘ජෙරඩ් කූෂ්නර්ට’ නිව්යෝර්ක් නගරයේ සුඛෝපභෝගී තට්ටු නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට අවශ්‍ය විය. මේ සඳහා අවශ්‍ය ඩොලර් බිලියන ගණනක ණයක් කූෂ්නර් විසින් කටාර් එමීර්වරයාගෙන් ඉල්ලා සිටි අතර එය ඔහු කාරුණිකව ප්‍රතික්ෂේප කළේය. ටික කලකින් කටාර් දේශයට විරුද්ධ සම්බාධක ක්‍රියාත්මක වූයේ, කටාර් එමීර්වරයාව පීඩනයට ලක් කිරීමට ය. මින් අපට පෙනෙන්නේ, සමකාලීන යුගයේ දී ‘මූල්‍ය ප්රාග්ධනය’ සහ දේශපාලන පවුල් එකට වෙලී ඇති ආකාරය යි.
ලංකාවේ මූල්‍ය ප්රාග්ධනයට අදාළ ‘රාජපක්ෂ කාටලය’ ලංකාව පාලනය කිරීමේ පැත්තෙන් චීනයට, ඇමෙරිකාවට සහ ඉන්දියාවට ඉතා හොඳ පහසුවක් ජනනය කරයි. ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවක් සමඟ ගනුදෙනු කිරීම ඉතා දුෂ්කර බව ඔවුන් ඉඳුරා දනිති. අනෙක් පසින්, මේ තත්වය රාජපක්ෂ කාටලයට ද මාරාන්තික තත්වයකි. මන්දයත්, ඔවුන්ගේ ප්රාග්ධනය අපනයනය කළ හැක්කේ යුරෝපය සහ ඩුබායි බැංකුවලට වීම ය. ග්‍රීසියේ සිරීසා පාලනය අවසන් වූයේ, ග්‍රීක බැංකුවල ප්රාග්ධනය ජර්මානුවන් සතු වූ නිසා ය. රට තුළ ණය නිකුත් කිරීම පාලනය කළේ, ජර්මනිය යි. යහපාලන ආණ්ඩුව විසින් නිකුත් කළ ණය සහනයන් මහජනතාව අතරට නොගියේ, ලංකා බැංකුව සහ මහජන බැංකුව නිසා ය. අදටත්, ඔවුන්ට ඒ ගැන වැටහීමක් නැත. බැංකු විසින් හැමෝටම පොහොසත් වීමට ඉඩක් දෙන්නේ නැත. රෙනෝ සිල්වාට ‘හිරු’ නාලිකාව update කර ගැනීමට Bලියන 1.7 ක ණයක් දුන්නේ බැංකුවකි. ඡන්ද දෙකක දී ඔහු ඒ ණය ගෙවා දැමීය.
දැන් බොහෝ දෙනෙකුගේ ප්රශ්නය වී ඇත්තේ, ලංකාව සම්බන්ධයෙන් අමෙරිකානු අභිලාෂ මොනවාද යන්න යි. බොහෝ දෙනෙක් සිතන්නේ, තම අභිලාෂ මොනවා ද යැයි මයික් පොම්පියෝ විසින් රාජපක්ෂලා දැනුවත් කර ඇතිය යන්න යි. ශිවරාම් මෙන්ම අපි ද තවම ඇමරිකානු අභිලාෂ මොනවා දැයි නොදනිමු. ජනතා විමුක්ති පෙරමුණේ හෝ කුමාර් මහත්තයාගේ අභිලාෂ මොනවාද කියා කිසිවෙකු නොදන්නා පරිදි (පසුගිය කාලයේ බුද්ධිමතුන් කොටසක් ජවිපෙ ආශාව කුමක්ද කියා සොයන්න ගොස් අමාරුවේ වැටිණි.) තවමත් අපි ඇමරිකානු අභිලාෂ නොදන්නෙමු. මේ හේතුව නිසා, ඇමෙරිකාව සම්බන්ධයෙන් ඇති වී ඇත්තේ හිස්ටීරියානු කතිකාවකි. ජවිපෙ, චාපා, පුබුදු, පැරණි වම ආදීන්ගේ කතිකාව දෙස බැලූ විට මෙම තත්වය විද්‍යාමාණ වේ. සාමාන්‍යයෙන්, හිස්ටරිකයෙකු තම අශාව කුමක්ද කියා නො දනියි. ඒ නිසා, එවැන්නෙකුගේ ආශාව කුමක්ද කියා සොයා යන්නෙකු ඇතුල් වන්නේ වංකගිරියකට ය.
එසේ නම්, චාපා නම් ‘ලෝකය සහ වෙන මිනිසුන්’ ගැන දැඩි කුතුහලයක් සහිත ළමා මනස (මෙතැන ළමා යනු, පොඩි හෝ බොළඳ නොව දැඩි සංශයවාදය යි. ළමා මනස දැඩි සංශයවාදී ය. ඒ නිසා, දරුවෙකු හැමවිටම අසන්නේ තමා කොහෙන් ආවා ද කියා ය.) සහ තවත් එවැනි වර්ගයේ ළමා මනස් අසන්නේ ඇයි ඇමරිකාවට ඕනේ අපේ ඉඩම් මනින්න? මොකද්ද ඒ තියෙන අමුතු ආලය. ඉඩම් ප්‍රශ්නයට ‘ආලය’ වැනි පුද්ගලික ශබ්දකෝෂයේ වචන භාවිතා කරන එකම රට සමහරවිට ලංකාව විය හැකි ය.
‘පසමිතුරුභාවය’ (Antagonism) යන සංකල්පය වටහා ගන්නේ නැතිව ලංකාවේ ඉඩම්වල අයිතිය පිළිබඳ සංකල්පය වටහා ගත නොහැකි ය. බටහිර සමාජවල ඉඩම්වල අයිතිය පසමිතුරුභාවය නම් සංකල්පය හරහා බිහි වන්නකි. පසමිතුරුභාවය යනු, ප්රතිවිරෝධයක් නොවේ. වාහන දෙකක් ප්රතිවිරුද්ධව ගැටීමක් යනු, සැබෑ ප්රතිවිරෝධයකි. ‘පසමිතුරුභාවය’ යනු, ආත්මීය අදහසකි. එය ඥාණයට සම්බන්ධ නැත. ඒ නිසාම පසමිතුරුභාවයන් අවබෝධනය (Understanding) හා සම්බන්ධ නැත. යමක් අවබෝධ කර ගැනීම යනු, ඒ ගැන තමන්ට තිබූ ෆැන්ටසිය වටහා ගැනීම පමණි.
ලංකාවේ ‘ඉඩම්’ (Lands) සම්බන්ධ මූලික ගැටලුව වන්නේ, ඉඩම් පිළිබඳව ‘පුද්ගලික අයිතිය’ (Private Ownership) යනුවෙන් අදහසක් අපේ රටේ නැති වීමයි. ලංකාවේ ඉඩම් අයිති වන්නේ පොදු බවකට ය. එක්කෝ, ඒවා රජෙකුට අයිතිව තිබී ඇත. නැතහොත්, විහාරයකට හෝ දේවාලයකට අයිතිය. මෙම අර්ථයෙන්, ඉඩම් සම්බන්ධයෙන් පුද්ගලික දේපළ යනුවෙන් දෙයක් ලංකාවේ නැත (Absence of private property in Land). ලංකාවේ සිදු වන්නේ, ඉඩම් භුක්ති විදීම පමණි. මේ හේතුව නිසා, මෙහි බිහි වන පාලන තන්ත්රයන් අත්තනෝමතික (Despotic) ය. ඉඩම් පිළිබඳ පුද්ගලික අයිතිය අවශ්‍ය කෙනාට ‘රාජ්‍ය’ (State) යනුවෙන් සංකල්පයක් අවශ්‍ය ය. ‘ඉඩම්’ පුද්ගලික වීම යනු, රජාගෙන් සහ වංශාධිපතියන්ගෙන් ඉඩම් ගලවා ගැනීම යි. යටත්විජිත හිමියා විසින් ලංකාවේ කරන ලද්දේ, ඉඩම්වලින් බදු එකතු කිරීම පමණි. ආසියාවේ ඉඩම් අයිතිය පිළිබඳ ‘පුද්ගලික අයිතිය’ අපගේ ‘පරම මනස’ (තෙවැනි මනස- ආත්මීය, වාස්තවික, පරම) තුළ ලියැවී නැති නිසා මෙහි ‘සිවිල් නිදහස’ සංකල්පගත වී නැත.
මාක්ස් විසින් ආසියාව සම්බන්ධයෙන් ගොඩනඟන ප්‍රධාන කල්පිතය වන්නේ, ‘ආසියාවට ඇති යතුර වන්නේ ඉඩම් පුද්ගලික දේපළක් නොවීම යන කාරණය’ යි. මාක්ස්ට අනුව ආසියාවේ ආගමික සහ දේශපාලන ආධිපත්‍යයේ විමර්ශක ලක්ෂය වන්නේ ද ඉඩම්වල පුද්ගලික අයිතිය පිළිබඳ සංකල්පයක් නොමැති වීම යි. (මින් අදහස් වන්නේ, ඉඩම් වලට පුද්ගලික ඔප්පු තිබීම යන කාරණය නොවේ. මාක්ස්ගේ අදහස වන්නේ, ඉඩම් පිළිබඳ ආත්මීය (Subjective) අදහසක් ආසියාවට නැති බවයි. මෙය යුරෝ-කේන්ද්‍රීය අදහසක් ලෙසින් ජාතිකවාදියෙකු වටහා ගත හැකිය. ලංකාවේ ‘ජාතිකවාදය’ පවා යුරෝපා කේන්ද්‍රිය අදහසකි. ඉතිහාසය විජිතවාදය නිසා ඛණ්ඩනය වී ඇති නිසා ‘ජාතික සාරය’ සොයන ආකෘතිය පවා බටහිරවාදී ය.) මෙම තත්වය නිසා ‘ඉඩම්’යනු, රජයට හෝ පාලකයාට අයිති දෙයකි. ජහමනයා කරන්නේ, බදු ගෙවමින් භුක්ති විඳීම පමණි. (යුරෝපයේ ස්ත්‍රිය පවා වැඩවසම් යුගයේ පැවතියේ පුද්ගලික දේපළක් ලෙස ය. පසුව ඇය නිදහස් විය.)
’බ්‍රිතාන්‍ය- ඉන්දියාව පිළිබඳ ඉතිහාසය’ ලියමින් ජේම්ස් මිල් සටහන් කරන්නේ, ඉන්දියාව වසර 2000ක පමණ කාලයක සිට එකතැන පල් වන බවයි. වසර 2000කට පෙර, ග්‍රීකයන් ඉන්දියාව තුළ පවතින සිතීම, හැසිරීම, දැනුම ගැන කියූ කතා වලට වෙනස් දෙයක් අද දවසේ ද ‘ඉන්දීය ජහමනයා’ ගැන කිව නොහැකි ය. ඉඩම පිළිබඳ පොදු අයිතිය මේ එකතැන පල්වීමේ සාධකය යි. ඉඩම පිළිබඳ පසමිතුරු ගැටුමක් නිර්මාණය නොවූ නිසා ‘පුද්ගලික අයිතිය’ පෙරදිග මිනිසා නො දනියි. ඒ අනුව, 21 වැනි සියවස මුල දී ද ඉඩම් මැනීමට විරුද්ධ වීම අපූර්ව නැත. ඉඩම් මැනීමට පෙරදිග මිනිසා බිය වෙයි. ‘පුද්ගලික ඉඩම්’ ආරක්ෂා කිරීමට රාජ්‍යය අවශ්‍යය. එවන් රාජ්‍යයක් අපට තිබේ ද? අධිරාජ්‍ය අපට ඉඩම් මනින්න යැයි කියන්නේ මන්ද? එය උත්තරාරෝපණයක් ද?
Deepthi kumara Gunarathne
මීළඟට ඊළඟ කොටස –
අප සමග එකතු වන්න!
ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!
ඔබේ අදහස කියන්න...