ශිෂ්ටත්වයේ සිහිනය...|Tuesday, September 26, 2017
You are here: Home » News » මෙන්න නියම පශ්චාත් නූතන නවකතාකරුවෙක්

මෙන්න නියම පශ්චාත් නූතන නවකතාකරුවෙක් 

U.S. Air Force TSgt. Kinney treats a soldier who is suffering from combat stress at Combat Stress Control Clinic of 125 BSB Charlie Medical Company of Task Force Mustang at FOB Shank, in Logar province

මහාචාර්ය කුලතිලක කුමාරසිංහ සුළ‍ඟේ ගීතයට සවන් දෙනු (Hear the Wind Sing) යනුවෙන් පරිවර්තනය කරන්නේ හරුකි මුරකාමි නමෝ විත්තියෙන් ලියූ නවකතාවය. එය ඔහුගේ තුන් ඈඳුතු නවකතාවක පළමුවැන්නයි. එහි අනෙක් නවකතා දෙක නම් Pinball, 1973 (1980) සහ A Wild Sheep Chase (1982) යන නවකතාය. මෙම නවකතා මඟින් සාහිත්‍ය ලෝකය මුරකාමි හඳුනා ගන්නේ පශ්චාත් නූතනවාදී ලේඛකයකු වශයෙනි. එහෙත් මුරකාමි පිළිබඳ මගේ කියවීම නම් ඔහු තරම් තියුණු ලෙස දේශපාලනික නවකතා ලියන අන් ලේඛකයකු නැති බවය. ඔහුගේ නවකතා දේශපාලනික වන්නේ ස්වකීය ප්‍රශස්ත වචන හරඹය මඟින් ගෝලීයකරණය වූ පාරිභෝගික සංස්කෘතිය පිළිබඳ තියුණු කියවීමක් සම්ප්‍රදානය කරන බැවිනි.

මෙම නවකතාවට ප්‍රස්තූත වන්නේ 1970 අගෝස්තු 08 සිට අගෝස්තු 26 දක්වා කාල පරාසයක විහිදෙන එකටෙක සම්බන්ධයක් නැති සිදුවීම් ගණනාවකි. මෙහි කථකයාට නමක් නැත. ඔහුගේ මිතුරා Rat යන ආරූඪ නාමයෙන් හඳුන්වයි. ඔවුන් දෙදෙනා නිතර හමුවන්නේ J යනුවෙන් හඳුන්වන චීනයෙන් සංක්‍රමණය වූවකුට අයත් අවන් හලකදීය. ඔවුන් දෙදෙනාම විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ය. මෙම නවකතාව දේශපාලනික වන්නේ මුරකාමි එය ලියන කාල රාමුව (time trame) අනුවය.

1970 වූ කලී ජපානයේ ශිෂ්‍ය අරගල ප්‍රබලව මතු වූ කාල වකවානුවකි. එහෙත් ඒ පිළිබඳව නවකතාවේ යන්තමින් සඳහන් වන්නේ අවස්ථා දෙකකදි පමණකි. ඉන් එක් අවස්ථාවක් ඔහු විස්තර කරන්නේ එබඳු විරෝධතා රැලියක් පැවති දිනක තමා තරුණියක සමඟ නිදි වැදුණු බව කීමටය. ඒ අනුව ශිෂ්‍ය අරගල පිළිබඳ කතාව නවකතාවේ ආඬ්‍යානික නොසිදුවීම්ය. (narratively non events) එහෙත් සමස්ත නවකතාවම එකී නොසිදුවීම් වටා ගෙතුන ශිෂ්‍ය අසහනය පිළිබඳ පුරා වෘතයක් (myth) වෙයි.

මුරකාමි ගේ මෙම නවකතාව පිළිබඳ මෙබඳු කියවීමකට මා පොලඹවන්නේ සයිමන් ය. සයිමන් නවගත්තේගම සාපේක්ෂහී ලියන්නේ තුවක්කු සංස්කෘතිය මෙරට ගිලගෙන සිටි 1990 කාල වකවානුවේදීය. අංග ඡේදනය කළ කැරලි නායකයකුගේ සිහිනයක් තුළ ඔහුගේ පුරුෂ ළිඟුවට සමාන්තරව කුඩා පිස්තෝලයක් කාලතුවක්කුවක් තරම් විශාලව ලියලන විස්තරයක් සාපේක්ෂහී හි ඇතුළත්ය. සයිමන් සාපේක්ෂහි සමකාලීන ලංකාව පිළිබඳ කියවීමක් බවට පත් කරන ඓතිහාසික දෘෂ්ටාන්තරයක් ලෙස නිර්මාණය කරයි.

මුරකාමි තම නවකතාව තුළ නොසිදුවීම් බවට පත් කරනා ශිෂ්‍ය අරගලවලට සමාන්තරව තමාගේ ලිවීමට මහත් සේ බල පෑ ඩෙරෙක් හාම්ෆීල්ඩ් නමැති කාල්පනික ගත්කරුවකු නිර්මාණය කරයි. ඩෙරෙක් හාට්ෆීල්ඩ් (Derek Hartfield) යනුවෙන් ගත් කතුවරයකු ඇමෙරිකාවේ තබා ලෝකයේ කොහේවත් ජීවත් වූවකු නොවේ. එහෙත් නවකතාකරුවා තම ලිවීම පටන් ගත්තේම තමා ඩෙරෙක් හාට්ෆීල්ඩ්ගේ ලියවිලි වලින් බොහෝ දේ උගෙන ඇති බවය. ඔහු එම කාල්පනික ලේඛකයා හෙමින් වේ සහ ෆිට්ස්ජෙරල්ඩ් වැනි ගත් කතුවරුන්ට පවා සමාන කරයි. අවසානයේ දී මේ හාට්ෆීල්ඩ් මිය යන්නේ අතෙකින් හිට්ලර්ගේ පින්තූරයක් සහ අනෙක් අතින් කුඩයක් ද ඉහලාගෙන රජයට අයත් විසල් ගොඩනැඟිල්ලකින් පහළට පැනීමෙනි.

සිදුවීම් නොසිදුවීම් බවට පත් කරන මුරකාමි නොසිදුවීම් සිදුවීම් බවට විස්තර කරයි. හාට්ෆීල්ඩ් නම් කාල්පනික ගත් කතුවරයා තම නවකතාවේ සන්දර්භීය ගොඩනැඟීම තුළ ඔහු දෘෂ්ටාන්තමය චරිතයක් බවට පත් කරයි. ඔහුගේ කාල්පනික බව ජපාන සමාජය පිළිබඳ තියුණු පශ්චාත් නූතන කියවීමක් බවට පෙරළී ඇත.

එරික් ඉලයප් ආරච්චි පසුගිය සතියේ එක්තරා පුවත්පතක් සමඟ පැවැති සාකච්ඡාවකදී සිත් ගන්නා සුලු අදහසක් පළ කර තිබිණි. එහිදී එරික් කියා තිබුණේ යථාර්ථවාදය ප්‍රශ්න කරන නවකතාකරුවා මිනිසා බිලි ගැනීමට රේඛීය කාල ප්‍රවාහයට ඉඩ නොදෙන බවය. එවිට නවකතාවට විවිධ අවකාශයන් කරා පමණක් නොව විකල්ප කාල රාමු කරා ද ගමන් කළ හැකි බව ඔහු තර්ක කරයි.

මුරකාමි ගේ නවකතාවේ කාල්පනික කතුවර හාට්ෆීල්ඩ් පුවත්පත් වාර්තාකරුවකු සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහුගේ නවකතාවල පවතින ප්‍රතිවිරෝධතා පිළිබඳ ප්‍රශ්න කෙරේ. හාට්ෆීල්ඩ්ගේ නවකතාවේ වීරයා වන වැල්ඩො අඟහරු ග්‍රහයා මත දී දෙවරක් මියගොස් සිකුරු ග්‍රහයා මත වරක් මියෑදේ. මෙම ප්‍රතිවිරෝධතාව ගැන ප්‍රශ්න කළ විට හාට්ෆීල්ඩ් අසන්නේ අවකාශයේ හිස් බව තුළ කාලයාගේ ගලා යාම පිළිබඳ දන්නේ ද යන්නය. තමා එය නොදන්නා බව කියන වාර්තාකරුවා අන් කිසිවකු ද එය නොදන්නා කරුණක් බව පවසයි. එවිට කාල්පනික ගත් කරුවා දෙන්නේ කුන්දේරා ලේඛකයාගේ නිර්මාණකරණය පිළිබඳ කර ඇති ප්‍රකාශයකට සමපාත වන පිළිතුරකි. එනම් හාට්ෆීල්ඩ්ට අනුව ලේඛකයින් ලියන්නේ හැමෝම දන්නා දේ නම් ලිවීම අර්ථ විරහිත ක්‍රියාවක් බවය.

අප අවධාරණය කළ යුතු කාරණය නම් හාට්ෆීල්ඩ් කාල්පනික ගත් කතුවරයකු වද්දි එරික් අප අතර සිටින නව කතාකරුවකු වීමය. මින් සිදු වන්නේ ඉලයප් ආරච්චි ද අප විසින් පරිකල්පනය කරන ලේඛකයකු බවට පත්වීම යැයි කිසිවකු තර්ක කළහොත් මම ඔහුට විරුද්ධ නොවෙමි.

මුරකාමිගේ පළමු නවකතාව පශ්චාත් නූතන නවකතාවකැයි යන නිගමනය සමඟ මම එකඟ වෙමි. පශ්චාත් නූතන සමාජය බිහි වන්නේ තොරතුරු සහ සන්නිවේදනව ගෝලීයකරණය රටවැසි බව සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නව රාමුවක හැකියාව යෝජනා කරමිනි. අප පශ්චාත් නූතන තත්ත්වය ලෙස හඳුනා ගන්නේ එබඳු සමාජ වෙනස්කම්ය. එය පසු ධනවාදයේ සංස්කෘතික ස්වරූපය (ජෙම්සන්) ලෙස විස්තර වන්නේ එබැවිනි.

මුරකාමිගේ මෙම නවකතාව තුළ රේඩියෝ සන්නිවේදන අවස්ථාවන් පුනරාවර්තනීය ලෙස විස්තර වන්නේ මෙම සංස්කෘතික හැඩරුව නිරූපණය කරමිනි. මෙහි එන කථාව කියන්නා (ඔහුට නමක් නැත.) කුඩා කල කතා කිරීම ප්‍රතික්ෂේප කළ සිටි දරුවෙක් විය. ඔහු කතා කරවීමට මනෝ චිකිත්සික වෛද්‍යවරියට පවා නොහැකි වූ මුත් දන්ත ශෛල්‍ය වෛද්‍යවරයකුගේ මෙහෙයවීමෙන් සන්නිවේදනය තම පැවැත්ම සඳහා අවශ්‍ය සාධකයක් බව වටහාගෙන කතා පෙට්ටියක් බවට පත් වේ.

එවිට මුරකාමි පශ්චාත් නූතන සමාජය සන්නිවේදනයේ අධිපතිකම පිළිගත් තොරතුරු සමාජයක් බව දෘෂ්ටාන්තමය ලෙස ප්‍රකාශයට පත් කරයි. ඔහු පසුකාලීනව නිර්මාණය කළ Atter Dark සහ 1Q84 වැනි නවකතා තුළ පරිපාකයට පත්වන්නේ හරුකි මුරකාමිගේ එම තියුණු සමාජ කියවීමය.
සමන් වික්‍රමාරච්චි

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...