Rain

 

මැදපෙරදිග කලාපයේ වේගවත් දේශපාලන කුණාටුවක් හමමින් පවතියි. එහි කේන්ද්‍රය වන්නේ සෞදි අරාබියේ ඊළඟ පාලකයා බවට පත්වීමට බලාපොරොත්තු වන සල්මාන් කුමාරයාය. 2030 වර්ෂයේ පටන් සෞදිය පොසිල ඉන්ධන මත පරායත්ත නොවන රටක් බවට පත් කිරීම ඔහුගේ අභිලාෂයයි. Aramco වැනි අතිවිශාල ප්‍රොටෝ රසායන නිෂ්පාදනය කරන රාජ්‍ය සමාගමක කොටස් පුද්ගලික අංශයට විකිණීමට ඔහු අදහස් කරයි. සෞදි රාජ්‍යයේ අනාගත සැකැස්ම සදහා චින්තන විප්ලවයක් අලුත් පරම්පරාවට අවශ්‍ය බව සල්මාන් කුමාරයා පිළිගනියි. එහිදී ඔහු මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වෙයි. එම ගැටළුව වන්නේ සෞදියෙන් පිටතදී සෞදි රාජ්‍ය වෙනුවෙන් සටන් කරන හමුදාවක් (Army) නිර්මාණය කිරීමයි. දැනට සෞදි අරාබියේ පවතින හමුදාව යනු කුලී හමුදාවකි. ඒ තුළ සිටින්නේ වැටුපට බදවා ගන්නා ලද විදේශිකයන්ය. බොහෝ විට සෞදි හමුදා භටයන් සමන්විත වන්නේ පකිස්තානය,බංග්ලාදේශය,උතුරු අප්‍රිකානු ජාතිකයන් වැනි විදේශික මුස්ලිම්වරුන්ගෙනි. මේ අය කුලියට වැඩ කරන වැටුප් ශ්‍රමිකයන් මිස හමුදා භටයන් නොවේ. ඔවුන් ජීවිතය පරදුවට තබා සල්මාන් රජතුමා හෝ ඔහුගේ ඊළග අනුප්‍රාප්තිකයා වෙනුවෙන් සටන් කරන්නේ හෝ ජීවිතය පුදන්නේ නැත.
ඉහත තත්ත්වය කටාර් රාජ්‍යයටද අදාළය. එහි යුධ හමුදාව සමන්විත වන්නේද කුලියට සේවයට ගත් විදේශිකයන්ගෙනි. නමුත් කටාර් එමිර්වරයා මෙම දුර්වලතාවය මගහරවා ගැනීම සදහා විවිධ රැඩිකල් මුස්ලිම් සංවිධාන සමඟ ( තලේබාන්,
ISIS, අල්ක්වෙඩා, මුස්ලිම් සහෝදරත්වය ) රහසින් සබදතා පවත්වාගෙන යයි. ඒ සදහා කටාර් එමිර්වරයාට අල්ජසීරා රූපවාහිනිය හරහා අමතර වාසියක් ලැබී ඇත. මන්ද රැඩිකල් ඉස්ලාම්වාදීන්ට මහජනයා අතර ස්ථාපිත වීමට ජනමාධ්‍ය වල ආවරණය අවශ්‍ය නිසාය. දිගුකාලින වශයෙන් ගත්විට ඒකාධිපතියන් වෙනුවෙන් සටන් වදින යුද හමුදාවන් නිර්මාණය කිරීම දුෂ්කර කටයුත්තකි. හිට්ලර් පවා බලයට ආවේ ප්‍රජාතන්ත්‍රවාදය හරහා මහජන ඡන්දයෙනි. සෞදි සහ කටාර් පාලකයන් ඉදිරිපිට ඇති අභියෝගය වන්නේ ඉදිරි සටන් වලදී තමන් වෙනුවෙන් සටන් කරන යුද හමුදාවක් නිපදවා ගැනීමේ ගැටලුවයි. ලිබියානු රාජ්‍ය ක්ෂණයකින් විනාශ වී ගියේ එයට ස්ථාවර යුද හමුදාවක් නොමැති වීම නිසාය. සිවිල් යුද්ධය   ආරම්භ වන විට ලිබියාව තුල පැවතුනේ ජනාධිපති ආරක්ෂක අංශයක් පමණි.
යම් කිසි රටක රට වෙනුවෙන් සටන් කරන යුද හමුදාවක් නිර්මාණය කරගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් අවශ්‍ය බව ඉහත ඓතිහාසික අත්දැකීම හරහා අපට අවබෝධ කරගත හැකිය. සෞදිය විසින් යේමනය තුල නිර්මාණය කර ඇති සන්නද්ධ ගැටුම ගුවනින් ප්‍රහාර එල්ල කිරීම දක්වා ලඝු වී ඇත. සෞදියට පාබල හමුදාවක් වෙනත් රටකට යැවීම දුෂ්කරය. ඒ සදහා යොදා ගත හැකි වන්නේ ඇමරිකානු යුද හමුදාවකි.
දැන් අපි යහපාලන ආණ්ඩුව වෙත ප්‍රවේශ වෙමු. සෞදි රජතුමා වෙනුවෙන් යේමනයේ සටන් කරන්න පාබල හමුදාවක් නොමැති අතර එපරිදිම යහපාලන ආණ්ඩුව සදහා සටන් කරන්නට දේශපාලන අරගලකරුවන් යහපාලනයට නොමැත. මහින්ද රාජපක්ෂ කදවුර වැටී ඇත්තේ සල්මාන් රජතුමාගේ තත්ත්වයටය. මුදල් සහ මතවාදය හරහා මහින්දට අරගලකරුවන් නිෂ්පාදනය කල හැක. නමුත් විපක්ෂයක් තුල විපක්ෂයක් වූ මහින්දට ඔහු වෙනුවෙන් ඉදිරිගාමීව  සටන් කරන, විකල්ප මතවාදයක් සහිත මිනිසුන් නැත. යලි බලය ලබා ගැනීමේ ක්‍රියාවලිය තුල සිංහල මැදපන්තිකයන්ගේ  කැමැත්ත මහින්දට අවශ්‍යය. ඒ සදහා දැනට ඔහුට ඉතිරි වී ඇති එකම මතවාදය දේශප්‍රේමයයි. දෙමළාට විරුද්ධ බිය සිංහල මැද පන්තිකයන් ඉදිරියේ සහන පෙත්තක් බව සැබෑය. නමුත් 2005 වර්ෂයේ මහින්ද රාජපක්ෂ බලයට රැගෙන ආවේ ‘සාමය’ මුල්කරගත් සංහිදියා යාන්ත්‍රණයක් මගින්ය. එම ක්‍රියාවලිය තුල ලංකාවේ එතෙක් පැවති වාමවාදී අවසන් කණ්ඩායම්වල සවිය මහින්දට හිමි විය. නමුත් නන්දිකඩාල් විජයග්‍රහණයට පසුව මහින්දට දෙමළ ජනතාව දෙසට කිසිදා හැරිය නොහැක. ඒ නිසා මහින්දට කළ හැක්කේ තමන්ගේ ඊළග පරම්පරාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල තහවුරු කිරීම පමණි. Salman
අනෙක් අතට මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් ජිවිත පරිත්‍යාගයෙන් සටන් කරන අරගලකරුවන් පිරිසක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල නැත. පවතින තත්ත්වය අවබෝධ කරගැනීමේදී අඩි 6ක වල ගැන යතාර්ථවාදී අදහසක් සිරිසේන මහතාට ඇති නිසා තමන්ගේ දුර්වල නිලය ගැන අවබෝධයෙන් ක්‍රියා කරයි. එනිසා ඔහු අවතීර්ණ වී ඇත්තේ කටාර් එමිර්වරයාගේ දේශපාලන ස්තාවරයටය. 2020 වර්ෂයේ මුණගැසෙන දේශපාලන යතාර්ථය නිෂ්පාදනය කරන්නේ ජනමාධ්‍ය විසින් බව යහපාලන ආණ්ඩුව වටහාගෙන තිබේ. සමාජ බලවේග 2009 ට පසු ලංකාවේ වර්ධනය වී නොමැති තත්ත්වයක් තුල ‘දේශපාලන බලය’ ලබා ගත හැක්කේ මතවාදයට අතපෙවිමෙන් බව මෛත්‍රී පිල අවබෝධ කරගෙන ඇත. මහින්ද විශ්වාස කරන්නේ එය ‘පිරිස් බලය’ (බාහු බලය ) හරහා කල හැකි බවය. මංගල සමරවීර මහතා මුදල් සහ ජනමාධ්‍ය ඇමතිවරයා බවට පත්වන්නේ මෙම නව සන්ධර්භයට පසුවය. උතුරේත්, දකුණේත් පාර්ලිමේන්තු බලය තීන්දු වන්නේ සමාජ බලවේග හරහා නොව මාධ්‍ය මගින් ඇති කරන විවිධ මතවාදී ධ්‍රැවිකරණයන් හරහා බව ඒ ගැන විමසිලිමත්ව නරබන විට අපට ප්‍රත්‍යක්ෂ වෙයි. එවැනි තත්ත්වයක් තුල දේශප්‍රේමයට කල හැක්කේ කෙදිරිගෑම පමණි. මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන නව දේශපාලන කුණාටුව තුල ඇමරිකානු දේශප්‍රේමයට හෝ ඩොනල්ඩ් ට්‍රම්පට කල හැකි දෙය සිමා සහිතය.
මීළග සතියේ; රනිල්ගේ අනාගතය කුමක්ද ?  

   දීප්ති කුමාර ගුණරත්න    

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.