ශිෂ්ටත්වයේ සිහිනය...|Sunday, September 24, 2017
You are here: Home » Hot » “යහපාලන ආණ්ඩුව මුකුත් කරන්නේ නෑනේ“ මිනිස්සු කියන කතාව ඇත්තද ?

“යහපාලන ආණ්ඩුව මුකුත් කරන්නේ නෑනේ“ මිනිස්සු කියන කතාව ඇත්තද ? 

UYAN

 

 මහාචාර්ය ජයදේව උයන්ගොඩ විග්‍රහයක -

 

“යහපාලන ආණ්ඩුව හරියට වැනෙනවා නේ“ යනු මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුගිය මැතිවරණයේදී ඡන්දය දුන්, මගේ අසල්වාසියෙකු ළඟදී මා සමග කළ ප්‍රකාශයකි. දූෂණයට එරෙහිව පියවර ගැනීම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ සිරිසේන මහතා නායකයා වන ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් වන බහුවිධ න්‍යාය පත්‍ර යන මේවා දෙස බලන විට, මගේ අසල්වාසියාගේ ප්‍රකාශය නිවැරදිය. අලුත් ආණ්ඩුවේ ඇති පැහැදිලි අරමුණක් නොපෙනෙන දේශපාලන ගමන් මග, ආණ්ඩුවේම ඇමැතිවරුන් හා පක්ෂ අතර ඇති එකිනෙකට නොපෑහෙන දේශපාලන ලයින් යන මේවා දෙස බලන විට, සිරිසේන මහතාට ඡන්දය දුන් අප වැනි ඡන්දදායකයන්ට ඇති වන්නේ කළකිරීමකි. අපේක්ෂා භංගත්වයකි. 

මෙය දේශපාලන නරුමවාදය දක්වා ද වර්ධනය වන්නට පුළුවන. “ඔක්කොම හොරු නේ “යි යනු එවැනි නරුමවාදී දේශපාලන විනිශ්චයකි.

මේ අතර, දේශපාලනය ගැන අප බැරෑරුම්ව සිතන්නේ නම්, අපට දේශපාලන නරුමවාදය වැළඳගත නොහැකිය. “විචාරත්මක දේශපාලන අවබෝධය“ අපේ ක්ෂණික ඉලක්කය විය යුතුය. එය තුඩු දිය යුත්තේ පරිවර්තනාත්මක දේශපාලන පරිකල්පනය සහ භාවිතාව (Transformative Political thinking and Practice) යන කල්පවත්නා අරමුණටය. මේ ලිපියෙන් මා කරන්නේ එවැනි පරිකල්පනයක් සඳහා මේ ලිපියේ පාඨකයන්ට ආරාධනා කිරීමයි.

අලුත් ආණ්ඩුව පිළිබඳ අපේ මනෝමූල බැඳීම්, විනිශ්චයන් සහ සිත් පලුදුවීම් යනාදිය පැත්තක දමා, ආණ්ඩුව මුහුණ දෙන වාස්තවික දේශපාලන යථාර්ථය කුමක්දැයි හඳුනාගැනීම අපට වැදගත් වනු ඇත. එම වාස්තවික යථාර්ථය පහත සඳහන් දේවලින් සමන්විත වේ.

1. සිරිසේන මහතා ජනාධිපතිවරණය දිනුවත් එතුමාගේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සුළුතර ආණ්ඩුවකි.

2. 1978 ව්‍යවස්ථාව යටතේ හා 18 වැනි සංශෝධනය යටතේ, විධායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වඩා සාතිශය ලෙස බලසම්පන්න වූව ද එම බලසම්බන්න භාවය පාවිච්චි කීරීමේ නිදහස ජනාධිපති සිරිසේන මහතාට නැත. ඔහුගේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සුළුතරය වීම එයට ප්‍රධාන හේතුවයි.

3. අධිකාරිවාදී පාලන තන්ත්‍රයකට පසුව බලයට එන ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයකට, මුහුණ දෙන්නට වන අභියෝග, සාමාන්‍යයෙන් මැතිවරණයකින් පසු සිදුවන ආණ්ඩු වෙනසකදී මතුවන අභියෝගවලට වඩා සංකීර්ණය, බරපතලය. (මේ 

කාරණය ඉදිරියේදී විග්‍රහ කරයි.)

4. ලංකාවේ ජනාධිපති ධුරයට පත් වූ බොහෝ (ජයවර්ධන හා ප්‍රේමදාස මහතුන් හැර) දෙනෙකු තම පළමුවැනි අවුරුද්ද ගත කළේ අවිනිශ්චිතභාවය, නොපැහැදිලිකම, ඉබාගාතේ යාම වැනි චෝදනා සාධාරණීකරණය කරන ආකාරයකිනි. චන්ද්‍රිකා හා මහින්ද දෙදෙනාම පළමුවැනි අවුරුද්දේ දැක් වූ ලක්ෂණ මෛත්‍රීපාල ජනාධිපතිවරයාගෙන් ද ප්‍රකාශ වන බව අපට නිරීක්ෂණය කළ හැක.

ඉහත අන්තිමට සඳහන් කළ කාරණය සංයුක්ත උදාහරණයකින් පෙන්වා දීමට මා කැමතිය. මහින්ද රාජපක්ෂ මහතා පළමුවරට ජනාධිපති වී මාස කිහිපයකට පසු, එනම් 2005 වර්ෂයේ මැද භාගයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට මම සහභාගි වුණෙමි. එම සාකච්ඡාවේ තේමාව වූයේ උතුරේ ප්‍රශ්නය ගැන ආණ්ඩුවේ පිළිවෙත සාකච්ඡා කිරීමය. ඒ වන විට ද ආණ්ඩුවේ මහා බලවතෙකුව සිටි බැසිල් රාජපක්ෂ මහතා සාකච්ඡාවේ මුලසුන දැරීය. සාකච්ඡාව අවසානයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මගේ සමකාලීනයෙකු වූ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඒ පරණ සම්බන්ධය නිසාදෝ මා සමග වෙනම පුද්ගලිකව කතා බහක් කළේය. එහිදී එතුමා කියූ දෙයක් මගේ මතකයේ නොමැකී පවතී. ඉංග්‍රීසියෙන් කියූ එම වාක්‍ය මෙසේය.

“Uyan, I am helping a hand on president to suceed. it is my job“

මේ වාක්‍ය බොහෝ අර්ථවත් එකකි. එහි වාචික තේරුම නම් “අත්දැකීමක් නැති, අත්හදාබැලීම් කරන ජනාධිපතිතුමෙතුගේ සාර්ථකත්වය සහතික කිරීමටයි මම වැඩ කරන්නේ. ඒක මගේ වගකීම. “

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගැන කල්පනා කරන බොහෝ විට ලලිත් වීරතුංග මහතාට මා ගැන මෙන්ම මේ වැදගත් ප්‍රකාශය ගැන ද රාජපක්ෂ රෙජීමයේ මහා බල කණුවක්ව සිටි එතුමාට දැන් කිසිදු මතකයක් නැතිවන්නට ද පුළුවන. මට මතක් වෙයි. සිරිසේන මහතා ද hand on president කෙනෙකි.  එනම් ජනාධිපති ධුරයේ අත්දැකීම් නැති, අත්හදාබැලීම් කරන, අත්හදා බැලීම්වලින් ඉගෙන ගන්නා ජනාධිපතිවරයෙකි. එතුමාට උදව් කරන ලලිත් වීරතුංග වැනි කාර්යක්ෂම කපටි සහ තම වෘත්තීය ජීවිතය ද මූලධර්ම විරහිතව කැපකර සිටින නිලධාරීන් එතුමාට සිටින්නේදැයි මා දන්නේ නැත. 

ඉහත මා පෙන්වා දුන් තුන්වන කාරණය ද තරමක් විස්තර කළ යුත්තකි. චන්ද්‍රිකා මැතිණියගේ නායකත්වයෙන් පොදු පෙරමුණු ආණ්ඩුව 1994 දී පාර්ලිමේන්තු ඡන්දයෙන් දිනූ විට ඇති වූ තත්ත්වය ආශ්‍රයෙන් මේ කාරණය විස්තර කළ හැකිය. පොදු පෙරමුණ ද බලයට ආවේ, ප්‍රේමදාස මහතාගේ අධිකාරිවාදී පාලනයෙන් පසුව ඇති වූ විජේතුංග මහතාගේ අතුරු පාලනයේ පශ්චාත්ගාමියා හැටියටය. 

පොදු පෙරමුණු ආණ්ඩුව ආරම්භ වූ විගස, අපට දැනුණේ මහා විනාශකාරී කුණාටුවකින් පසුව ඇති වූ නිශ්ශබ්දතාවයකට සමාන තත්ත්වයකි. ඇත්තටම අධිකාරිවාදී, ප්‍රචණ්ඩ පාලන තන්ත්‍රයක් අවසන් වූ පසු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ගොඩනැගෙන හා ප්‍රජාතන්ත්‍රවාදය පොරොන්දු වන අලුත් ආණ්ඩුවේ සාර්ථකත්වය මුලින්ම පෙනෙන්නේ, පසුගිය ආණ්ඩුව කළ බොහෝ දේවල් නොකර ඉඳීම යන කාරණයේදීය. 

රාජ්‍ය තන්ත්‍රයේ මර්දනකාරී ක්‍රියා, 
භීෂණය හා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය නතර කිරීම, 
පැහැර ගැනීම් හා මරා දැමීම් නතර කිරීම, 
රාජ්‍ය බලය අයුතු ලෙස ප්‍රයෝජනයට නොගැනීම 
යන මේවා වනාහි ආණ්ඩු වෙනසත් සමග ඇතිවන ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයේ පළමුවැනි අවධියේදී  සිදුවන නිෂේධනාත්මක (Negative) දේශපාලන ජයග්‍රහණයන්ය. 

සිරිසේන – වික්‍රමසිංහ ආණ්ඩුවේ පළමු අවධියේ ද අප දකින්නේ මේ “නොකර ඉඳීම“ නම් වූ නිෂේධනාත්මක දේශපාලන ජයග්‍රහණ සිදුවෙමින් පවතින පසුබිමය. මේ නිෂේධනාත්මක ජයග්‍රහණවල ප්‍රධාන ප්‍රකාශන කිහිපයක් තිබේ. 
ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රජා පීඩක බලාධිකාරය මහජන පරිමණ්ඩලයෙන් ඉවත් කිරීම, 
අධිකරණය විධායකයේ පාලනයෙන් හා බලපෑමෙන් ඉවත් කිරීම, 
ජනාධිපතිවරයා වටා සිදුවූ පුද්ගල වීරාභිවන්දනය නතර කිරීම, 
රාජ්‍ය යන්ත්‍රයේ භීෂණාත්මක චර්යාවන් නතර කිරීම, 
දේශපාලකයන් යනු පුරවැසියන් බිය ගන්වන සුපර් මෑන්ලා පිරිසකි යන අදහස අවසන් කිරීම, 
යන මේවා සුළුපටු ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ නොවේ. “ආණ්ඩුව මුකුත් කරන්න් නෑනේ“ යන විවේචනය සෑහෙන දුරට මේ නිෂේධනාත්මක ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ පිළිබඳ පසුබිම තුළ මතුවන්නකි.

ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයේ දෙවැනි අවධිය, මෙම නිෂේධනාත්මක ජයග්‍රහණවල සිට සාධනීය ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ කරා මාරු වීම සමග ඇති වන්නකි. ආණ්ඩුවේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය වන්නේ මේ දෙවැනි අවධිය තුළ කරන, නොකෙරන දේවල් මතය.

මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසිනි 
-ඉදිරියට ස්තූතිය-

Lanka E News

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...