මහේෂ් හපුගොඩ 

(වසර ගණනාවකට පෙර ‘රාවය’ පුවත්පතේ පළවූ මෙම විචාරයට අද දවසේ තත්වයන් තුළ යම් එකතු කිරීමක් කර ඇත. මෙය නැවත පළ කිරීමට සිතුවේ ලහිරු පෙරේරා ගේ තවත් ගීත කිහිපයක් ජනප්‍රිය වී ඇති සන්දර්භයක් තුළය).
ලහිරු පෙරේරා නම් මෑතකදී ජනප්‍රිය වූ ගායකයා ගේ ‘රම්බරී ‘ ගීතය ලාංකික පශ්චාත් නූතන පාරිභෝගික වෙළඳපල තුල ‍නොනැවතී ගලන වාණිජ සංඥා අතර තවත් එක් සංඥාවක් ලෙස  අප අතට පත්ව ඇත. මේ දිනවල  සිංහල chart show වල මුදුනට නැගීමට මෙම ගීතය උත්සාහ කරන අතර මේ ගීතය පාදක කරගත් වෙළඳ දැන්වීමක් ද පෙර සඳහන්කල වාණිජ සංඥා අතර දක්නට ඇත. ගීතය පැයට දෙවරක් වශයෙන් FM Channels වල  ‘ගැසීම’  නිසා තව මාසයක්වත් මෙ වාණිජ සංඥා අතර සිටීමට මෙයට නොහැකි වන අතර FM Channels වල බඩු විකිණිම සඳහා වෙනත් පාරිභෝගික භාණ්ඩකරණය වූ ගීත ඉන් අනතුරුව වෙළඳ පලට පිවිසෙනු ඇත.  මේ ගීතය සම්භන්ධයෙන් මා ලිවීමට අදහස් කරන පහත සඳහන් දෑ මේ ගීතයෙහි ඇති යම් යම් යථාර්ථයන් මෙය කියවන අය වෙනුවෙන් මතු කිරීමට මා උත්සාහ කරන අතර, එය මේ ගීතය පාරිභෝගීකරණය වීමෙන් වැලැක්වීමට හෝ (එය මට කෙසේවත් කල නොහැක) මෙම ගීතයට විප්ලවීය මානයක් එක් කිරිමට හෝ කරන උත්සාහයක් නොව ලාංකික තරුණයින්ගේ අද දවසේ යථාර්ථය යම් ආන්තික ආකාරයකට හෝ නිරෑපනය කිරීමට කරන ලද (අවිඥාණයික) උත්සාහයක් මේ තුල දැකීමට හැකි බවට කරණ සලකුණු කිරීමක් වශයෙන් පමණක් භාර ගන්නා ලෙස කියා සිටිමි.

 

1978 විවෘත ආර්ථිකයෙන් පසු ලංකාවට මුහුණට මුහුණ හමුවූ (confront) ධනවාදයේ ක්‍රියාත්මක බව නිසා හා පාරිභෝගික යතාර්ථය තුල රූපාන්තරණය වූ  ‘ නව ‘ තරුණයා ගේ (මෙන්ම තරුණිය ගේ ) ඇත්ත මේ ගීතයට එක්තරා දුරකට නිරෑපනය කිරීමට හැකිව ඇත. නමුත් තරුණයාගේ එම සංකීර්ණ බව අපට මෙම ගීතය තුල මුණගැසෙන්නේ ඛණ්ඩනීය අධි යථාර්ථයක් (a fragmental  hyper-real) ලෙසය. මෙම සංකීර්නතාවය කෙබදුද? එක් අතකින් වඩාත් ධ්‍රැවීකරණය වූ (polarized) පංති විෂමතාවක් විසින් ජනනය කර ඇති දරිද්‍රතාව, ධනවාදයේ සූරාකෑම හා පරාරෝපණයක් ඇතත් එය අනෙක් අතට අමතක කරමින් ධනවාදය ස්වභාවිකකරණය වූ පාරිභෝගික සංඥා අධියථාර්ථයක් අතර දෝලනය වන,  තම පංති මූලයන් අමතක කරවමින්, එම අසාධාරණය හා විෂමතාවය වෙනස් කිරීම සඳහා වන විමුක්ති දේශපාලනය තමා වෙතින් පළවා හැර ඇති යථාර්ථය ය මෙම ගීතය මගින් අප වෙත ගෙන එනුයේ. ගීතය අදේශපාලනික පාරිභෝගික  ‘ ආතල් ‘ එකක් පමණක් වී ඇත්තේ එහි දෘෂ්ඨිමය මානයන් වෙළඳ යථාර්ථය ඉක්මවා පංති සවිඥාණාත්මක බව අපතුල ජනනය නොකරන නිසාවෙන් වුවත්, ගීතය තුල පිළිඹිඹු වන යථාර්ථය අප එම නිසාම ඉවත නොදැමිය යුතු බව මාගේ යෝජනාවයි.

ලංකාවේ ඉතාම ඈත පලාත් වල සිට කොළඹ කේන්ද්‍රණයට සංක්‍රමණය වූ තරුණ තරුණියක් ලංකාවේ වාණිජ වෙළඳ ප්‍රාග්ධන හා සංස්කෘතික යථාර්ථය තුල තමා පිහිටුවාගෙන (position)ඇති ආකාරය ගීතය පුරාම චිත්‍රණය කර ඇත. එමෙන්ම පරිසරයේ ගම්මාන හා කලාප (regions) වල නිර්-ප්‍රාග්ධන හා ගැටුම්කාරී පරිසරය විසින් එම තරුණයින් තුල ජනනය කර ඇති ආතතියත්  කොළඹ නගරය තුල සැරිසරණ වෙළඳපලත් එම වෙළඳපල යතාර්ථය තුල හිදිමින් ම පරිධියේ ගම්මාන වල සංස්කෘතිය ගැන ඔවුන් තුල ඇති හාස්‍යමය එහෙත් අතීතකාමීත්වයත් (nostalgia) ගීතයේ රෑපණය කර ඇත. එහෙත් සමනලතටුවල නැගී කුරුළු පිහාටු ආධාර යෙන් නැවත ගමට යා යුතු යැයි ගීතය නොපවසයි. ප්‍රගතිශිලීත්වය එයයි. නාගරීකරණ සංස්කෘතික අවකාශයක ඔවුන්ගේ සෑබෑ ආශාව , ‘ගස් පල්ලෙ ඉදන් බොමුද රා පෙරා’  වශයෙන් පැරණි ග්‍රාමීයත්වය තුල ඇති ප්‍රපංච තුල සිරගතව ඇත. එහෙත් කොළඹ සංස්කෘතිය තුල ලාභෙට විකිණෙන  අව් කණ්නාඩි වලින් හා ඩෙනිම් වලින් ‘මොඩ්’ රූපයක් ඔවුන්ට ගෙනවිත් ඇත. ඔවුන් අම්පාරට හෝ වාකරේට හෝ අයිති නොවන අතර ඓන්ද්‍රීයව (organically) කොළඹට සංස්කෘතිකව අයිති වන්නේද නැත. නමුත් නංගිලා ‘හැඩ’වී ඇත. මල්ලිලාද එසේමය.  එහෙත් ෆැන්ටසි කරණය කරන්නේ රෙද්ද හැට්ටෙ අදින යුවතියකි. මා කියන අර්බුදමය ස්වරූපය අධ්‍යතන ලාංකික තරුණයාගෙත් නිරෑපණය වන්නේ මෙසේයි.

එමෙන්ම ලංකික දරිද්‍රතා රේඛාවෙන් පහල ජීවත් වන නිර්ධන පංතික තරුණයින්ගේ ආහාර සංස්කෘතිය පිළිබඳ වැදගත්  මානයන් කිහිපයක් ද අප වෙත මෙම ගීතය ගෙනඑයි. කොත්තු , ක්‍ෂණික නුඩ්ල්ස් හා වෙනත් පිටි සහිත ආහාර වැඩිපුර ආහාරයට ගැනීමට සිදුවීම නිසා ඇතිවන තරබාරුවත් , එම තරබාරුකම නිසා ‘ලොරිභාග’ වීමත් ලස්සන පිළිබඳ අධිපති කතිකාව තුලින් බහිස්කරණය කරණ තරුණියකගේ යථාර්ථයක් මේ ගීතය තුල ගැබ්ව ඇත. ඇඟ maintain කරගත යුතු වුවත් සැබෑ ආහාර සංස්කෘතිය මෙයට ඉඩ නොදේ . ගීතයේ පළමු වන verse එක තුල ඇති ලුණු දමා කොටන (මිරිස් වැඩි පුර ඇති) සම්බෝලෙත් පසුව කියවෙන පාන් බාගෙ (පිටි සහිතයි) හා ප්ලේන්ටිත් (ලංකාවේ ගුණාත්මක බවින් අඩු තේ කොළ රස නැති නිසා එයට වැඩිපුර සීනි  දමයි) පැහැදිලිව නොයෙක් රෝග වලට මුලපුරන අතර මැදි වයසක් යද්දී රෝගී වන ලංකිකයින් බෙහෙත් වලට අධික මුදලක් විදේශිය සමාගම් වලට වෙන්කරයි. ගුණාත්මකව ඉහල මට්ටමේ ආහාර සඳහා මුදල් නැති අතර එසේ තිබුණා වුවත් (මිල ඇතැම්විට අඩු වුනත්) හුරුවක් නොමැති වීම  නිසා පැරණි අසංස්කෘතික , නිර්-හේතුක ආහාර දාමයේ බැඳි සිටිමට ඔවුන්ට සිදුවේ. එය ද බොරැල්ලේ -මරදානේ කොත්තු හා පරාටා කඩලවලය. රා වලට යන මුදලින්ම කාල්ස්බර්ග් (Carlsberg)හෝ අයිරිෂ් ඩාර්ක් (Irish Dark)  බියර් ලීටරයක් ගත හැකි වුවත් ගමට හා එහි සංස්කෘතියට ඔවුන් දක්වන පරිකල්පනීය සම්බන්ධය මගින් පෙරළා ඔවුන් අතීතයට ගෙනයයි.

ලාංකික දෙබිඩි, මසුරු වැඩිහිටියන් හා ඔවුන් තම අලුත් පරම්පරාව ගැන දක්වන ලෙන්ගතු නොවන කර්කශ සම්බන්ධයද ‘දන්ගල්ලේ මාමා හරි කුණා’  වැකියෙන් ශ්‍රාවකයා තුලට රැගෙන ඒයි.  සල්ලි නැති  කම නිසා එකට ‘කූඩු’ වී බෝඩිම්වල සිටින තරුණයින් අතරට ‘ජැක්’ එකක් ගසා ඔවුන්ගේ මුදලින් ම පාන් භාගයක් කා මොකක් හෝ රජය කාර්යාලක වැඩකට හෝ ඉස්පිරිතාලයක රෝගියෙක් බැලීමට කොළඹ අවුදින් අනුන්ගේ වියදමින් ‘ෂේප් වී ‘ආපසු CTB බස් එකක හිර වී පශ්චාත් ප්‍රභාකරන් නිර්-විමුක්ති ශ්‍රී ලංකාවේ ආපසු  ගම් නියම්ගම් බලා යන නර්- ප්‍රභූ පීඩිත පංති වැඩිහිටියාගේ රෑපය ඔබට එම තනි වැකියෙන් පරිකල්පනයට ගෙන එයි. එම මාමා ටම පෙර කී ‘රා’යථාර්තයත් අදාලයි. රුවටිලිකාරී ආදර සම්භන්දතා හා මර්දිත ලංගික යථාර්ථය තුල නොගැලපෙන හා හදිසි ලිංගකමය සම්භන්ධතා තුල තමාට ‘කර ගැසීමට’ සිදුවන නිර්-ප්‍රභූ අසංස්කෘතික ගැහැණිය ද මෙම ගීතය තුල සංක්‍ෂිප්තව දර්පණය කරයි. ‘ලොරි භාගෙ’ මට දුන්නට ‘හුටපටේ’ යනුවෙන් එම තරබාරු ගැහැණිය එක්කෝ ඇගේ  දෙමව්පියන් බලෙන්ම යාලු වූ තරුනයාගේ ‘කරේ ‘ ගසන හෝ ‘එල්ලන’ අතර සමහර විට යාළුවන් අතින්ම මෙය සිදුවේ. මෙතනදී ගැහැනිය අවනිශ්චය (de-determine) කිරී‍මක් කරනවාට වඩා සලකා බැලිය යුත්තේ ‘නොගැලපීම ‘ නම් යථාර්ථය තුල විදවිමට සිදුවන අවාසන්වන්ත තත්වයයි. ‘මේ වගේ කතක් දැක්කෙම නෑ මේ රටේ’ තුලින් ඇගේ තොර තෝංචියක් නැති වාචාල බවද තරුණයා එය නොරිස්සීමද ප්‍රකට කරයි. මෙම ගැහැණිය නිසා විෂුවල් වල පෙන්නන පරිදි, පිරිමින් ගුරුත්වා කර්ෂනයෙන් මිදී වාෂ්ප වේ.

කොළඹට එනවිට බොහෝ තරුණියන් ගේ නම් ගම් ග්‍රාමීය යථාර්ථය තුල සන්ධර්භගත වු ඒවා වෙයි. ‘රම්බරි’ එවැනි නමකි. මෙය ‘සිරියාවතී ‘ ‘ලීලාවතී’ ලෙස වෙනස්විය හැකිය. එම ගැහැනිය කොළඹ දී’ නීකී’ ‘ශකී ‘ මාෂි ‘ ලෙස රෑපාන්කරණය වෙයි. වෙනස් වීම හොදයි. අප්සට් එක නම් ගමේ ‘රා ‘ කොළඹ ගෙන ඒමයි.  පසුව රා විශිෂ්ඨ වීමක් ලෙස  ‘ උත්කෘෂ්ඨ’ (sublime) වී ‘බියර් බොන එක තිත්තයි’ යනුවෙන් අමද්‍යප විකාර කාරයින්ට කඩේ යාමයි. අමද්‍යප කරුවන්  ‘අධිරාජ්‍යාවාදී  ‘ පාර-ජාතික බියර් වලට විරුද්ධ වී දුම්වැටි තහනම් කර (සිගරැට් බව්වොත් පුරුෂ ලිංගිය අප්‍රානික වෙන බව පවසමින්) රා වලට හා බීඩි වලට නිශ්ෂබ්ද වේ. මතක තබා ගත යුත්තේ ගම්වල වැඩිහිටියන් තවමත් දුංකල (tobacco) භාවිතා කරන අතර ඒවා බුලත් විට, ගුණාත්මක බවින් අඩු බීඩි හා සුරුට්ටු ලෙසම පවතී . දන්ගොල්ලේ මාමා රා බී ඇතැම් විට බීඩි බොනවා ඇත. ගම්වල වාසය කරන, දුප්පත් කම නිසා හොරකම් කරන ‘ලොකු සිරා’  ගැනද ගීතය සඳහන් කරන අතර ඔවුන්ගේ නිත්‍යානුකූල නොවන නිර් – බුර්ෂුවා ආදර සම්බන්දතා සම්භන්දයෙන් ද ගීතය උපේක්‍ෂා සහගත ආස්ථානයක සිටි. එමෙන්ම එම වැඩිහිට පරම්පරාව ගැන අද තරුණයන් දක්වන නොසැලකිල්ල ‘මට නං නෑ හරියන්නේ ඔය කතා’ යන වැකියේ ගැබ්ව ඇත. මේ පරම්පරාවන් අද බොහෝ ඈත්ව  ඇති අතර, අද දවසේ තරුණයාගේ වීරයා ‘ජෝන් සීනා’ (John Cena) වන අතර ‘ලොකු සිරා’ විස්ථාපනය (dislocate) වී ඇත. අසංවිධිතව වුවද ගමේ ප්‍රභූන්ට ඇත්ත තර්ජනය ඇත්තේ ‘ලොකු සිරා’ ගෙන් වන අතර ‘ජොන් සිනා’ මේ කිසිවක් නොදනී. නූතන Wrestling හා Cricket සංස්කෘතිය තුල බොහෝ වීරයන් බිහිවී ඇත. එම වීරයන් බැලීමට ණය වී හෝ Dialog TV ගැනීමට සිදුවේ. ‘ලොකු සිරා’ හිරෙන් නිදහස් වූ බවට වන කතාවට ආශක්ත නොවන අද තරුණයා ඒ වෙනුවට ජොන් සීනා ගුටි කෑ නිසා ශෝක වේ. මේ එකක්වත් තමාගේ ගෙදර තෙමෙන වහලය සාදා ගැනීමට උපකාරී නොවනු ඇත. දුප්පත් කම නිසා නිවස සෙවිලි කර ගැනීමට නොහැකි දුප්පතුන් ටකරන් ගැනිමට ඇති සල්ලි Dialog TV  එකට වැය කරයි. ධනවාදයේ දෘෂ්ඨිමය ආධිපත්‍යය එයයි. අද දවසේ දේශපාලනය වනුයේ මෙම දෘෂ්ඨිමය ආධිපත්‍යයට (ideological dominance) අභියෝග කිරීමයි. ඒ සඳහා දිශානත කීරීමත් ගීතයෙන් සිදු නොකරයි. ‘වහලෙ හිලෙන් වතුර ගැලුව රෑ පුරා’ යන යතාර්ථය දෙස ‘ආතල්’ එකකින් බැලීමට ගීතය අපට කියාදෙයි.

මේ සියලු දේ ගීතය තුල බැලූ බැල්මට සෘජු සමපාතයක් නැති එහෙත් ඉතා හොඳට බද්ධ වන ඛන්ඩ කරණය කරන ලද (fragmented) අධියථාර්ථයක් ලෙස අප වෙතට ගෙන එයි. සම්බෝල හා කොත්තු තරබාරු කම හා බද්ධ වේ. තරබාරු ගැහැණිය පිළිබඳ ලාංකික පිරිමි fantasy ය හා ලිංගික සම්බන්ධතා සමපාතවේ. රැවටීම එයට එකතු වේ. අවසානය විඳවීමයි. දුෂ්කර ගම්මාන කොළඹ පැමිණිම වෙහෙස හා නිදාගැනීම එකට සම්භන්ධ වේ. මේ සියල්ලම එලි වෙනකම් නටන සංගීත හා DJ අවකාශයන්ට සම්භන්ධවේ. විලාසිතා ඒ අතර මැද ඇත. සියල්ලටම ඉහලින් වෙළඳපලයි.  විෂුවල් එකේ එන පරිදි එය මේ තරුණයින් ඔලුවෙන් හිටවා ගුරුත්වාකරෂනයෙන් මුදවා වාෂ්ප කර දමයි. කලු ජාතික ඇමෙරිකානු නිර්-ප්‍රභූ වීදි නැටුම් ණයට ගෙන ඇත. බයිලා පෘතුගීසීන් ගෙනි. අවසානයේදී නටමින් විනෝද වේ (එය නරක නැත). ගැටළුව යථාර්ථය දිගටම නොවෙනස්ව පැවතීමයි. එම යථාර්ථය ද විකිණිය හැකි බව ලහිරු අපට පෙන්වා දේ. එය වෙනස් කරමු දැයි කීමට ධනවාදී වෙළඳ පල ඔහුට අමතක කරවයි . මෙය ඔහුගේ පුද්ගලික ගැටළුවක් නොවේ. ධනවාදය පවතින්නේ පිඩිත පංති යථාර්ථය වෙනස් කිරීමට නොවේ.

ආකෘතිකමය ලෙස ගත්කල ඉතා සවිඥාණවිකව මෙම ගීතය බයිලා ආරට සකස් කර ඇත්තේ වඩා හොදින් විකිණිය හැකි beat එක ලංකාව තුල බයිලා වීම නිසයි. එම නිසාම එය විරෝධාකල්පික  මානයක් තුල ස්ථාපනය (position) නොකර පාරිභෝගික භාන්ඩයක් ලෙස  ‘ආතල් ‘ විදීමට භාවිත කර තිබීම ගීතයේ දේශපාලනික ගැටලුවයි. විරෝධාකල්පිත භාවිතය සඳහා ගෝලීයව ඇති සංගීත ආරවල් ලෙස දෘඩ රොක්  (hard rock) ජනාශ්‍රිත ගීත (folk) ජෑස් (Jazz) හෝ රගේ (Reggae) යන ශෛලීන් මේ සඳහා භාවිතා නොකර වින්දනමය අවකාශයක බයිලාවක් ලෙස නිමවී ඇති මෙය  Fm චැනල් හා Dish Channels පතුරු ගසයි. මෙම ගීතය ලාංකිත සනදර්භයක් තුල වින්දනය සඳහා පමණක් භාවිතා වී ගීතය තුල නිරෑපනය වන නිර් -ප්‍රභූ පීඩිත පංති යථාර්ථය ගීතය නම් පාරිභෝගික භාණ්ඩ(commodities) අවකාශයක් තුලට ගෙනවිත් එම පංතික ජනයා සඳහාම නැවත අළෙවි කරයි.

වඩා හොඳන් විකිණිය හැක්කේ කුමක්ද යන්න පිළබඳව සවිඥාණයික ලහිරු පෙරේරා හා Daddy සංගීත කන්ඩායම අද දවසේ තරුනයගේ යථාර්ථය වඩා අධි යථාර්ථවාදි  ‘ ආතල් ‘ අවකාශයන්ට පාරිභෝගික භාන්ඩ කරණය කර ඔවුන් සඳහාම නැවත විකුණයි. මෙයින් Daddy සංගීතකන්ඩායමේ ගිණුම් තරවන අතර නර්-ප්‍රභූ තරුණයින් සිටි තැනමය. ඔවුන් සඳහා නව පාරිභෝගික භාණ්ඩයක් Daddy නැවත නිපදවයි. එහි නම ‘බොරුකාරී ‘ විය හැක. මෙම විෂම චක්‍රය දිගටම පවතියි. මෙම ජනප්‍රිය යථාර්තය වෙනස් කිරීමට මා පහත දැක්වෙන මොඩලය යෝජනා කරමි. එනම් මෙම යථාර්ථය හුදු  ‘ආතල්  ‘ විනෝද අවකාශයක සිරගත නොකොට එම පීඩිත පංති ජනයා සඳහා විමුක්ති මාර්ගික දේශපාලනික වැඩපිළවෙලක් තුලට මෙම අවකාශය රැගෙන එන ලෙසයි.

වඩ වඩාත් අපගේ අත්තනෝමතික අතාර්කික බව සහ විනෝදය අතර සම්බන්දය මෙම ගීතය මැනවින් නිරුපනය කරයි. නමුත් ගීතය සාන්දෘෂ්ටික විනෝදයක් තුළ ආසියාතික අර්ථයකින් සිරවෙයි. එනයින් මෙම තාරුණ්‍යයේ අවිඥානය දීප්ති වැනි කෙනෙක් බවට පත් නොවී මහින්ද රාජපක්ෂ බවට පත්වෙයි. සම්ප්‍රදාය සහ පසු ගෝලීය ධනවාදය අතර ‘අහිමි පාලම’ ගොඩනැගීම හුදෙක් ‘සාක්කු පුරවන’ රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලනයට කළ නොහැක. මෙහිදි පීඩිත ජන අවකාශය දේශපාලනික මනසක මැදිහත් වීමෙන් විමුක්ති දේශපාලයකට වගකියන විරෝධකල්පික යථාර්ථයක් තුල ප්‍රති-අර්ථකතනය කර මැදිහත් වීම නම්  ‘දේශපාලනික ක්‍රියාව’ (political act)මගින් ඔවුන් පෙලන පංති යථාර්තයන් වෙනස් කල යුතු වෙයි. එමගින්  ‘රන්බරි’ නම් ගීතයේ දක්නට ඇති නිර් – දේශපාලනික බව වෙනුවට යථාර්ථය වෙනස් කරන සුලු මිනිසුන්ගේ ජන විඥානය අවිධිකල හැකි විමුක්ති ගීයක් බවට පත්කල යුතු වෙයි. නමුත් එහිදී මෙම ගීතයේ ජනප්‍රිය අඩංගු ව තුල ඇති (රොක් සංගීතයේ මෙන්) විනෝදය හා බහුජන ආකෘතිය (mass cultural structure ) නොවෙනස්ව තබා ගත යුතු වෙයි. එය අවශ්‍යයෙන්ම බයිලා විය යුතු ද රොක් විය යුතුද යන්න නොව සිතිය යුතු  වන්නේ එය යථාර්ථය පිළඹිඹු කරමින් මැදිහත් වීමේ අවකාශයක් සදහා  දොරගුළු විවර කරන සුලු ගතිකත්වයක් සහිතද යන ගැටළුවයි . අද ජනතා විමුක්ති පෙරමුණ විසින් ගායනා කරන විමුක්ති ගී වල නීරස බව (එහෙත් දේශපාලනිකයි) වෙනුවට මෙ ගීතයේ ජනප්‍රිය බව එසේම තබාගතයුතු අතර බහුජන ආකෘතිය තුල විප්ලවීයක් ද මේ තුලට රැගෙන ආ හැකිනම් එය දේශපාලනයක් විය හැකිය. 

ගායනය : ලහිරු පෙරේරා           සංගීතය : ලහිරු + Daddy          පද : මනුරංග විජේසේකර
 

මිට වසර ගණනාවකට පෙර මා විසින් ‘රාවය’ පුවත්පතට ලියන ලද ඉහත විචාරය තරමක් වෙනස් විය යුතු යැයි අද වනවිට පශ්චාත් රාජපක්ෂ ලාංකික යථාර්තය පිහිටා ඇති ආකාරය දෙස බලන විට සිතේ. ‘තුන්වැනි ලෝකයට සාහිත්‍යක් නැති’ (Fredric Jameson, 1986) බවට මෙම ගීතයද උදාහරණ දක්වන බවට අපට සැක සිතෙන්නේ පහත බොන් ජෝවී ගේ Bed of Roses ගීතයට සවන් දෙන විටය (මෙයට සමාන ගීත ලෙස Fleetwood Mac ගේ ‘Say You Love Me’ මෙන්ම Queen ගේ ‘Break Through’ දැක්විය හැකිය). ලංකික ගැහැණිය සම්බන්දයෙන් පිරිමියාගේ ආශාවේ විගලිත, විකෘති සහ දුරස්ථ ස්වබාවය (ලොරි බාගේ, කියපන්, ගනින්, වරෙන්, කාපන්, හුටපටේ, බරබරේ) සහ බොන් ජෝවී එය පරිකල්පනය කරන අද්විතීය ආකාරය සංසන්දනය කර බලන්න (You are all that I need). ජෝවී ඉතාම ඉහළ ශික්ෂණයක් සහ කේන්ද්‍රීය බවක් ගීතය තුළ පවත්වා ගනී. ‘රම්බරී’ පමණක් නොව ලහිරු ගේ ‘මොට්ටු’ ගීතය දෙස පවා බලන විට පෙනෙන්නේ ලාංකික පුරුෂ ආත්මය තුළ ඇති ආශා වස්තුව වෙත ඇති වි -කේන්ද්‍රීය (de-centered) ස්වාබවය යි. හරියටම මෙය සමපාත වන්නේ මනමේ කුමරියගේ මනෝභාවයටයි.  නිශ්චිත ලෙස ඇය කුමක් කලයුතුද පිලිඹද පුර්ව සත්භාවී විනිශ්චයක් ඇයට නැත. මෙම විනිශ්චයේ ගැටලුව මතින් අවසාන ආපතික මොහොතේ ස්වභාවය ක්ෂිතිමය අවසානයකට රැගෙන යයි. ජේම්සන් ඉහත සදහන් කරන ආකාරයට සම්ප්‍රදාය සහ පසු ගෝලීය ධනවාදය අතර ‘සද්භාවී පාලම’ තැනීමටද මෙවන් කලාකෘති උපයෝගී නොවේ. ඒ අර්ථයෙන් ප්‍රබුද්ද පීචන් බේදයකින් තොරව වික්‍රමසිංහ ගෙන් පසු සියලු කලාකෘති මෙම ජෙම්සනියානු රෝග ලක්ෂණය ප්‍රකට කරයි යනුවෙන් මෙහිදී පැවසිය හැක.  

Bed of Roses by Jon Bon Jovi 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. හොඳ අර්ථ දැක්වීමක්. මහින්ද රාජපක්ෂ පාලනයෙන් අපට උරුම වූ සෑම දේම වඩාත් ඉහලින් සැමරීම නම් celebration සංස්කෘතියක් නැතිනම්කො රැල්ලක් නාගරික ජනසමාජය ගිලගෙන ඇති බව පෙනේ. එය කොළඹට පැමිණෙන තරුණ තරුණියන් ද එලෙසම විඳ ගැනීමට සිදු වී ඇත.

Comments are closed.