[dropcap color=”red”]පෙ[/dropcap]රටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාධරයෙකු වන කැලුම් නවරත්න සහෝදරයා කළ එක්තරා විවේචනයකට අප විසින් ලියන ලද පිළිතුරට ඔහු විසින් අපට ඒවා තිබූ කොමෙන්ටුව පහත පරිදිය.

මෙහි ඇති එකම වරද නම් මංගල ධනපතියා යන්න ලෙස ලිවීම පමණි. මා එය මෙසේ වෙනස් කරමි. එනම් ලිබරල්වාදියා ලෙසයි. කෙසේ වෙතත් දීප්ති සහෝදරයාගේ (මහත්මයා ලෙස මා කියන්නේ නැත.) මෙම ලියමන විසින් නැවත නැවතත් මංගලව ආරක්ෂා කිරීමක නිරත වෙයි. මා අයත් වන්නේ පැරණි වාමාංශයටදැයි යන්න මා තර්ක කරන්නේ නැති නමුත් මා කියන්නේ මාක්ස් කියූ දෙය බව නැවත නැවතත් කියා සිටිමි.

කරුණු කිහිපයක් මෙහිදී මතක් කිරීම වටී. එක් වරක් ත‍්‍රිමාන වෙබ් පිටුවෙන් මා හට මීට අවුරුදු දෙකකට පමණ ඉහතදී විවේචනයක් ගොනු කර තිබිණි. එය නම් සංස්කෘතික දේශපාලනයේ යෙදීම වාමාංශික නොවන බවත් වර්ෂ දහයක් තිස්සේ එක්ස් කණ්ඩායම කරන ලද සංස්කෘතික දේශපාලනය එයට උදාරණයක් බවත්, මාක්ස්වාදියෙක් ලෙස එම පර්යේෂණය නොපිළිගන්නේ නම් තවත් වසර දහයක් ගෙවා එම පර්යේෂණය සිදු කර අත්දැකීම් ලබා ගත හැකි බවත්ය. ඒ විවේචනය මා විසින් එසේම පිලිගත්තෙමි. අද මා හට කියන්නට තිබෙන්නේද ලංකාවේ වාමාංශික පක්ෂ විසින් කරගෙන යනු ලබන මාක්ස් විරෝධී වැඩපිළිවෙල පිලිබ`දව මාක්ස්වාදීන් ලෙස අත් දැකීම් එකතු කර නොගන්නේ නම් ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයටද කරගෙන යනු ලබන මෙම පර්යේෂණය තවත් අවුරුදු පනහක් සිදුකර අත්දැකීම් ගන්නට හැකි බවය. සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් ට එරෙහිව ලෙනින් විසින් මෙම කරුණු දිගින් දිගටම අවධාරණය කර සිටියේය.

මංගල-රනිල් ඇතුළු ලිබරල්වාදීන් විසින් සිදු කරමින් තිබෙන කර්තව්‍යය පිළිබ`දව ප‍්‍රමාණාත්මක විවේචනයක් ශ‍්‍රී ලංකා පෙරටුගාමීන් සිදු කර තිබෙනවා මා විසින් දැක නැත (ඔවුන්ගේ බොහෝ ලියකියැවලි මා විසින් පරිහරණය කරද්දීත්).

බොහෝ දෙනා සිතන්නේ ධනවාදී-ජාතිවාදී (මේ යුගයේ ධනවාදයේ හැටි මෙසේයි) මහින්දගේ ආණ්ඩුවට වඩා රනිල්ගේ ආණ්ඩුවක් ප‍්‍රගතිශීලී (?) වන බවයි. එසේ කීමට නිදහස් මතධාරීන්යැයි කියාගත් තක්කඞීන්ට පුළුවන. මා සාකච්ඡුා කරන්නේ එවැනි තක්කඞීන් සමග නොව සමාජවාදී විප්ලවය වෙනුවෙන් පෙනී සිටින මාක්ස්වාදී පක්ෂ සාමාජිකයන් සමගය. සැබැවින්ම මාක්ස්වාදීන් යැයි පිළිගන්නා අය සමගය. මාක්ස්වාදියා යන්න කවුරුන්දැයි මාක්ස් අනුදත් ලෙනින් විසින් කියා සිටින්නේ මෙසේයි.

”මාක්ස්ගේ න්‍යයයෙහි ප‍්‍රධාන කරුණ නම් පන්ති අරගලය යැයි බොහෝ විට කියනු ලැබේ. ලියනු ලැබේ. නමුත් එය වැරදිය. එම පමණක් නොව, මෙම වැරදි මතයෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් මාක්ස්වාදය බොහෝවිට අවස්ථාවාදී ලෙස වෙනස් කිරීමට සහ එය ධනපති පන්තියට පිලිගත හැකි ආකාරයට විකෘති කිරීමටද හේතු වන්නේය. එසේ වන්නේ පන්ති අරගලය පිළිබ`ද න්‍යාය මාක්ස් විසින් නොව, ඔහුට පෙර නිර්මාණය කරන ලද සහ සාමාන්‍යයෙන් කියතොත් එය ධනපති පන්තියට පිළිගත හැකි හෙයිනි. පන්ති අරගලය පමණක් දන්නා අය එපමණකින් මාක්ස්වාදීන් නොවෙති. ඔවුන් තවමත් ධනපති චින්තනයේ හා ධනපති දේශපාලනයේ සීමාවන් තුළ සිටිනු දක්නට ලැබේ. මාක්ස්වාදය පන්ති අරගලයේ න්‍යායට පමණක් සීමා කිරීම යනු, මාක්ස්වාදය කප්පාදු කිරීමක්, එය විකෘති කිරීමක් සහ එය ධනපති පන්තියට පිළිගත හැකිවන යමක් දක්වා බාල කිරීමක් වන්නේය. මාක්ස්වාදියෙක් වන්නේ පන්ති අරගලය පිළිබ`දව පිළිගැනීම, නිර්ධන පන්ති ආඥාදායකත්වය පිලිගැනීම දක්වා ව්‍යාප්ත (අවධාරණය කර ඇත) කරන තැනැත්තේ පමණි. මාක්ස්වාදියා සහ සාමාන්‍ය සුළු (එසේම ලොකු* ධනපතියා අතර ඉතාමත් ගැඹුරු වෙනස සංයුක්ත වන්නේ මෙයිනි. මාක්ස්වාදය ගැන නියම අවබෝධය සහ පිළිගැනීම පරීක්ෂා කිරීමට උපයෝගී කරගත යුතු උරගල මෙයයි.” – රජය සහ විප්ලවය – ලෙනින්

නිදහස් මතධාරීන් හා ලිබරල් ධනවාදී කත්කඞීන් මෙහිදී මට අදාල නැත. අනාගතයේදී ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය විසින් ව්‍යවහාරිකව මාක්ස්වාදය ඔප්පු කරන්නේ කෙසේදැයි යන්න පිළිබ`ද පමණක් මෙහිදී අදාල කරගනිමි. පරණ වාමාංශිකයන් මෙන් ටොයෝටා වෑන් රථයකින් දේශපාලනය මනින මිම්ම පිළිබ`දව ලිවීම මා ගැන විචාරයට අදාල නොවේ. ඔවුන්ටද ඇත්තේ මෙම විවේචනයමය.

කැලුම් සහෝදරයා අපට කළ විවේචනය අප සහෝදරත්වයෙන් භාර ගන්නේ එක්කරා හේතුවක් මතයි. එනම් ඒ සහෝදරයා පක්ෂ කාඩර්වරයෙකු වශයෙන් කටයුතු කරමින් දේශපාලනය හා සම්බන්ධ ක්‍රියාකාරිකයෙකු වන බැවිනි. මේ වන විට ඇතැම් තනි පුද්ගලයන් විසින් අපට විවිධ විවේචන කරනු ලබන අතර අප ඒවාට බොහෝ විට ප්‍රතිචාර නොදක්වන්නේ පක්ෂයකට සම්බන්ධ නැති තනි තනි පුද්ගලයන්ට පිළිතුරු දීමට දේශපාලන පක්ෂයක් වශයෙන් අප බැදී නැති බැවිනි. සමාජය සංවිධානය කිරීමේ  ‍ෛඑතිහාසික විප්ලවීය කාර්යභාර්ය තුල පක්ෂය මිස පුද්ගල අනන්‍යතා වැදගත් නොවන බව අපේ පිළිගැනීමයි. දාර්ශණිකයන් වන්නට වාචාලයන් වන්නට සිවිල් බුද්ධිමතුන් වන්නට වෙර දරන් පුද්ගලයන්ට පක්ෂයක් ලෙස අපේ බැදීමක් නැත. ඒ අනුව බලන කළ කැලුම් සහෝදරයා යනු විප්ලවාදී දේශපාලන පක්ෂයක කාඩර්වරයෙකි. ඔහුට පිළිතුරු දීම අපේ වගකීමක් ලෙස අප සළකන්නෙමු.

ලංකාව වගේ රටක පක්ෂය කියන මතය දුර්වල වෙලා නිදහස් පුද්ගලයා ස්මතු වෙලා. පශ්චාත්-නූතන ධනවාදී ජනමාධ්‍ය විසින් පක්ෂ වලින් පුද්ගලයා ගලවා අරගෙන වොයිස් කට් දේශපාලනය කියා දෙයක් පටන් ගත්තා. කාඩර්වරයා සහ නිදහස් පුද්ගලයා කියන්නේ දෙන්නෙක්. පශ්චාත්-නූතන ජන මාධ්‍ය වල අධිකාරී බලය හොබවන්නේ අවස්ථාවාදී මැදපාන්තික නිදහස් පුද්ගලයාය. මේ පුද්ගලයා අනාගතවාදී සුභ සිහිනයක පැටලිලා ඉන්නවා.  යුරෝපයේ පක්ෂය පිළිබද සංකල්පය මතු වුනේ දේවධර්මයෙන්. (theology) ඊට අනුව ආගම් කර්තෘ සහ භක්තිකයා අතර පරතරයක් පවතිනවා. මෙම පරතරය සදාතනිකය. එබැවින් භක්තිකයා කිසි විටෙක ආගමික ශාස්තූවරයා ගේ සාරය සොයා යන්නේ නැහැ. ශාස්තූවරයා තුළ සාරයක් ඇතැයි සිතන්නේ හෝ පැවැත්මක් ඇතැයි සිතන්නන් යනු සයිකෝසිකයන්ය. මේ ආර්ථයට අනුව ශාස්තූවරයා ගේ ධර්ම ගැන ඔහුවත් දන්නේ නැහැ. එබැවින් භක්තිකයා සහ ධර්මය අතර ඇත්තේ දයලෙක්තික සම්බන්ධතාවයකි. සාම්ප්‍රදායික ධනේෂ්වර නීතියට අනුවද සැකකාරයෙකු තමන් වෙනුවෙන් අධිකරණයේ කරුණු කියන්නට නියෝජිතවරයෙකු ලෙස නීතිඥවරයෙකු පත්කර ගන්නේ මේ යථාර්ථය තුළය. යමෙකුට තමන්ම වෙනුවෙන් කතා කරන්න යැයි නියෝග දෙන්නන් යනු මූලධර්මවාදීන්ය. මන්ද යත් භක්තිකයා සාරයත් ආත්මයත් එකවර නොයෝජනය කරන බැවිනි. අද වන විට ලෞකික දේශපාලනයට අදාලව සියලුම සංකල්ප ඇත්තේ ආගමික අර්ථයකිනි.

කැලුම් සහෝදරයා අසන සරළ ප්‍රශ්ණය මේච්චරයි. ඔයාලා මාක්ස්වාදී විප්ලවාදී දේශපාලන පක්ෂයක් නේද? එහෙම නම් ඇයි ඔයාලා මංගල වගේ ලිබරල් අයත් එක්ක සම්බන්ධකමි පවත්වන්නේ. මෙයට ඉතා කෙටියෙන් මෙහෙම උත්තරයක් දෙන්න පුලුවන්. ඔහුගේම ෆේස් බුක් පිටුවේ බටහිර මාක්ස්වාදය පිළිබද විමර්ශනයක් නම් ග්‍රන්ථය එළි දැක්වීමේ අවස්ථාව සදහා මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි සහභාගි වූ බව දක්වා තිබෙනවා. ඒ අනුව ඩෙස්මන් කියන්නේ කැලුම්ට අනුව මාක්ස්වාදියෙක්. ඒත් ඇත්තටම ඩෙස්මන් කියන්නේ මාක්ස්වාදියෙක්ද? ලිබරල්වාදියෙක්ද? සමහර විට කැලුම් ඒ ගැන දන්නේ නැතිව ඇති ඇත්තටම ඩෙස්මන් කියන්නේ මංගලටත් වඩා ලිබරල්වාදියෙක්. වෙනස තියෙන්නේ එයා කතා කරන මාක්ස්වාදියෙක් වීම පමණයි. මේ ගැන කැලුම් සහෝදරයා උගත යුත්තේ අපෙන් නොව තමන්ගේම පක්ෂයේ භාවිතාවන් පරීක්ෂා කිරීමෙනි. මේ ආකාරයෙන් අපට අවශ්‍ය නම් විප්ලවාදී දේශපාලනයේ නිරත වන අය ලිබරල් අය සමග පවත්වන අනන්තවත් සම්බන්ධකම් පෙන්වන්ට පුලුවන. විප්ලවාදී දේශපාලන පක්ෂයක සාරය පිටතින් ඇතැයි සිතන්ට කැලුම් සහෝදරයා උගත්තේ අපෙන් නොව තමන් විශ්වාස කරන තමන් ගේම විප්ලවාදී පක්ෂයෙන් වන්නට පුලුවන.. මේ ගැන වැඩිදුරටත් විදාරණය කරන්නට අවැසි නොවන අතර දේශපාලන පාරාන්ධභාවය නැති කර ගන්නට නම් යථාර්ථය තුළ තමන් ද ඉන්නා බවට වූ හෙගලියානු අර්ථය කැලුම් සහෝදරයා නැවත් උගත යුතුය. විප්ලවාදී දේශපාලන භාවිතාවක් වෙනුවෙන් අවංකව පෙනී සිටීමට උත්සහා කිරීම ගැන අපි ඔහුට අචාර කරන්නෙමු. අවසන් වශයෙන් අප එදත්,අදත්,හෙටත් විප්ලවවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂයක් ද නැද්ද යන්න ඔහුට පරීක්ෂා කර බලන්නට පුලුවන.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. මා මුලිනුත් කියා සිටියේ මාක්ස්වාදියෙක් වීමට පන්ති අරගලය පිළිගැනීම පමණක් අදාල නොවන බවයි. එය ධනපතියෙක් වුවද පිළිගන්නා දෙයක් බව ලියා තැබීමි. ලෙනින්ට අනුව පන්ති අරගලය පිළිගැනීම, නිර්ධනපන්ති ආඥාදායකත්වය පිළිගැනීම හා එය ව්‍යාප්ත කරන්නා මාක්ස්වාදියෙක් වෙයි. මාක්ස්ගේ අර්ථකථන පද්ධතිය අනුව එය වඩා විප්ලවවාදීම වැකියකි. එය වෙනත් දාර්ශනික පද්ධතියක් තුළ විප්ලවවාදී අදහසේ හා ක‍්‍රියාවේ (පැවැත්මේ) සමපාත බව පිළිබද සාකච්ඡුාවකි. කෙසේ නමුදු මා කියූ දෙය වඩා හොදින් දීප්ති සහෝදරයා ප‍්‍රකාශ කර ඇත. ඒ කරුණට මම එක`ගය. (සාන්තුවරයා සම්බන්ධ සාකච්ඡුාවට හැර)
    යථාර්ථය යනු මාද ඇතුළත් ප‍්‍රපංචයක් බව මා හට අවබෝධයක් තිබෙනවා පමණක් නොව කොහේ හෝ පක්ෂයක් මා එළියෙන් සිට විචාරයටද යන්නේ නැත. ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ බොහෝ විවෘත වැඩ හා සම්බන්ධ වෙමිනුත් ඒ අදහස ප‍්‍රකාශ කරන්නේ ඓන්ද්‍රීය ලෙස ගෙනය. බොහෝ දෙනා මේ යුගයේ කරන්නේ එක් පක්ෂයක් තුළ සිටිමින් ඕනෑම කාරණයක් උදෙසා අනෙක් පක්ෂ වලට බැට දීමය. (මෙහිදී අදහස් කරන්නේ න්‍යායික විවේචන වලට එහා ගිය ගෝත‍්‍රවාදී ලක්ෂණ කෙරෙහිය) වාමාංශික ව්‍යවහාරයක් හා කොමියුනිස්ට්වාදී ආචාරධර්ම පද්ධතියක් පිළිගන්නා ඕනෑම විප්ලවවාදියෙකු එසේ කිරීම බ‍්‍රෂ්ට වැඩකි. ඒ අර්ථයෙන් නැවතත් කිව යුතු වන්නේ විවේචනය ගෙන එන්නේ පැත්තකට වී නිශ්ක‍්‍රීය මම විසින් දීප්ති සහෝදරයා කරනා දෙය මාක්ස්වාදීද යන්න නිරීක්ෂණය කරමින් සිටිනා කෙනෙකු හැටියට නොවේ. කරුණාකර එසේ වරදවා වටහා ගැනීමෙන් වළකින්න. එසේ කරනවානම් කිසිදු ව්‍යාපාරයකට හෝ විප්ලවයට සෙතක් වන්නේ නැත. මා තව දුරටත් ඔබගේ නිරීක්ෂකයකු නොවේ.
    ඩෙස්මන් සහෝදරයා පිළිබද ‘ව්‍යවහාරික’ දැක්මකින් විවේචනය කළ යුතුය. එයට මා එකගය. ඔහු විසින් කොතරම් මාක්ස්වාදය පිළිබද කියූවත් භෞතිකව සිදුකරනා මිනිස් ආත්මයන්ගේ වෙනසට ඔහු කොතරම් දායකත්වයක් දක්වන්නේදැයි අසද්දී ඔහු ලිබරල්වාදය දක්වා විතැන්වෙයි.
    මංගල ගැන මා පැවසුවේ දේශපාලන අරුතකින් විනා සම්බන්ධකම් පැවැතිවීම පිළිබද නොවේ. නිශ්චිතව මතුකළේ දේශපාලන අදහසකි. සදාචාරවාදී අදහසක් නොවේ. ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය කන්නේ කා සමගදැයි, බොන්නේ කා සමගදැයි ඇසීම වුවමනා නොවේ. මා විමසුවේ මෙම මිතුරුකම් (මිතුරු යෝජනාවක් කිරීම – මතක් කිරීමකි) දේශපාලනයට ආදේශ වීමේදී කුමක් සිදුවන්නේද යන්නයි. මේ පිළිබද නහුතයක් උදාහරණ ලංකාවේ වාමාංශික ව්‍යාපාර තුළින්ම උගත හැකිය. නමුත් තවදුරටත් දීප්ති සහෝදරයා විසින් මංගල ආරක්ෂා කරන්නේ ඔබගේ වචනයෙන්ම කිවහොත් ඥාණවිභාගාත්මක තැනකින් නොව සද්භාවාත්මක ප‍්‍රවේශයකින් වීම කණගාටුදායකය.

  2. සමහර ජනප්‍රිය දේශපාලකයින් ජනප්‍රිය වී පාර්ලිමේන්තු ගියේ කෙසේදැයි අපිට අදහාගන්නට අපහසුය. ඔවුන් සතුව ඇති ධනපති මොඩලයේ ඉහල හැකියාවන් කුමක්දැයි අපිට පේනතෙක් මානයක දකින්නට නැත. උදාහරණ ලෙස ලාල්කාන්ත නැමැති අය කළ සාර්ථක වැඩවර්ජනයක් හෝ දුප්පත් ජනතා කොටසකට ළගා කරදුන් කිසිදු ජයක් පේනතෙක් මානයක නැත. නමුත් ලාල්කාන්ත හැමදාම යමක් කාල්ගෑම නිසාම අද වන විට ඉතා ජනප්‍රිය දේශපාලකයෙක් වී තිබේ.
    සමාජයේ පවතින ජනප්‍රිය දේශපාලනය යනු කට පමනැකියිද පච කීමට ලැජ්ජා නැතිවීම පමණකැයිද සැලකූ විට ලංකාවේ අති බහුතර දේශපාලකයෝ එසේම වෙති.
    නමුත් මංගල යනු මාධ්‍ය හැසිරවීමේ හැකියාව අතින්ද, මිනිසුන්ට දෙයක් සම්ප්‍රේෂණයකිරීම අතින්ද, නිකරුනේ මිනිස් ජීවිත විනාශ නොකොට විසඳුම් සෙවීම අතින්ද, ජයග්‍රහනයෙන් පසු සැබෑවටම වැඩ කිරීමෙ අතින්ද, කුමන තත්වයක් යටතේ වුව නොනැසෙන ජන පදනමක් පවත්වොගන යාම අතින්ද, සිය අවාසිදායක ස්ථාවරය දිගටමපවත්වා ගැන්ම අතින්ද ලංකාවේ අනෙක් දේශපාලකයින්ට සාපේක්ෂව පොරකි.
    සමාරවිට ලෝක මට්ටමෛ් පොරවල් අතර මංගල පොරක් නොවිය හැකි මුත් මේ ලබ්බක් වැනි හැඩැති රටේ සිටින ලබ්බෙන් උපන් දේශපාලකයින් රොත්ත බුරුත්ත අතර අනෙකා අනුකරණය නොකොට සැමවිටම ජනප්‍රිය මොඩලමය අනුගමනය නොකරන මංගල වනාහි දුර්ලභ වස්තුවකි.
    කුමන වාමාංශික ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්නටත් සාර්ථකව පෙරලන්නට ධනපතියන් හෝ පාලකයින්හෝ කුමක් හෝ පන්තියක් අවශ්‍යය. වාමාංශිකයින්ට අවශ්‍ය නිසි පන්තියක් ගොඩනැංවීම අතින් මංගල සහ රනිල් වැන්නෝ දක්ෂයෝම වෙති.
    ඇලෙන් පුක හෝදා නියරේ ඇවිද විත් අරලිය මන්දිරයට පැමිණ දන්සැල් වලින් රට කරවන ඇත්තන්ගෙන් කිසි විට දන්සැල් ක්‍රමය මිස නිසි පන්ති සහිත ක්‍රමයක් ඇති වේ යැයි සිතීම විහිලුවකි.
    වාමාංශිකයින් අද කල යුතුව ඇත්තේ ශක්තිමත් සතුරකු තනා ගැන්මට සැරසීම මිස මේ ගූ ගොඩ වටා සිටින නිලමැස්සන්ගේ රතු පාට තැවරීම නොවෙන බව මට සිතේ.

Comments are closed.