වසංගත රෝගයක් ලෙසින් පැතිර යන කොරෝනා වෛරසයට එරෙහිව දේශපාලන මතවාදී කඳවුරු දෙකක් අපට විද්‍යමාන වී ඇත. රාජ්‍ය බලය නිරූපණය කරන ජාතිකවාදීන්ගේ මතය වන්නේ, පන්ති භේදයකින් තොරව නිශ්චිත කාලයක් තුළ රට වසා තිබිය යුතු බවයි. ඊට එරෙහි වන සමාජවාදීන් සහ ද්‍රවස්ථිතික මුහුණුපොත් අනන්‍යවාදීන් තර්ක කරන්නේ, එවැනි ලොක්ඩවුන් කිරීමක් නිසා අවිධිමත් ආර්ථිකය තුළ තම ජීවිකා ගැට ගසා ගන්නා සමාජයේ බහුතර දුගී තට්ටුව අතිශයින් පීඩාවට පත්වන බවයි. රාජ්‍ය යන්ත්‍රය ශක්තිමත් කළ යුතුය යන මතයක සිටින, අනුහස්වාදී නායකත්වයක් පිළිගන්නා පොහොට්ටුවාදීන්ව මේ රටේ සිටින බහුතර දෙනා දේශපාලනිකව හොඳින් දනිති.

                 නමුත් පහළ සමාජ ස්ථර වෙනුවෙන් පෙනී සිටින ‘ජනතාවගේ මිතුරන්’ වන, නිශ්චිත මාසික වැටුපක් ලබන මධ්‍යම පන්තියේ යම් තීරුවක් ලොක්ඩවුන් වාදයට එරෙහිව යමින් සමාජ පංතිවල ‘දේශපාලන ආර්ථිකය’ ගැන විවිධ මුසාවන් පතුරුවමින් සිටිති. මෙයට, දැන් කොළඹ නගරයේ සංස්කෘතික කුණු එකතු කරන්නන් ද සම්බන්ධ වී ඇත.

             ශ්‍රී ලංකාවේ සිටින නව පරම්පරාවේ අරගලකරුවන්ට මේ මොහොතේ දී බොහෝ ‘සංකල්ප’ උගන්වන ගුරුවරු සිටින මුත් ‘මධ්‍යම පන්තිය’ සහ ‘මධ්‍යම පන්තික දේශපාලනය’ ගැන උගන්වන ගුරුවරුන් හමු වී නැත.

              මීට වසර 50 කට පෙර ලංකාවේ මාක්ස්වාදී චින්තකයකු මධ්‍යම පන්තික දේශපාලනය ගැන කරන නිර්වචන, අපගේ ආරම්භක මොහොත ලෙස සළකමු.

              “මධ්‍යම පන්තික සමාජ තට්ටුවේ රැඩිකල් කොටස් එකට ගොනු කළ විට තැනෙන්නේ විප්ලවවාදී ව්‍යාපාරයක් නොව විරෝධතා ව්‍යාපාරයකි. මෙවැනි විරෝධතා ව්‍යාපාර වලට පන්ති අරගලය ගැන ඇත්තේ, සාංසිද්ධික අවබෝධයක් මිස භෞතික අවබෝධයක් නොවේ.

              කම්කරු පන්තියේ ස්වාධීන වූ මධ්‍යම පන්තික රැඩිකල්භාවය ගමන් කරන්නේ, ධනවාදය පෙරළා දැමීමේ දිශාවට නොව ධනේශ්වර ක්‍රමය තුළම ඊනියා ‘සමාජීය ස්ථාවරභාවයක්’ ඇති කිරීමේ දිශාවට ය.

                  1933 දී, ජර්මානු මැද පන්තිය තම රැඩිකල්භාවය ප්‍රදර්ශනය කරමින් හිට්ලර්ගේ දුඹුරු කමිස ඇතුළට බැස අවසන්  වූයේ, ජර්මනියේ සමාජ ස්ථාවරභාවය තහවුරු කිරීමෙන් නොව බර්ලිනය මිනී කන්දක් කිරීමෙනි.

                  UNPය ඒකාධිපති වීමට තටමන්නේ යැයි කියා බෙරිහන් දීම ලංකා ඉතිහාසය දෙස එක ඇසකින් බැලීමක් පමණි. UNPය ඒකාධිපති වීමට විරුද්ධව විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කිරීමට ගිය ‘ජනතා විමුක්ති පෙරමුණ’ වර්තමාන ධනපති ආණ්ඩුව ඉදිරියේ අඳෝනා නැගීම දැන් කර ගෙන යන නිසා, ‘ජනතා විමුක්ති පෙරමුණ’ පවතින්නේ එක එක ආණ්ඩු ඒකාධිපති වීම නම් නිශ්චිත විපර්යාසය නැවැත්වීම සඳහා පමණක් ද යන ප්‍රශ්නය අපට ඔවුන්ගෙන් ඇසීමට සිදු වේ. යම් ආණ්ඩුවක් ඒකාධිපති නොවේ නම් එය ධනේශ්වර නැද්ද? යම් ආණ්ඩුවක් ඒකාධිපති වීමට සැරසෙයි නම්, වහාම පෙරට පැන ‘ඒකාධිපති නොවනු!’ යැයි ගෝට්ටි කිරීම මධ්‍යම පන්තිකයන්ගේ සහ ජවිපෙ අරගල ක්‍රමය බව මේ දේවල් වලින් අපට සුපැහැදිලිය. මෙය පන්ති අරගලය නොවේ.

                ධනවාදය විසින් මේ මධ්‍යම පන්තිකයන්ගේ ‘ෆැන්ටසි පංගුවට’ අත නොතබා කරනු ලබන වෙන ඕනෑම ක්‍රියාවක් උසුලා සිටින්නට මධ්‍යම පන්තියට හැකිය.    ඔවුන් විරුද්ධ වන්නේ ධනවාදය තුළ ඔවුන් දකින ඇතැම් ‘කරදරකාරී ලක්ෂණයන්ට’ පමණි”.

=================================+++++++++++++++++++++++

             දැන් අපි ලොක්ඩවුන් විරෝධී සමාජවාදීන් දෙසට හැරෙමු. ඔවුන් අපට කියන්නේ කුමක්ද?

         “මන්දපෝෂණයෙන් සහ ජීවන බරින් පෙළෙන ලක් මවගේ දරුවන්, වියළි කලාපයේ ගොවියන්, උඩරට ගැමියන් සහ රැකියා විරහිත තරුණයන් ඇතුලුව අවිධිමත් ක්ෂේත්‍රයේ රැකියා කරන පීඩිතයන්ට වහා සහන සලසනු!”

          ලොක්ඩවුන් විරෝධී සමාජවාදීන්ගෙන් සහ මුහුණු පොත් ද්‍රවශීල අනන්‍යතාවාදීන්ගෙන් අපට ඉතාම සරල විද්‍යාත්මක (අප අවට ඇති දෑ ක්‍රමවත්ව හැදෑරීමට තමයි අපි විද්‍යාව කියන්නේ) ප්‍රශ්නයක් ඇසීමට ඉඩ දෙන්න!

            කරුණාකර ඔබලා ‘අවිධිමත් ආර්ථික ක්ෂේත්‍රය’ යනුවෙන් ආර්ථිකව හඳුනාගන්නේ කුමන ප්‍රභේදයක් ද? ඉන් අදහස් වන්නේ, දළ ජාතික නිෂ්පාදිතයට[GDP] එකතු නොවන ආදායම් නම්, ඔබලා මෙම අවිධිමත් ක්ෂේත්‍රයේ සිටින අයගේ නිශ්චිත මාසික ආදායම සහ ඒවා උපයන ආකාරය දන්නවාද? ඊළඟට – අර්බුද සමයකදී, භාණ්ඩ මිල ඉහළ යන සමයක හෝ භාණ්ඩ හිඟ විට- මෙම ‘සමාජ’ තමන්ගේ යැපුම් සහ කුටුම්භ ආර්ථිකය කළමනාකරණය කර ගන්නා ආකාරය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක් ඔබ කර තිබේද?  ලංකාවේ ජේෂ්ඨතම දේශපාලන විද්‍යා මහාචාර්යවරයා වන ජයදේව උයන්ගොඩ මහතාගෙන් ද අපි මෙම ප්‍රශ්නය අසන්නෙමු. (තමන්ගේ පශ්චාත්-උපාධි නිබන්ධනය ශේප් කර ගැනීමට මේ දිනවල උයන්ගොඩගේ පිට කසන තක්කඩියෙකු ගැන ද අපට ආරංචිය.)

                අපගේ අධ්‍යයනයට අනුව, විශ්ව විද්‍යාලයක යම් පර්යේෂක කණ්ඩායමක් විසින් ලංකාවේ අවිධිමත් ආර්ථිකයේ ජීවත් වන නාගරික, ග්‍රාමීය, වතු  යන අංශ තුනේම ජනයා තමන්ගේ ආහාර ලබා ගන්නා ආකාරය සහ අර්බුද අවස්ථාවල විකල්ප ක්‍රම සොයා ගන්නා ආකාරය ගැන පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එහි අඩංගු දත්තවලට අනුව, ලෙකේඩවුන් විරෝධීන්ගේ මතය තර්කාභාසයකි. එනම්, පැවැත්මක් නැති ප්‍රස්තුතයන්ට පැවැත්මක් ඇතැයි නිගමනය කිරීම නිසා සද්භාවාත්මක තලයේ ද ලංකාවේ දුප්පත් මිනිසුන් බඩගින්නේ සිටිනවා යනු, ‘මකරුන් කටින් ගිනි පිට කරයි’ වැනි ප්‍රවාදයකි. එනම්, මෙහිදී පවතින ගැටලුව ඇති වන්නේ නො පවත්නා දෙයක් පිළිබඳව අදහස් වන ප්‍රස්තුත සම්බන්ධයෙනි.

           මේ සම්බන්ධ පර්යේෂණ පත්‍රිකාව අපට පළ කළ නොහැකි එක් සාධකයක් ඇත. පසුගිය දශක එකහමාරක පමණ කාලයක් නිශ්චිත තක්කඩි කිහිපදෙනෙක් (සමහර දේශපාලන පක්ෂවල ද සහාය ඇතිව) අපගේ බුද්ධිමය දේපොළ සොරා කා ඒවායේ අයිතිකරුවන් විය. ‘ස්ලාවොජ් ජිජැක්’ ඥාතියෙකු වන තරමට සමහරුන්ගේ මංකොල්ලකෑම දිගු විය. ඒ නිසා, ‘අවිධිමත් ක්ෂේත්‍රයේ ජනයා’ බඩගින්නේ ඉන්නෙ නැහැ යන අපගේ ප්‍රවාදයට නාමිකව යමෙකු අභියෝගයක් ඉදිරිපත් කරන්නේ නම්, අපි එම පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කරන්නෙමු. ඇත්ත වශයෙන්ම, මේ මොහොතේ අර්බුදයට ගොස් ඇත්තේ වත්තෙ කොස්, දෙල්, දෙහි, කරපිංචා නැති මධ්‍යම පන්තියයි. විශ්ව විද්‍යාල ගුරුවරු අරමුදල් රැස් කළ යුත්තේ දුගීන්ට සහන දෙන්නට නොව මධ්‍යම පන්තියට සහන ලබා දීම සඳහාය. සාරාංශගත කර කිවහොත්, ”වැගන් R” මෝටර් රථයක් ගෙන එක වේලක් නොකා ලීසිං වාරික ගෙවන්නේ මැද පන්තිය මිස දුගීන් නොවේ. එක් පැත්තකින්, Kelly Felder ඇඳුම් සාප්පුවෙන් ඇඳුම් මිලට ගන්නා ගමන් අනිත් පැත්තෙන්, දුගීන්ට සහන සලසන්න කියා ‘සටන් පුවරු’ උස්සා ගෙන සිටින්නේ තමන් ජීවත්වන රටේ සමාජ ආර්ථික දත්ත ගැනවත් අවබෝධයක් නැති පුස්සන්ය. ඔවුන් කතා කරන ‘සමාජවාදය’ නතර වීමට නියමිත මානසික ආතති වලින් පමණි. තම තමන්ගේ ඊනියා මැද පාන්තික අනන්‍යතා  වැඩි වශයෙන් විනාශ කර ගෙන ඇති, ගමටත් නගරයටත් නැති උභය ජීවී බුද්ධිමතුන්ට තම අභ්‍යන්තර සංගතභාවය වෙනුවෙන් බාහිර ලෝකයේ දුක් විඳින මිනිසුන් අවශ්‍ය ය.

          මෙය වාමාංශික දේශපාලනය නොව ලිබරල්වාදයේ දේශපාලනික නිවැරැදිභාවය යි.[Political Correctness] මීට කලින් මෙතැන සිටියේ, දෙමළා සහ මුසල්මානුවාය. දැන් එතැනට, බඩගින්නේ ඉන්නා පීඩිතයන් ආදේශ වී ඇත. කොරෝනා වෛරසයට පසුව, මේ පීඩිත ජනයා ඔවුන්ට ඡන්දය ලබා දේවි යන සිහිනයක මෙම ලොක්ඩවුන් විරෝධී සමාජවාදීන් පැටලී සිටිති. 

==========================================+++++++++++

නැවත රටට දේශපාලන පක්ෂ අවශ්‍ය නම්, නැවත පක්ෂ, විපක්ෂ භේදය තහවුරු කිරීමට අවශ්‍ය නම්, මහින්ද රනිල් සුසංයෝගයෙන් ගැලවීමට අවශ්‍ය නම්,

ඔබට උත්තර යෝජනා නොකරන, නිවැරදි ප්‍රශ්නය ඇසීමට, අධ්‍යයනය කරන අප සමඟ එකතු වෙන්න.

ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

click..

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

Comments are closed.