කෙටි පෙරවදනක් –

ඉතිහාසයේ අපූර්ව මොහොතක් පහළ වී ඇත. සිතාගත නොහැකි ප්‍රතිපක්ෂයන් ඒකීයත්වය කරා ළඟා වී ඇත. සරලව කිවහොත්, යථාර්ථයේ ප්‍රතිවිරෝධී පැතිවලින් එක් එක් පැත්ත අනෙක් පැත්තේ පැවැත්ම තහවුරු කරයි. ඒවා අතර ඇත්තේ, ඒකීයභාවය යි. සමහර පැති තමන්ගේ අනාගත පැවැත්ම වෙනුවෙන් අනෙක් පැත්ත බවට විපර්යාස වෙමින් පවතියි. උදාහරණයක් ලෙස, මධ්‍යම පන්තිය සතු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට රනිල් වික්‍රමසිංහට වඩා කුමාර් ගුණරත්නම් හෝ ඔහුගේ ගෝලයන් අනන්‍ය වී ඇත. නිර්ධන පන්ති විඥාණය යනු, තමා කලින් පැවති වැඩ කරන පන්ති අනන්‍යතාවය හෝ මහජනයාගෙන් කොටසක් යැයි පිළිගැනීම නිශේධනය කිරීමයි. එසේ නොමැතිව, ඊට තදාත්මික වීම නොවේ. වැදගත් මහත්වරුන්ගේ සහ නෝනාවරුන්ගේ ශුද්ධ ස්වරූපය නිරුවත් වීම යැයි දකින බුද්ධිමතාට නො වැටහෙන්නේ, මෙකී අනන්‍යතාවයන්ට තමන් කෙතරම් තදාත්මික වී ඇත්ද යන්නයි.

          එබැවින්, මේ මොහොතේ ලංකාවේ වාමාංශය යනු, තක්කඩින්ගේ රජ දහනකි. එය සමක කළ හැක්කේ, මයිලස් ෆෝර්මන්ගේ ‘One Flew Over The Cockoost Nest’ චිත්‍රපටයේ රැන්ඩල්ගේ චරිතයට යි. රැන්ඩල් යනු, ස්ත්‍රී දූෂණ චෝදනා නිසා දීර්ඝකාලීන සිරදඬුවමක් ලද සිරකරුවෙකි. ඔහු සිරගෙදර බර වැඩ වලින් නිදහස් වී විනෝදයෙන් ජීවත් වීමට පිස්සුවක් හදා ගනියි. ඔහුගේ උමතුව සිරගෙදර ප්‍රධානීන්ට ද ප්‍රහේලිකාවකි. ඔහුට ඇත්තටම පිස්සු දැයි පරික්ෂා කිරීමට බලධාරීන් ඔහුව මානසික රෝහලකට ගෙන ගොස් දමයි. මානසික රෝහල තුළ ද ඔහු හැසිරෙන්නේ, උමතු වූවෙකු සහ විනෝද වන්නෙකු ලෙසිනි. ඔහුට අවශ්‍ය වන්නේ, විනෝදයෙන් සහ සැහැල්ලුවෙන් ජීවත් වීමට ය. උමතු රෝහලේ රෝගීන් දෙස තීක්ෂණ ලෙස බලා සිටින ප්‍රධාන හෙද නිලධාරියාට රැන්ඩල් චරිතයේ අභ්‍යන්තර ගතිකය හොඳින් වැටහෙයි. රැන්ඩල්ට ඔහුගේ ඉලක්කය සපුරා ගැනීමට පෙර හෙද නිලධාරියා ඔහුගේ මොළයේ විද්‍යුත් පරිපථය කඩා දමන එන්නතක් එන්නත් [Lobotomy] කර ඔහුගේ මොළය විනාශ කරයි.

        මධ්‍යම පන්තිකයන්ටත් වඩා මධ්‍යම පන්තික පරමාදර්ශ වලට ආශා කරන ලංකාවේ වම්මුන්ට ද අවශ්‍ය වන්නේ, ඉහත ආකාරයේ එන්නතකි. මන්දයත්, නිෂේධනයේ නිශේධනය ගැන ඔවුන්ට කියා දීමට වෙනත් ක්‍රමයක් නැති නිසා ය. 

Miloš FormanCzech-born New Wave filmmaker who was known primarily for the distinctively American movies that he made after his immigration to the United States.

අප සංවිධානය කලක සිට උත්සාහ කරමින් සිටින ලද්දක් වනුයේ ලංකාවේ වාමාංශය හැසිරවීමට අදාල වන ගැලපෙනම ව්‍යුහය කුමක්ද යන්නට න්‍යායිකව පිළිතුරක් සපයා ගැනීමටයි. එම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට අප කෙතරම් පොත්පත් පරිශීලනය කළත් අපට ඒ සඳහා සාර්ථක පිළිතුරක් සොයා ගැනීමට අපහසු විය. නමුත් පසු කලෙක දී අපට ලැකාන්  සේවය කරන ලද පැරීසියේ ”ශාන්ත ඈන් මානසික රෝහලේ” මනෝ චිකිත්සක වාට්ටුවේ ව්‍යුහය සම්බන්ධයෙන් ලියැවුණු වටිනා ලිපියක් හමුවිය. එය පරිශීලනය කරගෙන යාමේදී අපට වැටහුනු දෙය නම් ලංකාවේ වාමාංශය හැසිරීම සඳහා ගැලපෙනම ව්‍යුහය ලෙස මෙම මනෝචිකිත්සක වාට්ටුවේ ව්‍යුහය අපට ආදේශ කරගත හැකිය යන්නයි. මෙහිදී අපට අත්වුණු එක් ප්‍රබල වාසියක් නම් වාමාංශිකයන් අධ්‍යනය කිරීමේ දී කූඹියෝ ටෙලි නාට්‍යයේ  ජෙහාන්ගේ ක්‍රමයට වඩා, වඩාත් විද්‍යාත්මක ව්‍යුහයක් තුළින් මිනිසුන්ව අධ්‍යයනය කිරීමට හැකි වීමයි. එය මූලික වශයෙන් ආකාර තුනකි. එනම් සයිකොසික(psychosis), විපරීත(perversion) සහ නියුරෝසික(neurosis) යන සායනික ව්‍යුහයන් තුනයි. [ඇලන් මිලර් නම් මනෝවිශ්ලේෂකයාට අනුව සයිකෝසිකයෙකු පියාගේ හැඟවුම්කාරකය නිශේධනය කරයි, විපරීතයා ෆැල්ලසයේ හැඟවුම්කාරකය නිශේධනය කරයි සහ නියුරෝසිකයා තම ආත්මයම නිශේධනය කරයි.]

Sainte-Anne Hospital Center –A haven of beautiful peace amongst flowers and statues is tucked away inside the walls of Hôpital Sainte Anne, which is the main psychiatric hospital of Paris. Nature and art covers the whole hospital campus, offering visual stimulation of beauty as part of the healing process.

 

මෙහිදී අප අනෙකුත් වාමාංශිකයන්ගෙන් (ජේවීපී සහ පෙසපෙ ඇතුළු විජේවීරවාදීන්ගෙන්) වෙනස් වන එක් කරුණක් ඇත. එනම් තමන් යනු, ඔවුන් විසින්  ගොඩනගන  නරක බාහිර යථාර්ථයෙන් වියුක්තව සිටින පිරිසක් ලෙස හුවා දැක්වීමයි. මෙම විජේවීරවාදීන් නිතරම බාහිරින් සිටින අන් අයගේ වැරදි පෙන්වා දීමට ඉතා දක්ෂ වන අතර ඔවුන් යනු, මෙම වැරදිකරුවන් සිටින යථාර්ථයට අයත් නොවන කොටසක් ලෙස පෙන්වා දෙයි. උදාහරණයක් ලෙස සුමිත් චාමින්දගේ ලිපි තුල සැමවිටම බාහිරින් සිටින සතුරෙකු ඇති අතර ලිපිය පුරා ඇත්තේ එම සතුරාගේ වැරදි ලෙස ඔහු විසින් නම් කරන දේවල් පමණි – ඔහු විසින් මීළඟට ලිවීමට නියමිත ලිපිය වන්නේ ඊයේ (23) රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවේ සිදුකරන ලද කතාව පිළිබඳව වන අතර එහිදී රනිල් විසින් සිදුකරන ලද වැරදි ඔහු විසින් එම ලිපිය තුළ දී පෙන්වා දෙනු ඇත. නමුත් සුමිත් චාමින්ද විසින් ඔහුගේ  ලිපි තුල දිගින් දිගටම සිදු කරමින් සිටින න්‍යායික වැරදි පිළිබඳ කිසිදු පසුවිපරමක් ඔහු විසින් කිසිසේත් සිදු නොකරනු ඇත. නමුත් අප යනු එසේ වැරදි නැති පරිපුර්ණ පිරිසක් නොවේ. අප ලංකාවේ වාමාංශය නියුරෝසියාව, සයිකෝසියාව විපරිතභාවය ලෙස  ව්‍යුහ තුලින් අධ්‍යයනය කරන විට, අප මේවට පිටින් යම්කිසි උසස් තලයක සිටින අය ලෙස අප අපව වටහා ගන්නේ නැත.

 

 

ලංකාවේ වාමාංශිකයන් ඇතුළු බොහෝ අය විශ්වාස කරන දෙයක් නම්, බාහිරින් සමාජ යථාර්ථය ලෙස දකින කිරි කලයක් වැනි දෙයක් ඇති බවත් සහ  තමන් හට ඕනෑම විටකදී තමන්ගේ ගොම බින්දුව එයට කලවම් නොවන ලෙස අත දැමිය හැකි බවත්ය. නමුත් අප පක්ෂයේ භාවිතා කරන දර්ශනයට අනුව එය එසේ නොවේ. එනම් අප සෑම විටම යථාර්ථය ලෙස යමක් හඳුනාගන්නේම අපගේ ගොම බිංදුව ඊට කලවම් වීමෙන් පසුවයි. අප විජේවීරවාදීන් ලෙස නාමකරණය කරන ලද ලාංකිකයා යනු මෙසේ තමන් තුළ ගොම බින්දුවක් ඇති බව පිළිනොගන්නා පුද්ගලයායි. විජේවීරවාදීන් සැම විටම තමන් තුළ ඇති ගොම බිංදුව මග හරින අතර එය ප්‍රතිස්ථාපනය(displacement) කරන යමක් බාහිරින් සොයාගනී. 2009 දී විජේවීර වාදීන් විසින් තමන්ගේ ගොම බිංදුව මගහැර ඒ වෙනුවට බාහිර සොයාගන්නා ගන්නා ලද දෙය  වූයේ “දෙමළා” යන්නයි, අද වන විට එය “රාජපක්ෂ” බවට පත්වී ඇත. උදාහරණයක් ලෙස විදර්ශන කන්නන්ගර යන විජේවීරවාදියාට “රනිල් රාජපක්ෂ” ලෙසපැවසීමේදී මෙම රාජපක්ෂ යනු තමන්ගේ ම ගොම බිංදුව දරාගත නොහැකි නිසා කරන භාහිර ප්‍රතිස්ථාපනයක් බව කිසිසේත් වැටහෙන්නේ නැත(එනම් විදර්ශනද ”විදර්ශන රාජපක්ෂ” වන බව වටහා ගැනීම).

 

සුමිත් චාමින්ද නැමැති විජේවීරවාදියා සැමවිටම ලංකාවේ අර්බුදය සඳහා වත්මන් ආණ්ඩුවට විසඳුම් නොමැති බව පෙන්වා දෙයි. උදාහරණයක් ලෙස රජයේ සෞඛ්‍ය සේවය මුදල් ගෙවා ලබා ගැනීමට හැකි ලෙස ඉදිරියේදී වෙනස් කිරීමට යාම මොහු විසින් විවේචනය කරයි, තවද රාජ්‍ය සේවයේ සේවකයන් ප්‍රමාණය අඩු කිරීමට යාමද මොහු විසින් විවේචනය කරයි. මෙම ක්‍රියාමාර්ග ගැනීමට සිදු වී ඇත්තේ රජයට මෙම වියදම් දැරීම සඳහා අවශ්‍ය මුදල් නොමැතිවීම හේතුවෙනි. නමුත් මෙම ක්‍රියාමාර්ග විවේචනය කරනවා නම්, මෙම ක්‍රියාමාර්ග වලට වඩා හොඳ විසඳුම සුමිත් චමින්දට හෝ පෙසප ට තිබෙනවාද? දුමින්ද නාගමුව වීරයෙකු මෙන් පොලිස් නිලධාරීන් වෙතට “ඔබලාගේ පෙන්ෂන් ආණ්ඩුව විසින් කප්පාදු කිරීමට යන බව” පවසයි.  නමුත් එසේ නොකර ඉදිරියට යෑම අවශ්‍ය නම්, ඒ සඳහා පෙසපෙ විසින් රජයට ඉදිරිපත් කරන විසඳුම් මොනවාද? එසේ විසඳුම් ඉදිරිපත් නොකර හුදෙක් ඇඟිල්ල පමණක් දිගු කිරීම යනු තමන්ගේ ගොම බිංදුව මග හැර සිටීම නොවේ ද?

 

අප දැන් මෙම “ගොම බිංදුව” රූපකය පිටුපස ඇති න්‍යායික කරුණ වටහා ගැනීමට උත්සාහ කරමු. ජිජැක් විසින් ලැකානියානු මනෝවිශ්ලේෂණය උපයෝගී කරගනිමින් දෘෂ්ටිවාදී විචාරය කිරීමේදී එය තුළ අනිවාර්ය ලෙස අන්තර්ගත විය යුතු අංග දෙකක් පැහැදිලි කරයි. එය තර්කනයෙන් දෙකක් ලෙසද නම් කර හැක( double  logic). එය මනෝවිශ්ලේෂණයේ එන අවිඥානය යන සංකල්පය ගොඩ ගොඩනැගීමට භාවිතා කරන ලද ලද තර්ක දෙකයි.

එනම්,

 

1, හැඟවුම්කාරකයෙ තර්කනය( logic of signifier; The Unconscious is structured like a language)

 

2, විනෝදයේ තර්කනය (jouissance; There is no sexual relationship)

 

මෙහි දී යම්කිසි ගොඩනගන ලද සමස්තයක් විශ්ලේෂණය කිරීමේදී, පළමුව එහි හැඟවුම් කාරක මත සෑදුණු භාෂාත්මක ව්‍යුහය විසංයෝජනය කර පෙන්වීම සිදු කරයි. ලැක්ලෝගේ කතිකා විශ්ලේෂණය (discourse analysis) අයත් වන්නේ මෙම කොටසට පමණි.

 

දෙවනුව අර්ථයෙන් මානයෙහි අභිබවමින් මෙම සමස්ථය තුළ ඇති අඩුව (Lack, අභ්‍යන්තර පසමිතුරුතාවය,ගොම බිංදුව) වසා දැමෙන, පූර්ව දෘෂ්ටිවාදී විනෝදයක්  ව්‍යුහගතකරන ෆැන්ටසිය  පෙන්වා දීම සිදුකළ යුතුය.

 

මෙහිදී භාවිතා වන මූලික තර්කනය නම් යම්කිසි සමස්තයක්(whole) ගොඩ නැගෙන්නේ එම සමස්තයට අභ්‍යන්තරයෙන් ඇති කොටසක්(part) බහිෂ්කරණය වීම තුළින් එම සමස්තයේ සීමාව(limit) ගොඩනැගීම සිදු වීම මගින් බවයි. මෙම ක්‍රියාවලියේ දී ත්‍රිත්වයක් බිහි වෙයි. එනම් සමස්තය(whole), සහ එහි සීමාව ගොඩනැගීම සඳහා සමස්තය තුළින් බහිෂ්කරණය වන කොටස(part) සහ එය නිසා සමස්තය තුළ හටගන්නා හිඩැස (hole) යන්නයි.

 

උදාහරණයක් ලෙස ජර්මානු ජාතිය විනාශ කරන්නා ලෙස පෙන්වන යුදෙව්වා යනු, ජර්මානු ජාතිය යන සමස්තය ගොඩ නැගීමට යාමේදී එය තුලින්ම බහිෂ්කරණය වන කොටසකි. ලැක්ලෝගේ  කතිකා විශ්ලේෂණයට අනුව පැවසුවහොත් ”ජර්මානු ජාතිය” සහ ”යුදෙව්වා” අතර ඇති පසමිතුරුතාවය යනු ජර්මානු ජාතිය යන සමස්තය තුළ ඇති අභ්‍යන්තර පසමිතුරුතාවය වෙනුවට ප්‍රතිස්ථාපනය(displacement) වන බාහිර පසමිතුරුතාවයකි. නලින්ද ද සිල්වා ගේ “ජාතිය” යන ගොඩනැංවීමේදි  ඔහු අතින් සැමවිටම ජාතියට එරෙහි වන බාහිරින් ඇති සතුරෙකු පෙන්වීම (දෙමළා, බටහිරයා…) සිදුවන්නේ ඔහුගේ ජාතිය යන්නෙහි අභ්‍යන්තර වියනොහැකියාව (Internal impossibility) වෙනුවට ප්‍රතිස්ථාපනය වීමක් ලෙසය.

 

පෙසපෙ විසින් රැඩිකල් ජනප්‍රියවාදී දේශපාලනය කරනවා යැයි පවසමින් මසකට දෙවතාවක් පාරවල් වල ඇවිද පොලිසියෙන් ගුටි කන්නේ තමන්ගේ අභ්‍යන්තර පසමිතුරුතාවය වෙනුවට බාහිර පසමිතුරෙකු සොයන නිසාය. මෙහිදී පූර්ව-දෘෂ්ටිවාදාත්මක විනෝදයක් ව්‍යුහගත වන ෆැන්ටසියක් මගින් මෙම අභ්‍යන්තර වියනොහැකියාව වසා දමයි [අපගේ සල්ලි(විනෝදය) මොවුන් හොරකම් කරමින් සිටියි]. මෙම තර්කනයට අනුව නලින් ද සිල්වා සහ ලංකාවේ වාමාංශිකයන් අතර වෙනසක් නැත.

 

මෙම ලිපිය කියවන පාඨකයාට දේශපාලන සංවිධානයක් ලෙස අපට දීමට ඇති පණිවිඩය වන්නේ, පෙසප සහ ජවිපෙ විසින් රාජපක්ෂලාට හෝ රනිල් වික්‍රමසිංහට ඇඟිල්ල දිගු කරමින් නගන විලාපයට නොරැවටෙන ලෙසයි. එසේ ඔවුන් විසින් විලාප නගන විටදී සැම විටම එම විලාපයන්ට පසු, ”එසේනම් මෙම අර්බුදය සඳහා ඔබලාගේ ඇති විසඳුම් මොනවාද?” යන්න ප්‍රශ්න කරන්න. මන්ද යත් මෙම විලාප සහ රාජපක්ෂ විසින් 2005-2009 වකවානුවේ උතුරේ දෙමළ වැසියන්ට එරෙහිව නගන විලාප අතර කිසිදු වෙනසක් නොමැත.

සමබිම පක්ෂයේ පොඩි එකා,

 

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here