ශිෂ්ටත්වයේ සිහිනය...|Sunday, September 24, 2017
You are here: Home » News » විකල්පය රාජ්‍ය ප‍්‍රතිසංස්කරණයක්ද? නැතහොත් පන්ති අරගලයද? II

විකල්පය රාජ්‍ය ප‍්‍රතිසංස්කරණයක්ද? නැතහොත් පන්ති අරගලයද? II 

keynes

 

- උයන්ගොඩගේ ප‍්‍රවාදය යළි විමර්ශනය කිරීමක් -

 උයන්ගොඩ තම තිසීසය ලෙස ගොඩනඟන ද්විකෝටිකය තුළ ස්ථානගත වන්නේ දේශපාලන යථාර්ථය වෙනස් කිරීම වෙනුවට රාජ්‍ය යන්ත‍්‍රය ප‍්‍රතිසංස්කරණය කිරීමයි. එය එක්තරා ආකාරයක තෝරා ගැනීමකි. දේශපාලන යථාර්ථය වෙනස් කිරීමට දේශපාලන පක්ෂ, දේශපාලන බලවේග, පක්ෂ නායකයන් අවශ්‍ය වනමුත් රාජ්‍යය ප‍්‍රතිසංස්කරණය කිරීමට ඒ කිසිවක් අවශ්‍ය නැත. ඒ සඳහා අවශ්‍ය මතවාදය වන්නේ මාක්ස්වාදයට විකල්පයක් ලෙස ‘සිවිල් සමාජය’ සැලකීම පමණි. 94 වර්ෂයේ චන්ද්‍රිකා බලයට පැමිණි අවස්ථාවේ සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ නායකයන් වන චාල්ස් අබේසේකර, උයන්ගොඩ සහ කුමාරි ජයවර්ධන අනුදත්තේ ද මෙම මාර්ගයයි. ලංකාවේ කෘෂිකර්මය කාර්මිකකරණය කිරීම පිළිබඳ පර්යේෂණ ගැටලුවක 70 දශකය අගභාගයේ SSA ආයතනය හිර වී සිටියේය. නමුත් 90 දශකය මුල වන විට SSA ආයතනය පර්යේෂණ විධික‍්‍රමවලින් ‘මානව හිමිකම්’ නම් ක්ෂේත‍්‍රයට විතැන් විය. එය දේශීය ආර්ථිකය නම් තැනින් ගෝලීය ආර්ථිකය නම් තැනට විතැන් වීම නිසා හටගත් නව ආකල්පයකි. මෙම නව ආකල්පය න්‍යායගත කිරීම සඳහා SSA ආයතනය ලාල් ජයවර්ධන මැදි කරගෙන නව කෘති දෙකක් සිංහලට පරිවර්තනය කළේය. (1978 ට පසු ලංකාවේ විප්ලවීය වෙනස්කම් සිදු වූ උපරි-ව්‍යුහය පිළිබඳ අදටත් වලංගු කෘති දෙක වූයේ මෙම කෘති දෙකය) ඒවා මෙසේය.

(A) නිර්බාධීකරණය – හැඳින්වීමක් - අමිත් භද්‍රජී, දීපක්නයාර් පරිවර්තනය – ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්

(B) නිර්බාධීය ආර්ථිකයක් කරා - සමාජවාදිදීක‍්‍රමයකින් විතැන් වීම: හංගේරියාවේ නිදර්ශනය - ජානෝස් කෝර්නායි – පරිවර්තනය – ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, සුනිලා මෙන්ඩිස්.

 ලංකාවේ ඊනියා මාක්ස්වාදී ප‍්‍රකාශන සහ පක්ෂ ප‍්‍රකාශනවලට වඩා 1978 ට පසු ලංකාවේ ජහමනයාගේ මතවාදී වෙනස් වීම ගැන ගැඹුරු න්‍යායගත කිරීම සහ පුරෝකථනය කිරීම කළේ ඉහත ධනේශ්වර හිතවාදී ආර්ථික විද්‍යා කෘති 2 යි. ඉහත කෘති දෙක මඟින් ප‍්‍රකාශිත සමකාලීනත්වය මේ මොහොතටත් අදාළ බව පෙන්වීමට ඉහත කෘති දෙක ආශ‍්‍රය කොටගත් උපුටා දැක්වීම් කිහිපයකට යාමට මට ඉඩ දෙන්න!

 (1) ව්‍යාපාරික කටයුතුවල දී වෙනත් අයට වඩා සාර්ථක වන කෙනකුට වැඩිපුර ආදායම් ලැබීමට ඉඩ තිබිය යුතුය යන්න වැනි සුළු දේවල් ගැන මෙම පොතෙහි අවධාරණය කෙරෙන්නේ ඇයිදැයි බටහිර පාඨකයකු පුදුමයට පත් විය හැකිය. ඇමරිකානු හෝ ස්විස් ජාතිකයකුට යට කී අයිතිවාසිකම් අමුතුවෙන් කියා පෑ යුතු නොවන මූලික සත්‍යයක් ලෙස පෙනුණ ද පෝලන්ත හෝ නැෙඟනහිර ජර්මන් ජාතිකයකුට එය අස්වාභාවික දෙයක් සේ පෙනෙනු ඇත. ඊට හේතුව පෞද්ගලික ව්‍යාපාර සංකල්පය සහ ලාභ ඉපයීම සමාජවාදී සදාචාර පද්ධතියට එකඟ නොවන බැවිනි. මේ රටවල මිනිසාට බාල වියේ සිට මහලූ විය දක්වා උගන්වා ඇති එකම පාඩම, එකම නීත්‍යනුකූල ආදායම් මාර්ගය, ව්‍යාපාර කිරීම නොව ‘ශ‍්‍රමය’ බවයි. එහෙත් රාජ්‍ය තන්ත‍්‍රයේ ප‍්‍රභූවරු (පක්ෂ නිලධාරීහු) කොමියුනිස්ට් මූලධර්ම කඩ කරමින් නීති විරෝධී ව්‍යාපාර කරන බව සාමාන්‍ය ජනයාගෙන් වසන් කර තබා ඇත.

 (2) ආදායම් ව්‍යාප්තිය මූලික වශයෙන් සදාචාර ප‍්‍රශ්නයකි. තනිකර තර්කානුකූලව ‘නිවැරැදි ආදායම් ව්‍යාප්තිය’ මේ යැයි පෙන්වා දීමට කිසිවකුටත් නොහැකි වන්නේ මේ නිසාය. (තෝමස් පිකටිගේ කෘතිය අසාර්ථක වන්නේ මෙම මංසන්ධියේය. කොමියුනිස්ට්වාදය තුළ පවා ඊර්ෂ්‍යාව දේශපාලන සාධකයක් ලෙස අඩංගුය.

 (3) සමානාත්මතාව යනු ධනේශ්වර සංකල්පයකි. එය බුර්ෂුවා පන්තියේ පාලන දෘෂ්ටිවාදයකි.

 (4) මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීම සඳහා අප යොමු විය යුත්තේ ප‍්‍රයෝජ්‍ය වටිනාකම් වෙතට නොව හුවමාරු වටිනාකම් දෙසටය. උදාහරණයක් ලෙස වෙළෙඳාමට හසු නොවන අංශයේ සිට (වතුර, මුහුදු වෙරළ, මරණය, සෞඛ්‍යය, අධ්‍යාපනය) භාණ්ඩ සහ සේවා වෙළෙඳාමට හසු වන ක්ෂේත‍්‍රය කරා විතැන් කළ විට මිනිසුන්ගේ සිතුම්-පැතුම් නිරායාසයෙන් වෙනස් වෙයි. අනෙක් අතට සම්පත් භාවිතය කාර්යක්ෂම කිරීමට සම්පත්වල අයිතිය රාජ්‍යයෙන් පෞද්ගලික අංශයට විතැන් කළ යුතුය.

 ලංකාවේ දී මිනිසුන් සිතන පතන විදිහ සාර්වත‍්‍රික ලෙස වෙනස් කිරීම සඳහා ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IMF) රාජ්‍ය යන්ත‍්‍රය ප‍්‍රතිසංස්කරණය කරන ලද්දේ ඉහත දී අප සඳහන් කළ ආර්ථික මූලෝපාය මැදි කරගෙනය. එය ලංකාවේ දී අතිසාර්ථක විය. එය අද වන විට කෙතරම් සාර්ථක වී ඇත්දැයි කිවහොත් පෞද්ගලික අංශයේ හොඳම ව්‍යාපාර පවත්වාගෙන යන්නේ ‘ජනතා විමුක්ති පෙරමුණයි.’ එසේ නම් උයන්ගොඩගේ විධික‍්‍රමය නිවැරැුදි විය යුතුය. රාජ්‍ය ප‍්‍රතිසංස්කරණය හරහා ආර්ථික ආකල්ප රටේ වෙනස් වුවත් ඊට සමගාමීව ‘ජාතිවාදය’ නම් සුව කළ නොහැකි ව්‍යාධිය රටට බෝ විය. දැන් උයන්ගොඩ යෝජනා කරන්නේ මෙම ‘ජාතිවාදය’ නම් ව්‍යාධිය සුව කිරීමට ද රාජ්‍යය ප‍්‍රතිසංස්කරණය (ප‍්‍රතිව්‍යුහගත කිරීම) කළ යුතු බවයි.

ජාත්‍යන්තර තලයේ දී ද ඉහත ගැටලුව විශද වන අවස්ථාවක් සංසන්දනය උදෙසා යෝජනා කිරීමට කැමැත්තෙමි. මාක්ස්වාදී ආර්ථික විද්‍යාඥයකු ලෙස ජාත්‍යන්තරව පිළිගත් ජියෝවානි අරිගි විසින් රචිත Long Twentieth Century (දීර්ඝ විසිවැනි සියවස) නම් කෘතිය අවධාරණය කරන්නේ ඉතිහාසයේ ගාමක බලය පන්ති අරගලය නොවන බවයි. පන්ති අරගලය වෙනුවට අරිගි යෝජනා කරන්නේ ව්‍යුහාත්මක අධිනිශ්චය වීමය. ඔහුගේ න්‍යායික පර්යාවලෝකනයට අනුව ප‍්‍රාග්ධනය සමුච්ඡුනය වන ව්‍යුහාත්මක නීතියක් තිබේ. මෙම ප‍්‍රාග්ධනය සමුච්ඡුනය වන වාස්තවික නීති – රීතින් විසින් ඉතිහාසයේ ගමන් මඟට චක‍්‍රීය හැඩයක් ආදේශ කර ඇත. එක මොහොතක ලෝක බලවතා නෙදර්ලන්තය වී පසුව එය බි‍්‍රතාන්‍යය වී ඉන්පසු එම තත්ත්වය ඇමරිකාවට පැවරෙන්නේ ඉහත කී වාස්තවික බල රටාව නිසාය. ‘සමාජයේ’ වෙනස් වීම් සිදු වන්නේ මෙම ව්‍යුහමය අංශයේ සිදු වන ඛණ්ඩන නිසා මිස මිනිස් ඒජන්තයාගේ ක‍්‍රියාකාරී වීමෙන් නොවේ.

අරිගි විසින් ඉදිරිපත් කළ ලෝක පද්ධති න්‍යායට එරෙහිව එහි ප‍්‍රතිවාදය ඉදිරිපත් කරනු ලබන්නේ අන්තෝනියෝ නෙග්රි සහ මයිකල් හාර්ඞ් විසිනි. ඔවුන්ගේ කෘතිය වන්නේ Empire නමින් හඳුන්වන සමකාලීන දේශපාලන බල ව්‍යුහයේ පිරමීඩයයි. අරිගි ගමන් කරන අන්තයේ ප‍්‍රතිවිරුද්ධ දිශාවට ඔවුන් ගමන් කරයි. අරිගි ‘ව්‍යුහය’ (Structure) අධිනිශ්චය කරන්නේ නම් නෙග්රි සහ හාර්ඩ් අධිනිශ්චය කරන්නේ සමාජ විපර්යාසය අරබයා ඒජන්තයාගේ අධිකි‍්‍රයාකාරීත්වයයි. එනම් පන්ති අරගලයයි.

තවදුරටත් මෙම න්‍යායික සාකච්ඡුාව ඉදිරියට ගෙන යාමට පෙර ව්‍යුහවාදය (Structuralism) යන්න නිර්වචනය කළ යුතුය. මේ සඳහා උයන්ගොඩ විසින් කරන ලද නිර්වචනය මෙහි දී උපුටා දක්වමු.

 ”ව්‍යුහවාදය යන්නෙන් මූලික වශයෙන් ඇඟවෙන අදහස නම්, මනුෂ්‍ය සමාජයේ ක‍්‍රියාකාරීත්වය සහ පරිවර්තනය අවබෝධ කරගත යුත්තේ මනුෂ්‍ය ඒජන්තයාගේ විඥානමය අභිලාෂයන් තුළ නොව, ඔවුන්ට සහ ඔවුන්ගේ මනසට ස්වාධීනව පවතින ව්‍යුහයන්ගේ (පංචේන්ද්‍රියන්ට ග‍්‍රහණය නොවන මුත් ක‍්‍රියාකාරී වීමට නියමිත මානසික තත්ත්වයක්) ක‍්‍රියාකාරීත්වය තුළය යන්නය”

 නැවතත් අප අන්තෝනියෝ නෙග්රි සහ හාර්ඩ්ගේ කෘතියට අවධානය යොමු කරන්නේ නම් සමාජ විපර්යාසය අරබයා ඔවුන් යෝජනා කරන්නේ පන්ති අරගලයයි. නැතහොත් ඒජන්තයාගේ අධික‍්‍රියාකාරීත්වයයි. අරිගිගේ ධනවාදය විග‍්‍රහය තුළ ඇත්තේ චක‍්‍රිය චලිතයකි. එම අනුරූපණයට අනුව ධනවාදය එක තැනකින් ආරම්භ වී නැවත එතැනටම පැමිණෙයි. ඉතිහාසය යනු මෙම එකම තැනට යළි යළිත් ළඟා වීමය. එසේත් නැත්නම් එකම දෙය පුනරාවර්තනය වීමයි. එමඟින් පවතින පද්ධතිය ඛණ්ඩනයට පත් වන්නේ කෙසේද යන්න විග‍්‍රහ නොකරයි. වඩ වඩා ජාත්‍යන්තරකරණය වන සමාජ සබඳතා ජාතික, වාර්ගික, යටත්විජිත අනන්‍යතා බිඳ දමමින් අඩස්සිගතවීම්වලින් මිදී ගොස් චලනය වීම ඇරඹී ඇත. නමුත් නෙග්රි සහ හාර්ඞ්ගේ නොවිසඳෙන ගැටලුව බවට පත් වන්නේ පක්ෂයකින් තොරව ඒජන්තයාගේ ස්වයං ක‍්‍රියාකාරී වීම මඟින් ධනවාදයෙන් ඛණ්ඩනය වීම ගැන කරන උපන්‍යාසයයි.

ලෙනින්ගේ මැදිහත් වීම දැන් අපට පැහැදිලි කළ හැකිය. ඔහු ‘ධනවාදය’ වාස්තවිකත්වය මෝරා යෑමෙන් හෝ ඒජන්තයාගේ ස්වඡුන්දතාවයෙන් සමාජ විප්ලවයක් සිදු වේ යැයි විශ්වාස නොකරයි. ඒ වෙනුවට ඉතිහාසය වෙනස් කිරීමට යම් ආකෘතියක් මැදිහත් විය යුතු යැයි විශ්වාස කරයි. එම ආකෘතියට ඔහු යෝජනා කරන නම වන්නේ ‘විප්ලවවාදී පක්ෂයයි’ (මෙම අදහසම ට්‍රොට්ස්කි හරහා මෙසේ ප‍්‍රකාශ වෙයි – මනුෂ්‍ය වර්ගයාගේ අර්බුදය විප්ලවවාදී නායකත්වයේ අර්බුදය සමඟ සමපාත වෙයි) මේ හේතුව නිසා පක්ෂයකින් තොරව දේශපාලනයේ යෙදීම ධනේශ්වර දෘෂ්ටිවාදය එක් හෝ වෙනත් ආකාරයකට වැලඳ ගැනීමකි. ශුද්ධ දේශපාලනය (පක්ෂයක් හෝ නායකත්වයකින් තොර දේශපාලනය) ගැන කතා කරන ජාක් රොන්ඩයර්, එටියන් බාලිබාර්, ඇලන් බදියු යන දාර්ශනිකයෝ සමඟ අපි කරන දේශපාලනය පටලවා නොගැනීම මේ අනුව අහම්බයක් නොවේ.

එසේ නම් උයන්ගොඩ කතා කරන රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ ප‍්‍රයත්නයන් නිර්වචනය කළ හැක්කේ කෙසේද? 70 දශකය අග වන විට ලෝක ධනවාදය තුළ අධෝ-ව්‍යුහය තලයේ ඇමරිකානු හෙජමොනිය අතාර්කික වීම ආරම්භ විය. මේ හේතුව නිසා තමන්ගෙන් බාහිරව පවතින පරිවාර රාජ්‍යයන්ට මැදිහත් වීමට ඇමරිකානු දේශපාලන අධිකාරිය විසින් අලුත් විදේශ ප‍්‍රතිපත්තියක් ඉදිරිපත් කරන ලදී. 90 දශකයේ ජනප‍්‍රිය වූ මානව හිමිකම් අයිතිවාසිකම්, රාජ්‍ය නොවන සංවිධාන, පරිවාර රාජ්‍යවල රාජ්‍ය ප‍්‍රතිපත්ති මතවාදී ලෙස වෙනස් කිරීමට යත්න දැරීම, නව-අයිතිවාසිකම් හඳුන්වා දීම යනු ඇමරිකා එක්සත් ජනපද විදේශ ප‍්‍රතිපත්තියේම විවිධ දිගුවන්ය. උයන්ගොඩගේ රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ මතවාදය හරියටම සමපාත කළ හැක්කේ ඇමරිකාවේ විදේශ ප‍්‍රතිපත්තියට මිස බොල්ෂෙවික් විප්ලවයට නොවේ.

 –  ලබන කලාපය- උයන්ගොඩ ඉක්මවා සිතන්නේ කෙසේද? -

 

දීප්ති කුමාර ගුණරත්න

 

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...