අශ්ලීලත්වය සාමාන්‍යකරණය වී ඇති විනෝද සමාජයක  ඕනෑම දෙයක් සිදු විය හැකිය.  ඕනෑම දෙයක් යනුවෙන් අදහස් කරේ විනෝදය තහනම් වී තිබූ අතීත සමාජයේ නොපැවැති  ඕනෑම සිදුවීමක් විනෝද වීමට බල කෙරෙන පශ්චාත් නූතන ධනවාදී සමාජයේ සිදු විය හැකි බවයි. අපට මෙහි දී කලා ලොව තුළ සිදු වන විකාර සිදුවීම් පිළිබඳව අර්ථකථනයක් ඇත. ‘‍කලා ලොව’‍ සංකේත සමාජයේ පවතින නමුත් සැබෑවක් නොවේ. කලාකරුවන් යනු ද එසේමය. අතීතයේ කලාකරුවන් යන වචනයට තිබූ අර්ථය සහ එහි හැඟවුම මේ වන විට වෙනස් වී ඇත. ඒ හිස්තැන එසේත් නැත්නම් මධ්‍ය ලංකාවේ මාධ්‍ය විසින් පිටත සමාජයට ප‍්‍රක්ෂේපණය කර ඇති විනෝදාත්මක විපරිතයකින් පිර වී ඇත. විකාශනය වන තරු වැඩසටහන් සියල්ලකින්ම පාහේ මෙය වටහාගත හැකිය. නළු‍ නිළියන් පැමිණ එකී වැඩසටහන් තුළ උමතු වූවන් මෙන් හැසිරීමෙන් පෙනී යන්නේ ඔවුන්ට ඇති තද බල අනන්‍යතා අර්බුදයයි. තමන් කලාකරුවෙක්දැයි යන්න ඔවුන්ට ඇති පටලැවිල්ලයි.

ඔවුන් සැබෑ කලාකරුවන් නම් රූපවාහිනී වැඩසටහන්වලට පැමිණ කෑම උයන්නේ නැත. දෙහි ගෙඩිය හැන්දේ තබාගෙන ගොස් පෙන්නන්නේ නැත. මොවුන්ට තවදුරටත් පෞද්ගලික අවකාශ නැත. සම්මාන උළෙලට සහභාගී වී මගේ ගෑනිට අර නළු‍වා ලේන් පැටියෙක් දුන්නා, මගේ පවුල ඉවරයි, මගේ පවුල අහවල් නිළිය කඩලා දැම්මා වැනි ප‍්‍රකාශ කලාකරුවන් එළිපිට කියද්දී ඔවුන්ගේ පෞද්ගලික අවකාශය අහෝසි වී බොහෝ කල් බව ඔබට වැටහෙනවා ඇත. මේ සියල්ල මාධ්‍ය තුළ සිදු වන දේ මිසක් රියල් ඒවා නොවේ. මෙය ඉතා පරිස්සමට වටහාගත යුතු කාරණයකි.

 අපි ජීවත් වන සමාජය තුළ මධ්‍යයක් තිබේ. එනම් යම්කිසි අඩුවකි. මෙකී මධ්‍ය පශ්චාත් නූතන මාධ්‍ය විසින් පෙන්වා දෙනු ලබන්නේ නැත. එයින් සිදු වන්නේ අපගේ සැබෑ ජීවිතය සහ බාහිර ප‍්‍රබන්ධ ලෝකය අතර තිබුණු එය වෙන් කර දැක්වෙන ඉර, සීමාව මැකී යාමයි. ජින් බෝද්‍රිල්ලාඞ් යන ප‍්‍රංශ සමාජ විද්‍යාඥයා ගල්ෆ් යුද්ධය පිළිබඳව කල ප‍්‍රකාශය මෙහි දී වැදගත්ය. ඔහු පවසා සිටියේ ගල්ෆ් යුද්ධය සැබෑ ලෝකය තුළ සිදු වූවක් නොව මාධ්‍ය තුළ පමණක් සිදු වූ දෙයක් පමණක් බවයි. ඒ ආකාරයෙන් වටහා ගත් කල අප දකින සහ අපි විශ්වාස කරන බොහෝමයක් සංසිද්ධීන් සිදු වී ඇත්තේ සහ සිදු වන්නේ මාධ්‍ය ස්ටුඩියෝ තුළ ය.

 එය වඩාත් වටහා ගැනීමට අපට ලංකාවේ ඇති චීන අවහන්හල් නිදසුනට ගත හැකිය. ලංකාවේ මධ්‍යම පාංතිකයන්ට ශබ්ද කිරීමටත් අපහසු නම් ඇති චීන අවන්හල්  ඕනෑ තරම් ඇත. ඒ නිසාම මෙවැනි අවහන්හලක් වෙත යන පුද්ගලයෙකුට එහි ඇතුළු වූ විටම දැනෙන්නේ චීන රටට ඇතුළු‍ වූ බවකි. කටින් ගිනි පිට කරන මකරුන්, මාෂල් ආර්ට්, බීජිං නුවර පින්තූරවලින් බිත්ති සරසා ඇති නිසා ලංකාවෙන් එක්වරම චීනයට ගියා වැනි සිතුවිල්ලක් ඇති වේ. මෙනුපත අතට ගත් විට එහි ඇත්තේත් හොන් ශාවෝ රෝවූ, හොට් බටර් කට්ල්ෆිශ්, ඩම්පිලින්ස්, හනි රෝස්ටඞ් ඩක් වැනි චීන කෑමවල නම් ය. සමහරුන් නම් මෙනු එකේ ඇති කියවන්න අමාරුම නම් ෆෝන් එකේ නෝට්ස්වල දාගන්නේ පසුවට ෆේස්බුක් එකේ තමන් චීන කෑම කෑ බවට ස්ටේටස් දාන්නය. කෙසේ නමුත් මෙනුපත් බලා  ඕඩර් කරන චීන කෑමක් වෙනුවට ලැබෙන්නේ ලංකාවේ විදියට හැදූ චීන කෑමක් මිසක ඔරිජිනල් චීන ආහාරය නෙවේ. එහෙත් ඔබ නිවස බලා යන්නේත් ඔබ චීන ආහාර වේලක් රස බැලූ බවට විශ්වාසයෙනි. සැබෑවක් යැයි ඔබ වටහා ගන්නා දෙය තවදුරටත් සැබෑවක් නොවේ. මනංකල්පිතයකි.

 නැවතත් කලා ලොවට අපේ කතාව යොමු කරන විට පසුගිය දා ලකී ඩයස් පුවත්පතකට ලබා දුන් සාකච්ඡුාව වැදගත් වන්නේ එහි ඇති කුණු නිසා නොවේ. නමුත් එසේ වන්නේ එහි ඇති සැබෑව සහ නූතන මාධ්‍ය පිළිබඳ අපට පැහැදිලි වන සත්‍ය නිසාය. ලකී සහ මාලනී ෆොන්සේකා අතර පැවති විවාහය සමාජයට රහසක් නොවේ. පසුගිය දා ලකී ඩයස් එකී විවාහය අවසන් වූ ආකාරය පිළිබඳව විවෘතව කතාබහ ආරම්භ කළේ මෙසේ කියමිනි.

”මම මේ දේවල් මෙහෙම කියන්නේ මට ආදරය කරන මේ රටේ මිනිස්සු මේ විවාහය ගැන සත්‍ය දැනගත යුතු නිසා. තවදුරටත් නිහඬව සිටීමේ තේරුමක් නැහැ”‍.

 ලංකාවේ මිනිස්සුන්ට රියල් ප‍්‍රශ්න තිබිය දී ඔවුන් ලකීගේ විවාහය පිළිබඳව සිත් තැවුලෙන් ඔළුව රිදෙන තරමින් කල්පනා කරමින් සිටියා විය නොහැකිය. කිසිවෙකුටත් අදාළ නැති තමන්ගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව ලකී මෙසේ කියන්නට පෙළඹෙන්නේ ඇයි? මේ කාලයේ කලාකරුවන් තමන්ගේ ඉතා පෞද්ගලික ප‍්‍රශ්න මෙසේ එළිපිට කතා කිරීම බහුලව දකින්නට ලැබෙන ලක්ෂණයකි. ලකී ඩයස් රාජපක්ෂ ආණ්ඩුව පැවති කාලයේ මෙසේ කතා කළා නම් සිදු වන දේ ඔබ දනී. එසේ වූවා නම් සුදු වෑන් රියකින් ලකීව උස්සාගෙන ගොස්ය. තමන් ඉදිරියේ අනෙකෙකු එනම් සංකේතීය පියෙකු නොමැති බැවින් තමන්ට ලැජ්ජාව නමින් දෙයක් නොපවතී. එම නිසා තමන්ගේ නිදන කාමරයේ කලකට ඉහත සිදු වූ දේවල් මෙසේ එළිපිට හිරිකිතයකින් තොරව කියා දැමීමට හැකිය. අනෙකෙකු නොමැති නිසා ආත්මීය උපක‍්‍රමය වන්නේ ප‍්‍රචණ්ඩත්වය හරහා අනෙකෙකු නිර්මාණය කර ගැනීමයි. එය අවිඥානිකව සිදු වන්නක්. ලකීට අවශ්‍ය කර තිබෙන්නේත් මෙයයි. ලකී ඩයස් හෙළි කරන එකී නිළිය ලකීගේ රහසක් හෙට දින මාධ්‍යයට පැවසූ පසු ලකීගේ අසනීපය සුව වනු ඇත. එකී නිළියට පෙර පෙම්වතුන් නිල් වන්නට ගුටි දුන් බවත් කියා සිටින ලකී නොකියා සිටින එම පෙර පෙම්වතුන් කවුරුන් විය හැකිද? විනෝද වීමට බල කෙරෙන මේ සමාජයේ විනෝදයෙන් පසු හිමි වන්නේ කාංසාවක් (Anxiety) පමණි. එය සුව කරගැනීම නම් අනෙකාගෙන් ගුටි කෑමක් අවිඥානිකව බලාපොරොත්තු වෙයි. මේ ටික කාලයත් ඔය හිටියා වගේ ඉන්න තිබ්බා නේද යනුවෙන් ලකීගෙන් අසා පලක් නැත. මන්දයත් ඔහුට සිදු වී ඇති දෙය ඔහුවත් නොදන්නා නිසාය.

 මධුමාධව නිල්මිණි විවාහය සහ මධුමාධවගේ දෙවන විවාහයත් එහි දී සිදු වූ සියල්ලත් මේ ආකාරයටම කිසිවෙකුත් නොඅසාම ඔවුන් විසින් හෙළිදරව් කළේය. මධුමාධවගේ කාංසාව නම් ඉතා දරුණු ගණයේ එකක් බව පැහැදිලි වූයේ අද ඊයෙක නොව. කලාකරුවන් වීමට දාඩිය දාගෙන කැමරා ඉදිරියේ උඩ පනිනා හිස් ශරීර මාධ්‍ය විසින් භාවිත කරනු ලබන්නේ විපරිත විනෝදයක් සමාජයට ලබා දී තමන්ගේ රේටින්ස් වැඩි කර ගැනීමට පමණි. ගිය වර කලාපයේ ලිපියක මධුමාධවගෙන් ඇසූ ප‍්‍රශ්නයකට ඔහු දුන් පිළිතුරක මෙසේ කියයි.

 ”ගෙදර කරන එව්වා මහ පාරේ කරාම කැතයි”‍ 

 මධුමාධව, ලකී ඇතුළු‍ බොහෝමයක් නළු‍ නිළියන් නිදන කාමරයේ අශ්ලීලත්වය මහ පාරට ගෙනාවේ කිසිදු ලැජ්ජාවකින් පැකිලීමකින් නොවේ. මධුමාධවට තමන් විසින් තමන්ගේ වැසිකිළි වළවල්වල හැඩය පවා එළියට ගේන විට නොසිතුණු යමක් අද අමුතුවෙන් දැනෙන්නට විදියක් නැත. එනිසා කියන්නට තිබෙන්නේ,

ඔව් ගෙදර කරන එව්වා මහ පාරේ කරාම කැතයි තමයි.

 රමේෂා සිරිවර්ධන

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. “ලකී ඩයස් රාජපක්ෂ ආණ්ඩුව පැවති කාලයේ මෙසේ කතා කළා නම් සිදු වන දේ ඔබ දනී. එසේ වූවා නම් සුදු වෑන් රියකින් ලකීව උස්සාගෙන ගොස්ය.

    සැබෑවක් යැයි ඔබ වටහා ගන්නා දෙය තවදුරටත් සැබෑවක් නොවේ. මනංකල්පිතයකි.”

Comments are closed.