අප මේ දක්වා මෙලන්කොලියාව සාකච්ඡුා මාලාව තුළ සංවාදයට භාජනය කළ ආශා වස්තුව අහිමි වීම, මෙලන්කොලික විශාදය, ආශා වස්තුවට (අහිමි) භක්තිවන්ත වීම, අනේකත්වය (අසල්වැසියා) හරහා මෙලන්කොලියාවෙන් මිදීම යන තත්ත්ව සමස්තයක් ලෙස වඩාත් හොඳින් පැහැදිලි කර ගැනීම සඳහා වින්සන්ට් පෙරෙස් (Vincent Perez) විසින් අධ්‍යක්ෂණය කරන ලද 2016 තිරගත වූ Alone in Berlin චිත‍්‍රපටය අදාළ කරගත හැකිය. නාසිවාදයේ අමානුෂික හැඟීම හමුවේ දිගහැරෙන සත්‍යය කතාවක් පදනම් කරගත් මෙම චිත‍්‍රපටය සමස්තතාවාදයේ ඉස්මතු වීම නිශ්ශබ්දව දරා සිටින්නා වූ, ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිටින්නා වූ, නරුමවාදයක් වෙනුවට ධෛර්ය සම්පන්නව ඉතාම භයානක, එමෙන්ම හුදෙකලා ලෙස දියත් කරන්නා වූ තීරණාත්මක ජීවිතය සහ මරණය අතර දිගහැරෙන දේශපාලන ක‍්‍රීඩාවක නිරත වන මැදිවිය ඉක්ම වූ යුවළක් මෙම චිත‍්‍රපටයේ කේන්ද්‍රය බවට පත්වේ. මතුපිට තලයේ හුදු පෞද්ගලික ගැටලූවක් සම්බන්ධයෙන් වූ ප‍්‍රතිචාරයක් වශයෙන් පෙනී ගියත්, චිත‍්‍රපටය ගලා යන විට පැහැදිලි වන කරුණක් නම් එය හුදු පෞද්ගලික ගැටලූවකට ඔබ්බෙන් වූ සමස්තතා විරෝධී ආස්ථානයක් පෙරදැරි කරගත් දේශපාලන ක‍්‍රියාවක් බවට ඓතිහාසිකව පත්වී ඇති සත්‍යය කථාවක් බවයි.

චිත‍්‍රපටය ආරම්භ වන්නේ ඉහත වැඩ කරන පංතියේ යුවළගේ එකම පුතා නාසිවාදය විසින් යුද්ධයට යොමුකරන ලදුව මිත‍්‍ර හමුදා වෙතින් මිය යන දර්ශනයකිනි. එම මිය යාමේ ක්ෂිතියත් සමඟ නැවත ‘නාසිවාදයේ සත්‍යය’ එනම් අර්ථ විරහිතව මිනීමැරීම නම් තත්ත්වය කෙරෙහි නැවත හැරී බැලීමට මෙම යුවළට (ඔටෝ සහ ඇනා) බල කෙරෙයි. තමා අවට සිදුවන තුච්ඡු මිනීමැරීම සහ වර්ග සංහාරය දෙස පිළිකුලෙන් බැලීමට ආරම්භ කරන එම දෙපළ මුල් අවස්ථාවේ ප‍්‍රකට කරන්නේ දැඩි නිශ්ශබ්ද බවකි. අනතුරුව හිට්ලර්ගේ ඡුායාරූපයක් තම පොතක් අස්සේ තිබී හමුවන විට ඔටෝ විසින් එම ඡුායාරූපය දෙස තමා අවට ඇති යථාර්ථයෙන් ඔබ්බට බැලීමට පෙලඹෙයි. එනම් තමා අවට ඇති ජාතිවාදය සහ වර්ගවාදය පිළිබඳ ‘දැනුමෙන්’ ඔබ්බට ගොස් එම ඡුායාරූපයේ ඇති ‘සත්‍යය’ (Truth) වෙත ඔහු ළඟාවේ. තවදුරටත් පැහැදිලි කරන්නේ  නම් එම ඡුායාරූපයේ සත්‍ය කැත බව (Ugliness) ඔහු නිරීක්ෂණය කරන්නේ එම ඡුායාරූපයේ මතුපිට ඇති, හිට්ලර් දරුවකු සුරතල් කරන දර්ශනයට ඔබ්බෙන් තම සද්භාවය ස්ථානගත කරමිනි. ජාතිවාදයේ කරවටක් එරී ඇති ශ‍්‍රී ලංකාවේ බහුතරයකට ළමයින් වඩාගන්නා ‘නරපතියන්’ ගේ උම්මා දීමෙන් ඔබ්බට ගමන් කර ඒ තුළම ඇති කැත බව නම් සත්‍යය වෙත තවමත් ගමන් කළ නොහැකිය. ජාතිවාදයේ අශ්ලීල බව ග‍්‍රහණය කර ගැනීමට එහි මතුපිට මිනීමැරීමේ උන්මාදයෙන්, එම මිනීමැරීම සෞන්දර්යකරණයෙන් ඔබ්බට (සත්‍යය වෙත) ගමන් කළ යුතුය.

ඡුායාරූපයේ ‘සත්‍යය’ ඔටෝ විසින් එම මොහොතේම එම ඡායාරූපයේ සටහන් කරනු ලබයි. තමා වටේ සිටි සෑම අයෙකුම පැවසුවේ ජර්මන් ජාතිවාදය විසින් ප‍්‍රංශය ඇතුළු රටවල් යටත් කර ගැනීම හරහා ජර්මනියට ඉක්මනින් ‘පොහොසත්’ විය හැකි බවයි. ඔවුන්ට ලෝක බලවතකු විය හැකි බවයි. ජර්මන් යුද යාන්ත‍්‍රණය පමණක් නොව වැඩ බිම්වල සිටින සිවිල් පුරවැසි එකමුතු හරහා පවා ‘සන්නිවේදනය’ කළේ ජයග‍්‍රහණයේ සහ සාර්ථකත්වයේ පණිවුඩයකි. නමුත් ඡුායාරූපයේ ඇති ‘ආදරණීය හිට්ලර්’ කෙනෙකුට ඔබ්බෙන් ඇති දුෂ්ට මිනීමරුවා බොහෝ අය නරුම ආකාරයෙන් අමතක කරයි. තමා එම සත්‍යය දැන ගත්තා වුව ද බොහෝ අය සිටින්නේ එම දුෂ්ට සත්‍යය නොදන්නා ලෙසය. හිට්ලර්ගේ ඡායාරූපයේ ආමන්ත‍්‍රණ පාඨය විකෘති කරන ඔහු තම දරුවා අහිමි වීම නම් තත්ත්වය මෙලන්කොලික යථාර්ථයක් තුළ විශාදයේ පතුලට තම ආත්මය ඇදවැටීම වළක්වා ගැනීමේ නිශ්ශබ්ද දේශපාලන උපක‍්‍රමයක් ලෙස පාවිච්චි කරයි. එය එක් අතකට දැනුවත් ප‍්‍රතිරෝධයකි. තමා වටේ සියල්ලෝම ‘හිට්ලර්ට ජයවේවා’ යයි මුරගාද්දී තම වැඩ බිමට පැමිණ හමුදා නිලධාරියාට ඔහු පවසන්නේ නිෂ්පාදනය මීට වඩා වැඩි කළ යුතු නම් යන්ත‍්‍ර සූත‍්‍ර ද ඒ හා සමානව වැඩි දියුණු කළ යුතු බවයි. අතාර්කික නරුම සමස්තතාවාදයේ කොන්දේසි විරහිත ඉල්ලීම්වලට ඔහු සබුද්ධික පිළිතුරු ලබා දීම මෙතනින් ආරම්භ කරයි. තමා තුළට, තම ආත්මය තුළට රිංගනවා වෙනුවට ඔහු තම සමීප අනේකත්වයේ නරුමවාදය ප‍්‍රශ්න කරයි.

තම පුත‍්‍රයාගේ අකල් මරණය යම් ආකාරයක මෙලන්කොලියාවක් මෙම යුවළ තුළ ඇති කෙරේ නම් එය අන් කිසිවක් නොව ජිජැක් පවසන අයුරින් ඒ අහිමි වූ වස්තුවට කෙරෙන භක්තිවන්තභාවයක් ලෙසය. ලීයෙන් කැටයම් කළ දරුවාගේ පිළිරුවක් ඔටෝ විසින් නිර්මාණය කරන අතර තම අහිමි වූ වස්තුව ඔවුන් නැවත ජීවමාන කරන්නේ ඔහුගේ මරණයේ ‘සත්‍යය හේතුව’ [දේශපාලන විකෘතිය] අභියෝගයට ලක් කිරීමට අධිෂ්ඨාන කර ගනිමින් වීම ඉතාම වැදගත් කරුණකි. අන් සියල්ලෝම ඉහත විකෘතිකරණය කරන ලද විපරීත දේශපාලනයේ සුවච කීකරු යටත් වැසියන් (Subjects) වන විට ඇනා සහ ඔටෝ ඔවුන් සමඟම ගමන් කරමින් අතිශයින් පරස්පර එහෙත් සත්‍යයට වඩා සමීප දේශපාලන පණිවුඩයක් අනෙකා වෙත ලබා දීමට උත්සුක වේ. ඇතැම් විට ඇනා විසින් නාසිවාදය තුළම ඇති ‘ව්‍යාජ සමානාත්මතාවය’ ප‍්‍රශ්න කරන තැනකට ඇය පත්වන අතර නාසි සම්බන්ධතා පාවිච්චි කරමින් මධ්‍යම පංතික ජීවිත ගත කිරීමේ ව්‍යතිරේක ඇය විසින් ප‍්‍රශ්න කරයි. මෙයින් අදහස් කරන්නේ  ඉහත අහිමි වීමේ ක්ෂතිය විසින් වෙනස් කරනු ලබන ඔවුන්ගේ සද්භාවය කොතරම් ප‍්‍රබල දේශපාලනයක් ජනනය කරනවාද ඒ ඔස්සේ එම සත්‍යය නම් අශ්ලීල – අඳුරු සමස්තතාවාදය පිළිබඳ කොතරම් ප‍්‍රතිරෝධයක් සාන්දෘෂ්ටික අරුතකින් ඔවුන් අත්විඳිනවාද යන්නය. තමාගේ යුදෙව් අසල්වැසි ස්ත‍්‍රියට අත්විඳීමට ලැබෙන මරණය ඔස්සේ පවා ඔවුන් සනාථ කර ගන්නේ එම නාසිවාදී සමස්තතාවාදයේ අශ්ලීල – අතාර්කික – ප‍්‍රබුද්ධ විරෝධී – අවමානුෂිකත්වයයි.

ඇනා විසින් එක්තරා අවස්ථාවක දී ඔටෝගෙන් විමසන්නේ ‘ඔබ ලියන්නේ කුමක්ද’ යනුවෙනි. එවිට ඔටෝ පිළිතුරු දෙන්නේ ‘මම සැමරුම් පත් ලියනවා’ යනුවෙනි. ‘කා වෙනුවෙන්ද’ යනුවෙන් ඇය නැවත අසන විට ඔහු කියන්නේ ‘කා වෙනුවෙන්ද තමන් නොදන්නා’ බවයි. අන් සියල්ලෝම සුවච කීකරු නාසි යටත්වැසියන් වී ඇති විටක තම සත්‍යය ප‍්‍රකාශ කිරීමට අනේකත්වයක් ජර්මනිය තුළ (බර්ලිනය තුළ) ශේෂ වී නැති බව ඔහු හොඳින් දනී. එමනිසා චිත‍්‍රපටයේ නම වන ‘බර්ලිනයේ හුදකලාව’ යන්න සංකේතීය අරුතකින් ඔහුගේ පැවැත්ම සමඟ සම්බන්ධ වේ. මුළුමහත් සමාජයක් මිලිටරිකරණය කරන ලද නාසි යුද උමතුව තුළ එවන් අනේකත්වයක් නැති තැන ඔහු නිශ්ශබ්ද නොවීම මෙම චිත‍්‍රපටයේ ඇති වැදගත්ම දේශපාලනික තේමාවයි. ගාඩියන් සඟරාව මෙම යුවළගේ දේශපාලනය නිශ්ශබ්දතාවයේ යුද්ධයක් (Quiet War) ලෙස හඳුන්වා දෙන්නේ නාසිවාදය විසින් විනාශ කරන ලද අනේකත්වයේ නිශ්ශබ්දතාව තුළට ප‍්‍රතිරෝධයේ අර්ථයක් මෙම දෙපළ විසින් නිශ්ශබ්දතාවය තුළම රැගෙන එන බැවිනි. එම අරුතින් ඔටෝ විසින් ලියන ‘නිර්නාමික’ සැමරුම් පත් (Picture Post Cards) ලබන්නා ද නිර්නාමික අයෙකි. එනම් ඔටෝ ප‍්‍රසිද්ධ ස්ථානවල රහසිගතව තබා එන ඉහත සැමරුම් පත් [පෝස්ට් කාඞ්ස්] කවුරු කියවන්නේද යන්න පිළිබඳ දැනුමක් ඔටෝ හට නැත. නමුත් කවුරුන් හෝ ඒවා කියවන බව ඔටෝ දනී.

මෙම ‘කවුරුන් හෝ කියවනු ඇත’ යන අවිශ්වාසී – නිශ්චිත නැති – නිර්නාමික (Anonymous) අනෙකා පිළිබඳ විශ්වාසය අපගේ ලිවීමේ ක‍්‍රියාව තුළ ඇති පරිකල්පනය කළ නොහැකි යථයි. එවන් ශුන්‍යතාවයක් තුළ ලේඛනය කිරීම දුෂ්කර කටයුත්තකි. X කණ්ඩායමේ දෙදරීමෙන් පසුව දීප්ති සහෝදරයා නියැළුණේ එක්තරා ආකාරයකට මෙම නිර්නාමික ජිජැකියානු අනේකත්වය පිළිබඳව විශ්වාසය තබමිනි. අපි ලිවීමේ කාර්යය කරගෙන යන්නේ කවුරු හෝ අපි ලියන දෙය කියවනු ඇත යන අඥාත නිර්නාමික අනේකත්වයක් කෙරෙහි විශ්වාසය තබමිනි. අනෙකෙකු බලා සිටිනු ඇතැයි යන සිරකාරීත්වය තුළ අපි සිරවී නැතත් අනේකත්වය සහ දේශපාලනය පිළිබඳ අපේ බලාපොරොත්තු මිලාන වී නැත. මෙලන්කොලියාව තුළ අපි විසින් මෙතරම් අනේකත්වය සහ අසල්වැසියා සම්බන්ධයෙන් දිගින් දිගට ලියනු ලැබුවේ ඉහත Alone in Berlin චිත‍්‍රපටයේ ඔටෝ විසින් කරනු ලබන නිශ්ශබ්ද එහෙත් නිශේධනය තුළම ගමන් කිරීමේ වඩාත් රැඩිකල් දේශපාලනය කෙරෙහි විශ්වාසය තබමිනි. ඇතැමකුට උම්මාදයක් ලෙස පෙනෙන ඔටෝගේ හුදකලා, නිශ්ශබ්ද, මරණය තෙක් අත්නොහරින එම ප‍්‍රතිරෝධය අතිශයින්ම දේශපාලන ක‍්‍රියාවක් බව අපගේ හැඟීමයි.

එක්තරා අවස්ථාවක ඔටෝ සිය බිරිඳගෙන් විමසන්නේ ‘මට දැනගැනීමට අවශ්‍යයි මා ලියන දේ කියවන්නේ කවුද’ යනුවෙන්. එවිට බිරිඳ කියන්නේ ‘කවුරුන් හෝ කියවනු ඇත’ යනුවෙනි. නමුත් අවසානයේ ‘ඔහු විශ්වාස කළ ජනතාව’ බොහෝ ප‍්‍රමාණයක්්ම නැවත නාසි පොලීසිය වෙත ගෙන ගොස් බාරදීමට තරම් කීකරු නරුමයන් පිරිසක් බවට පත්ව සිටියහ. නාසි සමස්තතාවාදය තුළ බිය සහ සතුරා අනෙකෙකු වෙත ප‍්‍රතිපෝෂණය වී තිබුණි. එහෙත් එම කාඞ් කිහිපයක් පමණක් නැවත  පොලීසිය අතට පත් වී නොතිබුණි. ඇතැම් විට ඔවුන් පොලීසිය වෙත පැමිණීමටවත් නිර්භීත අය නොවුණා විය හැකිය. ඇතැම් විට ඔවුන් ”ඔබගේ පුතාද හිට්ලර් නම් බොරුකාරයා විසින් මරා දමනු ඇත” යන පණිවුඩය නිශ්ශබ්දව තේරුම් ගත්තාද විය හැකිය. කෙසේ වුව ඉහත හිස්භාවය තුළින් ඔටෝ මරණය වෙත ගමන් කළ අතර ඔහු විසින් දුෂ්කර ලෙස ශේෂ කළ පණිවුඩය අද දක්වාම සමස්තතාවාදයට එරෙහි විශ්වීය පණිවුඩයක් ලෙස සනිටුහන්ව තිබේ. ලාංකික ජාතිවාදයට එරෙහි අපගේ අරගලය ද ඉහත ශුන්‍යතාවයේ ගමන් කිරීමකි. මන්ද සියලූ සන්නිවේදන අවකාශ සුපර් ස්ටාර් තරු ගුවන් ගත කිරීම සහ අගනුවර වීදි සටන් වාර්තා කිරීමේ යුහුසුළුව ඇති විටක අපගේ පණිවුඩය ඔවුන්ට නොවැදගත් එකකි.

සියල්ලෝම තමාට අනුභූතිකව දක්නට ඇති ධනවාදයේ සමස්තතාවාදය තුළ සිර වී ඇත. නිදහස් අධ්‍යාපනය බේරා ගැනීම, සෞඛ්‍ය සේවය රැුක ගැනීම, කුණු කඳු ප‍්‍රශ්න, මුස්ලිම් කඩ ගිනි තැබීම යනාදී ගැටලූ ගැන පැය ගණන් කතා කිරීමට මාධ්‍යය අවකාශයන් වෙන් වී තිබේ. අද දවසේ දේශපාලනය  සන්දර්භගත වන්නේ ඉහත යථාර්ථය තුළ වුව ද සත්‍ය ලෙස අවශ්‍ය වන්නේ සැබෑ ‘සත්‍යය’ එළිදරව් කරන්නා වූ දේශාපාලනයකි. විකෘතියට එරෙහි අරගලය Alone in Berlin හි ඔටෝ හට මුණගැසුණේ තමා වටා වහ වහා විකසිත වූ ‘නාසිවාදයේ යථාර්ථය’ ඉක්මවා ගිය සත්‍යයකි. එම සත්‍යය නම් දෘෂ්ටිවාදය විසින් අපව අන්ධභාවයට පත්කර ඇති බවයි. සත්‍යය මිනීමැරීමේ පේ‍්‍රරණය යනු එම දෘෂ්ටිවාදය විසින් වසා ඇති දෙයයි. තම පුතා අහිමි වීම මතින් ඔහු නිර්නාමික අනේකත්වයක් වෙත සන්නිවේදනය කිරීමට උත්සාහ කරන්නේ එම සත්‍යයයි.  

Mahesh Hapugoda

සාකච්ඡාව – ජයසිරි අලවත්ත

 

 

ඔබේ අදහස කියන්න...