ශිෂ්ටත්වයේ සිහිනය...|Sunday, September 24, 2017
You are here: Home » News » සයිබර් අවකාශයේ දේශපාලන ගැටළුව

සයිබර් අවකාශයේ දේශපාලන ගැටළුව 

images
සැ

බෑ දේශපාලනය යනු වාමාංශික දේශපාලනයයි. එවැනි දේශපාලනයකදී අපට සැබෑ මිනිසුන් හමු වෙයි. අපි එයට අරගලය කියාද කියන්නෙමු. මෙම අරගලය යම් ආකෘතියකට රැගෙන ඒමට අපි කියනවා ‛පක්ෂය’( Party) කියලා.

නමුත් නූතන ධනවාදය වර්ධනය වන විට මෙතෙක් වාමාංශික පක්ෂ තම අරගලය මෙහෙයවන ලද මහජන අවකාශ හෝ පීඨයන් වන පුවත්පත්, උද්ඝෝෂණ, වැඩ වර්ජන, පෙළපාලි, රැස්වීම් යන ඒවා සයිබර් අවකාශය මගින් ආදේශ වෙමින් යන බවක් ප්‍රකාශමානය.

සයිබර් අවකාශයේදී අපට සාම්ප්‍රදායික අර්ථයෙන් හමු වන්නේ පන්ති සගයෙකු නොවේ. එහිදී අපට හමු වන්නේ ජනප්‍රිය විඥාණයකි (Popular Consciousness). මෙම ජනප්‍රිය විඥාණය විවේචනය නොකර සයිබර් අවකාශයේ දේශපාලන කටයුතු කළ නොහැක. අපි උදාහරණයකට ගොස් ගැටළුව වටහා ගැනීමට උත්සාහ කරමු.

ඔබ ඕනෑම සමාජ ජාල වෙඩ් අඩවියකට ගොස් එහි සාමාජිකයෙකු වී පසුව මිතුරු-මිතුරියන් සමූහයක් ඇති කරගන්න. ඉන්පසු යම් කිසි නිශ්චිත දේශපාලන ගැටළුවක් ගැන (වැලිවේරිය, උතුරේ ගැටළුව, කිරිපිටි ප්‍රශ්නය, සිරියාවේ ගැටළුව ආදී වශයෙන්) විධිමත් රචනාවක් ලියන්න. ඉන්පසු අදාළ සමාජ ජාල වෙබ් අඩවියේ අතුරු-මුහුණත හරහා ඔබගේ රචනාව සමාජගත කරන්න. මෙම වෙබ් අඩවිවලට ආවේණික ෆැන්ටසියක් වන ‛සහභාගී වීම’ නම් දෘෂ්ටිවාදය නිසා ඔබ කැමති වුවත් නැතත් ඔබගේ රචනාවට යටින් විවිධ අය Comment පළ කරන්නට පටන් ගනියි. (මෙසේ නොකළහොත් ඔබ පැරණි පුද්ගලයෙකි.)

අපි මොහොතකට මෙහෙම උපකල්පනයක් කරමු. ඔබේ රචනාවට පහළින් පළ වන විවිධ Comment අතුරින් එකක් බැරෑරුම් යැයි තෝරාගෙන එයට ඔබ පිළිතුරු දුන්නා යැයි සිතන්න. එවිට ඒ පුද්ගලයා විසින් බොහෝ විට  එයට යටින්ද Comment එකක් පළ කරයි. මෙම ක්‍රියාව දිගින් දිගටම කරගෙන යන්න. එවිට එක්තරා මොහොතකට පසු ඔබට කටුක සත්‍යයකට මුහුණ දීමට සිදු වෙයි.

ඔබේ අනෙකා ඔබෙන් ඉල්ලන්නේ කුමක් දැයි ඔබට නොවැටහෙන මොහොතක් උදා වෙයි. මේ මොහොතට අපිට කියන්න පුළුවන් අවිඥාණය (Unconscious) හමු වීම කියලා. ඔබ යම් කෙනෙක් සමග අදහස් හුවමාරු කරගනිමින් ඉන්නවා. නමුත් ඔබ දන්නේ නැහැ ඒ කවුද කියලා. ඒ  ගැන ස්ථිර අදහසක් ඔබට නැහැ. මේ සංශය ඉතාම රැඩිකල් එකක්. මේ මෙහොතේදී ඔබට එකවරම බලාපොරොත්තු විරහිතභාවයකට ඇද වැටෙනවා. අපි උදාහරණයක් ගමු. රුවනි කියලා සුන්දර, තරුණ, බුද්ධිමත් කාන්තාවක් එක්ක ඔබ ‛වැලිවේරිය’ ගැන කතා කරනවා. ඒක දේශපාලන ගැටළුවක්. Chat එකේ එක මොහොතකදී එකපාරට රුවනි අහනවා ‛හුකමුද’ කියලා. ඔබ නන්නත්තාර වෙනවා. එකවරම ඔබට වැටහෙනවා රුවනි කියන සුන්දර ස්ත්‍රීභාවය යට ඉඳලා තියෙන්නේ විපරිත පිරිමියෙක් කියලා. ඊට පස්සේ ඔබට මෙහෙම නිකංම කියවෙනවා, ‛පල පොන්නයා’ කියලා. අනිත් පැත්තෙනුත් කුණුහරප වර්ෂාවක් බිහි වෙනවා. අන්තිමට දැන් ඔබ කොම්පියුටරය ඉස්සරහා තනි වෙලා. ලැඡ්ජා වෙලා. ඔබේ ෆැන්ටසි ස්ත්‍රිය කකුලේ මයිල් තියෙන තඩි විපරිත පිරිමියෙක් වෙලා. මේ සිද්ධ වෙච්චදේ තව කෙනෙකුට කියන්නත් බැහැ. මේක දැන් රෝග ලක්ෂණයක්.

මිනිස්සු සයිබර් අවකාශයට ඇතුළ් වෙලා තමන්ගේ අනන්‍යතාවය එක්ක සෙල්ලම් කරනවා. කුරුණෑගල ප්‍රදේශයේ තරුණියක් නිළියක් වෙන්න හිතාගෙන කොළඹ එනවා. කොළඹ ජීවත් වන වනචර චපල තරුණයෙක් මේ තරුණියව නිළියක් කරන්නම් කියලා නිල් චිත්‍රපටි නිළි පුහුණුවක් ලබා දෙනවා. නිළියක් වීම දිනෙන් දින ප්‍රමාද වීම නිසා ඇය පසුව මාධ්‍යවේදිනියක් වෙනවා. 90 දශකයේදී රැඩිකල් දේශපාලන ප්‍රවණතාවයකට ලක් වී, පසුව රත්තරන් හදවතක් වී, ඊටත් පසුව ප්‍රචාරක දැන්වීම් ආයතනයක සේවකයෙකු වූ අයෙක් අපේ මේ මාධ්‍ය නංගි එක්ක මධ්‍යම-පන්තික ආදරයේ නරුමකම ගැන දේශපාලන සාකච්ඡාවක් කරනවා. එවිට ඇය රැඩිකල් වාමාංශික තරුණියක් වෙනවා. ඉන්පසුව ඇය ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති හමුවෙන්න යනවා උතුරේ දෙමළ ජනයාට සිදු වූ අසාධාරණය ගැන සාකච්ඡා කරන්න. . . .

පශ්චාත්-නූතන සමාජයක මුඛ්‍ය දෘෂ්ටිවාදය වන්නේ මෙම අනන්‍යතා සෙල්ලමයි. මිනිසුන් සිතන්නේ එක අනන්‍යතාවයක් තිබීම බිය විය යුතු තත්ත්වයක් හැටියටය. ‛නිදහස’ යනු කොක්කක පරණ ඇඳුමක් එල්ලනවා සේ පරණ අනන්‍යතාවයක් කොහේ හෝ එල්ලා දමා අලුත් අනන්‍යතාවයක් ලබා ගැනීම ලෙස අර්ථකතනය වෙයි. අනන්‍යතාවය යනු මේ යුගයේ ගැලවීම සහ ඇලවීම වැනි කාර්යයකි. එමගින් කිසිඳු රැඩිකල් වෙනසක් සිදු නොවෙයි. මිනිසුන් සයිබර් අවකාශයට එන්නේ මෙම අනන්‍යතා සංගීත පුටු තරඟයකට සහභාගී වීමට මිස දේශපාලන වැඩකට නොවේ. ස්ථිර රැකියා නැති, ස්ථිර වාසස්ථාන නැති, ස්ථිර අනන්‍යතා නැති, ස්ථිර සබඳතා නැති මෙම සමාජය තුළ පුද්ගලයෙකුට කළ හැක්කේ මෙවැනි සමාජ ජීවිතයක් ගත කිරීම පමණි. අනෙක් පැත්තෙන් මෙවැනි සමාජ ජීවියෙක් රෝග ලක්ෂණයක් වන තරමට ‛තමාටම’ ආදරය කරයි. ‛නාසිස්මික පුද්ගලයා’ යනු මෙම නූතන ප්‍රපංචයයි.

ඉහත තතු මැනවින් ඔබට විශ්ලේෂණය කළ හැකි නම් සයිබර් අවකාශයේදී ඔබට හමු වන අනෙකා ‛හිස්ටරිකයෙකි’ (Hysteric). වෙනත් තලයක කිවහොත් ඔබට හමුවන අනෙකා යනු උත්තරයක්  බලාපොරොත්තුවෙන් ප්‍රශ්නයක් අසන්නෙකු නොවේ. ඔහු හෝ ඇය යනුම ප්‍රශ්නයකි. මෙම තත්ත්වය සමීකරණයකට ඌණනය කළුහොත් එය මෙසේය. මම දන්නේ නැහැ අනෙකා මගෙන් ඉල්ලන්නේ කුමක්ද කියලා. මේ නිසා මා සමග අනෙකා සංවාද කරන්නත් ඉස්සෙල්ලා අනෙකා ගැන මට මේ තියෙන ‛සංශය’ (Uncertainty) ඉදිරිපත් කරනවා. සමකාලීන පශ්චාත්-නූතන සමාජයේදී මනෝ විශ්ලේෂකයාගේ කාර්යය පවා අලුත් අභියෝගයකට ලක් වී ඇත. පැරණි යුගයේදී රෝගියාගේ නිදහස් කතනය හරහා විශ්ලේෂකයා රෝග නිධානය ගවේෂණය කරයි. නමුත් පශ්චාත්-නූතන මානසික රෝගියා කලින්ම තම රෝග නිධානය විශ්ලේෂකයාට කියයි. ‛මට හරි බයයි අලියෙක් දැක්කාම. අපේ තාත්තා ඇත් ගොව්වෙක්. එයා අලින්ව පාලනය කරා. තාත්තා මාව පාලනය කරෙත් හරියට අලියෙක්ව වගේ.’ විශ්ලේෂකයාට කළ හැක්කේ විශ්ලේෂිකයාට බැණ වැදීම පමණි. ‛පලයන් පොන්නයා යන්න. උඹේ තාත්තා නෙවෙයිද උඹව මෙච්චර ලොකු කරේ. . . ’

මිනිස් ඇසුරකදී අවම වශයෙන් තිදෙනෙක් සහභාගී වෙනවා. ඒ කියන්නේ දෙදෙනෙක් එකට ආශ්‍රය කරනකොට තුන්වැන්නෙක් අනුමාන නොකර ඒක කරන්න බැහැ. මේ තුන්වැන්නා යථාර්ථය කියන ප්‍රදේශයේ නොපවතින කෙනෙක්. මේ තත්ත්වය වටහා ගන්න අපි උදාහරණයක් ගනිමු. දෙන්නෙක් ආදරය කරනවා. නමුත් මේ ආදරය කරන විට හැමවිටම මේ දෙන්නට තුන්වැන්නෙකු පරිකල්පනය නොකර ඒක කරන්න බැහැ. මම ඔයාට හරියට ආදරය කරන්නේ ‛රෝමියෝ’ වගේ කියලා පෙම්වතෙක් කියනකොට ඇත්ත ලෝකයේ නොපවතින තුන්වැනනෙක් ගැන අනුමාන කරනවා. ඒ වගේම පෙම්වතියටත් සිදු වෙනවා පෙම්වතා මේ අනුමාන කරන කල්පිත රෝමියෝ ගැන අනුමාන කරන්න. මේ අනුව සෘජුව දෙදෙනෙකුට ආදරය කරන්න බැහැ. තුන්වැනි මැදිහත්වන්නකු අවශ්‍යයි. මෙම ප්‍රේම සම්බන්ධයේ ‛සාරය’ තියෙන්නේ මේ පෙම්වතුන් දෙදෙනා තුළ නෙවෙයි, ඉන් පිටත කල්පිත රෝමියෝ තුළ. එවැනි ෆැන්ටාස්මැතික රෝමියෝ කෙනෙක් නැතිව සැබෑ ආදරයට මේ ලෝකයේ පවතින්න බැහැ. මේ ආදර ජෝඩුවේ ‛මහා-අනෙකා’ කියන්නේ මෙම කල්පිත රෝමියෝට. ඒක හුදු සංකේත ප්‍රබන්ධයක් විතරයි. මෙම කල්පිත රෝමියෝ ගැන කරන විශ්වාසය දෙදෙනාගෙන් එක් කෙනෙක් අතහැරිය ගමන් ඒ ප්‍රේම සම්බන්ධය අවසන් වෙනවා.

ඉහත ප්‍රේම සම්බන්ධය අපි දැන් දේශපාලන සම්බන්ධයකට හරවමු. දේශපාලන සම්බන්ධයකදීත් ඉහත කල්පිත ‛රෝමියෝ’ වගේ අදහසක් කල්පිතව නොපැවතී (සමාජවාදය, සාධාරණය, සාමානාත්මතාවය, සහෝදරත්වය) දේශපාලනයට පවතින්න බැහැ. ඕනෑම දේශපාලන සම්බන්ධයකට J.R.” , ලෙනින්, චේ ගෙවාරා, මාටින් ලූතර් වගේ කල්පිත පරමාදර්ශයක් අවශ්‍යයි. නමුත් මේ තුන්වැනි මැදිහත්වන්නා අපට ඉන්ද්‍රීය ප්‍රතයක්ෂයෙන් මැන ගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. එයා ප්‍රබන්ධයක්, හිතළුවක් විතරයි. මේ ප්‍රබන්ධ නැතිව අපට දෙවැන්නකු එක්ක දේශපාලන සම්බන්ධයකට යන්න බැහැ.

සයිබර් අවකාශය කියන තාක්ෂණ අවකාශය ආවම වෙන්නේ ඉහත සැබෑ ලෝකයේ නොඉන්න (ලෝකෝත්තර) තුන්වැන්නා ස්පර්ශ කළ හැකි මට්ටමට සමීප වෙන එක. මේ නිසා සිදු වෙන්නේ ආත්මය සහනයකට යන එක නෙවෙයි අසහනයකට ලක් වෙන එක. ප්‍රබන්ධය සැබෑවක් වුණාම අපට තවදුරටත් ෆැන්ටසිකරණය කරන්න බැරි වෙනවා. මේ නිසා අපට අන් කවරදාටත් වඩා වැටහෙන්න ගන්නවා දේශපාලනය ප්‍රබන්ධයක් (Fiction) මත මිස යථාර්ථයක් (Reality) මත රඳා නොපවතින බව. මේ තත්ත්වයට තමයි අපි කියන්නේ පශ්චාත්-නූතන තත්ත්වය උදාවීම කියලා.

ඒ කියන්නේ අරගලකරුවන් දෙදෙනෙකුගේ මුණගැසීම මැද ඇති ‛ප්‍රබන්ධය’ දෙදෙනාටම හමු වෙනවා සයිබර් අවකාශය හරහා. ඇත්ත යාථාර්ථයේ දයාසිරි කාටවත් වැඩක් නැහැ. ඒත් රූපවාහිනී තිරයේ ගීත ගයමින් නිළියෙක් බදාගෙන ඉන්න දයාසිරි දේශපාලනික වෙනවා. දයාසිරි මළගිය ප්‍රාණියෙක් වෙනවා. ජීවත් වෙන්නේ නැති හරියටම මිය ගියෙත් නැති කෙනෙක් අපට හමු වෙනවා. හරියටම ටොම් ඇන්ඩ් ජෙරී වගේ කාටූන් චරිතයක් වෙනවා. ගහකින් වැටිලා මෙහොතකට මියයන ටොම් තව මොහොතකින් යළි ජීවමාන වෙලා අහසේ පියාඹන්න පටන් ගන්නවා. සයිබර් අවකාශය කියන්නේ මෙවැනි මළගිය ප්‍රාණීන්ට ක්‍රියාකාරී වෙන්න ඉතාම සුදුසු තැනක්. Facebook එකේ profile එකක් ඕනේ කෙනෙකුට කැමති විදියට හදා ගන්න පුළුවන්. සමලිංගික පිරිමියෙකුට  මුහුණු පොතේදී කියන්න පුළුවන් තමන් විෂමලිංගික ස්ත්‍රියක් කියලා. මෙවැන්නෙකු පශ්චාත්-නූතන මකියාවෙල්ලිවාදියෙක්. මොකද ඔහුට සයිබර් අවකාශය ඉඩ දෙනවා යථාර්ථයේ ගුරුත්ව බලයෙන් මිදී ඔහුගේ අනන්‍යතාවය වෙනස් කරන්න. තවත් කෙනෙක්ව නොමග යවන්න ඔහුට යථාර්ථාදී උපක්‍රම අවශ්‍ය නැහැ. ඔහුගේ අනෙකා සයිබර් අවකාශය ඇතුළතදී නිකන්ම හිතනවා මේ සමලිංගික පිරිමියා ‛ස්ත්‍රියක්’ කියලා. මොකද තුන්වැනි අවකාශයේ නීති-රීති පාලනය කරන කේන්ද්‍රයක් අපිට නැති නිසා.

ඉහත පශ්චාත්-නූතන තත්ත්වය නිසා එක පැත්තකින් ‛මහා අනෙකා’ සැබැවින්ම ඉඳීය යන සයිකොසීය මායාවට මිනිස්සු ඇතුළ් වෙනවා. අනෙක් පැත්තෙන් මේ මහා අනෙකාගේ ප්‍රබන්ධමය ස්වභාවය සම්මුඛ වීම නිසා වඩ වඩා අවිනිශ්චිතභාවයකට ගාල් වෙනවා. ඒ කියන්නේ හිස්ටෙරිකකරණය වෙනවා. මේ නිසා සයිබර් අවකාශයේ වැඩියෙන් හැසිරෙන්න හැසිරෙන්න ආචරණ තුනකට මිනිස් ආත්මය ලක් වෙනවා.

(A) කිසිඳු අඩුවක් රහිත පරිකල්පනීය ලෝකයක් ඇතැයි යන මානය හරහා තමන්ගේ පුද්ගලික සත්‍යයක් සමාජ සත්‍යක් ලෙස බාර ගැනීම – මෙය සයිකොසීය මානයයි. (Psychotic Level)

(B) තමන්ගේ අනෙකා බලාපොරොත්තු වන්නේ කුමක්දැයි නොදන්නා යථාර්ථයකට ඇතුළු වීම නිසා අනෙකා පිළිබඳ විශ්වාසය සහමුලින්ම නැති වීම. එනම් අනෙකා ප්‍රශ්නයක් (?) වීම. මෙය හිස්ටෙරික වීමයි. (Hysteric Level)

(C) උත්තරයක් නැතිව ප්‍රශ්නයක් බවට පමණක් සයිබර් අවකාශය තුළ පත්වන මිනිස් ආත්මයන්ට සර්ව සම්පූර්ණ උත්තර ලබා දෙන විපරිතයන් බිහි වීම. විපරිතයා යනු ආත්මීය වශයෙන් ගත් විට ආත්මය වාස්තවික කරන කෙනෙකි. සරලව කිවහොත් විපරිතයා යනු හිස්රෙිකයාගේ අතෘප්තිමත් ආශාව රඟ දක්වන යථාර්ථවාදියාය. විපරිතයා මේ නිසා අනෙකාගේ විනෝදය ඔහුට/ඇයට එපා වනතුරු සපයයි. නැතහොත් අනෙකාගේ විනෝදයේ උපකරණයක් බවට ලඝු වෙයි. සයිබර් අවකාශය තුළ විමුක්තියක් ලැබීම යනු හිස්ටරිකයකු වීමයි. එනම් විපරිතයාට බැරි තරම් ඔහුගේ ආශාව ප්‍රශ්න කළ යුතුය. එවිට විපරිතයා විඩාබර වෙයි.

අප ඉහත සාකච්ඡා කළ න්‍යායික කරුණුවලට අනුව සයිබර් අවකාශය මිනිසාට විමුක්තිය උදා කර දෙන තැනක් නොවේ. ඒ වෙනුවට එම අවකාශය මෙතෙක් අප නොදැන සිටි අවිඥාණික බැඳීම් සමූහයකට අපව බැඳ දමයි. සයිබර් අවකාශය යනු සැබෑ ලෝකයේ දේශපාලනයට පැවතීමට නොහැකි ආකෘතිය අවඥාණික භාෂාවකින් ප්‍රකාශයට පත් වන අඩවියකි. එබැවින් අප ප්‍රශ්න කළ යුත්තේ මෙහි අඩංගුව නොව ආකෘතියයි.

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...