හිස නැති ස්ත්‍රී ශරීරයක් ග්‍රාමීය පිරිමියෙකු විසින් කොළඹ නගරයට රැගෙන ඒමත් සමඟ ගුණදාස අමරසේකර විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ ජනතා විමුක්ති පෙරමුණට අදාළව කරන ලද රූපක විග්‍රහය අලුත් තලයකට පැමිණෙයි. අමරසේකරට අනුව ජාතික චින්තනය යනු, ජාතික දේශපාලන ශරීරයට සවි වන හිසකි. අපගේ දේශපාලන චින්තනයේ අර්බුදය වන්නේ, එයට හිසක් නැති කමයි. නමුත් හිසක් නැති ස්ත්‍රී ශරීරය මඟින් පිළිබිඹු වන යථාර්ථය කුමක්ද?

                දෛනික පරිභෝජන සමාජ යථාර්ථය තුළ අපට අවශ්‍ය වන්නේ, ‘අතිරික්ත ජීවිතයකි’ (Excessive Life). මේ අතිරික්ත ජීවිතය සරලව පැහැදිය හැකි ය. සමකාලීන යුගයේ මැද පාන්තික වෘත්තික පිරිමියාට ගැහැණුන් දෙදෙනෙක් සිටිති. එක් අයෙක්, නිල වශයෙන් පවත්වාගෙන යන බිරිඳය. නැතහොත්, ස්ථිරසාර ලෙස පවත්වාගෙන යන සම්බන්ධයකි. එයට හිසක් ඇත. තාර්කික ජීවිතයේ බැංකු ගිණුම පවත්වාගෙන යන්නේ ඇය යි. ඊට අමතරව, සරුව පිත්තල තලයක තවත් ස්ත්‍රියක් අවශ්‍ය අතර ඇයට හිසක් නැත. ඒ සඳහා අදාළ වන්නේ ක්‍රෙඩිට් කාඩ් පතයි.

Post-modern feminist image

                 පොදුවේ ගත් විට, සමකාලින පිරිමියාට අවශ්‍ය වන්නේ, ඔලුව නැති ගැහැණුන්ය. අමරසේකර ‘කවන්ධය’ පදය වහරන්නේ ධනාත්මක අර්ථයකින් ය. ඔහුට අනුව ඔලුව නැති ජාතික ශරීරය මුග්ධ ය. නමුත් ඔහු කල්පනා නොකරන ලද්දේ, ඔලුව සහිත ගැහැණුන් සමකාලීන පිරිමියාට වදයක් බව ය. පිරිමි ප්‍රාර්ථනාව වන්නේ, ජනගහණයෙන් භාගයකට ඔලුව නැති වීම හොඳ තත්වයක් බවයි. පිරිමින්ට අනුව තමන්ගේ ලිංගික ෆැන්ටසිය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය වන්නේ, ඔලුව නැති ස්ත්‍රී කඳක් පමණි. ධනේශ්වර වෙළඳ භාණ්ඩ ලෝකය මේ තත්වය සම්පූර්ණ කර ඇත. වෙළඳපොළෙහි ඔලුව නැති ගැහැණුන් විකිණීමට ඇත. ස්ත්‍රී ඔලුව නිශේධනයකි.

                      ‘ස්ත්‍රී කවන්ධ’ යනු, සමකාලීන ධනේශ්වර වෙළදපොළේ විකිණිය හැකි වඩාත්ම උසස් ගුණාත්මක භාණ්ඩය යි. කොළඹ නගරයේ Spa භාවනා මධ්‍යස්ථානවල දී බාස්ලාගේ සිට GMලා දක්වා පරාසයක පිරිමින් පවුල්වල ක්‍රය ශක්තිය විනාශ කරන්නේ, මෙම පශ්චාත්-නූතන භාණ්ඩය පරිභෝජනය කිරීමෙන් ය. ‘ඉතිහාසය අවසන් වී ඇත’ යන ප්‍රවාදය සතු හැඟීම්බර පක්ෂය යනු, මිනිසා තිරිසන් සත්වයෙකු බවට පත් වීමයි. එය, එක පසකින් හිස නැති දේශපාලනය හරහා සන්තෘප්ත වන අතර අනෙක් පසින්, එය ‘හිස නැති ස්ත්‍රී ශරීරය’ හරහා දෛනික ජීවිතය තුළ සිදු වෙයි.

Modernist Desire

                      මධ්‍යම-පන්තික ස්ත්‍රිය ‘පසු-නූතන’ දෛනික ජීවිතය තුළ තම ජීවිතය සංවිධානය කරන්නේ කෙසේ ද? පවුල සහ කාර්යාලය අතරමැද අවකාශයක් ලෙස ‘බෝඩිම් ගෙදර’ සංකල්පය කරළියට එන්නේ, 90 දශකය මැද දී ය. 90 දශකය මැද දී අප කළ දේශපාලනයට මතවාදීව එකතු වූ මනෝහාරී හේවාවසම් වැනි ස්ත්‍රියක් අපගේ කවයට මේ ‘බෝඩිම’ නම් ගෘහ නිර්මාණ අවකාශය හඳුන්වා දුන්නාය. මෙම අවකාශයට එකළ වැඩියෙන්ම වහ වැටුනේ, සිරිමලී ලියනගමගේ, සීතා රංජනී, නෙරංජලා ක්‍රිස්ටීන් සහ ඇඟිලි ගණින ඇඟිලි තුඩු ය. කොළඹ නගරය තුළ දී ස්ත්‍රීන්ගේ පැත්තෙන් ඊඩිපස් සංකීර්ණයට ඇතුල් වූ ප්‍රථම ස්ත්‍රී පිරිවර වන්නේ මේ පිරිසයි.

                   ” ඊඩිපස් පිළිබඳ ලංකාවේ මතය අවිද්‍යාත්මක ය. ලංකාවේ පිරිමින් හිතන්නේ, ඊඩිපස් යනු, පවුල තුළ ආධිපත්‍යය සටහන් කරන පිරිමියා බවයි. ඊඩිපස් යනු, ග්‍රීක මිථ්‍යා කතාවකි. ෆ්‍රොයිඩ් ග්‍රීසියෙන් උපුටා ගත්තේ, මිථ්‍යා කතා මිස දර්ශනය හෝ ආචාරධර්ම නොවේ. එසේ කළේ ඇයි කියා සිතීම මොළයට ලාභයකි. පුදුමයකට මෙන්, හේතුවක් නැතිවම සමකාලීන ධනේශ්වර ලෝකය තුළ ආධිපත්‍යය යන්න ඉතාම නරක දෙයක් ලෙස බහුතරය සලකති.”

                       ෆ්‍රොයිඩ්ගේ විග්‍රහයට අනුව ඊඩිපස් විසින් ‘නියුරෝසියාව’ බිහි කරනවා නොව නියුරෝසියාව විසින් ඊඩිපස් බිහි කරනවා ය. නියුරෝසියාව යනු, කිසියම් නොදන්නා හේතුවක් නිසා තමන්ගේ ආශාව ඉෂ්ට කර ගන්නවාට වඩා එයට බාධාවක් සොයා ගෙන එම බාධාව හරහා එන වේදනාව මඟින් සතුටු වන්නා ය. නියුරෝසිකයා විපරිතයා මෙන් ආශාව තෘප්තිමත් කර ගන්නට යනවා නොව එය අසමත් කර ගන්නා ය. මේ අර්ථයෙන්, නියුරෝසිකයා යනු, ‘ආශාව’ රැකගන්නා ය.

                       අපි මනෝහාරීගේ ගැටලුවට එන්නේ නම්, ඇය 90 දශකයේ දී ‘පවුලේ නිදන කාමරය’ සහ ‘කාර්යාල කාමරය’ අතරමැද ව්‍යූහයක් වූ ‘බෝඩිම් කාමරය’ සොයාගත් තැනැත්තිය යි. ඇගේ ජීවිතයම ‘බෝඩිම් කාමරයකි’. පිරිමින් කාන්දම් බලයෙන් මෙන් මේ ‘බෝඩිම් කාමරයට’ ආකර්ෂණය වූයේ, ඒ තුළ දී ඔවුන්ගේ ‘ආශාව’ අතෘප්තියෙන් කෙළවර වූ නිසා ය. ජගත් වීරසිංහ වැනි ‘පුරුෂ හිස්ටෙරිකයෙකු'[?] දුම්මල ගැසූ ආතුරයෙක් මෙන් 90 දශකය මැද දී පරල වූයේ, ඇය ‘ආශාව’ පුනර්ජීවනය කළ නිසා ය. අප ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ, මනෝහාරී ඊඩිපස් විරෝධීයෙක් ද යන්නයි. සමකාලීන තරුණ ස්ත්‍රියට ඇගෙන් ලද හැකි මාර්ගෝපදේශය කුමක්ද? මන්ද, ආශාව වෙනුවට ශරීරය පරිත්‍යාග කිරීම ගණිකාමය යථාර්ථයක් නිසා ය.

                        යම් ස්ත්‍රියක් විසින් පුරුෂයකුගේ ආශාව අතෘප්ත කරන්නේ නම් එහි දී බිහි වන්නේ, ‘හිස්ටෙරික සමාජ බන්ධනයකි’. මනෝහාරී සහ ‘නිම්නා’ අතර වෙනස වන්නේ නිම්නා යනු, විපරිත ආශාවක් ය යන්නයි. එබැවින්, නිම්නා මනෝහාරී නොකළ දෙය එනම්, ආශාව තෘප්ත නො කිරීම වෙනුවට පිරිමියාගේ ආශාව තෘප්ත කරනු ඇත. ආශාව තෘප්තිමත් වන්නේ, ධර්මදාසගේ බණ වලට අනුව ශරීරයෙනි. නමුත් මනෝ විශ්ලේෂණයට අනුව ආශාව තෘප්තිමත් වන්නේ, භාෂාවේ ව්‍යුහයෙනි. ශරීරය යනු ද භාෂාවේ තර්කනයකි.

                        බොහෝ දෙනාට සිංහලෙන් නොවැටහෙන ‘සද්භවවේදය’ [Ontology]යන වචනයේ තේරුම අපි දැන් පහදා ගනිමු. දර්ශනය විෂය අතැඹුලක් සේ දන්නා අයට අනුව සද්භවවේදය යනු, යථාර්ථයේ පරම ව්‍යුහය හෙළිදරව් කර ගැනීමයි (To uncover the ultimate structure of reality). දැන් ගැටලුව වන්නේ, යථාර්ථය සහ සද්භාවවේදය අතර වෙනස පහදා ගැනීමයි.

                         සද්භවවේදය යනු, සත්භවය ගැන හැදෑරීමයි. එනම්, ආත්මයට සම්බන්ධ වන යථාර්ථය – correlation with object a- පිළිබඳව හැදෑරීමයි. මේ අර්ථයෙන්, ඊඩිපස් යනු, ආශාවට අදාළ සත්භවවේදයකි. සද්භවය යනු, බාහිර පැවැත්මක් නැති දෙයකට මිනිසුන් විසින් පැවැත්මක් තිබෙනවා යැයි සිතීමයි. උදාහරණයක් ලෙස ගතහොත්, ඊඩිපස් නම් බාහිර ආධිපත්‍යයක් මගේ ජීවිතය තීරණය කරනු ඇතැයි කෙනෙක් අනුමාන කරයි. නමුත් ඇත්තටම ඊඩිපස් යනුවෙන් දෙයක් නැත. එය සිතින් මවාගන්නා ලද දෙයකි. මිත්‍යාවකි. නමුත් මිනිසුන් විසින් ඊඩිපස් යනුවෙන් අධිපති පුද්ගලයෙක් පවතිනවා යැයි විශ්වාස කර ක්‍රියා කරන්නේ නම්, එසේ සිතන ආත්මයට අනුව බාහිරින් සැබැවින්ම යථාර්ථයක් (ඊඩිපස්) බිහි වෙයි. සද්භවවේදය යනු, ආත්මයට සම්බන්ධ යථාර්ථය ගැන කරන අධ්‍යයන ක්ෂේත්‍රය යි. ලංකාවේදී සිදු වන්නේ, ‘යථාර්ථයෙන්’ ආත්මය ඉවත් කර ‘ශුද්ධ යථාර්ථය’ [Great Outside]කුමක් ද කියා ගවේෂණය කිරීමයි. මේ අර්ථයෙන් ගත් කළ, යථාර්ථයකින් තොරව ආත්මයත්, ආත්මයෙන් තොරව යතාර්ථයත් නැත. සමකාලීන ජාතිවාදය පැටලී ඇත්තේ ඉහත විරුද්ධාභාසයේ ය. විරුද්ධාභාසය ඔවුන් විසඳා ඇත්තේ නරුමවාදය හරහා ය.

                          ‘නිම්නා’ සහ මනෝහාරි අතර වෙනස වන්නේ, නිම්නා යථාර්ථවාදියෙක් [realist] වන අතර මනෝහාරී විඥාණවාදීයෙක් [Idealist] වීමයි. එම වෙනස මඟින් මූර්තිමත් වන්නේ, විපරිතභාවය සහ හිස්ටීරියාව (මානසික රෝගයක් ලෙස නොව යථාර්ථය වෙතට දක්වන ආත්මීයතාවයක් ලෙස) අතර වෙනසයි. පසුගිය දශකයක කාලය තුළ ස්ත්‍රීය ධනවාදයට සම්බන්ධ වීම නිසා ඇය ක්‍රම ක්‍රමයෙන් හිස්ටීරියාවෙන් ඉවත් වී විපරිතභාවයට ගමන් කරමින් සිටියි.

                          ඩේවිඩ් ලින්ච්ගේ ‘Blue Velvet’ චිත්‍රපටයේ එක පැත්තකින් පෙන්වන්නේ, සාමකාමී නගරයකි (පරිකල්පනය). අනෙක් පැත්තෙන් පෙන්වන්නේ, පිරිමින්ගේ හිංසාකාරී පාතාල ලෝකයයි (සංකේතනය). මේ ලෝක දෙක තුළම නිරූපණය නොවන ස්ත්‍රියගේ ආශාව – Dorothy Valens – නිරූපණය වන්නේ, තට්ටු නිවාසයක අඳුරු කාමරයක් තුළ ය. ඇගේ ආශාව ඉහත ලෝක දෙකටම ප්‍රහේලිකාවකි. එය මඟින් සැබෑව නිරූපණය වෙයි. (නාමකරණය සඳහා පෙළඹ වීම)

                         අප මනෝහාරීට එන්නේ නම්, ඇගේ බෝඩිම යනු, ‘කාර්යාල කාමරය’ හෝ ‘නිදන කාමරය’ හෝ නොවේ. ඇගේ ආශාව නිරූපණය වන්නේ, මේ අතරමැද ‘බෝඩිම් කාමරයේ’ ගෘහ නිර්මාණ ආකෘතියෙනි. සමකාලීන පාරිභෝගික භාණ්ඩ අර්චනකාමී ස්ත්‍රිය (හිරු සහ දෙරණ නිළියන්) අනුන්ගේ ආශාව රඟ දැක්වීම වෙනුවෙන් කාර්යාල කාමරයට ගොස් ඇත. එතැනදී ආශාව සන්තෘප්ත වන නිසා ඔහුගේ ආශාව ක්ෂණිකව Spa අවකාශ තුළ මෙන් මිය යයි. එවිට, පිරිමියාට අලුත් ස්ත්‍රියක් අවශ්‍ය වෙයි. මෙය ශ්‍රේණියකි. (ලිංගික දෘෂ්ටිවාදය)

                        නමුත් මනෝහාරීගේ බෝඩිම් කාමරය තුළ දී ආශාව අතෘප්ත වෙයි. ඒ නිසාම, පිරිමියාට ස්ත්‍රී ආශාව ප්‍රහේලිකාවක් වෙයි. එය විසඳීමට යාම ජීවිත කාලයක් ගත වන වැඩකි. නමුත් සම්බන්ධය දිගටම පවතියි. රුවන් ෆර්ඩිනන්ද් වැනි ඊඩිපස් පිරිමින් යනු, බාහිර ආධිපත්‍යයක් නොව ස්ත්‍රීන්ගේ ආත්මීය අවශ්‍යතාවයක් වෙනුවෙන් ඇයම ගොඩනඟන යථාර්ථ ප්‍රබන්ධයන් ය. ඒවා දෘෂ්ටිවාදයන් විචාරය කරයි. 

Deepthi

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

අයදුම් කිරීමට මෙතන Click කරන්න

සමබිම පක්ෂය

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here