ස්ත්‍රී රූපය අධිමානුෂීයත්වයට නංවා වාණිජ්‍ය ස්ත්‍රී නිරූපණයට අභියෝග කිරීම. සිසිර කුමාර මහගම, 2015 ඔක්තෝම්බර් 24, සිළුමිණ. අවධාරණයන් හා ප්‍රතිචාර පසු සටහන් සුජිත් රත්නායක විසිනි. ලිපිය අවසානයේ ප්‍රතිචාර පසු සටහන් දක්වා අැත.

​​

2004 හා 2010 වසරවල ලයනල් වෙන්ඩ්ට් දෘශ්‍ය කලාගාරයේ පැවැති කලා ප්‍රදර්ශනවල ප්‍රදර්ශිත සිතුවම් දෙකකි මෙහි දැක්වෙනුයේ. චිත්‍ර ශිල්පිනී චමරි තපස්වරගේ තරුණියයි.

පින්තාරු හා ඇඳීම් (paintings and Drawings) 2010, නමින් වූ ප්‍රදර්ශනයට අයත් ඉහත සිතුවම කොලාජ් මාධ්‍යයෙන් එනම්කැන්වසය මත කඩදාසි අලවා එමෙන්ම ඇක්‍රලික් මාධ්‍යයෙන් වර්ණ ගන්වමින් නිම කරන ලද්දකි. ඒ අනුව මෙම සිතුවමේ ශිල්ප ක්‍රමය “මිශ්‍ර මාධ්‍ය” ලෙස හැඳින්වේ.

මෙම සිතුවමේ දී චිත්‍ර ශිල්පිනිය අපට අභිමුඛ කරනුයේ ස්ත්‍රී රූපයකි. නරඹන්නන්ගේ නෙත් දෙස ඇය ඍජුව බලා සිටී. ඇයගේ දේහ විලාසයෙන් විද්‍යමාන වනුයේ තේජමානීය බවකි. එය ඉන්දීය හා ලාංකේය ඓතිහාසික කලාවේ දී හමුවන දේවතා හෝ යක්ෂණී රූපවල ප්‍රකාශන ගුණයට අනුව යන්නකි. එනම් එම රූපවල ප්‍රකාශනාත්මක ගුණය සමකාලීන සිතුවම් තුළට ගළපා ගැනීමට ගනු ලැබු උත්සාහයකි. උණුසුම් වර්ණ පදාස පෙර හා පසුබිම පිහිටුවමින් මෙම සිතුවම ගොඩනඟා ඇති ආකාරය දැකිය හැකිය. එමෙන්ම සැරසිලිමය රූපික අංග ද වේ. පෙරබිමෙහි රතට හුරු වර්ණ පදාසවලට ඉඩ දී එහි සැඟවෙන ලෙස සියුම් රේඛාමය ඇඳීම් භාවිත කර ඇති ආකාරය ද සිතුවමේ චිත්‍රමය ලක්ෂණ තුළ නිරීක්ෂණය කිරීමට පිළිවන.

ස්ත්‍රී ශරීරය යනු ධනෝද්පාදිත මිණි ආකරයක් ලෙස වෙළෙඳපොළ තුළට නතුකර ගත් ඉක්බිතිව මුද්‍රිත තාක්ෂණය ද එහි එක් ධන උපක්‍රමයකි. මෙහි දී සිතුවමට රැගෙනවිත් ඇත්තේ මුද්‍රිත වෙළෙඳ උපක්‍රමික සඟරා පිටුවක නාරි නිරූපණයකි. එහෙත් සිතුවම මත එම නාරි රුව වහ වහා දිව්‍යමය ඉඟි සහිත කාන්තා රූපයක් බවට පරිවර්තනය වේ.

මානවීයතාව අවප්‍රමාණික වූ සන්දර්භයක රූපික පිහිටුවීමක සිට ඊට ප්‍රතිපක්ෂව සිතුවම තුළ දී ස්ත්‍රී රූපය අධිමානුෂීය තලයකට රැගෙන එයි. සිතුවමින් මතු කරනු ලබන සංවාදය වනුයේ මෙම ප්‍රතිපාර්ශ්වීය සන්දර්භමය රූපික පිහිටුවීමයි. එකම ස්ත්‍රි රූ නිරූපණයක් මේ අයුරින් ප්‍රකාශනාත්මකව මානවීය අරුතින් ගොඩනැඟීම යනු සිතුවමේ ප්‍රබල තේමාත්මක එළඹුමක් ලෙස දැකිය හැකිය. පෙර බිමෙහි වර්ණිත හැඩතල මත රේඛාවෙන් චිත්‍රණය වී පවතිනුයේ මහී කාන්තා නිරූපණයයි. ඓතිහාසික කලාවක සංකේති අංගයක් වූ කාන්තා රුවක සංඥාව මෙහි දී සිතුවම තුළින් මතු කරයි. එය නැවත සමකාලීන චරිත හැසිරුමක් සමඟ ගැටෙන්නට සිතුවම තුළ දී ඉඩ හරී. ඒ අනුව සමකාලීන මොහොතක ස්ත්‍රිය නිරූපණය වීමේ, ස්ත්‍රිය පෙනී සිටීමේ සමාජමය සැකසුම දෙස විවෘත මනසකින් යුතුව පරීක්ෂාකාරී වීමේ සිතීමකට සිතුවම් රසිකයාගේ සිතුවිලි අවදි කරවයි. පාරිභෝගික සමාජ සැකසුමක් තුළ වාණිජමය අරමුණු අපේක්ෂිතව පුරුෂ කේන්ද්‍රිය චින්තන ලෝකයක් තුළින් ගොඩනංවනු ලබන, අනන්‍යතා ගන්වනු ලබන ස්ත්‍රී නිරූපණය මෙහි දී අභියෝගයට ලක්කිරීමක් සිදු කරයි. සරාගිකත්ව ප්‍රතීයමාන කළ ස්ත්‍රී රූපයම නැවත සිතුවම තුළ ස්ත්‍රිත්වයේ ශක්තිය දරාගෙන තේජමානීව නැඟී සිටී.

දිව්‍යමය ගැහැනිය (Divine Woman) 2004, කලා ප්‍රදර්ශනයට අයත් වූ මෙහි දැක්වෙන දෙවන සිතුවම තුළ අප දකිනුයේ චිත්‍ර ශිල්පිනිය ඇගේම සිරුර කැන්වසය මත කලා ප්‍රකාශනයට අදාළ කරගත් අවස්ථාවයි. කැන්වසය මත තෙල් සායම් හා ඇක්‍රලික් මාධ්‍යයෙන් නිමකර ඇති මෙම සිතු‍වමෙහි රූපික පිහිටුවීම ත්‍රිභංග කාය විලාසයක් දක්වන දිව්‍යමය චරිත සිහිපත් කරවන්නකි. ස්ත්‍රි නග්නත්වය කැන්වසයක් මත චිත්‍රණය බොහෝ විට පිරිමි සිත්තරුන් අතින් සිදුවන ක්‍රියාවකි. ස්වභාව ධර්මයේ සුන්දරත්වය චිත්‍රයට යොදාගන්නා පරිදිම ස්ත්‍රි සුන්දරත්වය ද ඔවුහු අභිරුචියෙන් චිත්‍රණය කර දක්වති. මෙහි දී සිදුකර ඇත්තේ චිත්‍ර ශිල්පිනිය ස්වකීය රූප කාය සිතුවම මතට ගෙන අභිරූපණමය ලෙස ඉදිරිපත් කිරීමකි.එහිදී සිත්තරුන් අතින් චිත්‍රණය කෙරෙන කාන්තා රූපයක ශෘංගාරාත්මක සංඥා ඉවත් කෙරේ. චිත්‍ර ශිල්පීන්ගේ ලෝකයක් තුළ ප්‍රාර්ථනා කරන ස්ත්‍රී රූපය මතු නොවේ. මෙම සිතුවමත් සමඟ සිත්තරුන්ගේ කාන්තා නිරූපණ යනු ඔවුන් වෙත ගෝචර නොවන විෂය ප්‍රදේශයක් බවට පත්කරයි. මෙම කරුණ පැබ්ලෝ පිකාසෝ තම පරිණත අවධියේදී තේරුම්ගත් ආකාරය “වැලැපෙන ස්ත්‍රිය” සිතුවමින් පැහැදිලි වේ. එමෙන්ම ජගත් වීරසිංහගේ “ගැහැනිය ඇඳීමේ නොහැකියාව” සිතුවම් ප්‍රදර්ශනයේ කලා කෘති පෙළ මෙහි දී සිහිපත් වේ.

චමරිගේ සිතුවම් කලාව තුළ පොදුවේ දැකිය හැකි ලක්ෂණයක් වනුයේ චිත්‍ර ශිල්පිනියක ලෙස ස්වකීය කලා ක්‍රියාකාරිත්වයට තම ජීවිතයට සමීපව වස්තු විෂය තෝරාගන්නා ආකාරයයි. එමෙන් ම මානව රූපය ඇඳීමේ, පින්තාරු කිරීමේ කැමැත්ත එම සිතුවම් තුළින් දැකගත හැකිය. සමකාලීන කලාව අත්පත් කරගනු ලැබු සාධනීයතා මෙන්ම කලා ඉතිහාසයේ ආලෝකය ද ඇය තම කලාවට ගන්නා ගනු ලබන ආකාරය දැකිය හැක. “දුර්ගා මහීෂ මර්දනී” නම් දකුණු ඉන්දියානු ඓතිහාසික කලාවේ හමුවන දෘශ්‍ය කලා තේමාව ද බොහෝ විට සිතුවම් සමඟ ගළපා ගැනීමට ගත් උත්සාහය ඇගේ සිතුවම් තුළ වේ. විසි එක්වැනි සියවසේ දී විකසිත වීමට විසිවැනි සියවස අගදී මෙරට දෘශ්‍ය කලාවේ පැවැති ප්‍රබෝධය, පූර්වාදර්ශ, චමරිගේ පරම්පරාවට බලපා ඇති ආකාරය පැහැදිලිය.

 

කොළඹ ලුම්බිණි විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලද චමරි, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධිය හිමිකර ගනුයේ 2000 වසරේදීය. එතැන් සිට 2001 දී මියැදෙන ගැහැනිය (Dying Woman), මගේ ලෝකය (My world), 2005 දී දිව්‍යමය ගැහැනිය(Divine Woman), 2010 දී පින්තාරු හා ඇඳීම් (Paintings and Drawings) ආදි ඒක පුද්ගල සිතුවම් ප්‍රදර්ශන ඇය විසින් ඉදිරිපත් කර ඇත.

2000 වසරේදී චිත්‍ර කලාව සඳහා රාජ්‍ය සම්මානයත්, එම වසරේදීම වසරේ විශිෂ්ටතම චිත්‍රකලා කෘතිය සඳහා පිරිනැමෙන සම්මානයත් චමරි විසින් හිමකර ගන්නා ලදී. ලුම්බිණි විද්‍යාලයේ චිත්‍රකලා ආචාර්යවරියක ලෙස කටයුතු කළ ඇය මේ වන විට ජාතික අධ්‍යාපන ආයතනයේ චිත්‍ර කලාව පිළිබඳ සහකාර කථිකාචාර්යවරියක ලෙස සේවය කරයි.

සිසිර කුමාර මහගම

​චමරි තපස්වරගේ

===================================================================================

ප්‍රතිචාර පසු සටහන් – සුජිත් රත්නායක විසිනි.

පිරිමින් ස්ත්‍රිය විෂය කර ගැනීමේදී අැයව සුලබ වශයෙන් ශෘංගාරාත්මක සංඥා මත පිහිටුවන බවත්, ස්ත්‍රී සුන්දරත්වය පුරුෂ අභිරුචියේ විෂය කේෂ්ත්‍රයක් බවත් හගවන සිසිර, පැබ්ලෝ පිකාසෝගේ ‘වැලපෙන ස්ත්‍රිය’ සහ ජගත් වීරසිංහ විසින් කළ ‘ගැහැණිය අැදීමේ නෙහැකියාව’ කලා කෘති පෙළත් මෙම මාවතෙන් පිටමංව ස්ත්‍රීවාදී තලයක නිරූපණය කරන ලද පූර්ව කලා කෘති බවත්, චමරි තපස්වරගේ ද  එම මාවතේ කලාකාරිනියක බවත් සිසිර විසින් මෙහිදී නොකියා කියයි. පිකාසෝ සහ ජගත් යන දෙදෙනාම ස්ත්‍රිය සෞන්දර්යකරණය කරනුයේ ස්ත්‍රීවාදී අාස්ථානයක නොව ලිංගික භේදයකින් තොරව වස්තු නිරූපණයට අදාල ස්වපුද්ගල කලාකාමී මානයකිනි.  ජගත් ස්ත්‍රියව පමණක් නොව පුරුෂයින්ද නිරූපණය කරනු ලබන්නේ එක ම සෞන්දර්ය මානයකිනි. පුරුෂයින් විසින් ස්ත්‍රිය නිරූපණය කරන සුලබ අභිරුචිකාමී හෝ ශෘංගාරකාමී හෝ මාවතෙන් පිටමංව පමණක් නොව හාත්පස ලෝකයේ අැති සෑම වස්තුවක් ම ජගත්ට විෂය වනුයේ අධිපතිකාමී සෞන්දර්ය තථ්‍යාකාරයකින් නොවේ. ඔහු සෑම වස්තුවක් ම සෞන්දර්ය මානයක් හැටියට කෘෘර ලෙස අශ්ලීල කර දමයි. ඔහුගේ කලා සෞන්දර්යය උකටලී වූද, බෙලහීන වූද, පරිසමාප්ත නොවූවා වූද, පූර්වජ දෘෂ්‍ය රූප ලක්ෂණ වලට නෑකම් කියන්නා වූ ද ලක්ෂණයන්ගෙන් අාඩ්‍ය වුණු ස්වපුද්ගල විදවීම් කලාපයකට අයත් අාත්ම කේන්ද්‍රීය ප්‍රකාශනවාදයෙන් අැරඹී, අද වන විට තම අනෙකාට ප්‍රතිචාර දැක්වීමට යොදා ගන්නා සුව පහසු ‘විනෝද උපකරණයක්’ බවටත් පත් කර ගත් කලාවකි. තත්වය එසේ වෙද්දී සිසිරට ජගත් ව ස්ත්‍රවාදී වී පෙනෙන්නේ අැයි? 

ජගත් කලාකරුවකු වන ගමන් ම කථිකාචාර්යවරයෙක්, ව්‍යාපෘති සම්පාදකයෙක්, කලා පුදර්ශන අභිරක්ෂකයෙක්, පුරා විද්‍යාඥයෙක්, ඉතිහාසඥයෙක්, විචාරකයෙක්…..අාදී නහුතයක් තරම් වෘත්තීය ක්ෂේත්‍ර වල නියලෙන සංකීර්ණ පුද්ගලයෙකි. ඔහු කලාකරුවකු වන ගමන් ම වැඩමුළු, ග්‍රන්ථ ප්‍රකාශන, සමූහ පුදර්ශන, සංවිධානය කරන අතර ඹහු නායකත්වය දරණ තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ සාමුහිකය නම් රාජ්‍ය නොවන සංවිධානය මගින් ලංකාවේ සමකාලීන කලාව වර්ග කිරීම පමණක් නොව ඔහුත්, ඔහු තම නිවසේ තබාගෙන සිටි ශිෂ්‍යයන් හා හිතවතුන් මුල් කරගෙන ’90 වේ ප්‍රවණතාව’ නමින් ප්‍රවණතාවක් අැති වුණ බවට දීප ව්‍යාප්ත කිරීමේ ප්‍රොපර්ගැන්ඩාවක් සහ ව්‍යාපෘතියක නියලෙන කෙනෙකි. ඔහු විසින් පුරා විද්‍යා දැනුම උපයෝගී කර ගනිමින් තම වයස, පන්තිය, සමාජ තත්වය, අධ්‍යාපන තත්වය යන කිසිවකට නොගැලපෙන අවර වරප්‍රසාදිත හා ප්‍රශ්න වලින් මිරිකී සිටි කිසුදු නිර්මාණාත්මක විභව්‍යතාවක් නැති තමන්ට හීලෑ කර ගත හැකි තරුණ පිරිස් යොදා ගනිමින් සමාජ පිළිවෙල හා  පොදු සම්මතයන් සංහාරයට ලක් කිරීමේ අාශයෙන් එ් සදහා සංස්කෘතික දේශපාලනයක යෙදෙන අයෙකි. ඔහු එවකට සෞන්දර්ය අධ්‍යයන අායතන අායතනය තුළ අශ්ලීල උප සංස්කෘතීන් වල කිදා බැස සිටි ස්ත්‍රීන් , සංවිධානගත පීඩාවට ලක් කළ තරුණ පිරිස් සමග එකට දිවි ගෙවන්නෙකි. ඔහු මුල් කරගෙන කලා ප්‍රවණතාවක් අැති වූ බවත් එම ප්‍රවණතාවේ ස්ත්‍රීවාදී ප්‍රවිෂ්ටයක් ද ඔහුගේ කලාව මගින් අැති වූ බවත් අනතුරුව අනෝලි පෙරේරා විසින් එම මාවත ඉදිරියට ගෙන ගිය බවත් ඉනුත් අනතුරුව චමරි දක්වා අංකුර ස්ත්‍රී කලාකාරිනියන් එම මාවත වැළද ගත් බවත් ජගත්ගේ සංස්කෘතික දේශපාලනය මගින් වක්‍රව ග්‍රන්ථාරූඩ කෙරි අැත.

 

සිසිරගේ ඉහත ලිපිය තුළ මෙය පිළි ගැනීම පමණක් නොව එය ප්‍රචාරය කිරීමට ද ඔහු දක්වන අභිරුචිය නිදන්ගත වී අැත.  එහි අැති හාස්‍යෝත්පාදක කතාවනම් අපභ්‍රංසසහගත ජගත්ගේ වංකගිරි කලා මාවතට කිසිදු සම්බන්ධයක් නැති චමරි තපස්වරගේ ගේ කලාව එ් ගොඩට දැමීමට සිසිර ජගත් වීරසිංහගෙන් කුලියට ගත් ෆැන්ටසියකින් චමරි තපස්වරගේ නම් වූ තම බිරිද අභිමානයට ලක් කරනවා යැයි සිතමින් තමන් විසින් අැයට අවමන් කරන බව ඔහුට නොතේරීමයි. අැත්ත වශයෙන් ම සිසිර කියන කිසිවක් චමරිගේ චිත්‍ර වල නැත. සිසිර කලා විචාරය කියා කරන්නේ හිස් වචන තෙපලීමකි. ඔහු චමරිගේ චිත්‍ර වල තියෙන දේ ප්‍රකාශ කිරීමට අසමත් ය. අැත්තටම චමරිගෙ චිත්‍ර යනු මොනවාද? මතුවට කතා කරමු!

Prof Sujith rathnayake

චමරි ට යමක් කියන්න ඉඩ තියෙනව.

ඔබේ අදහස කියන්න...